Tuesday, April 28, 2020

යම ශනි සමඟ එක්වෙයි.



                         ප්ලූටෝ මකර රාශියට ගමන් කළේ මේ වසරේ පෙබරවාරි 28 වෙනිදා ය. ඒ වසර 250 කට පසුව ය.  මීට පෙර ප්ලූටෝ මකර රාශියට ගමන් කළේ 1770 දී ය. මෙවර මකර රාශියට ගිය ප්ලූටෝ ශනි සමඟ සංයෝග විය. මේ වන විට ප්ලූටෝ හා ශනිට අමතරව කුජ සහ ගුරු ද මකර රාශියේ ය. මේ සිව් ග්‍රහ සංයෝගය ඉතාමත් සුවිශේෂ ය.

                        සියල්ලට මත්තෙන් මේ ප්ලූටෝ කවුදැයි සොයා බැලිය යුතුය. මොකද ප්ලූටෝ ගැන එතරම් විස්තරයක් අපේ අය නොදන්නා නිසාය. අපේ ජ්‍යොතිෂය තුළ ද ප්ලූටෝට එතරම් තැනක් නැත. මේ සිදුවන සිදුවීම් අනුව ප්ලූටෝ යනු තව දුරටත් ගණන් නොගෙන සිටිය යුතු ග්‍රහයෙක් නොවේ. ඒ, මකර රාශියට ගොස් ශනි සමඟ එකතු වීමට මාස දෙක තුනකට පෙර සිටම ප්ලූටෝ ගේ බලපෑම ලෝකයට දැනෙන්නට වූ නිසාය.  අපේ ජ්‍යොතිෂවේදීන් සිදු කළ වරද නම් හැම දාම සෙනසුරු ගැන විපරම් කළා මිස ප්ලූටෝ ගැන කිසිදු තැකීමක් නොකිරීම ය. ප්ලූටෝ ශනි සමඟ එක්වීමෙන් නව යුගයක් ආරම්භ වන බවට බටහිර ජ්‍යොතිෂවේදීන් අනාවැකි පල කළේ පසු ගිය වසරේය. ඒ ඔවුන් ප්ලූටෝ මහ ඉහළින් ගණන් ගන්නා නිසාය.

                          බටහිර ජ්‍යොතිෂයේ ප්ලූටෝ හැඳින්වෙන්නේ පාතාලයේ දෙවියා ලෙසය. පෙරදිග ජ්‍යොතිෂය තුළ හඳුන්වන්නේ 'යම' ලෙසය. කොහොම හැඳින්වූවද මේ කියන්නේ ප්ලූටෝ අපායේ පාලකයා කියාය. යම රජ්ජුරුවන්ගේ කාරිය අපාගත වන පව් කාරයින්ට දඬුවම් පැමිණවීමය. එහෙව් කෙනෙකුට ප්ලූටෝ සම කළේ නිකම් වෙන්නට විදියක් නැත. 'යම' මකර රාශියට ගොස් එකතු වුණෙත් නොම්බර එකේ ග්‍රහයා සමඟය. සෙනසුරුට කියන්නෙත් යුක්තිය පසිඳලන ග්‍රහයා කියාය. දුකට අධිපතියා ද කියයි.  දෙන්නා ජාඩියට මූඩිය වගේය.

                        ප්ලූටෝ යනු පරිවර්තනයේ ප්‍රධානියා ලෙස සැළකේ. අවසන් කිරීම හා නැවත ආරම්භ කිරීම නියෝජනය කරන ග්‍රහයා ලෙසද හඳුන්වයි. අලුත් දේ සඳහා ඉඩක් ලබා දීම වෙනුවෙන් පැරණි දේ බිඳ දැමීමේ වගකීම ප්ලූටෝ සතු බව පැවසේ. ඇතැම් තැනක ප්ලූටෝ හඳුන්වා දී ඇත්තේ 'නින්ජා ග්‍රහයා' ලෙසය. ඒ, ප්ලූටෝ හදිසියේ ක්‍රියාත්මක වන නිසාය. ක්‍රියාකාරිත්වය දිගු කල් පවත්වා ගැනීමද ප්ලූටෝගේ සිරිත ය. ප්ලූටෝ ද සෙනසුරු මෙන්ම බිය උපදවන ග්‍රහයෙකි. නව ආරම්භයක් ඇති කිරීම වගේම ඒ ආරම්භයට පෙර පරණ සහ නොගැළපෙන දේවල් විනාශ කර දැමීම ද ප්ලූටෝ ගේ ක්‍රමවේදයයි. ප්ලූටෝ පවසන්නේ 'පරණ දේවල් සමඟ පිටවන්න,අලුත් දේවල් සමඟ ඇතුල් වන්න'කියාය. විනාශය,මරණය, වෛරස්, විෂබීජ,නව සොයාගැනීම්,පිපිරවීම්,අද්භූත දේවල්, න්‍යෂ්ටික අවි, කල් ඇදෙන විශාල යුද්ධ, පරිවර්තන ආදිය සම්බන්ධයෙන් ප්ලූටෝ  බලපවත්වයි.

                        ප්ලූටෝ සෙනසුරු සමඟ කල් ගෙවන 2023 ජනවාරි 17 තෙක් කාලය ලෝකයට ඉතාමත් සුවිශේෂය. අඛණ්ඩව නොවුණද මෙම කාලය තුළ වරින් වර ශනි සමඟ එක්වන ප්ලූටෝ ලෝකය තුළ විශාල පරිවර්තනයක් කරනවා නියතය. එහිදී සිදුවන විනාශයන්ට මුහුණ දීමට අපට සිදුවනු ඇත. 2020.02.28 - 2020.09.10 අතර කාලය, 2021.01.04 - 2022.04.29 අතර කාලය, 2022.07.13 - 2023.01.17 අතර කාලය සුවිශේෂය.

                            ලෝකායන ජ්‍යොතිෂයේදී අතිශයින්ම වැදගත් වන යුරේනස්,නෙප්චූන්,ප්ලූටෝ යන ග්‍රහයින් ගැන නිවැරදිව හැදෑරීම,තොරතුරු ගවේෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදා හදාගැනීම ජ්‍යොතිෂවේදීන් සතු යුතුකමකි. 

                                        සංජීව කුළුපන බණ්ඩාර