Saturday, October 15, 2022

තන්ත්‍ර.

 

ඉහළම සහ පහළම යනු එකම අඛන්ඩතාවක කොටස් දෙකකි.වස හා අමෘතය ද එකම ශක්තියේ දෙපැත්තකි. ජීවිතය හා මරණය ද එසේය. සර්පයා සහ ගැලවුම් කරු යනු ද දෙදෙනෙකු නොවේ.දහවල හා රාත්‍රිය, ආදරය හා වෛරය මේ සියල්ල එසේය. ජීවිතය උපරිමයෙන් වින්දනය කළ යුතුය. ආශාවන් යටපත් නොකළ යුතුය. ඒ "තන්ත්‍ර" නම් වේ. තන්ත්‍ර යනු අවුරුදු දහස් ගණනකට පෙර බිහි වුණු විද්‍යාවකි. පුහුණුවකි. තාක්ෂණයකි. තන්ත්‍ර යනු සාකල්‍යයේ (සමස්ත බවේ) මාවතයි.


තන්ත්‍රවල නැසීමක් නෑ. මැඩපැවැත්වීමක් නෑ. වෛරය, කෝපය,රාගය වගේම වෙනත් කිසිම හැඟීමක් ආවේගයක් හෝ ආශාවක් නැසීම හෝ මැඩපැවැත්වීම තන්ත්‍ර අනුව භයානක යි. කළ යුත්තේ පරිවර්තනය කිරීම යි.  


"සෑම දෙයක්ම පිටතින් නොව ඇතුලතින් පැමිණේ. ඔබ යමක් මැඩපවත්වන විට එය එළියට මතුවීමට නව මාර්ගයන් සොයා ගනීවි. අලුත් සංකීර්ණතාවන් නිර්මාණය වෙයි. මැඩපවත්වනු ලබන සිතුවිලි විනාශ නොවේ.එය ඔබේ ගැඹුරු ඇතුළාන්තයට ගමන් කරයි. ඔබ එය වඩ වඩාත් මැඩපවත්වන විට එය වඩාත් ගැඹුරට ගමන් කොට ඔබ කෙරේ වඩාත් දැඩි බලපෑමක් එල්ල කරයි..."  තන්ත්‍ර පවසන්නේ ඒ විදියට.  ආවේගයක් හෝ ආශාවක් මැඩපැවැත්වීම හරියට කන්දකින් මතුවුණු උල්පතක් වහනවා වගේ වැඩක්. උල්පතක් වැහුවොත් ඒක උල්පත් රාශියක් බවට පත්වෙලා කන්දෙන් එළියට එන්න හදයි. එහෙමත් නැත්නම් මහා ජල කඳක් විදියට කන්දත් එක්කම නාය යයි.


තන්ත්‍ර කිව්වම ගොඩක් දෙනෙක් දන්නෙ, අහල තියෙන්නෙ "තන්ත්‍ර සෙක්ස්" ගැන විතරයි. තන්ත්‍ර සෙක්ස් කියන්නෙ බටහිර ලෝකයේ ව්‍යාප්ත වුනු රැල්ලක්. ඒ අය අල්ලගත්තෙ තන්ත්‍රවල "සෙක්ස්"පැත්ත විතරයි. ඒක 1900 දී විතර සිද්ද වෙච්චි දෙයක්. පියරේ බර්නාඩ් ආරම්භ කරපු නියෝ තන්ත්‍ර ව්‍යාපාරය හරහා බටහිර ලෝකයේ තන්ත්‍ර ව්‍යාප්ත වුණා. හැමදාම එකම විදියට අත්විඳපු ලිංගික සුවය "නොනිමි" තත්වයකට පත්කරගැනීමේ අරමුණින් ඒ අය තන්ත්‍ර භාවිතා කරන්න පටන්ගත්තා. 


බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200 කට පමණ පෙර උපන් සරහපාද හිමියන් තමයි බෞද්ධ තන්ත්‍රයේ ආරම්භකයා විදියට සැළකෙන්නෙ. බෝධිධර්ම හිමියන්ගෙ න් ඇරඹි සෙන් දහම හා තන්ත්‍ර අතර කිට්ටු සම්බන්ධයක් පැවතුණත් ටිබෙට් රටේ තමයි තන්ත්‍ර හොඳින්ම ව්‍යාප්ත වුණේ. අදටත් ටිබෙටයේ තන්ත්‍ර සුපිෂ්පිතව පවතිනවා.


තන්ත්‍රයේ කියවෙන්නෙ "සැබෑ මිනිසා සොයාගැනීමට නම් ඔබ 'මූලය' වෙතටම ආපසු යා යුතු බවයි. පුද්ගලයෙකු වඩාත් ශිෂ්ටසම්පන්න වූ තරමට  ඒ පුද්ගලයාට තාන්ත්‍රික පරිවර්තනය සිදුවීමට ඇති ඉඩකඩ අඩු යි. වඩාත් ශිෂ්ට වූ විට, ප්ලාස්ටික් බවට පත් වූ විට ඔබ කෘතීම බවට පත් වෙනවා. ඕනැවට වඩා හැදිච්චි අයෙකු බවට පත් වූ විට පොළොවට සම්බන්ධ ඔබගේ මුල් ගැලවී යනවා.එවිට මේ ලෝකය නමැති මඩ ගොහොරුවට බය වෙලා මෙලොව නොසිටින්නෙකු ලෙස පෙන්වීමට ඔබ පටන්ගන්නවා. තන්ත්‍රයේ  සඳහන් වෙන්නෙ ඔන්න ඔහොමයි. 


තන්ත්‍ර කියන්නෙ ස්වර්ගය හෝ දිව්‍යලෝකය යා යුතු තැන් නොව ඒවා තමන් වෙත ගෙන්වා ගත යුතු බවයි. ඒ කියන්නෙ, ස්වර්ගය, දිව්‍යලෝකය ජීවිතය තුළ නිර්මාණය කරගන්න ඕනැ කියන එකයි.විඥානය වෙනස් කරගැනීමෙන් දිව්‍යලෝකය,ස්වර්ගය ජීවිතය තුළ නිර්මාණය කරගන්න පුළුවන්.  තන්ත්‍ර කියන විදියට නිවන තියෙන්නෙ සසර කෙළවර නෙමෙයි, සසර තුළම යි. සංසාරය තුළම නිර්වාන මොහොතක් පවතින බව කියනවා.


තන්ත්‍ර උගන්වන්නෙ ආශාව සමඟ අවදියෙන් ඉන්න කියලා. ආශාව එක්ක කිසිම සටනක් කරන්න හොඳ නෑ. උපරිම අවදියෙන්, හොඳ සිහියෙන් ආශාව තුළ හැසිරෙන්න ඕනැ. එහෙම කරන කොට ආශාව ඉක්මවා යන්න පුළුවන් වෙනවා. තන්ත්‍ර කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. සියල්ල භාරගන්නවා. ගැලී සිටීම හා පලායාම දෙකම යාන්ත්‍රිකයි. යාන්ත්‍රික දේවල්වලින් ඉවත් වෙන්න පුළුවන් වෙන්නෙ අවදියෙන් සිටීමෙන් පමණයි. කිසිම දෙයක් ප්‍රතික්ෂේප නොකර, බියක් නැතුව ගැඹුරින් එබී බලන්න ඕනැ. තන්ත්‍ර කියන්නෙ ජීවිතයේ යථාර්තය සමඟ මුහුණට මුහුණ මුණගැසීමක්.


සත්‍යය ඔබව නිදහස් කරනවා.  අවබෝධ කරගැනීමෙන් ඔබ නිදහස් වෙනවා. දැනගැනීම හෙවත් අවබෝධය යනු විමුක්තිය යි. එසේ නොමැතිව ඔබ ඇබ්බැහි වී සිටියත්  යටපත් කරගෙන සිටියත්  ලැබෙන්නේ එකම ප්‍රතිඵලයම යි.  ඔබ අතහරින්න ඕනැ බිය පමණයි. නොබියව යථාර්තය දෙසට එබී බලන්න. ඔබ සොරෙකු නම් ඒ තුළට කිමිදී බලන්න. ඔබ කෝපාවිෂ්ට අයෙක් නම් ඒ තුළට දිරියෙන් එබී බලන්න. ඔබ දැඩි ලොභයෙක් නම් ඒ තුළට නොබියව එබී බලන්න. ඔබ විවෘත මනසින් ඔබේ කුමන මානසික තත්වයක් තුළට වූවද නොබියව කිඳා බැසිය හැකි නම් ඔබ එයින් නිදහස් වෙයි. ඔබේ ශාරීරික අවශ්‍යතාවලට සවන් දෙන්න. ශරීරයට සවන් දෙන්න. ඒවා මඟහැර නොයන්න. ඒ අවශ්‍යතා තුළට යන්න. ඒවා ආදරයෙන් ගවේෂණය කරන්න. මනස සමඟ මිතුරු වෙන්න. සිරුර සමඟ මිතුරු වෙන්න. ඒ කිසිවකට විරුද්ධ නොවෙන්න.  ඒ තන්ත්‍ර ඉගැන්වීම යි. 


තන්ත්‍ර කියන විදියට "විශ්වාස කරන මිනිස්සුන්ට කිසිම අවබෝධයකට පත්වෙන්න බෑ." නිහඬවම පිළිගන්න මිනිස්සුන්ට තමන්ගෙම වූ අත්දැකීමක් විඳින්න බෑ. කාටවත්ම බෑ තව කෙනෙකුට "සත්‍යය" දෙන්න. කවරෙක් හෝ තමන්ට සත්‍යය දීමට හැකියි යන අදහසේ සිටින තාක් ඔහු ඉන්නෙ කුමන ආකාරයක හෝ වහල් බවක. ඔහු කෙනෙක් ගෙන් ගැළවෙන විට තවත් කෙනෙක් සමඟ බැඳී ඉන්නවා. දෙවැන්නා ගෙන් ගැළවෙන විට තුන්වන්නෙකු හා බැඳී ඉන්නවා. ඔහුට වහල් භාවයෙන් මිදෙන්න බෑ. හින්දු කෙනෙක් ජෛන බවට පත් වුණා කියලවත්, ජෛන කෙනෙක් ක්‍රිස්තියානි වුණා කියලවත්, සියල්ල අතහැර සමාජවාදී හෝ වෙනත් යමක් වැළඳගත්තත්, එක  විශ්වාස පද්ධතියක් අතහැර තවත් දෙයක් වැළඳගැනීමෙන් මනසේ පීඩාව වෙනස් වෙන්නෙ නෑ. යමක් අවිශ්වාස කරන්න කියල 'තන්ත්‍ර'කියන්නෙ නෑ. විශ්වාසය අවිශ්වාසය දෙකම නැතුව ඒ අතර ඉන්න ඕනැ. මොකද විශ්වාස කරන අය විශ්වාසය අදහනවා, අවිශ්වාස කරන අය අවිශ්වාසය අදහනවා. ඔය අන්ත දෙකම වැරදියි. සෑම කෙනෙක්ම තමාම වෙන්න ඕනැ. හැමෝම තමන්ගෙ ඇස් දෙකෙන්ම දකින්න ඕනැ. තමන් විසින්ම අවබෝධ කරගන්න ඕනැ.  "ඔබේ ලෝකය නිර්මාණය කරන්නේ ඔබ ය. ඔබගේ ලෝකය විහිදී යන්නේ ඔබ වෙතිනි."  තන්ත්‍ර යනු ඥානයේ, ප්‍රඥාවේ මාර්ගය යි.


තන්ත්‍ර කියන්නෙ සිතීමෙන් ඔබ්බට යාමක්. තන්ත්‍රවල ආදරය, ලිංගිකත්වය, සුරතාන්තය ගැන වැඩි වශයෙන් විග්‍රහ කෙරෙනවා. මනස ස්වල්ප මොහොතකට හෝ අහෝසි වෙලා යන්නෙ සුරතාන්තයෙදි පමණක් බවත්, සාමාන්‍ය මිනිසාට අත්දැකිය හැකි නො-මනස පිලිබඳ එකම තත්වය එය පමණක් බවත් තන්ත්‍රවල සඳහන් වෙනවා. යථාර්ථය පිළිබඳව අංශු මාත්‍රයක් දැකීමේ හැකියාව ඇති වන්නේ එය තුළදී පමණක් බැවින් ලිංගික සුරතාන්තය තන්ත්‍ර මාර්ගයට ඉතා වැදගත් වූවක් බවට පැමිණිලා තියෙන බවත් කියනවා. 


තන්ත්‍ර කියනවා "චරිතයක් නොමැතිව සිටින්න" කියලා. තන්ත්‍ර කියනවා "චරිතය හලා දමන්න" කියලා. දියාරු වෙන්න, ගලා යන්න කියනවා. මොහොතින් මොහොතට ජීවත් වෙන්න කියනවා. ඒ කියන්නෙ කිසිම වගකීමක් නැති තත්වයට පත්වෙන්න කියන එක නෙමෙයි. කෙනෙක් චරිතය හරහා ජීවත් වෙන කොට අවදිමත් බවක් අවශ්‍ය වෙන්නෙ නෑ. එහි වගකීම චරිතය භාරගන්නවා. චරිතය යාන්ත්‍රික ආකාරයට ක්‍රියාත්මක වෙන්න ගන්නවා.  චරිතය කියන්නෙ බලාත්කාරයෙන් පටවන ලද ශික්ෂණයක් බවත් චරිතය යනු ඔබ තව දුරටත් නිදහස් නොවී සිටීම බවත්, ඔබ කිසි විටෙකත් චරිතයට අදාල නීති මාලාවෙන් ඔබ්බට නොයන බවත් කියනවා. මේක කෙනෙකුට එකහෙලා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. චරිතයක් නොමැති බව කියන්නෙ චරිතයෙන් නිදහස් වීම මිසක් වෙන දෙයක් නෙමෙයි. සාන්තුවරයාට චරිතයක් තියෙනවා. ඒ වගේම බේබද්දටත් චරිතයක් තියෙනවා. බේබදුකම කියන චරිතයෙන් ඔහු නිදහස් වෙන්න ඕනැ. හොරාටත් චරිතයක් තියෙනවා. හොරා හිරගෙට යනවා එළියට එනවා. නිමාවක් නෑ. කිසිම හිරගෙයක් කිසිවෙක් නිට්ටාවට සුවපත් කරලා නෑ. "හොරා" කියන චරිතයෙන් ඔහු මුදාගෙන නෑ.  ඊළඟට කරන හොරකම සැලසුම් කරගෙන හොරා හිරගෙයින් එළියට එනවා. ඔහු හොරා කියන චරිතයෙන් එළියට එන්න ඕනැ. සාන්තුවරයා කියන චරිතය ඇතුළෙත් ඔහුට නිදහසක් නෑ. අලුත් විදියකට ප්‍රතික්‍රියා කරන්න බෑ. චරිතයට අදාල රාමුවෙන් පිට මොනවත් කරන්න බෑ.


තන්ත්‍රය මෙහෙම කියනවා..."ඇවිදින විට ඇවිදින්න.නිදාගන්නා විට නිදාගන්න. පවත්නා විට පවතින්න. කිසිදු සිතුවිලි බාධකයක් නොමැතිව ජීවිතයට ඔබ හරහා ගලා යාමට ඉඩ දෙන්න. බිය වීමට දෙයක් නැත. නැති වීමට දෙයක්ද නැත.මරණය රැගෙන යන්නේ උපත ඔබට දුන් දේ පමණි. කොහොමටත් එය ජීවිතය රැගෙන යන්නේම ය. ඒ නිසා බිය වීමට දෙයක් නැත. ජීවිතයට ඔබ හරහා ගලා යාමට ඉඩ දෙන්න." 


මේ තන්ත්‍ර ගැන සියල්ල නෙමෙයි. තන්ත්‍ර ගැන සරල කියවීමක් විතරයි. ඇතුළාන්තය සමඟ කරන ගණුදෙනු තියෙනවා. තන්ත්‍ර භාවනා තියෙනවා. ඒ සියල්ල එක මිටකට අරගෙන ලියලා පෙන්වන්න අපහසුයි. 


සංජීව කුළුපන බණ්ඩාර.



Sunday, October 9, 2022

රාහු කේතු ගේ ගමන මේෂ තුලා ලග්න හිමියන්ට බලපාන හැටි.

 



මේෂ තුලා රාශිවලට රාහු කේතු මාරු වෙලා කාලයක් වෙනවා. ඒක වුණේ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 12 වෙනිදා. රාහු කේතු මාරුව මේෂ තුලා ලග්න හිමියන්ට කොහොමද කියන එක ගැන කතා කරන්න හදන්නෙ දැන්. මේ වෙනකල් කාලයෙදි මේෂ තුලා ලග්න හිමියො අත්විඳපු දේවල්, මුහුණ දුන් දේවල් එක්ක 2023.10.30 වෙනකල් ඉදිරි කාලය කොහොම වෙයිද ? කොහොම ඉන්න ඕනැද ?  කියන එක ටිකක් කතා කරන්න හිතුණා. 2023.10.30 කියන්නෙ රාහු කේතු මේෂ තුලා ලග්නවලින් ඉවත් වෙලා යන දවස. අන්න ඒ හින්දයි ඒ වෙනකල් කාලය ගැන කතා කරන්නෙ.


දැන් මේ කාලෙ මේෂ ලග්න හිමියො "රාහු" ඔළුවෙ තියාගෙන ඉන්නවා. තුලා ලග්න හිමියො "කේතු" ඔළුවෙ තියාගෙන ඉන්නවා. 2023.10.30 වෙනකල් ඔය දෙගොල්ලො රාහු කේතු ඔළුවෙ තියාගෙන ජීවන අභියෝගවලට මුහුණ දෙනවා.  මේ වෙන කොටත් මාස 5 ක් ඔය විදියට ගෙවාගෙන ආවා.  ගෙවුණු කාලයට වඩා ගෙවන්න තියෙන කාලය වැඩියි.   2023.10.30 තෙක් ගත කරන්න තියෙන කාලය තුළ මේෂ තුලා ලග්න දෙකට මේ ග්‍රහයො දෙන්නගෙන් එල්ල වෙන බලපෑම් මොනවද...මේ කාලය තුළ ඉන්න ඕනැ කොහොමද...කියන කාරණා ගැන යමක් කියන්න ඕනැ.

❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋

මේෂ ලග්න හිමියො.

මේෂ ලග්න හිමියන්ගෙ ලග්න ස්ථානයේ රාහු ගමන් කරනවා 2023.10.30 වෙනකල්. රාහු කියන්නෙ දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වගේ වේගවත් ග්‍රහයෙක්නෙ. නම්‍යශීලී ගතියක් නෑ. කඩාගෙන බිඳගෙන යනවා. එහෙම ග්‍රහයෙක් ඔළුවේ ඉන්නව කියන්නෙ නම්‍යශීලී ගතිය නැති වෙනවා. මේෂ ලග්න හිමියන්ට කොහොමත් නම්‍යශීලී ගතියක් නෑනෙ...කියල ලග්නෙ ගැන දන්න කෙනෙක් කියන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම කාරණය. නම්‍යශීලී නැති මේෂ ලග්න හිමියො නම්‍යශීලී නැති රාහු ඔළුවෙ තියාගෙන ඉන්න කොට කොහොමද... කිසිම ඉවසීමක් නැතුව යනවා. පුදුම හදිස්සියක් ඇති වෙනවා. ඔළුව නිස්කලංක නැතුව යනවා. ඉක්මනට කෝප වෙනවා. ප්‍රචණ්ඩ වෙනවා. එතකොට ඉතින් ප්‍රශ්නනෙ. අඟහරුගෙ, රාහුගෙ දශාවකුත් ගත වෙනව නම් ඔය වේගය, කෝපය, හදිස්සිය තවත් වැඩි වෙනවා. පොඩි දේවල් ලොකු කරගෙන දඟලනවා. මේක බොහොම ඉවසීමෙන් වැඩ කරන්න ඕනැ කාලයක්. හරි දේවල් වැරදියට පේන්න පුළුවන්. වැරදි දේවල් හරි වගේ පේන්න පුළුවන්. සන්සුන්ව, නිරවුල්ව බැලුවොත් තමයි ඇති සැටියෙන් පේන්නෙ.


රාහු ඔළුවෙ කියන්නෙ කේතු හතේ කියන එකයි. හත කියන්නෙ විවාහය. ඉතින්, විවාහක මේෂ ලග්න හිමියො ගෙදර සාමය කඩ නොවන විදියට බොහොම සාමකාමීව ඉන්න ඕනැ. යුග ජීවිතයෙ හැලහැප්පීම් සිද්ද වෙන්න පුළුවන්. නොරුස්සන ගති ඇති වෙන්න පුළුවන් කාලයක්.


වැඩ කරන තැනදි එහෙම අනිත් අය එක්ක නොහොඳ නෝක්කාඩුකම් ඇති වෙන්න පුළුවන්. වචනයක් අල්ලගෙන දුර දිග ගෙනියන්නෙ නැතුව මොනවත් වැඩිය ගාණකට නොගෙන හිනා වෙලා ඉන්න එක හැම අතින්ම හොඳයි. ඉක්මන් තීරණවලින් කොහොමත් වැළකිලා ඉන්න ඕනැ. මොනවත් වැඩි ගාණකට නොගෙන ඉන්න එක හතුරො ඇති කරගන්නවට වඩා හොඳයි.


සෙම් අසනීප වගේම වරින් වර හිස කැක්කුම් ඇති වෙන්නත් පුළුවන්. ලේ විෂ වීම්, සමේ ඇති වෙන ආසාදන වගේ දේවල්වලටත් ඉඩ තියෙනවා.


❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋

තුලා ලග්න හිමියො. 


තුලා ලග්න හිමියො 2023.10.30 වෙනකල් කේතු හිස මත තියාගෙන කාලය ගෙවනවා. තුලා ලග්න කාරයො එච්චර කලබල කාරයො නෙමෙයි. කේතු කියන්නෙත් කලබල ග්‍රහයෙක් නෙමෙයි. ඒත් මේ යන විදියට ප්‍රශ්න ටිකක් මතු වෙනවා. හිතට එච්චර හරි නෑ. කිසි දේකින් හිත පිරෙන්නෙ නැති ගතියක් හිටිනවා. හේතුවක් නැතුව සමහරු ඈත් වෙනව වගේ දැනෙන්න පුළුවන්. කරදර තියෙනව වගේ දැනෙන්න පුළුවන් කාලයක්. කොටින්ම කියනවා නම්, නැති කරදර මවාගන්න කාලයක්. අනිත් අයට තමන්ව රුස්සන්නෙ නෑ වගේ දැනෙනවා. උද්යෝගිමත් ගතිය අඩු වෙනවා. අභූත චෝදනා එල්ල වෙන්නත් බැරි කමක් නෑ. මුහුණෙ සෝබාව දීප්තිය අඩු වෙන්නත් පුළුවන්. කල්පනාවට බර වෙනවා. නිතර විඩාබර ගති දැනෙනවා. වැඩිය මහන්සි නොවී ඔහේ ඉන්න හිතෙනවා. මානසික ප්‍රබෝධය අඩු වෙනවා. මොන තරම් කැපවීමෙන් වැඩ කළත් හිතට හරියන ඇගයීමක් නොලැබෙන්න පුළුවන්. බැබලීම,ප්‍රසාදය අඩු වෙනවා. හොඳ කරන්න ගිහින් නරක නාම අහගන්න සිද්ද වෙන්න පුළුවන්.


තමන්ට අයිති වටිනා බඩු භාණ්ඩ නාස්ති වෙන්න පුළුවන්. මිල මුදල් අස්ථාන ගතවෙන්න, සොර සතුරො අතට පත් වෙන්න පුළුවන්. හැම දෙයක්ම හොඳට පරිස්සම් කරලා තියාගන්න ඕනැ. 


කේතු ඔළුවෙ කියන්නෙ රාහු හතේ කියන එකනෙ. යුග ජීවිතයේ සතුට,සැනසුම, සාමය අඩු වෙන්න පුළුවන් කාලයක්. සහකරු හෝ සහකාරිය නිතර තමන්ව නොරුස්සන තත්වයක් ඇති වෙන්න පුළුවන්. යුග දිවිය තුළ හැකි තාක් ඉවසීමෙන් කටයුතු කරන එක තමයි කරන්න තියෙන්නෙ. හැම දෙයක්ම ලොකුවට ඔළුවට අරගෙන හරියන්නෙ නෑ. කළකිරීම් ඇති කරගන්න හොඳ නෑ. හිත ලෙඩ වුණාම කය ලෙඩ වෙනවා.


සම ආශ්‍රිත අසනීප, මුත්‍රා ආබාධ, උෂ්ණ අසනීප ආදිය මතු වෙන්න පුළුවන්. සුළු වැටීම්, අනතුරුවලට එහෙමත් ඉඩ තියෙන හින්දා පරිස්සමෙන් වැඩ කටයුතු කරන එක හොඳයි. විශේෂයෙන් හිස, මුහුණ ආශ්‍රිතව තුවාල සිදු වෙන්න පුළුවන්.


❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋


දැන් ඉතින් හිතන්න එපා සියලු මේෂ ලග්න හිමියන්ට , සියලු තුලා ලග්න හිමියන්ට අඩුවක් නෑර ඔය ටික ඔය විදියටම වෙනවාය කියල. සමහරුන්ට ඕවා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්


සංජීව කුළුපන බණ්ඩාර.