Saturday, February 23, 2019

ජලනන්දන පිරිත.


'පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං'   
හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් 'පරිත්ත' නම් වේ.  පිරිත ගැන කියැවෙන්නෙ ඔන්න ඔහොමයි. නිවැරදි ඝණ සංකලනයකින් යුතු ශබ්ද විද්‍යාත්මක පද වැලක් තමයි පිරිත කියන්නෙ. කොහොම වුණත්, මේ හදන්නෙ සියලු පිරිත් දේශනාවන් ගැන කතා කරන්න නෙමෙයි. බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙන, බොහෝ දෙනා භාවිතා කරන ජලනන්දන පිරිත ගැන කතා කරන්නයි.  බුදුන් වහන්සේ දේශනා කළා යැයි කියන්නට පැහැදිලි සාක්ෂි හමු නොවුණත් මේ පිරිත බොහොම බලසම්පන්නයි කියන්න ඕනැ තරම් සාක්ෂි තියෙනවා.

  ජලනන්දන පිරිත ගැන නොයෙක් විදියේ ප්‍රශ්න නඟන අයත් එමටයි. ජලනන්දන පිරිත ගේ ඇතුලෙ කියන්න හොඳ නැද්ද...ජලනන්දන පිරිතෙන් සියලු යන්ත්‍ර මන්ත්‍රවල බලය බිඳෙනවද...ජලනන්දන පිරිත නිතර භාවිතා කිරීමෙන් විවාහය ප්‍රමාද වෙනවද...
ඔන්න ඔය විදියේ ගැටළු නිතර දෙවේලේ ඉදිරිපත් වෙනවා. ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් තරමට භයානකයි කියලත් ඇතැමුන් ප්‍රකාශ කරනවා.

සතර පොත්ගුල් අලගුව සහිත ජලනන්දන පිරිත, දැහැන සහිත ජලනන්දන පිරිත, ජලනන්දන මන්ත්‍ර ආදී වශයෙන් ජලනන්දන පිරිත් දහයක් පමණ තියෙනවා. ගාථා හතකින් සමන්විත ජලනන්දන පිරිතක් වර්තමානයේ පිරිත් පොත්වල තියෙනවා. මෙම පිරිත් එකකට එකක් වෙනස්.

ජලනන්දන පිරිත වැඩි වශයෙන් භාවිතා කරන්නේ මන්ත්‍ර ශාස්ත්‍රීය කටයුතුවල නියැලෙන අයයි. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ කටයුතු සඳහා ඔවුන් ජලනන්දන පිරිත භාවිතා කරනවා. ජලනන්දන පිරිත්වලින් ගත හැකි වැඩ දහස් ගණනක් බව පැරණි පොත් පත්වල සඳහන් වෙනවා.

කොහොම වුණත්, වර්තමානයේ පිරිත් පොත්වල සඳහන් වන ගාථා හතකින්  යුතු ජලනන්දන  පිරිත එතරම් බලසම්පන්න පිරිතක් නෙමෙයි. ආරක්ෂාවක් හැරුණු කොට වෙනත් සැළකිය යුතු තරමේ වැඩ කොටසක් ඉටු කරගැනීමට ප්‍රමාණවත් නෑ.

ගාථා හතකින් යුතු ජලනන්දන පිරිතේ ගාථා දෙකක සඳහන් වෙනවා 'සර්ව බන්ධන ඡේදනං' කියලා. තවත් තැනක 'සයනේ බන්ධන විද්වන්සනං' කියල සඳහන් වෙනවා. සර්ව බන්ධන කියන්නෙ සියලු බැඳීම් කියන එකයි. සියලු බැඳීම් කිව්වම අඹු සැමි බැඳීම්, මාපිය දූදරු බැඳීම්, ඥාති බැඳීම් සියල්ල අයත් වෙනවා. මේ අනුව, සියලු ආකාරයේ බැඳීම් තමයි දුරුවෙන්න කියන්නේ. ඒක ලෞකික ජීවිතයක් ගත කරන අයට ගැටළුවක් වෙනවා. මේ ගාථා හතකින් යුතු ජලනන්දන පිරිත නිතර භාවිතා කළ බොහෝ දෙනෙකුට විවාහ ගැටළු, දූදරු ප්‍රශ්න පමණක් නෙමෙයි ආර්ථික ගැටළු පවා මතුවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සෙ හොයල බැලුවා. සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න අය තමන්ගෙ ආරක්ෂාවට මේ පිරිත භාවිතා කළාට ගැටළුවක් නෑ. 'යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවතො' කියලත් මේ පිරිත තුළ සඳහන් වෙනවා. හොඳ නරක සියලු යන්ත්‍ර මන්ත්‍ර බලය බිඳ වැටෙනවා.

මේ සමග මම ඉදිරිපත් කර තිබෙන ගාථා දහයකින් යුතු ජලනන්දන පිරිත තුළ 'සර්ව බන්ධන ඡේදනං' 'සයනේ බන්ධන විද්වන්සනං' 'යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා' යනාදී යෙදුම් නෑ. 'සබ්බ වින විනස්සතු' 'වින දෝෂානි විනස්සතු' ' නීච කුල බන්ධන ඡේදනං' 'වින මන්ත්‍රානි විනස්සතු' ආදී වශයෙන් තමයි සඳහන් වෙන්නෙ. ඒ අනුව මේ පිරිතෙන් තමන්ට අහිතකර වින සහ දෝෂ දුරුවෙනවා. ඒ හැර අපලෙට පැළඳගෙන ඉන්න යන්ත්‍රයේ බලය හෝ වෙනත් බැඳීම් දුරු වෙන්නෙ නෑ. මේ පිරිත නිවස තුළ නිතර භාවිතා කිරීම ඉතාමත්ම ගුණදායකයි.

ගාථා දහයකින් යුතු මේ ජලනන්දන පිරිතෙන් ඕනෑම කොඩිවිනයක්, නීච බන්ධනයක් විනාශ කරන්න පුළුවන්. ඇස්වහ, කටවහ, ප්‍රේත දෝෂ, ඉනා බන්ධන ආදී සියලු අහිතකර බලපෑම් මෙයින් දුරු කරගන්න පුළුවන්. 2014 ජනවාරි මාසයේදි පළමු වරට මෙම පිරිත අන්තර්ජාලය තුළ පළ කළ දා පටන් මෙයින් වැඩ ගන්නා බොහෝ දෙනා තම අත්දැකීම් නිතර මා සමග පවසනවා.

ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් වෙන්නෙ හැමෝටම නෙමෙයි. නිසි ප්‍රතිපත්තියක් නැති, පාපකාරී අයට මේක දෙපැත්ත කැපෙන අවියක් බවට පත්වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ නාමයන් ඇතුළත් කර ඇති බලසම්පන්න පිරිතකින් හැමෝටම වැඩ ගන්න අමාරුයි. පස් පවින් වැළකිලා, සියලු සත්වයින්ට මෙත් සිත පතුරවාගෙන භාවිතා කළොත් තමන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ.

මේ සමග ඉදිරිපත් කර ඇති ජලනන්දන යන්ත්‍රය අඟල් 2 -10 හෝ 2-6 තඹ පත්‍රයක ඉරි නොකැපෙන සේ ඇඳ, පුර පක්ෂයේ තමන්ගේ ජන්ම නැකතට සීහෙන සුබ නැකතක් යෙදුණු දවසක, රාහු කාලය මඟහැර, සුබ හෝරාවක, මරුට පිටුපා හිඳ දහස් වාරයක් ජීවම් කරගෙන පැළඳීමෙන් ඉමහත් ආරක්ෂාවක් සලසා ගත හැකියි. මෙම යන්ත්‍රය ඇඳීමේදී සෑම රේඛාවක්ම ද්විත්ව විය යුතු බව මතක තබා ගත යුතුයි.

සුදු හඳුන් තෙල් හෝ රන් තැඹිලි තෙල් ස්වල්පයක් පීරිසියකට හෝ එවැනි කට පළල් භාජනයකට දමා, පෙර සඳහන් කළ පරිදි සුබ දිනෙක දහස් වර ජීවම් කරගෙන රන් සුරයක දමා පැළඳීම ද ගුණදායක වෙනවා. නඩු ජයග්‍රහණයට, සතුරු බලපෑම්,අමනුෂ්‍ය දෝෂ,කොඩිවින, ඇස්වහ කටවහ ආදියෙන් නිසි ආරක්ෂාව සැලසෙනවා.  තෙල් හෝ යන්ත්‍රය ජීවම් කිරීමේදී මල් ආසනයක් සකස් කර එහි ලදපස්මල් අතුරා ඊට උඩු වියන් බැඳගත යුතුයි.

නූල් බැඳීම, දෙහි කැපීම, නිවාස ආරක්ෂා කිරීම,කොඩිවින කැපීම, අමනුෂ්‍යයින් ඉවත් කිරීම ආදී ඔනෑම කාර්යයක් සඳහා මෙම පිරිත සුදුසුයි. මේ සම්බන්ධයෙන් වැඩි යමක් දැනගැනීමට ඇත්නම් පෞද්ගලිකව විමසන්න.

ඔබට තෙරුවන් සරණයි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
  සංජීව කුළුපන බණ්ඩාර
       077 7065760
       071 8875816