Monday, January 14, 2019

පාරිජාත යෝගය.


සමහර ජීවිතවලට වාසනාව උදාවෙන්න කල් යනවා. සමහරු උපන් දා ඉඳලා සැප විඳිනවා. උපන් දා ඉඳලා සැප විඳපු සමහරු ජීවිතයේ අවසාන කාලයෙදී දුක් විඳිනවා.සමහරු ජීවිතෙයේ මුල් කාලයේ මවපු හීන මැදි වියේ ඉඳලා සැබෑ වෙනවා. කාගෙවත් සැළකිල්ලට ලක් නොවී අවලංගු කාසි වගේ ඔහේ ගතවෙන සමහර ජීවිතවලට වාසනාවේ සිරි දෙව්දුව හිටි ගමන් වඩිනවා. අඳුරු වෙලා, කළු ගැහිලා තිබුණු ජීවිත දිස්නෙ දිදී බැබළෙන්න ගන්නවා.

වාසනාව උදාවෙන හැටි, ජීවිතය බැබළෙන්න පටන්ගන්න හැටි, කාට කාටත් අගය වටිනාකම දැනෙන්න ගන්න හැටි, සියලු දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පිනි මෙන් වාෂ්ප වෙලා යන හැටි කේන්දරයේ සටහන් වෙලා තියෙනවා. ග්‍රහයො නවදෙනාගෙ රුව ගුණ, හැසිරීම හොඳින්ම දන්න ජ්‍යොතිෂවේදියෙකුට මේ දේවල් අපූරුවට පේනවා.

කේන්දරවල සටහන්වන සුබ අසුබ යෝග අතරේ දැකගන්න ලැබෙන බොහොම සුබදායක යෝගයක් ගැනයි මේ කියන්න හදන්නේ. මැදි වයසේ පටන් ජීවිතයට වාසනාව කැන්දන මේ යෝගය 'පාරිජාත යෝගය' විදියට හඳුන්වනවා.

කේන්දරය තුළ මේ යෝගය යෙදෙන්නෙ මෙන්න මේ විදියටයි.
ලග්නාධිපති ග්‍රහයා තැන්පත් රාශ්‍යාධිපති ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය හිමි ග්‍රහයා හෝ 
ලග්නාධිපති ග්‍රහයා තැන්පත් රාශ්‍යාධිපති ග්‍රහයා පිහිටි නවාංශකයට අධිපති ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව        කේන්ද්‍රස්ථානයක නැති නම් ත්‍රිකෝණස්ථානයක  පිහිටා ඇත්නම් ඒ 'පාරිජාත යෝගය' යි.

ලග්නාධිපති ග්‍රහයා ස්වක්‍ෂේත්‍රව ලග්න භාවයේ හෝ ලග්නයෙන් කේන්ද්‍රගතව තැන්පත් වී ඇත්නම් මුලින් දක්වා ඇති ආකාරයට පාරිජාත යෝගය නිරායාශයෙන් උදාවෙයි. 
    
ජීවිතයේ මැදි වයසේ පටන් අවසානය දක්වා කාලය තුළ සැපදායක, ඉසුරුබර ජීවිතයක් ගත කිරීමට ලැබෙන බව මේ යෝගයෙන් පෙන්නුම් කරනවා.  රජුන්ගෙන් උපකාර හිමිවෙනවා. උසස් අයගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මිල මුදල්, යාන වාහන ඇතුව සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට හැකි වෙනවා. ඉවසිලිමත් බව, සිරිත් විරිත්වලට අනුකූලව කටයුතු කිරීම, නිහතමානී බව, ත්‍යාගශීලී බව චරිත ලක්ෂණ තුළ කැපී පෙනෙනවා. බොහෝ දෙනෙක් දන්නා හඳුනන තත්වයට පත්වෙනවා.

මේ සමග ඉදිරිපත් කරනවා මිථුන ලග්නය හිමි කේන්දරයක්. කේන්දරයේ හිමිකරු කලාකරුවෙක්. දුෂ්ටයා විදියට තිරයට ඇවිත් පසු කාලයේ පෙම්වතා බවට පත්වුණා. ජීවිතයේ මැදි වයසේදී දේශපාලනයට සම්බන්ධවීමේ අවස්ථාව උදා වුණා. බොහොම කෙටි කලකින් කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත්වුණා. මේ කේන්දරයේ ලග්නාධිපති බුධ කුජට අයත් වෘශ්චික රාශියේ තැන්පත්ව සිටිනවා. කුජ සිකුරුට අයත් වෘෂභ රාශියේ තැන්පත් වෙලා ඉද්දි සිකුරු ස්වක්‍ෂේත්‍රව ත්‍රිකෝණස්ථානයක් වූ පස්වැන්නේ ඉන්නවා. මුළින් දැක්වූ ආකාරයට පාරිජාත යෝගය උදාවෙලා තියෙනවා. 



වාසනාව උදාවෙන වෙලාවට සියලු බාධා අවහිර බිඳගෙන ඒ වාසනාව එනවාමයි. 

සංජීව කුළුපන බණ්ඩාර.