නළ ශාස්ත්‍රය.

 පැරැන්නන් භාවිතා කළ
 නළ ශාස්ත්‍රය  .
ජීවිතයේ විවිධ අවස්ථා වලදී හුස්ම ගත යුතු පිළිවෙල.

    ජ්‍යෝතිෂයෙන් බැහැරව වෙනත් ශාස්ත්‍රයක් ගැනයි මේ කතා කරන්න හදන්නේ. පැරැන්නන් විසින් නොයෙක් අවස්ථාවලදී ජය, සාර්ථකත්වය, සුවය උදෙසා  "නළ ශාස්ත්‍රය" භාවිතා කළ බව පැවසෙනවා. නළ ශාස්ත්‍රය යනු හුස්ම ගැනීමේ ශාස්ත්‍රය යි. මේකත් ශාස්ත්රයක්දැ යි ඔබට සිතෙනවා විය හැකියි. හුස්ම නොගන්නා අයෙක් මෙළොව නෑ. ඔබත් මමත් සියලු දෙනාමත් හුස්ම ගන්නවා. එහෙත්, අපි කරන කියන, පුරුදු පුහුණු කළ බොහෝ දේ තුළ අප නොදන්නා සැඟවුණු රහස් එමටයි. අද හැම දෙයක්ම යන්තර සූත්තර, පෙති කරල් මගින් කරගන්නා නමුත් පැරැන්නන් සතුව ස්වභාවික ශාස්තර විධි තිබුණි. සිතට කයට හානියක් නොවන අයුරින් සියලු දේ හිතේ හැටියට සාර්ථක කර ගත්තේ ඔවුන් සතුව පැවති විශේෂඥ ඥානය මගිනි. රජතුමාගේ අන්තඃපුර කතුන් සියලු දෙනා ගැබ් ගත්තානම් රජතුමා උභතෝකෝටික ගැටලුවකට මුහුණ පානවා නිසැකයි.  එහෙත් එහෙම වුයේ නැත. ස්වභාවික වූත්, මනා වූත් උපත් පාලන විධි එකළ පැවති බව සැබෑය.එමෙන්ම බොහෝ ස්වභාවික විධි, උපායන් නොයෙක් කටයුතු සාර්ථක කර ගැනීමෙහිලා භාවිතා කොට ඇත.ඉන් එක් ක්‍රමයකි නළ ශාස්ත්‍රය.
පුරාණයේ විසූ වෙද පඬිවරු විසින් මිනිස් සිරුරේ සුඛිත භාවයත් ප්‍රාණවත් බවත් උදෙසා නළ ශාස්ත්‍රය  පුරුදු  පුහුණු කළ බව පැවසෙනවා.ශරීරයේ ඇතුල් ගත සියලු අංගයන්ගේ නිසි ක්‍රියාකාරිත්වයට  හුස්ම ගැනීමේ කාර්යය පරම හේතුවක් බැවින් හුස්ම ගැනීමේ කාර්යය නිසි ලෙස පවත්වා ගැනීම නිරෝගී බව ලැබීමටත් , දීර්ඝායුෂ ලැබීමටත් හේතුවෙනවා.
ආශ්වාස ප්‍රාශ්වාස කිරීම හැම විටම නාස් පුට දෙකෙන්ම සිදු නොවෙයි. ටික වේලාවක් පරීක්ෂාකාරිව සිටින විට ඔබට ඒ බව වැටහෙනු ඇත. ආශ්වාස ප්‍රශ්වාසය දිවා රෑ දෙකෙහිම දකුණු නාස්  පුටයෙනුත් වම් නාස් පුටයෙනුත් මාරුවෙන් මාරුවට වෙනස් වෙමින් සිද්ද වන්නේය. දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සූර්යාගේ ශක්තිය හේතුවෙනුත්, වම නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සඳුගේ ශක්තිය හේතුවෙනුත් සිදුවන බව පුරාතණ ඉසිවරුන්ගේ මතය යි.
  කාල යන්තර නොතිබුණු කාලයේ දැහැන් වඩන තපස්වී වරුන් තම ආශ්වාස ප්‍රාශ්වාස මිම්මෙන් මේ අසවල් වේලාව යැයි නිවැරදිව වේලාව පැවසීමටද සමර්ථව සිටි බව පැවසෙනවා. දැන් වූවද හුස්ම ගැනීමේ කාර්යය නිවැරදිව පුරුදු පුහුණු කරන අයෙකුට ඒ ඒ නාස් පුටයෙන් කෙරෙන ආශ්වාස ප්‍රාශ්වාසය අනුව කාල වේලාව නිවැරදිව දැනගැනීමට හැකිවෙනවා.
  පුර දියවක තිථිය පටන්ගැන්මේදී වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ඇරඹෙන අතර පැයකින් පසුව දකුණු නාසා පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කාර්යය ඇරඹෙනවා. මෙම නියම ක්‍රමය වෙනස්වීම ශරීරාබාධයන් ට ලක්වීමට හෝ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට හේතු වන බව පුරාණාචාර්ය වරුන්ගේ මතය යි. නමුත් මෙම ශාස්තරය දන්නා අයෙකුට තම යහපත සැලසෙන ආකාරයට ආශ්වාස ප්‍රාශ්වාසය පවත්වා ගැනීමට හැකිවෙනවා.
      යම් කෙනෙකුට දකුණු නාස් පුටයෙන් හුස්ම ගැනීමට උවමනා නම් ලේන්සුවක් හෝ එවැනි වෙනත් යමක් ගුලි කොට වම නාසා පුටයේ තබා අතේ මහපට ඇඟිල්ලෙන් තදකරගෙන සිටිය යුතුයි. එවිට හුස්ම ගැනීමේ කාර්යය දකුණු නාසා පුටයට මාරු වෙයි. එමෙන්ම වම් නාස් පුටයෙන් හුස්ම ගැනීම සිදුකිරීමට උවමනා වූ විට දකුණු නාස් පුටය සිර කර තබා ගත යුතුය.
  ශිල්ප ආරම්භයේදී, ගෙවල් සැදීමට මුල්ගල තබන අවස්ථාවේදී, ගමන් ආරම්භයේදී, රාජ මහාමාත්‍යාදීන් හමුවන අවස්ථාවලදී, ස්ත්‍රී පුරුෂයින් සමග මිතුරු වන අවස්ථාවලදී, වෙළඳ, රැකියා කටයුතු පටන් ගන්නා අවස්ථාවලදී, නිවකට ගෙවදීමේදී ආදී විශේෂ කටයුතුවලදී වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ඒ ඒ කටයුතු සාර්ථක වීමට හේතුවෙනවා.
   ශෝකයක්, කනස්සල්ලක්, දුකක් ඇති වූ විට මෙන්ම විපතක් සිදු වූ අවස්ථාවක දී වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය සිදු කිරීමෙන් දරාගැනීමේ හැකියාව ඇතිවන අතර කනස්සලු ගතිය දුරු වී සැනසිලිදායක ගතියක් ඇතිවෙනවා.
සතුරන් මර්දනය කිරීම, අනුන් තමන්ට යටත් කර ගැනීම, නඩුවලට මුහුණදීම, විවාද කිරීම, සටන් කිරීම ආදී කටයුතුවලදී දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් ජය අත්වෙනවා.
 කාම සේවනයේදී දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නට සලස්වා ගැනීමෙන්  කාම ශක්තිය ඇතිවන බවත් බලවත් සතුටට පත්වීමට හැකි වන බවත්  පුරාණාචාර්ය වරුන් පවසා තිබෙනවා.
   ක්‍රීඩා කටයුතුවලදී ද දකුණු නාසයෙන් ආශ්වාස ප්‍රශ්වාසය සිදු කළ යුතුයි. ජය අත් කර ගැනීමේ අදහසින් කරන සෑම කටුත්තකදීම දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය සිදුකිරීම වාසිදායක වෙනවා.
නළ ශාස්තරය ඇතැමුන්ට විමතියට කරුණක් විය හැකි නමුත් පෙරදිග ඉපැරණි ශිල්ප ශාස්තර ආදිය වැඩිපුරම අත්හදා බලන්නේත්, ඒවායින් නිසි ඵල ලබන්නේත් බටහිර ජාතීන්ය. ඉංගිරීසි පාලන සමයේදී මෙරටින් එරටට රැගෙන ගිය ලක්ෂ ගණනක් වූ පුස්කොල පොත් නැවත මෙරටට ගෙන්වා ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කර ඇති නමුත් එය සාර්ථක වී නැත. ඒවායේ ඇති ශිල්ප ශාස්තර, ගුප්ත වෙදකම් ආදියේ වටිනාකම දන්නා බැවින් ඔවුන් ඒවා නැවත මෙරටට නොදෙයි. මෙම නළ ශාස්තාරයද පැරණි වටිනා ස්වභාවික ශාස්තරයකි.