Wednesday, March 6, 2019

රාහු කේතු මාරුව - 2019


රාහු සහ කේතු සැළකෙන්නේ ඡායා ග්‍රහයින් ලෙසට යි. ඇසට නොපෙණුන ද මොවුන් ගේ භූමිකාව සුළු පටු නෑ.

මේ සුවිශේෂී ග්‍රහයින් දෙදෙනා 2019. 03. 07 දින පෙ.ව. 10.13 ට මෙතෙක් රැඳී සිටි රාශි වෙතින් සමුගන්නවා. රාහු මිථුන රාශියටත් කේතු ධනු රාශියටත් ගමන් කරනවා. 2019.03.07 දින පටන් 2020. 09.23 දින තෙක් රාහු මිථුන රාශියේත් කේතු ධනු රාශියේත් රැඳී සිටිනවා.
මෙවර රාහු සහ කේතු ගමන් ගමන් කරන්නේ තම බලය සහ ශක්තිය උපරිම ආකාරයට විහිදුවාලිය හැකි රාශි යුගළයකට වීම සුවිශේෂ යි. මෙලෙස මොවුන් මිථුන සහ ධනු රාශි වෙත ගමන් කරන්නේ වසර 18 කට පසුවයි.

රාහු කේතු මාරුව බොහෝ දෙනෙකුට සුබදායක වනවාට කිසිම සැකයක් නෑ.

කෙසේ වෙතත්, මෙම විග්‍රහය පොදුවේ ඉදිරිපත් කරන්නක් විනා ඔබේ ජන්ම කේන්දරය ඇසුරින් ඉදිරිපත් කරන පලාපල විස්තරයක් නොවන බැවින්, ජන්ම කේන්දරයේ ග්‍රහ බල දුබලතා අනුව මෙම කරුණු වෙනස් විය හැකි බව මතක තබා ගත යුතුයි.



මේෂ ලග්නය.
මෙතෙක් කලක් ගෘහ ස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව වික්‍රමස්ථානය වෙත ගමන් කරනවා. රැකියා ස්ථානයේ රැඳී සිටි කේතු භාග්‍යස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සුබදායකයි. ගෙදර දොරේ දියුණුව වසා පැවති සියලු බාධක අවහිර, අදෘශ්‍යමාන බලපෑම් ඉවත් වෙනවා. ගෙදරදොර, දේපළ ආදියේ මනා දියුණුවක් කලඑළියක් ඇති වෙනවා. අනොන්‍ය සමගිය වර්ධනය වෙනවා.
රැකියා කටයුතුවල මනා ප්‍රගතියක් ඇති වෙනවා. ලැබෙන්නට තිබුණත් නොලැබී කල් පසු වුණු උසස්වීම්, වරප්‍රසාද ලැබෙන්න පටන්ගන්නවා. කිසිසේත්ම නොදැන සිටි උරුමයක් නිරවුල් වී හිමි වෙනවා.

වෘෂභ ලග්නය.
මෙතෙක් කාලයක් වික්‍රමස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව ධනස්ථානය වෙත ගමන් කරනවා. භාග්‍යස්ථානයේ සිටි කේතු මාරකස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව වෘෂභ ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ. ආර්ථිකයට බලපෑම් එල්ල වෙනවා. වියදම් ඉහළ යනවා. ධන හානි හා නිෂ්පල වියදම්වලටත් ඉඩ තියෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වීම වැදගත් වෙනවා. කතාව හේතුවෙන් සිත් අමනාපකම්, පාඩු සිදුවීමට ඉඩ තිබෙන බැවින් කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතුයි. වැටීම්,අනතුරු, අස්ථි බිඳීම්වලට ඉඩ තියෙනවා. අවදානම්කාරී කටයුතුවල යෙදෙන වෘෂභ ලග්න හිමියන් වඩාත් කල්පනාකාරී විය යුතුයි. වැළඳෙන සුළු අසනීපයක් වූවද ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මනින් සුව නොවීමට ඉඩ තිබෙනවා.

මිථුන ලග්නය.
මෙතෙක් කාලයක් ධනස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව ලග්න භාවය වෙත ගමන් කරනවා. මාරකස්ථානයේ සිටි කේතු විවාහස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව මිථුන ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
පුනීලයට වතුර පිරවූවා මෙන් හිස්ව ගිය ආර්ථිකය පණ ගසා නැඟී සිටිනවා. උද්යෝගය,උනන්දුව නොඅඩුව ඇතිවෙනවා. නියැලෙන ක්ෂේත්‍රය තුළ වේගයෙන් ඉදිරියට ගමන් කිරීමේ ශක්තිය ලැබෙනවා. දුරදිග නොබලා ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් විටෙක පසුතැවීමට සිදුවිය හැකි බැවින් නිවැරදි කල්පනාවෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා.
විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. යුගදිවියේ සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.
හවුල් ව්‍යාපාරවලින් වැළකිය යුතුයි.

කටක ලග්නය.
මෙතෙක් කලක් ලග්න භාවයේ රැඳී සිටි රාහු වැයස්ථානය වෙත ගමන් කරනවා. විවාහස්ථානයේ සිටි කේතු රෝගස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව කටක ලග්නයට මිශ්‍ර පල උදා කරනවා.
කටක ලග්න හිමියන්ට ආවේනික සුන්දර සිතුවිලි රටාව රාහු විසින් වසර එකහමාරක කාලයක් මුළුල්ලේ ආවරණය කරගෙන හිටියා. ඔබටම උරුම ඒ නිදහස්, මහා සිතුවිලි ගංගාව මාර්තු 7 වැනිදා පටන් නැවත පෙර පරිදි නිදහසේ ගලා යන්න පටන් ගන්නවා. හිසේ තියාගෙන සිටි මහා බරක් ඉවත් වූ තරම් නිදහසක් දැනෙන්න ගන්නවා.
ආර්ථිකය ගැන සැළකිලිමත් විය යුතුයි. වියදම් ඉහළ යන්න පුළුවන්. ණයට දුන්නොත් ආපසු නොලැබෙන්න ඉඩ තියෙනවා.
උදරාශ්‍රිත රෝග පීඩා මතුවෙන්න ඉඩ තියෙනවා.
විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වෙනවා.

සිංහ ලග්නය.
මෙතෙක් කලක් වැයස්ථානයේ රැඳී සිටි රාහු අයස්ථානය වෙත ගමන් කරනවා. රෝගස්ථානයේ සිටි කේතු පුත්‍රස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව සිංහ ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
පාලනය කරගැනීමට දුෂ්කර වී තිබුණු ආර්ථිකය යහපත් තත්වයට පත් වෙනවා. ආර්ථිකයේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. ලැබෙන්නම තිබියදීත් නොලැබී කල් ගතවුණු ලැබීම් හිමි වෙන්න පටන් ගන්නවා.
අධ්‍යාපනයේ යෙදී සිටින සිංහ ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙනවා.
ප්‍රේම සම්බන්ධතාවලට තද බල බාධක එල්ල වෙනවා. ඇසුරු කරන අය හේතුවෙන් රැවටිලිවලට ලක් විය හැකි බැවින් සැළකිලිමත් විය යුතුයි.
උදරාශ්‍රිත දැවිලි,වේදනා මතුවෙන්න ඉඩ තියෙනවා.

කන්‍යා ලග්නය.
මෙතෙක් කලක් අයස්ථානයේ රැඳී සිටි රාහු රැකියාස්ථානය වෙත ගමන් කරනවා. පුත්‍රස්ථානයේ සිටි කේතු ගෘහස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව කන්‍යා ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
රැකියා කටයුතු ඉතාමත් උද්යෝගයෙන් යුතුව කරගෙන යාමට හැකි වෙනවා. නියැලෙන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන තත්වයක් අත් කරගැනීමට ඉඩ කඩ ලැබෙනවා.
ගෙදරදොරේ සතුට සමගිය වරින් වර බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. ගෘහ ජීවිතය තුළ ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
දෙමාපියන්ට අපල බලපෑම් එල්ල වෙනවා. දෙමාපිය උරුමයන් පිලිබඳව අවුල් සහගත තත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඥාතීන් සමග විරසකතා ඇතිවෙන්නට ඉඩ තියෙනවා.

තුලා ලග්නය.
මෙතෙක් කාලයක් රැකියාස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව භාග්‍යස්ථානය වෙත ගමන් කරනවා. ගෘහ ස්ථානයේ සිටි කේතු වික්‍රමස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව තුලා ලග්න හිමියන්ට සුබදායකයි.
ගෙදරදොරේ දියුණුව,සතුට, සමගිය අවහිර කරමින් පැවති සියලු බාධා, බලපෑම් දුරු වෙනවා. පදිංචි ස්ථානය හිතට වඩාත් ප්‍රියමනාප,සැනසිලිදායක ස්ථානයක් බවට පත් වෙනවා. දුරස්ව තිබුණු ඥාති සම්බන්ධතා නැවත වර්ධනය වෙනවා. 
රැකියාවේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. ලැබෙන්න තිබුණු උසස්වීම් හා වරප්‍රසාද හිමි වෙනවා. අසීරුතා මැද කරගෙන ගිය ව්‍යාපාර දියුණුවට පත් වෙනවා.
උරුම හිමිකම් නිරවුල් වෙනවා.

වෘශ්චික ලග්නය.
මෙතෙක් කලක් භාග්‍යස්ථානයේ රැඳී සිටි රාහු මාරකස්ථානය වෙත ගමන් කරනවා. වික්‍රමස්ථානයේ සිටි කේතු ධනස්ථානය වෙත ගමන් කරනවා. 
රාහු කේතු මාරුව වෘශ්චික ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ.
මානසික සහනය අඩුවෙනවා. සිත එකලස් කරගෙන කටයුතු කරන්න අපහසු වෙනවා. මානසික නිරවුල්තාවය හොඳින් පවත්වාගැනීමට වගබලා ගත යුතුයි.
ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතුයි. ධන හානි, නිෂ්පල වියදම්, අධික වියදම්වලට ඉඩ තියෙනවා. දුරදිග නොබලා කරන මුදල් යෙදවීම්වලින් වැළකිය යුතුයි.
වැටීම් අනතුරුවලට ඉඩ තිබෙන බැවින් යහපත් කල්පනාවෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා. උෂ්ණ හා දැවිලි අසනීප පහසුවෙන් මතුවෙන්න පුළුවන්.
නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන්ගේ ණය ගණු දෙනුවලට ඇප වීමෙන් වැළකිය යුතුයි. 

ධනු ලග්නය.
මෙතෙක් කලක් මාරකස්ථානයේ රැඳී සිටි රාහු විවාහස්ථානය වෙත ගමන් කරනවා. ධනස්ථානයේ රැඳී සිටි කේතු ලග්න භාවය වෙතගමන් කරනවා. 
රාහු කේතු මාරුව ධනු ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
ආර්ථිකයේ යම් සතුටුදායක තත්වයක් ඇතිවෙනවා. තැන්පත් ධනයේ වර්ධනයක් සිදුවෙනවා. 
මානසික සහනය සතුට ප්‍රබෝධය වරින්වර අඩු වෙනවා. අන්‍යයන්ට නොපෙනෙන ආකාරයේ කනස්සලු, කළකිරීම් ඇතිවෙන්න පුළුවන්. තම කැපවීමේ හා මහන්සියේ තරමට සිතට සතුටු විය හැකි තරමේ ප්‍රතිපල උදා කරගැනීමට අපහසු වෙනවා. 
විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. විරුද්ධ ලිංගිකයින් සමග ඇතිවන සම්බන්ධතාවලදී මානසික පීඩා, මත ගැටුම් ඇතිවෙන්න පුළුවන්. යුග ජීවිත ගතකරන ධනු ලග්න හිමියන් හැකි තරම් ඉවසිලිමත්ව කටයුතු කිරීම ගුණදායක වෙනවා.
මුත්‍රා ආබාධ, අර්ශස්, සෙම් පීඩා ඇතිවෙන්න ඉඩ තියෙනවා.

මකර ලග්නය.
මෙතෙක් කාලයක් විවාහස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව රෝගස්ථානය වෙත ගමන් කරනවා. ලග්න භාවයේ සිටි කේතු වැයස්ථානය වෙත ගමන් කරනවා. 
රාහු කේතු මාරුව මකර ලග්න හිමියන්ට සුබ පල උදා කරනවා.
මානසික අසහනකාරී ගති බොහෝ දුරට දුරු වෙනවා.උද්යෝගය උනන්දුව ඇතිවෙනවා.  බාධක අවහිර තරමක් දුරු වෙනවා.තම වැඩ කටයුතුවලට අන්‍යයන්ගේ උදව් උපකාර හිමි වෙනවා.
නීති ප්‍රශ්නයක් මතු වීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන්ගේ ණය ගණුදෙනුවලට ඇප වීමෙන් වැළකීම ගුණදායක වෙනවා. ඉක්මන් තීන්දු තීරණවලින් වැළකී දුරදිග බලා කටයුතු කළ යුතුයි.
විවාහ කටයුතුවලට හා යුග ජීවිතයට එල්ල වෙමින් පැවැති අහිතකර බලපෑම් දුරු වෙනවා. 
වැටීම් අනතුරුවලට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.

කුම්භ ලග්නය.
මෙතෙක් කාලයක් රෝගස්ථානයේ රැඳී සිටි රාහු පුත්‍රස්ථානය වෙත ගමන් කරනවා. වැයස්ථානයේ සිටි කේතු අයස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව කුම්භ ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
ඒකාකාරී ගමන් මඟ වෙනස් කර නව අදහස් අනුව වෙනස් වැඩපිළිවෙලක් දියත් කිරීමට සිත පෙළඹෙනවා. උද්යෝගය උනන්දුව වර්ධනය වෙනවා. බාධක මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය උදා වෙනවා. අලුත් ආදායම් මාර්ග නිර්මාණය කරගැනීමට හැකි වෙනවා. අනපේක්ෂිත ධන ලාභවලට ඉඩ තියෙනවා.
විවේකය අඩු වෙනවා. ස්ථාන වෙනස් වීමකට ඉඩ තියෙනවා.
හදිසි ගමන් බිමන් බහුල වෙනවා. 
ප්‍රේම සම්බන්ධතාවලට බාධක එල්ල වෙනවා.

මීන ලග්නය.
මෙතෙක් කාලයක් පුත්‍රස්ථානයේ රැඳී සිටි රාහු ගෘහ ස්ථානයට ගමන් කරනවා. අයස්ථානයේ සිටි කේතු රැකියාස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව මීන ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ.
මානසික සහනය අඩු වෙනවා. ගෘහ ජීවිතය තුළ සතුට සමගිය අඩු වෙන්න පුළුවන්. ඥාතීන් සමග විරසකතා ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටළු කරදර මතුවෙන්න ඉඩ තියෙනවා.
රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙන්න පුළුවන්. රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. 
දෙමාපියන්ට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.
උත්සාහයේ හා මහන්සියේ තරමට බලපොරොත්තු වන තරමේ ප්‍රතිපල නොලැබීම හේතුවෙන් කනස්සලු ගති ඇතිවෙනවා.

          ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සිංහල අවුරුදු රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජික,

  දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.