Sunday, October 23, 2016

ස්වාමිපුරුෂයින්ගේ ග්‍රහ යෝග.

බිරින්දෑවරුන් ගේ ජීවිත ආලෝකමත් කරන ග්‍රහ යෝග 
ස්වාමිපුරුෂයින්ගේ කේන්දර තුළ 
පිහිටන්නේ මෙහෙමයි.


    විවාහයෙන් පස්සේ බැබළෙන ජීවිත වගේම විවාහයෙන් පස්සේ විනාශ වන ජීවිතත් තියෙනවා. ජීවිතයට සතුට සැනසුම උදාකරන සැමියන් වගේම ජීවිත අපායවල් බවට පත් කරන ස්වාමිපුරුෂයොත් ඉන්නවා.ජීවිතය ආලෝකමත් කරන, ජීවිතයට වාසනාව කැන්දන, සතුට සැනසුම උදාකරන සැමියෙක් ලබන්න බිරිඳක් පින් කරලා තියෙන්න ඕනෑ. සාංසාරික පුරුද්දට මා සොයා පැමිණි උතුම් පුරුෂ රත්නයක්මයි සිතා සමීප කරගන්නා සැමියන් තමන්ට පමණක් නොවෙයි මුළු පවුලටම මහා විනාශයන් බවට පත්වන අවස්ථා අද කාලයේ සුලබයි.වැරදි තෝරාගැනීම් හේතුවෙන් විඳවන බිරින්දෑවරු කොපමණ නම් සිටිනවාද...කෙසෙල් ගසට තබන මුක්කුව දුර්වල වූවොත් කෙසෙල් ගස විනාශ වන්නා සේ ජීවිතයට එක් කරගන්නා පුද්ගලයා දුර්වල වූවොත් ජීවිතයද විනාශ වෙනවා.ජීවිතයට වාසනාව කැන්දන, ජීවිතය සුවපත් කරන කරුණාබර සහකරුවෙක් තෝරා ගන්න සෑම කාන්තාවක්ම උත්සාහ ගන්න ඕනැ. ඒ සඳහා ජ්‍යොතිෂය ඇසුරින්  කෙරෙන මඟ පෙන්වීමක් තමයි මේ. 
  හැමදාම කියනවා වගේ මුළින්ම කියන්න තියෙන්නේ පොරොන්දම් ගැළපීම ගැන පමණක් අවධානය යොමු කිරීම අවදානම් සහිත බවයි. 
   පුද්ගලයෙකුගේ සාමාන්‍ය ගති ස්වභාවය, හැසිරීම, අදහස්, සිතුම් පැතුම් ආදිය ගැන ලග්න භාවයෙන් කියැවෙනවා. පුද්ගලයා ආවේගශීලී කෙනෙක්ද, කරුණාවන්ත කෙනෙක්ද, අන්‍යයන්ගේ අවවාද අදහස් වලට ගරු කරනවාද, තමන්ගේ මතයටම කටයුතු කරන කෙනෙක්ද ආදී කරුණු ලග්න භාවයෙන් ප්‍රකාශවත් වෙනවා.ඇතැම් ජ්‍යොතිෂවේදීන්ට අනුව නම් පුද්ගලයා මොන වගේ කෙනෙක් වූවත් ගැටළුවක් නෑ පොරොන්දම් විස්ස ගැළපෙනවා නම් ඒ ඇති. එවන් ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් මත වැරදි තෝරාගැනීම් කරගන්නා ඇතැමුන් ජ්‍යොතිෂයට බැන වදින අවස්ථාත් තිබෙනවා. ජ්‍යොතිෂවේදියෙක් තෝරාගැනීමේදී සැළකිළිමත් විය යුත්තේ ඒ නිසායි. 
  කරුණාවන්ත හදවතක් හිමි සැමියෙක් බිරිඳකට කිසි විටෙක තාඩන පීඩන එල්ල කරන්නේ නෑ. බිරිඳගේ අදහස්, රුචි අරුචිකම් ගැන සැළකිලිමත් වෙනවා.ඒ වගේ සැමියෙක් සමග ගත කරන ජීවිතය බිරිඳකට ඉතාමත් සුවදායක වෙනවා. සන්සුන් මානසිකත්වයකින් යුතුව කොයි දේ වුණත් සාර්ථක වෙනවා.අවුල් සහගත මානසිකත්වයකින් යුතුව කරන දේවල් සාර්ථක වෙන්නේ ඉතාමත් කලාතුරකින්. 
  මිථුන ලග්නයෙන් ඉපදිලා බුධ ලග්නයේම ඉන්නවානම්, කටක ලග්නයෙන් ඉපදිලා සඳු ලග්නයේම ඉන්නවානම්, කන්‍යා ලග්නයෙන් ඉපදිලා බුධ ලග්නයේම ඉන්නවානම්, තුලා ලග්නයෙන් ඉපදිලා සිකුරු ලග්නයේම ඉන්නවානම්, ධනු ලග්නයෙන් ඉපදිලා ගුරු ලග්නයේම ඉන්නවානම්, මීන ලග්නයෙන් ඉපදිලා ගුරු ලග්නයේම ඉන්නවානම් ඒ අය කාරුණිකයි, යුක්තිසහගතයි. කුජගෙන් හෝ රාහුගෙන් යෙදුණු බලවත් ප්‍රචණ්ඩ යෝගයක් හේතුවෙන් මිස මේ අය ප්‍රචන්ඩ, අකාරුණික තත්වයට පත්වන්නේ නෑ.
  පුරසඳු, බුධ, ගුරු, සිකුරු සුබ ග්‍රහයින් බව කවුරුත් දන්නවා. මෙම ග්‍රහයින් සතුරු හෝ නීච නොවී, වෙනත් අසුබ ග්‍රහයින් සමග සංයෝගවීමකින් තොරව ලග්න භාවයේ තැන්පත්ව සිටීම සුබදායක වෙනවා. එවැන්නන් අන්‍යයන් සමග සහයෝගයෙන්, සමගියෙන් කටයුතු කරනවා මෙන්ම අන්‍යයන්ගේ අදහස් වලටද ගරු කරනවා.මෙවැනි සැමියෙකුගේ  ඇසුර බිරිඳක් තුළ සතුට ඇතිකරනවා.
       
 ඉහත කේන්දර සටහන දෙස බලන්න. සඳු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව ලග්න භාවයේ තැන්පත්ව සිටිනවා. කේන්දරයේ හිමිකරුවා කාරුණිකයි. සිව් වැන්නේ සිකුරු ග්‍රහයා බලවත්ව බුධ ග්‍රහයා සමග සංයෝග වී සිටිනවා. ඒ හේතුවෙන් මොහු විනෝදයෙන්, සැහැල්ලුවෙන්  නමුත් ගෙදරට ඉතාමත් හිතවත්ව කල් ගෙවනවා.බිරිඳට සහ දරුවන්ට ඉතාමත් ලෙන්ගතුයි.
  අද කාලයේ බොහෝ දෙනෙක් කාමයට ඉතාමත් තදින් පෙළඹෙනවා. සීමාව ඉක්මවා ක්‍රියාත්මක වන කාමාශාව හේතුවෙන් බිඳ වැටෙන පවුල් ජීවිත ප්‍රමාණය සුළුපටු නෑ. අනියම් සම්බන්ධතා වෙත යොමු වන සැමියෙක් ලබන බිරිඳක් සැම විටම සිටින්නේ දුකින් කණස්සල්ලෙන්. රණ්ඩු සරුවල් වල කෙළවරක් නෑ. පවුල් ජීවිතය අපායක් බවට පත් වෙනවා. අසීමාන්තික කාමාශාවක් ඇතිකරවන ග්‍රහ යෝග " අති ධාවන කාම යෝග" ලෙස හඳුන්වනවා.විවාහය සඳහා අයෙක් තෝරා ගැනීමේදී ඔහු ගේ කේන්දරය තුළ "අති ධාවන කාම යෝග" සටහන්ව තිබේදැයි විමසිලිමත්වීම වැදගත් වෙනවා.මොනතරම් යහපත්, ආකර්ශනීය පෙනුමක් තිබුනද ඔහු තුළ පාලනය කරගැනීමට අපහසු තරමේ කාමාශාවක් තිබෙන්නේ නම් යුග දිවිය ගැටළුකාරී වීම නොවැළැක්විය හැකියි. කේන්දරය තුළ ලග්නාධිපති ග්‍රහයාත්, ගුරු ග්‍රහයාත් දුර්වල නොවී යහපත් තත්වයක සිටින්නේ නම් තම ගෞරවය බිඳ වැටීමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීමේ හැකියාව ඔහු සතුව පවතිනවා.
    කෙනෙකුගේ කතාව, භාවිතා කරන වචන මොන වගේදැයි හෙළි කරන්නේ කේන්දරයේ දෙවැනි භාවයයි. ඇතැමුන්ගේ වදන් ඉතාමත් කටුකයි. අතකින්, මුගුරකින් එල්ල කරන පහරකට වඩා දරුණු, ම්ලේජ්ජ ප්‍රහාරයන් ඇතැමුන් වචන මගින් එල්ල කරනවා. දෙවැනි භාවයේ තැන්පත්ව සිටින සිකුරු ග්‍රහයා  අන්‍යයන්ගේ සිත් ආකර්ෂණය වන ආකාරයේ කතා විලාශයක් උරුම කරදෙනවා. විඩාබර සිතක් එක වචනයකින් සුවපත් කළ හැකියි. එක වචනයකින් ජීවිතයක්   කළකිරීමට පත් කළ හැකියි. සඳු, සිකුරු, බුධ ග්‍රහයින් දෙවැන්නේ තැන්පත්ව සිටින කේන්දර හිමි සැමියන් බිරින්දෑවරුන්ගේ සිත් ආදරබර වචන වලින් අමන්දානන්දයට පත්කරනවා.පුරුෂ කේන්දරයේ  දෙවැනි භාවය විවාහයේ පැවැත්මට බලපාන ප්‍රධාන ස්ථානයක් වෙනවා. දෙවැනි භාවය සුබ ග්‍රහයින් අනුසාරයෙන් බලවත් වීම ප්‍රීතිදායක යුග දිවියක් උරුමවීමට හේතුවෙනවා.
      විවාහය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැදගත්වන ස්ථානය හත් වෙනි භාවය යි. සුබ ග්‍රහයින් පාප සංයෝග වලින් තොරව හත් වෙනි  භාවයේ තැන්පත්  වීමෙන්  බිරිඳට සුබ ඵල උදා වෙනවා. මේෂ ලග්නයෙන් ඉපදිලා සිකුරු හත් වෙනි භාවයේ තැන්පත්වීම, සිංහ ලග්නයෙන් ඉපදිලා සිකුරු හෝ බුධ හත් වෙනි භාවයේ තැන්පත්වීම, වෘශ්චික ලග්නයෙන් ඉපදිලා සිකුරු හත් වෙනි භාවයේ තැන්පත්වීම, ධනු ලග්නයෙන් ඉපදිලා බුධ සිකුරු හත් වෙනි භාවයේ තැන්පත්වීම, මකර ලග්නයෙන් ඉපදිලා පුරසඳු හත් වෙනි භාවයේ තැන්පත්වීම, කුම්භ ලග්නයෙන් ඉපදිලා සිකුරු හත් වෙනි භාවයේ තැන්පත්වීම, මීන ලග්නයෙන් ඉපදිලා බුධ හත් වෙනි භාවයේ තැන්පත්වීම ඉතාමත් සුබදායකයි. මෙවන් සැමියෙක් ලබන බිරිඳක් පෙර පින් හිමි වාසනාවන්ත තැනැත්තියක්මයි.
    


ඉහත කේන්දරයේ විවාහස්ථානය ග්‍රහයින් දෙදෙනෙකුගෙන් පෝෂණය වන ආකාරය බලන්න. විවාහස්ථානයේ තැන්පත්ව සිටින සිකුරු ග්‍රහයා පළමු වැන්නේ සිටින සඳුගේ සප්ථම දෘෂ්ටියට ලක්වෙනවා. මනා වාසනා බලයක් කේන්දරය තුළ සටහන්ව ඇති අතර මෙම ග්‍රහ බලය බිරිඳගේ වාසනා බලයද  වර්ධනය කරනවා.
   සෙනසුරු යන නම ඇසූ පමණින් ඇතැමුන් බියට පත්වෙනවා. නමුත් විවාහස්ථානයේ යහපත් අයුරින් තැන්පත් වන සෙනසුරු ඉතාමත් යහපත් යුග ජිවිතයක් උරුම කර දෙනවා. එමෙන්ම යමෙකුගේ හත් වැන්නේ සුබදායක අයුරින් තැන්පත්ව සිටින සෙනසුරු තම බිරිඳට මනා වාසනා බලයක් මතුකොට දෙනවා. විශේෂයෙන්ම මේෂ ලග්නයෙන් ඉපිද හත් වැන්නේ සෙනසුරු තැන්පත් වීම ඉතාමත් සුබදායකයි.සෙනසුරු හත් වැන්නේදී  දිග්බලයෙන් යුක්ත වන බව ඉසිවර මතයයි. 
පහත කේන්දර සටහන එයට හොඳම උදාහරණයකි. කේන්දරයේ හිමිකරුවා රටේ ඉහළම තනතුරකට පත් වූ අයෙකි.



 විවාහස්ථානාධිපති ග්‍රහයා සුබ ස්ථානයක, සුබ ග්‍රහයින්ට මැදිව, පාප සංයෝගයෙන් තොරව පිහිටීමද බිරිඳට සුබදායක වෙනවා. එසේ සුබ ස්ථානයක, සුබ ග්‍රහයින්ට මැදිව සිටින හත් වැන්නාධිපති ග්‍රහයා සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටියට ලක්වීමද ඉතාමත් සුබදායකයි. මෙවන් ග්‍රහ තත්වයක් සටහන්ව ඇති ජන්ම පත්‍රයක් හිමි සැමියෙක් ලබන බිරිඳක් ඉතාමත් වාසනාවන්තයි.
     අනිත් කේන්දරයේ ග්‍රහ පිහිටීම් තුලින් තමන්ට කුමනාකාරයේ බලපෑම් එල්ල වන්නේදැයි   විවාහය සඳහා කේන්දර පරීක්ෂා කරගැනීමේදී අසා දැනගැනීමට අමතක කරන්න එපා.