Friday, December 16, 2022

 



වසර දහස් ගණනක ඉඳලා මිනිස්සුන්ට කියල තියෙනවා විශ්වාස කරන්න කියලා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා විශ්වාස කරන්න. 

සියලු ආගම් මිනිස්සුන්ට කියල තියෙන්නෙ විශ්වාස කරන්න කියල. ඊට කාලෙකට පසුව බිහි වුණු දේශපාලන චරිත මිනිස්සුන්ට කිව්වෙත් විශ්වාස කරන්න කියල. ආගම අබිං වගේ...ආගම මිනිස්සුන්ව මත් කරනවා. නියම ආගම සමාජවාදයයි. විශ්වාස කළ යුත්තේ සමාජවාදයයි කියල කිව්වා. ඊළඟට විද්‍යාව කිව්වා සියලු දේ මිත්‍යාවයි විද්‍යාවෙන් සොයගත්තු දේ ඇත්තයි කියල. ඊට පස්සෙ තව විද්‍යාඥයෙක් කියනවා ඒ මතය දැන් වැරදියි...හරිම දේ ඔන්න මම හොයාගත්තා කියල. ඊට පස්සෙ තවත් විද්‍යාඥයෙක් කියනවා...ඒ සියල්ලම නෙමෙයි දැන් තමයි හරිම ඇත්ත හොයාගත්තේ....කියල. ඔය විදියට තව තවත් විද්‍යාඥයෝ තමන්ගෙ අලුත් මතය විශ්වාස කරන්න කියනවා. හැමෝම කියනවා වෙන කිසි කෙනෙක්ව නෙමෙයි තමන්ව විශ්වාස කරන්න කියල. ඔය විදියට "විශ්වාස කරන්න" කියල කියපු සහ කියන අය මිනිසාව සෑම දිශාවකටම ඇදලා, මනස අවුල් ජාලයක් බවට පත් කරල තියෙනවා. අදටත්...මිනිස්සු ඉන්නෙ විශ්වාසවල. අදටත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නිහඬවම විශ්වාස කරන්න.

නිවැරදි පිළිවෙත විශ්වාස කිරීමෙන් මිදී අවබෝධයට පත්වීමයි. කවුද මිනිසා අවබෝධයයේ දිසාවට ගෙනියන්නෙ....? මම විශ්වාස කරන්න, අපිව විශ්වාස කරන්න, අපේ ආගම විශ්වාස කරන්න, අපේ පක්ෂය විශ්වාස කරන්න, අපේ දර්ශනය විශ්වාස කරන්න කියන කවුරුවත් අවබෝධ කරගන්න කියල කියන්නෙ නෑ. ඒ හැමෝම කියන්නෙ ඒගොල්ලන්ගෙ ඇස්වලින් හැමෝම දකින්න ඕනැ කියලයි. තමන්ටම කියල ඇස් දෙකක් ඕනැ නෑ කියල ඒ අය කියනවා. ඔබව විශ්වාසය තුළ රඳවා ගැනීමට උත්සහ කරන කවුරුවත් කැමති නෑ ඔබ ඔබේ ඇස්වලින් දකිනවට.

විශ්වාස කරන කාටවත් කිසි දවසක අවබෝධයට පත් වෙන්න හැකියාවක් නෑ. නිහඬවම පිළිගන්න කාටවත් තමන්ගෙම කියල අත්දැකීමක් විඳගන්න බෑ. ආලෝකයක් තියෙනවා කියල අනිත් අය කියන කොට... ආලෝකයක් තිබිය යුතුයි කියන මතයේ එල්බගන්නා අන්ධයින්ගේ ගමන එතැනින්ම ඉවරයි.

විශ්වාස කිරීම විනාශදායකයි. විශ්වාස කිරීම කරගෙන යන තාක් කල් ඔහු සූරාකෑමට ලක් වෙනවා. විශ්වාස කිරීම කරගෙන යන තාක් ඔහු වහල් භාවයක ගත කරනවා. විශ්වාස කරන තාක් ඔහු ඉන්නෙ හිර වෙලා. අවාසනාවට...බහුතරයක් දෙනා විශ්වාසය අත හැරලා තවත් විශ්වාසයක බැඳෙනවා මිසක් විශ්වාස කිරීමෙන් මිදෙන්නෙ නෑ. හරියට...උරහිසේ දරාගෙන යන බරක් වමට දකුණට මාරු කරනවා වගේ.

තමන්ට සත්‍යය දීමට තව කෙනෙකුට හැකියි යන මතයේ ඉන්න තාක් ඔහු වහල් භාවයක හිර වෙනවා.හැමෝමට තියෙන්න ඕනැ තමන්ගෙම වූ අවබෝධයක්. තමන්ගෙම වූ අවබෝධයක් ලබන්න නම් භාහිරින් සපයන විශ්වාසයන් අයින් කරන්න වෙනවා. භාහිරින් සපයන විශ්වාසයන් අදහස් ඒ විදියටම පිළිගන්න තාක් කල් ඔහුට ඇතුලාන්තයෙන් මතුවෙන අවබෝධයක් ලබන්න බෑ.

පැවැත්මේ ගැටලුවලින් නිදහස් වීමේ මාර්ගය ආගමිකයෙක් වීමවත්, සමාජවාදියෙක් වීමවත්, ෆැසිස්ට්වාදියෙක් වීමවත් නෙමෙයි. පැවැත්මේ ගැටලුව විශ්වාසයයි. විශ්වාස කරන තාක් නිදහස් වීමක් නෑ. පැවැත්මේ ගැටලුවලින් නිදහස් වීමේ මාර්ගය විශ්වාසයන් නිදහස් වීමයි.

විශ්වාසයෙන් මිදීම කියන්නෙ අවිශ්වාස කිරීම නෙමෙයි. විශ්වාසය හා අවිශ්වාසය කියන්නෙ සමාන දේවල්. විශ්වාසය තුළ සිර වීම වගේම තමයි අවිශ්වාසය තුළ සිර වීමත්. විශ්වාසය හා අවිශ්වාසය අතර හිටගෙන ඉන්න ඉන්න පුළුවන් නම් අවබෝධයට, පූර්ණත්වයට පත් වෙන්න පුළුවන් වෙයි. පැවැත්ම මධ්‍ය ලක්ෂ්‍යකට ගෙන එන්න පුළුවන්කම ලැබෙයි.

සංජීව කුළුපන බණ්ඩාර.




Wednesday, November 9, 2022

 


සිත එහෙමත් නැත්නම් මනස හරියට දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණක් වගෙයි. ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයක් වගේය කියල කියන්නත් පුළුවන්. මේ සම්ප්‍රේක්ෂණ කුළුණු ඉලෙක්ට්‍රොනික තරංග අවශෝෂණය (Receiving) කරගන්නවා. ඒවගේම ඉලෙක්ට්‍රොනික තරංග මුදාහරිනවා (Transmisson). මනසේ ස්වභාවික ක්‍රියාවලිය ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයකට එහෙමත් නැත්නම් දුරකථන සම්ප්‍රේක්ෂණ කුලුණකට සමාන කරන්න පුළුවන්. 


සංඛ්‍යාතය (Frequency) ගැන හැමදෙනාම වගේ අහල තියෙනවා. විද්‍යාව ඉගෙනගත්තු අය සංඛ්‍යාතය ගැන දන්නවා. සංඛ්‍යාතය කියන්නෙ පුනරාවර්ත  සිදුවීමක ඒකක කාලයකදී  සිදුවන කම්පන සංඛ්‍යාව යි කියල තමයි උගන්වන්නෙ. සරලව කියනවා නම් 'කම්පන ප්‍රමාණය' කියල කියන්න පුළුවන්. ලෝකයේ ජීව අජීව සෑම සියලු දෙයකම සංඛ්‍යාතයක් තියෙනවා. ජීවීන්, ගහකොළ,ශබ්දය,ආලෝකය,සිතුවිලි මේ හැම දෙයකම සංඛ්‍යාතයක් තියෙනවා. සංඛ්‍යාතය මණින ඒකකය හර්ට්ස් (Hz) කියල හඳුන්වනවා.



නිශ්චිත තරංග මාලා ලබාගැනීමට වගේම නිශ්චිත තරංග මාලා සම්ප්‍රේෂණය කිරීමට ඒ ඒ තරංග සංඛ්‍යාතවලට අනුගත වෙන්න ඕනැ. ඒ කියන්නෙ සංඛ්‍යාත ගළපාගන්න වෙනවා. අපි මේ ජීවත්වෙන ලෝකය හඳුන්වන්නෙ තුන්වැනි පරිමානීය ලෝකය කියලයි. අපගේ මනස් සුසර වෙලා තියෙන්නෙ මේ තුන්වැනි පරිමානීය ලෝකයේ තරංග සංඛ්‍යාතයන්ට අනුකූලවයි. අපි උපදින්නෙම මේ ලෝකයට ගැළපෙන සංඛ්‍යාතයක් අරගෙනමයි. අපිට නොපෙනෙන දේවල්, නොඇසෙන ශබ්ද, නොදැනෙන දේවල් බොහොමයි. අපට ඇසෙන ශ්‍රව්‍ය සංඛ්‍යාතයක් වගේම පෙනෙන දෘශ්‍ය සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සීමාවෙන් පිටත දේවල් දැකගැනීමේ හෝ ඇසීමේ හැකියාවක් නෑ. අපට ඇහෙන්නෙ Hz 20 - Hz 20000 අතර ශබ්ද පමණයි. Hz 20 ට අඩු ශබ්ද අපට ඇහෙන්නෙ නෑ.  අපට නොඇසෙන ශබ්ද ඇසීමේ හැකියාව, අපට නොපෙනෙන දේවල් දැකීමේ හැකියාව සමහර සතුන්ට තියෙනවා.  ඒ හැකියාව තියෙන අය මනුෂ්‍යයින් අතරත් ඉතාමත් අල්ප වශයෙන් ඉන්නවා. ලෝක ජනගහණයෙන් සියයෙන් එකකට පාරජම්බූල කිරණ පෙනෙනවා. ලෝක ජනගහණයෙන් දාහෙන් එකකට අධෝරක්ත කිරණ පෙනෙනවා. ප්‍රේත ආත්ම වැනි අමනුෂ්‍යයින් දැකගැනීමේ හැකියාව ඇති අය, ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති අයත් ඉන්නවා. එය මනස නිශ්චිත සංඛ්‍යාතයට උවමනාවෙන් සුසර කර ගැනීමෙන් ලැබෙන ශක්තියක් නොවුණත් අදාල සංඛ්‍යාතයට ස්වභාවිකව සුසර වීමක් විදියට හඳුන්වන්න පුළුවන්. එවන් හැකියාවන් කලෙක ඇතිවී නැවත නැතිවී යන අවස්ථා වැඩියි.


අපි අහලා තියෙනවා "මාර්ග ඵල" ගැන. සෝවාන්,සකෘදාගාමී, අනාගාමී, අරහත් කියල මාර්ග ඵල 4 ක් තියෙනවා. ඒ වගේම බුද්ධත්වය නැත්නම් 'බුද්ධ' කියල ස්වභාවයක් තියෙනවා. මේ මාර්ගඵල කියන්නෙත්, බුද්ධත්වය කියන්නෙත් විශේෂ සංඛ්‍යාත මට්ටම්. බුද්ධත්වය එහෙමත් නැත්නම් බුද්ධ ස්වභාවය කියන්නෙ ඉහළම සංඛ්‍යාත මට්ටම විදියට හඳුනාගන්න පුළුවන්. මේ සියලු මාර්ගඵල ලැබෙන්නෙ අවබෝධය තුලින්. අවබෝධය ඇති වෙන්නෙ මනස තුළ මිසක් භාහිර කොහෙවත් නෙමෙයි. විශ්වාස කරන යමෙකුට අවබෝධයට පත් වෙන්න බෑ. සියලු විශ්වාසයන් බැහැර කරලා තමයි අවබෝධය ලබාගන්නෙ. අවබෝධය ඇතිවෙනවා කියන්නෙ තරංග සංඛ්‍යාත මට්ටම ඉහල තත්වයකට පත් වෙනවා කියන එකයි. අපි දන්නවා 2G, 3G,4G, 5G කියල තාක්ෂණයන් තියෙනවා. 5G තාක්ෂණය ( fifth-generation technology) සෙසු තාක්ෂණයන්ට වඩා වේගවත් බවත්, එහි සංඛ්‍යාත ගොඩනැගිලි හා තාප්ප හරහා බාධාවකින් තොරව වැඩි දුරකට සම්ප්‍රේෂණය කල හැකි බවත් කියනවා. ගොඩනැගිලි, තාප්ප වගේ දේවල් හරහා බාධාවකින් තොරව ගමන් කරනවාය කාරණය මෙතැනදි වැදගත් වෙනවා. ඒ සංඛ්‍යාත පරාශයේ වැදගත්කම, ශක්තිය ගැන තමයි මේකෙන් කියැවෙන්නෙ.


මීට වසර දහස් ගණනකට පෙර අද අපි අත්විඳින ආකාරයේ සන්නිවේදන තාක්ෂණයන් තිබුණු බවට සාක්ෂියක් හෝ සඳහනක් නෑ. භාවනා ක්‍රම මඟින්, ධ්‍යාන වැඩීමෙන්, මානසික තත්වය දියුණු කිරීමෙන් සිදු කළායැයි කියන අනුන්ගේ සිත් කියැවීම, ගුවනේ ගමන් කිරීම, ජලය මතුපිට ගමන් කිරීම, සිටින තැනින් තවත් තැනක පෙනී සිටීම ආදී නොයෙක් දේවල් ගැන සඳහන් වෙනවා. භාවනා කිරීම කිව්වත්, ධ්‍යාන වැඩීම කිව්වත්, මනස නැත්නම් සිත දියුණු කීරීම කිව්වත් මේ කියන්නෙ මනස නිශ්චිත තරංග සංඛ්‍යාතයකට සුසර කරනවාය කියන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. අද තාක්ෂණය මඟින් අත්විඳින විශ්මයජනක අත්දැකීම් එදා තමන්ගෙ මනස නිසි සංඛ්‍යාතවලට සුසර කරගැනීමෙන් නොයෙක් හාස්කම් දක්වා ඇති බව තේරුම් ගන්න පුළුවන්.


ලෝකයේ සෑම සියලු දෙයකම තරංග සංඛ්‍යාතයක් තියෙනවා. ගස් වැල්වලත් තරංග සංඛ්‍යාතයක් තියෙනවා. ගෞතම බුදුන් වහන්සේ සෙවන දුන් ගස බෝ යනුවෙන් හඳුන්වනවා. එය ඇසතු වෘක්ෂය වුණත් බුද්ධත්වයේදී උපකාරී වුණු බැවින් බෝ හෙවත් බෝධි යනුවෙන් හඳුන්වනවා. අදටත් බොහෝ දෙනා බෝධි පූජා පවත්වමින් බෝ ගසෙන් පිහිට අපේක්ෂා කරනවා. යහපත් සිතින් ගස් සමඟ කරන සෑම කටයුත්තක්ම සංඛ්‍යාත ගණුදෙනුවක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙතනදී වඩාත් වැදගත් වෙන්නෙ සිතුවිලි මිසක් වචන නෙමෙයි. කරුණාව මෛත්‍රිය ඔස්සේ සිතුවිලි තරංග සුසර කරගැනීම තුළින් තමයි නිසි ආශීර්වාදය ලැබෙන්නෙ. එතකොටයි ඒ ගණුදෙනුව ඵලදායක වෙන්නෙ. වචන කියන්නෙ ප්‍රාථමික මාධ්‍යයක්. උසස්ම සන්නිවේදනය, දිව්‍යමය සන්නිවේදනය සිද්ද වෙන්නේ සිතුව්ලි හරහා මිසක් වචන හරහා නෙමෙයි. ඒවගේම තමයි ඔය ගණුදෙනුව කරන්න පුළුවන්කම තියෙන්නෙ බෝධිය සමඟ හෝ අටවිසි බෝධීන් වහන්සේලා සමඟ පමණක් නෙමෙයි. ඕනෑම වෘක්ෂයක් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ජ්‍යොතිෂයේ ඒ ඒ ග්‍රහයින්ට වෘක්ෂ වෙන් කරලා තියෙන්නෙත් ඒ ගණුදෙනුව සඳහා තමයි. ඒ ඒ ග්‍රහයින්ගෙ බලපෑම් නිවේදනය කරන කාලවලදි සිතුවිලි තරංග රටාව සංහිඳියාවකට පත්කරගන්න ඒ ගස් සමඟ අවබෝධයෙන් කළ යුතු සිතුවිලි ගණුදෙනුව නැත්නම් සංඛ්‍යාත ගණුදෙනුව ඉසිවරු පැහැදිලි කරලා තියෙනව.



නිශ්චිත තරංග සංඛ්‍යාතයන්ට අනුව මනස සුසර කරගන්න නම් භාවනා කරන්න වෙනවා. භාවනා කිරීම ආගමකට අයත් දෙයක් නෙමෙයි. ආගම්වලත් භාවනා විධි තියෙනවා. බුදු දහමේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ආදී වශයෙන් නම් කළ ඥාන මට්ටම් තියෙනවා. එහෙම නම් නොකළත්, එවන් ඥාන මට්ටම්වලට පත් වුණු බොහොමයක් දෙනා මේ මොහොත වෙන කොටත් කොපමණ ඉන්න පුලුවන්ද...භාවනාව එහෙමත් නැත්නම් මානසික සුසරණය කියන්නෙ නිවන ඉලක්ක කරගෙනම කරන දෙයක් නෙමෙයි. නොයෙක් අරමුණු වෙනුවෙන් මනස සුසර කරගන්න පුළුවන්. ලෞකික අරමුණු සාක්සාත් කරගැනීම, සුවය ආරක්ෂා රැකගැනීම, ආරක්ෂාව සලසා ගැනීම, අන්‍යයන්ට සුවය,යහපත සැලසීම, නොපෙනෙන බලවේග සමඟ සන්නිවේදනය කිරීම වගේ නොයෙක් අපේක්ෂා පෙරදැරිව භාවනාවේ යෙදෙන්න පුළුවන්.


සියල්ල එක ලිපියකට ගොනු කරන්න අපහසු හින්දා ලිපිය අවසන් කරන්න මත්තෙන් එක භාවනා ක්‍රමයක් සඳහන් කරන්නම්. මේ මොහොත තුළ ඒකාත්මික වීම. අතීතයෙත් නෙමෙයි, අනාගතයෙත් නෙමෙයි මේ මොහොත තුළ සිටීම. මේ මොහොත තුළ අවදියෙන් සිටීමේදී චුට්ටකට කලින් වෙච්චි දෙයක්වත් හිතට එන්න බෑ. ඉගෙනගත්තු දේවල්, පොතක තිබුණු දේවල්, දැනුම මොනවත් මතකයට නැඟෙන්න බෑ.  ඒවා අතීතයෙන් ගේන දේවල්. හෙට යන්න තියෙන ගමන්, කරන්න තියෙන දේවල් ඔලුවට එන්න බෑ. එහෙම වුණොත් ඉන්නෙ අනාගතයෙ. මේ මොහොත තුළ සිහියෙන් අවදියෙන් ඉන්න කොට ප්‍රශ්න නෑ, දුකක් නෑ, පසු තැවීමක් නෑ, ඔලුවට කිසිම බරක් නෑ. පුදුම සුවයක් දැනෙයි. සිරුර සැහැල්ලුවට පත් වෙන බව අත්විඳින්න ලැබෙයි.
හැබැයි ඇබ්බැහි වෙයි.ඒක තමයි වෙන්න ඕනැ. ප්‍රතිලාභ මදි නොකියන්න ලැබෙයි.

අපි මේ ගැන නැවත වැඩි දුර කතා කරමු. 
ඔබට යහපතක්ම වේවා.

සංජීව කුළුපන බණ්ඩාර.

Saturday, October 15, 2022

තන්ත්‍ර.

 

ඉහළම සහ පහළම යනු එකම අඛන්ඩතාවක කොටස් දෙකකි.වස හා අමෘතය ද එකම ශක්තියේ දෙපැත්තකි. ජීවිතය හා මරණය ද එසේය. සර්පයා සහ ගැලවුම් කරු යනු ද දෙදෙනෙකු නොවේ.දහවල හා රාත්‍රිය, ආදරය හා වෛරය මේ සියල්ල එසේය. ජීවිතය උපරිමයෙන් වින්දනය කළ යුතුය. ආශාවන් යටපත් නොකළ යුතුය. ඒ "තන්ත්‍ර" නම් වේ. තන්ත්‍ර යනු අවුරුදු දහස් ගණනකට පෙර බිහි වුණු විද්‍යාවකි. පුහුණුවකි. තාක්ෂණයකි. තන්ත්‍ර යනු සාකල්‍යයේ (සමස්ත බවේ) මාවතයි.


තන්ත්‍රවල නැසීමක් නෑ. මැඩපැවැත්වීමක් නෑ. වෛරය, කෝපය,රාගය වගේම වෙනත් කිසිම හැඟීමක් ආවේගයක් හෝ ආශාවක් නැසීම හෝ මැඩපැවැත්වීම තන්ත්‍ර අනුව භයානක යි. කළ යුත්තේ පරිවර්තනය කිරීම යි.  


"සෑම දෙයක්ම පිටතින් නොව ඇතුලතින් පැමිණේ. ඔබ යමක් මැඩපවත්වන විට එය එළියට මතුවීමට නව මාර්ගයන් සොයා ගනීවි. අලුත් සංකීර්ණතාවන් නිර්මාණය වෙයි. මැඩපවත්වනු ලබන සිතුවිලි විනාශ නොවේ.එය ඔබේ ගැඹුරු ඇතුළාන්තයට ගමන් කරයි. ඔබ එය වඩ වඩාත් මැඩපවත්වන විට එය වඩාත් ගැඹුරට ගමන් කොට ඔබ කෙරේ වඩාත් දැඩි බලපෑමක් එල්ල කරයි..."  තන්ත්‍ර පවසන්නේ ඒ විදියට.  ආවේගයක් හෝ ආශාවක් මැඩපැවැත්වීම හරියට කන්දකින් මතුවුණු උල්පතක් වහනවා වගේ වැඩක්. උල්පතක් වැහුවොත් ඒක උල්පත් රාශියක් බවට පත්වෙලා කන්දෙන් එළියට එන්න හදයි. එහෙමත් නැත්නම් මහා ජල කඳක් විදියට කන්දත් එක්කම නාය යයි.


තන්ත්‍ර කිව්වම ගොඩක් දෙනෙක් දන්නෙ, අහල තියෙන්නෙ "තන්ත්‍ර සෙක්ස්" ගැන විතරයි. තන්ත්‍ර සෙක්ස් කියන්නෙ බටහිර ලෝකයේ ව්‍යාප්ත වුනු රැල්ලක්. ඒ අය අල්ලගත්තෙ තන්ත්‍රවල "සෙක්ස්"පැත්ත විතරයි. ඒක 1900 දී විතර සිද්ද වෙච්චි දෙයක්. පියරේ බර්නාඩ් ආරම්භ කරපු නියෝ තන්ත්‍ර ව්‍යාපාරය හරහා බටහිර ලෝකයේ තන්ත්‍ර ව්‍යාප්ත වුණා. හැමදාම එකම විදියට අත්විඳපු ලිංගික සුවය "නොනිමි" තත්වයකට පත්කරගැනීමේ අරමුණින් ඒ අය තන්ත්‍ර භාවිතා කරන්න පටන්ගත්තා. 


බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200 කට පමණ පෙර උපන් සරහපාද හිමියන් තමයි බෞද්ධ තන්ත්‍රයේ ආරම්භකයා විදියට සැළකෙන්නෙ. බෝධිධර්ම හිමියන්ගෙ න් ඇරඹි සෙන් දහම හා තන්ත්‍ර අතර කිට්ටු සම්බන්ධයක් පැවතුණත් ටිබෙට් රටේ තමයි තන්ත්‍ර හොඳින්ම ව්‍යාප්ත වුණේ. අදටත් ටිබෙටයේ තන්ත්‍ර සුපිෂ්පිතව පවතිනවා.


තන්ත්‍රයේ කියවෙන්නෙ "සැබෑ මිනිසා සොයාගැනීමට නම් ඔබ 'මූලය' වෙතටම ආපසු යා යුතු බවයි. පුද්ගලයෙකු වඩාත් ශිෂ්ටසම්පන්න වූ තරමට  ඒ පුද්ගලයාට තාන්ත්‍රික පරිවර්තනය සිදුවීමට ඇති ඉඩකඩ අඩු යි. වඩාත් ශිෂ්ට වූ විට, ප්ලාස්ටික් බවට පත් වූ විට ඔබ කෘතීම බවට පත් වෙනවා. ඕනැවට වඩා හැදිච්චි අයෙකු බවට පත් වූ විට පොළොවට සම්බන්ධ ඔබගේ මුල් ගැලවී යනවා.එවිට මේ ලෝකය නමැති මඩ ගොහොරුවට බය වෙලා මෙලොව නොසිටින්නෙකු ලෙස පෙන්වීමට ඔබ පටන්ගන්නවා. තන්ත්‍රයේ  සඳහන් වෙන්නෙ ඔන්න ඔහොමයි. 


තන්ත්‍ර කියන්නෙ ස්වර්ගය හෝ දිව්‍යලෝකය යා යුතු තැන් නොව ඒවා තමන් වෙත ගෙන්වා ගත යුතු බවයි. ඒ කියන්නෙ, ස්වර්ගය, දිව්‍යලෝකය ජීවිතය තුළ නිර්මාණය කරගන්න ඕනැ කියන එකයි.විඥානය වෙනස් කරගැනීමෙන් දිව්‍යලෝකය,ස්වර්ගය ජීවිතය තුළ නිර්මාණය කරගන්න පුළුවන්.  තන්ත්‍ර කියන විදියට නිවන තියෙන්නෙ සසර කෙළවර නෙමෙයි, සසර තුළම යි. සංසාරය තුළම නිර්වාන මොහොතක් පවතින බව කියනවා.


තන්ත්‍ර උගන්වන්නෙ ආශාව සමඟ අවදියෙන් ඉන්න කියලා. ආශාව එක්ක කිසිම සටනක් කරන්න හොඳ නෑ. උපරිම අවදියෙන්, හොඳ සිහියෙන් ආශාව තුළ හැසිරෙන්න ඕනැ. එහෙම කරන කොට ආශාව ඉක්මවා යන්න පුළුවන් වෙනවා. තන්ත්‍ර කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. සියල්ල භාරගන්නවා. ගැලී සිටීම හා පලායාම දෙකම යාන්ත්‍රිකයි. යාන්ත්‍රික දේවල්වලින් ඉවත් වෙන්න පුළුවන් වෙන්නෙ අවදියෙන් සිටීමෙන් පමණයි. කිසිම දෙයක් ප්‍රතික්ෂේප නොකර, බියක් නැතුව ගැඹුරින් එබී බලන්න ඕනැ. තන්ත්‍ර කියන්නෙ ජීවිතයේ යථාර්තය සමඟ මුහුණට මුහුණ මුණගැසීමක්.


සත්‍යය ඔබව නිදහස් කරනවා.  අවබෝධ කරගැනීමෙන් ඔබ නිදහස් වෙනවා. දැනගැනීම හෙවත් අවබෝධය යනු විමුක්තිය යි. එසේ නොමැතිව ඔබ ඇබ්බැහි වී සිටියත්  යටපත් කරගෙන සිටියත්  ලැබෙන්නේ එකම ප්‍රතිඵලයම යි.  ඔබ අතහරින්න ඕනැ බිය පමණයි. නොබියව යථාර්තය දෙසට එබී බලන්න. ඔබ සොරෙකු නම් ඒ තුළට කිමිදී බලන්න. ඔබ කෝපාවිෂ්ට අයෙක් නම් ඒ තුළට දිරියෙන් එබී බලන්න. ඔබ දැඩි ලොභයෙක් නම් ඒ තුළට නොබියව එබී බලන්න. ඔබ විවෘත මනසින් ඔබේ කුමන මානසික තත්වයක් තුළට වූවද නොබියව කිඳා බැසිය හැකි නම් ඔබ එයින් නිදහස් වෙයි. ඔබේ ශාරීරික අවශ්‍යතාවලට සවන් දෙන්න. ශරීරයට සවන් දෙන්න. ඒවා මඟහැර නොයන්න. ඒ අවශ්‍යතා තුළට යන්න. ඒවා ආදරයෙන් ගවේෂණය කරන්න. මනස සමඟ මිතුරු වෙන්න. සිරුර සමඟ මිතුරු වෙන්න. ඒ කිසිවකට විරුද්ධ නොවෙන්න.  ඒ තන්ත්‍ර ඉගැන්වීම යි. 


තන්ත්‍ර කියන විදියට "විශ්වාස කරන මිනිස්සුන්ට කිසිම අවබෝධයකට පත්වෙන්න බෑ." නිහඬවම පිළිගන්න මිනිස්සුන්ට තමන්ගෙම වූ අත්දැකීමක් විඳින්න බෑ. කාටවත්ම බෑ තව කෙනෙකුට "සත්‍යය" දෙන්න. කවරෙක් හෝ තමන්ට සත්‍යය දීමට හැකියි යන අදහසේ සිටින තාක් ඔහු ඉන්නෙ කුමන ආකාරයක හෝ වහල් බවක. ඔහු කෙනෙක් ගෙන් ගැළවෙන විට තවත් කෙනෙක් සමඟ බැඳී ඉන්නවා. දෙවැන්නා ගෙන් ගැළවෙන විට තුන්වන්නෙකු හා බැඳී ඉන්නවා. ඔහුට වහල් භාවයෙන් මිදෙන්න බෑ. හින්දු කෙනෙක් ජෛන බවට පත් වුණා කියලවත්, ජෛන කෙනෙක් ක්‍රිස්තියානි වුණා කියලවත්, සියල්ල අතහැර සමාජවාදී හෝ වෙනත් යමක් වැළඳගත්තත්, එක  විශ්වාස පද්ධතියක් අතහැර තවත් දෙයක් වැළඳගැනීමෙන් මනසේ පීඩාව වෙනස් වෙන්නෙ නෑ. යමක් අවිශ්වාස කරන්න කියල 'තන්ත්‍ර'කියන්නෙ නෑ. විශ්වාසය අවිශ්වාසය දෙකම නැතුව ඒ අතර ඉන්න ඕනැ. මොකද විශ්වාස කරන අය විශ්වාසය අදහනවා, අවිශ්වාස කරන අය අවිශ්වාසය අදහනවා. ඔය අන්ත දෙකම වැරදියි. සෑම කෙනෙක්ම තමාම වෙන්න ඕනැ. හැමෝම තමන්ගෙ ඇස් දෙකෙන්ම දකින්න ඕනැ. තමන් විසින්ම අවබෝධ කරගන්න ඕනැ.  "ඔබේ ලෝකය නිර්මාණය කරන්නේ ඔබ ය. ඔබගේ ලෝකය විහිදී යන්නේ ඔබ වෙතිනි."  තන්ත්‍ර යනු ඥානයේ, ප්‍රඥාවේ මාර්ගය යි.


තන්ත්‍ර කියන්නෙ සිතීමෙන් ඔබ්බට යාමක්. තන්ත්‍රවල ආදරය, ලිංගිකත්වය, සුරතාන්තය ගැන වැඩි වශයෙන් විග්‍රහ කෙරෙනවා. මනස ස්වල්ප මොහොතකට හෝ අහෝසි වෙලා යන්නෙ සුරතාන්තයෙදි පමණක් බවත්, සාමාන්‍ය මිනිසාට අත්දැකිය හැකි නො-මනස පිලිබඳ එකම තත්වය එය පමණක් බවත් තන්ත්‍රවල සඳහන් වෙනවා. යථාර්ථය පිළිබඳව අංශු මාත්‍රයක් දැකීමේ හැකියාව ඇති වන්නේ එය තුළදී පමණක් බැවින් ලිංගික සුරතාන්තය තන්ත්‍ර මාර්ගයට ඉතා වැදගත් වූවක් බවට පැමිණිලා තියෙන බවත් කියනවා. 


තන්ත්‍ර කියනවා "චරිතයක් නොමැතිව සිටින්න" කියලා. තන්ත්‍ර කියනවා "චරිතය හලා දමන්න" කියලා. දියාරු වෙන්න, ගලා යන්න කියනවා. මොහොතින් මොහොතට ජීවත් වෙන්න කියනවා. ඒ කියන්නෙ කිසිම වගකීමක් නැති තත්වයට පත්වෙන්න කියන එක නෙමෙයි. කෙනෙක් චරිතය හරහා ජීවත් වෙන කොට අවදිමත් බවක් අවශ්‍ය වෙන්නෙ නෑ. එහි වගකීම චරිතය භාරගන්නවා. චරිතය යාන්ත්‍රික ආකාරයට ක්‍රියාත්මක වෙන්න ගන්නවා.  චරිතය කියන්නෙ බලාත්කාරයෙන් පටවන ලද ශික්ෂණයක් බවත් චරිතය යනු ඔබ තව දුරටත් නිදහස් නොවී සිටීම බවත්, ඔබ කිසි විටෙකත් චරිතයට අදාල නීති මාලාවෙන් ඔබ්බට නොයන බවත් කියනවා. මේක කෙනෙකුට එකහෙලා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. චරිතයක් නොමැති බව කියන්නෙ චරිතයෙන් නිදහස් වීම මිසක් වෙන දෙයක් නෙමෙයි. සාන්තුවරයාට චරිතයක් තියෙනවා. ඒ වගේම බේබද්දටත් චරිතයක් තියෙනවා. බේබදුකම කියන චරිතයෙන් ඔහු නිදහස් වෙන්න ඕනැ. හොරාටත් චරිතයක් තියෙනවා. හොරා හිරගෙට යනවා එළියට එනවා. නිමාවක් නෑ. කිසිම හිරගෙයක් කිසිවෙක් නිට්ටාවට සුවපත් කරලා නෑ. "හොරා" කියන චරිතයෙන් ඔහු මුදාගෙන නෑ.  ඊළඟට කරන හොරකම සැලසුම් කරගෙන හොරා හිරගෙයින් එළියට එනවා. ඔහු හොරා කියන චරිතයෙන් එළියට එන්න ඕනැ. සාන්තුවරයා කියන චරිතය ඇතුළෙත් ඔහුට නිදහසක් නෑ. අලුත් විදියකට ප්‍රතික්‍රියා කරන්න බෑ. චරිතයට අදාල රාමුවෙන් පිට මොනවත් කරන්න බෑ.


තන්ත්‍රය මෙහෙම කියනවා..."ඇවිදින විට ඇවිදින්න.නිදාගන්නා විට නිදාගන්න. පවත්නා විට පවතින්න. කිසිදු සිතුවිලි බාධකයක් නොමැතිව ජීවිතයට ඔබ හරහා ගලා යාමට ඉඩ දෙන්න. බිය වීමට දෙයක් නැත. නැති වීමට දෙයක්ද නැත.මරණය රැගෙන යන්නේ උපත ඔබට දුන් දේ පමණි. කොහොමටත් එය ජීවිතය රැගෙන යන්නේම ය. ඒ නිසා බිය වීමට දෙයක් නැත. ජීවිතයට ඔබ හරහා ගලා යාමට ඉඩ දෙන්න." 


මේ තන්ත්‍ර ගැන සියල්ල නෙමෙයි. තන්ත්‍ර ගැන සරල කියවීමක් විතරයි. ඇතුළාන්තය සමඟ කරන ගණුදෙනු තියෙනවා. තන්ත්‍ර භාවනා තියෙනවා. ඒ සියල්ල එක මිටකට අරගෙන ලියලා පෙන්වන්න අපහසුයි. 


සංජීව කුළුපන බණ්ඩාර.



Sunday, October 9, 2022

රාහු කේතු ගේ ගමන මේෂ තුලා ලග්න හිමියන්ට බලපාන හැටි.

 



මේෂ තුලා රාශිවලට රාහු කේතු මාරු වෙලා කාලයක් වෙනවා. ඒක වුණේ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 12 වෙනිදා. රාහු කේතු මාරුව මේෂ තුලා ලග්න හිමියන්ට කොහොමද කියන එක ගැන කතා කරන්න හදන්නෙ දැන්. මේ වෙනකල් කාලයෙදි මේෂ තුලා ලග්න හිමියො අත්විඳපු දේවල්, මුහුණ දුන් දේවල් එක්ක 2023.10.30 වෙනකල් ඉදිරි කාලය කොහොම වෙයිද ? කොහොම ඉන්න ඕනැද ?  කියන එක ටිකක් කතා කරන්න හිතුණා. 2023.10.30 කියන්නෙ රාහු කේතු මේෂ තුලා ලග්නවලින් ඉවත් වෙලා යන දවස. අන්න ඒ හින්දයි ඒ වෙනකල් කාලය ගැන කතා කරන්නෙ.


දැන් මේ කාලෙ මේෂ ලග්න හිමියො "රාහු" ඔළුවෙ තියාගෙන ඉන්නවා. තුලා ලග්න හිමියො "කේතු" ඔළුවෙ තියාගෙන ඉන්නවා. 2023.10.30 වෙනකල් ඔය දෙගොල්ලො රාහු කේතු ඔළුවෙ තියාගෙන ජීවන අභියෝගවලට මුහුණ දෙනවා.  මේ වෙන කොටත් මාස 5 ක් ඔය විදියට ගෙවාගෙන ආවා.  ගෙවුණු කාලයට වඩා ගෙවන්න තියෙන කාලය වැඩියි.   2023.10.30 තෙක් ගත කරන්න තියෙන කාලය තුළ මේෂ තුලා ලග්න දෙකට මේ ග්‍රහයො දෙන්නගෙන් එල්ල වෙන බලපෑම් මොනවද...මේ කාලය තුළ ඉන්න ඕනැ කොහොමද...කියන කාරණා ගැන යමක් කියන්න ඕනැ.

❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋

මේෂ ලග්න හිමියො.

මේෂ ලග්න හිමියන්ගෙ ලග්න ස්ථානයේ රාහු ගමන් කරනවා 2023.10.30 වෙනකල්. රාහු කියන්නෙ දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වගේ වේගවත් ග්‍රහයෙක්නෙ. නම්‍යශීලී ගතියක් නෑ. කඩාගෙන බිඳගෙන යනවා. එහෙම ග්‍රහයෙක් ඔළුවේ ඉන්නව කියන්නෙ නම්‍යශීලී ගතිය නැති වෙනවා. මේෂ ලග්න හිමියන්ට කොහොමත් නම්‍යශීලී ගතියක් නෑනෙ...කියල ලග්නෙ ගැන දන්න කෙනෙක් කියන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම කාරණය. නම්‍යශීලී නැති මේෂ ලග්න හිමියො නම්‍යශීලී නැති රාහු ඔළුවෙ තියාගෙන ඉන්න කොට කොහොමද... කිසිම ඉවසීමක් නැතුව යනවා. පුදුම හදිස්සියක් ඇති වෙනවා. ඔළුව නිස්කලංක නැතුව යනවා. ඉක්මනට කෝප වෙනවා. ප්‍රචණ්ඩ වෙනවා. එතකොට ඉතින් ප්‍රශ්නනෙ. අඟහරුගෙ, රාහුගෙ දශාවකුත් ගත වෙනව නම් ඔය වේගය, කෝපය, හදිස්සිය තවත් වැඩි වෙනවා. පොඩි දේවල් ලොකු කරගෙන දඟලනවා. මේක බොහොම ඉවසීමෙන් වැඩ කරන්න ඕනැ කාලයක්. හරි දේවල් වැරදියට පේන්න පුළුවන්. වැරදි දේවල් හරි වගේ පේන්න පුළුවන්. සන්සුන්ව, නිරවුල්ව බැලුවොත් තමයි ඇති සැටියෙන් පේන්නෙ.


රාහු ඔළුවෙ කියන්නෙ කේතු හතේ කියන එකයි. හත කියන්නෙ විවාහය. ඉතින්, විවාහක මේෂ ලග්න හිමියො ගෙදර සාමය කඩ නොවන විදියට බොහොම සාමකාමීව ඉන්න ඕනැ. යුග ජීවිතයෙ හැලහැප්පීම් සිද්ද වෙන්න පුළුවන්. නොරුස්සන ගති ඇති වෙන්න පුළුවන් කාලයක්.


වැඩ කරන තැනදි එහෙම අනිත් අය එක්ක නොහොඳ නෝක්කාඩුකම් ඇති වෙන්න පුළුවන්. වචනයක් අල්ලගෙන දුර දිග ගෙනියන්නෙ නැතුව මොනවත් වැඩිය ගාණකට නොගෙන හිනා වෙලා ඉන්න එක හැම අතින්ම හොඳයි. ඉක්මන් තීරණවලින් කොහොමත් වැළකිලා ඉන්න ඕනැ. මොනවත් වැඩි ගාණකට නොගෙන ඉන්න එක හතුරො ඇති කරගන්නවට වඩා හොඳයි.


සෙම් අසනීප වගේම වරින් වර හිස කැක්කුම් ඇති වෙන්නත් පුළුවන්. ලේ විෂ වීම්, සමේ ඇති වෙන ආසාදන වගේ දේවල්වලටත් ඉඩ තියෙනවා.


❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋

තුලා ලග්න හිමියො. 


තුලා ලග්න හිමියො 2023.10.30 වෙනකල් කේතු හිස මත තියාගෙන කාලය ගෙවනවා. තුලා ලග්න කාරයො එච්චර කලබල කාරයො නෙමෙයි. කේතු කියන්නෙත් කලබල ග්‍රහයෙක් නෙමෙයි. ඒත් මේ යන විදියට ප්‍රශ්න ටිකක් මතු වෙනවා. හිතට එච්චර හරි නෑ. කිසි දේකින් හිත පිරෙන්නෙ නැති ගතියක් හිටිනවා. හේතුවක් නැතුව සමහරු ඈත් වෙනව වගේ දැනෙන්න පුළුවන්. කරදර තියෙනව වගේ දැනෙන්න පුළුවන් කාලයක්. කොටින්ම කියනවා නම්, නැති කරදර මවාගන්න කාලයක්. අනිත් අයට තමන්ව රුස්සන්නෙ නෑ වගේ දැනෙනවා. උද්යෝගිමත් ගතිය අඩු වෙනවා. අභූත චෝදනා එල්ල වෙන්නත් බැරි කමක් නෑ. මුහුණෙ සෝබාව දීප්තිය අඩු වෙන්නත් පුළුවන්. කල්පනාවට බර වෙනවා. නිතර විඩාබර ගති දැනෙනවා. වැඩිය මහන්සි නොවී ඔහේ ඉන්න හිතෙනවා. මානසික ප්‍රබෝධය අඩු වෙනවා. මොන තරම් කැපවීමෙන් වැඩ කළත් හිතට හරියන ඇගයීමක් නොලැබෙන්න පුළුවන්. බැබලීම,ප්‍රසාදය අඩු වෙනවා. හොඳ කරන්න ගිහින් නරක නාම අහගන්න සිද්ද වෙන්න පුළුවන්.


තමන්ට අයිති වටිනා බඩු භාණ්ඩ නාස්ති වෙන්න පුළුවන්. මිල මුදල් අස්ථාන ගතවෙන්න, සොර සතුරො අතට පත් වෙන්න පුළුවන්. හැම දෙයක්ම හොඳට පරිස්සම් කරලා තියාගන්න ඕනැ. 


කේතු ඔළුවෙ කියන්නෙ රාහු හතේ කියන එකනෙ. යුග ජීවිතයේ සතුට,සැනසුම, සාමය අඩු වෙන්න පුළුවන් කාලයක්. සහකරු හෝ සහකාරිය නිතර තමන්ව නොරුස්සන තත්වයක් ඇති වෙන්න පුළුවන්. යුග දිවිය තුළ හැකි තාක් ඉවසීමෙන් කටයුතු කරන එක තමයි කරන්න තියෙන්නෙ. හැම දෙයක්ම ලොකුවට ඔළුවට අරගෙන හරියන්නෙ නෑ. කළකිරීම් ඇති කරගන්න හොඳ නෑ. හිත ලෙඩ වුණාම කය ලෙඩ වෙනවා.


සම ආශ්‍රිත අසනීප, මුත්‍රා ආබාධ, උෂ්ණ අසනීප ආදිය මතු වෙන්න පුළුවන්. සුළු වැටීම්, අනතුරුවලට එහෙමත් ඉඩ තියෙන හින්දා පරිස්සමෙන් වැඩ කටයුතු කරන එක හොඳයි. විශේෂයෙන් හිස, මුහුණ ආශ්‍රිතව තුවාල සිදු වෙන්න පුළුවන්.


❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋


දැන් ඉතින් හිතන්න එපා සියලු මේෂ ලග්න හිමියන්ට , සියලු තුලා ලග්න හිමියන්ට අඩුවක් නෑර ඔය ටික ඔය විදියටම වෙනවාය කියල. සමහරුන්ට ඕවා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්


සංජීව කුළුපන බණ්ඩාර.






Sunday, May 29, 2022

ප්‍රේමදාස ජනාධිපතිතුමාට දරුවකු කී අනාවැකිය.

 


අහස ලස්සන වෙන්නෙ වලාකුළු රටා මවද්දී ය. වලාකුළු තියෙන්නෙ අහසෙ වුණාට වලාකුළු බැම්ම අහසෙ නැත. වලාකුළු බැම්ම ඇත්තේ පූජනීය ස්ථාන ඇසුරෙහි ය. එය මනරම් ඉදිකිරීමකි. නොදුටු කෙනෙක් නැත. නුවර වැව ලස්සන වලාකුළු බැම්ම නිසාය. කතාවට නුවර වැව කිව්වද එය හඳුන්වන්නේ කිරි මුහුද නමිනි. දළදා මාළිගය වටා ද වලාකුළු බැම්මකි. සිරි මහා බෝධිය, රුවන්වැලිසෑය ආදී සෑම ජාතික පූජනීය ස්ථානයක් ඇසුරෙහිම වලාකුළු බැම්ම තිබේ. පෙර රජ දරුවෝ උතුම් පූජනීය ස්ථානවල පවුරු පදනම් ඉදිකළහ. ඒ ආරක්ෂාව හා අලංකාරය පිණිස පමණක්ම නොවේ. වලාකුළු බැම්ම ඉදිකරන්නේ දෙවියන් සුරකින භූමියක් මෙන් රකින්නට ය. දෙවියන් වඩින තැනක් මෙන් පූජනීයව පවත්වාගන්නට ය. එය තැන නොතැන නොබලා ඉදිකරන්නක් නොවේ. 


ශුද්ධ ස්ථාන ඇසුරේ කරන කටයුතු වැරදුණොත් විපාක බලවත්ය. ඒ වැරැද්ද ප්‍රේමදාස මහතාත් තවත් දේශපාලඥයකුත් අතින් නොදැනුවත්ව සිදුවිය. ඒ, නොගැළපෙන ස්ථානයක වලාකුළු බැම්ම යෙදීම ය. එය කුණු රොඩු එකතු වන වැවකි.


කිරි සයුර වටා බැඳුණු වලාකුළු බැම්ම තවත් තැනකට යෙදීම ගැන එවකට යුධ හමුදාවේ සිටි ඉහළ නිලධාරියෙක් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කළේය. ලිපිය මඟින් දන්වා සිටියේ නොගැළපෙන තැනක ඉදිකළ වලාකුළු බැම්ම හේතුවෙන් ප්‍රේමදාස මහතාට මෙන්ම රටට ද විපත් සිදුවන බව ය. ලිපිය ලියා තිබුණේ  ගුප්ත විද්‍යාඥයෙකුගේ උපදෙස් අනුව ය.  ලිපියෙන් දන්වා සිටි මතයෙහි ඇත්ත නැත්ත සොයනවා වෙනුවට පිරිසක් හමුදා නිලධාරියා ආණ්ඩු විරෝධියෙකු ලෙස ප්‍රේමදාස මහතාට හඳුන්වා දී තිබුණි. එදා මෙදා කියා වෙනසක් නැත. ඇත්ත නැත්ත කර පෙන්වන්නෝද, නැත්ත ඇත්ත කර පෙන්වන්නෝද නායකයින් වටා රොක් වීම ස්වභාවික ය.


හෙළ රජ කාලයේ පටන්ම වලාකුළු බැම්ම ඉදි කරනු ලැබුවේ දෙවියන් වැඳුම් පිදුම් කරන ශුද්ධ ස්ථානවල බවද, එය නොහොබිනා ස්ථානයකට යෙදීමෙන්  රටට පාලකයින්ට විපත් කරදර ඇති වන බවද හමුදා නිලධාරියා තරයේම පවසා සිටියේය.  එය ලිපියක් ලෙස පලකිරීම සඳහා පුවත්පත්වලට ද යොමු කර තිබුණි. මහා සංඝරත්නය සමඟ ගැටුම් මත භේද ඇති වීමට හේතු වන ආකාරයේ ලිපි පුවත්පත්වල පල නොකිරීම ඒ කාලයේ සිරිතකි. ලිපිය පුවත්පත්වල පල නොවුණි.


පුවත්පත් කාර්යාලවලට කතා කර තොරතුරු විමසීම අගමැති ප්‍රේමදාස මහතාගේ සිරිතකි. 

" මොනවද අලුත් ආරංචි...? 

ප්‍රේමදාස මහතා පුවත්පත් කාර්යාලයකට කතා කර විමසුවේය.

හමුදා නිලධාරියා විසින් යොමු කර තිබුණු කාරණය කතුවරයා අගමැතිතුමාට කීවේය. හමුදා නිලධාරියාට ඒ සම්බන්ධව පවසා තිබුණු ගුප්ත විද්‍යාඥයා ගැන ද ඔහු අගමැතිවරයා සමඟ පැවසුවේය. කතාව එයින් යටපත් විය. කාලය ගත විය.


ප්‍රේමදාස මහතා දළදා මාළිගාවට රන් වියනක් පූජා කළේය.සිරි මහා බෝධිය වටා රන් වැටක් ඉදි කළේය. රුවන්වැලිසෑය, කිරි වෙහෙර ආදී වෙහෙර වහන්සේලාට කප්රුක් පැළඳුවේය. නොයෙක් තැන්හි බුදුන් උදෙසාත් දෙවියන් උදෙසාත් සිද්ධස්ථාන ඉදි කළේය. නොදැනුවත්ව සිදු වුණු වරද පිළිබඳව සිත තුළ කැකෑරුණද ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියන මෙන් එක් අවස්ථාවක සුචරිතයේදී කතුවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.


ගැටලුව වඩාත් වර්ධනය වූයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයට වසරකට පමණ පෙර ය. තමාගේ රාජ්‍ය පාලනය ගැනත් අනාගතය ගැනත් කරුණු විමසීම සඳහා දරුවකු සුචරිතයට කැඳෙව්වේය. ඔහු ගුප්ත ශක්තියක් හිමි කුඩා දරුවෙකි. 

" නොදැනුවත්ව සිදු වූ දෙයකට දෙවියන්ගෙන් සමාව ඉල්ලුවා... ඒත් ඒ තැන්වලට අනාගතයෙදි එය බලපානවා...දෙවියන්ගෙ භූමිවල දැමිය යුතු දේවල් අපිරිසුදු තැන්වලට දමන්න එපා...දෙවියන් කෝප වෙනවා..."  දරුවා කියාගෙන ගියේය.

"දෙයි හමුදුරුවනේ...ඒක මගේ වැඩක් නෙමෙයි. මං නොදැනුවත්ව සිදු වුණු අත්වැරැද්දක්... ඒකට කළ යුත්තේ මොනවද ?" ජනාධිපතිතුමා විමසුවේය.කතරගම, දළදා මාළිගාව, සිරිමහා බෝධිය යන ස්ථානවල පින්කම් පවත්වා ඊට සමාව ගත යුතු බව දරුවා පවසා සිටියේය.


ප්‍රේමදාස ජනාධිපතිතුමා බරපතළ ගැටළුවකට මැදි වුණේය. එතුමා ඒ ගැන බොහෝ දුරට කල්පනා කළේය.

 "මේක මා අතින් වෙච්චි දෙයක් නෙමෙයි. අපේ පූජක ඇත්තන් කියන කියන දේ කරන්න ගියහම දැඩි ශ්‍රද්ධාව හින්දා වෙච්චි දෙයක්. අපේ අයත් වැඩිය හිතන්නෙ මතන්නෙ නැතුව මට යෝජනා කරනවා...ඕනැ දේටයි ඕනැ නැති දේටයි හිතන්නෙ නැතුව සමහරු කරන වැරදි දැන් හදන්න අමාරුයි..." ජනාධිපතිතුමා පුවත්පත් කතුවරයා සමඟ එසේ පවසා තිබුණි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ අභූත චෝදනා රැසක් එල්ල වන්නට විය. එතුමා සම්බන්ධයෙන් නොයෙක් අසත්‍ය පුවත් මැවෙන්නට විය. කිසිවෙක් නොසිතූ ලෙස බෝම්බයකට ගොදුරුව එතුමා මිය ගියේය.

එතුමාගේ අභාවයෙන් වසර කීපයකට පසුව මහනුවර දළදා මාළිගාවේ වලාකුළු බැම්ම බෝම්බයකින් පුපුරා ගියහ. 

 පූජනීය ස්ථාන ඇසුරෙහි කරන කටයුතු මනා අවබෝධයෙන් යුතුව, ඊට ගැළපෙන පරිදි සිදු කළ යුතුය. විශේෂයෙන් රාජ්‍ය නායකයින් එවන් කටයුතුවලදී වඩාත් සැළකිලිමත් විය යුතුය.

(වසර කීපයකට පෙර පුවත්පත් කතුවරයෙකු විසින් හෙළි කරන ලද විස්තරයක් ඇසුරිනි)


සංජීව කුළුපන බණ්ඩාර.



Saturday, February 5, 2022




සෙනසුරු කියන්නෙ දෙවියෙක්. නිකම් දෙවියෙක් නෙමෙයි, දෙවියන්ගෙත් දෙවියෙක්. මොකද,දෙවියන්ට වඩා සෙනසුරු බලගතුයි. මිනිස්සු දෙවියො ගැන කතා කරනවට වඩා සෙනසුරු ගැන කතා කරනවා. හැබැයි සෙනසුරු දෙවියෙක්ය කියල මම කිව්වෙ ඒ හින්දා නෙමෙයි. සෙනසුරු දෙවියෙක් විදියට හැඳින්වීම මොන තරම් සාධාරණද කියල ඕනෑම කෙනෙකුට හිතෙයි මේ සටහන අවසානය තෙක් කියෙව්වොත්. මේ, මම අවබෝධ කරගත්තු සෙනසුරු ගැන සටහනක්.


බොහෝ දෙනෙකුට සෙනසුරු කියන්නෙ මහා භයානක චරිතයක්. දුක් දෙන කෙනෙක්. ලෙඩ කරන, අමාරුවෙ දාන ග්‍රහයෙක්. මතක් කරන්නවත් හොඳ නැති නසරානි යකෙක්. සෙනසුරු එහෙමද ? ඒ ගැනත් මේ සටහන තුළ සඳහන් විය යුතුමයි.


ශබ්ද ඇසීමෙන් ඇතිවන දැනීම ( The Sense of Hearing) ලැබෙන්නේ සෙනසුරුගෙනි කියල ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ග්‍රහයෙකුගේ දැනීම (Sense) ගොඩක් වැදගත් වෙනවා. ඒකෙන් ලොකු කතාවක් කියැවෙනවා. ශබ්ද ඇසීමෙන් ඇතිවන සෙන්ස් එක තමයි සෙනසුරුගෙන් ලැබෙන්නෙ. සෙනසුරු සංකේතවත් කරලා තියෙන්නෙ මල්ලකුත් කරගහගෙන බොහොම අමාරුවෙන් ඇවිදගෙන යන වයසක මනුස්සයෙකුගේ රුවකින්. ඉතින් ඒ තරම් වයසක මනුස්සයෙක් කොහොමද ශබ්ද ඇසීමෙන් ඇතිවෙන සෙන්ස් එක දෙන්නෙ ? ඒ කොහෙන් මතුවෙන කුමන ශබ්දයක්ද...? ඔය කාරණය ගැන සාකච්ඡාවට ලක් වුණු තැනක් මම මෙතෙක් දැකල නෑ. ඔය කියන ශබ්දය තමන්ගෙ ඇතුලාන්තයේ හඬ මිසක් වෙන කාගෙවත් හඬක් නෙමෙයි. ඇතුලාන්තයට සවන් දෙන්න නම් හොඳ සන්සුන්කමක්, ඉවසීමක් තියෙන්න ඕනැ. ඇතුලාන්තයට සවන් දෙන්න කලබලේට බෑ. ඒකට සමාධිමත් මනසක් තියෙන්න ඕනැ. සෙනසුරුගෙ කාලෙදි ගොඩක් දෙනෙක් ඉවසීම නැති හින්දා, කලබලේ හින්දා අමාරුවෙ වැටෙනවා.


අපල එන්නෙ ඇතුලෙන් මිසක් පිටින් නෙමෙයි. අපලෙට බාහිර දේවල්වලින් පිහිට අපේක්ෂා කළත් අපලය හරියට සමනය කරගන්න ඕනැ ඇතුලතින්මයි. ඒකට හරියටම හරියන විසඳුම එළියෙ නෑ. සෙනසුරුගෙ අපලයටත් එහෙමම තමයි. සෙනසුරු යන්නෙ හරි හෙමින්. හෙමින් යන සෙනසුරුගෙ කාලෙදි කලබල  වුණොත් විනාශයි. ඒක ඉවසන්න ඕනැ කාලයක්. දරාගැනීමේ ශක්තිය, ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගන්න ඕනැ කාලයක්. ඒවගේම ඇතුලාන්තය හොඳටම පිරිසුදු කරගෙන ආදරය, මෛත්‍රිය, කරුණාව වැඩි වැඩියෙන් ඇති කරගන්න ඕනැ කාලයක්. සියලු අනර්ථකාරී සිතුවිලි, අශුද්ධ චේතනා පුරවගෙන යන්තර, තෙල් සුර, මැණික් ගල් දාගත්තට වැඩක් නෑ. කරන්න තියෙන හැම දේම කළත් හරි ගියෙ නෑ කියන්නෙ අන්න එහෙම අය. 


සෙනසුරු කෙනෙක්ව සාර්ථකත්වය, දියුණුව කරා අරගෙන යන්නෙ හෙමිහිට. සෙනසුරු බලවත් වුණු දේශපාලඥයින්ගෙ, ව්‍යාපාරිකයින්ගෙ කේන්දර අධ්‍යයනය කරලා බලන්න. පුංචිම තැන ඉඳලා බොහොම ක්‍රමානුකූලව ඉහළට අරගෙන ගිහින් තියෙන හැටි දැකගන්න ලැබෙයි. ඒ ජීවිතවලට මොන තරම් වටිනා අත්දැකීම් සම්භාරයක් කරදර සහ අභියෝග විදියට පරිත්‍යාග කර තිබේ දැයි දැකගන්න ලැබෙයි.




සෙනසුරු කියන්නෙ මගෙ කේන්දරයෙ මහතැන අරක්ගත්තු ග්‍රහයා. ඉවසීම, ඔරොත්තු දීම, දරාගැනීම පැලකරපු  ග්‍රහයා. ඕනෑම කලබලකාරී අවස්ථාවක සන්සුන්ව කටයුතු කරන්න ශක්තිය ලබා දුන්නු ග්‍රහයා. බොහෝ දේ හිමි කරපු ග්‍රහයා. ඒ සෙනසුරු ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. 



සෙනසුරු කියන්නෙ ජීවිතවල වගේම ලෝකය තුළත් මහා පරිවර්තන සිදු කරන ග්‍රහයෙක්. ඒ පරිවර්තන මහා දුක්ඛදායක සිදුවීම විදියට මුණ ගැහෙන්න පුළුවන්. හිතන්න තිඹිරි ගෙය ගැන. මුලින්ම ඇහෙන්නෙ මවකගෙ වේදනාබර විලාපයක්. මොහොතකින් බිළිඳෙකුගේ හැඬීමත් සමඟ මවගේ විලාපය සිනහවක් බවට පත් වෙනවා. සෙනසුරු ජීවිතවල ඇති කරන පරිවර්තනත් අන්න ඒ වගේ තමයි. තව දුරටත් අවබෝධ වෙන්න මම කියන්නම් එක්තරා පිරිමි ළමයෙක් ගැන කතාවක්. මේ ළමයා උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා රැකියා සඳහා ඉල්ලුම් කරනවා. මේ වෙන කොට සෙනසුරුගේ ඒරාෂ්ටක දෙකක් ගත වෙනවා. ඒ තමයි ජන්ම ඒරාෂ්ටකය සහ අෂ්ටම ඒරාෂ්ටකය. තව කාරණයක් තියෙනවා. විශ්වාස කරන්න මේ දරුවා තවමත් පොඩි දරුවෙක් තරමට මවට හරි සමීපයි. අම්මා මෙයාට යාළුවො එක්ක කොහෙවත් යන්න දෙන්නෙ නෑ. ගෙදරින් පිට දවසක් ඉන්න දෙන්නෙ නෑ. නරක් වෙයි, නරක ඇසුරට වැටෙයි, නරක දේවල්වලට ඇබ්බැහි වෙයි කියල පුදුම විදියට ආරක්ෂා කරනවා. ඔය අතරෙදි අනපේක්ෂිත විදියට අම්මාට අංශභාගය හැදිලා එකතැන් වෙනවා. ප්‍රතිකාර ලබන අතරෙ දින කීපයකින් මියයනවා.  මේ දරුවා ජීවිතයේ වඩාත්ම දුක්බර අවස්ථාවට මුහුණ දෙනවා. ඉල්ලුම් කළ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපිය ලැබෙන කොට අම්මා ලෙඩ ඇඳේ. සම්මුඛ පරීක්ෂණය සඳහා යන්න තියෙන දවස වෙන කොට මවගේ දේහය නිවසේ. පැටලිලි ගොඩයි. කාරණය කියලවත් එනවා කියන අදහසින් දරුවා යනවා කැඳවීම කළ ආයතනයට. ගිහින් විස්තරය කියනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා නැවත දිනයක් ලැබෙනවා.  මවගේ අවසන් කටයුතුත් කරලා නැවත ආයතනයට යන දරුවට රැකියාව ලැබෙනවා. සමාජයට විවෘත වීමේ අවස්ථාව උදා වෙනවා. එතැන් පටන් ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. අද යම් සිවිල් බලයකින් යුතුව විශාල පිරිසකගේ ආදරයට ගෞරවයට පත්ව වැදගත් ජීවිතයක් ගත කරනවා. 



විශ්වයේ මඟ පෙන්වීම් අපිට දැනුම් දෙන්නෙ ඇතුලාන්තයෙන්.  ඇතුලාන්තයෙන් කරන මඟ පෙන්වීම් හරියට දැනෙන්න නම් සන්සුන් නිරවුල් මානසිකත්වයක් තියෙන්න ඕනැ. ඇතුලාන්තයෙන් එන බලය අපිට වටිනා අවස්ථා උදා කරනවා. හෘදයංගම මිනිසුන් මුණගස්සනවා. සාර්ථක විසඳුම් ඉදිරිපත් කරනවා. අන්ධයාගේ පය මැණික් ගලක වැදුණට ඒක මැණිකක් බව අන්ධයා දන්නෙ නෑ. බොහෝ දෙනෙක් විශ්වයේ මඟ පෙන්වීම්, විශ්වයේ පරිත්‍යාග ඉවතලනවා. අමාරුවෙ වැටෙන අවස්ථා තෝරාගන්නවා. විනාශකාරී පුද්ගලයින්ව වැලඳගන්නවා. අන්ධයාගේ පයේ ගැටෙන මැණික් ගල වගේ. සෙනසුරුට දොස් කියන, සෙනසුරුගෙ නරක දකින අයත් මම දකින්නෙ මැණික් ගල නොහඳුනන අන්ධයින් විදියට. 



"සෙනසුරු දුකට අධිපතියාය. නියම පාපියෙකි" කියලා පොතපතේ සඳහන් වෙනවා. සෙනසුරු සම්බන්ධයෙන් කියැවෙන ඔය කාරණය ගැන මගේ හිතේ පැහැදීමක් නෑ. දුකට අධිපතියා තමන්ම මිස වෙන කවුරුවත් නෙමෙයි. සාංසාරිකව අරගෙන යන පාපය මොනම විදියකින් හෝ දුරස් කරවන්න දායක වෙන  ග්‍රහයෙක් මිසක් සෙනසුරු දුක දෙන ග්‍රහයෙක් නෙමෙයි.  මනුස්සයාට සමාජයීය සහ විශ්වීය යන දෙආකාරයටම කටයුතු කරන විදිය උගන්වන ගුරුවරයා තමයි සෙනසුරු.  ගුරුවරයා වගේම ඒ කටයුතු දිහා අවධානයෙන් බලා සිටින පරීක්ෂකයාත් සෙනසුරුම තමයි.  පරීක්ෂකයාගේ කාර්යභාරයේදී  සෙනසුරු සාතන් ගේ භූමිකාවට පන පොවන අවස්ථාත් තියෙනවා. සෙනසුරු දොරටු දෙකක් අතර මැද ඉන්න ග්‍රහයෙක්. සාර්ථකත්වයේ සහ විනාශයේ දොරටු දෙකෙන් තමන් යා යුතු දොරටුව තීරණය කළ යුත්තේ තමන්මයි. ස්වර්ගයේ යතුරයි අපායේ යතුරයි දෙකම තියෙන්නෙ සෙනසුරුගෙ අතේය කියන්නෙ අන්න ඒ හින්දයි. යා යුතු දිශාව තෝරා ගත යුත්තේ තමන්මයි. විනාශයේ දොරටුව තෝරාගත්තවුන්ට සෙනසුරු සාතන් වගේ පෙනුණට, යහපත් චේතනාවෙන් සාර්ථකත්වය කරා ගමන් කරන්නවුන්ට සෙනසුරුගෙන් හානියක් නෑ.


මරණය නියත මිනිසුන්ට මරණය කියන්නෙ දඬුවමක් නෙමෙයි. එදාට වඩා අද මාරක අවස්ථා වැඩියි. එන්න එන්නම මාරක අවස්ථා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. සිය දහස් ගණන් එක පොදියට මියගියත් අද එච්චර ගාණකුත් නෑ. සෙනසුරුගෙ දශා කාල සීමාවන් සහ ඒරාෂ්ඨක කාල සීමාවන් යනු මාරක අවස්ථා බවට විශ්වාසයක් ඇතැමුන් තුළ පවතිනවා. මරණයට සෙනසුරු විතරක් නෙමෙයි ඕනෑම ග්‍රහයෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. සෙනසුරු යනු මරා දමන ග්‍රහයෙක් යැයි භීතියට පත්වීම තේරුමක් නැති වැඩක්. විශේෂයෙන්ම සෙනසුරුගෙ ඒරාෂ්ඨක කාලයෙදි ඊට නොබියව මුහුණ දෙන්න ඕනැ. ඒක ජීවිතයේ පරිවර්ථනීය කාලයක් බව සිතන්න. හැබැයි හිතයි හදවතයි ලස්සනට තියාගන්න.


සෙනසුරුගෙ දශාවෙදි කෙනෙක් දියුණු වුණොත් දශාව ඉවර වෙන්න කලින් නැත්තටම නැති කරනවාය  කියල විශ්වාසයක් ඇතැමුන් තුළ තියෙනවා. එහෙම සිද්ද වෙච්චි අවස්ථා නැත්තෙ නෑ. හැබැයි ඒක සෙනසුරුගෙ වැරැද්දක් නෙමෙයි. ක්‍රමානුකූලව ලබපු දියුණුවට කැළැල් වෙන විදියේ අමුතු ගේම් ගහන්න ගියාම එහෙම වෙනවා තමයි. මොන තරම් දේවල් ලැබුණත් සමහරුන්ට මදි. සල්ලි මදි, දේපළ මදි, බලය මදි. ඒ අඩුපාඩු සපුරගන්න අශුද්ධ මාර්ගවලට හැරුණට පස්සෙ සෙනසුරු සාතන්ගෙ භූමිකාවට පටන් ගන්නවා. කෙනෙක් අශුද්ධ මාර්ගයකට හැරෙන්නෙම ඇතුලාන්තය අපිරිසුදු කරගෙනයි. පපුව හොඳ නැති කෙනෙකුට යන්න පුළුවන් ගමනක් තියෙනවද...ඇතුලාන්තය අරාජික කරගැනීමේ ප්‍රතිඵලවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා.



මතක තියාගන්න, තම සවිඥානක මට්ටම ඉහළ නංවා ගැනීමට සහ යහපත් සිතුවිලි පෙරදැරිව තමන් හා අනුන් වෙනුවෙන් කැපවීමට උත්සාහ කරන අයට, සෙනසුරුගේ කිරණ මහත් ආශීර්වාදයක් වෙනවා.

සංජීව කුළුපන බණ්ඩාර.





Friday, January 14, 2022



සිතීමේ මධ්‍යස්ථානය වන්නේ මනස යි.

හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය නම් හදවතයි.

ජීවන ශක්තිය පිළිබඳ මධ්‍යස්ථානය නාභිය යි.



දරුවෙක් මෙලොව එළිය දුටු විගස හඬන්නෙ කුසගින්න නිසාද ? 

නැත. ජීවන ශක්තිය හා සම්බන්ධතාවය බිඳ දැමීම නිසාය. මවගේ කුසේ වර්ධනය වූ දරුවා මව හා සම්බන්ධව සිටියේ නාභිය තුළිනි. මවගේ ජීවන ශක්තිය දරුවා තුළට ගලා ආවේ නාභිය හරහාය. දරුවා ඉපදුණු වහාම පෙකණි වැල කපා දමයි. ඒ,මවගේ ශරීරයත් සමඟ ජීවත් වූ දරුවා වෙන් වන අවස්ථාවයි. එහිදී දරුවා නාභිය තුළින් ලැබූ ජීවන ශක්තිය මුළුමනින්ම නවතී. මුළු සිරුරම කම්පනය වීමට පටන්ගනියි. එතෙක් ගලා ආ ජීවන ශක්තිය දරුවාගේ මුළු පැවැත්ම විසින්ම ඉල්ලා සිටියි. දරුවා නොහැඬුවේ නම් වෛද්‍යවරු සිතන්නේ කුමන හෝ ගැටළුවක් ඇති බවයි. ජීවන ශක්තියෙන් වෙන් කරනු ලැබීම දරුවාට නොදැනෙනවා යනු දරුවා මරණයට ආසන්න බවයි. උපන් විගස නොහඬන දරුවා හැඬවීමට සෙස්සෝ සියලු උත්සාහයන් දරන්නේ එබැවිනි. දරුවා හැඬිය යුතුමය. ජීවත් වීමට නම්, තමා ජීවන ශක්තියෙන් වෙන් කරනු ලෑබූ බව දැනිය යුතුමය. එය නොදැනෙන්නේ නම් මහත් අවදානමකය.


ඊට පස්සෙ...

දරුවා නැවත අලුත් ආකාරයකින් ජීවන ශක්තිය සමඟ සම්බන්ධ වෙනවා. කොහොමද...? මව් කිරිවලින්. පළමුව නාභිය හරහා ජීවන ශක්තිය සමඟ සම්බන්ධ වුණු දරුවා ඔන්න දෙවැනි වරට සම්බන්ධ වෙනවා 'හදවත' සමඟ. මවගේ හදවත සමඟ දරුවාගේ හදවතේ මධ්‍යස්ථානය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම නාභි මධ්‍යස්ථානය අමතක වෙනවා. නාභි මධ්‍යස්ථානය සමඟ තව දුරටත් දරුවාගේ සම්බන්ධයක් නෑ. නාභියෙන් ලබාගත් ශක්තිය දැන් මුවින් ලබාගන්නවා. මව් කිරිවලින් පෝෂණය නොවූ දරුවෙකුගේ ජීවන ශක්තිය දුර්වලයි. දරුවෙකුට වෙනත් ආකාරයකට කිරි ලබාදෙන්න පුළුවන්. ඒත් මවගේ හදවතේ ස්පර්ශය ලබාදෙන්න බෑ. 


වසර කීපයක් ගත වෙන කොට... 

දරුවට සිද්ද වෙනවා මව්කිරිවලිනුත් වෙන් වෙන්න. ඒ කාලය ලෙහෙසියෙන් තීරණය කරන්න බෑ. දරුවාගේ කැමැත්තෙන්ම වෙන් වීම තමයි හොඳම විදිය. මොකද..මවගේ හදවතේ ස්පර්ශය දරුවෙකුට ප්‍රමාණවත් කලක් ලැබෙන්න ඕනැ. දරුවාගේ හදවත හා සම්බන්ධ මධ්‍යස්ථානය හරියට වර්ධනය වෙන්නෙ එතකොටයි. එහෙම නොවුණොත් සාහසික වෙන්න පුළුවන්. 


මව්කිරිවලින් වෙන් වීමත් සමඟ දරුවා උත්සාහ කරනවා නාභිය සහ හදවත හරහා සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ කාර්යයන් මනසෙන්  සම්පූර්ණ කරගන්න. මේ උත්සාහයේදි තමයි බොහෝ ගැටළු මතුවෙන්නෙ. මොකක්ද හේතුව...?  මේ සෑම මධ්‍යස්ථානයකටම ඊට අදාල ක්‍රියාවලියක් තියෙනවා. එකකට බෑ අනෙක් මධ්‍යස්ථානයේ කාර්යය කරන්න. නාභියට හෝ මනසට හදවතේ කාර්යභාරය කරන්න බෑ. හදවතට හෝ නාභියට මනසේ කාර්යය කරන්න බෑ. ඒත් මවගෙන් වෙන් කළ දරුවාට ඉතුරු වෙන්නෙ එක මධ්‍යස්ථානයක් විතරයි. ඒ තමයි මනස. සියලු බර මනස මත පැටවෙනවා. අධ්‍යාපනය ලබා දෙන සියලු ආයතන කටයුතු කරන්නෙ මනස වෙනුවෙන් පමණයි. මනස වැඩියෙන් වර්ධනය කරගත් අයට වැඩිපුර දියුණුව ලබාගන්න පුළුවන් වෙනවා. ඔන්න තරඟය පටන් ගන්නවා. ජීවිතයේ සියලු ක්‍රියාවන් මනසින් කරන්න උත්සාහ ගන්නවා.


ආදරය කරන්න මනසට පුළුවන්ද...? 

බෑ. මනස මඟින් ආදරය කරන කෙනෙකුගේ ආදරය සැබෑ ආදරයක් වෙන්න බෑ. ආදරය සම්බන්ධයෙන් යමක් කරන්න මනසට බෑ. ආදරය එන්නෙ හදවත තුළින්. තරඟය තියෙන්නෙ හැමෝටම මනස දියුණු කරගන්න විතරයි. ඉතින් කෝ ආදරය ? ලෝකෙ පුරාම තියෙන්නෙ ලිංගිකත්වය මිසක් ආදරය නෙමෙයි. ලිංගික ශක්තිය ක්‍රියාත්මක වෙන්නෙ නාභි මධ්‍යස්ථානයෙන්. මණිපුර චක‍්‍රය හෙවත් නාභි චක්‍රය කියලත් නාභි මධ්‍යස්ථානයට කියනවා. හදවත මඟින් ඉටු වෙන්න ඕනැ කාර්යයන්, නාභිය මඟින් ඉටු වෙන්න ඕනෑ කාර්යයන් සියල්ල මනස මඟින් ඉටු කරගන්න යන කොට අවුල් ජාලයක් නිර්මාණය වෙනවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නෙ.


ඔය විදියට ජීවිතයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථාන තුනක කාර්යභාරයන් මනසට පවරලා තියෙනවා. මනසින් මොන තරම් ජයග්‍රහණ ලබාගත්තත් මනස, හදවත, නාභිය සමබරව, නිවැරදිව සුසර කර ගැනීමට නොහැකි වීම හින්දා ජීවිත තුළ නොයෙක් ගැටළු, කරදර, විනාශයන් ඇති වෙනවා. ස්වල්ප පිරිසක් තන්ත්‍ර, යෝග, කුන්ඩලිණී හෝ වෙනත් භාවනා, අභ්‍යාස මඟින් මේ මධ්‍යස්ථාන රිද්මයානුකූලව ක්‍රියාත්මක කරගනිමින් කායික මානසික සුවය පවත්වා ගන්නවා. කායික මානසික සුවය අත්විඳිමින්, තම අභිප්‍රායන් රුචි පරිදි ඉටු කරගැනීමට අතිශයින්ම උපකාරී වන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීමේ මූලික පියවරක් විදියටයි  ඉතාමත් සරලව, හැකිතාක් කෙටියෙන් මේ කරුණු ටික සටහන් කළේ. නැවත මෙවැන්නකින් හමු වෙමු.

සංජීව කුළුපන බණ්ඩාර 

Thursday, January 13, 2022

මේ මම හඳුනන සිකුරු ගැනයි.


 

සිකුරු කියන්නෙ කොහොම කෙනෙක්ද ?

ගොඩක් දෙනෙක් කියන විදියට නම් ඒ ග්‍රහ ලොවේ සුකොමලිය යි. ග්‍රහ ලොවේ මනාලිය යි. " ග්‍රහ ලොවේ සුකොමලිය අහවල් දවසේ අහවල් රාශියට...ලග්න රැසකට මංගල යෝග..."  ඔය විදියේ කියමන් නිතර දෙවේලෙ දකින්න ලැබෙනවා. ඇත්තටම සිකුරු කියන්නෙ සුකොමලියක්ද ? සිකුරු කොහොමද මංගල යෝග උදා කරන්නෙ ? ඔබ සිකුරු හඳුනගෙන තියෙන්නෙ කොහොමද ?


මේ මම හඳුනන සිකුරු ගැනයි.

ස්පර්ශයෙන් ඇතිවන දැනීම ( The Sense of Touch) ලැබෙන්නෙ සිකුරුගෙන්. ඒක බොහොම වටිනා කතාවක්. ස්පර්ශය කියන්නෙ මහා බලයක්. හදවත කුළුගන්වන බලයක්. හදවතේ ස්පර්ශය හැම ස්පර්ශයකටම වඩා බලවත්. පෙකණිවැල කපලා මවගෙ සිරුරෙන් වෙන් කරන දරුවා මව් කිරිවලින් වෙන් කරන තාක් මවගේ හදවතේ ස්පර්ශය විඳිනවා. දරුවෙකුට මව් කිරි වෙන විදියකට දෙන්න පුළුවන් වුණත් මවගෙ හදවතේ ස්පර්ශය වෙන විදියකට දෙන්න බෑ. මවගෙ හදවතේ ස්පර්ශය විඳපු දරුවයි එය නොවිඳපු දරුවයි කියන්නෙ දෙන්නෙක්. දරුවෙක්ගෙ හදවත හරියට වර්ධනය වෙන්න මවගෙ හදවතේ ස්පර්ශය ඕනැ. හදවත කියන්නෙ හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය යි. 


මේ, ස්පර්ශයෙන් ඇති වන දැනීම කියන්නෙ හදවතට දැනෙන ස්පර්ශය මිසක් නිකම් ස්පර්ශයන් නෙමෙයි.ජීවිතයේ අවසානය තෙක් හදවතට දැනෙන ස්පර්ශය, හදවත කුළුගන්වන ස්පර්ශය හරියට ලැබෙන්න නම් කේන්දරයෙ සිකුරු පෝසත් වෙන්න ඕනැ.


ආදරය දැනෙන්නෙ හදවතට. ආදරය පිරෙන්නෙ හදවතේ. ආදරය අයිති සිකුරුට. ඒක හැමෝම දන්නවා. එහෙම දන්න අයත් ආදරය හොයනවා. ආදරය එළියෙ හෙව්වට කවදාවත් ලැබෙන්නෙ නෑ. ආදරය හොයන්න ඕනැ ඇතුලෙ මිසක් එළියෙ නෙමෙයි. ඒක ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ඇතුලාන්තය පෝසත් අයට සල්ලි ලැබෙනවා. සල්ලි කියන්නෙත් පිටින් එන දෙයක් නෙමෙයි. සියල්ල ගලා එන්නෙ ඇතුලෙන්. ආදරයත් එහෙමයි. ඇතුලාන්තයෙ ආදරය පිරිලා ඉතිරිලා යන්නත් කේන්දරයෙ ඉන්න සිකුරු ආදරණිය වෙන්න ඕනැ. එහෙම නොවුණම හැමදාම ආදරය හිඟාකන්න වෙනවා. ඒත් ලැබෙන ආදරයක් නෑ. ඒ හින්දා සිකුරු කොහොම හිටියත් කමක් නෑ ඇතුලාන්තය ආදරයෙන් පුරවාගෙන බලන්න. ආදරය ලැබෙයි හිත පිරෙන්න. හදවත විතරක් නෙමෙයි සියලු මධ්‍යස්ථාන හරියට සුසර කරගන්න පුළුවන් නම් කේන්දරය කොහොම තිබුණත් තමන්ට ඕනැ කරන පසුබිම ඕනැ විදියට හදාගන්න පුළුවන්. ඒකට තමයි භාවනා ක්‍රම භාවිතා කරන්නෙ.


හිතන්නෙ හදවතින් නෙමෙයි. ඒත් හිත පිරෙන්න නම් හදවතට දැනෙන දේවල් හරියට ලැබෙන්න ඕනැ. ආදරය, සතුට, ලෙන්ගතුකම දැනෙන්නෙ හදවතට. හදවත අයිති කේන්දරයෙ හතරට. හතරට දිග්බලයි සිකුරු. සිකුරුයි හදවතයි අතර තියෙන්නෙ නොබිඳෙනා සම්බන්ධයක්. මම සිකුරු අඳුරන්නෙ හදවතේ ග්‍රහයා විදියට. ආදරය වගේම කෝපය සහ වෛරය දැනෙන්නෙත් හදවතටමයි. ආදරයයි වෛරයයි හරි සමීපයි. ආදරය වෛරයට පෙරළෙන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ. සිකුරුට සම්බන්ධ වෙන දුෂ්ට, චන්ඩි ග්‍රහයො හදවතේ වෛරය, කෝපය ඇති කරනවා. දුෂ්ටයෙකුගෙ ඇසුරක්, ඇල්මක් බැල්මක් නැත්නම් එහෙම නෑ. දාල ගියත් ජොලියෙ ඉන්නවා. මුහුදෙ ඉන්නෙ එක මාළුවද... සිකුරු පිරිසිදු නම් අහේනියක් නෑ.


මධුවිත කියන්නෙ සිකුරුට අයිති දෙයක්. නෑ නෑ...රාහුට කියාගෙන එන්න එපා. රාහුගෙ බීම වෙනම එකක්. ජ්‍යොතිෂවේදියා නිර්මාණශීලී වෙන්න ඕනැ කියන්නෙ ඒකයි. බේබදුකමයි චුට්ටක් උගුර තෙමාගෙන සින්දුවක් කියාගෙන විනෝදෙන් ඉන්න එකයි දෙකක්. රාහුට අයිති බීමෙන් හදවතට දැනෙන දෙයක් නෑ. සිකුරු මනුස්සයෙක්ව කාලකන්නි බේබද්දෙක් බවට පත් කරන්නෙ නෑ. එහෙම වුණොත් ඒ සිකුරු සම්බන්ධ වෙච්චි නොහොබිනා ග්‍රහ සංයෝගයක ප්‍රතිඵලයක් මිසක් සිකුරුගෙ වැරද්දක් නෙමෙයි.


රාගය අයිති සිකුරුට.  සිකුරුට අයිති රාගය ආදරණියයි, සාමකාමියි. ප්‍රදර්ශන කාමුකත්වය,දර්ශන කාමුකත්වය,ස්වපීඩන කාමුකත්වය,පරපීඩක කාමුකත්වය,පෙඩෝෆීලියා,ශවකාමය, ෆ්‍රොටොරිසම් ආදී වශයෙන් නොයෙක් විකෘති ලිංගික චර්යාවන්ගෙන් යුතු අය සමාජයේ ඉන්නවා. මේවායින් තමන්ට හෝ අනුන්ට ඇති වෙන්නෙ වේදනාවක් හෝ හිරිහැරයක් මිසක් සතුටක් වින්දනයක් නෙමෙයි. සංසර්ගය කියන්නෙ සමාධිගත වෙන්න පුළුවන් අවස්ථාවක්. සිරුරු දෙකක් නොව ආත්මයන් දෙකක් එකිනෙක හමුවී සහජීවනය හා අපරිමිත ආදරය ගොඩනඟන සමාධිමත් තැනක් වෙත ලිංගිකත්වය ගෙන යාමේ වගකීම සිකුරු සතුයි. එකිනෙකාගේ ශක්තීන් ආදරණීය ලෙස මුසු කෙරෙන, ඔවුනොවුන් එකම රිද්මයකට අනුගත කරවන භාවනාත්මක රැඟුමක් බවට එය පත් කරනු ලබන්නේ සිකුරු යි. හදවතේ සම්බන්ධයෙන් තොර රාගය එනම්, ආදරය මුසු නොවූ ලිංගික ක්‍රියාවලිය යාන්ත්‍රිකයි, නිස්සාරයි. කාලය,සිත හා මමත්වය යන ත්‍රිත්වයම ක්ෂණයකින් අතුරුදහන් කරවන මොහොත හරියට උදා කරන්නේ සිකුරු යි.


සිකුරු කියන්නෙ හිර වෙන්න කොටු වෙන්න අකමැති නිදහස්කාමී කෙනෙක්. මමත්වය තියෙන්නෙ මනසෙ මිසක් හදවතේ නෙමෙයි. සිකුරුට මමත්වය නෑ. සිකුරු සමාජශීලීයි. බොහෝ අදර සම්බන්ධතා මමත්වය හින්දා අතරමග බිඳ වැටෙනවා. සිකුරු අභිබවා මමත්වයේ ග්‍රහයින් ඉස්මතු වීම, සිකුරු මමත්වයේ ග්‍රහයින්ගේ ඇසුරට ලක්වීම වගේ කාරණා හින්දා නිදහසේ ගලා යා යුතු ආදර බැඳීම් පමණක් නෙමෙයි විවාහ ජීවිත පවා බිඳ වැටෙනවා. වරද සිකුරුගෙ නෙමෙයි. සිකුරු හිර වෙන්නෙත් නෑ කාවවත් හිර කරන්නෙත් නෑ. මේක හොඳටම අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා.  සිකුරු දශා ගත කරන, එහෙමත් නැත්නම් සිකුරු බලවත් වෙච්චි දරුවො ඉගෙනගන්න විදිය බලන්න. පොතපතේම හිර වෙලා ඉන්නෙ නෑ. එක දිගට ලොකු වෙලාවක් පොත පතේ ගත කරන්නෙ නෑ. නැගිටලා ගිහින් රවුමක් ගහලා සින්දුවක් අහලා, මොනව හරි කාලා ඇවිත් පාඩම් කරනවා. විනෝදයත් එක්ක තමයි අධ්‍යාපනය කරන්නෙ. අම්මලා කලබල වෙනවා. උනන්දුවක් නෑ කියල හිතනවා. ඒත් වැඩේ හරියට යනවා. තමන්ට ගැළපෙන විදියට නිදහසේ වැඩේ කරගෙන යනවා. විභාගෙන් පාස් වෙනවා. අන්න එහෙමයි සිකුරු. සිකුරු නරක ඇසුරේ නම්, නොමඟ ගිහින් නම් දරුවා නරක ඇසුරට වැටෙන්න පුළුවන්. නොමඟ යන්න පුළුවන්. මේ කියන්නෙ ජෙනුයින් සිකුරු ගැන.



හදවතින් මතුවෙලා මුහුණේ ඇඳෙන අව්‍යාජ ආදරණීය සිනහවකට පුළුවන් විඩාපත් වේදනාබර හදවතක් සුවපත් කරන්න. අසරණ වෙච්චි හිතක බලාපොරොත්තු ඇති කරන්න. සුවහසක් නෙත් සිත් ඇද බැඳගන්න. එහෙම අව්‍යාජ ආකර්ෂණීය සිනහවක් මතුවෙන්නෙ හදවතින්. හදවතේ ලස්සන වැටෙන්නෙ මුහුණට. හදවතයි මුහුණයි දෙකම ලස්සන කරන්නෙ සිකුරු. බුධ ආකර්ෂණය ලබා දෙන විදිය වෙනස්. බුධ ඒ ඒ තැනට, ඒ ඒ අයට හරියන ගැළපෙන විදියට හැසිරෙන්න, කතා කරන්න පුළුවන්කම සහජයෙන් උරුම කරනවා. තැනට සහ කෙනාට හරියන්න භාෂාව පාවිච්චි කරන හැටි බුධ දන්නවා. සිකුරු ආකර්ෂණය ඇති කරන හැටි වෙනයි. ඇස් දෙක කරකවලා, හසරැල්ල දාලා  හදවත කුළුගන්වන හැටි, හිත කීරි ගස්සන හැටි සිකුරු දන්නවා. බලන්න කලා කෙත් දිහා. සමහරු සිකුරුගෙන් තවත් අය බුධගෙන් ඇතැම් අය දෙන්නගෙන්ම රසික හදවත් සොරාගන්නා හැටි.


සිකුරු විනෝදෙට බරයි, සැපපහසුවට කැමතියි. භාහිර අලංකාරය ගැන උනන්දුයි. සිකුරු හරි නීට්. ඒ ඔක්කොම ඇත්ත. ඉන්නෙ පිරිසිදු සිකුරු නම්, ඉන්නෙත් යහපත් තැනක නම් ඒක පෙර පින. 


මේ, සිකුරුගේ සියලු කාරකත්වයන්, සකල රුව ගුණ අලලා සටහන් කරන ලද සාරගර්භ ලිපියක් නෙමෙයි. සිකුරු කිව්වම මට පෙනෙන, මට දැනෙන සිකුරු ගැන තමයි මේ සටහන් කළේ. මීට වඩා වෙනස් අදහස් බොහෝ දෙනෙක් තුළ වගේම බොහෝ පොත් පත්වලත්  තියෙන්න පුළුවන්. විශ්වාස කරනවා කියන්නෙ භයානක දෙයක්. විශ්වාස කිරීම තුළ සෙවීම සහ දැකීම අඩපණ වෙනවා. විශ්වාස නොකරනවා යනු අවිශ්වාස කිරීමත් නෙමෙයි. විශ්වාසයත් අවිශ්වාසයත් අතර අවකාශය තුළදි සොයාගන්න දැකගන්න පුළුවන් වෙනවා. ජ්‍යොතිෂය වගේ විෂයක් ඉගෙනගන්න අය අන්න එතන ඉඳලා තමන්ගෙ ඇස්වලින් යමක් දකින්න උත්සාහ කළොත් බොහෝ දේ දැකගන්න ලැබෙයි.


සංජීව කුළුපන බණ්ඩාර