Saturday, December 18, 2021

2021.12.17 දේශනය.



 ආයුබෝවන්.

සමස්ථ ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය හා සම්බන්ධ ආදරණීය ඔබට සුබ සන්ධ්‍යාවක් වේවා.

පසු ගිය මාසයේදී දේශන පැවැත්වීමට කීප වරක් ආරාධනා ලැබුණත් කාර්ය බහුත්වය හින්දා ඒ අවස්ථාවන් මඟ හැරුණා. වසරේ අවසාන මාසයේදී මේ විදියට යමක් කතා කරන්න ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා.


අලුත් ලෝකය තුළ ජ්‍යොතිෂවේදියාගේ කාර්යභාරය කෙසේ විය යුතුද ? මෙන්න මේ කාරණය මුල් කරගෙන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.


මගේ ආකෘතිය තුළ ජ්‍යොතිෂවේදියෙක් කියන්නෙ අනාවැකි කරුවෙක්, ඵලාඵල පවසන්නෙක්, පත්තරයක ජ්‍යොතිෂ ලිපියක් පලකරන්නෙක් විතරක් නෙමෙයි. මම අදහස් කරන ජ්‍යොතිෂවේදියා ඊට එහා ගිය මහා අධ්‍යාත්මික චරිතයක්. සතර දිග්භාගයෙන් තමන්ව හොයාගෙන එන සේවාදායකයින්ගේ ආධ්‍යාත්මය හඳුනාගෙන, ඒ ඒ පුද්ගලයින්ට සුදුසු, සරිලන ආකාරයට ආධ්‍යාත්මික සහනයක් ලබාදෙන බොහොම සංවර පින්වත් චරිතයක්. ඒ ආකෘතිය ඇතුළෙ ඉඳගෙන තමයි ජ්‍යොතිෂය ගැනත් ජ්‍යොතිෂවේදියා ගැනත් කතා කරන්නෙ.


අලුත් ලෝකය තුළ ජ්‍යොතිෂවේදියාගේ කාර්යභාරය කිව්වම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මොකක්ද අලුත් ලෝකය කියන්නෙ කියල. මීට අවුරුදු දෙකකට පමණ එහා තිබුණු ලෝකය නෙමෙයි දැන් තියෙන්නෙ. දරුණු වසංගතයක් හේතුවෙන් බොහෝ දේ වෙනස් වුණු, තව දුරටත් වෙනස් වෙමින් පවතින ලෝකයක තමයි අපි දැන් ජීවත් වෙන්නෙ. අලුත් ප්‍රශ්න, අලුත් බලාපොරොත්තු, අලුත් සිතුවිලි, අලුත් අසනීප පීඩා එක්ක අද ජනතාව කල් ගෙවනවා.සමාජයේ සිදුවන සියලු වෙනස්කම් ගැන තියුණු ඉවක්, දැඩි විමසිලිමත් බවක් ජ්‍යොතිෂවේදියෙකුට තියෙන්න ඕනෑ. ඒ වෙනස්කම් එක්ක තමයි මනුස්සයින්ට අලුත් ප්‍රශ්න මතු වෙන්නෙ. අලුත් බලාපොරොත්තු ඇති වෙන්නෙ. අලුත් අරමුණුවලට එළඹෙන්නෙ. තිබුණු අරමුණු බලාපොරොත්තු වෙනස් වෙන්නෙ.


අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි පිරිසක් ඇතුළුව දහස් ගණනක් දෙනා වසංගතය හේතුවෙන් මියගියා. තවමත් දිනකට දහයත් තිහත් අතර සංඛ්‍යාවක් මිය යනවා.  මිය ගිය සහ මිය යන අය අතරින් බොහොමයක් වයසක උදවිය හැටියට තමයි වාර්තා වෙන්නෙ. අපේ රටේ දරුවො බොහොමයක් දෙනා ආච්චිලාට සීයලාට තමයි වැඩි පුර සමීප. ආච්චිලා සීයලා එක්ක දවසින් වැඩි කාලයක් ගත කරන දරුවො ඉන්නවා. දෙමාපියො රැකියා කටයුතුවල යෙදෙන අතරෙ ආච්චිලා සීයලා එක්ක දවස ගත කරන දරුවො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ ආච්චිලා සීයලා අනපේක්ෂිත විදියට මිය යන කොට පවුල් ඇතුළෙ නොයෙක් ගැටළු මතු වෙනව. දෙමාපියො අනපේක්ෂිත දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඇතැම් විට දරුවො අනාරක්ෂිත වෙනවා. ඒ වගේම තමයි, ඉඩකඩම් දේපළවල නීතිමය අයිතිය  තියෙන්නෙත් බොහෝ විට වැඩිහිටි පුරවැසියන්ටයි. ඒ අය අනපේක්ෂිත විදියට මිය යන කොට ජීවත්ව ඉන්න අය අතරෙ නොයෙක් ආරවුල් මත ගැටුම් ඇති වෙනවා.නීති ප්‍රශ්න මතු වෙනවා. උසාවිවලට පොලීසිවලට දුවන ගමන් මිනිස්සු මේ ප්‍රශ්නවලට අධ්‍යාත්මික පිළිසරණක් හොයන්න පෙළඹෙනවා. එතනදී මිනිස්සු ජ්‍යොතිෂවේදියො හොයාගෙන යනවා. දේවාල හොයාගෙන යනවා. මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික ප්‍රශ්නවලට උත්තර වෛද්‍යවරු ගාව නෑ. විද්‍යාඥයො ගාව නෑ. දේශපාලඥයො ගාව කොහොමත් නෑ. මිනිස්සු සහනය බලාපොරොත්තුවෙන් විසඳුම් හොයාගෙන යන්නෙ ආධ්‍යාත්මික තැන්වලට. 


මම මුලින් කිව්වා ජ්‍යොතිෂවේදියා තමන්ව හොයාගෙන එන අයගේ ආධ්‍යාත්මය හඳුනාගෙන ඒ ඒ අයට සුදුසු සරිලන ආකාරයට උපදේශනය ලබාදෙන්න ඕනැ කියලා. ඒ කාරණය මෙතනදි නැවතත් මතු කරන්න වෙනවා. නොයෙක් ගැටළු ගැහැටවලින් පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ අවබෝධ ශක්තිය, දැනුම, තේරුම් ගැනීමේ හැකියාව එකම මට්ටමක නෑ. නොයෙක් ධාරිතාවෙන් යුතු අය ඉන්නෙ. වසංගතයත් එක්ක ඒ තත්වය තවත් වෙනස් වෙලා තියෙනව.  හැමෝටම එකම විදියට, එකම ප්‍රමාණයට කතා කෙරුවට වැඩක් නෑ. සමහරුන්ට යමක් ඉක්මනට අවබෝධ කරගන්න බෑ. සමහරුන්ට යමක් ඉක්මනට අමතක වෙනවා. 'මෙච්චර වෙලා මොනවද කිව්වෙ...මොනවත් තේරුණේ නෑ' කියල කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒ හින්දා පුද්ගලයා අවබෝධ කරගෙන ඒ අයට සරිලන විදියට ගැළපෙන විදියට ඕනැ කතා බහ කරන්න.


අද කාලෙ ජ්‍යොතිෂවේදියෙකුට විශාල සේවාදායකයින් පිරිසක් ගෙන්වාගැනීම එච්චර ගැටළුවක් නෙමෙයි. අවශ්‍ය වෙන්නෙ ප්‍රචාරය විතරයි. සමාජ මාධ්‍ය, පත්තර, රූපවාහිනිය භාවිතා කරලා හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න පුළුවන්. එහෙම කරන අයත් ඉන්නවා. හයිලෙවල් පාරෙ ඉඳලා මගෙ ගෙදරට තියෙන කිලෝමීටරයක දුර ප්‍රමාණය පිරෙන්න සෙනග ගෙන්වාගන්න එක මට අමාරු වැඩක් නෙමෙයි. ඒත් පිරිස ඕනැවට වඩා වැඩි වෙන කොට සේවයේ ගුණාත්මක බව පහළ වැටෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩ කරන සේවිකාවන්ට ඉලක්කයක් දෙනවා. දවසකට මෙච්චර කෑලි ප්‍රමාණයක් මහන්න ඕනැ කියල. කෑලි 100 ක් වෙන්න පුළුවන්, 200 ක් වෙන්න පුළුවන්, 300 ක් වෙන්න පුළුවන්. හැබැයි කීයක් මැහුවත් මහන්නෙ එකම කෑල්ල. කොලර් එක නම් කොලර් එක, පොකට් එක නම් පොකට් එක. එකම විදියට මහගෙන යන්න තමයි තියෙන්නෙ. කේන්දර බලනවා කියන එක එහෙම එකක් නෙමෙයි. එක කේන්දරයක් බලලා තව කේන්දරයකට යන කොට මනස වෙනස් වෙන්න ඕනැ. දහ දෙනෙකුගෙ දෛවය දහ විදියක්. කේන්දර සටහන් දහයක්.ඒ හින්දා කේන්දර බැලිල්ල කලබලේට කරන්න බෑ. එක කේන්දරයක් බලලා අනෙක් කේන්දරය බලන්න කලින් මනසට සුළු විවේකයක් ඕනැ වෙනවා. එතකොට තමයි ඊළඟ කේන්දර සටහනේ සියලු දේ මනස හරියට අඳුරගන්නේ. විවේකයක් කියල කියන්නෙ සේවාදායකයින්ගෙන් ඉවත් වෙලා පැත්තකට ගිහින් ගන්න විවේකයක් නෙමෙයි. සේවාදායකයො එක්කම සුහදව කතා බහ කරලා ගන්න විවේකය ප්‍රමාණවත්. එහෙම සුහදව කතා බහ කරන්න ජ්‍යොතිෂවේදියෙකුට ප්‍රියමනාප සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනැ.


තව දෙයක් තමයි, ජ්‍යොතිෂය තුළ නියැලෙන අය කේන්දරය හඳුන්වන්නෙ කර්ම සටහන විදියට. සසරේ කරපු කියපු හොඳ නරක දේවල්වලට අනුව ආනිසංස සහ විපාක ලැබෙන ආකාරය කේන්දරය තුළ සටහන් වෙනවාය කියල තමයි ජ්‍යොතිෂවේදියො බොහොමයක් දෙනා විශ්වාස කරන්නෙ. මගේ දෘෂ්ටිය ඊට තරමක් වෙනස් වුණත් බහුතරයක් දෙනා විශ්වාස කරන්නෙ ඒ විදියට. මේ වෙන කොට විශාල පිරිසක් විදේශ රටවලට යන්න පටන් අරගෙන තියෙනවා. කර්මය වෙනස් කිරීම රට වෙනස් කිරීමෙන් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. විදේශයක කරන රැකියා ව්‍යාපාරවලින් දියුණුවට පත් වීමට යම් උරුම හිමිකමක් තියෙනවද කියන එක ජ්‍යොතිෂවේදියෙකුට කේන්දරයෙන් දැනගන්න පුළුවන්. හැමෝම නොවුණත් බොහෝ දෙනෙක් විදේශ රැකියා සඳහා යොමු වෙන්න පෙර, ඒ වගේම විදේශ පදිංචියකට යොමු වෙන්න පෙර ජ්‍යොතිෂවේදියෙක් මුණගැහිලා ඒ සම්බන්ධයෙන් කරුණු විමසලා බලනවා. මේ වගේ අවස්ථාවලදි ජ්‍යොතිෂවේදියාට ලොකු වගකීමක් පැවරෙනවා ' මේ හදන්නෙ ගොඩ යන්නද නැති වෙන්නද' කියන කාරණය හරියට හොයල බලන්න. රට ගිහින් ගොඩ ගිය අය අනන්ත ඉන්නවා. ඒත් රට යන හැමෝම ගොඩ යන්නෙ නෑ. රට ගිහින් නැති වුණු අයත් ඉන්නවා. රට ගිහින් ජීවිතය නැති කරගත්තු අයත් ඉන්නවා. රට ගිහින් දරු පවුල් නැති කරගත්තු අයත් ඉන්නවා. මේවා ගැන හොඳටම දන්නෙ ජ්‍යොතිෂවේදියො තමයි. අම්මට තාත්තට, බිරිඳට ස්වාමිපුරුෂයාට නොකියන දේවල් ජ්‍යොතිෂවේදීන් හමුවේ කියන අය ඉන්නවා. උසාවියට පොලීසියට අරගෙන නොගිය ගැටළු ජ්‍යොතිෂවේදීන්ට කියන අය ඉන්නවා. කිසි දාක  පත්තරයක නොලියවුණු, ප්‍රවෘත්තිවලට නොකියවුණු මහා දුක්ඛදායක කතන්දර ජ්‍යොතිෂවේදීන් හිත්වල දරාගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේ රට ගමන් සම්බන්ධ කාරණයෙදි ජ්‍යොතිෂවේදීන් බොහොම වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕනැ.


ජ්‍යොතිෂවේදියෙක් මොනම හෝ පොතකට, මතයකට කොටු විය යුතු කෙනෙක් නෙමෙයි. කොටු වෙනව, හිර වෙනව කියන්නෙ අසාර්ථකයි කියන එක. පොත්වල මොනවා තිබුණත් තමන්ට දැනෙන දේ තමයි හොඳම දේ. 


අද සමාජමාධ්‍ය තුළ නිදහසේ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. විශාල පිරිසක් සමඟ සමබන්ධ වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. බොහෝ දේ ලියන්න පුළුවන්කම තියෙනවා.අපේ ජ්‍යොතිෂ මහත්තුරු ජ්‍යොතිෂ නෝනලා ලියන තරමක් ලියන්නෙ ජ්‍යොතිෂය දන්න අයට විතරයි. බැරෑරුම් ජ්‍යොතිෂ කාරණා ගැන ජ්‍යොතිෂය නොදන්නා අයට අවබෝධයක් නෑ. ජ්‍යොතිෂය නොදන්නා සමාජය ඉලක්ක කරගෙනත් කතා කරන්න ඕනැ. ලියන්න ඕනැ. හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. ' කුජ දෙවැනි භාවයේ නම් මෙන්න මෙහෙමයි' කියල ලියපු ගමන් සමහර පණ්ඩිත ජ්‍යොතිෂ මහත්තුරු අදහස් දක්වන්න පටන් ගන්නවා. කුජ දෙකේ හිටියට එහෙම වෙන්නෙ නෑ, දෙවැන්නාධිපති බලන්න ඕනැ, නවාංශකය බලන්න ඕනැ, දෘෂ්ටි බලන්න ඕනැ කියල ලොකු විග්‍රහයක් කරනව. සමහරු හිතනව ලියන හැම දේම ලියන්න ඕනැ ජ්‍යොතිෂවේදීන්ට විතරයි කියල. ඒක මාර ප්‍රශ්නයක්නෙ. ලියන හැම එකක්ම ජ්‍යොතිෂ පාඩමක් වෙන්න ඕනැ කියල තමයි කියන්නෙ. ජනතාව ජ්‍යොතිෂය ප්‍රිය කරන තත්වයට ගේන ක්‍රමය ඒ අය දන්නෙ නෑ. ලග්නයෙ හැටි, ඒ ඒ ග්‍රහයො ඒ ඒ තැන්වල හිටියම වෙන දේ වගේ සරළ කාරණා එක්ක තමයි ජනතාව ජ්‍යොතිෂය අඳුරගන්නෙ. එතකොට තමයි ඒ අය ජ්‍යොතිෂය ප්‍රිය කරන තැනට එන්නෙ. ඒ හින්දා ජ්‍යොතිෂය නොදන්නා අය ජ්‍යොතිෂය ගැන උනන්දු වන අය බවට පත් කරගැනීම සඳහා ඒ අයට ලියන්න. මම මේ වන තෙක් ලියපු සියලු දේ ලිව්වෙ ජ්‍යොතිෂය නොදත් අයට මිසක් ජ්‍යොතිෂවේදීන්ට නෙමෙයි. 2001 අවුරුද්දෙ සුබසෙත පුවත්පතේ කතෘ ජයතිලක අඹුවන්ගල මහත්මා මට ලිපියක් එව්වා 'ඔබේ ලිපි පාඨක ජනතාව අතර මහත් සේ ජනප්‍රියයි අඛණ්ඩව ලියන්න' කියල. මම එදා දැනගත්තා ඒ විදියට ලියන එක සාර්ථකයි කියන එක. 


අද වෙන කොට ජනතාව ඉන්නෙ ප්‍රශ්න කන්දරාවකට මුහුණ දීල. ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. යම් කිසි සහනයක් උදා කරගැනීමේ අදහසින්  බොහෝ දෙනෙක් ජ්‍යොතිෂවේදීන්ගෙ සහය ලබාගන්නවා. ඔය අතරෙ ජ්‍යොතිෂය හෙළා දකින අයත් සමාජයේ ඉන්නවා. ජනතාවගෙ ආධ්‍යාත්මික දුක් කරදරවලට විසඳුම් ඒ අය ළඟ නැති වුණත් ජ්‍යොතිෂයට පහර ගහනවා.ඒ බොහෝ දෙනෙක් අනුන්ගෙන් අරගත්තු කුමන හෝ දැනුමක් ඇතුළට දාගත්තු අය. තමන්ටම අවබෝධ වුණු, දැනුණු කිසි දෙයක් ඒ අය තුළ නෑ. අනුන්ගෙන් අරන් දාගත්තු දේවල් අයින් කළොත් නිකම්ම නිකම් හිස් චරිත.

තමන් තුළින් එන දැනුම, තමන් තුළින් එන අවබෝධය ඒ වගේ නෙමෙයි. ඒවා පිටින් පුරවාගත්තු දේවල් නෙමෙයි. ඒ හින්දා මොනවටවත් කොටු වෙන්නෙ නැතුව නිදහසේ හිතලා අවබෝධ කරගන්න. පරාසර අඳුරගත්තු කුජ ඇත්තටම වටිනවා. වරහාමිහිර අඳුරගත්තු කුජත් වටිනවා. අනිත් අය අඳුරගත්තු කුජත් වටිනවා. ඒවායින් අපි ප්‍රයෝජන ගන්නවනෙ. ඒ වගෙම අපි අඳුරගන්න කුජ, අපි අඳුරගන්න රවි, අපි අඳුරගන්න රාහු කේතු ආදීන් ඊටත් වඩා වටිනවා. නිදහසේ අවබෝධ කරගන්න. කේන්දරය අතට ගත්තම තමන්ගෙ හිතත් තමන්ට උදව් කරන විදියට සමාධිය ඇති කරගන්න.

අහන්න තියෙන ඕනෑම දෙයක් අහන්න. අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.

සියලු දෙනාට තෙරුවන් සරණයි.

සංජීව කුළුපන බණ්ඩාර