සිහින.

( 2001 වසරේදී දිවයිනේ ජනප්‍රියම කාන්තා සඟරාවක පලකරන ලද මාගේ ලිපියකි)

සිහිනයක් දුටුවාද ?
බලමු සුබද අසුබද කියලා..
සිහින ගැන මෙතෙක් ඔබ නොඇසූ, නොදන්නා හැම දෙයක්ම....
  "ඊයෙ රෑ.. මම හීනෙන් සල්ලි ගොඩ ගොඩවල් දැක්කා..."
"කට කට කට...ඕවා කාටවත් කියන්න හොඳ නෑ...අත ළඟම උඹට ලොකු වාසියක්.  ආයිත් කාටවත් කියනවා එහෙම නෙමෙයි..."
   දැකපු ලස්සන හීනයක් ගැන කියන්න හදන කොට සමහර අම්මලා ඔය විදියට කෑගහනවා. වෙන්න තියෙන දේවල් හීනෙන් පෙන්නුම් කරන බවට විශ්වාසයක් අතීතයේ ඉඳලාම තිබුණා. බෞද්ධ සාහිත්‍යයේ ද සිහින ගැන සඳහන් වෙනවා. මහාමායා දේවිය දුටු සිහිනය එයින් ප්‍රධාන වෙනවා. කොසොල් රජතුමා දුටු සිහින දහසය ගැන අද බොහෝ දෙනෙක් වැඩිපුර කතා කරනවා. ශුද්ධ බයිබලයේත් සිහින ගැන සඳහන් වෙනවා. මේ විදියට බලන කොට සිහින බොරුවක් යැයි ඉවත දැමීමේ හැකියාවක් නෑ.
   කිරිකැටි දරුවන් සිහිනෙන් හිනා වෙන හැටි, තිගැස්සෙන හැටි අපිට දකින්න ලැබෙනවා. සිහින දකින්න ලොකු පොඩි භේදයක් නෑ. සමහරු සිහිනෙන් ඇවිදිනවා. සිහිනෙන් ඇවිදින අය ඉන්න ගෙවල්වල දොර ළඟ බිමට තෙත ගෝනියක් දමනවා. එතකොට සිහිනෙන් ඇවිදින කෙනා තෙත ගෝනිය පෑගිලා ඇහැරෙනවා. සමහරු හීනෙන් කියවනවා, කගහනවා, බයවෙනවා. තමන් සමග නිදාගෙන ඉන්න කෙනාට පහරදෙන අයත් ඉන්නවා. 
  මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට සිහින කියන්නේ යටි සිතේ හටගන්නා චිත්ත වේගයන් මනසට ඇතුළු වීමයි.එය සිදුවන්නේ උඩු සිත අක්‍රියව පවතින, යටි සිත ක්‍රියාත්මකව පවතින ගැඹුරු නින්දේදි කියලත් ඔවුන් පවසනවා. කොහොම වුණත් සිහින සමග සම්බන්ධ වන්නේ යටි සිත බව සත්‍යයක්.
      ඈත අතීතයේ සිටි සෘෂිවරු  මනුෂ්‍යයාට අනාගත සිද්ධීන් දැනගත හැකි ශාස්ත්‍ර ක්‍රම රැසක් සොයාගත්තා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය ( Astrology), තත්කාල ශාස්ත්‍රය( Horary Astrology), අංක විද්‍යාව ( Numerology), හස්තරේඛා ශාස්ත්‍රය ( Palmistry), දේහලක්ෂණ ශාස්ත්‍රය ( Physiognomy) වැනි ශාස්ත්‍ර මෙහිදී මූලික වෙනවා.  මීට අමතරව සිහින විමර්ශන ශාස්ත්‍රයත් (Dreamology) ඉතාමත් වැදගත් වෙනවා.
    පස්වැදෑරුම් සිහින ප්‍රභේද
   සිහින පස්වැදෑරුම් වෙනවා.ඒ අනුව සෑම සිහිනයක්ම පෙර නිමිත්තක් නොවන බව පැහැදිලි වෙනවා. පස්වැදෑරුම් සිහින නම් මෙසේයි.
01. ධාතු ප්‍රකෝප සිහින.
02. අනුභූත පූර්ව සිහින.
03. දේවතෝපසංහාර සිහින.
04. පූර්ව නිමිත්ත සිහින.
05. මිශ්‍ර සිහින.

   ධාතු ප්‍රකෝප සිහින.
  ශරීරයේ පවතින ත්‍රිදෝෂ එනම්, වා පිත් සෙම් කිපීම හේතුවෙන් පෙනෙන සිහින මෙම ගණයට වැටෙනවා. වාතය කිපීම හේතුවෙන්  අහසේ පාවීම, උස් තැන්වල සිට සෙමින් පහතට වැටීම වැනි සිහින පෙනෙනවා. පිත කිපීම හේතුවෙන් පහරවල් වැදීම්, වැටීම්, යම් යම් දේවල්වල ගැටීම්, අද්භූත සිදුවීම් ආදී සිහින පෙනෙනවා. සෙම් ධාතුව කිපීම හේතුවෙන් ජලය, ජලයට වැටීම, පිහිනීම, දියනෑම, ගංවතුර වැනි සිහින පෙනෙනවා.
අනුභූත පූර්ව සිහින.
   මතකයේ රැඳුණු යම් දෙයක් සම්බන්ධව හෝ තමන් සම්බන්ධ විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් දකින සිහින මෙම ගණයට අයත් වෙනවා.තමන් යම් ගැටුමකට කෝලාහලයකට සම්බන්ධවූවා නම් එය මනසේ තැන්පත්ව තිබී පසුව සිහිනෙන් පෙනෙන්නට පුළුවන්. දිවා කාලයේ යම් උත්සව අවස්ථාවකට සහභාගී වූවා නම් එදින රාත්‍රියේ එම අවස්ථාවන් සිහිනෙන් නැවත පෙනෙන්නට පුළුවන්.
 දේවතෝපසංහාර සිහින.
    පෙනෙන බලවේගවලට වඩා නොපෙනෙන බලවේග වැඩි බව අපිට පිළිගන්න සිදුවෙනවා. විශේෂයෙන් දෙවියන් පිලිබඳ විශ්වාසයක් අප තුළ පවතිනවා.දෙවිවරුන්ගේ බලපෑමෙන් හා මියගිය ඥාති හිතමිත්‍රාදීන් ගේ බලපෑම හේතුවෙන්   පෙනෙන සිහින මෙම ගණයට ඇතුලත් වෙනවා. මිනිසුන්ගේ යහපත් ක්‍රියා සම්බන්ධයෙන්  ප්‍රසාදයත්, අයහපත් ක්‍රියා සම්බන්ධයෙන් අප්‍රසාදයත් නොයෙක් ආකාරයේ සංඥාවන් මගින් දැනුම්දීම සිදුකරනවා. ඇතැම් අයට සිහිනෙන් නොයෙක් ඖෂධ වර්ග ගැන හෙළිකරනවා. යම් යම් නියෝග ලබා දෙනවා.දැනුම්දීම් කරනවා. බෞද්ධ හා ක්‍රිස්තියානි ඉතිහාසයේ සඳහන් සිහිනද මෙයට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. නුදුරේදී මුහුණ දීමට සිදුවන අනතුරු, කරදර ගැන සිහිනෙන් දැනුම්දෙන අවස්ථා තිබෙනවා.
  පූර්ව නිමිත්ත සිහින.
    ඉදිරියේදී සිදුවීමට නියමිත යහපත් හෝ අයහපත් සිදුවීම් පිළිබඳව දකින්නට ලැබෙන පෙරනිමිති මෙම ගණයට ඇතුලත් වෙනවා.ඇතැම් අවස්ථාවල අපට අත්දකින්නට සිදුවන සිදුවීම්, මුණගැසෙන පුද්ගලයින්, යෙදෙන ගමන්, ලැබෙන විශේෂ දේවල් සිහිනෙන් පෙන්නුම් කරන අවස්ථා තිබෙනවා. මෙය කියවන ඔබට එවැනි අත්දැකීම් එකක් හෝ ඇතුවාට කිසිම සැකයක් නෑ. "මේ වගේම තැනක් මම හීනෙන් දැක්කනේ.....හරිම පුදුමයි.."  විශේෂ ගමනකදී හමුවුණු, පෙර නොගිය විශේෂ ස්ථාන වෙත යන ඇතැමුන් ඔය විදියට කියනවා.   අනපේක්ෂිත අයුරින් දීර්ඝ කාලයකට පසුව හමුවන විශේෂ පුද්ගලයින් පෙර දින හෝ දින කීපයකට පෙර සිහිනෙන් දර්ශනය වන අවස්ථා තිබෙනවා.
   මිශ්‍ර සිහින.
   මිශ්‍ර සිහින යටතට ගැනෙන්නේ මනසට ඇතුළුවූ නොයෙක් කාරණා සමග සම්බන්ධ වූ සිහිනයන්ය. සිත බැඳුණු රූමත් යුවතියක් සමග හෝ තරුණයෙක් සමග යහන්ගත වී ප්‍රීතිමත් වන අයුරු සමහර විට සිහිනෙන් දකින්නට පුළුවන්. ඇතැම් යෞවනයින්ට ස්වප්න මෝචනය හෙවත් සිහිනෙන් ධාතු පිටවීමේ රෝගය හා සම්බන්ධව පවතින්නේද මේ ආකාරයේ සිහිනයි. සමහරවිට සිතට නැගුණු මිතුරෙක් හෝ ඥාතියෙක් සිහිනෙන් දැකීම මෙන්ම දිවා  කාලයේ කතාබහට ලක් වූ යමක් සිහිනෙන් දකින අවස්ථාද තිබෙනවා. යටිසිත වෙත තදින් කිඳා බැසගත් දේවල්, වැඩි වශයෙන් සිතන්නට ගත් දේවල් සිහින බවට පත්වෙනවා.විදේශගත ස්වාමිපුරුෂයා ගැන බිරිඳක් නොයෙක් ආකාරයෙන් සිතට නගාගන්නා සිතුවිලි නින්දේදී සිහිනෙන් දකින්නට ලැබෙනවා.
   සිහින ශාස්ත්‍රය කියන්නේ ඉතාමත් වටිනා, ගැඹුරු ශාස්ත්‍රයක්. සිහින තේරුම්ගැනීම අපහසුයි. ජ්‍යොතිෂය, හස්තරේඛා වැනි ශාස්ත්‍ර තරමටම ගැඹුරු මෙම ශාස්ත්‍රය බොහෝ දෙනෙක් විසින් නොසළකා හැර තිබෙනවා. අතේ රේඛා එකිනෙකට වෙනස් වෙනවා සේම, ග්‍රහ පිහිටීම් එකිනෙකට වෙනස් වෙනවා සේම එක් එක් පුද්ගලයාට පෙනෙන සිහිනද වෙනස් වෙනවා. එකම ප්‍රතිඵලය පෙන්නුම් කරන සිහිනය කීප දෙනෙකුට පෙනෙන්නේ කීප ආකාරයකටයි.
   සිහිනයක් දැකීමේදී එම සිහිනය දකින අවස්ථාවද ඉතා වැදගත් වෙනවා. දිවා කාලයේදීද සිහින දකින නමුත් වඩාත් ප්‍රබල වන්නේත්, ප්‍රතිඵලදායක වන්නේත් රාත්‍රියේ දකින සිහින බව පුර්වාචාරීන් ප්‍රකාශ කොට තිබෙනවා. රාත්‍රිය පංච පක්ෂි ක්‍රමය අනුව යාම පහකට බෙදෙනවා. මෙම යාම පහ තුළ දකින සිහින පලදීම සිදුවන්නේ පස් ආකාරයකටයි.
 රාත්‍රියේ යාම පහ.
01. ප.ව 06. 00 - 08. 24 තෙක්
02. ප.ව 08. 24 - 10. 48 තෙක්
03. ප.ව 10. 48 - 01. 12 තෙක්
04. පෙ.ව01. 12 - 03. 36 තෙක්
05 පෙ.ව 03. 36 - 06. 00 තෙක්
   මෙයින් ප්‍රථම යාමයේ දකින සිහින වර්ෂයක් තුළද, දෙවැනි යාමයේ දකින සිහින මාස අටක් තුළද, තුන්වැනි යාමයේ දකින සිහින මාස තුනක් ඇතුළතද, සිව්වැනි යාමයේ දකින සිහින මාසයක් තුළද, පස්වැනි යාමයේ දකින සිහින දස දිනක් ඇතුළතද සැබෑ වන බව පූර්වාචාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
   සිහිනයක් දුටු විට කලබල නොවිය යුතුයි. කලබ වූ විට සිදුවන්නේ අසුබ සිහිනයක ප්‍රතිඵල ඉක්මන්වීමත්, සුබ සිහිනයක ප්‍රතිඵල නොලැබී යාමත් බව තේරුම් ගත යුතුයි.එබැවින් සුබ සිහිනයක් දුටුවද, අසුබ සිහිනයක් දුටුවද කලබල වීම නොකළ යුතුයි. සිහින තේරීම ප්‍රහේළිකාවක් තෝරන ආකාරයට කළ යුතු බවත්, තෝරාගැනීමේ ශක්තිය නැත්නම් දැනුම ඇති අයෙක් ලවා තෝරා ගත යුතු බවත් පූර්වාචාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
   දකින සිහින අනුව ලැබෙන ප්‍රතිඵල.
  සුබ සිහින.
       රජවරු, බමුණන්, දෙවිවරු, භාවනා කරන්නන්, ගුරුවරු, එළදෙනුන්, විශාල පන්දම්, ගංගාවන්, තොටුපළවල්, දිය පිරි පොකුණු ආදිය සිහිනෙන් දැකීමෙන් පැවසෙන්නේ අන්‍යයන්ගේ ගෞරවයට, ප්‍රශංසාවට පාත්‍ර වන බවයි. ළඟ ළඟම පැමිණෙන්නේ සුබදායී කාලසීමාවක් බව අවබෝධ කර ගත යුතුයි.
      බොරදිය, බොර දියෙහි පිහිනීම, උස් පර්වත තට්ටු ගොඩනැගිලි ආදියට ගොඩවීම, අලි ඇතුන් පිට ගමන් කිරීම විශාල පක්ෂීන් පිට ගම කිරීම, සතුරන් පරාජය කිරීම ආදිය ද සුබ දායක සිහින බව තේරුම් ගත යුතුයි. කරන කියන කටයුතු සාර්ථක වන බවත්, ජයග්‍රහණය හිමිවන බවත් මෙයින් ප්‍රකාශවත් වෙනවා.
  සුවඳ හමන මල්, සුදු පැහැති මල්, බඹරුන් සහ මීමැස්සන්, සමනළයින් දැකීම ඉතා සුබදායකයි. සුදු පාට ඇඳුම් පැලඳුම්, රසවත් පලතුරු දර්ශනය වීම සැපවත් කාලයක් ළඟ එන බව පවසනවා.
  සිහිනෙන් තමන්ගේ මරණය දකින ය ඉන්නවා. ඇතැමුන් සිතන්නේ මෙය ඉතාමත් අසුබ පෙර නිමිත්තක් බවයි.තමන්ගේ මරණය සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායක බව පුර්වචාරීන් ප්‍රකාශ කොට තිබෙනවා. බලාපොරොත්තු ඉටුවන කාල පරිච්චේදයක් ඉදිරියේදී එළඹෙන බව මෙයින් කියැවෙනවා. අසනීප වී සිටින අවස්ථාවක තම මරණය සිහිනෙන් දැකීමෙන් අසනීප දුරුවී සුවය සැලසෙනවා. ඉතාමත් ශෝකීව සිටිනවා දැකීම මෙන්ම හඬනවා දැකීමද සුබදායකයි. නමුත් බොහෝ දෙනා මෙවැනි සිහින දැකීමෙන් බියට පත්වෙනවා. මෙම සිහින මගින් ඉදිරි සාර්ථකත්වය කියාපානවා.
   සර්පයින් දෂ්ඨ කරනවා දැකීම මෙන්ම බඹරු, මීමැස්සන් දෂ්ඨ කරනවා දැකීම වාසනාව උදාවන බවට පෙර නිමිත්තක්.මෙවැනි සිහින දුටු විට මුදල් ලාභ, ජයග්‍රහණ, උසස්වීම් හිමිවීම, දුක් දොම්නස් දුරුවී යාම සිදුවෙනවා. තමන් කාලයක් තිස්සේ මැවූ සිහිනයක් ඉටුවන බව මෙම සිහින මගින් දැනුම් දෙනවා. ළඟාවිය නොහැකි තරමේ උස් කඳු මුදුන්වලට නැඟීම, උස් ගොඩනැගිලි මතට නැඟීම සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායකයි. කාලයක් තිස්සේ පැවති බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවන යහපත් වටපිටාවක් සැලසෙන බව මෙම සිහින මගින් දැනුම්දෙනවා.
    ගවයින්, කිරි එළදෙනුන්, ඵල බරවුණු ගස් වැල්, මුහුණ බලන කණ්නාඩි, මල්මාලා, මල්මාලා පැළඳි ස්ත්‍රීන්, මස්මාංශ, පළතුරු උයන්, මල් උයන්, දිය පිරුණු කළ, දිය රැගෙන යන කාන්තාවන්, කිරි, කිරි රැගෙන යන පුද්ගලයින්, ගෙඩි පිරුණු ගස්වලට නැඟීම ආදී සිහින ඉතා සුබදායකයි. විශේෂයෙන් ගිලන්ව සිටින අය මෙවැනි සිහින දැකීමෙන් සුවදායක තත්වයට පත්වෙනවා.
  ගංගා, මුහුදු, ඇල දොළවල් ආදියෙන් එතෙර වීම, අහසේ පාවීම, දිය මතුපිට ඇවිදීම ආදී සිහින බලාපොරොත්තු ඉටුවීමේ පෙරනිමිති බව දැනගත යුතුයි.හිරු පායන අයුරු සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායක බව සෘෂිවරු සඳහන් කර තිබෙනවා.මස්මාංශ අනුභව කිරීම, විශේෂයෙන් අමු මස් අනුභව කිරීම මත්පැන් පානය කිරීම, තම සිරුරෙන් රුධිරය ගැලීම, පනුවන් ශරීරයේ එල්ලී සිටිනවා දැකීම, ඇඳුම් කිලිටි වී මඩ තැවරී තිබෙනවා දැකීම මෙන්ම ඇඳුම් ඉරී වැරහැලි වී තිබෙනවා දැකීමද සුබදායකයි. දුක් කම්කටොළුවලින් අත්මිදී සැපදායක කාල සීමාවකට අවතීර්ණ වීමට හැකිවන බව මෙම සිහින මගින් දැනුම් දෙනවා.
    මුතු මැණික්, රන් රිදී ආභරණ, මිණි ගෙඩි, හක් ගෙඩි දැකීම, මෙම වස්තූන්ගෙන් සැරසී සිටිනවා දැකීම සුබදායක වෙනවා.
  දෙවි දේවතාවුන් සිහිනෙන් පෙනෙන අවස්ථා නැතුවාම නෙමෙයි. දෙවි දේවතාවුන් වගේම කොඩි, සේසත් හා ඒවා රැගෙන ගමන් කරන්නන් රජවරු. ඇමතිවරු, රාජ කුමාරිකාවන්, බිසෝවරු, සෙමෙර සලන්නියන්, ගණිකාවන්, රූමතියන්, නිරුවතින් හෝ අද නිරුවතින් සිටින රූමතියන්  සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායක වෙනවා.තත්වයෙන් උසස්වීම, සැප සම්පත්, ධනය, තනතුරු ලැබීම මේවායින් කියැවෙනවා.
   මත්පැන් බී වෙරි වී සිටින මිතුරෙක් දැකීම, ඔබගේ මිතුරෙක් විදේශගත වෙනවා දැකීම මිතුරෙක් දියේ ගිලෙනවා දැකීම, ළඟම මිතුරෙක් මියයනවා දැකීම, කලින් හමු නොවූ මිතුරෙක් මුණ ගැහෙනවා දැකීම, මිතුරෙක් හදිසි අනතුරකට ලක්වෙනවා දැකීම ඔබට මහත් වාසි උදා කරන පෙර නිමිති වෙනවා. මෙහිදී පසුවදාම අදාල මිතුරා අමතා මේ බව පැවසීම හෝ වෙනත් කිසිවෙකුට මේ බව පැවසීම නොකළ යුතුයි.
   කිරිකැටි බිළිඳෙකු සුව පහසුවට නිදාගෙන සිටිනවා දැකීම, බිළිඳෙකු හඬනවා දැකීම, දරුවෙක් ගී ගයනවා  දැකීම, දරුවන් පිරිසක් සතුටින් සෙල්ලම් කරනවා දැකීම, දරුවෙක් මියයනවා හෝ දරුවෙකුගේ මරණයක් සිදුවී තිබෙනවා දැකීම, දරුවන්ගෙන් පිරුණු පන්ති කාමරයක් දැකීම ඔබගේ අපේක්ෂාවන් ඉටුවන බව කියාපානවා.
    මීමැසි රංචුවක් දැකීමෙන් සමෘධිමත් කාලපරිච්ඡේදයක් උදාවෙනවා. කුකුලෙක් දැකීම, කුකුලෙක් හඬලනවා දැකීම තුළින් සෞභාග්‍යය උදාවන බව පැවසෙනවා. සිංහයෙක් දැකීමෙන් පැවසෙන්නේ ඔබට නායකත්වයක් හෝ මුලිකත්වයක් හිමිවන බවයි.හංසයින්, තාරාවන්, බැටළුවන්, මොණරුන් දකිමෙන්ද සුබදායක ප්‍රතිඵල අත්වෙනවා.
   මාළු රංචුවක් දැකීමෙන් අනපේක්ෂිත අයුරින් ඉතාමත් යහපත් ආරංචියක් අසන්නට ලැබෙනවා. මුවෙක් හෝ මුව රංචුවක් දුටුවොත් තේරුම් ගත යුත්තේ ඔබට විරුද්ධව පවතින සතුරු කරදරයක් දුරුවී යන බවයි. දරුවෙක් බිහිවෙනවා සිහිනෙන් දැකීම බලාපොරොත්තු ඉටුවීමේ පෙර නිමිත්තක්. පියයුරු දැකීමෙන් වටිනා සම්පතක් නුදුරේදී හිමිවෙනවා. මිනී පෙට්ටියක් දැකීමෙන් සුබදායක අරංචියක් අසන්නට ලැබෙනවා. මරණයක් හෝ අවමංගල පෙරහැරක් දැකීම තුළින්  ගෞරවය වර්ධනය වීම, අන්‍යයන්ගේ ප්‍රසාදය ලැබීම සිදුවෙනවා. එල්ලා මරනු ලැබූ අයෙක් දැකීමද සුබදායකයි. එයින් පැවසෙන්නේ අනපේක්ෂිත අයුරින් ලැබෙන වාසියක් පිළිබඳවයි.
  සොහොනක් හෝ භූමදානයක් දැකීම සතුටින් පිරි යුගයක් ළඟ ළඟම එන බව පවසනවා. මෙවන් දේ සිහිනෙන් දුටුවිට බොහෝ දෙනා බියට පත්වෙනවා. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවැනි සිහින ඉතාමත් අසුබ සිහින බවයි. මෙම සිහින ඉතාමත් සුබදායක සිහින බව මතක තබාගත යුතුයි. සිහිනෙන් හොල්මන් අවතාර දුටුවිට දැනෙන බිය මෙතෙකැයි කියන්න බෑ. නමුත් සිහිනෙන් හොල්මන් අවතාර දැකීම ඉතාමත් සුබදායකයි. 
 මස් පිණිස එළුවන් ගවයින් වැනි සතුන් මරනවා දැකීම හෝ එසේ මරා දැමූ සතුන් දැකීම තුළින් ඔබගේ සාර්ථකත්වය වර්ධනය වන බව සිතාගත යුතුයි.කොන්ද කුදු වූ අයෙක් දැකීමෙන් නිරෝගී සම්පන්න කාලපරිච්ඡේදයක් උරුම වන බව පැවසෙනවා. පෙරහැරක් දැකීමෙන් ළඟදීම විශේෂ ගමනක යෙදීමට සිදුවන බවත් එම ගමනින් මහත් ප්‍රයෝජන සැලසෙන බවත් දැනුම් දෙනවා.සුරංගනාවියන් සිහිනෙන් දැකීමෙන් සිත සතුටු කරවන ආරංචියක් අසන්නට ලැබෙනවා.අශ්වාරෝහකයෙක් දැකීමෙන් බලාපොරොත්තු සඵල වෙනවා. නිරුවතින් පිරිසක් මැද සිටිනවා දැකීමෙන් ළඟදීම පෙම්වතෙක් හෝ පෙම්වතියක් වීමේ වාසනාව උදාවෙනවා. 
  දකුණු ඇත සුදු නාගයෙක් විසින් වෙලාගන්නා අයුරු සිහිනෙන් දැකීමෙන් දින හයක් ගතවීමට පෙර මහා වස්තු සම්භාරයක් හිමිවන බව පුරාණාචාර්යවරු පවසා තිබෙනවා.එසේම කිරි ගසකට හෝ ඵල දරන ගසකට තනිවම නගින අයුරු දුටුවොත් දින කීපයකින් මහත් වාසනාවක් උදාවන බව දැනගත යුතුයි. පහන් හෝ සඳ මඩල දැකීමෙන් නිරෝගී බව ලැබෙනවා.සීසානවා දැකීමෙන් මංගල යෝග උදාවෙනවා. සිඟමන් ඉල්ලමින් යාචකයෙක් නිවසට පැමිණෙනවා දුටුවොත් සැපවත් හා ප්‍රීතිමත් කාලයක් ළං වන බව සිතාගත යුතුයි.
   මිනිසුන්ගෙන් පිරුණු මුහුදු වෙරළක් දැකීමෙන් ප්‍රීතිමත් අවස්ථාවකට සම්බන්ධවීමට ඉඩ සැලසෙන බව කියාපානවා.අව්රශ්මියෙන් ගහන මුහුදු වෙරළක් දැකීමෙන් අමතර ආදායම් මාර්ගයක් හිමිවන බව පැවසෙනවා.
   ගැබිණි මව්වරුන් සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායකයි. මෙමගින් පැවසෙන්නේ බලාපොරොත්තු ඉක්මනින්ම සඵල වන බවයි. තම මව සිහිනෙන් දුටුවොත් ප්‍රීතිමත්, සැපවත් කාලයක් උදාවෙනවා. බුලත් පිරිණු හෙප්පුවක් දැකීම සෞභාග්‍යය උදාවන බවට පෙර නිමිත්තක්. යුවතියක් විසින් බුලත් පිරිණු හෙප්පුවක් ගෙනැවිත් පිළිගන්වනවා දුටුවොත් සම්පත් ලැබෙන බව දැනගත යුතුයි.
   රැවුල හෝ කොණ්ඩය දිගට වැවී තිබෙනවා දැකීමෙන් ප්‍රයෝජනවත් මිතුරෙක් හෝ මිතුරියක් හමුවන බව පැවසෙනවා.මුළු සිරුරම රෝමවලින් වැසී තිබෙනවා දැකීම වාසනාවන්ත සිදුවීමක පෙර නිමිත්තක් බව වටහාගන්න.
    ස්නානය කරන අයුරු සිහිනෙන් දැකීම නිරෝගී බව ලැබෙන බවට පෙර නිමිත්තක්. නිරුවතින් ස්නානය කරනවා දැකීම වඩාත් සුබදායක වෙනවා. මහත් වාසි අත්වීමත්, වැඩ කටයුතු සඵල වීමත් මෙයින් කියැවෙනවා. තවත් අය අතර හිඳ නිරුවතින් ස්නානය කරනවා දැකීම වඩාත් සුබදායක වෙනවා.
   සුදු පාට කොක්කු රෑනක් දැකීම සෞභාග්‍යය උදාවන බවට පෙර නිමිත්තක්. සුදු පරවියන් රෑනක් දැකීමත් ඒ ආකාරයෙන්ම සුබදායක වෙනවා. සංසර්ගයේ යෙදෙනවා දැකීම බලාපොරොත්තු ඉටුවන බවට පෙර නිමිත්තක්. සිහිනෙන් රැස්වීමක් අමතනවා දැකීම කලක් බලාපොරොත්තුවෙන් සිටි දුරස්ථ හිතවතෙක් පැමිණෙන බව ප්‍රකාශ කරනවා.
   අසුබ සිහින.
  අසුබ සිහින හේතුවෙන් ඇතිවන අසුබ ප්‍රතිඵල දුරුවීම සඳහා කළයුතු පිළියම් ක්‍රම පුරාණ සෘෂිවරු පැහැදිලිකර තිබෙනවා. එම පිළියම් දක්වීමට මත්තෙන් අසුබ සිහින මොනවාදැයි දැනගනිමු.
 ඇස් ගිලිහෙනවා දැකීම, කිසිවෙකු විසින් ඇස් ගලවනවා දැකීම ඉතාමත් අසුබදායකයි. ඔබ ආදරය කරන දෙයක් ඔබෙන් දුරස්වීමට  හෝ ඔබ සතුව පවතින වටිනා දෙයක් සොරුන් විසින් පැහැර ගැනීමට ඉඩ තිබෙන බව මෙමගින් දන්වනවා.වෙස්සන්තර ජාතකයේ සඳහන්වන අන්දමට මන්ත්‍රී දේවියද මෙවන් සිහිනයක් දුටුවා. එහි ප්‍රතිඵලය වශයෙන් වෙස්සන්තර රජු තම දරුවන් දෙදෙනා ජූදක බමුණාට දන්දුන්නා. මෙවන් සිහින දුටුවිට කලබලවීම හෝ අන්‍යයන්ට පැවසීම ප්‍රඥාගෝචර වන්නේ නෑ. සිහිනය දුටු යාමය ගැන සැළකිලිමත් වී අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම වැදගත් වෙනවා. 
   පෙම්වතා හෝ පෙම්වතිය විසින් එක්වරම ඔබව සිපගන්නවා දුටුවොත් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඔබ යම් රැවටීමකට ලක්වීමේ ඉඩකඩක් පවතින බව මෙයින් දැනුම්දෙනවා. ගණුදෙනු වලදී, හිතමිත්‍රාදීන් සමග කටයුතු කිරීමේදී සැළකිලිමත්විම වැදගත් වෙනවා.
   හිස මුඩුකළ අය, රතු මල්, රතු මල් පැළඳගත් අය, රතු හෝ කළු වස්ත්‍ර හැඳගත් අය, විකෘති ශරීරාංග ඇති අය, කඩු අත දරා සිටින වධකයින්, කළු පැහැති නාගයින්, ඉත්තෑවන්, මීයන් සිහිනෙන් දැකීම සුබදායක නොවන බව අවබෝධ කරගත යුතුයි.
   ශරීරයේ යම් ස්ථානයක් තුවාල වී කළු පැහැයෙන් රුධිරය ගලනවා දුටුවොත් ඔබ සිටින තත්වයෙන් පහතට වැටීම සිදුවන බව දැනගත යුතුයි.ශරීරයේ කුමන හෝ ස්ථානයක් තුවාල වී ඒ මත කළු පැහැ බෙහෙත් ආලේප කරනවා දැකීමද ඒ ආකාරයෙන්ම අසුබදායක බව වටහා ගත යුතුයි.
    ඔටුවන්, කොටළුවන්, මීහරකුන් දැකීම මෙන්ම එම සතුන්ගේ පිට මත නැගී යනවා දැකීම රෝගී වන බවට පෙර නිමිත්තක්. රෝගී තත්වයේ සිටින යමෙක් මෙවැනි සිහින දැකීමෙන් රෝගය උත්සන්න වෙනවා.
     නිවස හෝ නිවසේ කොටසක් ගිනිගන්නා අයුරු දැකීමෙන් රැකියාවට හෝ දේපළවලට හානි පැමිණෙනවා. රණ්ඩු කෝලාහලවලට පැටලීමට හෝ නීති ප්‍රශ්නයකට මුහුණ දීමටද  සිදු විය හැකියි. ගින්න කෙසේ හෝ නිවා දැමීමට හැකිවූවා නම් එතරම් හානිදායක තත්වයක් ඇතිවන්නේ නෑ.
    සිංහයින්, වළසුන්, දිවියන් වැනි භයානක සතුන් වෙතින් තමන්ට හානි සිදුවෙනවා දැකීම, විශාල මත්ස්‍යයින් විසින් ගිලිනවා දැකීම සුබදායක නෑ. රෝගී වීම මෙන්ම පවතින රෝග තත්වයන් උත්සන්න වීමද මෙහිදී සිදුවෙනවා. දල්වා තිබෙන පහන් නිවී යනවා දැකීමද ඉතාමත් අසුබදායකයි. තම දෙනෙත් අන්ධවනවා දැකීමද අසුබයි. මෙවැනි සිහින දුටුවිට එදිනෙදා ජීවිතයේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.
   ඔබ ගමන් කරමින් සිටි නැවක් ගිලෙනවා දැකීම, ඔබ යමින් සිටි ගුවන් යානයක් අනතුරට ලක්වෙනවා දැකීම, එම අනතුරින් ඔබට තුවාල සිදුවෙනවා දැකීම  අසුබදායක බව වටහා ගත යුතුයි. කුමන අනතුරකින් වුවද ඔබ නිරුපද්‍රිතව බේරී සිටිනවා දැකීම අසුබ සිහිනයක් නොවන බව වටහා ගත යුතුයි.යකුන් යක්ෂණියන්  සිහිනෙන් දැකීමෙන් සෞක්‍යය පිරිහීමට පත්වෙනවා.මන්ත්‍රකරුවන් හෝ මන්ත්‍රකාරියන් දැකීමෙන් කරදර ලඟා වෙනවා.
    රන් ආභරණයක් නැතිවෙනවා දැකීමෙන් මානසික පීඩාවන් ඇතිවෙනවා. ශරීරයේ අත් පා ආදී අවයව නොමැති අයුරු සිහිනෙන් දැකීමෙන් නොයෙක් අලාභයන්ට මුහුණදීමට සිදුවෙනවා. නිවසේ වහලය ගැලවී යනවා දුටුවොත් කරදරයකට පත්වෙනවා.
  කළු පැහැති බල්ලෙක් ඔබ වෙත පැන සපාකන අයුරු දුටුවොත් පවුලේ සාමාජිකයෙකුට තද බල අපල කාලයක් උදාවී ඇති බව වටහා ගත යුතුයි. පවුලේ කිසිවෙකු ගිලන්ව සිටින්නේ නම් ඔහු හෝ ඇය පිළිබඳව කල්පනාකාරී විය යුතුයි.
    කිසිවෙකු සමග පොතක් හුවමාරු කරගන්නවා සිහිනෙන් දැකීම ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීමට අසන්න බව දැනුම්දෙනවා. පෙම්වතියක් හෝ පෙම්වතෙක් මුණගැසෙනවා දැකීමෙන් මානසික පීඩාවන් ඇතිවෙනවා. නාඳුනන අයෙක් සමග සංසර්ගයේ යෙදෙනවා දැකීම කරදරකාරී කාලයක් ළංවන බවට පෙර නිමිත්තක්.දෙබරු රංචුවක් දුටුවොත් ඔබට විරුද්ධව සතුරු බලවේගයක් ක්‍රියාත්මක වන බව වටහාගන්න. දෙබරෙක් දෂ්ඨකරනවා දැකීමෙන් සතුරෙක් වෙතින් ඔබට යම් පීඩාවක් සිදුවන බව වටහාගන්න.අවලක්ෂණ, කළු පුරුෂයින් හෝ ස්ත්‍රීන් දැකීමෙන් කියැවෙන්නේ අපලදායක කාලසීමාවක් උදාවී ඇති බවයි.
   බළලෙක් දැකීමෙන් අවබෝධ කරගත යුත්තේ මිතුරෙක් හෝ මිතුරියක් ඔබට විරුද්ධව කටයුතු කරන බවයි. බල්ලන් දැකීමෙන් ප්‍රකාශ වන්නේ අතම ගරුත්වයට හානි සිදුවන බවයි. කළු බල්ලන් දැකීම වඩාත් අසුබදායකයි. නින්දා අපහාසවලට ලක්විය හැකියි. කකුළුවන් දැකීමෙන් ප්‍රිය කරන අයෙකුගෙන් වෙන්වීමට සිදුවෙනවා. හිස් භාජන දැකීමෙන් ආර්ථික අපහසුතා ඇතිවෙනවා.
  දතක් ගැලවෙනවා දැකීමෙන් බලාපොරොත්තුවක් බිඳවැවෙනවා. දත් කීපයක් ගැලවෙනවා දැකීමෙන් විශාල පාඩුවක් සිදුවෙනවා. දත් ඇන්දක්ම ගැලවෙනවා දුටුවොත් තමන්ගේ සමීපම අයෙක් වෙන්වී යන බව වටහා ගත යුතුයි.නිවසේ බිත්තියක් පුපුරා යන අයුරු දැකීම, ළිප මත තිබෙන මුට්ටියක් හෝ ඇතිලියක් බිමට වැටී කුඩුවෙන අයුරු දැකීම ඉතාමත් අසුබදායකයි. පවුලේ අසමගිකම් ඇතිවීම, සතුරු කරදර ඇතිවීම, දියුණුව බිඳ වැටීම, සොරබිය ඇතිවීම මෙමගින් ප්‍රකාශවත් වෙනවා.
   හිරු, සඳු හෝ තරු ගිලිහී වැටෙනවා දැකීම, කටු සහිත ගස්වලට නගිනවා දැකීම, පැවිදි අය විසින් සිප වැළඳගන්නවා දැකීම, තෙල් වර්ග පානය කරනවා දැකීම, විකාර ස්වරූපයෙන් යුතු අය රංගනයේ යෙදෙනවා දැකීම ඉතාමත් අසුබ බව මතක තබාගත යුතුයි. රෝගී තත්වයට පත්වීම මෙන්ම රෝගී අයගේ රෝග තත්වයන් උත්සන්න වීම මෙහිදී සිදුවෙනවා. 
   පොලව දෙදරා ඉරිතලනවා දැකීම, පොලව ගිලා බසිනවා දැකීම, තුඹස් දැකීම, තුඹස් මතට නගිනවා දැකීම අසුබදායකයි. කරගෙන යන කටයුතු අසාර්ථකත්වය ට පත්වීම, බලාපොරොත්තු බැඳවැටීම මෙමගින් සිදුවෙනවා.  නිවසේ බඩු භාණ්ඩ පිටතට පාවී යනවා දැකීම, නිවසේ බඩු භාණ්ඩ අතුරුදන් වනවා දැකීම කරදර කම්කටොළු ඇතිවන බවට පෙර නිමිති වෙනවා. නිවසේ වහලය ශරීරය මතට කඩාවැටෙනවා දැකීම ඉතාමත් අසුබයි. යුග ජීවිතය දෙදරායාමේ අවදානමක් පවතිනවා. යකඩ, ඊයම් වැනි ලෝහයන්ගෙන් සෑදූ ආභරණ ලැබෙනවා දැකීමද අසුබ බව දැනගත යුතුයි.
   සුබ සිහින හා අසුබ සිහින තවත් කොතෙකුත් දක්වන්න පුළුවන්. සිහින ආවර්ජනය නොකරන ලෙසට පූර්වාචාරීන් අවවාදකර තිබෙනවා. එනම් සිහිනය නැවත නැවත මතක් කිරීම නොසුදුසුයි. 
    අසුබ සිහිනයන්ගේ අසුබ ප්‍රතිඵල දුරුකර ගන්නා අන්දම. 
  බියජනක හෝ අසුබ සිහිනයක් දුටුවිට සිතේ ඇතිවන කැළඹිලි තත්වය නැතිකර ගැනීමට ආගමික කටයුතුවල නිරතවිය යුතුයි. බෝධි පූජාවක් පැවැත්වීම වඩාත් සුදුසුයි. අසුබ සිහිනය වරින්වර ආවර්ජනය කිරීමෙන් වැළකිය යුතුයි. 
  සිහින සමග සම්බන්ධවන්නේ සිත බැවින් සිතට අධිපති සඳු ග්‍රහයාට අදාල පුණ්‍ය ක්‍රියාවන් සිදුකිරීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. පත්තිනි මෑණියන් වෙනුවෙන් පූජාවක් පැවැත්වීම, කිරිඅම්මාවරුන්ට දානයක් පිළිගැන්වීම, රතන සුත්‍රය කියැවීම,බෝධියකට සුදු නෙලුම් මල් පූජා කිරීම,බෝධියකට එළඟිතෙල් පහනක් දැල්වීම මෙහිදී වඩාත් සුබදායකයි. 
     නපුරු සිහින දැකීමෙන් වැළකීම සඳහා භාවිතා කළ යුතු වටිනා ගාථා තුන.

යං දුන්නිමිත්තං අවමංගලංච 
යො චා මනාපෝ සකුණස්ස සද්දෝ 
පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවෙන විනාසමෙන්තු 

යං දුන්නිමිත්තං අවමංගලංච 
යො චා මනාපෝ සකුණස්ස සද්දෝ 
පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං
ධම්මානුභාවෙන විනාසමෙන්තු 

යං දුන්නිමිත්තං අවමංගලංච 
යො චා මනාපෝ සකුණස්ස සද්දෝ 
පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං
සංඝානුභාවෙන විනාසමෙන්තු