Friday, August 24, 2018

සිකුරු මාරුව


ග්‍රහ ලොව දීප්තිමත්ම ග්‍රහයා වන සිකුරු 2018 සැප්තැම්බර් මස පළමු වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.32 ට තුලා රාශියට ගමන් කිරීමට නියමිතය. ස්ත්‍රී කාරක ග්‍රහයෙක් ලෙස සැළකෙන සිකුරු සකල කලාවන්ට මෙන්ම ලෞකික සැප සම්පත්වලට අධිපති ග්‍රහයාය. තුලා රාශිය සිකුරුට අයත් රාශියකි. ඒ අනුව තුලා රාශියේදී සිකුරු ස්වක්‍ෂේත්‍ර බලයට පත්වේ. පංච මහා පුරුෂ යෝග අතරින් එකක් වූ "මාලවි" නම් යෝගය උදා කරන්නේ සිකුරු ග්‍රහයාය. 2018 සැප්තැම්බර් මස පළමු වෙනිදා රාත්‍රී 11.32 පටන් 2019 ජනවාරි මස පළමු වෙනිදා රාත්‍රී 08.43 තෙක් සිකුරු තුලා රාශියේ කල් ගෙවීමට නියමිතය. මෙවර සිකුරු ග්‍රහයා මෙතරම් දීර්ඝ කාලයක් තුලා රාශියේ කල් ගෙවීමට හේතුව ඔක්තෝබර් 07 වෙනිදා පටන් නොවැම්බර් 17 වෙනිදා තෙක් වක්‍ර ගමනේ යෙදීමයි. ලෞකික සැප සම්පත් කෙරෙහි බලපවත්වන ඉතාමත් සුබදායක ග්‍රහයෙක් වූ සිකුරු තුලා රාශියට ගමන් කිරීම ජ්‍යොතිෂයට අනුව ඉතාමත් වැදගත් සිදුවීමකි. සිකුරු තුලා රාශියේ කල් ගෙවන කාල සීමාව තුළ මේෂ,කටක,තුලා,මකර යන ලග්න හිමිව උපත ලබන දරුවන්ට මාලවි නම් වූ ඉතාමත් සුබදායක යෝගය හිමි වනු ඇත. මෙය අලංකාර ගේදොර, යානවාහන, ධනය හා බොහෝ සැප සම්පත් ප්‍රදානය කරන බලවත් ග්‍රහ යෝගයක් ලෙස සැළකේ.
විවාහ කටයුතු, ව්‍යාපාර කටයුතු, නිවාස සෑදීම, කලා කටයුතු, ආහාර පාන සමබන්ධ කටයුතු ආදී බොහොමයක් සම්බන්ධයෙන් ඉතාමත් බලගතු නැකත් උදා වන කාලයකි.
සිකුරු තුලා රාශිගතවී බලවත් වීම හේතුවෙන් ලග්න රැසකට සුබ පල හිමි වේ. සිකුරු තුලා රාශියට ගමන් කිරීම ඒ ඒ ලග්නයට බලපාන ආකාරය විමසා බලමු.

මේෂ ලග්නය.
සිකුරු ගමන් කරන්නේ මේෂ ලග්නය හිමි ඔබේ කේන්දරයේ හත්වැනි භාවයටයි. සිකුරු මාරුව හේතුවෙන් ඔබට සුබ පල අත් වෙනවා. ආර්ථිකයේ ප්‍රගතියක් අත් වෙනවා. අතේ මිටේ මුදලක් ඉතිරි කරගැනීමට හැකි වෙනවා. හිත මිතුරු බැඳීම් වර්ධනය වෙනවා. අන්‍යයන්ගෙන් සැළකිලි උපකාර හිමි වෙනවා. අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇති වෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මේ කාලය ඉතාමත් සුබදායකයි. 
හවුලේ කරන කටයුතු වලින් ලාභ ලැබෙනවා. තම වැඩ කටයුතුවලට අන්‍යයන්ගේ සහයෝගය හිමි වෙනවා. සිතට සතුට සැනසීම ඇති වෙනවා. කරන කියන කටයුතු බොහොමයක් සාර්ථක කරගැනීමට හැකි වෙනවා. 
පොදු කටයුතු, දේශපාලන කටයුතු, සමිති සමාගම් ආශ්‍රිත කටයුතුවල යෙදෙන අයට තනතුරු වරප්‍රසාද හිමි වෙන්නත් ඉඩ තියෙනවා.

වෘෂභ ලග්නය.
සිකුරු ගමන් කරන්නේ වෘෂභ ලග්නය හිමි ඔබේ කේන්දරයේ හයවැනි භාවයටයි. සිකුරු මාරුව හේතුවෙන් ඔබට සැළකිය යුතු තරම් සුබ පල හිමි වන්නේ නෑ.
කරන කියන කටයුතුවලට බාධක එල්ල වෙනවා. වැඩ කටයුතු සාර්ථක කරගැනීමට කීප වාරයක් උත්සාහ කිරීමට සිදුවෙනවා. උත්සාහයේ හා මහන්සියේ තරමට සිතට ගැළපෙන තරමේ ප්‍රතිපල ලබාගැනීමට අපහසු වෙනවා. මානසික සතුට ප්‍රබෝධය වරින් වර අඩු වෙනවා. 
අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සැළකිලිමත් විය යුතුයි. අසත්‍ය චෝදනා එල්ල වීමට ඉඩ තිබෙනවා. 
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් ද සැළකිලිමත් විය යුතුයි. ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩු වෙනවා. සුළු අසනීපයක් වැළඳුනද ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.

මිථුන ලග්නය.
මිථුන ලග්නය හිමි ඔබේ කේන්දරයේ පස්වැනි භාවයට සිකුරු ගමන් කිරීම සුබදායකයි. 
ආදායම් වර්ධනය වෙනවා. ආර්ථිකයේ විශේෂ ප්‍රගතියක් ඇති වෙනවා. හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වෙනවා. හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. පොදු කටයුතු, දේශපාලන කටයුතු, සමිති සමාගම් ආශ්‍රිත කටයුතුවල අයට ඉතාමත් සුබදායකයි. තනතුරු වරප්‍රසාද හිමි වෙනවා.
විවාහය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මෙන්ම අලුත් ව්‍යාපාර ඇරඹීමට, අලුත් වැඩ කටයුතුවලට අත ගැසීමට මේ කාල සීමාව ඉතාමත් සුබදායකයි. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගැනීමට හැකි වෙනවා. විනෝදය, සැප පහසුව හා අලංකාරය කෙරෙහි ඇල්ම උනන්දුව ඇති වෙනවා. අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇති වෙනවා. 
ව්‍යාපාර කටයුතුවල යෙදෙන මිථුන ලග්න හිමියන්ට මෙම කාල සීමාව ඉතාමත් සුබදායකයි.

කටක ලග්නය.
කටක ලග්නය හිමි ඔබේ කේන්දරයේ සිව්වැනි භාවයට සිකුරු ගමන් කිරීම සුබදායකයි. සිව්වැනි භාවය සිකුරු ග්‍රහයාට දිග්බල ස්ථානය ලෙස සැළකෙනවා. ලැබීම් වර්ධනය වන අතර රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති වෙනවා. කරගෙන යන ව්‍යාපාර සාර්ථක වෙනවා. අලුත් ව්‍යාපාරවලට අත ගැසීමටද   ගේදොර සෑදීමටද මෙම කාලය සුබදායකයි. ගෙදර දොරේ සතුට සමගිය ඇති වෙනවා. දුරස්ව පැවති ඥාති සම්බන්ධතා නැවත දැඩි වෙනවා. සමාජයේ අවදානයට ලක් වෙනවා. කලක් තිස්සේ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි විශේෂ යමක් ලබාගැනීමට හැකි වෙනවා. අසනීප පීඩාවන් පැවතුනා නම් ඒවායින් තරමක හෝ සහනයක් ලැබෙනවා.

සිංහ ලග්නය.
සිකුරු ගමන් කරන්නේ සිංහ ලග්නය හිමි ඔබේ කේන්දරයේ වික්‍රමස්ථානය වූ තෙවැනි භාවයටයි. සිකුරු මාරුව හේතුවෙන් ඔබට තරමක සුබ පල අත් වෙනවා. කරන කියන කටයුතු උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් යුතුව කරගෙන යාමට හැකි වෙනවා. රැකියා කටයුතු හා ලැබීම් සම්බන්ධයෙන්ද බොහෝ දුරට සුබදායකයි. 
කලක පටන් පැවති සතුරු බලපෑමක් යටපත් වී යන බව පෙනෙනවා. 
සහෝදරාදීන් සමග සම්බන්ධය දැඩි වෙනවා. තම වැඩ කටයුතුවලට සහෝදරාදීන්ගේ සහයෝගය හිමි වෙනවා. විනෝදය කෙරෙහි ඇල්ම උනන්දුව වැඩි වෙනවා. විරුද්ධ ලිංගිකයන් හේතුවෙන් ගැටළු කරදර මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.

කන්‍යා ලග්නය.
සිකුරු ගමන් කරන්නේ කන්‍යා ලග්නය හිමි ඔබේ කේන්දරයේ ධනස්ථානය වූ දෙවැනි භාවයටයි. සිකුරු මාරුව ඔබට සුබදායකයි. ආර්ථිකයේ විශේෂ ප්‍රගතියක් ඇති වෙනවා. අනපේක්ෂිත ධන ලාභවලට ඉඩ තිබෙනවා. රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා. කතාවෙන් විශේෂ ලාභ ප්‍රයෝජන හිමි වෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට, ව්‍යාපාර ඇරඹීමට, ගෙවල් සෑදීමට, කලා කටයුතුවලට අත ගැසීමට මේ කාල සීමාව ඉතාමත් සුබදායකයි. කරගෙන යන ව්‍යාපාර දියුණුවට පත් වෙනවා. සෙම් අසනීප මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.

තුලා ලග්නය.
සිකුරු ගමන් කරන්නේ තුලා ලග්නය හිමි ඔබේ කේන්දරයේ පළමු භාවයටයි. සිකුරු පළමු භාවයට ගමන් කර ස්වක්‍ෂේත්‍ර වීම ඉතාමත් සුබදායකයි. සිකුරු මාරුවෙන් ඉහළම සුබ පල ලැබෙන්නේ තුලා ලග්නය හිමි ඔබටයි. සිතට මෙන්ම කයටද සැපවත් කාලයක් වෙනවා. ප්‍රීතියෙන් යුතුව කල් ගෙවීමට හැකි වෙනවා. විනෝද වීමට අවස්ථා උදා වෙනවා. ලැබීම් යහපත් වෙනවා. රැකියා කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා. කරගෙන යන ව්‍යාපාර සාර්ථක වෙනවා. අලුත් ව්‍යාපාරවලට අත ගැසීමටද මෙම කාල සීමාව සුබදායකයි. කලා කටයුතු, රූපලාවන්‍ය කටයුතු, ඔසු සල්, හෝටල්, නිවාඩු නිකේතන ආදී කටයුතුවලට අතගැසීමට විශේෂයෙන් සුබදායකයි. විවාහ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට මෙන්ම ගෙවල් සෑදීමට ද මෙම කාලය සුබදායකයි. විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ ආදියට සම්බන්ධ වීමට අවස්ථා උදා වෙනවා. අඹු සැමියන් අතර සතුට සමගිය ඇති වෙනවා.

වෘශ්චික ලග්නය.
සිකුරු ගමන් කරන්නේ වෘශ්චික ලග්නය හිමි ඔබේ කේන්දරයේ වැයස්ථානය වූ දොළොස්වැනි භාවයටයි. සිකුරු දොළොස්වැනි භාවයට ගමන් කිරීම එතරම් සුබදායක නෑ. ධන හානි, නිෂ්පල වියදම්, අධික වියදම්වලට ඉඩ තිබෙන බැවින් ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් සැළකිය යුතු තරමේ ගැටළුවක් ඇති වන්නේ නෑ. 
ඇසුරු කරන හිත මිත්‍රාදීන් තරමක් දුරස් වීමට ඉඩ තිබෙනවා. සුළු ගමන් බිමන් බහුල වෙනවා. විවාහ යෝජනාද දුරස් වීමට ඉඩ තිබෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹීමට අපහසු වෙනවා.

ධනු ලග්නය.
සිකුරු ගමන් කරන්නේ ධනු ලග්නය හිමි ඔබේ කේන්දරයේ අයස්ථානය වූ එකොළොස් වැනි භාවයටයි. සිකුරු තුලා රාශියට ගමන් කිරීම හේතුවෙන් ඔබට සුබ පල අත් වෙනවා. ලැබීම් වර්ධනය වෙනවා. අනපේක්ෂිත ධන ලාභවලටද ඉඩ තිබෙනවා. රැකියා කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.
අලුත් ව්‍යාපාරවලට අතගැසීමට මෙම කාලය ඉතාමත් සුබදායකයි. කරගෙන යන ව්‍යාපාර සාර්ථක වෙනවා.කලා කටයුතුවලට අතගැසීමට මෙම කාල සීමාව විශේෂයෙන් සුබදායකයි. 
පොදු කටයුතු, සමිති සමාගම් ආශ්‍රිත කටයුතු, දේශපාලන කටයුතු ආදියේ නියැලෙන ධනු ලග්න හිමියන්ට මෙම කාල සීමාව ඉතාමත් සුබදායකයි.

මකර ලග්නය.
සිකුරු ගමන් කරන්නේ මකර ලග්නය හිමි ඔබේ කේන්දරයේ කර්මස්ථානය වූ දසවැනි භාවයටයි. සිකුරු මාරුව හේතුවෙන් ඔබට සුබ පල උදා වෙනවා. ඒරාෂ්ටක අපල මධ්‍යයේ කල් ගෙවන ඔබට සිකුරු මාරුව එක්තරා ආකාරයක අස්වැසිල්ලක් වෙනවා.
රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇති වෙනවා. අලුත් ව්‍යාපාරවලට අතගැසීමට මෙම කාලය සුබදායකයි. සෙනසුරු දොළොස්වැනි භාවයේ ඒරාෂ්ටකව ගමන් කරන බැවින් වියදම් පාලනය කරගැනීමට අසීරු වෙනවා.
ගෙවල් සෑදීමට, නව නිවෙස්වලට ගෙවදීමට, විවාහ කටයුතුවලට මෙම කාලය සුබදායකයි.
විනෝද වීමට අවස්ථා උදා වෙනවා. විරුද්ධ ලිංගිකයින් ඇසුරු කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.

කුම්භ ලග්නය.
සිකුරු ගමන් කරන්නේ කුම්භ ලග්නය හිමි ඔබේ කේන්දරයේ භාග්‍යස්ථානය වූ නව වැනි භාවයටයි. සිකුරු මාරුව ඔබට සුබදායකයි.
ලැබීම වර්ධනය වෙනවා. යහපත් ආර්ථිකයක් පවත්වාගැනීමට හැකි වෙනවා. රැකියා කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා. කරගෙන යන ව්‍යාපාර සාර්ථක වෙනවා. අලුත් ව්‍යාපාරවලට අතගැසීමට මෙම කාල සීමාව සුබදායකයි.
ප්‍රීතිදායක උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට අවස්ථා උදා වෙනවා. විනෝද ගමන්වල යෙදීමට හැකි වෙනවා.
මව් පිය උරුමයන් සම්බන්ධයෙන් ගැටළු පැවතුණා නම් ඒවා නිරවුල් කරගැනීමට හැකි වෙනවා.

මීන ලග්නය.
සිකුරු ගමන් කරන්නේ මීන ලග්නය හිමි ඔබේ කේන්දරයේ අට වැනි භාවයටයි. සිකුරු මාරුව හේතුවෙන් ඔබට තරමක සුබ පල හිමි වෙනවා. ආර්ථිකය යහපත් වෙනවා. අතේ මිටේ මුදලක් ඉතිරි කරගැනීමට හැකි වෙනවා. රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා. කරගෙන යන ව්‍යාපාරද බොහෝ දුරට සාර්ථක වෙනවා. විනෝදය කෙරෙහි වැඩි පුර සිත පෙළඹෙනවා. ඉක්මනින් සතුටු වීමට කාරණා යෙදුණද ඒ සමගම කනස්සලු ගතිද ඇති වෙනවා.
ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබෙන නමුත් ඇතිවන සම්බන්ධතා කල් පවත්වාගැනීමට අපහසු වෙනවා. අසනීප පීඩා පැවතුණා නම් තරමක හෝ සහනයක් මෙම කාලය තුළ ලැබෙනවා.
වරින් වර සෙම් පීඩා ඇතිවෙනවා.