Friday, December 19, 2014

මුල්ගල තියලා අවුරුදු ගාණක් වෙනවා. තාමත් බැරිවුණා බිත්ති ටික බැඳගන්න.

හරියට පිළිවෙලට පටන්ගත්ත නම් ඔහොම වෙන්නෙ නෑ.
        සමහර ගෙවල් තියෙනව හරියට දිව්‍ය ලෝක වගේ. සමහර ගෙවල් තියෙනව හරියට අපායවල් වගේ. දිව්‍ය ලෝකයක් තරමට සුන්දර නොවුණත් නිවස ප්‍රිය උපදවන, වාසනාවන්ත තැනක් වෙන්න ඕනැ. කාලාන්තරයක් මුළුල්ලේ පෙරුම් පුරලා හදාගන්න ගේ අපායක් තරමට අප්‍රසන්න තැනක් වුණොත් නම් ඉතින් වැඩක් නෑ. සමහරු මුල්ගල තියලා අත්තිවාරම බැඳගන්නවා මිසක් එතනින් එහාට යමක් කරගන්න බෑ. අත්තිවාරම උඩ ගස්කොලං වැවෙනවා විතරයි. කොහොමටවත් ගේ හදාගන්න ලැබෙන්නෙ නෑ. සමහරුන්ට තම ජීවිත කාලය ඇතුළත නිවසේ වැඩ කටයුතු සම්පුර්ණ කරගන්න ලැබෙන්නේ නෑ. කොයි වෙලේ බැලුවත් එක්කෝ කොටසක් කඩාගෙන දඟලනව, නැත්නම් කොටසක් එකතු කරගන්න හදනව. 
            අලුත් ගෙදරට ගිය දවසෙ ඉඳලා වගතුවක් නැතිවුණා කියලා කියවන අයත් ඉන්නවා. "හම්බ කරන දේ සුරුස් ගාලා යනව හරියට බහිරවයා ගිල්ලා වගේ. මොකක්ද අප්පා හැබෑටම වෙලා තියෙන්නේ....." සමහරු ඔහොමත් අහනවා. සමහර ගෙවල් වලට ලේසියෙන් කෙනෙක් එන්නෙත් නෑ. ආවත් වැඩි වෙලා රැඳෙන්නෙත් නෑ. සමහර ගෙවල් වලට නිතර හිත මිත්‍රාදීන් එනවා. කිසිම පාළුවක් නෑ. 
            සමහරු අතේ එච්චර මුදලක් නැතුව ගේ හදන්න පටන්ගන්නවා. හිතාගන්න බැරි විදියට ඉක්මනට ගේ හදාගන්නවා. ගේ හදාගන්න කොහොමහරි සල්ලි ලැබෙනවා.  තවත් අය ඇතිවෙන්න සල්ලි තියාගෙන ගේ හදන්න පටන්ගන්නවා. ගේ හැදිල්ලත් කල් යනවා සල්ලිත් වියදම් වෙලා යනවා.
           ඔන්න ඔය වගේ කාරණා නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. හිතට බරක් නැතුව හිසට සෙවනක් සලසා ගන්නේ කොහොමද කියන කාරණය හැම දෙනෙක්ම අවබෝධ කරගන්න ඕනෑ. 
             ගෙයක් හදන්න පටන්ගන්න ඉතාමත් සුබ නැකතක් තියෙන්න ඕනෑ. ගේ හදන නැකත අසුබ වුණොත් නිමක් නැති ප්‍රශ්න  මතු වෙනවා. නිවාස නැකතක්   සාදාගැනීම දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් ලවාම කරවාගන්න ඕනෑ. කෝණ මාස තුල නිවාස සෑදීම සුබ නෑ. රවි හෙවත් සූර්යයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි වල ගමන්ගන්නා කාල සීමාවන් කෝණ මාස ලෙස හඳුන්වනවා. නිවසක් සෑදීම ආරම්භ කළ යුත්තේ පුර පක්ෂය තුලයි. පුර පකෂය යනු අමාවක ගෙවුණු තැන් පටන් පසළොස්වක දිනය තෙක් කාලය යි. පුර පක්ෂයේ නැකත් බලවත්. නැකත් සඳහා යොදාගන්නේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින යි.සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා යන දිනයන් නිවාස සැදීම සඳහා යොදා ගන්නේ නෑ.  නිවස සෑදීම ආරම්භ කරන සුබ නැකත පවුලේ සියලු දෙනාට සුබ විය යුතුයි. එනම් පවුලේ සියලු දෙනාගේ උපන් නැකතට, ග්‍රහ තත්වයට සීහෙන ගැළපෙන ප්‍රතිපලදායක නැකතක් විය යුතුයි.
                මනුෂ්‍යයාට වගේම නිවසකටත් කේන්දරයක් හෙවත් ජන්මපත්‍රයක් තියෙනවා.නිවසේ උපත තමයි නිවසට මුල් ගල තබන මොහොත. මුල්ගල තබන මොහොතේ ග්‍රහ තත්වයට අනුව තමයි නිවසේ ඉදිරි අනාගතය තීරණය වෙන්නේ. සමහරු දුක් මහන්සියෙන් හදන ගෙවල් තමන්ට අහිමි වෙනවා. සමහර නිවෙස් පාළුවට යනවා. සමහර අයට ගෙදර රැඳෙන්න හිත දෙන්නේ නෑ. ඇතැම් ගෙවල් වල අඬ දබර නැති දවසක් නෑ. සමහර ගෙවල් කඩ කඩා හදන්න වෙනවා. නිවසක් වාසනාවන්ත වෙන්න වගේම අවාසනාවන්ත වෙන්නත් නැකත් හදන්න පුළුවන්. ඒ හින්දා නිවාස නැකත් ආවාට ගියාට හදාගන්න හොඳ නෑ. නිවැරදි ජ්‍යොතිෂ දැනුම නැති අයෙක් හදන නැකත කොඩිවිණයක් වෙන්න පුළුවන්. 
       ගෙයක් හදන්න පටන් ගන්නකොට සුබ නැකතට කළ යුතු කටයුතු තුනක් තියෙනවා.
       01. ලණු ඇදීම 
       02. අත්තිවාරම කැපීම 
       03. මුල්ගල තැබීම.
  මෙම කටයුතු සඳහා වෙන වෙනම නැකත් තුනක් සෑදිය යුතයි. මෙම කටයුතු සිදු කිරීමට පෙර ත්‍රිවිධ රත්නයේ අශිර්වාදය සහ සතරවරම් දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීම නිවැරදි පිළිවෙතයි. වෙනත් ආගම් අදහන අය තමන්ගේ ආගමට අනුව ආශිර්වාදය ලබා ගත යුතුයි.
         ප්‍රථමයෙන්ම බුදුන් වහන්සේට පහනක් දල්වා.බුදුන් වැඳ පිරිත් තුන් සුත්‍රය කියවා, අත්තිවාරම සතර කොනේ සතරවරම් දෙවියන්ට පහන් හතරක් දැල්විය යුතුයි. බිම පහන් දැල්වීම සුබදායක නොවන බවත් මතක තබා ගතයුතුයි. ඇතැම් දෙනා නොදැනුවත්කම හේතුවෙන් බිම පහන් දල්වනවා. පොළවෙහි දල්වන පහන් භාරගන්නේ ප්‍රේත කුම්භාණ්ඩ ආදී පහත් භූතාත්ම විසිනුයි. දෙවියන්ට දල්වන පහන් අඩි තුනකට වඩා උසකින් තැබිය යුතුයි. බුදුන්ට දල්වන පහන දෙවියන්ට දල්වන පහන් වලට වඩා වැඩි උසකින් තැබිය යුතුයි.
          මුලින්ම යෙදෙන සුබ මොහොතට ලණු ගැසීමේ කාර්යයත් දෙවනුව අත්තිවාරම කැපීමත්, තෙවනුව මුල්ගල තැබීමත් සිදුකළ යුතුයි. මුල්ගල තැන්පත් කිරීමේදී අදාල සුබ දිශාව බලා, උළුවස්සකට හසු නොවන, අත්තිවාරමේ ඊශාන දිශාවේ තැනක තැබිය යුතුයි. පයට පෑගෙන ස්ථානයක මුල්ගල තබන්නේ නෑ.
            මුල්ගල කියන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමත් වැදගත් වෙනවා. නිවසක් තැනීමේදී පළමුවෙන්ම තැන්පත් කරන " ගල " විශේෂ සුබ ද්‍රව්‍ය තැන්පත් කර සාදා ගැනීම අනාදිමත් කාලයක පටන් සිදුකරගෙන එනවා. 
 මුල්ගලට අඩංගු විය යුතු ද්‍රව්‍ය මේවා යි.
     නවරත්න ( මැණික් වර්ග නවය )
     පස්ලෝ ( ලෝහ වර්ග පහ )
     කස්තුරි 
     හිරියල් 
     ගොරෝචන 
     සුදුහඳුන් 
     ඇතු දළ පස්  
     තුවරලා 
     එනසාල් 
     නාමල් රේණු 
     රත්මල් 
     කුංකුමප්පු 
     රත්හඳුන් 
     දෙගල් පස් 
     ගුගුල් 
     එළ අබ 
     නෙළුම් රේණු 
     සමන්පිච්ච 
     මුහුදු වැලි 
     පර්වත පස් 
     ඊතණ 
     කපු ඇට 
     ඇල් හාල් 
     මුං ඇට 
     මෑ ඇට 
     ගංගා වැලි  
     නෙළුම් අල 
     ඇල් වී 
     උඳු 
     තල  
           මේ සියලු දේ අඩංගු නොවුණත් යොදා ගත හැකි ඖෂධ ද්‍රව්‍ය හෝ මේ සඳහා අඩංගු කර ගැනීම වැදගත් වෙනවා. අඩියක පමණ කළු ගලක කුහරයක් සාදා අදාල ද්‍රව්‍ය තැන්පත් කර ආරක්ෂක පිරිත් වලින් ජීවම් කරගැනීම නිවැරදි ක්‍රමයයි. නමුත් අද කාලයේ මුල්ගලක් නිවැරදි ක්‍රමයට සාදා ගැනීම තරමක් දුෂ්කරයි. සිමෙන්ති වලින් සාදන මුල්ගල වුවත් අදාල ද්‍රව්‍ය තැන්පත් කර පිරිත් වලින් ජීවම් කරගැනීමට හැකිනම් ප්‍රතිපලදායකයි. 
           මේ සියලු දේ නිවැරදිව සිදුකළත් ඇතැම් විට භුමියේ දෝෂයක් හේතුවෙන් කරදර බාධක මතුවෙන්න ඉඩ තියෙනවා. ඉඩමේ පදිංචි වී සිටි අයෙක් මියගොස් භූත ආත්මයක ඉපදී ඉඩමේ රැඳී සිටිනවානම් නොයෙක් කරදර බාධක ඇතිවෙන්න පුළුවන්. ඉඩමට සම්බන්ධ නැති අයෙක් ඉඩම තුලදී මියගොස් භූත ආත්මයක ඉපදී බලපෑම් එල්ල කිරීමටත් ඉඩ තිබෙනවා.මෙවන් බලපෑම් නිවාස සාදාගෙන යන අතරමගදී මෙන්ම  නිවසේ පදිංචි වීමෙන් පසුව වුවත් බලපාන්නට ඉඩ තිබෙනවා. මේ අනුව නිවාස සැදීමට පෙර ගුප්ත විද්‍යානුකූලව ඉඩම පරික්ෂාකරවා ගැනීමත්  වැදගත් වෙනවා.නිවාස සෑදීමේදී බොහෝ දෙනෙක් නොයෙක් ගැටළු බාධක වලට මුහුණ දෙනවා. මෙම කරුණු හොඳින් අවබෝධ කරගෙන ගැටළු මතු නොවන ලෙස නිවස ඉදිකරගන්න.  වාස්තු විද්‍යාව හා සම්බන්ධ තවත් බොහෝ දේ ඉදිරියේදී දැනගනිමු.
                 ජ්‍යොතිෂවේදී, දේශමාන්‍ය ආචාර්ය 
                  සංජීව කුළුපන බණ්ඩාර 
                  ( Jyotish Bhasker - India )