Thursday, March 1, 2018

සිකුරු උච්ච වෙයි.



              සකල කලාවන්ට මෙන්ම ආදරයට හා රාගයට අධිපති සිකුරු ග්‍රහයා 2018 මාර්තු 02 වෙනි සිකුරාදා පෙ. ව. 11. 43 ට තම උච්ච භවන වූ මීන රාශියට ගමන් කරනවා. එතැන් පටන් මාර්තු 26 වෙනි දින තෙක් සිකුරු මීන රාශියේ කල් ගෙවනවා.
             මෙම කාල සීමාව තුළ මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නයක් හිමිව උපදින දරුවන්ට " මාලවි" නම් යෝගය හිමිවෙනවා. පංච මහා පුරුෂ යෝග වලින් එකක් වන මෙම යෝගය ඉතාමත් සුබදායක යෝගයක් ලෙස සැළකෙනවා. කලා කුසලතාවන් හිමි වීමට මෙන්ම සැප සම්පත් ලැබීමට ද මෙම යෝගය හේතු වෙනවා.
              සිකුරු උච්ච බලයෙන් යුතුව කල්ගෙවන මෙම කාලසීමාව තුළ වෘෂභ, මිථුන, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන යන ලග්න හිමියන්ට සුබ ඵල උදාවෙනවා.
              මෙම කාලසීමාව ඉතාමත් සුබදායක නැකත් උදාවන කාලයක් ලෙසද සඳහන් කළ හැකියි. විශේෂයෙන් කලා කටයුතු, ඇඳුම් පැලඳුම්, ආභරණ, ආහාර පාන, රූපලාවන්‍ය ආදී කටයුතු ඇරඹීමට මෙම කාලසීමාව ඉතාමත් සුබදායකයි. රවි මීන රාශියට ගමන් කිරීමට පෙර එනම්, මාර්තු 13 වෙනිදා තෙක් කාලය ව්‍යාපාර ඇරඹීමට වඩාත් යෝග්‍ය වෙනවා.
           කෙසේ වෙතත් කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කිරීමත්, මීන රාශියේ අධිපති ගුරු ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියේ ගමන් කිරීමත් හේතුවෙන් මෙම කාලය 
තුළ බොහෝ යෞවන යෞවනියන් මෙන්ම වැඩිහිටි ස්ත්‍රී පුරුෂයින් පවා රාගයට වැඩි වශයෙන් නැඹුරු විය හැකියි. මේ හේතුවෙන් කාම අපරාධ පවා බහුල වීමට ඉඩ තිබෙනවා.