Wednesday, December 6, 2017

නව වසරේ සුබ අසුබ.


2018 ඔක්තෝබර් මස 10 වෙනි දින සිදුවන ගුරු මාරුව හා අප්‍රේල් මස 18 දින පටන් සැප්තැම්බර් මස 06 දින තෙක් සිදුවන සෙනසුරු ගේ වක්‍ර වීම නව වසර තුළ සිදුවන විශේෂ සිදුවීම් ලෙස දැක්විය හැකියි. මීට අමතරව චන්ද්‍රග්‍රහණ දෙකක්, සූර්යග්‍රහණ තුනක් හා ග්‍රහ යුද්ධ 14 ක් ද නව වසර තුළ සිදුවීමට නියමිතයි.
 මේ නව වසර තුළ ඔබේ ලග්නයට අනුව ඔබට ලැබෙන සුබ අසුබ බලපෑම් කෙසේදැයි විමසා බලමු.

මේෂ ලග්නය.
ධනය: පොදුවේ ගත් විට නව වසර ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දුරට සුබදායකයි. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට හැකි වෙනවා.සිකුරු ගේ මහ දශා, අතුරු දශා ගතකරන මේෂ ලග්න හිමියන්ට ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් සතුටු වීමට හැකි වෙනවා. මාර්තු 27 දින පටන් මැයි 15 දින තෙක් කාලය ආර්ථිකය අතින් වඩාත් සුබදායකයි.
රැකි රක්ෂා:
කේතු රැකියා ස්ථානයේ කල් ගෙවන බැවින් රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය වරින් වර අඩු වෙනවා.එසේ වූවත් රැකියා කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටළු කරදර මතුවීමට ඉඩක් නෑ. අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මාර්තු 27 දින පටන් අප්‍රේල් 20 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර තුළ මිශ්‍ර පල උදා වෙනවා.ගෘහ ජීවිතයේ සමගිය වරින් වර බිඳ වැටෙන තත්වයක් පවතිනවා.විවාහ කටයුතු වලට තරමක බාධක එල්ල වෙනවා.නොසුදුසු තීන්දු තීරණ හේතුවෙන් යුග දිවියේ සතුට, සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් විවාහක මේෂ ලග්න හිමියන් තම හැඟීම් පාලනය කරගෙන ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ඔක්තෝබර් 10 දින පටන් ගෘහ ජීවිතය ආශ්‍රිතව සුබදායී වෙනස්කම් සිදුවෙනවා.විවාහ කටයුතු කෙරෙහි එල්ල වෙමින් තිබුණු බාධක අවහිර ඉවත්ව යනවා.සිකුරු මහ දශා, අතුරු දශා ගත කරන මේෂ ලග්න හිමියන්ට වසර පුරා සුබ පල අත් වෙනවා.
සෞක්‍යය:
පපුව ආශ්‍රිත අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතුවල නිරත වන මේෂ ලග්න හිමියන්ට නව වසර සුබදායකයි. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව, සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.

වෘෂභ ලග්නය.
ධනය:
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර තුළ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. ධන හානි, අධික වියදම්, නිෂ්පල වියදම් වලට ඉඩ තිබෙනවා.ලාභ බලාපොරොත්තුවෙන් විශාල ලෙස මුදල් වැය කිරීම් වලින් වැළකී සිටීම වැදගත් වෙනවා.ඔක්තෝබර් 10 දින පටන් ආර්ථිකයේ තරමක යහපත් තත්වයක් ඇතිවෙනවා.
රැකි රක්ෂා:
රැකියා ස්ථානයේ අධිපති සෙනසුරු අට වැන්නේ කල් ගෙවමින් ඒරාෂ්ඨක අපල උදා කරන බැවින් රැකියා සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා.රැකියා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීම සුබදායක නෑ.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙනවා.නව ව්‍යාපාර ඇරඹීමට අදහස් කරගෙන සිටින වෘෂභ ලග්න හිමියන් අවදානම් සහිත මුදල් යෙදවීම් වලින් වැළකී සිටිය යුතුයි.
ගෘහ ජීවිතය:
සෙනසුරු ඒරාෂ්ඨකයේ බලපෑම ගෘහ ජිවිතයට ද එල්ල වන බැවින් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.සිත් අමනාපකම්,එකඟත්වයකට පැමිණීමේ දුෂ්කරතා ආදියට ඉඩ තිබෙනවා. යුග ජීවිත ගතකරන වෘෂභ ලග්න හිමියන් වඩාත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ගේදොර, දේපළ ආදිය සම්බන්ධයෙන්ද ගැටළු මතුවිය හැකියි.නීති ප්‍රශ්නයක් මතුවීමට ද ඉඩ තිබෙනවා.සෙනසුරුගේ මහ දශා, අන්තර් දශා ගතකරන වෘෂභ ලග්න හිමියන් වඩාත් සැළකිලිමත් විය යුතුයි.සිකුරු මහ දශා, අන්තර් දශා ගතකරන අයට අසුබ බලපෑම් අඩු වෙනවා.
සෞක්‍යය:.
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි.වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා.සුළු අසනීපයක් වැළඳුනද ලබා ගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබී යා හැකියි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා. මානසික නිරවුල්තාවය හොඳින් පවත්වා ගත යුතුයි.

මිථුන ලග්නය.
ධනය:
රාහු ධනස්ථානයේ කල් ගෙවන බැවින් ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා.මුදල් ලැබීම අතින් නව වසර සුබදායකයි. හදිසි ධන ලාභ වලට ද ඉඩ තිබෙනවා.ණයට දීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. 
රැකි රක්ෂා:
රැකියා කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.රැකියා කටයුතු වල විශේෂ ප්‍රගතියක් ඇති වෙනවා.අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට වගේම නව රැකියා කෙරෙහි යොමු වීමටත් නව වසර සුබදායකයි.මැයි 15 දින පටන් ජුනි 26 දින තෙක් කාලය ව්‍යාපාර ඇරඹීමට විශේෂයෙන් සුබදායක වෙනවා.නව රැකියා කෙරෙහි යොමුවීමට ද මෙම කාලය සුබදායකයි.
ගෘහ ජීවිතය:
දුර දිග නොබලා කරන ප්‍රකාශ හේතුවෙන් පාඩු සිදුවීමට මෙන්ම මතභේද ඇතිවීමට ද ඉඩ තිබෙනවා.එබැවින් කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.යුග ජීවිත ගත කරන මිථුන ලග්න හිමියන් සමගිය නිවැරදිව ආරක්ෂා කර ගත යුතුයි.දරු පල අපේක්ෂාවෙන් සිටින මිථුන ලග්න හිමියන්ට පින්වත් දරු සම්පත් හිමිවෙනවා.ගේදොර,දේපළ සම්බන්ධ කටයුතු වලට අත ගැසීමට නව වසර සුබයි.
විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායක ග්‍රහ තත්වයක් වසර පුරා පවතිනවා.
සෞක්‍යය:
දෙපා,තුනටිය ආශ්‍රිත වේදනා පීඩාවන්ට මෙන්ම මුත්‍රා ආබාධ වලට ද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ඨ ග්‍රහ තත්වයක් පවතිනවා. අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා. තරඟ විභාග ආදියෙන් ජය අත් වෙනවා.

කටක ලග්නය.
ධනය:
නව වසර තුළ සාමාන්‍ය ආර්ථිකයක් පවත්වා ගන්න හැකි වෙනවා.දුර දිග නොබලා කරන වියදම් හේතුවෙන් පාඩු සිදුවීමට ඉඩ තිබෙනවා.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වැය කරනවා නම් අප්‍රේල් 20 දින පටන් මැයි 14 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් සුබදායකයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටළු මතුවීමට ඉඩකඩ නොමැති නමුත් මානසික නිරවුල්තාවය අඩු වීම හේතුවෙන් සුළු ගැටළු මතුවිය හැකියි.නව වසර තුළ රැකියා ස්ථාන වෙනස් වීමකට ද ඉඩ තිබෙනවා.විදේශ රැකියා සඳහා යොමු වීමට නව වසර සුබදායකයි.අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය සුබදායක යි.
ගෘහ ජීවිතය:
නව වසර තුළ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් තරමක අහිතකර ග්‍රහ තත්වයක් පවතිනවා.ගෘහ ජීවිතයේ සතුට සැනසීම වරින් වර බිඳ වැටීමට ඉඩ තිබෙනවා.ඉක්මන් හෝ නොසුදුසු තීරණ හේතුවෙන් ගැටළු මතුවිය හැකියි.ගමන් අධික වෙනවා.විවේකය අඩු වෙනවා.සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ තිබෙනවා.ස්ථාන වෙනසකට ද ඉඩ තිබෙනවා.විවාහ කටයුතු වලට ද තරමක බාධක එල්ල වෙනවා.අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඉවසිලිමත් වීම වැදගත් වෙනවා.ගේදොර සැදීමේ කටයුතු වලට නව වසර සුබයි. හවුල් කටයුතු වලින් ඈත් වී කටයුතු කිරීම සුබදායක බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
සෞක්‍යය:
නින්ද නොයාම,මානසික ආතතිය,හිස කැක්කුම්,සෙම් පීඩා ආදියට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු කෙරෙහි තද බල බාධක එල්ල නොවුණද මානසික නිරවුල්තාවය අඩු වීම හේතුවෙන් තරමක අඩාල වීමක් සිදුවිය හැකියි.

සිංහ ලග්නය.
ධනය:
ලැබීම අතින් නව වසර යහපත් වූවත්, ලැබෙන දේ මෙන්ම තමන් සතුව පවතින ධනය ද ප්‍රවේශමෙන් භාවිතා කිරීම වැදගත් වෙනවා.වියදම් අධික වන අතර ධන හානි වලට ද ඉඩ තිබෙනවා.ණයට දුන්නොත් ආපසු නොලැබී යා හැකියි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සැළකිය යුතු තරමේ බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.විදේශ රැකියා වල නියුතු සිංහ ලග්න හිමියන්ට වැඩි වාසි අත්වන බවක් පෙනෙනවා.විදේශ රැකියා කෙරෙහි යොමු වීමටද නව වසර සුබදායකයි.නව ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වන සිංහ ලග්න හිමියන් ජනවාරි 14තෙක් කාලයත්,අප්‍රේල් 20 දින පටන් ජුනි 08 දින තෙක් කාලයත් භාවිතයට ගැනීම වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් මිශ්‍ර පල උදා වෙනවා.ක්‍රියාශීලී බව, උද්යෝගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වෙනවා.ගමන් බහුල වීම හේතුවෙන් විවේකය අඩු වෙනවා.විදේශ ගමන් වල යෙදීමට නව වසර සුබයි.ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු වලට තරමක බාධක එල්ල වෙනවා.රහස් සතුරු බලපෑම් එල්ල විය හැකි බැවින් අන්‍යයන් විශ්වාස කිරීමේදී හා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි.
සෞක්‍යය:
උදරශ්‍රිත අසනීප,පිත කුපිත වීම හේතුවෙන් මතුවන අසනීප වලට මෙන්ම සෙම් අසනීප වලට ද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ඨ ග්‍රහ බලපෑම් නොපෙන්වන නමුත් සැළකිය යුතු තරමේ බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වෙනවා.

කන්‍යා ලග්නය.
ධනය:
මුදල් ලැබීම අතින් නව වසර යහපත් වූවද වියදම් අධික වන බවක් පෙනෙන්නට තිබෙනවා.වියදම් සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් වෙනවා.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වැය කරනවා නම් මැයි 14 දින පටන් ජූලි 04 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් වඩාත් සුබදායකයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.නව තනතුරු,උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටුවීමට ඇති ඉඩකඩ අධිකයි.කලා,මාධ්‍ය,නීති,දේශපාලන ආදී ක්ෂේත්‍ර වල නියැලෙන කන්‍යා ලග්න හිමියන්ට වඩාත් සුබදායකයි.බුධ මහ දශා,අන්තර් දශා ගතකරන කන්‍යා ලග්න හිමියන්ට ඉහළ වාසි අත් වෙනවා.ව්‍යාපාර වලට අත ගැසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මැයි 14 දින පටන් ජූලි 04 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.ගේදොර,දේපළ සම්බන්ධයෙන් දියුණුවක් ඇතිවෙනවා.ඉඩකඩම් මිලදී ගැනීමට,ගේදොර සාදා ගැනීමට වසර සුබදායකයි.ප්‍රේම සම්බන්ධතා වලට තරමක බාධක එල්ල වෙනවා.ඇසුරු කරන හිත මිත්‍රාදීන් හේතුවෙන් පාඩු අලාභ සිදුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.ඥාති සම්බන්ධතා ද තරමක් දුරස් වන බවක් පෙනෙනවා.දරුවන්ට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.
සෞක්‍යය:
උදරාශ්‍රිත අසනීප වලට හා පපුව ආශ්‍රිත අසනීප වලට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.තරඟ විභාග ආදියෙන් ජය අත් කරගැනීමට හැකි වෙනවා.

තුලා ලග්නය.
ධනය:
නව වසර ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දුරට සුබදායකයි.අනවශ්‍ය වියදම් පාලන කරගැනීමට හැකි වෙනවා.මුදල් ලැබීම අතින් සුබයි.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යොදවනවා නම් ජනවාරි 17 දින පටන් මාර්තු 07 දින තෙක් කාලයත්,සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් සුබදායකයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටළු,කරදර මතු නොවුණද නොසුදුසු හෝ ඉක්මන් තීරණ හේතුවෙන් සුළු ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා.රාහු මහ දශා,අන්තර් දශා ගත කරන තුලා ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.විදේශ රැකියා සඳහා යොමුවීමට නව වසර සුබදායකයි.ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වෙනවා නම් සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය තුළ ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ඉක්මන් තීරණ හේතුවෙන් සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. අනපේක්ෂිත බාධක අවහිර එල්ල වන අතර මානසික සහනය ද වරින් වර බිඳ වැටෙනවා.නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් කරන කියන කටයුතු වලදී සැළකිලිමත් විය යුතුයි.ස්ථාන වෙනසකට ද ඉඩ තිබෙනවා.රාහු මහ දශා, අතුරු දශා ගත කරන තුලා ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.විදේශ ගමන් වල දීමට නව වසර සුබදායකයි.
සෞක්‍යය:
සෙම් පීඩා, දෙපා ආශ්‍රිත වේදනා, පපුව ආශ්‍රිත අසනීප ආදියට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු වල යෙදෙන තුලා ලග්න හිමියන්ට නව වසර සුබදායකයි.තම ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට හැකි වෙනවා.

වෘශ්චික ලග්නය.
ධනය:
නව වසර තුළ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩිව සැළකිලිමත් විය යුතුයි. අධික වියදම්,ධන හානි,නිෂ්ඵල වියදම් වලට ඉඩ තිබෙනවා.අන්‍යයන් වෙනුවෙන් ද වියදම් දැරීමට සිදුවෙනවා.අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් සුළු ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා.සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.විදේශ රැකියා කෙරෙහි යොමු වීමට නව වසර සුබදායකයි.ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ජනවාරි 17 දින සිට මාර්තු 26 දින තෙක් කාලය ඒ සඳහා සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය තුළ තරමක ගැටළු මතුවීමේ අවදානමක් පවතිනවා.නොසුදුසු ප්‍රකාශ හේතුවෙන් පාඩු සිදුවීමටත්,සමගිය බිඳ වැටීමටත් ඉඩ තිබෙනවා.කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.අන්‍යයන් වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කිරීමට සිදුවෙනවා.ප්‍රේම සම්බන්ධතා,විවාහ කටයුතු ආදියට බාධක එල්ල වන තත්වයක් පෙනෙන්නට නෑ. කෙසේ වෙතත් සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට බාධක දැඩිව එල්ල වෙනවා.දුර ගමන් අධික වෙනවා.ගේදොර සැදීමේ කටයුතු වලට නව වසර සුබයි.දේපළ, ගේදොර මිලදී ගැනීමේදී නිරවුල්තාවය පිළිබඳව දැඩිව සැළකිලිමත් විය යුතුයි.
සෞක්‍යය:
සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කර ගැනීමට අපහසු වීමට හෝ ලබා ගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා. අනතුරු වලට ඉඩ තිබෙන බැවින් අවදානම් සහිත කටයුතු වලදී සැළකිලිමත් විය යුතුයි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි.

ධනු ලග්නය.
ධනය:
අනපේක්ෂිත වියදම් අධික වීම හේතුවෙන් ආර්ථිකය තරමක් අඩාල වීමට ඉඩ තිබෙනවා. නව වසර තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා.සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය තුළ ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවෙනවා.
රැකි රක්ෂා:
සෙනසුරුගේ ඒරාෂ්ඨක බලපෑම් හේතුවෙන් රැකියා කටයුතු වලට බාධක අවහිර එල්ල වීමට ඉඩ තිබෙනවා.මානසික නිරවුල්තාවය අඩු වීම හේතුවෙන් ද ගැටළු මතුවිය හැකියි. යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම මෙන්ම රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීරණ වලට එළඹීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ධනු ලග්න හිමියන් සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය භාවිතයට ගැනීම සුබදායක වෙනවා.
ගෘහ ජීවිතය:
මානසික සහනය වරින් වර අඩු වන අතර උත්සාහයේ හා මහන්සියේ තරමට සිතට ගැළපෙන තරමේ ප්‍රතිඵල නොලැබී යාමට ද ඉඩ තිබෙනවා.සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන ධනු ලග්න හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ඉක්මන් හෝ නොසුදුසු තීරණ හේතුවෙන් මෙන්ම දුර දිග නොබලා කරන ප්‍රකාශ හේතුවෙන් ද ගැටළු මතුවිය හැකියි.ආවේගශීලී ගති පාලනය කරගෙන කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. යුග ජීවිත ගත කරන ධනු ලග්න හිමියන් සමගිය ආරක්ෂා කර ගත යුතුයි.මානසික නිස්කලංකතාවය රැකගෙන කටයුතු කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා.
සෞක්‍යය:
වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. සුළු අසනීපයක් වැලඳුනද ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.සැළකිය යුතු තරමේ බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වෙනවා.

මකර ලග්නය.
ධනය:
මකර ලග්න හිමියන් නව වසර තුළ විශේෂයෙන්ම සැළකිලිමත් විය යුත්තේ ධනය සම්බන්ධයෙන් බව මතක තබා ගත යුතුයි. සෙනසුරු ඒරාෂ්ඨක අපල එල්ල කරමින් වැයස්ථානයේ කල් ගෙවන බැවින් වැය පක්ෂය ඉහළ යනවා. නිෂ්ඵල වියදම්, ධන හානි වලට ඉඩ තිබෙනවා. ආර්ථිකය ඉතාමත්ම ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් උද්යෝගය උනන්දුව අඩු වෙනවා. රැකියා වෙනසකට ද ඉඩ තිබෙනවා.හවුල් කටයුතු වලින් වැළකී කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.වැඩි ප්‍රසිද්ධියකින් විවෘත භාවයකින් තොරව කරන රැකියා වල නියුතු මකර ලග්න හිමියන්ට තරමක සුබ පල අත් වෙනවා.සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන මකර හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව,සැළකිලිමත්ව කටයුතු කළ යුතුයි.
ගෘහ ජීවිතය:
සතුට,ප්‍රබෝධය වරින් වර අඩු වෙනවා.නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන් වෙනුවෙන් ඇප වීම්, අන්‍යයන් ගේ ණය ගණුදෙනු වලට මැදිහත් වීම් ආදියෙන් වැළකිය යුතුයි.විවාහ කටයුතු, ප්‍රේම සම්බන්ධත ආදියට බාධක එල්ල වෙනවා.කැපවීමේ හා වෙහෙසීමේ තරමට තම අගය වටිනාකම අන්‍යයන්ට නොදැනීම හේතුවෙන් කළකිරීම් ඇතිවිය හැකියි.ඥාති හිතමිත්‍රාදීන් වෙතින් තරමක් දුරස් වන බවක් පෙනෙන්නට තිබෙනවා.අධ්‍යාත්මික ක්ෂේත්‍ර තුළ නියැලෙන මකර ලග්න හිමියන්ට උසස් ප්‍රතිඵල අත් වෙනවා.
සෞක්‍යය:
අනතුරු,අස්ථි බිඳීම් වලට මෙන්ම ශල්‍ය කර්මයකට ද ඉඩ තිබෙනවා.අසනීප වලදී වෛද්‍යවරු වැරදි විනිශ්චයන්ට එළඹිය හැකියි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු වල යෙදෙන මකර ලග්න හිමියන්ට නව වසර සුබදායකයි.අධ්‍යාත්මික අංශ සම්බන්ධයෙන් හැදෑරීම් සිදුකරන අයට වඩාත් සුබදායකයි.

කුම්භ ලග්නය.
ධනය:
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.අනවශ්‍ය වියදම් අවම කර ගැනීමටත් යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමටත් හැකි වෙනවා.මාර්තු 03 දින හා මාර්තු 27 දින අතර කාලය තුළ හදිසි ධන ලාභයක් හිමි වීමට ඉඩ තිබෙනවා.
රැකි රක්ෂා:
රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.ඔක්තෝබර් 12 දින සිට දෙසැම්බර් 31 දින තෙක් කාලය තුළ රැකියා වෙනසකට ඉඩ තිබෙනවා.අප්‍රේල් 20 දින සිට ජුනි 08 දින තෙක් කාලය ව්‍යාපාර ඇරඹීමට සුබදායකයි.ඔක්තෝබර් 12 දින තෙක් කාලය විදේශ රැකියා සඳහා යොමු වීමට සුබයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බරපතළ ගැටළු කරදර මතු නොවන නමුත් ඊර්ශ්‍යාකාර සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.අධ්‍යාත්මික කටයුතු කෙරෙහි ලැදියාවක් ඇති වෙනවා.ආගමික කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථා සැලසෙනවා.අප්‍රේල් 20 දින පටන් මැයි 14 දින තෙක් කාලය ගේදොර සැදීමේ කටයුතු වලට සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබයි. ගෙදරදොරේ සමගිය යහපත් ලෙස පවත්වා ගැනීමට හැකි වෙනවා.
සෞක්‍යය:
උදරාශ්‍රිත අසනීප වලට මෙන්ම දෙපා,තුනටිය ආශ්‍රිත පීඩාවන්ට ද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.තරඟ විභාග ආදියෙන් ජය අත් වෙනවා.

මීන ලග්නය.
ධනය:
ධනෝපායන මාර්ග වලට තරමක බාධක එල්ල වීමට ඉඩ තිබෙනවා.ව්‍යාපාරික කටයුතු වල යෙදෙන මීන ලග්න හිමියන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.අවදානම් සහිත මුදල් යෙදවීම් වලින් වැළකී කටයුතු කිරීම සුබදායක වෙනවා.
රැකි රක්ෂා:
රැකියා කටයුතු කෙරෙහි උද්යෝගය,උනන්දුව තරමක් අඩු වෙනවා.රැකියාව සම්බන්ධයෙන් සතුට තෘප්තිය ද අඩු වන බවක් පෙනෙන්නට තිබෙනවා.කෙසේ වෙතත් රැකියා වෙනස් කිරීමට නව වසර එතරම් සුබදායක නෑ.ඉක්මන් තීන්දු තීරණ වලින් වැළකී ඉවසිලිමත්ව වැඩ කටයුතු කරගෙන යාම කාලෝචිත වෙනවා.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බරපතළ ගැටළු කරදර මතු වන බවක් පෙනෙන්නට නෑ.කෙසේ වෙතත් මානසික ප්‍රබෝධය වරින් වර අඩු වීමට ඉඩ තිබෙනවා.උත්සාහයේ හා මහන්සියේ තරමට හිතට ගැළපෙන තරමේ ප්‍රතිඵල ලබාගැනීමට අපහසු වෙනවා.හිත මිත්‍රාදීන් තරමක් දුරස් වෙනවා. ඉක්මන් හෝ නොසුදුසු තීරණ හේතුවෙන් ගැටළු මතු වීමට ඉඩ තිබෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.ගේදොර සෑදීමේ කටයුතු වලට නව වසර සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා වලට තරමක බාධක එල්ල වෙනවා.
සෞක්‍යය:
උදරාශ්‍රිත අසනීප,උෂ්ණ අසනීප,අර්ශස් වැනි දැවිලි රෝග මතු වීමට ඉඩ තිබෙනවා. සුළු අනතුරු වලට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු වලට වඩා භාහිර කටයුතු කෙරෙහි ඇල්ම,උනන්දුව වැඩි වීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු මඳක් අඩාල වීමට ඉඩ තිබෙනවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩිපුර උනන්දු විය යුතුයි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය,වාස්තු උපදේශක,දිවයිනටම සාම විනිසුරු 
                දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 
                      (JYOTISH  BHASKER -INDIA)
දුරකථන: 036 5670512, 077 7065760, 071 8875816
email: kulupanabandara@gmail.com 

Viber: 077 7065760

Saturday, December 2, 2017

ඔබේ කේන්දරය ඔබම බලාගන්න.


ග්‍රහ තරු අතරින් පෘථිවියට වඩාත් සමාන ගති ලක්ෂණ ඇති ග්‍රහ තාරකාව කුජ හෙවත් අඟහරු ය. මේ හේතුව නිසාම පුරතානයින් විසින් කුජ හඳුන්වා ඇත්තේ 'භූමි පුත්‍ර' නමිනි. කුජ ග්‍රහයා හා පෘතුවිය අතර ඇති සමානකම් මෙන්ම කුජ ග්‍රහයා පෘතුවියට හා පෘතුවි වාසීන්ට බලපාන ආකාරය ද  පුරාතනයින් විසින් ඉතාමත් නිවැරදිව සොයාගනු ලැබීය.
 කුජ ග්‍රහයා උෂ්ණාධික,ගිණි කාරක, වියළි, පුරුෂ ග්‍රහයෙකි. උද්වේගකාරී පාප ග්‍රහයෙක් ලෙසද සැළකේ. එහෙත් මනුෂ්‍යයාගේ ධෛර්යය,එඩිතරකම,ආත්ම විශ්වාසය,තේජස, සටන්කාමී බව,ඉදිරියට යන ගතිය ආදී ගති ලක්ෂණ කුජ ග්‍රහයා ප්‍රධානය කරයි.
  රුධිරයට මෙන්ම ශල්‍ය කර්ම, අනතුරු, යුද්ධ, කෝලාහල,කාමය, බලහත්කාරකම්, කෝපය,අවි ආයුධ, ප්‍රචණ්ඩත්වය, රුධිරය ආශ්‍රිත අසනීප ආදියටද බලපවත්වන්නේ කුජ හෙවත් අඟහරු ය. 
 කුජ මකර රාශියේදී උච්ච වන අතර කටක රශියේදී නීච වෙයි. මේෂ හා වෘශ්චික රාශි කුජට අයත් බැවින් එම රාශි තුළදී කුජ ස්වක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වේ.සිංහ, ධනු, මීන රාශි කුජට මිතුරු රාශි ලෙසත් මිථුන, කන්‍යා රාශි සතුරු රාශි ලෙසත් සැළකෙයි.
කුජට නියම කර ඇති වර්ණය රක්ත වර්ණය යි. දිසාව දකුණු දිසාව යි.අංකය නවය යි.කුජ ට අයත් දිනය අඟහරුවාදා දිනය යි. වෘක්ෂය ලෙස සැළකෙන්නේ කොලොන් වෘක්ෂය යි.
කුජ හෙවත් අඟහරු ඔබේ කේන්දරය තුළ "කු" අක්ෂරය මගින් සටහන් කර ඇත.
 කුජ ග්‍රහයා කේන්ද්‍රය තුළ සිටින භාවය අනුව උදා වන බලපෑම කෙබඳු දැයි විමසා බලමු.

කුජ 01 වෙනි කොටුවේ.
කුජ පළමු භාවයේ පිහිටීම මනා ධෛර්යයක් ලැබීමට හේතු වෙනවා. ඉතාමත් එඩිතරයි. අන්‍යයන්ට යටත් වීමට, දෙවෙනි වීමට කැමති නෑ. සටනට බරයි. පසුබට වෙන්නෙ නෑ. උත්සාහය අතහරින්නෙ නෑ. ඉක්මනින් කෝපයට පත් වුණත් ඉක්මනින්ම යථා තත්ත්වයටද පත් වෙනවා.
  කාමය ට බරයි. ඒ හින්දා විරුද්ධ ලිංගිකයින් සමග සම්බන්ධකම් ඇති කරගැනීමට පෙළඹෙනවා. යුග ජීවිතයේ ගැටළු මතුවෙන්න ඉඩ තියෙන හින්දා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
   හිසට හෝ මුහුණට අනතුරු සිදුවීමට ඉඩ තියෙනවා.
ලග්නය කුජට අයත් මේෂ හෝ වෘශ්චික නම් ස්ව උත්සාහයෙන්ම උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස්,දියුණු තත්වයකට පත් වෙනවා.අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයකට පත්වෙනවා.
  ලග්නය කටක නම් සටන්කාමී ගති බොහෝ දුරට යටපත් වී උපායශීලී ගති ඉස්මතු වෙනවා
මේෂ, වෘශ්චික, මකර යන ලග්නයක් හිමිව කුජ පළමු භාවයේ පිහිටීමෙන් රුචක නම් වූ බලවත් යෝගය හිමි වෙනවා. උපන් තත්වයට වඩා දියුණු තත්වයකට පත් වීමට මෙම ග්‍රහ බලය හේතු වෙනවා.

කුජ 02 වෙනි කොටුවේ.
කුජ දෙවැන්නේ නම් සෘජු, ප්‍රබල කතා විලාශයක් උරුමයි. ඇතැම් විට කතාවෙන් අන් අයගේ සිත් රිදෙන්නටත් ඉඩ තියෙනවා. කිව යුතු දේ කෙළින්ම කියනවා. අන්‍යයන් කුපිත වන සේ කතා කිරීමේ හැකියාව හිමියි. ලග්නය මිථුන නම් කතා විලාශය තරමක් පාලනය කරගැනීමට හැකි වෙනවා.
 කෙසේ හෝ මුදල් උපයා ගැනීමට හැකි වෙනවා.අවශ්‍ය දේට කුමන ආකාරයෙන් හෝ මුදල් ලැබෙනවා. වියදම් කිරීමේදී සැළකිලිමත් බව අඩුයි. ඒ හින්දා මුදල් ඉති කිරීම දුෂ්කර වෙන්න පුළුවන්.
 මුහුණේ නොමැකෙන කැළලක් ඇතිවීමට ඉඩ තියෙනවා. අකාලයේ දත් දිරා යාමට ඉඩ තිබෙන බැවින් දත් ගැන සැළකිලිමත් වීම වැදගත් වෙනවා.
විවාහ ජීවිතයේ සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.

කුජ 03 වෙනි කොටුවේ.
 තුන් වෙනි භාවය වික්‍රමස්ථානය යි.කුජ වැනි වික්‍රමාන්විත ග්‍රහයෙක් තුන් වෙනි භාවයට ඉතාමත් හොඳින් ගැළපෙනවා.වික්‍රමස්ථානයේ සිටින කුජ වික්‍රමය ලබා දෙනවා.උද්යෝගය, උනන්දුව, නොපසුබස්නා උත්සාහය ප්‍රධානය කරනවා.මෙය ඉතාමත් වටිනා පිහිටීමක් ලෙස සැළකෙනවා.
ඉංජිනේරු,කාර්මික, වෛද්‍ය ක්ෂේත්‍ර මෙවැනි අයට හොඳින් ගැළපෙනවා. එවැනි සම්බන්ධයෙන් දක්ෂතා උපතින්ම පිහිටනවා. ලග්නය මිථුන, කන්‍යා, වෘශ්චික හෝ කුම්භ නම් ප්‍රතිපල වඩාත් හොඳින් ලැබෙනවා.
ජීවිතයේ අවසානය තෙක්ම ක්‍රියාශීලීව, අනලස්ව කටයුතු කිරීමට හැකි වෙනවා. ඕනෑම දේකට ඔරොත්තු දීමේ ශක්තිය හිමි බැවින් උපන් තත්වයට වඩා උසස්, දියුණු තත්වයකට පත්වෙනවා.
කුජ තුන් වෙනි භාවයේ පිහිටීම සහෝදර සම්බන්ධතා වලට එතරම් සුබදායක නෑ.

කුජ 04 වෙනි .කොටුවේ.
 සිව් වෙනි භාවය කේන්දරයේ ඉතාමත් වැදගත් ස්ථානයක් ලෙසට සැළකෙනවා. සිව් වෙනි භාවයට කුජ එතරම් ගැළපෙන ග්‍රහයෙක් නෙමෙයි.සිව් වෙනි භාවයෙන් සිත ගැන කියැවෙනවා. තෙතමනය පවතින්න ඕනැ තැන කළු ගලක් තරමට දැඩි වීමත් හොඳ නෑ. මේ අය ගෙ හිත ලේසියෙන් උණු වෙන්නෙ නෑ.හිත තදයි. ඥාතීන් සමග විරසකතා ඇති වෙනව.විශේෂයෙන් මව් පාර්ශවය සමග විරසකතා ඇති වෙනව. මවට අපල එල්ල වෙනව. හිතුවක්කාරයි.
ගේදොර, දේපළ සම්බන්ධයෙන් ගැටළු, පැටලිලි මතු වෙනවා. කොහොම වුණත් සිංහ, තුලා හෝ මකර ලග්නය හිමිව කුජ සිව් වෙනි භාවයේ පිහිටීමෙන් "රුචක" නම් වූ බලවත් යෝගය හිමි වෙනවා. දේපළ,ගේදොර, යානවාහන ඇතුව සමාජයේ කැපී පෙනෙන ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා.
කුජ සිව් වෙනි භාවයේ ඇති අය තුළ පළිගැනීමේ චේතනා ඇති වෙනවා. එකට එක නොකර සිටීම මදිකමක් විදියට හැඟෙනවා.
ජීවිතයේ අග කාලයේදී කරදර පීඩා ඇතිවෙන්න පුළුවන්.

කුජ 05 වෙනි කොටුවේ.
කුජ පස් වෙනි භාවයේ පිහිටීම මනුෂ්‍යයා කාමුක කරවන පිහිටීමක් ලෙස පිළිගැනෙනවා. එසේ නම් කුජ පස් වැන්නේ සිටින අය කාමාශාවන් බලවත් අය බව පැහැදිලියි. අඩු වයසේදීම ප්‍රේම සම්බන්ධතා කෙරෙහි යොමු වෙනවා. විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුවෙනවා. නිතර ක්‍රියාශීලීව කටයුතු කරනවා.තම බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගැනීමට පෙළඹෙනවා.
නම්‍යශීලී ගතිය වගේම තැන්පත් ගතියත් අඩුයි. ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් ගැටළු මතු වන අවස්ථා එමටයි. උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයකට මුහුණ දීමට සිදුවිය හැකියි. උදරය ආශ්‍රිතව නිතර දැවිලි ගති ඇතිවෙනවා.
ක්‍රීඩා කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබීමට හැකි වෙනවා. පස් වැන්නේ කුජ ගුරු සමග සිටින්නේ නම් හෝ ගුරු ගේ සුබ දෘෂ්ටියට ලක්වන්නේ නම්. එසේත් නැති නම් ධනු ලග්නය වී කුජ පස් වැන්නේ නම් යහපත් අධ්‍යාපනයක් උරුමකර ගැනීමට හැකි වෙනවා.

කුජ 06 වෙනි කොටුවේ.
උපචය ස්ථානයක් වූ හය වෙනි භාවය කුජ ග්‍රහයාට ඉතාමත් හොඳින් ගැළපෙනවා. ශරීර ශක්තිය වගේම ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියද හිමි වෙනවා.සතුරන් මැඩගෙන නැගී සිටීමට හැකි වෙනවා.සතුරු බලපෑම් බොහෝ විට  ඉබේටම දුරු වෙලා යනවා. එඩිතරකම, ඉදිරියට යන ගතිය, නොපසුබට උත්සාහය හිමියි.
උදරාශ්‍රිත උෂ්ණ ගතිය වැඩි වීම හේතුවෙන් උදරගත දැවිලි, වේදනා ඇති වෙන්න පුළුවන්. කාන්තාවක් නම් දරුවන් ලැබීමේදී ශල්‍ය කර්ම වලට ලක්විය හැකියි. එමෙන්ම ගබ්සා වීම් වලටත් ඉඩ තිබෙනවා.
සැප විඳින්නට හැකි වෙනවා. යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් හිමි වෙනවා. බාධක, අවහිර මැඩගෙන උපන් තත්වයට වඩා උසස්, දියුණු තත්වයකට පත්වීමට හැකි වෙනවා.  ක්‍රියා ශූරත්වය ඇති වෙනවා. ලෞකික දියුණුවට ඉතාමත් යහපත් පිහිටීමක්.

කුජ 07 වෙනි කොටුවේ.
කුජ හත් වැන්නේ පිහිටීම නිතරම පාහේ කතා බහට ලක්වෙනවා.
 කුජ හත් වෙනි භාවයේ සිටින කාන්තාවන්ට ආකර්ශනීය පෙනුමක් හිමිවෙනවා. පුළුල් උකුලක්, පිරුණු ලෑමක්, හැඩැති සිරුරක් උරුමයි.
 කොහොම වුණත් කුජ හත් වෙනි භාවයේ පිහිටීම විවාහය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. සසර තුළ සහයෝගිතාවය නිසි පරිදි ආරක්ෂා කර නොගැනීමේ පාප කර්මය හත් වැන්නේ සිටින කුජ මගින් හෙළිදරව් කරනවා. අඩු වයසේදීම විවාහයට ඇතුලත් වීමට හෝ විවාහය තද බල ලෙස ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. එය හත් වැන්නේ සිටින කුජගේ ශක්තිය, ස්වභාවය හා හත් වැන්න දකින ග්‍රහයින් ආදී කාරණා මත තීරණය වෙනවා. විවාහය සම්බන්ධයෙන් නොයෙක් ගැටළු, කරදර ඇතිවීමට තිබෙන ඉඩ කඩ අධිකයි.යුග දිවියේ සතුට සැනසුම කුමන ආකාරයකින් හෝ අහිමි වී යා හැකියි.සහකරුට හෝ සහකාරියට තද බල අපල බලපෑම් එල්ල වෙනවා.
ලග්නය තුලා වී කුජ හත් වැන්නේ පිහිටීම බොහෝ දුරට සුබදායකයි. එඩිතර, ධෛර්යවන්ත අයෙක් විවාහයට ලැබෙනවා.
කොහොම වුනත් කුජ හත් වැන්නේ සිටින අය සමග හවුලේ කටයුතු කිරීම ඉතාමත් අසීරුයි.
මුත්‍රා අබාධ,අර්ශස් වැනි දැවිලි අසනීප මතුවීමට මෙම ග්‍රහ තත්වය හේතු වෙනවා.

කුජ 08 වෙනි කොටුවේ.
මාරකස්ථානය වූ අට වෙනි භාවය කුජ ට සුබදායක තැනක් නෙමෙයි. ශරීරයේ රුධිරය දුෂ්‍ය වීම හේතුවෙන් අසනීප පීඩා ඇතිවෙනවා. හදිසි අනතුරු, ශල්‍ය කර්ම ආදියට මුහුණ දීමට සිදුවෙනවා.බොහෝ විට නොසැළකිලිමත්කම හේතුවෙන් අනතුරු සිදුවෙනවා.
මේ අයට අන්‍යයන් සමග සමගියෙන් කටයුතු කරන්න අමාරුයි. ඉක්මනින් කෝපයට පත් වෙනව. ඉක්මන් කෝපය හින්දා නොයෙක් විට ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙනව.ඇතැම් විට පාප කර්මත් සිද්ද වෙන්න පුළුවන්.
විවාහ ජීවිතයේ සමතුලිතතාවය බිඳ වැටෙන්නත් ඉඩ තියෙනවා.කාමාශාවන් බලවත්ව ක්‍රියාත්මක වෙනව.
අට වැන්නේ සිටින කුජ ශාන්තදායක මරණයක් අත් කරලා දෙන්නෙ නෑ. හදිසි වේදනාබර මරණයක් උරුම වෙනව.
කොහොම වුණත් මේ කියැවෙන කාරණා සෙසු ග්‍රහයින් තැන්පත්ව සිටින ආකාරය මත වෙනස් වෙන්නත් පුළුවන්.

කුජ 09 වෙනි කොටුවේ.
නම වෙනි භාවයේ සිටින කුජ මනුෂ්‍යයාට ලෞකික වශයෙන් ඉහළ දියුණුවක් ලබාගැනීමට උපකාර කරනවා. කුමන ආකාරයෙන් හෝ දියුණුවට පත්වෙනවා.
ලෞකික වශයෙන් දියුණුවට පත් වූවත් පරාර්ථකාමී ගතිය අඩු වෙනවා. ආගමට දහමට දැඩි භක්තියක් පෙන්වූවත් ඒ අනුව කටයුතු කරන ගතිය ඉතාමත් අඩුයි. හරිහම්බ කර ගැනීම ප්‍රධාන කාර්යය ලෙස සලකනවා. වැඩිහිටියන්ගේ අවවාද අදහස් වලට එතරම් ගරු කිරීමක් නෑ. අනුකම්පාව අඩුයි. තමන්ගේ වාසිය මුල් කොට සලකනවා.
යහපත් ලෙස වැඩුණු ශරීරයක් උරුමයි. එඩිතරයි.
තමන්ගේ වැරදි අඩුපාඩු කොපමණ තිබුණත් අන්‍යයන්ගේ අඩුපාඩු දකිනවා. නම්‍යශීලී ගතිය ඉතාමත් අඩුයි.
පිය උරුමයන් සම්බන්ධයෙන් ගැටළු මතුවෙනවා.පිය උරුමයන් අහිමි වී යන්නත් ඉඩ තියෙනවා.
වෙනත් ග්‍රහ බලපෑම් මත මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්.

කුජ 10 වෙනි කොටුවේ.
කර්මස්ථානය වූ දස වෙනි භාවය කුජට හොඳම ස්ථානය යි. මේ ක්‍රියාත්මක ස්ථානය යි. ක්‍රියාත්මක ස්ථානයට ක්‍රියත්මක ග්‍රහයා කදිමට ගැළපෙනවා.දස වෙනි භාවය කුජ ට දිග් බල ස්ථානය ලෙසද සැළකෙනවා.
නියම ක්‍රියාශූරත්වය ඇතිවෙනවා. වෙලාව අවේලාව නොබලා කටයුතු කිරීමේ හැකියාව හිමි වෙනවා. තම තත්වය, දියුණුව කෙසේ හෝ දියුණු කරගන්නවා.මන ආත්ම ශක්තියක් උරුමයි. කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ වූවද තම කටයුතු අතහැර නොදමා කරගෙන යා හැකි ශක්තිය හිමියි. කාර්මික, වෛද්‍ය, ඉංජිනේරු, ආරක්ෂක ආදී ක්ෂේත්‍ර මෙන්ම ව්‍යාපාර කටයුතුද මැනවින් ගැළපෙනවා.
 මේෂ, කටක, සිංහ,වෘශ්චික, මකර,කුම්භ යන ලග්නයක් හිමිව කුජ දස වෙනි භාවයේ පිහිටීම තුළින් වඩාත් යහපත් ප්‍රථිපල අත් වෙනවා.
මේෂ,කටක හෝ කුම්භ ලග්නය හිමිව කුජ දස වෙනි භාවයේ පිහිටීම හේතුවෙන් "රුචක" නම් වූ බලවත් යෝගය හිමි වන අතර ඒ හේතුවෙන් උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්වයකට පත් වෙනවා. ප්‍රධාන,මූලික තත්වයක් හිමි වෙනවා.ගේදොර, දේපළ,යානවාහන ඇතුව කැපී පෙනෙන ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා.

කුජ 11 වෙනි කොටුවේ.
එකොළොස් වෙනි භාවය කුජ ග්‍රහයාට යහපත් ස්ථානයක් ලෙස පිළිගැනෙනවා. එකොළොස්වැන්න අයස්ථානය යි. එනම් ඉපැයීම ගැන කියැවෙන තැනයි. කුජ එකොළොස් වෙනි භාවයේ පිහිටීම තුළින් කෙසේ හෝ ආදායම් උපයා ගැනීමට හැකි වෙනවා. 
විශේෂයෙන් පොළවෙන් සම්පත් ලැබීමට වාසනාව හිමියි. භූමිය ආශ්‍රිත කටයුතු වලට අමතරව ගොඩනැගිලි ද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යන්ත්‍ර සූත්‍ර, වාහන, දේපළ ආදී ව්‍යාපාර වලින්ද ලාභ ලැබීමේ හැකියාව උරුමයි.
මිථුන, තුලා, ධනු, මකර, මීන යන ලග්නයක් හිමිව කුජ එකොළොස් වෙනි භාවයේ පිහිටීම වඩාත් යහපත් ප්‍රථිපල ලැබීමට හේතු වෙනවා. කුජ දශාවේදී ආදායම් තත්වය වර්ධනය වෙනවා.
ඇසුරු කරන පිරිස සීමිත වන නමුත් එම සීමිත පිරිස සමග දැඩි සම්බන්ධයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.
සහෝදර සම්බන්ධතා අඩු වීමට ඉඩ තිබෙනවා.

කුජ 12 වෙනි කොටුවේ.
වැයස්ථානය වූ දොළොස් වෙනි භාවය කුජ ට එතරම් සුබදායක ස්ථානයක් නෙමෙයි.කුජ ක්‍රියාකාරී ග්‍රහයෙක් බැවින් වැයස්ථානයේ සිටින කුජ වියදම් වැඩි කරනවා. වටිනා කියන බොහෝ දේ අහිමි වන තත්වයක් ඇතිවෙනවා. අන්‍යයන් වෙනුවෙන් නිතර වියදම් දැරීමට සිදුවෙනවා. කුජ දොළොස් වෙනි භාවයේ සිටින මනුෂ්‍යයා නාස්තික දෘෂ්ටි ඇත්තෙක් යැයි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. 
නොයෙක් විට සතුරු බලපෑම් එල්ල වන අතර නීති ප්‍රශ්න වලට මුහුණ දීමටද සිදුවිය හැකියි.
දෙපා ආශ්‍රිත අසනීප මතුවීමට මෙන්ම දෙපා වලට අනතුරු සිදුවීමට ද ඉඩ තිබෙනවා. වඩාත් අයහපත් බලපෑම් එල්ල වන්නේ කුජගේ මහා දශා, අතුරු දශා තුළදී යි.
අන්‍යයන් කෙරෙහි ගරුසරු භාවයද බොහෝ දුරට අඩු වෙනවා.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය,වාස්තු උපදේශක,දිවයිනටම සාම විනිසුරු 
                   දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

                      ( JYOTISH BHASKER - INDIA )
               
               036 5670512, 077 7065760, 071 8875816

                        kulupanabandara@gmail.com 








Thursday, November 9, 2017

යටලීය



 සෑම සියලු කටයුත්තකදීම අලංකාරයට මුල් තැන දීම වර්තමානයේ වෙසෙන බොහෝ දෙනාගේ සිරිතයි. අද කාලයේ බොහෝ දෙනා නිවසක් සෑදීමේදී ද අලංකාරයට මුල් තැනක් ලබා දෙන බව නොරහසකි. බහුතරයක් දෙනා උත්සාහ දරන්නේ තම නිවස අන් නිවෙස් වලට වඩා කැපී පෙනෙන අයුරින් ගොඩනගා ගැනීමටයි.නිවසක අලංකාරය තිබිය යුතුය. ගැටලුව වන්නේ අලංකාරය ගැන පමණක්ම අවදානය යොමුකොට සාදන බොහෝ නිවෙස් වල තදබල වාස්තු දෝෂ පැවතීමයි.
  මේ හෙළි කිරීමට සූදානම් වන්නේ එවන් වාස්තු දෝෂයක් පිළිබඳව යි. ඒ, කෙටි මුදුන් යටලීය යි.
මුදුන් යටලීය නිවසක හදවත යැයි පැවසිය හැකි තරමට වැදගත් ය. දෝෂ සහිත මුදු යටලීය මගින් එල්ල වන අසුබ බලපෑම් ඉමහත්ය. මෙයින් වැඩි වශයෙන්ම බලපෑම් එල්ලවන්නේ ගෘහ මූලිකයාටයි.
  වර්තමානයේ බොහෝ නිවෙස් වල වහළය සකසනු ලබන්නේ අලංකාරයට මුල් තැන ලබා දෙමිනි. එවන් වහළවල් ඉතාමත් සංකීර්ණ ය. දෝෂ ඇතිවීමට තිබෙන ඉඩකඩ ද අධිකය. දිගින් අඩු කෙටි මුදුන් යටලී යොදා තිබෙන ආකාරයද ඇතැම් විට දකින්නට ලැබේ. මුදුන් යටලීය ගෘහ මූලිකයාගේ උසට වඩා දිගින් අඩුවීම බලවත් වාස්තු දෝෂයකි. මෙමගින් ගෘහ මූලිකයාට දරුණු විපත් එල්ල වේ.ග්‍රහ තත්වය දුර්වල වූ අවස්ථාවක මාරක අපල පවා එල්ලවීමට ඉඩ තිබේ. ගෘහ මූලිකයාගේ උසට වඩා දිගින් අඩු මුදුන් යටලීයක් නොයෙදීමට සෑම විටම වග බලාගත යුතුය.

Sunday, April 9, 2017

2017 අලුත් අවුරුදු පලාපල.


           ශනි,බුධ,සිකුරු ග්‍රහයින් වක්‍රව සිටියදී, ශනි හිමි මකර ලග්නයෙන්,ගුරු හිමි විසා නැකතින්,මාතංග නම් මහා යෝගයෙන් මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. ඒ,2017 අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 02. 04 ට ය.මෙසේ උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොම බලපාන්නේ දැයි විමසා බලමු.

මේෂ ලග්නය 
සුබදායක වසරක් 
 අවහිර බාධා දුරුවී හිතට අස්වැසිල්ලක් ලැබෙන වසරක් බව කිව යුතුයි. කෙසේ වෙතත් ජුනි මස 21 දින පටන් ඔක්තෝබර් මස 27 දින තෙක් කාලය තුළ දුර දිග නොබලා වියදම් කිරීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. මෙම කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුයි.
 රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. අලුත් ව්‍යාපාර වලට අතගැසීමට ඔක්තෝබර් 27 න් පසු කාලය වඩාත් සුබදායකයි. ඔක්තෝබර් 27 දින පටන් රැකියා සහ ව්‍යාපාර කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා.
  ඔක්තෝබර් 27 දින තෙක් කාලය තුළ තරමක ආවේගශීලී ගති ඇතිවෙනවා. ඉක්මන් කෝපය පාලනය කරගැනීමට වගබලා ගත යුතුයි.එමෙන්ම ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීමෙන් වැළකී සිටීමද වැදගත් වෙනවා.  ඔක්තෝබර් 27 පටන් ඉදිරි කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් වඩාත් සුබදායක පසුබිමක් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 පටන් ඉදිරි කාලය තුළ විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙනවා.
   ජුනි 21 දින පටන් ඔක්තෝබර් 27 දින තෙක් කාලය තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. බරපතළ රෝග පීඩාවන්ට ඉඩ කඩ නොමැති නමුත් සුළු වැටීම් අනතුරු වලට ඉඩ තිබෙනවා.සෙම් පීඩා, උන රෝග ආදියටද ඉඩ තිබෙනවා.
 අධ්‍යාපන කටයුතු වල යෙදෙන මේෂ ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. තරඟ විභාග ආදියෙන් ජය අත්කර ගැනීමට හැකිවෙනවා.

වෘෂභ ලග්නය.
අභියෝගාත්මක වසරක්.
ස්ථිර ප්‍රතිපත්ති මෙන්ම මනා ධෛර්යයක් හිමි ඔබට මෙම වසර සාර්ථක වසරක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා. අගෝස්තු 18 දින තෙක් කාලය තුළ රැකියාව සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීමෙන් වැළකීම සුබදායක වෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් වරින් වර තරමක අතෘප්තිමත් ගති ඇති වෙනවා.  ඔක්තෝබර් 27 දින පටන් ඉදිරි කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුයි.ධන හානි,නිෂ්පල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙනවා.දුර දිග නොබලා කරන වියදම් වලින් වැළකිය යුතුයි.
   අගෝස්තු 18 දින තෙක් කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. සමගිය වරින් වර බිඳවැටීමට ඉඩ තිබෙනවා.යුග ජිවිත ගත කරන වෘෂභ ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.අගෝස්තු 18 දින පටන් ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සුබදායක වාතාවරණයක් ඇතිවෙනවා.
   ඔක්තෝබර් 27 දින පටන් ඉදිරි කාලය තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.වැටීම්,අනතුරු, අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා. සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කර ගැනීමට අපහසු වීමට හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
  අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි.

මිථුන ලග්නය 
අභියෝග මධ්‍යයේ ජයග්‍රහණ.
සැප්තැම්බර් 12 වෙනිදා තෙක් කාලය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන්ද  සෑහීමකට පත්වීමට අපහසු වෙනවා. අනපේක්ෂිත බාධක අවහිර හේතුවෙන් සිතට වරින් වර කළකිරීම් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 වෙනිදා පටන් රැකියා කටයුතු වල ආර්ථිකයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වෙනවා.අලුත් වැඩ කටයුතු,ව්‍යාපාර ආදියට අත ගැසීමට මෙන්ම රැකියා සම්බන්ධයෙන් තීන්දු තීරණ වලට එළඹීමටද සැප්තැම්බර් 12 වෙනිදා පටන් ඉදිරි කාලය සුබදායකයි.
   ගෘහ ජීවිතය සුළු සුළු ගැටළු මතු වුණද බරපතළ ගැටළු කරදර වලට ඉඩ කඩ නෑ. ගේදොර,දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා.නව වසරේ මිථුන ලග්න හිමියන් තුළ කැපී පෙනෙන උද්යෝගයක්, උනන්දුවක් ඇති වෙනවා. බාධක මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය මතුවෙනවා. දරාගැනීමේ හා ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය වෙනවා.
  විරුද්ධ ලිංගිකන්ගේ අවධානයට ලක්වන පසුබිමක් උදාවන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන් යුග ජිවිත ගත කරන මිථුන ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
  අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර ඉතාමත් සුබදායකයි. තරඟ විභාග ආදියෙන් ඉහළ ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිවෙනවා. 
මුත්‍රා අසනීප,උදරාශ්‍රිත දැවිලි ගති. සෙම් පීඩා වාරි වර මතුවීමට ඉඩ තිබෙනවා.

කටක ලග්නය 
සාර්ථක වසරක් 
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා මෙන්ම බලාපොරොත්තු බොහොමයක් ඉටු කර ගැනීමට ද හැකිවෙනවා.කටක ලග්න හිමියන්ට කාලයකින් උද වූ යහපත් වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. රැකියාවේ තමන්ට හිමි නිසි තැන, සුදුසු තැන හිමි කරගැනීමට හැකිවෙනවා. කෙසේ වෙතත් අගෝස්තු මස 18 වෙනිදා තෙක් කාලය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් වෙනවා. වියදම් පාර්ශවය ඉහළ යාමේ අවදානමක් පවතිනවා.නිෂ්පල වියදම්, ධන හානි ආදියට ඉඩ තිබෙනවා.
  අගෝස්තු 18 වෙනිදා පටන් කටක ලග්න හිමියන් තුළ පෙර නොවූ තරමේ උද්යෝගයක් ඇති වෙනවා.බාධක මැදගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇතිවෙනවා. විදේශ රැකියා,විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින කටක ලග්න හිමියන්ගේ බලාපොරොත්තු අගෝස්තු 18 වෙනිදායින් පසුව ඉටු වෙනවා.
   ගෘහ ජීවිතය තුළ සුළු සුළු ගැටළු, අසමගිකම් මතු වුණද බරපතළ කරදර වලට ඉඩ කඩ නෑ. විවාහ කටයුතු වලට තරමක බාධක අවහිර එල්ල වෙනවා.
උදරාශ්‍රිත අසනීප,සෙම් අසනීප වැනි සුළු අසනීප පීඩාවන් හැරුණු කොට ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.
  අධ්‍යාපන කටයුතු වල නියැලෙන කටක හිමියන්ට නව වසර සුබයි. ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන හැකි වෙනවා.

සිංහ ලග්නය.
සහනය ලැබෙන වසරක්.
බොහොමයක් සිංහ ලග්න හිමියන්ට කාලයක් පුරා තරමක මානසික ව්‍යාකූලත්වයක් පැවති බව නොරහසක්. සියලු මානසික පීඩාවන්,නොසන්සුන් ගති නව වසර තුළ තුරන් වෙනවා.අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය රැකියා කටයුතු හා ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සතුටුදායක නොවන නමුත් අගෝස්තු 18 වෙනිදා පටන් ඉතාමත් සතුටුදායක වාතාවරණයක් ඇතිවෙනවා. රැකියා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. නව අය මාර්ග ඇතිකර ගැනීමට හැකි වෙනවා.
   අගෝස්තු 18 දින තෙක් කාලය තුළ ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් ගැටළු මතුවීමට ඉඩ තිබෙන බැවින් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. 
   ජුනි මස 21 දින පටන් ඔක්තෝබර් මස 27 දින තෙක් කාලය තුළ ගෘහ ජීවිතයේ සමගිය,සාමය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම යුග ජිවිත ගතකරන සිංහ ලග්න හිමියන් මෙම කාලය තුළ ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
  .ඔක්තෝබර් 27 පටන් ඉදිරි කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සබුදායකයි.ගේදොර දේපළ සම්බන්ධයෙන් ද දියුණුවක් ඇතිවෙනවා.
    ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ ගැටළුවක් මතුවන්නේ නෑ. යහපත් සෞක්‍ය තත්වයක් පවත්වාගෙන යාමට හැකිවෙනවා.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන සිංහ ලග්න හිමියන්ට අගෝස්තු 18 පටන් ඉදිරි කාලය තුළ විශේෂ සුබ පල අත්වෙනවා. අගෝස්තු 18 තෙක් කාලය තුළ අමතකවීම් බහුල විය හැකියි.

කන්‍යා ලග්නය.
ජයග්‍රාහී වසරක්.
අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය තුළ වියදම් පාර්ශවය ඉහළ යා හැකියි.අගෝස්තු 18 දින පටන් ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 තෙක් කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන් එතරම් සතුටුදායක නෑ. සැප්තැම්බර් 12 දින පටන් රැකියා කටයුතු වල කැපී පෙනෙන ප්‍රගතියක් ඇතිවෙනවා. තමන්ට හිමි නිසි,සුදුසු තැන හිමි වෙනවා.
  කාලයක් පුරා පැවති අවහිරකාරී තත්වය සැප්තැම්බර් 12 වෙනිදා පටන් දුරුව යනවා.එතැන් පටන් සුබවාදී වෙනස්කම් බොහොමයක් ඇතිවන අතර අඩාලව පැවති වැඩ කටයුතු නැවත සාර්ථක කරගැනීමට හැකිවෙනවා.උද්යෝගය,උනන්දුව වර්ධනය වෙනවා.සිතට සැනසිලිදායක වාතාවරණයක් ඇතිවෙනවා. එතැන් පටන් ඉදිරි කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන්ද සුබදායකයි.ගේදොර දේපළ ආදියේද විශේෂ දියුණුවක් ඇතිවෙනවා.විවහාපේක්ෂාවන් ඉටුකර ගැනීමට හැකි වෙනවා.
  සැප්තැම්බර් 12 තෙක් කාලය තුළ උදරාශ්‍රිත අසනීප පීඩා වරින් වර මතු විය හැකියි. එතැන් පටන් ඉදිරි කාලය ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් බොහෝ දුරට සුබදායකයි.
 අධ්‍යාපනය ලබන කන්‍යා ලග්න හිමියන්ට වසර පුරාම සුබදායක වාතාවරණයක් පවතිනවා.

තුලා ලග්නය.
සුබ පලදායක වසරක්.
ඔක්තෝබර් 27 වෙනිදා තෙක් කාලය තුළ වරින් වර ආර්ථිකය අඩාල විය හැකයි. මෙම කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් කළමනාකරණය කර ගත යුතුයි.විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වල යෙදෙන තුලා ලග්න හිමියන් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.ඔක්තෝබර් 27 වෙනිදා පටන් ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙනවා.එතැන් පටන් රැකියා කටයුතුවල ද පෙරට වඩා දියුණුවක් ඇතිවෙනවා.
  ඔක්තෝබර් 27 වෙනිදා තෙක් කාලය තුළ මානසික සහනය වරින් වර බිඳ වැටෙනවා.කරන කියන වැඩ කටයුතු වලට තරමක බාධක අවහිර එල්ල වෙනවා.උත්සාහයේ හා මහන්සියේ තරමට හිතට ගැළපෙන තරමේ ප්‍රතිපල ලබා ගැනීමට අපහසු වෙනවා. ඔක්තෝබර් 27 දින පටන් ඉතාමත් වාසිදායක පසුබිමක් සැකසෙනවා. බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකිවනවා මෙන්ම කරන කියන කටයුතු ද හිතට ගැළපෙන පරිදි සාර්ථක වෙනවා. 
  සැප්තැම්බර් 12 දින තෙක් කාලය විදේශ ගමන්, විදේශ රැකියා සඳහා යොමු වීමට සුබදායකයි.අගෝස්තු 18 දින තෙක් කාලය තුළ ඇසුරු කරන අය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.
ජුනි 21 පටන් ඔක්තෝබර් 27 තෙක් කාලය තුළ වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වසර පුරාම සුබදායක වාතාවරණයක් පවතිනවා.

වෘශ්චික ලග්නය
මිශ්‍ර පලදායක වසරක්.
නව වසර තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඔක්තෝබර් 27 දින පටන් වියදම් වැඩි වීමටත්,නිෂ්පල වියදම් යෙදීමටත්, ධන හානි සිදුවීමටත් ඉඩ තිබෙනවා.නව වසර තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් කළමනාකරණය කර ගත යුතුයි.
අගෝස්තු 18 දින පටන් රැකියා කටයුතු වල දැනට වඩා ප්‍රගතියක් ඇතිවෙනවා.උසස්වීම්,වරප්‍රසාද බලාපොරොත්තුවෙන් සිටින වෘශ්චික ලග්න හිමියන්ට තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි වෙනවා.
ජුනි 21 තෙක් දැනට ගත කරන කාලය තුළ මෙන්ම ඔක්තෝබර් 27 පටන් ඉදිරි කාලය තුළ ගෘහ ජීවිතයේ සතුට සැනසුම අඩුවීමට ඉඩ තිබෙනවා. ගෘහ ජීවිතය තුළ ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.මෙම කාලය තුළ මානසික සහනය අඩු වෙනවා.සිතට වරින් වර කළකිරීම් ඇතිවිය හැකියි.
 නව වසර තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා. සුළු අසනීපයක් වැළඳුනද ලබා ගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
 අධ්‍යාපනය ලබන වෘශ්චික ලග්න හිමියන් මානසික නිරවුල්තාවය නිසි පරිදි පවත්වා ගැනීම වැදගත් වෙනවා.කෙසේ වෙතත් අධ්‍යාපන කටයුතු කෙරෙහි තද බල බාධක එල්ල වන තත්වයක් නෑ.

ධනු ලග්නය.
අභියෝග මැද ජය ලැබෙන වසරක්.
   ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි. යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් වරින් වර තරමක ගැටළු, අතෘප්තිමත් ගති ඇති වුණද බරපතළ ගැටළු වලට ඉඩ කඩ නෑ.සැප්තැම්බර් 12 දින පටන් රැකියාවේ යම් ප්‍රගතියක් ඇති වෙනවා. කෙසේ වෙතත් රැකියා වෙනස් කිරීම් වලට නව වසර එතරම් සුබ දායක නෑ.
   මානසික සහනය වරින් වර බිඳ වැටෙන තත්වයක් පවතිනවා.යුග ජීවිත ගත කරන ධනු ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ආදර සම්බන්ධතා පවත්වන ධනු ලග්න හිමියන්ට විවාහය සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹීමට අපහසු වීමටත්, අවිනිශ්චිත තත්වයන්ට මුහුණ දීමටත් සිදු විය හැකියි. කෙසේ වෙතත් ඉක්මන් තීන්දු තීරණ වලට නොබැස ඉවසිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
  ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා.සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කර ගැනීමට අපහසු වීමට හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
  අධ්‍යාපන කටයුතු වල යෙදෙන ධනු ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.තරඟ විභාග වලින් ජය අත්කර ගැනීමට හැකිවෙනවා.

මකර ලග්නය 
මිශ්‍ර පලදායක වසරක්.
 නව වසර තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වියදම් අධික වීමටත්,නිෂ්පල වියදම් යෙදීමටත්, ධන හානි සිදුවීමටත් ඉඩ තිබෙනවා.ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා.
   රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අපේක්ෂා කිරීමට අපහසුයි.කෙසේ වෙතත් අගෝස්තු 18 වෙනිදා පටන් රැකියා කටයුතු වල දැනට වඩා යම් ප්‍රගතියක් ඇතිවෙනවා. විදේශ රැකියා පිලිබඳ බලාපොරොත්තුවෙන් මකර ලග්න හිමියන්ට ඒ සම්බන්ධයෙන් බාධක අවහිර එල්ල වෙනවා.විදේශ රැකියා වල නියැලෙන මකර ලග්න හිමියන්ටද තරමක අසුබ බලපෑම් එල්ල වෙනවා.
 නව වසර තුළ තම අගය,වටිනාකම අන්‍යයන්ට නිවැරදිව නොදැනෙන බවක් හැඟී යා හැකියි. අන්‍යයන්ට තමන්ව නිවැරදිව තේරුම් ගැනීමට අපහසු තත්වයක්ද ඇතිවීමට ඉඩ තිබෙනවා.කෙසේ වෙතත් ඉවසිලිමත්ව හා උපායමාර්ගිකව කරන කටයුතු බොහොමයක් සාර්ථක කරගැනීමට හැකිවෙනවා.
 අගෝස්තු 18 දින පටන් ඉදිරි කාලය තුළ ගෘහ ජීවිතයේ සතුට සැනසුම අඩුවී යා හැකයි.යුග ජීවිත ගත කරන මකර ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. අගෝස්තු 18 දින පටන් විවාහ කටයුතු හා ප්‍රේම සම්බන්ධතා වලට බාධක එල්ල වෙනවා.
   ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් වසර පුරාම සැළකිලිමත් විය යුතුයි. හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා. නිශ්චය කර ගැනීමට අපහසු හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබෙන ආකාරයේ අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.
  අධ්‍යාපන කටයුතු වල නියැලෙන මකර ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙනවා.

කුම්භ ලග්නය.
යහපත් වසරක්.
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි. විශේෂයෙන් අගෝස්තු 18 වෙනිදා පටන් ආර්ථිකයේ වඩාත් සතුටුදායක තත්වයක් ඇතිවෙනවා.
එතැන්  පටන් ඉදිරි කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන්ද වඩාත් සුබදායකයි.රැකියාවේ විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා මෙන්ම බලාපොරොත්තුවෙන් සිටි උසස්වීම් හෝ විශේෂ වරප්‍රසාද ද හිමි වෙනවා. නව රැකියා සඳහා යොමුවීමට ද අගෝස්තු 18 වෙනිදායින් පසු කාලය සුබදායකයි.
අගෝස්තු 18 වෙනිදා පටන් ඉදිරි කාලය විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මෙන්ම විවාහ කටයුතු සිදුකිරීමටද සුබදායකයි. එතෙක් කාලය තුළ විවාහ කටයුතු වලට තරමක බාධක අවහිර එල්ල වන අතර මානසික සතුට ප්‍රබෝධයද වරින් වර අඩුවෙනවා.
  නව වසර තුළ ගේදොර දේපළ ආදියේ දියුණුවක් උදා කර ගැනීමට හැකිවෙනවා.හිත මිත්‍රාදීන්ගේ උදව් උපකාරද හිමි වෙනවා.
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.සැළකිය යුතු තරමේ අසනීප පීඩාවන් මතුවන බවක් පෙනෙන්නට නෑ.
අධ්‍යාපනය ලබන කුම්භ ලග්න හිමියන්ට තම අධ්‍යපන කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරගෙන හැකිවෙනවා.

මීන ලග්නය.
නව වසර සුබයි.
නව වසර තුළ යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකිවෙනවා.අගෝස්තු 18 තෙක් කාලය ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් සුබදායකයි. රැකියා කටයුතු සම්බන්ධයෙන්ද නව වසර තුළ සුබදායක වාතාවරණයක් පවතිනවා.රැකියා කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.අගෝස්තු 18 වෙනිදායින් පසුව රැකියා වෙනසකට ඉඩ තිබෙනවා.සැප්තැම්බර් 12 තෙක් කාලය විදේශ රැකියා සඳහා යොමුවීමට සුබදායකයි.
 සැප්තැම්බර් 12 වෙනිදා තෙක් කාලය තුළ ගෘහ ජීවිතයේ සතුට තෘප්තිය තරමක් අඩු විය හැකියි.විවාහ කටයුතු වලටද තරම බාධක එල්ල වන තත්වයක් පවතිනවා. සැප්තැම්බර් 12 වෙනිදා පටන් එම තත්වය දුරු වී යන අතර විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායක වටපිටාවක් ඇතිවෙනවා.
නිවාස සැදීම,දේපළ,වාහන මිලදී ගැනීම ආදී කටයුතු වලට නව වසර සුබදායකයි.
 දණිස්,දෙපා,සන්ධි,තුනටිය ආශ්‍රිත වේදනා පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.බරපතළ අසනීප පීඩාවන්ට ඉඩ කඩ නෑ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන මීන ලග්න හිමියන්ගේ අධ්‍යපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.



Friday, April 7, 2017

2017 ගණුදෙනු කිරීමේ නැකත.

                           සිංහල අවුරුදු නැකත් පිළියෙළ කරනු ලබන්නේ නැකත් කමිටුව මගිනි. නැකත් කමිටුව පංචාංග ලිත් කතුවරු ඇතුළු ජ්‍යොතිෂවේදීන් පිරිසකගෙන් සමන්විත වේ. මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා පිළියෙළ කරන ලද නැකත් කාණ්ඩයේ වැඩ ඇල්ලීම,ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත දෝෂ සහගත බව ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ අදහසයි. 
                             නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පුර්වභාග 07. 05 ට ය. එම මොහොතේ ග්‍රහ තත්වය සටහන් වන්නේ පහත පරිදි ය.
                             
            මෙම කේන්දර සටහනේ චන්ද්‍රයා නීචව 08 වෙනි භාවයේ තැන්පත්ව සිටියි. චන්ද්‍රයා 08 වෙනි භාවයේ පිහිටුවා නැකත් සෑදීම ශාස්ත්‍රීය ක්‍රමය නොවේ.චන්ද්‍රයා සිව් වෙනි භාවයේ අධිපති ග්‍රහයා බැවින් වඩාත් අසුබය. 
        ගණුදෙනු කිරීමේදී ධනස්ථානය වූ  දෙවෙනි භාවයත්, අයස්ථානය වූ එකොළොස් වෙනි භාවයත් බලවත්ව,යහපත්ව පැවතිය යුතුය. නැකත දී තිබෙන මොහොතේ ධනස්ථානය වූ දෙවෙනි භාවයේ කුජ හෙවත් අඟහරුය. අයස්ථානය වූ එකොළොස් වෙනි භාවයේ කේතු ය. පාප ග්‍රහයින් එකොළොස් වෙනි භාවයේ පිහිටීම නැකතක බලය වර්ධනය වීමට හේතුවක් බව ජ්‍යොතිෂයේ සඳහන් වූවද ගණුදෙනු කිරීමේ නැකතකදී අයස්ථානය වූ එකොළොස් වෙනි භාවයට  කේතු වැනි හකුළුවන ග්‍රහයෙක් සුබදායක නොවේ.මෙම නැකතට ගණුදෙනු කිරීමෙන් සිදුවන්නේ වැය වැඩි වීමත් අය අඩු වීමත්ය. පතළ කරවන ග්‍රහයෙක් ධනස්ථානයේ සිටීමත් හකුළුවන ග්‍රහයෙක් අයස්ථානයේ සිටීමත්හේ තුවෙනි. ධනස්ථානාධිපති සිකුරු වැයස්ථානයේ පිහිටීමද ධනය සම්බන්ධයෙන්  අසුබදායක ය. 
              වැඩ ඇල්ලීම සිදුකරනු ලබන්නේ තම වෘත්තීය කටයුතු වල සාර්ථකත්වයක් අපේක්ෂාවෙනි. රැකියාව ට ප්‍රධාන වශයෙන්ම බලපාන්නාවූ දස වෙනි භාවය දෙපස ශනි හා කේතු ය. කර්මස්ථානය පාප ග්‍රහයින් දෙදෙනෙකුට මැදිව සිටියදී වැඩ ඇල්ලීම සුබදායක නොවේ.
                  ගුරු, සිකුරු දෙදෙනා අසුබ ස්ථාන දෙකක පිහිටුවීමත් දෝෂ සහගතයි. විශේෂයෙන් ගුරු ග්‍රහයා හය,අට,දොළහ යන ස්ථානයක පිහිටුවා නැකත් සෑදීම පිළිගත් සම්ප්‍රදාය නොවේ.
                      මේ අනුව, මෙවර වැඩ ඇල්ලීම,ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා ලබාදී තිබෙන නැකත දෝෂ සහගත ය.
                      ආහාර පිසීම අප්‍රේල් 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.05 ට සිදු කර, වැඩ ඇල්ලීම,ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.57 ට සිදු කිරීම සුබදායක ය.
                                  මෙම නැකත් වේලාවන් තුළ ගුරු හිමි මීන ලග්නය උදා වී පවතියි. තත්කාල කේන්දරයේ සිකුරු ලග්න භාවයේ බලවත්ව මාලවි නම් යෝග බලයෙන් සිටියි.
තත්කාල ග්‍රහ තත්වය පහත දැක්වෙන පරිදි සටහන්ව පවතී.

              

Wednesday, April 5, 2017

සෙනසුරු වක්‍ර වෙයි.


           සෙනසුරු 2017. 04. 07 වෙනිදා පටන් වක්‍ර වෙනවා. වක්‍ර වන සෙනසුරු 2017. 06. 21 වෙනිදා පෙර සිටි වෘශ්චික රාශියට නැවත ගමන් කරනවා. 2017. 08. 25 වෙනිදා තෙක් වක්‍ර වන සෙනසුරු, 2017. 10. 27 වෙනිදා තෙක් වෘශ්චික රාශියේ කල් ගෙවනවා.
   සෙනසුරු වක්‍ර ගමනේ යෙදෙන කාලය එතරම් සුබදායක කාලයක් නොවන බව පෙනෙන්නට තිබෙනවා. නොයෙක් ලෙඩ රෝග,වසංගත හේතුවෙන් මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් ජනතාවට මහත් පීඩාවන් එල්ලවෙනවා. නොඉවසිලිමත්කම, ආවේගශීලී බව හේතුවෙන් ගැටුම් ආරවුල් ඇතිවෙනවා.
  සෙනසුරු වක්‍ර වී නැවත වෘශ්චික රාශියට පැමිණීමත් සමග මේෂ හා තුලා ලග්න හිමියන්ට නැවත ඒරාෂ්ඨක අපල උදාවෙනවා. ධනු හා වෘශ්චික ලග්න හිමියන්ගේ දැනට පවතින ඒරාෂ්ඨක අපලයේ බලපෑමද වර්ධනය වෙනවා.
   ඒ අනුව 2017. 06. 21 - 2017. 10. 27 අතර කාලය තුළ මේෂ, තුලා, වෘශ්චික, ධනු ලග්න හිමියන් ට ඒරාෂ්ඨක අපලයේ බලපෑම තදින් එල්ල වෙනවා. මෙම ලග්න හිමියන් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙන බැවින් අවධානම් සහිත කටයුතු වලදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ශල්‍යකර්ම වලට ලක්වීමටද සිදුවිය හැකියි.මෙම කාලය තුළ මානසික නිරවුල්තාවය බිඳ වැටීමටත්, වැඩකටයුතු වලට බාධක අවහිර එල්ලවීමටත් ඉඩ තිබෙනවා. රැකියා කටයුතු  ව්‍යාපාර කටයුතු කෙරෙහි අනපේක්ෂිත බාධක එල්ලවෙනවා.
  කෙසේ වෙතත් තම උප්පත්ති ග්‍රහ බලය අනුව අපල බලපෑම් අඩු වැඩි වෙන බවද සඳහන් කළ යුතුයි. මේෂ, තුලා,වෘශ්චික,ධනු ලග්න වලින් උපත ලබා සිටියද තම කේන්දරයේ ග්‍රහ තත්වය අනුව ඇතැමුන්ට කිසිම උපද්‍රවයක් සිදු නොවිය හැකි අතර, ඇතැමුන්ට සාමාන්‍ය තරමේ බලපෑම්ද, ඇතැමුන්ට තද බල අපල ද එල්ල විය හැකියි.
    මෙම කාලය තුළ සියලු දෙනා ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
   
 
 

    

Sunday, March 26, 2017

කේන්දර ගළපන්නේ ඇයි ?


    විවාහයට පෙර දෙදෙනෙක්ගේ කේන්දර පරික්ෂාකර බැලීම 'පොරොන්දම් ගැළපීම' ලෙස බොහෝ දෙනෙක් අතර ප්‍රචලිතයි. ඒ ආකාරයට හැඳින්වූවත් දෙදෙනෙකු ගේ ගැළපීම පොරොන්දම් විස්සෙන් පමණක් තීරණය කිරීම අපහසුයි.පොරොන්දම් පරීක්ෂාව යනු දෙදෙනෙකු ගේ  ගැළපීම පරීක්ෂා කරන එක් අංගයක් පමණයි.
    දෙදෙනෙකු ගේ ගැළපීම පරීක්ෂා කරන්නේ නොගැළපෙනවා නම් වෙන් කරන්නද? නැතිනම් නොගැළපීම් ගැළපීම් බවට පත්කර ගන්නද? පොරොන්දම් විස්සට අමතරව පරීක්ෂා කළ යුතු වෙනත් වැදගත් දේවල් මොනවාද? මේ ආදී වශයෙන්, කේන්දර ගැළපීම සම්බන්ධයෙන් බොහෝ දේ මෙම ලිපියෙන් විස්තර වෙනවා.
      පොරොන්දම් යනු කේන්දර ගැළපීමේදී පරීක්ෂා කෙරෙන කරුණු 20 ක් පමණයි.වඩාත් වැදගත් වන්නේ කේන්දර දෙකෙහි සියලු ග්‍රහ පිහිටීම් පරීක්ෂා කිරීමයි.යුග දිවිය තුළ මතුවිය හැකි සියලු සිදුවීම්, කරදර,ගැහැට හා අභියෝග සටහන් වන්නේ දෙදෙනාගේ කේන්දර තුළ යි. නමුත් අවාසනාවට අද බොහෝ දෛවඥ මහතුන් පරීක්ෂා කරන්නේ පොරොන්දම් විස්ස පමණයි. අද බොහෝ තරුණ තරුණියන්ද පරිඝනකය ඔස්සේ පොරොන්දම් විස්ස පරීක්ෂා කර බලා තීන්දු තීරණ වලට එළඹෙනවා.පොරොන්දම් විස්ස පරීක්ෂා කිරීමෙන් පමණක් විවාහයක සාර්ථක අසාර්ථක බව තීරණය කරන්න බෑ. පොරොන්දම් විස්ස පමණක් බලා විවාහ වී නොගැළපීම් මතුවන විට ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි අවලාද නඟන අයත් සිටිනවා. කේන්දර දෙකක ගැළපීම පරීක්ෂා කිරීම ගැඹුරු කාර්යයක්.
     ආදරය කරන කාලයේදී දෙවිවරු,දේවතාවියන් ලෙස හැසිරෙන සමහරු යුග ජීවිතයේදී යක්ෂයින්,යක්ෂණියන් බවට පත්වෙනවා.සමහරුන්ට එක්කෙනෙක්ගෙන් සෑහීමට පත්වෙන්න බෑ. සමහරුන්ට ආවේගය පාලනය කරගන්න බෑ.සමහරු රහස් කටයුතු වලටම යි පෙළඹෙන්නේ. ආදරය කරන කාලයේදී අනෙකාව තමන්ට නැතුවම බෑ වගේ හැසිරෙන සමහරු විවාහයෙන් පස්සේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ පාඩුවේ වෙනම ගමනක් යනවා.සමහරු ආදරය කරන්නේ අනෙකාගේ මිල මුදල්, දේපළ වලට පමණයි. ඔන්න ඔය වගේ විවිධාකාර පුද්ගලයින් සමාජයේ ජීවත්වෙනවා.
  පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? මතුපිටින් පෙනෙන්නේ සැබෑම ස්වරූපයද? විවාහයෙන් පස්සේ තව අය ඕනැ වෙයිද? දැන් පෙන්වන ආදරය හැමදාම පවතියිද?ලැබෙන දරුවන්ට සෙනෙහෙබර මවක් හෝ පියෙක් වෙයිද? ඔන්න ඔය වගේ කාරණා තමයි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන කෙනාගේ කේන්දරයෙන් සොයා දැනගන්න ඕනෑ. ඔය දේවල් කිසිවක් පොරොන්දම් විස්ස පරීක්ෂා කළාට හොයාගන්න බෑ. විවාහය සඳහා කේන්දර ගළපා ගන්න ජ්‍යොතිෂවේදියෙක් හමුවෙන්න යනවා නම් ඔය සියලු දේවල් අසා දැනගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය කාරණා ගැන නිවැරදිව තොරතුරු පැවසිය හැකි ජ්‍යොතිෂවේදියෙක්ව තෝරාගන්නත් අමතක කරන්න එපා.
    විවාහය කියන්නේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක්. තමන් තෝරාගන්නා සහකරු හෝ සහකාරිය හේතුවෙන් ජීවිතය බැබළෙන්නත් පුළුවන්,විනාශ වෙන්නත් පුළුවන්. විවාහය හේතුවෙන් අනන්ත ගැටළු කරදර වලට මුහුණ දෙන අය නිතර හමුවෙනවා. සැමියන්ගේ නොමනා හැසිරීම් ඉවසා දරාගැනීමට නොහැකි තැන සියදිවි නසාගන්නා බිරින්දෑවරු මොන තරම්ද... 'කේන්දර ගැළපීම්,පොරොන්දම් විශ්වාස කරන්න එපා' යැයි කෑ මොර දෙන බටහිර පන්නයේ චරිත එවන් අසරණ තත්වයට පත්වූවන් වෙනුවෙන් මැදිහත් වෙනවාද ? 
     අද කාලයේ බොහෝ දෙනෙක් විවාහ මංගල උත්සවය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.වැඩිම මුදලක් අය කරන රූපලාවන්‍ය ශිල්පීන්ව,ඡායාරූප ශිල්පීන්ව තෝරාගන්නවා. උඩරට නැට්ටුවන් පිරිවරා ගනිමින් ඉතාමත් ජයට විවාහ මංගල උත්සවය පවත්වනවා. එය ගැටළුවක් නොවෙයි. නමුත් ඔවුනොවුන් කවුදැයි හරිහැටි අවබෝධ කර නොගත්තොත්, ඔවුනොවුන්ගේ අභ්‍යන්තර ගති සිරිත්,හැසිරීම් නිවැරදිව තේරුම් නොගත්තොත් ඡායාරූප ඇල්බම්,වීඩියෝ පට මතක වස්තු බවට පත්වීම වළක්වන්න බෑ.ඡායාරූප ඇල්බමය ගෙදරට ලැබෙන්නත් පෙර දෙපැත්තට වූ අයත් ඉන්නවා.
   විවාහයට පෙර කේන්දර පරීක්ෂාකර ගැනීමෙන් යහපත් ප්‍රතිපල බොහොමයක් අත්වෙනවා.අනිත් කෙනාගේ රුචි අරුචිකම්,අදහස් අරමුණු හරියට දැනගැනීමෙන් ඔහු හෝ ඇය සමග ජීවත් වියහැකි 'කලාව' තේරුම් ගැනීමට හැකිවෙනවා.' නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි' කියලා කියමනක් තියෙනවා.යක්ෂයෙක් වගේ කෙනෙක්ගේ වුණත් අභ්‍යන්තර ගති ලක්ෂණ,දුර්වලතා,මානසික ස්වභාවය හරියට අවබෝධකර ගත්තොත් ඔහු හෝ ඇය සමග කටයුතු කළ හැකි නිවැරදි ක්‍රමය අල්ලාගන්න පුළුවන් වෙනවා.
     ලිංගික ආශාවන්,බුද්ධිය හා ආර්ථික කළමනාකරණය අතින් ගැළපෙන තරමට යහපත්,සමතුලිත විවාහයක් ගතකිරීමට හැකිවෙනවා. ඇතැමුන් ගේ ශාරීරික දුර්වලතා විවාහය සිදුවන තෙක්ම දැකගැනීමට ලැබෙන්නේ නෑ.ඇතැමුන්ගේ 'බළලා මල්ලෙන් එළියට පනින්නේ' විවාහයෙන් යෙන් පසුවයි.දේපළ,ගේදොර තමන්ගේ නමට ලියවාගෙන විවාහයෙන් වෙන්වන අයත් ඉන්නවා.පෙර විවාහය සඟවාගෙන නැවත විවාහ වන අය ගැනත් නිතර අසන්නට ලැබෙනවා.
    ගැටළු කරදර මතුවන විට සියදිවි නසාගැනීමට පෙළඹෙනවාට වඩා, කළ යුතු දේ නිසි කළට සිදුකිරීම වඩාත් වැදගත් වෙනවා.

Sunday, March 12, 2017

දුරදිග නොබලා නම් තැබීම සුබ නෑ.



   " ඩයලොග් " කියන්නේ සන්නිවේදන ක්ෂේත්‍රයේ අති බලවත් වෙළඳ සමාගමක්. ලොව පුරා ව්‍යාප්ත ඩයලොග් නාමය නොඇසූ කෙනෙක් නෑ. මේ වෙළඳ නාමය මේ තරමට බලවත් වුණේ කොහොමද? නාමයක් ප්‍රසිද්ධ වෙන්න මොකක් හරි බලයක් තියෙන්න ඕනැ ද?
   ශබ්ද විද්‍යාව කියන්නේ ඉතාමත් ගැඹුරු ශාස්ත්‍රයක්. සියලු මන්ත්‍ර සකස් කර තිබෙන්නෙත් අක්ෂර විද්‍යාත්මකව යි. පිරිත් සකස් කර තිබෙන්නෙත් ඒ ආකාරයටම යි. ලෝකයේ පවතින සියලු දේ වගේම අක්ෂරත් පංච භූතාත්මක යි. සෙත් කවි, වස් කවි, මන්ත්‍ර, පිරිත් මේ හැම දෙයකම තිබෙන්නේ ශබ්දයේ බලය යි. ශබ්දයේ බලය ඇතිවන්නේ අක්ෂර ගැළපීම අනුව යි. වැරදි අක්ෂර ගැළපීමකින් සිදුවන්නේ බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබීම යි. ශබ්ද විද්‍යාව තුළ ගණ අටක් භාවිතා වෙනවා. ඒ භූමි, දේව, චන්ද්‍ර, ජල, සූර්ය, අග්නි, වායු, ආකාශ යන ගණ අටයි. මෙයින් මුල් ගණ හතර සුබ ගණ ලෙසත් සෙසු ගණ හතර අසුබ ගණ ලෙසත් සැළකෙනවා. එහෙම නම් වායු ගණය කියන්නේ අසුබ ගණයක්. ඩයලොග් වෙළඳ නාමය අයත් වන්නේත් වායු ගණයට යි. අසුබ ගණයකින් යොදපු ඩයලොග් නාමය මෙතරම් ජනප්‍රිය වුණේ කොහොමද?
  ක්‍රියාත්මක ශක්තිය වැඩි කරගැනීම සඳහා සෙත් කවියක අතරමැදට පවා ඇතැම් අවස්ථාවල අසුබ ගණ යොදනවා. වායු ගණයෙන් කෙරෙන්නේ පැතිරවීම යි. කෙනෙක් සිටින තැනින් පලවා හැරීම සඳහා වස් කවියක් රචනා කිරීමේදී වායු ගණය යොදා ගැනෙනවා. එවිට ඉක්මනින්ම ඉවත්ව යනවා.සන්නිවේදන කාර්යයටත් වායු ගණය ගැළපෙනවා.
 වායු ගණය සෑදෙන්නේ මුල ලඝු අක්ෂර දෙකකින් හා අග ගුරු අක්ෂරයකින්. මුල් අක්ෂර දෙක නොඇදී අග අක්ෂරය ඇදෙනවා. ඩයලොග් නාමයේ මුල් අක්ෂරය වන  "ඩ" යන්න අයත් වන්නේ සෙනසුරුට අයත් පුෂ නැකතට යි. වායු ගණයේ අයිතිකාරයත් සෙනසුරු යි. එහෙමනම් ඩයලොග් නාමය පොදු ජනතාව අතර ප්‍රචලිත වීමට මේ කාරණයත් බලපානවා.
 "සලාකා" කියන්නේ ලංකාවේ ජනප්‍රියම නාමයක්. සලාකා සෙන්කඩ ලෙස වෙනස් වීමට පෙර ජනප්‍රියත්වයේ ඉහළම තලයේ වැජඹුණා. සලාකා ව්‍යාපාරය අසල බස් නැවතුම්පොළ හඳුන්වනු ලැබුවෙත් සලාකා නමිනුයි.සලාකා බහිනවා දැයි ඇසීමට ඒ අසලින් ගමන් ගත් බස් රථවල කොන්දොස්තරවරු අමතක කළේ නෑ. සලාකා නාමය ඉතාමත් සුබදායක වෙළඳ නාමයක්. මෙය අයත් වන්නේ ජල ගණයට යි. මුල ලඝු අක්ෂරයකින් හා අග ගුරු අක්ෂර දෙකකින් ජල ගණය සෑදෙනවා. මුල අක්ෂරය නොඇදී අග අක්ෂර දෙක ඇදෙනවා. ටොයෝටා නාමයත් ජල ගණයට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. ජල ගණයේ විපාකය ලෙස සඳහන් වන්නේ දියුණුව යි. ජල ගණයට අධිපතිත්වය දරන්නේ සිකුරු ග්‍රහයා යි. ව්‍යාපාර නාමයන් සඳහා ඉතාමත් යෝග්‍ය ගණයක් ලෙස ජල ගණය හඳුන්වන්න පුළුවන්.
 ව්‍යාපාර නාමයක් භාවිතා කළ යුතු ගණය වගේම නාමයේ මුල් අක්ෂරයත් ඉතමත් වැදගත් වෙනවා. දිව්‍යක්ෂර, මනුෂ්‍යක්ෂර, අපායක්ෂර යනුවෙන් අක්ෂර තුන් වර්ගයක් දක්වා තිබෙනවා.
දිව්‍යක්ෂර : ඉ,ඔ,ත,ට,ද,ල,ස,ව,ඩ 
මනුෂ්‍යක්ෂර : උ,ප,බ,ග,හ 
අපායක්ෂර : එ,ක,ය,ම,ර,ජ,අ,ණ,ළ, අං 
  අපායක්ෂරයක් මුල් කරගත් නමක් වුවද සුබ ගණයකින් තැබූ විට අක්ෂර දෝෂය දුරු වෙනවා. අක්ෂර දෝෂයත් ගණ දෝෂයත් දෙකම යෙදුණු විට එම නාමයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යනවා. ඇතැම් විට නම හේතුවෙන් විනාශකාරී ප්‍රතිඵල ලැබෙන්නට ද ඉඩ තිබෙනවා.අක්ෂරය අපායක්ෂරයක් වූවද එම අක්ෂරය තම උපන් නැකතට සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී ආදී සුබ නැකතකට අයත් අක්ෂරයක් නම් එවිට ද අක්ෂර දෝෂය දුරුව යනවා.
  අක්ෂරයේ භූතාත්මක ස්වරූපයද වැදගත් වෙනවා.අස්විද, බෙරණ, කැති, රෙහෙණ,මුවසිරස යන නැකත් පඨවි භූත නැකත් වන අතර එම නැකත් හිමි අක්ෂර පඨවි භූත අක්ෂර ලෙස සැළකෙනවා. 
අද, පුනාවස, පුෂ, අස්ලිස, මා. පුවපල් යන නැකත් හිමි අක්ෂර ආපෝ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
උත්‍රපල්, හත,සිත, සා, විසා යන නැකත් හිමි අක්ෂර තේජෝ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
අනුර, දෙට, මුල, පුවසල, උතුරුසළ, සුවණ යන නැකත් හිමි අක්ෂර වායෝ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
දෙනාට, සියාවස, පුවපුටුප, උතුරුපුටුප, රේවතී යන නැකත් හිමි අක්ෂර ආකාශ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
ඒ ඒ නැකත් හිමි අක්ෂර පහත වගුවේ සඳහන් වෙනවා.
 ආර්. ප්‍රේමදාස යනු ලංකාවේ පහළ වූ සුවිශේෂ දේශපාලඥයෙක් වන අතර එතුමා රටේ ඉහළම තනතුරට පත් වූයේ පහළම තැනකින් පටන් ගෙන බව කොයි කවුරුත් දන්නා කාරණයක්. එතුමා අගමැති තනතුරෙහි කටයුතු කරන කාලය තෙක්ම භාවිතා කළේ ආර්.ප්‍රේමදාස නාමයයි. ජනපති තනතුරට පත්වූ මොහොතේ පටන් එතුමා ගේ නම රණසිංහ ප්‍රේමදාස යනුවෙන් වෙනස් වූ බව කොයි කවුරුත් දන්නා කාරණයක්. "ර" අක්ෂරය තේජෝ භූත හෙවත් ගිනි අක්ෂරයක් වන අතර රණසිංහ නාමය වායු ගණයට අයත් වෙනවා. වායු ගණයේ විපාකය " මර " ලෙස ශබ්ද විද්‍යාවේ සඳහන් වෙනවා. නිවසකට නමක් තැබීමේදී යමෙක් ජ්‍යොතිෂ උපදෙස් පතන්නේ නම් ර යන්න මුල් කොට නමක් නොතැබීමට උගත් ජ්‍යොතිෂවේදීන් වගබලා ගන්නවා. ගිනි අක්ෂරයක් වූ ර යන්න මුල් කර නම් තබන නිවෙස් ගිනි ගැනීමට තිබෙන ඉඩ කඩ අධික නිසා යි. රණසිංහ යන නාමයේ අක්ෂර දෝෂයත් ගණ දෝෂයත් දෙකම පැහැදිලිව යෙදී තිබෙනවා. රණසිංහ නාමය එතුමන්ට අහිතකර ලෙස බලපෑ බව සත්‍යයක්. 
   ව්‍යාපාරයකට, සංවිධානයකට, දරුවෙකුට, නිවසකට පමණක් නොවෙයි කලා කෘතියකට වූවද නමක් තැබීමේදී ශබ්ද ශාස්ත්‍රයට අනුකූලව සුබදායක, ප්‍රතිඵලදායක නමක් තැබීම ඉතාමත් වැදගත් වෙනවා.
  අද ඇතැමුන් දරුවන්ට නම් තැබීමේදී දරුවාගේ අනාගතය ගැන නොසිතා නම් තබන බව පෙනෙනවා. අද ළදරු වියේ සිටියත් හෙට දිනයේ උසස් තනතුරකට, වගකිවයුතු තත්වයකට පත් විය හැකි බව අවබෝධකරගෙන ඊට ගැළපෙන ලෙස අභිමානවත් නමක් තැබීම වැදගත් වෙනවා. දරුවා සුරතල් නිසා සුරතල් නමක් තැබුවාට එය ඉදිරි අනාගතයේ සමාජයට අවතීර්ණ වීමේදී මහත් බාධාවක් විය හැකියි. නමක් සරළ විය යුතුයි, මතක හිටින නමක් විය යුතුයි. ඇතැමුන් නොයෙක් පණ්ඩිතයින් ගේ උපදෙස් පරිදි ගැඹුරු අර්ථයන්ගෙන් යුතු නම් දරුවන්ට තබන නමුත් ඒවායේ තේරුම සෑම සියලු දෙනාටම නොතේරෙන අතර  නමේ තේරුම දෙමාපියන්ගෙන්ම අසා දැනගත යුතුයි. නමක් පහසුවෙන් උච්චාරණය කළ හැකි, සැමට වැටහෙන, දෙතුන් වතාවක් අසා දැනගැනීමට සිදු නොවන නමක්ම විය යුතුයි.
    නම් තැබීම සම්බන්ධයෙන් තවත් විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු.

Sunday, February 26, 2017

සුලභ වාස්තු දෝෂ.


                 වාස්තු දෝෂ පරීක්ෂාකිරීම සඳහා දිවයිනේ නොයෙක් ප්‍රදේශ වෙත යාමට සිදුවූ නිසා පසුගිය දින කීපය ඉතාමත් කාර්ය බහුල වුණා. බොහෝ නිවෙස්වලදී සුලභව  දැක ගැනීමට ලැබුණු වාස්තු දෝෂයක් ගැන ඔබව දැනුවත් කිරීමට සිතුවා.
                  ඊශාන දිශාව ඉතාමත් වැදගත්,සුවිශේෂී දිශාවක් බව ඔබද නොදැන සිටිනවා විය හැකියි.බොහෝ නිවෙස්වල ඇතුළත මෙන්ම පිටතද ඊශාන දිශාව තුළ නොසුදුසු දේවල් ස්ථානගත කර තිබෙනවා. මෙමගින් නිවැසියන්ට නොයෙක් අසුබ බලපෑම් එල්ලවෙනවා.
                  දෙහි ගසක ඊශාන දිශාවට විහිදුණු අත්තකින් දෙහි ගෙඩියක් කඩාගෙන එය හොඳින් නිරීක්ෂණය කරන්න. දෙහි ගෙඩිය වටා සුදු පැහැති ඉරක් තිබෙන බව ඔබට දැකගන්න ලැබේවි.
  සත් දිනට මාරු සිටින දිශාව සෑම ලිතකම සඳහන්කර ඇති බව ඔබ දන්නවා.ඊශාන දිශාවේ මාරු සිටින දිනයක් සඳහන් කර නෑ.
  නිවසකට මුල් ගල තැබීමේදී එය අත්තිවාරමේ ඊශාන දිශාවේ නොපෑගෙන ස්ථානයක තැන්පත් කිරීම නිවැරදි පිළිවෙතයි.
      රාහු කාලය ගැන විශ්වාසය බොහෝ දෙනෙක් තුළ තිබුණත්, රාහු කාලය යනු කුමක්දැයි ඇසුවොත් පිළිතුරු දීමේ හැකියාව ඒ කිසිවෙකුටත් නෑ. පුරාණ සෘෂි මතයට අනුව භූමියේ ඊශාන දිශාවෙන් යම් චුම්බක ශක්ති ප්‍රවාහයක් විහිදෙන කාල සීමාව රාහු කාලයයි. මෙය ඊශාන දිශාවෙන් නිකුත්වන බවට පිළිගැනෙනවා.
     මේ කරුණු කාරණා තුළින් ඊශාන දිශාවේ සුවිශේෂී බව මැනවින් පැහැදිලි වෙනවා. මේ අනුව නිවාස ඇතුළත හා පිටත ඊශාන දිශාවට විශේෂ තැනක් හිමිවෙනවා.
  වැසිකිළි, වැසිකිළි වලවල්,කුණු වලවල්, නාන කාමර,අබලි ද්‍රව්‍ය ගොඩගසන ස්ථාන,සත්ව කූඩු ආදිය ඊශාන දිශාව තුළ පවත්වාගෙන යාම සුබදායක නෑ.මෙවැනි දේ ඊශාන දිශාව තුළ පවත්වාගෙන යාම හේතුවෙන් නිවසේ වාසනා බලය බිඳ වැටෙනවා.දියුණුවට බාධක එල්ලවෙනවා. නිවස ඇතුළතද ඊශාන දිශාව තුළ අබලන් වූ බඩු භාණ්ඩ, කිළිටි ඇඳුම්,නාන කාමර ආදියෙන් තොරව තබා ගත යුතුයි.
      ඊශාන දිශාව පිරිසිදුව හා නිදහස්ව තබාගැනීම වඩාත් සුබදායකයි.එසේ වූවත් ලිඳක්,බුදු මැදුරක් හෝ වෙනත් ආගමික කුටියක්, අතු පතර විහිදුවා විශාලව නොවැඩෙන ශාක,දේව පිළිම ආදිය ස්ථාන ගතකිරීම සුබදායකයි.
 නිවස තුළ ඊශාන දිශාව අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත් සුබදායකයි.
  ඊශාන දිශාව තුළ ජල කරාමයක් සවි කිරීම අසුබදායක නොවුණත් එය රෙදි,වළං ආදිය සේදීම,සතුන් නෑවීම ආදී කටයුතු සඳහා භාවිතා කිරීම සුබදායක නෑ.
    නිවස ඇතුළත හා පිටත ඊශාන දිශාව පිරිසිදුව හා අවහිරකාරී නොවන ආකාරයට තබාගෙන, එමගින් ලැබෙන සුබදායක ප්‍රතිපල ඔබත් අත්විඳින්න.
 
               
                 

Sunday, February 12, 2017

ඔබේ කේන්දරය ඔබම බලාගන්න.


            ඔබේ කේන්දරය තුළින් කරුණු කාරණා බොහොමයක් ඔබටම දැනගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කරන ලිපි මාලාවේ ප්‍රථම ලිපියයි මේ. කේන්දරය තුළ රවි හෙවත් සූර්යයා සිටින ස්ථානය අනුව ඇතිවන බලපෑම් මෙයින් විස්තර කෙරෙනවා.ඔබේ කේන්දරය රැගෙන එහි කොටු දොළහ වෙත අවධානය යොමු කරන්න.  එහි එක කොටුවක "ර" අක්ෂරය සටහන්කර තිබෙනවා. "ර" අක්ෂරය සටහන්ව තිබෙන කොටුව රවි ග්‍රහයා සිටින ස්ථානය යි.
           සියල්ලටම පළමුවෙන් රවි හෙවත් සූර්යයා ගැන මඳක් කතාකරමු. ග්‍රහ ලොව ප්‍රධානියා ලෙස සැළකෙන හිරු පෘථිවියේ සිට සැතපුම් 93000000 ක් දුරින් පිහිටා තිබෙනවා.ඈත අතීතයේ පටන්ම ලොව උසස්ම දෙවියා ලෙස බොහෝ දෙනා විසින් හිරු අදහා තිබෙනවා.හිරු නොමැතිව ජීවයක් පවතින්නේ නෑ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන අප නව වසරක උදාව සළකන්නේද හිරුගේ ගමන අනුවයි.
  මනුෂ්‍ය ශරීරයේ හදවත,ඇස්,රක්ත නාඩි,රුධිරය, මොළය,අස්ථි ආදියට හිරු බලපවත්වනවා. නිර්භීතකම,ප්‍රසිද්ධිය,ගෞරවය,බලකාමය,ස්ථිර ආදරය,දීර්ඝායුෂ,උද්යෝගය,චිත්ත වේගය ආදී ගුණාංගයන්ටද රවි ග්‍රහයා බලපවත්වනවා.මෙබැවින් හිරු බලවත්ව සුබ ස්ථානයක පිහිටීමෙන් යමෙක් සෘජු,බලවත් හා එඩිතර පුද්ගලයෙක් බවට පත්වෙනවා.
      බෙල්ල මහත්වීම,රක්තවාතය,රුධිරය දූෂ්‍යවීම,මොළය සම්බන්ධ අසනීප,සිහි අඩුකම,ඇස්වල පීඩාවන් ආදියටද හිරු බලපානවා. රවි බලවත්ව සුබ ස්ථානයක පිහිටීමෙන් ශරීර ශක්තියත්,නිරෝගීබවත් ලැබෙනවා.රවි දුර්වල වීමෙන් බොරු අහංකාරකම,අන්‍යයන්ට වඩා පහත ලෙස පෙනීම,වාචාලකම,ප්‍රසිද්ධිය පසුපස ගොස් පහතට වැටීම,චපල බව,ආත්ම විශ්වාසය අඩුකම ආදී අසුබ ඵල උදා කරනවා.
            සූර්යයා රාහු ගේ ග්‍රහණයෙන් මුදවාලනු පිණිස බුදුන් වහන්සේ සූර්ය පිරිත දේශනා කළ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. රාහු අපලයෙන් මිදීම සඳහා අදද බොහෝ දෙනා සූර්ය පිරිත භාවිතා කරනවා.
     ජීවී අජීවී සෑම වස්තුවකටම මහත් බලපෑමක් එල්ල කරන මේ සුවිශේෂී ග්‍රහයා ඔබගේ කේන්දරය තුළ සටහන්ව ඇති ස්ථානය අනුව හෙළිවන තොරතුරු මොනවාදැයි බලමු.

   "රවි" 01 වෙනි කොටුවේ නම්.
කේන්දරයේ පළමු භාවය හෙවත් ලග්න භාවය කියන්නේ ඉතාමත් සුවිශේෂ,වැදගත් ස්ථානයක්. ඔබේ කේන්දරයේ රවි ඉන්නේ පළමු භාවයේ නම් ඔබ ඉතාමත් උද්යෝගිමත්, ක්‍රියාශීලී පුද්ගලයෙක්. අවහිර බාධක මැඩගෙන ඉදිරියට යාමේ හැකියාව ඔබට තියෙනවා.අන්‍යයන්ට යටත් වෙන්න,අන්‍යයන්ගේ නීති රීති රෙගුලාසි වලට හිරවෙලා,කොටුවෙලා කටයුතු කරන්න ඔබ කැමති නෑ.නිදහස අගය කරනවා. සංචාරයට කැමතියි.
  හිතේ තරමක ආඩම්බර ගතියක් තියෙනවා.හැමෝම සමග සුහදව කටයුතු කරන්න ගියොත් තමන්ගේ තත්වයට හානි වෙයි කියලා පොඩි බයක් තියෙනවා. ඒ හින්දා හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම සමග ඇයි හොඳයි කම් පවත්වන්න යන්නෙ නෑ. හැප්පුනත් හැප්පෙන්නේ ගැළපෙන අය එක්ක තමයි. පොඩි අයත් එක්ක හැප්පෙන්න යන්නෙ නෑ.
   ඔබට හොඳ පාලන හැකියාවක් තියෙනවා. නිතර ප්‍රධානත්වය ලබාගැනීමට ආශාවකුත් තියෙනවා. බොහොම එඩිතරයි. නිතරම පිබිදුනු ගතියෙන් ඉන්නවා. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. කිසි විටෙක පසුබට වෙන්නෙ නෑ. යම් තරමකට හෝ ප්‍රසිද්ධියක් ඇතිවෙනවා.
  මතක තබාගන්න...පීනස වැළඳෙන්න පුළුවන්. සවස් වරුවේ දිය නෑම,නිදි වැරීම ආදී කටයුතුවලින් ඈත්වීම ගුණදායකයි. හිස කෙස් ඉක්මනට පැසෙන්න පුළුවන්. කොහොම වුණත් කඩිසරකම,උද්යෝගය ජීවිතයේ අවසාන මොහොත දක්වාම පවතිනවා. රවි පළමු භාවයේ පිහිටීම විදේශ යෝගයක් ලෙසද දක්වන්න පුළුවන්.

 
  "රවි" 02 වෙනි කොටුවේ නම්.
     ඔබේ කේන්දරයේ රවි ඉන්නේ දෙවෙනි කොටුවේ නම් ඔබට හොඳ කථන ශක්තියක් හිමියි. නිතර කතා කරන්න කැමතියි. ඉපැයීමට වගේම වියදම් කරන්නත් දක්ෂයි. මුදල් රැස් කරගන්න අමාරුයි. උපයන දේ නිරායාශයෙන්ම වගේ වියදම් වෙනවා. වියදම් හොඳින් කළමනාකරණය කරගත යුතුයි.
  රවි දෙවෙනි භාවයේ පිහිටීම ඇස් පෙනීම සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. ඇස් පෙනීමේ දුර්වලතා මතුවෙන්න පුළුවන්. රවි දෙවෙනි භාවයේ සිටින බොහෝ දෙනෙකුට අධ්‍යාපනය ලබන අවදියේදීම කණ්නාඩි පළඳින්න සිදුවෙනවා. ඇස් තරමක් විශාලව පිහිටලා තියෙන්නත් පුළුවන්.
   රවි දෙවෙනි භාවයේ පිහිටීම පියාගෙන් උරුම හිමිකම් ලැබීමට හේතුවෙනවා. කොහොම වුණත් මේ පිහිටීම පියාට එතරම් සුබදායක නෑ.පියාට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.
   විවාහය දුරින් හෝ ඥාති සම්බන්ධයක් ඇති අයෙක් සමග සිද්ද වෙන්න පුළුවන්. තම වැඩ කටයුතුවලට අන්‍යයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා අඩුයි. වැඩ කටයුතු බොහොමයක් ස්ව උත්සාහයෙන්ම කරගන්න සිදුවෙනවා.කොහොම වුණත් ස්ව උත්සාහයෙන් දියුණු තත්වයකට පත්වෙන්න ලැබෙනවා.
  යුග ජීවිතයේ සමගිය සමාදානය අඩුවෙන්න ඉඩ තියෙන හින්දා ඉවසිලිමත්ව කටයුතු කිරීම නුවණට හුරුයි. විශේෂයෙන්ම වචන භාවිතයේදී සැළකිලිමත් විය යුතුයි.බහින්බස් වීම් වැඩිවෙන්න පුළුවන්.
   කටක හා මීන ලග්න හිමියන්ගේ දෙවෙනි භාවයේ රවි පිහිටීම ඉතාමත් සුබදායකයි. යහපත් ආර්ථිකයක් ඇතුව සමාජයේ කැපී පෙනෙන ජිවිතයක් ගතකරන්න ලැබෙනවා.
  දෙවෙනි භාවයේ රවි සිටින්නේ සිකුරු සමග නම් කලා කටයුතු.ගැන ඇල්ම උනන්දුව ඇතිවෙනවා වගේම කලා කුසලතාවන් ද හිමිවෙනවා.

    "රවි" 03 වෙනි භාවයේ නම්.
  රවි තුන් වෙනි භාවයට ඉතාමත් සුබදායකයි. උද්යෝගය,නොපසුබට උත්සාහය මනා ධෛර්යය ඇතිවෙනවා. මෙය විදේශ යෝගයක් ද වෙනවා.විදේශ ගමන්වල යෙදීමේ භාග්‍යය උදාවෙනවා.සංචාරයට ප්‍රියතාවයක් ඇතිවෙනවා.ස්ථිර අදහස් අනුව යමක් අඛණ්ඩව කරගෙන යාමේ හැකියාව ලැබෙනවා.
   පොත් පත්, සාහිත්‍ය කටයුතු පිලිබඳ ඇල්මද බොහෝ විට ඇතිවෙනවා.එවැනි කටයුතුවලින් සාර්ථකත්වයක් උදාකරගැනීමේ හැකියාව තිබෙනවා. රවි තුන් වෙනි භාවයේ සිටින්නේ සිකුරු සමග නම් කලා කටයුතු කෙරෙහි ප්‍රිය වෙනවා.
    සිත තුළ තරමක ආඩම්බර ගතියක් පවතිනවා. රට ජාතිය ගැන ලොකු හැඟීමක් ඇතිවෙනවා.මනා සංවිධාන ශක්තියක් හිමයි. ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්වයකට පත්වීමට වාසනාව පවතිනවා.
  සිංහ ලග්න හිමියන්ගේ තුන් වෙනි භාවයේ රවි පිහිටීමෙන් එතරම් සුබ පල අපේක්ෂා කරන්න අපහසුයි. මිථුන හා කුම්භ ලග්න හිමියන්ගේ තුන් වෙනි භාවයේ රවි පිහිටීමෙන් ඉහත සඳහන් කළාටත් වඩා සුබ පල ලැබෙනවා.

    "රවි" 04 වෙනි භාවයේ නම්.
           ඔබේ කේන්දරයේ රවි සිටින්නේ සිව් වෙනි භාවයේ නම් ඔබට ශක්තිමත්,ලේසියෙන් කම්පා නොවන සිතක් තියෙනවා.අනුකම්පා ගුණය තරමක් අඩුයි. ලේසියෙන් උණුවෙන්නෙ නෑ. පපුව ආශ්‍රිතව නිතර දැවිලි ගති මතුවෙන්න පුළුවන්. පපුව ප්‍රදේශයේ උෂ්ණ ගතිය වැඩියි.පිත දූෂ්‍ය වීම හේතුවෙන් අසනීප වලට ඉඩ තියෙනවා.ඥාතීන් සමග නිතර විරසකතා ඇතිවෙන්න පුළුවන්.දෙමාපියන් සමග වූවත් අසමගිකම් ඇතිවීමේ ඉඩ කඩ තියෙනවා.ගේදොර,දේපළ සම්බන්ධයෙන් ගැටළු ආරවුල් මතුවෙන්නත් පුළුවන්.දේපළ සම්බන්ධයෙන් නීති ප්‍රශ්න මතුවෙන්නත් ඉඩ තියෙනවා.
     රවි සිව් වැන්නේ සිටින්නෝ පවට බය නැතැයි ඇතැම් පොත් පත්වල සඳහන් වෙනවා. නමුත් වෘෂභ,මිථුන,කටක,මීන ලග්න හිමියන්ගේ සිව් වැන්නේ සිටින රවි ඒ ආකාරයේ  බලපෑමක් එල්ල කරන්නේ නෑ. කෙසේ වෙතත් ශනි,රාහු,කුජ ආදී ග්‍රහයන් සමග සංයෝග වී සිටින රවි අසුබ බලපෑම් එල්ල කරනවා. සිව් වෙනි භාවයෙන් හදවත ගැන කියවෙන බැවින්, ඉතාමත් උෂ්ණාධික රවි සිව් වෙනි භාවයේ තැන්පත්වීම හේතුවෙන් හිත උණුවෙන ගතිය අඩුවෙනවා.හිතේ තද ගතියක් ඇතිවෙනවා.මේෂ,සිංහ,තුලා,මකර ලග්න හිමියන් තුළ මේ තත්වය පැහැදිලිව පවතිනවා.එසේ වූවත් මේ අය කෙසේ හෝ ඉතා දියුණු තත්වයකට පත්වෙනවා.

   "රවි" 05 වෙනි කොටුවේ නම්.
       ඔබේ කේන්දරයේ රවි සිටින්නේ පස් වෙනි භාවයේ නම් ඔබ ට යහපත් අධ්‍යාපනයක් උරුමයි. රවි පස් වෙනි භාවයේ පිහිටීම අධ්‍යාපනයට දැඩි ආශාවක් ඇතිකරවන පිහිටීමක්. හොහෝ දේ ඉගෙනීමට ආශාවක් ඇතිවෙනවා. රවි සිටින්නේ බුධ සමග නම් උසස් අධ්‍යාපනය ලැබීමට හැකිවෙනවා. රවි සිටින්නේ සිකුරු සමග නම් යම් කලා අංශයක් තුළින් සාර්ථක ගමනක් යාමට හැකිවෙනවා.
   පස් වෙනි භාවය දරු පල ගැන කියැවෙන ස්ථානය යි. රවි කියන්නේ තදබල උෂ්ණ ග්‍රහයෙක්. මේ හින්දා කාන්තා කේන්දරවල රවි පස් වෙනි භාවයේ සිටීමෙන් ගර්භාශයේ උෂ්ණත්වය වැඩිවෙනවා. රවි පස් වෙනි භාවයේ පිහිටීමෙන් දරුපල සම්බන්ධයෙන් ගැටළු මතුවෙන අවස්ථා තියෙනවා.
    මොන තරම් පහත තත්වයක සිටියත් ඉතා ඉහළ තත්වයක් කරා ගමන් කිරීමේ මාර්ගය පස් වැන්නේ සිටින රවි විසින් සකස් කර දෙනවා. තමන් දියුණුව වෙනුවෙන් කරගෙන යන වැඩකටයුතු නොවෙනස්ව,අඛණ්ඩව කරගෙන යාමේ ශක්තිය ලබාදෙනවා. මෙළොව වශයෙන් ඉහළ දියුණුවක් ලබාගැනීමට රවි පස් වෙනි භාවයේ පිහිටීම සුබදායකයි.

"රවි" 06 වෙනි කොටුවේ නම්.
 ඔබේ කේන්දරයේ රවි සිටින්නේ හය වෙනි භාවයේ නම් ඔබ වාසනාවන්තයි. රවි හය වෙනි භාවයට සුබදායකයි. යහපත් ශරීර ශක්තිය වගේම නිරෝගීබවත් උරුම වෙනවා. සතරු බලපෑම් දුරුවෙනවා. ක්‍රියාශීලීව කටයුතු කරන්න හැකිවෙනවා.එඩිතරව,නොපැකිළිව ඉදිරියට යාමේ ශක්තිය හිමියි.අන්‍යයන්ව පාලනය කිරීමේ හැකියාව උරුමයි.අවහිර බාධක මැඩගෙන දියුණුව කරා ගමන් කරන්නට හැකිවෙනවා. 
  රවි හය වැන්නේ පිහිටීම කාමාශාව බලවත් තත්වයට පත්කරවන පිහිටීමක් බව පැරණි ජ්‍යොතිෂ පොත පතේ සඳහන් වෙනවා. එය සත්‍යතාවයක් බව මාගේ අත්දැකීම් අනුවද ඔප්පු වී තිබෙනවා.
    තම බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකරගෙන සැපවත් ජීවිතයක් උරුම කරගැනීමට හැකිවෙනවා.ඥාතීන් අතර ප්‍රධාන තත්වයකට පත්වෙනවා.තමන් පිට පැටවෙන වගකීම් නිසිලෙස ඉටු කිරීමේ හැකියාව කැපී පෙනෙනවා.

"රවි" 07 වෙනි කොටුවේ නම්.
   රවි ග්‍රහයා හත් වෙනි භාවයට එතරම් සුබදායක නෑ. ඔබේ කේන්දරයේ රවි සිටින්නේ හත් වෙනි භාවයේ නම් ඔබ විවාහය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. විවාහය ප්‍රමාදවීමේ අවදානමක් පවතිනවා.එමෙන්ම විවාහය සම්බන්ධයෙන් නොයෙක් ගැටළු පැටලිලි මතුවීමටද ඉඩ තියෙනවා. විවාහයේදී ගැළපීම සම්බන්ධයෙන් සැළකිලිමත්වීම ඉතා වැදගත් වෙනවා. විවාහයට ලැබෙන සහකරු හෝ සහකාරිය නම්‍යශීලී ගතියෙන් තොර තරමක දරඳඩු ගති පැවතුම් වලින් යුතු අයෙක් වෙන්න පුළුවන්.ඔබ තුලා,කටක හෝ කුම්භ ලග්නයෙන් උපත ලැබූවෙක් නම් වඩාත් සැළකිලිමත් විය යුතුයි.දෙදෙනා අතර සමගිය,සමීපතාවය බොහෝ දුරට අඩුවෙන්න පුළුවන්.
     ඔබ හවුල් කටයුතුවලින් ඈත් වී සිටීම වඩාත් ගුණදායක වෙනවා.හවුල් කටයුතු හේතුවෙන් නොයෙක් ගැටළු කරදර මතුවෙන්න පුළුවන්.ඔබට සමීප වන පුද්ගලයින් ගැන සැලකිළිමත් විය යුතුයි.
  අර්ශස් වැනි උෂ්ණ, දැවිලි අසනීප නිතර මතුවීමේ අවදානමක්ද පවතිනවා.මුත්‍රා අබාධ හා ලිංගික රෝගවලටද ඉඩකඩ පවතිනවා.

  "රවි" 08 වෙනි කොටුවේ නම්.
        රවි කියන්නේ අට වැන්නට එච්චර සුබ ග්‍රහයෙක් නෙමෙයි.උෂ්ණ අසනීප,අර්ශස් වැනි දැවිලි රෝග පහසුවෙන් වැළඳෙන්න පුළුවන්.ඇස් පෙනීමේ දුර්වලතා මතුවෙන්නත් ඉඩ තියෙනවා. ජිවිතයේ මධ්‍යම කාලයේදී නොයෙක් ගැටළු කරදර, අවහිර බාධක මතුවෙනවා.දියුණුව උදාකර ගැනීමට අපමණ වෙහෙසක් දරන්නට සිදුවෙනවා.
  " අට නරක නම් වැටේ" යනුවෙන් කියමනක් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.අට වෙනි භාවය මොන තරම් වැදගත් ස්ථානයක් දැයි එයින්ම පැහැදිලිවෙනවා.රවි අටේ සිටීමෙන් හිතට සතුට සැනසුම අඩුවෙනවා.මානසික නිස්කලංකතාවය බිඳ වැටෙනවා.යුග ජීවිතය ගත කරන්නට සිදුවන්නේත් නොයෙක් කරදර මධ්‍යයේයි.රවි අටේ සිටීමෙන් සිතේ බොරු ආඩම්බර ගතියකුත් ඇතිවෙනවා.
   රවි සිකුරු සමග අට වෙනි භාවයේ සිටීමෙන් අයහපත් බලපෑම් බොහෝ දුරට අඩුවෙනවා.

"රවි" 09 වෙනි කොටුවේ නම්.
    රවි නම වෙනි භාවයේ සිටීම සුබදායකයි. මෙය විදේශ යෝගයක් ලෙසටද දක්වන්න පුළුවන්.එක වතාවක් හෝ විදේශ ගමනක යෙදෙන්නට හැකිවෙනවා.
  යහපත් අධ්‍යාපනයක් උරුම වෙනවා. තියුණු ඥානයක්ද හිමිවෙනවා.අන්‍යයන්ගෙන් ගරු සැළකිලි ලබන්නට හැකිවෙනවා.ක්‍රමානුකූලව කටයුතු කර උසස්,දියුණු තත්වයකට පත්වන්නට හැකිවෙනවා.ගේදොර දේපළ උපයාගන්නට පුළුවන් වෙනවා.කෙසේ නමුත් පිය උරුමයන් සම්බන්ධයෙන් ගැටළු මතුවීමේ අවදානමක් පවතිනවා.පියාට දැඩි ලෙන්ගතුකමක් ඇතිකරවන ග්‍රහ පිහිටීමක් වූවද පිය උරුමයන් නොලැබී යන්නට ඉඩ තියෙනවා.විවාහයද පියාගේ අකමැත්ත පිට සිදුවෙන විවාහයක් විය හැකියි.
   පවුලේ ප්‍රධාන,කැපීපෙනෙන තත්වයකට පත්වෙනවා.ගුණවත් අයෙක් ලෙස අන්‍යයන්ගේ සැළකිල්ලට භාජනය වෙනවා.නොමැකෙන නමක් ඇතිකර ගැනීමට හැකිවෙනවා.

"රවි" 10 වෙනි කොටුවේ නම්.
    රවි දහ වැන්නට ඉතාමත් සුබදායකයි.රවි හා වැන්නේ සිටින්නේ ඉර මුදුන් දහවල් කාලයේ උපදින අයගේ කේන්දර තුළයි. පාප ග්‍රහ සංයෝගවලින් තොරව,බලවත්ව රවි දහයේ සිටින්නේ නම් උසස් තනතුරු,පදවි,ගෞරව නාම,ප්‍රසිද්ධිය හිමිවෙනවා.තීක්ෂණ ඥානයක්ද ලැබෙනවා.කටක හා වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරවල රවි දහයේ සිටීම ඉතාමත් බලසම්පන්න යෝගයක් ලෙස සැළකෙනවා.එමගින් ඔවුන් ඉතා ඉහළ තත්වයකට පත්වෙනවා.සෙසු ලග්න හිමියන්ගේ වූවද ශනි,රාහු,කේතු ආදී ග්‍රහයින්ගේ සංයෝගයකින් තොරව තනිව රවි දහයේ සිටීම සුබදායකයි. රවි දහයේ සිටීමෙන් රාජ්‍ය අංශයේ වැදගත් රැකියාවක් හිමිවෙනවා.
   දහ වෙනි භාවය ක්‍රියාත්මක ස්ථානයයි. එතැන රවි සිටීමෙන් ක්‍රියාශීලී ගතිය ඇතිවෙනවා.මනා සංවිධාන ශක්තියක් හිමිවෙනවා.වගකීම් දැරීමේ හැකියාව ලැබෙනවා.මනා පාලන හැකියාවක් උරුම වෙනවා.
   පිය උරුමයන් හිමි වෙනවා.පිය පාර්ශවයෙන් විශේෂ උපකාර ලැබෙනවා.අතම ගරුත්වය රැකගෙන කටයුතු කිරීමට හැකිවෙනවා.

"රවි" 11 වෙනි කොටුවේ නම්.
   රවි එකොළොස් වැන්නේ සිටීමෙන් සියලු අසුබ දෝෂ භංග වන්නේ යැයි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. රවි එකොළොස් වෙනි භාවයට සුබදායක බව එයින්ම පැහැදිලි වෙනවා. උසස්,බලවත් අයගේ ඇසුරට ලක්වෙනවා මෙන්ම ඔවුන්ගේ උදව් උපකාරද හිමිවෙනවා.ආගිය තැන පිළිගැනීමට ලක්වෙනවා.මෙය ලෞකික දියුණුවට ඉතාමත් යහපත් පිහිටීමක්. 
    උද්යෝගය,උනන්දුව ඇතිවෙනවා.ජීවිතයේ දෙවෙනි කොටස වඩාත් ප්‍රතිපලදායක වෙනවා.පොදු කටයුතු,දේශපාලන කටයුතු ආදියෙන් ඉහළ සාර්ථකත්වයක් අත් කරගැනීමට හැකිවෙනවා.
   රවි බලවත්ව එකොළොස් වෙනි භාවයේ පිහිටීම ධන යෝගයක් ලෙසටද සැළකෙනවා.විශේෂයෙන් කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි එකොළොස් වැන්නේ පිහිටීම ධනය ලබා දෙන පිහිටීමක් වෙනවා. තුලා ලග්න හිමියන්ගේ කේන්දර තුළ ද රවි එකොළොස් වැන්නේ පිහිටීම ධනය සම්බන්ධයෙන් ඉතාමත් සුබදායකයි.

 "රවි" 12 වෙනි කොටුවේ නම්.
  රවි දොළොස් වෙනි භාවයේ පිහිටීම ජීවිතයේ මුල් කොටස සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ.බාධක අවහිර බහුල වෙනවා.උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රතිපල නොලැබී යනවා.වියදම් අධික වෙනවා.නිෂ්පල ගමන් යෙදෙනවා. 
  වයස අවුරුදු 32පටන් තරමක ප්‍රතිපල ලැබෙන්නට පටන් ගන්නවා.ජීවිතයේ මුල් කාලය තුළ ගත් උත්සාහයේ හා මහන්සියේ ප්‍රතිපල නිසි පරිදි ලැබෙන්නේ ජීවිතයේ පසු කාලය තුළ යි.වයස අවුරුදු 50 පටන් දියුණුව සාර්ථකත්වය උදාවෙනවා.අන්‍යයන්ගේ සැළකිල්ලට ලක්වෙනවා.
  රවි දොළොස් වැන්නේ පිහිටීම විදේශ යෝගයක් ලෙස දක්වන්න පුළුවන්.විදේශ ගමන්වල යෙදෙන්නට හැකිවෙනවා. ජීවිතයේ වරක් හෝ නීති ප්‍රශ්නයකට මුහුණදීමටද සිදුවෙනවා.