Tuesday, May 28, 2019

ජනාධිපතිවරණය


සංජීව කුළුපන බණ්ඩාර.
(මව්රට- 2019.05.26)

ලබන නොවැම්බර් 15 වැනිදාත් දෙසැම්බර් 07 වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 20 වැනි දින හෝ ඊට පෙර සිදු කළ යුතු බවත්, නව ජනාධිපතිවරයා 2020 ජනවාරි මස 08 වැනි දින හෝ ඊට පෙර දිව්රුම් දිය යුතු බවත් කියැවෙයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ද මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

රටේ දේශපාලනය සම්බන්ධයෙන් අනාවැකි පැවසීමේදී සෙනසුරු ග්‍රහයාගේ හැසිරීම ඉතාමත් තීරණාත්මක වෙයි. කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු ය. පොදුජන කාරක ග්‍රහයා ද සෙනසුරු ය. සෙනසුරුට අමතරව ගුරු සහ රාහුගේ හැසිරීම ද වැදගත් වෙයි. දීර්ඝකාලීන නොවූ කෙටි කාලීන වෙනස්වීම් සම්බන්ධයෙන් සෙසු ග්‍රහයින් වැදගත් වෙයි.

මේ වන විට සෙනසුරු ගමන් කරන්නේ තේජෝ රාශියක් වූ ධනු රාශියේ ය. සෙනසුරු ධනු රාශියට ගමන් කළේ 2017 වසරේ ජනවාරි මස 26 වැනිදා ය. සෙනසුරු ධනු රාශියෙන් සමුගන්නේ 2020 වසරේ ජනවාරි මස 24 වැනිදා ය. රට පුර භිෂණය පැතිරී තිබුණු ඉතාමත් අඳුරු කාලපරිච්ඡේදයක් වූ 1988 - 1989 කාලය තුළ ද සෙනසුරු ගමන් කළේ ධනු රාශියේ ය. හිටපු අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වන විට ද සෙනසුරු ගමන් කළේ ධනු රාශියේ ය. සෙනසුරු තේජෝ හෙවත් ගිනි රාශියක් වූ ධනු රාශියේ ගමන් කරන කාලසීමාවන් රටට සුබදායක නොවේ.

2020. 01. 24 තෙක් කාලය දේශපාලනය සම්බන්ධයෙන් ද ඉතාමත් අවිනිශ්චිත කාලයකි. මෙම කාලය තුළ කලට වෙලාවට මැතිවරණ,ජනාධිපතිවරණ පැවැත්වේ යැයි පැහැදිලි විශ්වාසයක් ඇතිකරගැනීමට නොහැකිය. සියල්ල වෙනස් විය හැකි කාලයකි. ධනු රාශියේ ගමන් කරන සෙනසුරු තදබල අර්බුද නිර්මාණය කිරීම හා නොසිතූ දේ සිදුකිරීම ඊට හේතුව යි. මෙම කාලය තුළ ජනතාවට වරින්වර පීඩා ඇතිවීම මිස ජනතා සිතුම් පැතුම් ඉටුවීමක් සිදු නොවේ. මෙම කාලය ආරක්ෂාව අතින්ද අවදානම් ය. නොසිතූ ආකාරයේ ගැටුම්, ප්‍රහාර හා ඝාතනවලට ඉඩකඩ පවතින කාලයකි. දේශපාලනය,ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිසේත්ම සුබදායක කාලයක් නොවේ.

ජනපතිවරණය පැවැත්විය යුතු යැයි කියැවෙන නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර කාලසීමාව තුළ ගුරු ධනු රාශයේ ගමන් කිරීම එක් අතකින් යහපත් ය. ස්වකීය ධනු රාශියේ ගත කරන ගුරු, සෙනසුරුගේ අයහපත් හැසිරීම යම් තරමකින් පාලනය කරන බැවිනි.

කෙසේ වෙතත් ගුරු සෙනසුරු සමඟ ධනු රාශියේ එක්ව ගතකරන්නේ ඉතාමත් කෙටි කාලයකි. 2020 ජනවාරි මස 24 වැනි දින සෙනසුරු ධනු රාශියෙන් සමුගෙන මකර රාශියට ගමන් කිරීමට නියමිතය. මකර රාශිය ඉතාමත් ගුප්ත රහස්‍ය රාශියකි. සෙනසුරුට අයත් රාශියක් වූව ද මකර රාශියේදී සෙනසුරු කටයුතු කරන්නේ තේරුම් ගත නොහැකි ආකාරයට ය. සෙනසුරු මකර රාශියේ කල්ගෙවන කාලය සම්බන්ධයෙන් පසුව කතා කළ යුතු ය. වඩාත් වැදගත් වන්නේ 2020. 01. 24 තෙක් දැනට ගතවන කාලය යි.

ජනපතිවරණයේ මූලික කටයුතු ඇරඹෙන බව කියැවෙන අගෝස්තු මාසය ද ග්‍රහචාරය අතින් සුබදායක නැත. දැඩි අර්බුද, මතභේද ඇතිවන කාලයකි. අගෝස්තු මාසය පුරා සෙනසුරු ධනු රාශයේ වක්‍රව ගමන් කිරීම යහපත් ග්‍රහ තත්වයක් නොවේ.

පවතින ග්‍රහ රටාව අනුව පොදුවේ පැවසිය යුතු කාරණය නම් 2020 ජනවාරි මස 24 දින දක්වා කාලය ඉතාමත් අවිනිශ්චිත හා අර්බුදකාරී බව යි. ජනපතිවරණයක් පැවැත්වූව ද, නොපැවැත්වූව ද දේශපානය, ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සුබදායක කාලසීමාවක් නොවේ.

ජ්‍යොතිෂවේදී,ගුප්ත වෛද්‍ය 

  සංජීව කුළුපන බණ්ඩාර 


Wednesday, May 1, 2019

ගුරු වක්‍ර ගමනින් වෘශ්චික රාශියට.

2019.04.21 මව්රට පුවත්පතේ කේන්දරේ අතිරේකය.




     ගුරු හෙවත් බ්‍රහස්පති 2019 මාර්තු මස 29 වැනිදා ස්වකීය ධනු රාශියට ගමන් කළා. අප්‍රේල් මස 12 වැනිදා වක්‍ර වීමට පටන්ගත් ගුරු අප්‍රේල් 23 වැනිදා අලුයම 01.16 ට නැවත වෘශ්චික රාශියට ගමන් කරනවා. අගෝස්තු මස 12 වැනිදා පටන් නිවෘත වී නොවැම්බර් මස 05 වැනිදා තෙක් වෘශ්චික රාශියේ කල් ගෙවනවා. ගුරු වක්‍ර වී වෘශ්චික රාශියට ගමන් කිරීම හේතුවෙන් රටේ දේශපාලනය,ආර්ථිකය හා කාලගුණය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ අර්බුධ ගැටුම් ඇතිවෙනවා. මහජන නියෝජිතයින්ට නොයෙක් චෝදනා එල්ල වෙනවා. ඇතැමුන්ගේ ගෞරවය බරපතල ලෙස බිඳ වැටෙනවා.
පාර්ලිමේන්තුව තුළ අර්බුධ ඇතිවෙනවා.
ජල ගැලීම් හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වෙනවා. ඇතැම් ප්‍රදේශවල නාය යාම් සිදුවෙනවා. ගංවතුර තර්ජනයට ලක් විය හැකි ප්‍රදේශවල දිවි ගෙවන ජනතාව අප්‍රේල් 23 දින පටන් අගෝස්තු 12 වැනිදා තෙක් කාලය තුළ කල්පනාකාරී වීම වැදගත් වෙනවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම හා බදු බර හේතුවෙන් ජනතාව පීඩාවට පත් වෙනවා.
ඇතැම් ආගමික ස්ථානවලට මෙන්ම පූජක උතුමන්ට අප්‍රේල් 23 දින පටන් නොවැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළ අසුබ බලපෑම් එල්ල වෙනවා.
ගුරු වක්‍ර වී වෘශ්චික රාශියට ගමන් කිරීම ඒ ඒ ලග්නවලට බලපාන්නේ කෙසේදැයි විමසා බලමු.

මේෂ ලග්නය.
ගුරු වක්‍ර වී අට වැනි භාවයට ගමන් කිරීම මේෂ ලග්න හිමියන්ගේ ආර්ථිකයට එතරම් හිතකර නෑ. ධන හානි,අධික වියදම්, නිෂ්පල වියදම්වලට ඉඩ තිබෙනවා. මුදල් යෙදවීම්වලදී කල්පනාකාරී විය යුතුයි. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතුයි. ඉටු වේ යැයි විශ්වාසය තබාගෙන සිටි බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙනවා. උද්යෝගය හා උනන්දුව අඩු වෙනවා.

වෘෂභ ලග්නය.
ගුරු වෘශ්චික රාශිගත වීම වෘෂභ ලග්න හිමියන්ගේ විවාහ කටයුතු හා යුග දිවිය සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපානවා. විවාහ කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. යුග ජීවිත ගත කරන වෘෂභ ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. යුග ජීවිතයේ සතුට සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. ආදායම් මාර්ගවලට ද තරමක බාධක එල්ල වෙනවා.

මිථුන ලග්නය.
ගුරු වෘශ්චික රාශියට ගමන් කිරීම මිථුන ලග්න හිමියන්ගේ රැකියා කටයුතු සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපානවා. රැකියා කටයතුවලට බාධක අවහිර එල්ල වෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙනවා. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතුයි. උදරාශ්‍රිත අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙනවා. යුග දිවිය තුළ සමගිය ආරක්ෂා කර ගත යුතුයි.

කටක ලග්නය.
ගුරු වක්‍ර වී පස් වැනි භාවයට ගමන් කිරීම හේතුවෙන් කටක ලග්න හිමියන්ගේ වාසනා බලයට බලපෑම් වෙනවා. ලැබෙන්නම තිබෙන දේවල් පවා කලට වෙලාවට නොලැබී යනවා. බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට තද බල බාධක එල්ල වෙනවා.ඊර්ෂ්‍යාකාර සතුරු බලපෑම් එල්ල විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. අන්‍යයන් විශ්වාස කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.

සිංහ ලග්නය.
සිංහ ලග්න හිමියන්ගේ සිව් වැනි භාවයට ගුරු වක්‍ර වී ගමන් කිරීම ගෘහ ජීවිතයට සුබදායක නෑ. ගෘහ ජීවිතයේ සතුට සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටළු කරදර මතු විය හැකියි. ගේදොර දේපළ සම්බන්ධ ගණුදෙනුවලට මෙම කාලසීමාව සුබදායක නෑ.රැකියා කටයුතුවලට ද තරමක බාධක එල්ල වෙනවා.

කන්‍යා ලග්නය.
කන්‍යා ලග්න හිමියන්ගේ තෙවැනි භාවයට ගුරු වක්‍ර වී පැමිණීම ගමන් බිමන් හා සහෝදර බැඳීම් සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. ගමන් බිමන්වලදී ගැටළු කරදර මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. සහෝදරාදීන් සමග නොහොඳ නෝක්කාඩු ඇතිවීමට ඉඩ තිබෙනවා. විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. පපුව ආශ්‍රිත අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.

තුලා ලග්නය.
තුලා ලග්නය හිමි ඔබගේ ධනස්ථානයට ගුරු ගමන් කිරීම ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායක නෑ. ධන හානි,අධික වියදම්, නිෂ්ඵල වියදම්වලට ඉඩ තිබෙනවා. ආර්ථිකය ඉතාමත් කල්පනාකාරීව මෙහෙයවිය යුතුයි. සතුරු බලපෑම් හේතුවෙන් පාඩු අලාභ සිදුවීමට ඉඩ තිබෙනවා. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් ද සැළකිලිමත් විය යුතුයි. සුළු අසනීපයක් වැළඳුණ ද ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.

වෘශ්චික ලග්නය.
ගුරු වක්‍ර ගමනින් ලග්න භාවයට ගමන් කිරීම වෘශ්චික ලග්න හිමියන්ට සුබදායක නෑ. මානසික සහනය සතුට ප්‍රබෝධය අඩු වෙනවා. කරන කියන කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. අගෝස්තු මස 12 වැනිදා පටන් අසුබ බලපෑම් තරමක් අඩු වෙනවා.

ධනු ලග්නය.
ගුරු දොළොස්වැනි භාවයට ගමන් කිරීම ධනු ලග්න හිමියන්ගේ ආර්ථිකයට සුබදායක නෑ. වියදම් ඉහළ යනවා. නිෂ්ඵල වියදම් හා ධන හානිවලට ද ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. ගමන් බිමන්වලදී අනතුරු සිදුවීමට ඉඩ තිබෙනවා. ගේදොර දේපළ සම්බන්ධ ගණුදෙනු කටයුතුවලට මෙම කාලසීමාව සුබදායක නෑ.

මකර ලග්නය.
මකර ලග්නය හිමි ඔබගේ අයස්ථානය වූ එකොළොස්වැනි භාවයට ගුරු වක්‍ර වී ගමන් කිරීම ආදායම් මාර්ගවලට හිතකර වන්නේ නෑ. රැකියා කටයුතු,ව්‍යාපාර කටයුතු ආදියට බලපෑම් එල්ල වෙනවා.ඉක්මන් තීන්දු තීරණවලින් වැළකී ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. සුළු අනතුරුවලට ඉඩ තිබෙන බැවින් අවදානම් සහිත කටයුතුවලදී සහ ගමන් බිමන්වලදී කල්පනාකාරී විය යුතුයි. මිතුරු සම්බන්ධතා දුරස් වීමට ද ඉඩ තිබෙනවා.

කුම්භ ලග්නය.
ගුරු වක්‍ර වී දසවැනි භාවයට ගමන් කිරීම රැකියා කටයුතු සම්බන්ධයෙන් සුබදායක නෑ. රැකියා කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. ව්‍යාපාර කටයුතුවල නියැලෙන කුම්භ ලග්න හිමියන් වඩාත් සැළකිලිමත් විය යුතුයි. උරුම හිමිකම් සම්බන්ධයෙන් ද ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා. මෙම කාලය තුළ අන්‍යයන් සමග සිදු කරන මුදල් ගණුදෙනුවලදී විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.

මීන ලග්නය.
ලග්නාධිපති ගුරු වක්‍ර වී නවවැනි  භාවයට ගමන් කිරීම හේතුවෙන් මීන ලග්න හිමි ඔබගේ ලෞකික දියුණුවට බාධක අවහිර එල්ල වෙනවා. කරගෙන යන කටයුතුවලට අනපේක්ෂිත බාධක එල්ල වෙනවා. උද්යෝගය උනන්දුව අඩු වෙනවා. කණස්සලු ගති ඇතිවෙනවා. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. අගෝස්තු මස 12 වැනිදා පටන් අසුබ බලපෑම් තරමක් අඩු වෙනවා.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සංජීව කුළුපන බණ්ඩාර