Wednesday, June 29, 2016

දරුවන්ගේ කේන්දරය.

අවුරුදු 18 න් පහළ දරුවන්ට 
කේන්දරය විශාල ලෙස බලපෑම් කරනවාද?
දූගේ පුතාගේ කේන්දරය වැදගත්ද ?

  දරුවන්ටයි වැඩිහිටියන්ටයි කේන්දරය බලපාන්නෙ දෙවිදියකටද...දරුවන්ට කේන්දරය බලපාන්නෙ නැද්ද...ඔය විදියේ ප්‍රශ්නත් සමහරුන්ට තියෙන්න පුළුවන්. 
  අඩුපාඩුවක්, අගහිඟයක් නැති පවුලක උපදින්නත් හොඳ කුසල් ශක්තියක් පින් බලයක් තියෙන්න ඕනෑ. දෙමාපියන්ගේ ජිවිත බබළවන, ආලෝකවත් කරන දරුවො උපදිනවා. දෙමාපියන් අතර තිබෙන අසමගිකම්, ආරවුල් දුරුකළ හැකි තරමේ ග්‍රහ බලයක් ඇතුව උපදින දරුවො ඉන්නවා.වෙන්වුණු දෙමාපියන් එක් කරන තරමේ බලවත් ග්‍රහ බලයක් රැගෙන එන දරුවො ඉන්නවා. ඒ වගේම සමගියෙන් සාමයෙන් කල්ගෙවන දෙමාපියන් වෙන් කරන දරුවොත් ඉන්නවා.පවුලේ ආර්ථිකය, දියුණුව බිමට සමතලා වන ආකාරයේ ග්‍රහ බලපෑම් රැගෙන උපදින දරුවොත් ඉන්නවා. " දෙවැනි දුව ඉපදුණු දවසේ ඉඳලා තමයි අපිට කිරි ඉතිරෙන්න ගත්තේ...ඒ පටන් ගත්තු දියුණුව තමයි අදටත් මේ තියෙන්නේ..." ඔහොම කියන දෙමාපියන් ඉන්නවා. සමහර දරුවො කතා කරන්න කල් යනවා. සමහර දරුවො ඇවිදින්න කල් යනවා.සමහර දරුවන්ගෙ වැඩීම ප්‍රමාද වෙනවා. සමහර දරුවො උපන් ගමන්ම මියයනවා. අම්මලා තාත්තලා අතින් මරණයට පත්වන, හිංසා පිඩාවන්ට ලක්වන දරුවො ඉන්නවා. දෙමාපියන් අතහැර දමන දරුවො කාරුණික අය විසින් හදා වඩා ගන්නා අවස්ථා මොන තරම් තියෙනවද... එහෙම ලොකු මහත් වෙලා උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්වයට පත් වන දරුවො ඉන්නවා.
    මේ  හැම දෙයක්ම සිදුවෙන්නේ පෙර කුසල් අකුසල් ශක්තිය, පින් පව් බලය අනුවයි. කෙනෙක් මෙළොව බිහි වන්නේ තමන් පෙර භවයන් තුළ කරන ලද කුසල් අකුසල්, පින් පව් පල දෙන ආකාරයේ ග්‍රහ තාරකා රටාවක් නිර්මාණය වී පවතින අවස්ථාවකදී යි. දරුවෙක් උපදින මොහොත කිසිවෙකුට තීරණය කරන්න බෑ.මේ අනුව කේන්දරයේ බලපෑම එහෙමත් නැත්නම් ග්‍රහ බලපෑම උපදින මොහොතේ පටන්ම එල්ල වන බව පැහැදිලියි.
   දරුවෙකු ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවාගේ කේන්දරයේ ග්‍රහයින් එල්ල කරන බලපෑම සුළු පටු නෑ. දරුවා පෙර භවයන් තුළ පුරුදු පුහුණු කළ දේවල් පවා කේන්දරය තුළ සටන්ව පවතිනවා.සමහර දරුවන් කිසිදාක නොදුටු දේවල් පවා පුරුදුකාරයෙක් මෙන් දක්ෂ ලෙස කරන අවස්ථා තිබෙනවා.දරුවෙකුගේ දක්ෂතා හැකියාවන් වඩාත් සාර්ථක තත්වයකට පත්වනු ඇත්තේ කුමන ක්ෂේත්‍ර තුළ දැයි දැනගැනීමට ජන්ම පත්‍රය මහෝපකාරී වෙනවා.ඇතැම් දරුවන් තමන්ට නොගැළපෙන, පල නොදෙන විෂය ධාරාවන් තෝරාගෙන අසාර්තක වී කළකිරීමට පත්වෙනවා.ඇතැම් දරුවන් විභාග අසමත් වී සිය දිවි නසාගන්නවා.සමහර දරුවන් මානසික රෝගීන් බවට පත් වෙනවා.ඇතැම් දෙමාපියන් තම දරුවන්ට සුදුසු, ගැළපෙන ක්ෂේත්‍ර පිළිබඳව සොයා නොබලා බලපෑම් කිරීම හේතුවෙන් දරුවන් අසාර්ථකත්වයට පත් වෙනවා.දරුවාගේ අධ්‍යාපනය කුමන ක්ෂේත්‍රයක් ඉලක්ක කරගෙන ලබාදිය යුතු දැයි තීරණය කිරීමේදී කේන්දරය අතිශයින් වැදගත් වෙනවා.
  අද පවතින්නේ දරුවන්ට නොයෙක් අතවර, කරදර එල්ල වන කාලයක් බව පෙනෙන්නට තිබෙනවා.නොසුදුසු, නොගැළපෙන අයගේ ඇසුරට ලක්වන දරුවන් නොයෙක් වැරදි මාර්ග වෙත යොමු වෙනවා. එවැනි අවදානම් සහිත තත්වයන්  කේන්දරය තුළින් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවෙනවා.ඇතැම් දරුවන් බොහෝ දේ සඟවාගෙන කටයුතු කරනවා.එල්ල වන බලපෑම් පවා දෙමාපියන් සමග නොපවසා සඟවා තබා ගන්නා දරුවන් සිටිනවා.එවැනි අවස්ථාවලදී දරුවාගේ කේන්දරය පරික්ෂා කරවා ගැනීමෙන් දරුවා හෙළි නොකරන්නා වූ සියලු දේ හෙළි කරගැනීමට හැකි වෙනවා. 
   ඇතැම් විට දරුවෙකුට වැළඳුනු අසනීපයක් සම්බන්ධයෙන් නිවැරදි විනිශ්චයකට එළඹීමට වෛද්‍යවරුන්ට අපහසු වීමට ඉඩ තිබෙනවා.සෙනසුරු, රාහු, කේතු වැනි ග්‍රහයින් ගේ දශා කාලවලදී මෙන්ම ඒරාෂ්ඨක කාලවලදී ද එවැනි ගුප්ත තත්වයන් මතුවීමට ඉඩ තිබෙනවා.දරුවාගේ කේන්දරය පරීක්ෂා කර ගැනීමෙන් රෝග තත්වයන් ගැන නිවැරදි විස්තර දැනගැනීමට හැකිවෙනවා වගේම අසනීප තත්වයන්ට හේතු වන ග්‍රහ බලපෑම් දුරු කරගැනීමට ද හැකිවෙනවා.
  මේ අනුව බලන විට මෙළොව බිහිවන සෑම දෙනෙකුටම උපන් මොහොතේ පටන්ම ජිවිත කාලය පුරාවටම කේන්දරය වැදගත් වන බව පැහැදිලි වෙනවා.
   

Monday, June 27, 2016

යුරේනස් මාරුව

යුරේනස් මාරුවෙන් මොනවා වෙයිද ?
  යුරේනස් නමැති ග්‍රහ ලෝකය සොයාගත්තා යැයි පැවසෙන්නේ 1781 මාර්තු 13 වෙනිදා විලියම් හර්ෂෙල් නමැති අයෙකු විසිනි. පෙරදිග ජ්‍යොතිෂයේ යුරේනස් සම්බන්ධයෙන් සඳහන් නොවේ. යුරේනස් ග්‍රහයාට දශාවක් හෝ අන්තර් දශාවක් නැත. යුරේනස් ගේ අපලයකට ප්‍රතිකර්මයක් ද සඳහන්ව නැත.
වර්තමාන ඊනියා ඉසිවරු අමුතු සොයාගැනීම් කරමින් ජනතාව ගොනාට අන්දමින් සිටිති. කලකට පෙර ඇතැමුන් ප්ලූටෝ නම් ග්‍රහයෙක්ද කේන්දර තුළට රිංගවමින් ප්ලූටෝ ග්‍රහයා ගෙන් ද අනාවැකි පැවසූ නමුත් හිටි ගමන් ප්ලූටෝ අතුරුදන් විය. එසේ ප්ලූටෝ කේන්දර කොටු තුළ සටහන් කළ පණ්ඩිතයින්ට අවසානයේ කටඋත්තර නැති විය. 
 යුරේනස් මාරුවෙන් ඔබට සිදුවන විපතක් නැත. කේන්දරයේ සිටින ග්‍රහයින් නව දෙනා හැර වෙනත් ග්‍රහයෙක් අපට වැදගත් නොවේ. 

Tuesday, June 14, 2016

නැවත යුද්ධයක් ඇතිවෙයි ද ?




 
  නැවත යුද්ධයක් ඇතිවෙයි ද ?
  මේ සම්බන්ධයෙන් මා 2009. මැයි 19 වෙනිදා රාත්‍රියේ විශේෂ පුද්ගලයෙකුට අනාවැකියක් පැවසුවෙමි. ඒ වනවිට කොටි නායකයාගේ මරණය ද සිදුවී හමාරය. එකී විශේෂ පුද්ගලයා දුරකතනයෙන් අමතා නැවත යුද්ධයක් ඇතිවෙයිදැයි මාගෙන් විමසුවේය. නැවත යුද්ධයක් ඇතිවන බව මම පැවසුවෙමි. දුරතනයෙන් ඇමතූ පුද්ගලයා විශ්මයට පත් වූ නමුත් මාගේ අනාවැකිය සුළු කොට තැකුවේ හෝ වැඩි දුර තර්ක කළේ නැත. නැවත යුද්ධයක් ඇතිවෙනවාද යන ප්‍රශ්නයට මාගේ පිළිතුර වන්නේ නැවත යුද්ධයක් ඇතිවෙනවා යන්නයි.

පසුගිය යුධ සමයේ දී ඇමතිවරුන් දැනුවත් කිරීම.

  2007 වසරේ අග භාගය වන විට සිව් දිගින් බෝම්බ පිපිරීම් ගැන
අසන්නට ලැබුණි. සෙනසුරු රාජ්‍ය කාරක සිංහ රාශියේ ගත කළ කාලයයි. පවතින ග්‍රහ තත්වය අනුව බලවත් පුද්ගලයින් කෙසෙල් කඳන් මෙන් ඇද වැටෙන බවත් පවතින බිහිසුණු තත්වය හමුවේ සියලු දෙනා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත් සඟරාවක ලිපියක් පල කරමින් මා පැවසුවෙමි. එමෙන්ම ලිපියක් යොමු කරමින් ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්ව පෞද්ගලිකව දැනුවත් කළෙමි.වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටි අවදියයි. එතුමන්ව ද ලිපියක් මගින් දැනුවත් කළෙමි. කෙසේ වෙතත් එම බිහිසුණු කාල පරිච්ඡේදය තුළ දේශපාලඥයින් ගණනාවක් දැයට අහිමි විය.

2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් රචනා කළ සෙත් කවිය.
  2005 ජනාධිපතිවරණය පවත්වන ලද්දේ නොවැම්බර් 17 වෙනිදා ය. ඒ වන විට රජයේ ආරක්ෂක හමුදාවන්ට සිදුව තිබුණේ කොටි
සාමාජිකයින්ගේ ක්‍රියාකලාපයන් දැක්කා නොදැක්කා සේ ඉවසාගෙන බලා සිටීමට ය.සතුරු බලමුළු සුනු විසුනු කර ජාතිය සුරක්ෂිත කළ හැකි නායකයෙක් රටට අවශ්‍ය මොහොතක් වූයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය පතා සෙත් කවියක් රචනා කළෙමි. කවිය පල කරනු ලැබුවේ ප්‍රධාන ජාතික පුවත්පතක ය. ඒ ඡන්දය ට පෙර දිනයේය. කවිය ලක්ෂ සංඛ්‍යාත පිරිසක ගේ නෙත ගැටුණාට සැකයක් නැත. කවියෙන් ඉල්ලා සිටි ඉල්ලීම් දෙකම ඉටුවුණි. එම කවිය මෙසේය.
සතර අත තෙද බලය පතුරන සසුන සුරකින දෙනෙත     විලසට 
ගොවිඳ දිව නෙත යොමනු මැන සිරිලකෙහි සටනකි රාජ අසුනට 
සතුරු බලමුළු විසුනු කරමිනි විලස හිරු දැක මියෙන    පිනි කැට 
රුහුණෙ එඩිතර කුමරු ජනපති කරනු මැන දැය සමය    රැකුමට

  රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වෙයිද?
  රනිල් වික්‍රමසිංහ මහතා කිසිදා රටේ ජනපති ධූරයට පත් නොවන බව මා පැවසුවේ 1999 වසරේදී ය.1999 වසරේ අග භාගයේදී ජනාධිපතිවරණයක් පැවති අතර ඊට ආසන්න දිනයකදී එවකට පලවූ "ඉරිදා වාසනා" පුත්පත තුළින් අනාවැකිය පැවසුවෙමි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහ පිහිටීම් අනුව ඔහුට රටේ මුල් පුරවැසියා වීමේ භාග්‍යය උදා නොවන බව මා පැවසුවෙමි. අනාවැකිය අදටත් හෙටටත් වලංගුය. අනාවැකිය පැවසූ දා පටන් සෑම ජනපතිවරණයකටම පසුව බොහෝ දෙනා දුරකතනයෙන් අමතා අනාවැකියේ සත්‍යතාවය අගය කිරීම පුරුද්දක්ව පැවතුණි.   

    

Saturday, June 4, 2016

බිරින්දෑවරුන් ගේ ග්‍රහ යෝග.

සැමියන්ට සුර සැප හිමි කරන ප්‍රබල ග්‍රහ යෝග
බිරින්දෑවරුන් ගේ කේන්දර තුළ පිහිටන්නේ මෙහෙමයි.


   වාසනාවන්ත බිරිඳක් ලබන්නත් හොඳ පින් බලයක් තියෙන්න ඕනෑ. බිරින්දෑවරුන්ගේ වාසනා බලයෙන් සුර සැප විඳින සැමියන් වගේම බිරින්දෑවරු හින්දා නැත්තටම නැතිවෙන ස්වාමිපුරුෂයොත් ඉන්නවා. " කොහොමද....ගෑනි ගෙනාවට පස්සේ මිනිහා දියුණු වෙච්චි අපූරුව...කොහොම හිටිය මිනිහෙක්ද...ගෑනිගේ වාසනාව.." සමහර අම්මන්ඩිලාගේ මුවන් ඔය විදියේ කියමන් ඇහෙන්නේ නිකම් නෙමෙයි. විවාහයෙන් පස්සේ බොහොම පිළිවෙලින් ඉහල දියුණුවකට පත්වුණු ඉලන්දාරියෙක් ඉන්නවානම් අහල පහල අය ඔය විදියට කතා කරන එක අරුමයක් නෙමෙයි. " අනේ අප්පේ....යස අපූරුවට දියුණු වීගෙන ආපු මිනිහා...ගෑනි ගෙනාවත් හරි..මොනවා වුණාද මන්දා..." විවාහයෙන් පස්සේ නැත්තටම නැතිවුණු අය ගැන ඔය විදියේ කතාත් ඇහෙන්න ලැබෙනවා.
    තමන් තෝරා ගන්නා සැමියා හෝ බිරිඳ තමන්ගේ ජීවිතය බබළවන, ආලෝකමත් කරන, ජීවිතය ට වාසනාව කැන්දන කෙනෙක් වෙනවා නම් මොන තරම් වාසනාවක්ද..ඉන්න තත්වයෙන් පහළට වැටෙන්න කවුරුවත් කැමති නෑ. විවාහය කියන්නේ ජිවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. මේ තීරණාත්මක සන්ධිස්ථානය ප්‍රධානම මර්මස්ථානය බවට පත් කරගන්නා අයත් ඉන්නවා. හතරවටින් වාසනාව කැන්දන ශ්‍රියා කාන්තාවක් බඳු වාසනාවන්ත බිරිඳක් ජිවිතයට සමීප කරගන්න හැම පිරිමියෙක්ම උත්සාහ කරන්න ඕනෑ. ජ්‍යොතිෂය උපයෝගී කරගත යුත්තේ ජීවිතය උපරිම ආකාරයෙන් සාර්ථක කරගැනීමටයි. වාසනාවන්ත බිරිඳක් හෝ සැමියෙක් තෝරා ගැනීමට ජ්‍යොතිෂ ශාස්ත්‍රය තරම් සහයෝගය දක්වන වෙනත් ශාස්ත්‍රයක් නෑ.

     
  එහෙමනම්, සැමියාට වාසනාව උදාකරන ග්‍රහ බලපෑම් බිරිදක ගේ ජන්ම පත්‍රය තුළ පිහිටන ආකාරය පැහැදිලි කරගනිමු.
  අපි කවුරුත් දන්නා පරිදි කේන්දරයක විවාහස්ථානය නම් හත් වැනි භාවයයි. මෙම හත් වැනි භාවයෙන් කිව හැකි සියලු කරුණු කාරණා සඳහන් කළහොත් ඔබ මවිතයට පත්වනු නිසැකයි. එම කාරණා ගැන කතා කිරීමට මත්තෙන් විවාහය හා සම්බන්ධ වන මූලික සුබ ග්‍රහ බලපෑම් ස්ත්‍රී කේන්දරය තුළ පිහිටන ආකාරය ගැන දැනගනිමු.
  සිකුරු යනු ඉතාමත් සුබදායක ග්‍රහයෙක් බව කවුරුත් පාහේ දන්නා කාරණයක්.  මේ සිකුරු ග්‍රහයා සුබදායක ලෙසින් හත් වැනි භාවයේ තැන්පත්වීම යුවතියකට ඉතාමත් සුබදායකයි.සුබදායක ලෙසින් තැන්පත්වීම සුබයි යනුවෙන් සඳහන් කළේ අසුබ ආකාරයට තැන්පත් විය හැකි අවස්ථාද තිබෙන බැවිනි. මේෂ, මිථුන, කටක, සිංහ, වෘශ්චික, ධනු යන ලග්න හිමි යුවතියන් ගේ ජන්මපත්‍ර තුළ සිකුරු හත් වැනි භාවයේ තැන්පත් වීම ස්වාමිපුරුෂයාට වාසනාව උදාකරන පිහිටීමක් බව මතක තබාගත යුතුයි. මෙවැනි යුවතියක් හිමි කරගන්නා සැමියෙකුට කිසිදා දුකින් කනස්සල්ලෙන් සිටීමට සිදුවන්නේ නෑ. මෙවැනි යුවතියන්ගේ අඟ පසඟද දුටුවන්ගේ නෙත් සිත් වසඟ කරවන සුළුයි. පියයුරු හා අනෙකුත් අවයවද සැමියාගේ සතුට වඩවන ආකාරයට පිහිටා තිබෙනවාමයි.මෙවැනි කතුන්ගේ හැසිරීමද ස්වාමි පුරුෂයාගේ සිත තුළ සතුට ඇතිකරවනවා. පහත කේන්දරය දෙස බලන්න. මෙම කේන්දරයේ හත් වැනි භාවයේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටිනවා. සඳු පළමු භාවයේ සිට හත් වැන්නේ සිටින සිකුරු දකිනවා. ( කේතු හැර සියලු ග්‍රහයින් තමන් සිටින තැන සිට හත් වැනි භාවය දකින බව සළකන්න). මෙම කේන්දරයේ හිමිකාරිය සමග විවාහ වුණු පුද්ගලයා  විවාහ වන කාලය වන විට සුළු රැකියාවක නියැලෙමින් සාමාන්‍ය තත්වයක පසුවුණා.විවාහයෙන් පසු ප්‍රධාන පෙළේ සමාගමක ඉහළ තනතුරකට පත්වුණා. මේ වන විට ඉහළ දියුණුවකට පත්වී සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා.
  පුර පස චන්ද්‍රයාද සැපත සතුට ප්‍රදානය කිරීමෙහිලා ඉතා සුබදායක ග්‍රහයෙක්.පුර චන්ද්‍රයා සුබයෙක් ලෙසත් අව චන්ද්‍රයා පපයෙක් ලෙසත් සැළකෙනවා. කේන්දරයේ සිටින්නේ පුර චන්ද්‍රයාද අව චන්ද්‍රයාදැයි සොයාගන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට ඔබ මේ මොහොතේ මුහුණ දී සිටිනවා විය හැකියි. අමාවක ගෙවුණු තැන් පටන් පසළොස්වක තෙක් කාලය තුළ උපදින අයගේ කේන්දර තුළ සිටින්නේ පුර චන්ද්‍රයායි. පසළොස්වක පොහොය ගෙවුණු තැන් පටන් අමාවක ලබන මොහොත තෙක් කාලය තුළ උපදින්නාවූ අයගේ කේන්දර තුළ අව චන්ද්‍රයා තැන්පත්ව සිටිනවා. මේෂ, මිථුන, කන්‍යා,තුලා, වෘශ්චික, මකර,මීන යන ලග්න වලින් උපත ලබා සඳු හත් වැන්නේ සිටිනා බිරින්දෑවරු ස්වාමි පුරුෂයාට සතුට සැපත ප්‍රදානය කරනවා.
  මේෂ ලග්නයෙන් උපත ලබා ශනි හෙවත් සෙනසුරු හත්වැන්නේ තැන්පත්ව සිටීමද ස්වාමි පුරුෂයාට වාසනාව උදාකරන පිහිටීමක් බව මතක තබා ගත යුතුයි.
    කාන්තාවක් සතුව ස්ත්‍රී ලාලිත්‍ය, කාන්තා ගති ලක්ෂණ, කාන්තා අඟ පසඟ තියෙන්න ඕනෑ.එහෙමනම් ස්ත්‍රී කේන්දරයක ස්ත්‍රී ග්‍රහයින් බලවත් වෙන්න ඕනෑ. ස්ත්‍රී ග්‍රහයින් බලවත් වන තරමට කාන්තාවක් සැබෑ ලලනා ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවා. එවැනි කාන්තාවකගෙන් සැමියෙක් නිවැරදි මානසික හා කායික සතුටක් ලබනවා. කාන්ත කේන්දරයක පුරුෂ ග්‍රහයින් බලවත් වූ විට එම කාන්තාව පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවා. පුරුෂාකර කාන්තාවකගෙන් නිවැරදි මානසික, කායික සතුටක් සැමියෙකුට ලැබෙන්නේ නෑ. කාන්තා කේන්දරයක සිකුරු සහ සඳු ඉතාමත් යහපත් ලෙස පිහිටිය යුතුයි. මෙම ග්‍රහයින් දෙදෙනා සුබදායක ලෙස පිහිටීමෙන් කාන්තාවක තුළ නියම ලලනා ගති ලක්ෂණ ඇතිවෙනවා වගේම ඇයගේ ලිංගික අවයවද මනාව පිහිටනවා.
   හත් වැන්නේ සිටිය යුතු ග්‍රහයො ගැන කියන කොට හත් වැන්නේ ග්‍රහයො නැති අය ට ප්‍රශ්නයක් මතුවෙනවා. කේන්දරයේ කොටු දොළහක් තිබුණට ග්‍රහයො ඉන්නේ නම දෙනයි. ඒ හින්දා සමහරුන්ගේ කේන්දර වල හත් වැන්නේ ග්‍රහයෙක් නැති වෙන්න පුළුවන්. හතේ ග්‍රහයෙක් නැති වුණත් හත් වැන්නට අධිපති ග්‍රහයෙක් ඉන්නවා. හත අධිපති ග්‍රහයා බලවත් තැනක සුබදායක ආකාරයට ඉන්නවා නම් ඒකත් ස්වාමිපුරුෂයාට වාසනාව උදාකරන පිහිටීමක්. කේන්දරයේ හත අධිපති ග්‍රහයා පහසුවෙන් හොයාගන්න පුළුවන් පහත වගුවෙන්.
පහත කේන්දරයේ හත් වැන්නාධිපති සිකුරු දෙවැන්න වූ වෘෂභ රාශියේ ස්වක්‍ෂේත්‍රව සිටින අයුරු බලන්න. ග්‍රහයෙක් තමන්ට අයත් රාශියක සිටිනවා නම් එම ග්‍රහයා ස්වක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වෙනවා. මෙම කේන්දරයේ හිමිකාරිය තම සහකාරිය බවට පත් කරගත් ස්වාමිපුරුෂයා ඉහළ දියුණුවක් අත් කර ගත්තා. 
හත් වැනි භාවයට වැටෙන ග්‍රහ දෘෂ්ඨි ද ඉතාමත් වැදගත් වෙනවා. පළමු භාවයේ සිටින ග්‍රහයින්ගෙන් එල්ල වන දෘෂ්ඨි මෙහිදී වඩාත් වැදගත් වෙනවා. කේතු හැර පළමු භාවයේ සිටින ඕනෑම ග්‍රහයෙක් හත් වැන්න දකින බව මතක තබාගන්න. සඳු,සිකුරු,බුධ, ගුරු යන ග්‍රහයින් පළමු භාවයේ බලවත්ව සිටීම ස්වාමි පුරුෂයාට ඉතාමත් සුබදායකයි. වෘෂභ,මිථුන, තුලා, ධනු, මකර, කුම්භ ලග්න වලින් උපන් කාන්තාවන්ගේ කේන්දර තුළ සිකුරු පළමු භාවයේ තැන්පත්වීම ඉතාමත් සුබදායකයි. මිථුන, කන්‍යා ලග්න දෙකෙන් උපන් කාන්තාවන්ගේ කේන්දර තුළ බුධ පළමු භාවයේ තැන්පත්වීම ද ඒ ආකාරයෙන්ම සුබදායක වෙනවා. ධනු, මීන  ලග්න දෙකෙන් උපන් කාන්තාවන් ගේ කේන්දර තුළ ගුරු ලග්න භාවයේ හෙවත් පළමු භාවයේ තැන්පත්වීමද වාසනාවන්ත පිහිටීමක් බව මතක තබා ගත යුතුයි. වෘෂභ හෝ කටක ලග්නයෙන් ඉපැදී සඳු පළමු භාවයේ තැන්පත්ව සිටින කාන්තාවද සවාමියාට සැපදායක ජීවිතයක් උරුමකර දෙනවා.
  චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ග්‍රහයින් යහපත් තැනක සංයෝග වී සිටීමද ස්වාමි පුරුෂයා ට වාසනාව උදාකරන පිහිටීමක් වෙනවා. යහපත් ලෙස සිටින දෙවන්නාධිපති ග්‍රහයා හත්වැන්නාධිපති ගේ හා සිකුරු ග්‍රහයා ගේ දෘෂ්ඨියට ලක්වීමද ස්වාමිපුරුෂයා ට ඉහළ දියුණුවක් සලසා දෙන පිහිටීමක් බව මතක තබා ගත යුතුයි.
  පහසුවෙන් වටහාගත හැකි ග්‍රහ පිහිටීම් ඔය ආකාරයට යෙදෙන නමුත් තවත් ප්‍රබල ග්‍රහ යෝග කොතෙකුත් තිබෙනවා. එමන්ම ස්වාමි භක්තිය නාශක යෝග, අති ධාවන කාම යෝග, විෂ කන්‍යා යෝග, කනවැන්දුම් යෝග, දිළිඳු යෝග ආදී වශයෙන් අසුබ යෝගද බොහොමයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරමු.