Sunday, July 27, 2014

"උපක්‍රමශීලීව පසුබැසීම"

යුද්ධයේදී වගේම ජීවිතයේ සාර්ථකත්වය උදෙසාත්
භාවිතා කළහැකි උපක්‍රමයක්.


                    "අනුන්ට උදව් කරන්න ගිහින් මටත් වෙච්ච දෙයක්......."  හිතවතුන්ට උදව් කරන්න ගිහින් අමාරුවේ  වැටුණු සමහරු ඔහොම කියනවා.ණයක් ගන්න ඇපයට අත්සන් කරන්න කෙනෙක් නෑ කියන කොට මම ඇප   වුණා. අන්තිමේදී උසාවි යන්න වුණේ මටයි. හිතවතුන් වෙනුවෙන් ඇප වෙන සමහරු ඔහොමත් කියනවා. මේ කියන්න හදන්නේ ජීවිතය තියෙන කල් කාටවත් උදව් කරන්න එපා කියලා නම් නෙමෙයි. අවදානම් සහිත දේවල් වලට, අභියෝග වලට මුහුණ දීමට සුදුසු කාල වකවානු වගේම අවදානම් සහිත හා අභියෝගාත්මක දේවල් මගහැරලා සිටිය යුතු කාල වකවානුත්  තියෙනවා. අන්න ඒ ගැන දැනුවත් කරන්න තමයි මේ හදන්නේ.
                       "නරක වෙලාවට මෝල් ගහත් පත්තුවෙන්න පුළුවන් " කියලා කතාවක් තියෙනවා. නොසුදුසු කාල වලදි අවදානම් දේවල් වලට අත  ගහන්න ගිහින් ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙනවා. මහා බලවත්තුත් ඔය විදියට අමාරුවේ වැටෙන අවස්ථා තියෙනවා. හොඳ වෙලාව මොකක්ද නරක වෙලාව මොකක්ද කියලා හොයාගන්න බැරි වුණොත් කපෝතියි. තමන්ගේ නරක කාලය උදාවෙලා තියෙන බව ප්‍රභාකරන් දැනගෙන හිටියේ නෑ. සුපුරුදු දස්කම් විස්කම් දක්වන්න ගිහින් මැරුම් කන්න වුණා.
                       සමහරු වෙලාව නරක බව නොදැන ලක්ෂ ගණන්, කෝටි ගණන් ව්‍යාපාර වලට යටකරලා කබලෙන් ළිපට  වැටෙනවා. සමහරු හොර ඒජන්සි කරුවන්ට ලක්ෂ ගණන් මුදල් දීලා සුසුම් හෙළනවා
                         . උපක්‍රමශීලීව පසු බැසීම කියන්නේ යුද්ධ වලදී අනුගමනය කරන උපක්‍රමයක්. ජීවිතයේදීත් උපක්‍රමශීලිව පසු බැසිය යුතු අවස්ථා තියෙනවා. තමන්ගේ ඉදිරියට ඇවිත් පලු යන්න බැන්නත් කලබල නොවී ඉවසගෙන ඉන්න ඕනෑ අවස්ථා තියෙනවා.නරක වේලාවකදී ඒ වගේ දේකට කළබල වුණොත් ජීවිත කීපයක් නැතිවෙන්න වුණත් ඉඩ තියෙනවා. තමන්ගේ කාලය හොඳද නැද්ද කියලා දැනගෙන කටයුතු කරන අය ඒ වගේ අවස්ථා වලදී ඉවසීමෙන් කටයුතු කරනවා.
              හිට්ලර් රාහු දශාවෙදි ගත්තු වැරදි නොසුදුසු  තීරණ හේතුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා. ගොඩක් දෙනෙක් රාහු දශාවෙදි වැරදි තීරණ අරගෙන අමාරුවේ වැටෙනවා. පසු බැසිය යුතු අවස්ථා වලදීත් සිංහයෝ වගේ ඉස්සරහට ගිහින් පස්ස බිම ඇනගන්නවා.
               වෙලාව හොඳ කාලෙදී සිංහයෝ වගේ ඉන්න අය වෙලාව නරක් වුණාම කව්රුත් ගණන් ගන්නේ නැති තත්වයට පත්වෙනවා. බලය තියෙන කාලෙදි ඉස්සරහින් පස්සෙන් ආරක්ෂකයො තියාගෙන වැජඹෙන අය බලය නැති වුණු දාට ඉන්නවද මළාද කියලා හොයලා බලන්න කෙනෙක් නැති තත්වයට පත්වෙනවා.
             සමහරු හොර මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරළා අමාරුවේ වැටෙනවා. වැඩි පොලියක් බලාගෙන මුදල් තැන්පත් කරන කොට හඳහන මතකත් නෑ, දෙවියො බුදුන් මතකත් නෑ. වැඩේ වැරදුණාම කේන්දරය අරගෙන රට වටේ දුවනවා. පන්සලක් ගානෙ, දේවාලයක් ගානෙ යනවා. කාලෙ හොඳද නරකද කියලා මුලින්ම දැනගෙන වැඩ කළා නම් ඔහොම වෙන්නේ නෑ.
             සමහරු අහක යන කරදර තමන්ගේ ඇඟට දාගන්නවා. අනුන්ගේ දේවල් වලට බලෙන් අත  දාලා  ප්‍රශ්න ඇතිකර ගන්නවා.රාහු , කේතු , සෙනසුරු දශා වලදී තමයි ගොඩක් දෙනෙක් ඔය වගේ වැඩ කරන්නේ. බුද්ධිය පෑදෙන කොට වෙන්න ඕනැ දේවල් වෙලා හමාරයි.      
            බෞද්ධ රටවල් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන අපේ රටේ දවසකට ගබ්සාවන් විශාල ප්‍රමාණයක් සිද්දවෙනවා. ගබ්සා කිරීම් වලට ලක්වෙන ඇතැම් දෙනා නොයෙක් අතුරු විපාක වලට ලක්වෙනවා. සමහරු එතැන් පටන් ස්වභාවික ගබ්සාවීම් වලට ලක්වෙනවා.සමහරුන්ට දරු පල අහිමිවෙලාම යනවා.     සමහරුන්ට ජීවිතයත් අහිමි වෙනවා. සමහර යෞවනියෝ ඔය වගේ කරදර වලට මුහුණ පානවා. තමන්ගෙ දරුවන්ගේ කේන්දර බලවගන්න දෙමාපියන්ට මතක්වෙන්නෙත් දරුවො කරදරයකට පත්වුණාට පසුවයි.
             සමහර යෞවනියො නොසුදුසු නොගැළපෙන සම්බන්ධතා වල පැටලිළා අමාරුවෙ වැටෙනවා. සමහරු අනියම් බැඳීම් හේතුවෙන් ලැබෙන දරුවන්ව ගඟට, මුහුදට විසිකරනවා. ඒවා හෙළිදරව්වෙලා ලැජ්ජාවට පත්වෙනවා.නීතියට කොටුවෙනවා. සිය දිවි නසාගන්නවා. සල්ලාල පෙම්වතුන්ගේ ඉල්ලීම් හමුවේ අවනතව ජිවිතයම විනාශ කරගන්නවා. මේ කාලය අමාරුවේ වැටෙන කාලයක්ද, ඥානය හීන වෙන කාලයක්ද කියල හරියට දැනගෙන උපායශීලීව කටයුතු කලොත් ඔය විදියට අමාරුවේ වැටෙන්නේ නෑ.
             මේ වෙලාවේඅත  ගහන්න සුදුසු නොසුදුසු දේවල් මොනවද? මේ වෙලාවේ ඉහට කඩාපත්වෙන්න පුළුවන් කරදර මොනවද? මේ කාලේදී පරිස්සම් වෙන්න ඕනැ මොනවගේ දේවල් වලින්ද? මේ වෙලාවේ ණයක් ගත්තොත් ගෙවාගන්න පුළුවන් වෙයිද ? ඉස්සරහට යන්න ඕනැ කාලයක්ද? ඇඟ බේරාගෙන පැත්තකට වෙන්න ඕනැ කාලයක්ද? ඔන්න ඔය වගේ දේවල් කේන්දරයෙන් දැනගන්න ඕනෑ. එහෙම දැනගෙන උපායශීලිව පසුබැසියයුතු අවස්ථා වලදී පසු බසින්න ඕනෑ.            
                                                  ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
                                                        ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.

Friday, July 18, 2014

දෛවය වෙනස් කරන්න බැරිද ?

         "වෙන්න තියෙන දේ වෙනවා ඒක කාටවත් නවත්තන්න බෑ ......."  ගොඩක් දෙනෙක් ඔය කතාව ඔය විදියට කියනවා.කරදරයක් උනාම, ගැටළුවකට මැදිඋනාම බොහෝ දෙනෙක් හිත හදාගන්නේ ඔය විදියටයි.
          වෙන්න තියෙන දේවල් ඒ විදියටම වෙනවද?වෙන්න තියෙන දේවල් වළක්වාගන්නෙ කොහොමද?මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙකුට මතුවෙනවා.
           කෙනෙක් මෙලොව බිහිවෙන්නේ අහම්බෙන් නෙමෙයි. තමන් පෙර භවයන්හිදී කරන ලද පින් පව්, කුසල් අකුසල් පලදෙන ආකාරයේ විශ්ව බලයක් ගොඩනැගුණු අවස්ථාවක තමයි ජීවියෙක් බිහිවෙන්නේ. ඒ සුවිශේෂ අවස්ථාව වෙනස් කරන්න කිසිවෙකුට බෑ. එකම අවස්ථාවකදී දෙදෙනෙක් මෙලොව බිහිවෙන්නේ නෑ. එක සමාන අත් දෙකක් , එක සමාන ඇස් දෙකක් ලෝකේ කොහෙවත් නෑ. ඒ වගේම තමයි එක සමාන ජන්ම පත්‍ර දෙකක් ලෝකෙ කොහේවත් නෑ. ඔබට හිමි ග්‍රහ බලය ඔබටම සුවිශේෂයි. ඔබ මෙළොව පැමිණියේ කොහි සිටද? ඔබ මෙළොවින් සමුගෙන යන්නේ කොතැනකටද? ඔබට මෙළොවදී සිදුවන්නේ කුමක්ද? මේ සියළු කාරණා ඔබේ ජන්ම පත්‍රය තුළ සටහන්ව තිබෙනවා.ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති ජ්‍යොතිෂවේදියෙකුට පුළුවන් ජන්ම පත්‍රයක් තුළින් මේ සියළු කරුණු කාරණා සොයා දැනගන්න.
           අපි කොහි සිට මෙළොව පැමිණියත් දැන් පැමිණ අවසන්.අපට වඩාත් වැදගත් වන්නේ මෙළොව ජීවිතය සාර්ථක කරගැනීමයි. අනතුරු, අවදානම්, දුක් කරදර වලින් මිදී සුවදායක ජීවිතයක් ගත කිරීම කාගේත් අපේක්ෂාවයි. ජීවිතය විඳවන්නට කැමති අයෙක් ලොව කොතැනකවත් නෑ. සියළු දෙනාගේ අපේක්ෂාව ජීවිතය විඳීමයි. මේ සඳහා ජන්ම පත්‍රය තුළින් විශාල සහයෝගයක් ලබාගන්න පුළුවන්. ජ්‍යොතිෂය ට අනුකූලව කටයුතු කරනවා කියන්නේ ජන්ම පත්‍රයට අනුව කටයුතු කිරීමයි. ජන්ම පත්‍රය තුළින් පෙනෙන අනතුරු, අවදානම් මගහැරිමයි. "ජ්‍යොතිෂය අඳුරේ යන්නෙකුටආලෝකයක්" යැයි  කියමනක් තිබෙනවා. අඳුරේ යන්නෙකුට කිසිවක් පෙනෙන්නේ නෑ. අනතුරු වල පහසුවෙන් ගැටෙනවා. වලවල් වල පහසුවෙන් වැටෙනවා. ඒත් ආලෝකයක් ඇතුව ගමන් කරන්නෙකුට තම ගමන ආරක්ෂාකාරීව යන්න පුළුවන් වෙනවා.
         "තමන්ට මාරකයක් තියෙනවා. මේක මගහරින්න බෑ....." සමහර ජ්‍යොතිෂවේදීන් ඔය විදියට අදුරදර්ශී අනාවැකි පවසනවා. "තමුන්ගේ විවාහය නම් සාර්ථක වෙන්නේ නෑ තමුන්ට විවාහ සැපත  නෑ. විවාහය මුළුමනින්ම අසාර්ථක වෙනවා........"   මේ දරුවගේ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නෑ. අවරුදු 16 වෙද්දී කා එක්ක හරි යනවා......."   ඔය විදියට අනාවැකි පවසන ජ්‍යොතිෂවේදීන් ඉන්නවා. ඇත්තටම කේන්දරයෙන් පෙනෙන දේ ඒ විදියටම වෙනවද? වෙන්න තියෙන දේ ඒ විදියටම වෙනවනම් කේන්දරය බලාගන්නේ මොකටද?
          ජ්‍යොතිෂය කියන්නේ ධනාත්මක විද්‍යාවක්. මනුෂ්‍ය ජීවිතය උපරිම ආකාරයෙන් සාර්ථක කරගන්න අවශ්‍ය මග පෙන්වීම තමයි ජ්‍යොතිෂයෙන් ලැබෙන්නේ. අනතුරක් වෙන්න තියෙනවද කියල දැනගන්නේ ඒ අනතුරෙන් මිදෙන්න මිසක් හිත හදාගෙන අනතුරට මුහුණ දෙන්න නෙමෙයි. විවාහය සම්බන්ධයෙන් ගැටළු මතුවෙන්න ඉඩ තියෙනවද කියලා දැනගන්නේ විවාහය සාර්ථක කරගන්නයි. අධ්‍යාපනය අඩාල වෙන්න ඉඩ තියෙනවද කියල දැනගන්නේ අධ්‍යාපනය වඩාත් සාර්ථක කරගන්නයි. අයහපත් සිදුවීම් වළක්වා ගන්න නම් ඒ ගැන කලින් දැනගන්න ඕනෑ. තමන්ගේ ජන්ම පත්‍රය නිවැරදිව භාවිතා  කරන කෙනෙකුට පුළුවන් ඉහළම තත්වයකට පත්වෙන්න. අද ඉතාමත් සාර්ථක තත්වයේ, ඉහළම තලයේ ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ජන්ම පත්‍රයට අනුව කටයුතු කරන අය බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.
                               දීඝායු කුමාරයා ගැන නොදන්නා බෞද්ධයෙක් නෑ. ඒත් මේ නම හැදුනු විදිය ගොඩක් දෙනෙක් දන්නේ නෑ. මේ කුමාරයා තමන්ගේ දෙමාපියන් සමග වරක් බුදුන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුන් වහන්සේ මේ කුමාරයාගේ මවට සහ පියාට "දීඝායු වේවා" කියල ආශීර්වාද කළා. ඒත් බුදුන් වහන්සේ කුමාරයාට ඒ විදියට ආශීර්වාද කළේ නෑ. දෙමාපියන්ට මේක ප්‍රශ්නයක් වුණා. බුදුන් වහන්සේගෙන් හේතුව විමසුවා. කුමාරයාට දීර්ගායුෂ නොමැති බවත් තව ටික දිනකින් මරණයට පත්වන බවත් බුදුන්වහන්සේ පැවසුවා. කුමාරයාගේ මවත් පියාත් බොහෝ දුකට පත්වුණා. කුමන හෝ ආකාරයකින් කුමාරයාව මරණින් බේරා දෙන්නැයි දෙමාපියන් බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩමකරළා මහා පිරිතක් කියවා මාරකය දුරුකළා. ඔන්න ඔය විදියට තමයි මේ කුමාරය "දීඝායු කුමාරයා' වුණේ. අදත් අකල් මරණ වලට මුහුණ දෙන අය මොන තරම් ඉන්නවද?
                    දරුණු ඒරාෂ්ටක කාල වලදී භයානක අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. දරුණු අසනීප මතුවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථා වලදී ඒරාෂ්ටක අපල දුරුවෙන්න අවශ්‍ය ප්‍රතිකර්ම නිවැරදිව යෙදීමෙන් අවදානම් තත්වය මගහරවා ගන්න පුළුවන් වෙනවා. සමහර අපල කාල  වලදී හැදෙන ලෙඩ රෝග වෛද්‍යවරුන්ට නිශ්චය කරගන්න අපහසු වෙනවා.ශල්‍ය කර්මයක් කිසිසේත්ම අවශ්‍ය නොවෙන අවස්ථා වලදී ශල්‍ය කර්ම සිදුකරනවා. තිබෙන අසනීපයට අදාල නොවන ප්‍රතිකාර ලබා දෙනවා. අපල ගැන කල් තියා දැනගෙන නිවැරදි ප්‍රතිකර්ම යෙදීමෙන් එවැනි ගැටළු, අවදානම් මගහැරගන්න පුළුවන් වෙනවා. බොහෝ දෙනෙක් විසඳුම් හොයන්නෙ ප්‍රශ්න උග්‍ර වුණාට පසුවයි.  
                         විවාහය සම්බන්ධයෙන් ගැටළු කරදර මතුවෙන්න තිබෙනවානම් විවාහයේදී සැලකිලිමත් වෙන්න පුළුවන්. අවේගශීලී, දරුණු සැමියෙක්, බිරිඳක් ලැබෙන්න තිබෙනවානම් එම තත්වය වෙනස්කරගන්න පුළුවන්.කාරුණික ගතිගුණ තියෙන කෙනෙක්ව ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් ගොඩක් දෙනෙක් හඳහන් බලන්නේ විවාහය බිඳවැටුණට පස්සෙයි. සමහරු පාඩු විඳගෙන ව්‍යාපාර කරනවා. තමන් කරන ව්‍යාපාරය තමන්ට උරුම, ගැළපෙන එකක්ද කියළා හොයල බලන්නේ නෑ. යම් ව්‍යාපාරයක් තුළින් හිණි පෙත්තටම නගින්නනම් ඒ ව්‍යාපාරය තමන්ට උරුම ගැලපෙන ව්‍යාපාරයක් වෙන්න ඕනෑ.  රැකියාව උනත් එහෙමයි. ඉගෙන ගන්නා විෂය දහරාව උනත් ඒ විදියට තෝරාගන්න ඕනෑ.
                       ඔය විදියට බැලුවම පේනවා දෛවය වෙනස්කරන්න පුළුවන් බව. ජිවිතයේ උපරිම දියුණුව සාර්ථකත්වය අත් කරගන්න අපිට පුළුවන්. ඒ සඳහා ජන්ම පත්‍රය භාවිතයට ගතයුතුයි.
                            ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, සාම විනිසුරු( මුළු දිවයිනටම)
                                      දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර

Sunday, July 13, 2014

රාහු කේතු මාරු වෙති. 

ජාතිවාදී ගැටුම් මතුවීමේ අවදානමක්.
දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළි.
උතුරෙත් දකුණෙත් අර්බුධ.
මහා නියඟයක්.

       ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.00 ට රාහු කන්‍යා රාශියටත් කේතු මීන රාශියටත් ගමන් කළා.  මෙලෙස ගමන් කළ  රාහු කේතු 2016. 01. 30 තෙක් කන්‍යා රාශියේ සහ මීන රාශියේ රැඳී සිටිනවා. 
      රාහු සහ කේතු ග්‍රහ ලෝක නොවුණද ජ්‍යොතිෂය තුළ මොවුන් ග්‍රහයින් ලෙස සලකනවා. එමෙන්ම මොවුන්ගෙන් ලෝකයට සහ සත්වයින්ට මහත් බලපෑමක් එල්ලවෙනවා.
      රාහු කේතු කන්‍යා මීන රාශි තුල රැඳී සිටින කාලය තුල ලොව පුරා ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අවදානමක් මතුවෙනවා. ශ්‍රී ලංකාව තුලද ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් මතුවිය හැකියි.
       ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ නොසිතු ආකාරයේ පෙරළි දැක ගැනීමට ලැබෙනවා. වැඩ වර්ජන, උද්ඝෝෂණ  බහුල වෙනවා. රාහු ග්‍රහයා මත්  ද්‍රව්‍ය වලට බලපාන්නාවූ ප්‍රධාන ග්‍රහයායි. රාහු කන්‍යාවට ගොස් බලවත් වීමත් සමග මත් ද්‍රව්‍ය බහුල ලෙස ව්‍යාප්ත වෙනවා.මත් ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන විනාශයන් වැඩිවෙනවා. මත් ද්‍රව්‍ය වෙත නැඹුරු වන පිරිසද වැඩිවෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල බරපතල අර්බුධ ඇතිවෙනවා. විශ්වවිද්‍යාල තුල උද්ඝෝෂණ බහුලවෙනවා.
      ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත කටයුතු වෙත නැඹුරුවන පිරිස වැඩිවෙනවා.බොහෝ දෙනා තුළ අමනුෂ්‍ය බිය ඇතිවෙනවා. දුර දිග නොබලා කටයුතු කිරීම හා දැඩි ආවේගය හේතුවෙන් ගැටුම්, ඝාතන සහ සිය දිවි නසාගැනීම් බහුල වෙනවා. යොවුන් වියේ පසුවන බොහෝ දෙනා නොමනා කටයුතු වලට යොමුවෙනවා.
      ජනතාව අතර ආර්ථික ගැටළු වර්ධනය  වෙනවා.නොමනා ක්‍රියාමාර්ග වලින් මුදල් උපයන පිරිස බහුල වෙනවා. ආර්ථික ගැටළු හේතුවෙන් දිවි නසාගන්නා පිරිසද වැඩිවෙනවා. උපායශීලී දේශපාලඥයින් තම යහපත තකා ජනතාව පීඩනයට පත් කරන අතර බොහෝ දෙනා දිවා රෑ රැවටෙමින් මානසික පීඩනයට ලක්වෙනවා. පාර්ලිමේන්තුව තුළ ගැටුම් ඝට්ටන ඇතිවෙනවා. 
      රට පුරා ස්වාභාවික විපත්ද ඇතිවෙනවා. නොයෙක් ආකාරයේ අසනීප, වසංගත රෝග පැතිරෙනවා.
ඉවසිලිමත්ව, ධාර්මිකව හා ප්‍රතිපත්ති ගරුකව කටයුතු කිරීම තුලින් තම යහපත, ආරක්ෂාව සලසා ගතයුතුවෙනවා. 
     ජ්‍යොතිෂවේදී, සාම විනිසුරු
  දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.     

  



  

Friday, July 11, 2014

ග්‍රහ ලොව සෙන්පති කුජ හෙවත් අඟහරු 
ග්‍රහ ලොව මනාලියගේ නිවසට පිවිසෙයි .
කාම අපරාධ, ගැටුම්, කෝලාහල , අනතුරු, ඝාතන තවත් ඉහළට.


     කුජ ග්‍රහයා කන්‍යා රාශියට ගමන් කළේ පසු ගිය වසරේ නොවැම්බර් 26 වැනිදායි. කුජ කන්‍යා රාශියට ගමන්කිරීමත් සමග රිය අනතුරු, මනුෂ්‍ය ඝාතන, සිය දිවි නසාගැනීම්, ස්ත්‍රී දුෂණ, ගැටුම් කෝලාහල පුදුම සහගත ලෙස වාර්ථා වන්නට වුණා. කන්‍යා රාශියේ පෙරළිකාර ලෙස හැසිරුණු කුජ 2014. 07. 14 වැනිදා තුලා රාශිය වෙත ගමන් කරනවා. තුලා රාශියට ගමන් කරන කුජ එහිදී සෙනසුරු සමග සංයෝග වෙනවා. කුජ 2014. 09. 05 වැනිදා තෙක් සෙනසුරු සමග තුලා රාශියේ රැඳී සිටිනවා.
   
 මෙම කාලය තුළ රිය අනතුරු ප්‍රමාණය තවත් ඉහළ යනවා. මනුෂ්‍යයාගේ ඉවසීමේ ශක්තිය පහළ බසින කාලයක් බැවින් ගැටුම් කෝලාහල බහුල වෙනවා. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර පිලිබඳ පුවත් දසතින් අසන්නට ලැබෙනවා. සිය දිවි නසාගැනීම්ද ඉහළ යනවා. සමාජ රෝග බහුල වෙනවා. නොගැළපෙන, නොසුදුසු ආකාරයේ සම්බන්ධතා හේතුවෙන් බොහෝ දෙනා ගැටළු කරදර වලට මුහුණ පානවා. 

   සෞක්‍ය, විදුලිබල, කෘෂි කාර්මික, මුල්‍ය යනාදී ක්ෂේත්‍ර තුළ නොයෙක් අර්බුධ ඇතිවෙනවා. 

  මෙම කාලය ඉවසීමේ ශක්තිය වර්ධනය කරගතයුතු කාලයක් බව මතක තබා ගත යුතුයි.