Monday, April 20, 2015

(මෙම විග්‍රහය 2009.11.08 ඉරිදා වාසනා පුවත්පතේ පලවිය.)

ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් නෝනා ගේ
කේන්දරය  බලමු.

    ඇමරිකාව කියන මහා බලසම්පන්න රටේ රාජ්‍ය ලේකම් තනතුරට පත්වෙන්න නම් මොන තරම් පින් බලයක් තියෙන්න ඕනැද? රාජ්‍ය ලේකම් වෙන්න විතරක් නෙමෙයි ජනපති බිරිඳක් වෙන්නත් පින් කරපු කෙනෙක් තමයි හිලරි ක්ලින්ටන් කියන්නේ. ක්‍රි.ව.1947 ඔක්තෝබර් 26 වැනි ඉරිදා ප.ව.08.00 ට ඇමරිකාවේ චිකාගෝ නගරයේදී උපන් හිලරි ක්ලින්ටන් ගේ කේන්දරය සටහන් වෙන්නෙ මෙන්න මෙහෙමයි.
   මෙතුමිය ගේ ලග්නය මිථුන ලග්නය යි. මිථුන ලග්න හිමියො වයසට ගියත් තරුණ පාටයි. නියම වයස හොයන්න බෑ. හිලරි නෝනා ගේ වයස දැන් අවුරුදු 62 යි. ඒත් ආකර්ශනීය පෙනුම, උද්යෝගය, පිබිදුනු ගතිය නොනැසී තියෙනවා. ලග්නාධිපති බුධ ඉන්නෙත් ඉතාමත් යහපත් තැනක යි. පස් වැන්න කියන්නේ කේන්දරයක ඉතාමත් ප්‍රබල ස්ථානයක්. බුධ පහේ ඉන්නෙත් තනියම නෙමෙයි ස්වෂේත්‍ර බලයෙන් යුතු සිකුරු සහ නීච රවි සමග යි. සිකුරු ගේ බලයෙන් රවි ගේ නීචය භංග වෙලා ප්‍රබල රාජ යෝගයක් නිර්මාණය වෙලා තියෙනවා.
  දීප්තිමත් ශිෂ්‍යාවක් විදියට ගුරුවරුන්ගේ ආදරය දිනා ගනිමින් සාර්ථක අධ්‍යාපනයක් උරුම කරගන්න බුධ ගේ බලපෑම නොමදව උපකාරී වුණා. වයස අවුරුදු දොළහේ පටන් වයස තිහ වෙනකල්ම ගත කළේ බුධ ගේ මහ දශාව යි. පොත පත, අධ්‍යාපනය ගැන කියැවෙන විද්‍යාස්ථානයේ සිටින බුධ තමන් ගේ දශා කාලය තුළ දිය යුතු සහයෝගය උපරිමයෙන්ම ලබා දුන්නා.තරඟ විභාග වලින් ජය ගත්තේ වාර්ථා පිහිටුවමිනුයි. පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමා කර නීති විද්‍යාලයට ඇතුල් වෙලා නීතිඥවරියක් වෙලත් වාර්ථා පිහිටෙව්වා. ඇමරිකාවේ බලවත්ම නීතිඥයින් කීප දෙනා අතරට දෙවතාවක්ම පත් වුණා. Rose Law Firm නීති සමාගමේ පළමු නීතිඥවරිය වුණෙත් මෙතුමිය යි. මේ සෑම දේකටම හේතුවුණේ ලග්නාධිපති බුධ ගේ බලය යි.
     කෙනෙකුගේ පිටුපසින් සිට ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිරූපය ගොඩනංවමින්, ධෛර්‍යය ශක්තිය ලබා දෙමින් ඉදිරියට ගෙනයාමේ මනා හැකියාවක් මිථුන ලග්න හිමියන් ට තියෙනවා. බුධ ග්‍රහයා ගේ පිහිටීම අනුව එම තත්වය අඩු වැඩි වෙනවා. සාර්ථක මිනිසෙක් පිටුපස සාර්ථක ගැහැණියක් සිටියි යන කියමන සැබෑ කරමින් එදා බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා පිටුපස සිටි යෝධ ශක්තිය හිලරි මැතිනිය මිසක් වෙන කිසිවෙක් නෙමෙයි. වර්ථමාන ජනාධිපති බැරක් ඔබාමා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි යෝධ ශක්තියත් හිලරි මැතිනියම තමයි.
        මෙතුමිය ගේ කේන්දරයේ දෙවැනි භාවයේ සිටින අඟහරු නීචයි. හැබැයි ඒ නීචයත් ක්‍රම කීපයකටම භංග වෙලා තියෙනවා.එක ක්‍රමයක් තමයි රවි ගෙන් කේන්ද්‍රගතවීම. අනිත් ක්‍රමය තමයි බ්‍රහස්පති හය වැන්න වූ වෘශ්චික රාශියේ තැන්පත්වීම. නීච ග්‍රහයා සිටින රාශියට උච්ච වන ග්‍රහයා අදාල නීච ග්‍රහයා ගේ රාශියක තැන්පත් වීමෙන් නීචය භංග වෙනවා. ඒ වගේම නවාංශකයේ කුජ උච්චව සිටින බැවින් ක්‍රම තුනකට කුජ ගේ නීචය භංග වෙලා තියෙනවා. කතාව බලවත් වීමට මෙම ග්‍රහ තත්වය හේතු වෙලා තියෙනවා.
  මේ කේන්දරයේ තිබෙන හොඳම ග්‍රහ සංයෝගය තමයි රවි, බුධ, සිකුරු සංයෝගය. මෙම ග්‍රහයින් ගේ දශා කාල තුළ දි සුවිශේෂ සුබ පල හිමි වෙනවා. මෙම යෝගය නිර්මාණශීලී නව අදහස් උපද්දවීමේ හැකියාව ලැබෙන යෝගයක්.
     බුධ ගේ සහ සිකුරු ගේ දශා කාලසීමාවන් තුළ ලැබිය යුතු සුබ පල උපරිම ලෙස ලැබුණා. 1971 වසරේ දී නීති විද්‍යාලයේ දී බිල් ක්ලින්ටන් මහත්තයා හමුවෙන විට වගේම 1975 වසරේ දී විවාහය සිදුවන විටත් ගතවෙමින් තිබුණේ බුධ මහ දශාව යි.
   2000 වසරේ දී නිව්යෝක් සෙනෙට් සභාවට පත් වන විටත්, 1993 වසරේ දී ඇමරිකාවේ පළමු වැනි කාන්තාව බවට පත් වන විටත් ගත වුණේ සිකුරු මහ දශාව යි. සිකුරු මහ දශා කාලය තුළ ඇය තුන් වරක්ම සෙනෙට් සභාවට පත් වුණා.
   හිලරි ක්ලින්ටන් දැනට ගත කරන රවි මහ දශාව 2010.08.21 වෙනකල් පවතිනවා.දැනට ගත කරන්නේ රවි ගේ කේතු අන්තර් දශාව යි. කේතු අන්තර් දශාව පටන්ගත්තු ගමන් ම ධවලමන්ධිරයේ දී සුළු අනතුරකටත් ලක්වුණා. 
     කොහොම වුණත් දැනට ගත කරන රවි මහ දශාව වගේම ඊළඟට ලබන සඳු මහ දශාවත් මෙතුමියට සුබදායකයි. බලවත් තනතුරු පදවි දරමින් බැබලෙන ජිවිතයක් ගතකරන්න අවශ්‍ය පින් බලය තවත් කාලයක් පුරා මෙතුමියට තියෙනවා.

      ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

      දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර