ඛජුරාහෝ විහාර.

 




තන්ත්‍ර මුනිවරුන්ගේ සූරතාන්ත ප්‍රමෝදය 

ඛජුරාහෝ විහාර. 

(Khajuraho Temples) 

ඛජුරාහෝ විහාරය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථානයක්. දහස් ගණන් පෙම්වතුන් පෙම්වතියන් ශිලාවන් මත සජීවීකරණය කර ඇති මනස්කාන්ත විහාරයක්. වර්ග කිලෝ මීටර් 20 ක් පුරා පැතිරුණු එවන්  විහාර සියයක් පිහිටි භූමියක මේ වන විට ඉතිරිව පවතින්නේ විහාර කීපයක් පමණයි. යුනෙස්කෝ ලෝක උරුම අතරින් එකක් වූ මේ සිද්ධස්ථාන නැරඹීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයින් පැමිණෙනවා.මෙය නැරඹීමට පැමිණෙන කවුරුන් වූවද මෙහි නෙලා තිබෙන මූර්තීන් අසැබි  යමක් ලෙස වටහා ගත්  සැනින් ඔවුන්ට මෙහි සැබෑ කාරණය මුළුමනින්ම මඟහැරී යනවා.  .විහාරයේ පිටත පර්වත බිත්ති මත ආදරයෙන් වෙළී සිටින, නොයෙක් ඉරියව් හරහා සම්භෝග රසය විඳින ගැහැණු පිරිමි දහස් ගණනක්. මොකක්ද මේ ගල් පර්වතවල මතු කර ඇති නිරුවත් මූර්තිවල තේරුම ? එකල ඉන්දියානු මනසට අනුව පිරිමියා ගැහැණිය මත සිටීම නින්දා සහගත හැසිරීමක් ලෙස සැළකුණු බැවින් මිෂනරි ඉරියව්ව හැර සෙසු සියලු කාම ඉරියව් මෙහි මූර්තිමත් කොට තිබෙනවා. මෙතරම් කාම රංගනයන් මූර්තිමත් කිරීමේ පරමාර්ථය මොකක්ද ?

 

දහස් ගණනක් වූ මූර්තීන් මෙලෙස මෙහි නෙලා තිබෙන්නේ කලබලයෙන් පැමිණ හැරී යන්නවුන් සඳහා නොවෙයි. එසේ පැමිණ අසිහියෙන් මෙන් මෙම කාම ඉරියව් නරඹන්නන් දකින්නේ තම අවිඥානයේ ඇති යමක් පමණයි. ඉන් එහාට මෙහි ඇති කිසිදු මූර්තියක් සමඟ දැහැන් ගත වීම අත හැරී යනවා. සිය ගණනක් වූ සිද්ධස්ථාන අතරින් මේ වන විට ඉතිරිව පවතින 20 ක් පමණ වූ සිද්ධස්ථානවලින් එකක් නැරඹීමට අඩුම තරමින් සම්පූර්ණ දවසක් ගත වෙනවා. නිර්මාණයක් නොමැති එක අඟලක අවකාශයක් සොයා ගත නොහැකි තරමට මෙතරම්  කාම රංගන මූර්තිමත් කර තිබෙන්නේ භාවනා කිරීම සඳහා මිස වෙන යමක් සඳහා නොවෙයි. 


වසර දහසකට පමණ එපිට මෙම සිද්ධස්ථාන ඇසුරෙහි දහස් ගණන් තන්ත්‍ර මුනිවරුන් භාවනා කරන්නට ඇති. සුරතාන්තමය රසයට අදාල සෑම ඉරියව්වකම ඇති ඇතුලාන්තය තුළට දැහැන් ගත වෙන්නට ඇති. ඒ හරහා කොතෙකුත් මුනිවරුන් අවකාශයට තුලට, ශූන්‍යතාවය වෙතට, නොකිසිවක් බවට අතුරුදන් වන්නට ඇති.


ඛජුරාහෝ සිද්ධස්ථානවල පිටත බිත්ති පුරාවට විවිධාකාරයේ ලිංගික ඉරියව් මූර්තිමත් කර තිබුණද එම කාම රැඟුම් සහිත පවුර ඉක්මවා ගිය විට ඇතුලාන්තයේ ඇත්තේ ඉමහත් නිවී සංසිදීමක්. කෙමෙන් කෙමෙන් හිඟ කමක් වෙතටද ටිකෙන් ටික සුසංවාදී මාධූර්යයක් වෙතටද ඉන් අනතුරුව වෙනත් ලෝකයක් වෙතටද සෙමින් රැගෙන යනවා. 


ඛජුරාහෝ සිද්ධස්ථාන නැරඹීමට යන ඕනෑම අයෙක් එහි මූර්තිමත් කර ඇති ආදරවන්තයින්ගේ මුහුණු දෙස බැලිය යුතු වූවත් බොහොමයක් දෙනාගේ දෑස් යොමු වන්නේ ඒවායේ ඉනෙන් පහල කොටසට පමණයි. ඊට හේතුව ඔවුන් කේන්ද්‍රගත වී ඇත්තේ ලිංගේන්ද්‍රියන් වෙතට නිසායි. සම්පූර්ණ රූපය දෙස බැලීමට උනන්දු වන්නේ ස්වල්ප දෙනෙක් පමණයි. එම මූර්තිවල මුහුණු නැරඹීම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් තුල ලිංගිකත්වය පිළිබඳ ග්‍රස්තිය වැඩි කම නැතිනම්, එයට පක්ෂ හෝ විපක්ෂ වීම හේතුවෙන් ඔවුන් එම සිරුරුවල පහළ කොටසට සීමා වෙනවා. මෙහි මූර්තිමත් කර ඇති දහස් ගණනක් වූ පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ මුහුණුවලින් අනාවරණය වන සැබෑ පණිවිඩයක් තිබෙනවා.ඒවා ප්‍රමෝදයෙන් පිරි, සන්සුන්, සමාධිමත් ආකාරයට මතු කර තිබෙනවා.ඔවුන් කාලය හා අවකාශය සමඟ සමබන්ධ ව නොමැති බවත් ඔවුන් කාලය අවකාශය ඉක්මවා ගොස් ඇති බවත් එම මුහුණු තුලින් ප්‍රකාශවත් වෙනවා. ඔවුන් ලිංගිකත්වය තුළ සිටියද ලිංගිකත්වය තදින් ග්‍රහණය කරගෙන නොසිටින බවක් මුහුණු තුලින් විදහා දැක්වෙනවා.  ඔවුන් සිටින්නේ ඔවුන්ගේ මධ්‍යය තුල විනා ලිංගිකත්වය දැඩිව ග්‍රහණය කරගෙන හෝ ඊට විරුද්ධව නොවෙයි.


ඉන්දියාවේ පැරණිතම කාම විද්‍යා ග්‍රන්ථයට වසර පන්දහසකට වඩා වයසයි. ව්‍යාත්සායන වසර පන්දහසකට පෙර ලිංගිකත්වය ගැන සූත්‍ර ලියන කාලයේ ලිංගිකත්වය අසැබි දෙයක් යැයි කිසිවෙක් සිතුවේ නෑ. පුරාණ ඉන්දියාව තුල පමණක් නොවෙයි, පෙරදිග ලෝකයේම ඉතිහාසය ඊට සමානයි. පෙරදිගට උරුමව තිබුණු එම තත්වය බටහිර ලෝකය උරුම කරගෙන සිටියදී පෙරදිග ඇතැම් රටවල් තවමත් ලිංගික අධ්‍යාපනය සඳහා කෙටුම්පත් සකස් කරමින් සිටීම කණගාටුවට කාරණයක්.


'තන්ත්‍ර" යනු සමස්ත බවේ මාර්ගයයි.  ලෝකය දැඩිව ග්‍රහණය කිරීමත් ලෝකයෙන් ඉවත්ව යාමත් යන දෙකෙන්ම මිදී සැහැල්ලු ලෙස සිටීමයි. නැතිනම් මධ්‍යය තුල පැවතීමයි. සැබෑ ස්වභාවිකත්වය තුල ගත කිරීමයි. තන්ත්‍ර කිසිවක් බැරෑරුම් ලෙස ගන්නේ නෑ. එය නිර්ලජ්ජී ලෙස ලෞකිකයි. අසීමිත ලෙස ලෝකෝත්තරයි. එය විරුද්ධ ධ්‍රැවයන්හි සංගමයක්. තන්ත්‍ර ගැන සඳහන් වන්නේ ඒ ආකාරයටයි.


නල්ලතන්නියෙන් ,දැරණියගලින්, එරත්නෙන්, පලාබද්දලින් එකම කඳුගැටයක් තරණය කරන බැතිමතුන් අවසානයේ එකම මළුවක එකම පා පියුමක් නමදිනවා.විවිධාකාර ඇරඹුම්,මංමාවත් ඔස්සේ සිරස්ව චලනය වෙමින් එකම විශ්වය තුල දියවී යාම, එකම ශූන්‍යතාවයකට පත් වීම... මොන තරම් අපූර්වත්වයක් ද?

සංජීව කුළුපන බණ්ඩාර