Saturday, September 19, 2020

රාහු කේතු මාරුව 2020

 


වසර 18 කට පස්සෙ රාහු කේතු උච්ච වෙනවා. ඒ කියන්නෙ, රාහු තමන්ගෙ උච්ච රාශිය වූ වෘෂභ රාශියට යනවා. කේතු තමන්ගෙ උච්ච රාශිය වුණු වෘශ්චික රාශියට යනවා. 2020 සැප්තැම්බර් 23 වෙනිදා පෙ.ව 10.43 ට තමයි ඕක වෙන්නෙ. මේ දෙන්නා 2022 අප්‍රේල් 12 වෙනිදා වෙනකල් උච්ච බලයෙන් කල් ගෙවනවා.


රාහු කේතු ග්‍රහ තාරකා නෙමෙයි කියන එක දැන් හැමෝම වගේ දන්නවා. ඡායා ග්‍රහයො විදියට තමයි සැළකෙන්නෙ. මේ දෙන්නා ඡායා ග්‍රහයො වුණාට මොකද බලපෑම නම් සුළු පටු නෑ. රාහුට ප්‍රති විරුද්ධ ගති තමයි කේතුට තියෙන්නෙ. කේතුට වඩා හාත්පසින්ම වෙනස් ගති තමයි රාහුට තියෙන්නෙ. රාහු කියන්නෙ විහිදුවන හෙවත් පතුරුවන ග්‍රහයෙක්. කේතු කියන්නෙ හකුළුවන ග්‍රහයෙක්. මේ දෙන්නා තම තමන්ගෙ බලවත්ම රාශිවලට තමයි දැන් යන්න හදන්නෙ. මේකෙන් ඒ ඒ ලග්න හිමියන්ට මොන වගේ බලපෑමක් එල්ල වෙයිද කියන කාරණය තමයි හැමෝටම වැදගත් වෙන්නෙ.


මේකෙන් වෙන දේ දැනගන්න කලින් මෙන්න මේ කාරණය හොඳින් අවබෝධ කරගන්න එක වැදගත් වෙනවා.  මේ කියන්නෙ  ඒ ඒ ලග්නවලට පොදුවේ බලපාන විස්තරයක් මිසක් තම තමන්ගේ කේන්දර බලලා කියන විස්තරයක් නෙමෙයි. කේන්දරේ ග්‍රහයො සටහන් කරලා තියෙන්නෙ ලග්නෙ කේන්දර කරගෙන වුණාට ලග්නෙට කියන විස්තරයි කේන්දරේට කියන විස්තරයි වෙනස්. ඒ හින්දා මේ කියන විස්තර ටක්කෙටම හරි නොයන්න පුළුවන්. කේන්දරයේ රාහු ඉන්න තැන, කේතු ඉන්න තැන, අනිත් ග්‍රහයින්ගේ පිහිටීම්, ගත කරන දශා අන්තර් දශා අනුව ග්‍රහ මාරුවක ප්‍රතිඵල වෙනස් වෙනවා.


මේෂ ලග්නය 

මේෂ ලග්න හිමියන්ගේ දෙවෙනි භාවයට රාහු, අට වෙනි භාවයට කේතු ගමන් කරනවා. රාහු බලවත් වෙනවා කිව්වට රාහුට ගැළපෙන තැනුත් තියෙනවා නොගැළපෙන තැනුත් තියෙනවා. දෙවෙනි භාවය රාහුට එච්චර ගැළපෙන තැනක් නම් නෙමෙයි. රාහු සුළඟ වගේ කියලනෙ කතාවට කියන්නෙ. ඒ තරම් වේගවත්. ඉතින් ධනයත් ඉක්මනට වියදම් වෙන්න පුළුවන් හින්දා අවශ්‍ය දේ අනවශ්‍ය දේ තෝරා බේරාගෙන අරපරිස්සමට වියදම් කරන එක තමයි හොඳ. කතා කරන කොට අටපට්ටම් කියවෙන්න පුළුවන් හින්දා බොහොම ඉවසීමෙන් සන්සුන්ව කතා බහ කරන එකත් වටිනවා. වචන එහෙ මෙහෙ වෙලා රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුළුවන්.

දුර දිග නොහිතා කරන වැඩ හින්දා සිත් තැවුල් කනස්සලු ඇතිවෙන්න පුළුවන්. ලේ දුෂ්‍ය වීමෙන් සෑදෙන අසනීපවලට ඉඩ තියෙනවා. දැවිලි,අර්ශෂ් වගේ උෂ්ණ අසනීප හැදෙන්නත් පුළුවන්.

ඕවා ඔහොම වුණත්, හිතුවෙ නැති විදියෙ ලැබීම්වලටත් ඉඩ තියෙනවා. කාටවත් නොදැනෙන, නොපෙනෙන විදියේ ලැබීම් හිමි වෙන්න පුළුවන්. කුමන හෝ රහස් ක්‍රමයකට ලැබෙන දේවල් වෙන්නත් පුළුවන්. මියගිය කෙනෙක් ගේ ධනයක්, දේපළක් ලැබෙන්නත් බැරි කමක් නෑ.


වෘෂභ ලග්නය.

රාහු ලග්නයට සහ කේතු හත් වැන්නට ගමන් කරනවා. මේක වටිනා ග්‍රහ මාරුවක් කියලා සැකයක් නැතුව හිතාගන්න. සුළඟ වගේ ඉස්සරහට හමාගෙන යන්න පුළුවන් වෙනවා. අවහිර බිඳගෙන සාර්ථකත්වය අත්පත් කරගන්න හැකි වෙනවා. හොඳට උඩට මතුවෙලා එන කාලයක්. උද්යෝගය උනන්දුව සුපිරි විදියට ඇති වෙනවා. කරන දේ මොනවා වුණත් ජයටම කරගන්න පුළුවන් වෙනවා. මේ අවුරුදු එක හමාරෙ ඕගොල්ලන්ගෙ ක්‍රියාකාරිත්වය සක්කරයටවත් නවත්තන්න බෑ. හැබැයි මතක තියාගන්න, සාර්ථක විය යුතු, වේගවත් විය යුතු, ජනප්‍රිය විය යුතු රංග භූමිය ඔබ තෝරා ගත යුතුයි. නරක පැත්තට ගියොත් නරකට ක්‍රියාකාරී වෙයි, හොඳ පැත්තට ගියොත් හොඳට ක්‍රියාකාරී වෙයි.

මේ කාලෙදි විවාහ යෝජනා ආවත්, සම්බන්ධයක් ඇති වුණත් ඒ අය කියන, හෙළි කරන දේ විතරක් විශ්වාස කරගෙන ඉන්න එපා. පෙන්නන කතන්දරයට වඩා වෙනස්ම කතාවක් හැංගිලා තියෙන්න පුළුවන්.

දැවිලි,අර්ශෂ්,මුත්‍රා අබාධ විතරක් නෙමෙයි වැඩකට නැති ගුබ්බෑයම්වල රිංගුවොත් කියන්න බැරි විදියේ ලෙඩත් හැදෙන්න පුළුවන්. විනය හරියට රැකගත්තොත් ගොඩ.


මිථුන ලග්නය.

අවුරුදු එක හමාරක් තිස්සෙ රාහු හිටියෙ ඔළුවෙ. ගැම්ම ගත්තට, ප්ලෑන් ගැහුවට, සුපිරි අදහස් හිතට ආවට වැඩක් හරියට,තිතට ක්‍රියාත්මක කරගන්න බැරි මොකක්දෝ එකක් තිබුණා. දැන් රාහු යන්න හදන්නෙ දොළහට. කේතු හතේ ඉඳලා යන්න හදන්නෙ හයට. රාහු දොළහට ගැළපෙන ග්‍රහයෙක් නෙමෙයි කිව්වට ගෙවුණු අවුරුදු එක හමාරට වඩා මේ අවුරුදු එක හමාර සුබයි කියන එක විශ්වාස කරන්න. ඔළුවෙ තිබුණු බරක්, මොකක්දෝ හිරයක් අයින් වුණා වගේ හැඟීමක් දැනෙනවා ඒකාන්තයි. ගමන් බිමන් නම් වැඩි වෙයි. විවේකය බොහෝ දුරට අඩු වෙයි. යම් කිසි අරමුණක් බලාපොරොත්තුවක් ඉටු කරගන්න පුළුවන් පසුබිමක් හදාගන්න පුළුවන් වෙනවා. විදේශ ගමන්, විදේශ රැකියා ගැන සිහින මවාගෙන හිටපු අය ඒවට උත්සහකරන්න.

විවාහය සම්බන්ධයෙන් බාධක තිබුණා නම්, අඹු සැමියො අතරෙ නොහොඳ නෝක්කාඩුකම් තිබුණා නම් මේ 23 න් පස්සෙ ඒවත් දුරු වෙලා නැති වෙලා යනවා. වැඩකට හවුල් කරගන්න, සහයෝගයක් ගන්න ගැළපෙන කෙනෙක් හොයාගන්න බැරුව හිටියා නම් හිතට ගැළපෙන අය හම්බවෙයි.

උදරගත අසනීප, උදරයේ ආම්ලිකතාවය වැඩිවීම, කන්වල අබාධ වගේ අසනීප පීඩාවන් යම් තරමකින් මතුවෙන්න පුළුවන්. 

අනිත් අයගේ ණයවලට වාහනවලට ඇප වෙන්න යන්නෙ නැතුව පාඩුවෙ ඉන්න එකත් ඇඟට ගුණදායකයි.


කටක ලග්නය.

රාහු එකොළහට, කේතු පහට යන්න හදන්නෙ. අවුරුදු එක හමාරක් තිස්සෙ රාහු හිටියෙ දොළහෙ. කේතු හිටියෙ හයේ. ඔය කාලෙදි යම් යම් සිත් තැවුල් වරින් වර ඇති වුණා. මානසික සතුට, තෘප්තිය ගැන හරියකට සෑහීමට පත්වෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒ තත්වය දුරු වෙලා, යහපත් කාලයක් උදා වෙන්න තමයි මේ හදන්නෙ. අලාභ හානි, නිස්කාරණේ යෙදුනු වියදම් වගේ දේවල් හින්දා දුකක් කනස්සල්ලක් තිබුණා නම් දැන් බය නැතුව අලුත් පරිච්ඡේදයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. මේක සතුටුදායක කාලයක් කියන එක විශ්වාසයෙන් කියන්න පුළුවන්. ආදායම් මාර්ග කලඑළි වෙලා, හිත නිරවුල් වෙලා සතුටු වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙයි. කොච්චර මහන්සි වුණත් එක තැනමයි කියා කියා හිටපු අයට දැන් ඉතින් මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙයි.

අධ්‍යාපනය ලබන කටක ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු ඉමහත් සාර්ථකත්වයට පත් වෙනවා. තරඟ විභාගවලට මුහුණ දෙන අයට ඒවායින් ජයග්‍රහණය හිමි වෙනවා. 

උදරාශ්‍රිත දැවිලි වේදනා, ආම්ලිකතා ඇතිවෙන්න පුළුවන්. ගර්භනී මව්වරු තම ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් වෙනදාට වඩා සැළකිලිමත් වීම වටිනවා.


සිංහ ලග්නය.

මෙතෙක් එකොළහේ හිටපු රාහු දහයට යනවා. පහේ හිටපු කේතු හතරට යනවා. මොනවායින් මොනවා වෙයිද.. බය වෙන්න කාරණයක් නෑ. වේගවත් වෙන්න ඕනැ තැනට, ක්‍රියාත්මක වෙන්න ඕනැ තැනට, කඩිසර වෙන්න තැනට හරියටම ගැළපෙන කෙනා යන එක හොඳයි. ඒ තමයි දහයට යන රාහු.  කරන දේ කලට වෙලාවට, පමාවකින් තොරව කරන්න ලැබෙනවා කියන්නෙ දියුණුවට සාර්ථකත්වයට හේතුවක්. ඉලක්ක හඹාගෙන ගිහින් ජයග්‍රහණ අත් කරගැනීමට හැකි වෙනවා. රැකියා ක්ෂේත්‍රය තුළ මතුවෙලා පෙනෙන තත්වයකට පත් වෙනවා. උද්යෝගය උනන්දුව හොඳින් ඇති වෙනවා.

කොයි හැටි වෙතත් අන්‍යයන් සමඟ වැඩ කරන කොට ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. මතභේද, ආරවුල් එහෙම ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවීතයෙදි, රැකියාවෙදි වගේම සමාජයෙදිත් ඉවසිලිමත්ව කටයුතු කරන්න ඕනැ. ඇසුරට එක් වන අය ගැනත් සැළකිලිමත් වීම ගුණදායකයි. නොගැළපෙන අය සමීප වෙන්න ඉඩ තියෙනවා. 

පපුව ආශ්‍රිත අසනීපවලට වගේම දණිස් දෙපා ආශ්‍රිත වේදනා පීඩාවන්ටත් ඉඩ තියෙනවා. උෂ්ණ අසනීප පහසුවෙන් මතුවෙන්න පුළුවන්.


කන්‍යා ලග්නය.

දහයෙ හිටපු රාහු නවයට යන කොට හතරෙ හිටපු කේතු තුනට යනවා. පහු ගිය අවුරුදු එක හමාරෙදි  උද්යෝගය උනන්දුව අතින් කන්‍යා ලග්න හිමියො ඉදිරියෙන් හිටියා. හොඳ ක්‍රියාකාරිත්වයක් දකින්න තිබුණා. මේ වෙන්න යන වෙනසත් එක්ක ලොකු පසුබෑමක් ඇතිවෙන්නෙ නෑ. ඒත් කලින් තිබුණු උද්දාමයේ පොඩි අඩුවක් ඇතිවෙනවා. ජයග්‍රාහී මානසිකත්වය පොඩි පසුබෑමකට ලක් වෙනවා. එහෙම වුණාය කියලා ලොකු අපල බලපෑම් එල්ල වෙන්නෙත් නෑ. කලින් තරමටම නැති වුණත් යම් කිසි වේගයකට අනුව තමන්ගෙ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් මහන්සියේ තරමටම ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. තරමක බාධක එල්ල වෙන්න ඉඩ තියෙනවා.

මේ කාලය තුළ ස්ථාන වෙනසකට ඉඩ තියෙනවා. ලැබීම් අතින් හොඳයි. ශරීර සෞක්‍යය පැත්තෙනුත් කියන්න තරම් නරකක් නෑ. ඉරිසියාකාරයින්ගේ බාධක අවහිර එල්ල වෙන්න පුළුවන් හින්දා සමීප වෙන අය ගැන සැළකිලිමත් වෙන එක ගුණදායකයි. මේ කාලයේදී ආගමික භක්තිය ඉහලින්ම ඇතිවෙනවා.


තුලා ලග්නය.

රාහු අටවැන්නටත් කේතු දෙවැන්නටත් යනවා. රාහුට අටවැන්න වගේම කේතුට දෙවැන්නත් එච්චර ගැළපෙන්නෙ නෑ. හිතේ සුවදායක ගතිය, මානසික නිරවුල්තාවය ටිකක් අඩු වෙනවා. මොන දේ කරන්නත් නිරවුල් මානසිකත්වයක් තියෙන්න ඕනැ. ඒ හින්දා යහපත් මානසිකත්වයක් පවත්වාගැනීම වැදගත් වෙනවා. මොනවත් ගැන දිගින් දිගට හිතලා ඔළුවෙ අමාරු හදාගන්න යන්න එපා. ආවේගය පාලනය කරගන්න. අනිත් අය එක්ක කතා කරන කොට ඉවසිමත්ව  කාරුණිකව කතා කරන්න. මොකද, කතාවෙන් අනිත් අයගෙ හිත රිදෙන්න පුළුවන්. අනවශ්‍ය වචන හින්දා වලි ගෝරි ඇති වෙන්නත් බැරි නෑ. විවාහක තුලා ලග්න කාරයො බිරිඳ එක්ක, සැමියා එක්ක කතා බහ කරද්දි බොහොම ඉවසිලිමත් වෙන්න ඕනැ. 

ආර්ථිකය බොහොම කල්පනාවෙන් බුද්ධියෙන් මෙහෙයවන්න ඕනැ. ධන හානිවලට ඉඩ තියෙනවා. ලැබීම සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් ඇතිවෙන පාටක් නෑ. ලැබෙන දේ වියදම් කරන කොට තමයි පරිස්සම් වෙන්න ඕනැ.

නොකළ දේවල්වලට එක එක කතා අහන්න සිද්ද වෙන්නත් පුළුවන්. කොයි දේකදි වුණත් ඉවසීමෙන් කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නෙ. උෂ්ණ ආහාර පානවලින් ටිකක් ඈත් වෙන එකත් හොඳයි. උෂ්ණ අසනීප මතුවෙන්න පුළුවන්. 

වෘශ්චික ලග්නය.

බොහොම වැදගත් ස්ථාන දෙකකට තමයි රාහු කේතු දෙන්නා යන්න හදන්නෙ. රාහු ලග්නයට හෙවත් පළමු භාවයට යනවා. කේතු හත්වැන්නට යනවා. තමන්ගේ අරමුණු බලාපොරොත්තු ඉටු කරගන්න උපායශීලී ඥානය භාවිතා කරන්න හැකියාව ලැබෙන කාලයක්. බොහොමයක් බලාපොරොත්තු අනිත් කාටවත් නොදැනෙන්න නොපෙනෙන්න ඉටු කරගන්න පුළුවන් වෙනවා. ඵලදායක අරමුණු, යහපත් බලාපොරොත්තු තෝරාගන්න එක තමයි හොඳ. නැත්නම් වෙන වෙන රහස් වැඩවලට ගිහින් නරක නාම ගෑවෙන්නත් බැරි කමක් නෑ. මේ කාලයෙදි අනිත් අයට ඕගොල්ලන්ව තේරුම් ගන්න නම් ටිකක් අමාරු වෙයි. හරි වෙනස් වෙලා වගේ අප්පා...කියලත් කියන්න බැරි කමක් නෑ. මොකද, මේ කාලයෙදි හැම දෙයක්ම අනිත් අයට කියන්න යන්නෙ නෑ. ගොඩක් දේවල් හංගගෙන කරන්න තමයි හදන්නෙ. ටිකක් රහස්, ගුප්ත ගතියක් ඇතිවෙනවා.

ආදර සම්බන්ධතා, විවාහ කටයුතු ආදියෙදි ඕනැවට වඩා හදිස්සි වෙන්න, කලබල වෙන්න හොඳ නෑ. එහෙම වුණොත් ඒවා අවුල් වෙන්න වගේම ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්.

උෂ්ණ අසනීප, මුත්‍රා ආබාධ, චර්ම රෝග ආදියට ඉඩ තියෙනවා. සුළු අනතුරුත් වෙන්න පුළුවන්.


ධනු ලග්නය.

රාහු හයවැන්නට යන කොට කේතු යනවා දොළොස්වැන්නට. අවුරුදු එක හමාරක් තිස්සෙ කේතු හිටියෙ ඔළුවෙ. ඒ කියන්නෙ පළමු භාවයෙ. රාහු හිටියෙ හතේ. ධනු ලග්න කාරයො තාමත් සෙනසුරුගෙ ඒරාෂ්ටකයක් ගෙවනවා.ඒරාෂ්ටකය අස්සෙ කේතුත් ඔළුවෙ ඉඳගෙන බලපෑම් කළා. කේතු එකෙන් දොළහට යන එක වගේම රාහු හතෙන් හයට යන එකත් මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්. ඔළුව සෑහෙන්න නිදහස් වෙනවා. විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ රාහු කේතු මාරුව ධනු ලග්නෙට හොඳටම හොඳයි. ගැටගහල ඉඳලා ලිහලා දැම්මා වගේ තියෙයි. නොවැම්බර් 20 න් පස්සෙ තවත් හොඳයි. මුහුණෙ පවා අලුත් කාන්තියක් ඇතිවෙනවා.

අලුත් ප්‍රබෝධයකින් ජීවීතයට මුහුණ දෙන්න ලැබෙනවා. රැකියා කටයුතුවල දියුණුවක් ඇතිවෙනවා. ඇසුරු කරන අය අතරෙ, ගැවසෙන සමාජයේ වගේම ඥාතීන් අතරෙත් වෙනදාට වඩා යම් කිසි සැළකිල්ලක් ලැබෙනවා.

උදරාශ්‍රිත පීඩා, උෂ්ණ අසනීප , පීනස් ගති ආදිය මතු වෙන්න පුළුවන්. 


මකර ලග්නය.
 
මකර ලග්නයෙන් පහට රාහු යනවා. කේතු එකොළොහට යනවා. හයෙයි දොළහෙයි හිටපු රාහු කේතු තමයි මේ පහට එකොළහට මාරු වෙන්නෙ. ඇත්තම කියනවා නම් අවුරුදු එක හමාරක් තිස්සෙ රාහු කේතු හිටපු විදිය මේ වෙනස් වෙන්න යන විදියට වඩා හොඳයි. ඒත් වෙච්චි සුගතියක් නම් නෑ කියලා කියයි. සුගතියක් නැති වුණා නම් ඒ සෙනසුරුගෙ ඒරාෂ්ටකය හින්දා මිසක් රාහු කේතුගේ වැරද්දක් හින්දා නෙමෙයි. ගිය දේ ගියා දැන් මේ මාරුවෙන් මොකද වෙන්නෙ ?  ඵල ප්‍රයෝජන අඩු ගමන් බිමන් බහුලව යෙදෙන්න පුළුවන්. විවේකය අඩු වෙනවා. වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා. වෙහෙස මහන්සියේ තරමට බලාපොරොත්තු වන තරමේ ඵල ප්‍රයෝජන නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට හිතල බලලා ප්‍රයෝජනවත් ඵලදායක දේවල් තෝරා බේරගන්න ඕනැ. දුවන්නම් වාලේ දුවන්නෙ නැතුව සිහිබුද්ධියෙන් දිව්වොත් කාලය.ශ්‍රමය,ධනය අපතේ නොයවා මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි. ලැබෙන දේ පරිස්සම් කරගෙන කල්පනාවෙන් වැඩ කරන්න ඕනැ කාලයක්. උත්සාහය උනන්දුව අතින් නම් කොහොමත් මේ කාලය හොඳයි. උත්සාහය උනන්දුව හරි දෙවල්වලටම යොදවන එක තමයි කරන්න තියෙන්නෙ. සෙනසුරුගෙ ඒරාෂ්ටකයකුත් ගත වෙන හින්දා අනවශ්‍ය වැඩ, අනවශ්‍ය සම්බන්ධකම්වලින් ඈත් වෙලා යහපත්, සාර්ථක අය එක්ක ගමන ගියොත් අවැඩක් හානියක් වෙන්නෙ නෑ.

උෂ්ණාධික අසනීප, විෂබීජ හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග, සත්ව දෂ්ඨ ආදියට ඉඩ තියෙනවා. මදුරු දෂ්ඨවලින් විශේෂයෙන් ආරක්ෂා විය යුතුයි.


කුම්භ ලග්නය.

රාහු හතරට යනවා කේතු දහයට යනවා. බොහොම වැදගත් ස්ථාන දෙකකට තමයි රාහු කේතු දෙන්නා යන්නෙ. මේ වෙන්න යන්නේ ගෘහ ජීවීතයයි රැකියාවයි දෙකම අවුල් වෙන වැඩක්ය කියලා හිත ලෙඩ කරගන්න ඕනැ නෑ. ගෘහ ජීවිතයෙදි වගේම රැකියා කටයුතුවලදිත් ඉවසීමෙන් සිහියෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නෙ. කලබලේට තීන්දු තීරණ ගන්නෙ නැතුව, ආවේගයෙන් කටයුතු නොකර ටිකක් නිවිලා ඉන්න ඕනැ කාලයක්. රැකියා ස්‌ථානයේදි, ගෘහ ජීවිතයෙදි වගේම ඥාතීන්, අසල්වාසීන් එක්ක කටයුතු කරන කොටත් ඉක්මන්කාරී නොවී සුහදව කටුතු කරන්න ඕනැ. ඉරිසියාකාර සතුරු බලපෑම් එල්ල වෙන්න බැරිකමක් නෑ. සතුරු බලපෑම් එල්ල වෙන්නෙ එළිපිට නෙමෙයි රහසේ. ඒ හින්දා ඒවාට මුහුණ දෙන්න ඕනැ උපායශීලීව සිහිබුද්ධියෙන්. කුලප්පු වෙන්න ගියොත් ප්‍රශ්න වැඩි වෙනවා. කලබලේට හිතුමතේට ගේදොර ඉඩම් විකුණන්නවත් ගන්නවත් යන්න එපා. ඒවට සම්බන්ධ අය මොනවගේද, මැදිහත් වෙන අය කවුද කියලා හොඳට හොයලා බලලා තමයි කරන්න ඕනැ. ලැබීම් අතින් නම් ප්‍රශ්නයක් ඇතිවෙන පාටක් නෑ. ලැබෙන දේ කල්පනාවෙන් වියදම් කරන්න.

පපුවේ අසනීප, දණිස් දෙපා සම්බන්ධ වේදනා පීඩා මතුවෙන්න පුළුවන්. හදවත් රෝග ඇති අය විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.


මීන ලග්නය.

රාහු තුන් වැන්නට යන කොට කේතු යනවා නවයට. මේ තැන් දෙකට රාහු කේතු ගියා කියලා ලොකු ප්‍රශ්නයක් පටලැවිල්ලක් ඇතිවෙන්නෙ නෑ. රාහුට තුන්වැන්න ගැළපෙනවා කේතුට නවවැන්න ගැළපෙනවා. එහෙමනම් ඉතින් රාහු කේතු මාරුව මීන ලග්නයට නරක් වෙන්නෙ කොහොමද. හොඳ ගැම්මක් ගන්න පුළුවන් කාලයක් තමයි මේ උදාවෙන්නේ. කරන වැඩ කටයුතුවල පැහැදිලි සාර්ථකත්වයක් ඇතිවෙනවා. කරන කටයතු උද්යෝගයෙන් උනන්දුවෙන් කරන්න හිත දෙනවා. කම්මැලිකම් උදාසීන ගති නැති වෙලා යනවා. අරමුණු කරගන්නා දේවල් කොහොම හරි ඉෂ්ට කරගන්න ඕනැ කියන අදහස ඇතිවෙනවා.  ගණන්ගන්නෙ නැතුව වැඩි තැකීමක් කරන්නෙ නැතුව හිටපු අයත් දැන් ඉතින් ළං වෙයි.

අධ්‍යාපනය ලබන මීන ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථකව කරගෙන යන්න ලැබෙනවා වගේම ඉදිරිපත් වන තරඟ විභාගවලින් ජය අත් කරගැනීමටත් හැකි වෙනවා.

ශරීර සෞක්‍යය පැත්තෙන් ගත්තත් කියන්න තරම් අසනීපයක් පීඩාවක් මේ ග්‍රහ මාරුවෙන් ඇති වෙන්නෙ නෑ. 

 

Wednesday, September 16, 2020

කුජ වක්‍ර ගමනේ.

 


කුජ කියන්නෙ මොන වගේ ග්රහයෙක්ද කියලා ජ්යොතිෂය ගැන උනන්දු වෙන හැමෝම දන්නවා. කුජ 2020.08.16 වෙනිදා මේෂ රාශියට ගියා. සැප්තැම්බර් 10 වෙනිදා ඉඳලා වක්ර වෙන්න පටන් ගත්තා. නොවැම්බර් 14 වෙනිදා වෙනකල් කුජ වක්ර ගමනෙ යෙදෙනවා.
කුජ වක්ර වීමෙන් අනතුරු බහුල වෙනවා. දැනටමත් දිනපතා මාරක අනතුරු ගැන අහන්න ලැබෙනවා. අනතුරු විතරක් නෙමෙයි, වලි ගෝරි එහෙමත් සෑහෙන්න වැඩි වෙනවා. ඉවසීම අඩු වෙනවා. පොඩි දේකටත් විශාල රණ්ඩු කෝලාහල ඇති වෙනවා. සිය දිවි නසාගැනීම් ගැනත් නිතර අහන්න ලැබෙයි. කුජ ගෙ මහ දශා, අන්තර් දශා ගත කරන අය වඩාත් ඉවසිලිමත්ව කටයුතු කරන එක හොඳයි. පොදුවේ හැමෝම සන්සුන්ව, ඉවසිලිමත්ව වගේම නිසි කල්පනාවෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා.
කුජ මේෂ රාශියේ වක්ර වන කාලය තුළ එනම්, ඔක්තෝබර් 4 වෙනිදා තෙක් වඩාත් කල්පනාකාරී විය යුතුයි. වාහන පැදවීමේදී, පාර මාරු වීමේදී, මහගඟ පයින් ගමන් කිරීමේදී, අවදානම් සහිත කටයුතු වලදී, ක්රීඩා කටයුතුවලදී වගේම අන්යයන් සමඟ එක්ව කරන කටයුතුවලදී ද නිවැරදි කල්පනාව නිරවුල් මානසිකත්වය පවත්වාගැනීම වැදගත් වෙනවා.
කුජ මහ දශා, අන්තර් දශා ගෙවමින් සිටින අය වගේම මේෂ, කන්යා, තුලා,ධනු, මකර,මීන ලග්න හිමියන් ද ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. ගෘහ ජීවිතයේදී සුළු ප්රශ්න දුර දිග නොයවා ගොඩින් බේරාගැනීමට ද වග බලා ගත යුතුයි. අන්යයන් සමඟ කතා බහ කිරීමේදී ඉවසිලිමත් විය යුතුයි.
කුජ වක්ර වන කාලය තුළ උද්ඝෝෂණ, වැඩ වර්ජන, මහජන කැළඹීම් ද සිදු වෙනවා.
දැනට වක්ර ගමනේ යෙදෙන කුජ ඔක්තෝබර් 4 වෙනිදා මීන රාශියට ගමන් කර, නොවැම්බර් 14 වෙනිදා පටන් නිවෘතව, දෙසැම්බර් 24 වෙනිදා නැවත මේෂ රාශියට ගමන් කරනවා. කුජ මේෂ රාශියෙන් සමු ගන්නේ 2021. පෙබරවාරි 22 වෙනිදා යි.
කුජ මේෂ රාශියේ ගත කරන කාල සීමාවන් තුළ මිථුන ලග්න හිමියන්ට විශේෂ ධන ලාභ හිමි වෙනවා.
ජ්යොතිෂවේදී සංජීව කුළුපන බණ්ඩාර