කාලසර්ප දෝෂය.

 කාලසර්ප දෝෂය යෙදෙන්නේ කොහොමද ?
බලපාන්නේ කොහොමද ?
දුරු කර ගන්නේ කොහොමද ?

  එකට කන බොන අය අතරෙත් සර්පයො ඉන්නවා. ඒ වගේම ග්‍රහයො අතරෙත් සර්පයෙක් ඉන්නවා. ඒ සර්පයා තමයි රාහු. ග්‍රහ ලෝකයක්   නොවුණත්, කේන්දරය තුළ රාහු බලවතෙක්. නාග හිසක් සහිත මිනිස් රුවකින් රාහු සංකේතවත් කර තිබෙනවා. ඔය රාහු ඉන්න තැන ඉඳලා නිතරම හත් වැනි කොටුවේ කල් ගෙවන කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි කේතු. මිනිස් හිසක් සහිත සර්ප රුවකින් කේතු සංකේතවත් කර තිබෙනවා. කේතු කියන්නෙත් ග්‍රහ තරුවක් නෙමෙයි හැබැයි රාහු වගේම බලවතෙක්. රාහු කේතු දෙන්නා අපට බලපාන විදිය හරිම පුදුමාකාරයි. රාහු ගේ සහ කේතු ගේ ගති ලක්ෂණ එකිනෙකාට විරුද්ධයි. රාහු විහිදුවන ග්‍රහයෙක් කේතු හකුළුවන ග්‍රහයෙක්. රාහු ඇවිද්දවනවා. කේතු එක තැනකට කරනවා.මේ දෙන්නා ගමන් කරන්නෙත් සෙසු ග්‍රහයින් ගමන් කරන දිශාවට නෙමෙයි. මෙන්න මේ රාහු කේතු දෙන්නා හින්දා තමයි "කාලසර්ප දෝෂය" යෙදෙන්නේ. සියලු ග්‍රහයින් රාහු කේතු දෙන්නා ට මැදි  වෙලා ඉන්නවා නම් ඒ තමයි කාලසර්ප දෝෂය.
පහත දැක්වෙන කේන්දරයේ කාලසර්ප දෝෂය යෙදී තිබෙන ආකාරය බලන්න.
කන්‍යා ලග්නය හිමි ඉහත කේන්දරයේ කේතු සිව් වැන්නේත් රාහු දස වැන්නේත් සිටිනවා. සෙසු සියලු ග්‍රහයින් සිටින්නේ රාහු කේතු දෙන්නාට මැදි වෙලා බව ඔබට පෙනෙනවා ඇති. ඔන්න ඔය ආකාරයට රාහු කේතු දෙන්නාට මැදිව සෙසු ග්‍රහයින් පිහිටීමෙන් කාලසර්ප දෝෂය යෙදෙනවා.
මූලික වශයෙන් කාලසර්ප දෝෂය යෙදෙන ආකාර දෙකක් තිබෙනවා. ඒ තමයි රාහු මුල් භාවයකත් කේතු පසු භාවයකත් පිහිටීමෙන් ඇතිවන දෝෂය හා කේතු මුල් භාවයකත්  රාහු පසු භාවයකත් පිහිටීමෙන් ඇතිවන දෝෂය.
ඒ සඳහා උදාහරණයක් මේ විදියට දක්වන්න පුළුවන්.
A  කේන්දරයේ රාහු දෙවැනි භාවයේත් කේතු අට වැනි භාවයේත් තැන්පත්ව කාලසර්ප දෝෂය යෙදී තිබෙනවා. මෙය රාහු මුල් භාවයකත් කේතු පසු භාවයකත් තැන්පත්ව යෙදුනු කාලසර්ප දෝෂය යි.
B  කේන්දරයේ කේතු සිව් වැනි භාවයේත් රාහු දස වැනි භාවයේත් තැන්පත්ව කාලසර්ප දෝෂය යෙදී තිබෙනවා. මෙය කේතු මුල් භාවයකත් රාහු පසු භාවයකත් තැන්පත්ව යෙදුනු කාලසර්ප දෝෂය යි.
මෙයින් පළමු කාලසර්ප දෝෂය එනම් රාහු මුල් භාවයක තැන්පත්ව යෙදුනු කාලසර්ප දෝෂය වඩාත් අසුබදායක වෙනවා.
අර්ධ කාලසර්ප දෝෂය හා පූර්ණ කලසර්ප දෝෂය ලෙස ද කාලසර්ප දෝෂය දෙආකාර වෙනවා.
අර්ධ කාලසර්ප දෝෂය.
  රාහු හෝ කේතු සමග හෝ රාහු කේතු දෙදෙනාම සමග තවත් ග්‍රහයින් එක්ව සිටිය දී කාලසර්ප දෝෂය යෙදී තිබෙනවා නම් එය අර්ධ කාලසර්ප දෝෂය ලෙස හඳුන්වනවා. පහත කේන්දරය දෙස බලන්න. මෙම කේන්දරයේ කාලසර්ප දෝෂය දී ඇති නමුත් කේතු සිටින භාවයේ සඳුත්, රාහු සිටින භාවයේ ගුරුත් තැන්පත්ව සිටිනවා. මේ අනුව මෙම කේන්දරයේ සටහන්ව ඇත්තේ අර්ධ කාලසර්ප දෝෂය යි. අර්ධ කාලසර්ප දෝෂයෙන් එල්ල වන අසුබ බලපෑම් අඩු බව ඇතැම් ජ්‍යෝතිර්වේදීන් ගේ මතය වුව ද අදාල ග්‍රහයින් අතර පරතරය අංශක කොපමණ දැයි සොයා බලා නිගමනයට බැසිය යුතුයි.
  කාලසර්ප දෝෂය කුමන ආකාරයෙන් සටහන්ව තිබුණද එයින් කුමන හෝ අසුබ බලපෑමක් එල්ල වෙනවා.
පහත දැක්වෙන්නේ ජනකාන්ත නළු විජය කුමාරතුංග මහතාගේ කේන්දරය යි.
දේශපාලන කරළිය තුළ ද කැපී පෙනෙන චරිතයක් වූ විජය කුමාරතුංග මහතා ඉහළ පෙළේ පවුලකින් විවාහයක් ද කර ගැනීමට සමත් වුණා. ඔහු සම්බන්ධ වුණේ ද එසේ මෙසේ පවුලකට නොවෙයි. ඔහු ට දේශපානය තුළ අතිශය වැදගත් වූ ඉලක්ක ද තිබුණා. කෙසේ වෙතත් ඔහු ට පූර්ණ ආයුෂ වැළඳීමට හැකි වුණේ  නෑ. කේන්දරයේ කාලසර්ප දෝෂය සටහන්ව තිබෙනවා. තම දේශපාලන කටයුතුවලදී එල්ල වූ බාධක අවහිරද සුළු පටු වුණේ නෑ.
කාලසර්ප දෝෂය යෙදෙන ආකාරය අනුව එල්ල වන අසුබ බලපෑම් සරළව දැනගනිමු.
1. රාහු ලග්නයේ සහ කේතු හත් වැන්නේ යෙදීමෙන් ඇති වන කාලසර්ප දෝෂය " අනන්ත කාලසර්ප දෝෂය " යනුවෙන් හඳුන්වනවා. මෙහිදී විවාහය සම්බන්ධයෙන් ගැටලු පැටලිලි ඇතිවෙනවා. යුග දිවියේ සතුට සැනසුම බිඳ වැටෙනවා. විවාහය හේතුවෙන් මානසික පීඩා ඇතිවෙනවා. විවාහය කල් පසුවීමට මෙන්ම නොගැළපෙන විවාහයක් සිදුවීමට ද මෙය හේතු වෙනවා.
2. රාහු සහ කේතු දෙවැන්නේ සහ අට වැන්නේ පිහිටීමෙන් යෙදෙන කාලසර්ප දෝෂය " ගුලික කාලසර්ප දෝෂය " ලෙස හඳුන්වනවා. මෙය ආර්ථිකය සම්බන්ධ ගැටලු ඇතිවීමට මෙන්ම ගෘහ ජිවිතයේ සතුට සැනසීම බිඳ වැටීමට ද හේතු වෙනවා. ශරීර සනීපයට ද අසුබ බලපෑම් එල්ල වෙනවා.
3. රාහු කේතු තුන් වැන්නේ සහ නම වැන්නේ පිහිටීමෙන් යෙදෙන කාලසර්ප දෝෂය " වාසුකී කාලසර්ප දෝෂය" යනුවෙන් හඳුන්වනවා. මේ හේතුවෙන් සහෝදරාදීන් සමග ගැටුම් ආරවුල් ඇතිවීම, උත්සාහයන් නිෂ්පල වීම, වාසනා බලය අඩුවීම, බලාපොරොත්තු ඉටුවීම කල් පසුවීම ආදී පීඩාවන් ඇතිවෙනවා. 
4. රාහු කේතු සිව් වැන්නේ සහ දස වැන්නේ තැන්පත් වීමෙන් යෙදෙන කාලසර්ප දෝෂය සංඛ පාල කාලසර්ප දෝෂය යනුවෙන් හඳුන්වනවා. මෙයින් ගෙදර දොරේ ගැටලු, දේපළ පිලිබඳ ආරවුල්, රැකියා ගැටලු, දෙමාපිය නෑදෑ ආදීන් සමග ඇතිවන ආරවුල්, වාහන හේතුවෙන් සිදුවන පාඩු ආදී පීඩාවන් එල්ල වෙනවා.
5. රාහු පස් වැන්නේත් කේතු එකොළොස් වැන්නේත් පිහිටීම හේතුවෙන් යෙදෙන කාලසර්ප දෝෂය " පද්ම කාලසර්ප දෝෂය" යනුවෙන් හඳුන්වනවා. මෙම දෝෂය හේතුවෙන් දරු ඵල සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. ආදර සම්බන්ධතා අවුල් වීම, හිත මිතුරු සම්බන්ධතා හේතුවෙන් ගැටලු, කරදර මතුවීම, ආදායම් මාර්ග වලට බාධක අවහිර එල්ලවීම ආදී පීඩාවන්ට ද හේතු වෙනවා.
6. රාහු සහ කේතු හය වැන්නේ සහ දොළොස් වැන්නේ තැන්පත් වීමෙන් යෙදෙන කාලසර්ප දෝෂය මහා පද්ම කාලසර්ප දෝෂය" යනුවෙන් හඳුන්වනවා. සතුරු කරදර, අසනීප, අවහිර බාධක, ධන හානි ආදී පීඩාවන්ට මෙය හේතු වෙනවා.
7. රාහු හත් වැන්නේත් කේතු ලග්නයේත් පිහිටීමෙන් යෙදෙන්නේ " තක්ෂක කාලසර්ප දෝෂය" යි. විවාහ ජීවිතයේ අවුල් වියවුල් ඇතිවීමට මෙය හේතුවෙනවා. ඇතැම් විට අමනුෂ්‍ය බලපෑම් ද එල්ල විය හැකියි. ආදර සම්බන්ධතා හේතුවෙන් මානසික පීඩාවන් ඇතිවෙනවා. කරන කියන කටයුතුවලට නොයෙක් විට බාධක අවහිර එල්ල වෙනවා.
8.රාහු අටේ සහ කේතු දෙකේ පිහිටීමෙන් යෙදෙන්නේ " කර්කෝටක කාලසර්ප දෝෂය" යි. හදිසි අනතුරු, මානසික පීඩා, යුග දිවියේ ගැටලු, ධන හානි, ආර්ථික පීඩා, බාධක අවහිර ආදී පීඩාවන් මේ හේතුවෙන් එල්ල වෙනවා.
9. රාහු නමයේ, කේතු කේතු තුනේ සිටීමෙන් " සංඛ චෝද කාලසර්ප දෝෂය" යෙදෙනවා. මේ හේතුවෙන් උරුම හිමිකම් සම්බන්ධයෙන් ගැටලු කරදර ඇතිවෙනවා. වාසනා බලය අඩුවෙනවා. ළඟට එන වාසනාව දුරස් වෙනවා. ඉලක්කයක් සපුරා ගැනීමට අසීමිත වෙහෙසක් දැරීමට සිදුවෙනවා.
10. රාහු දහයේත් කේතු හතරේත් තැන්පත් වීමෙන් යෙදෙන්නේ " ඝාතක කාලසර්ප දෝෂය" යි. රැකියා කටයුතු, දේපළ ගේදොර සම්බන්ධ ගැටලු මේ හේතුවෙන් ඇතිවෙනවා.දෙමාපියන්ට අපල බලපෑම් එල්ල වෙනවා. 
11. රාහු එකොළොස් වැන්නේත් කේතු පස් වැන්නේත් සිටීමෙන් " විෂධාර කාලසර්ප දෝෂය" යෙදෙනවා. අය මාර්ග,දරු ඵල, ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. රැවටිලි, වංචා, පාඩු, අලාභ වලට මුහුණ දීමට සිදුවෙනවා. 
12.රාහු දොළොස් වැන්නේ සහ කේතු හය වැන්නේ සිටීමෙන් යෙදෙන කාලසර්ප දෝෂය "ශේෂ නාග කාලසර්ප දෝෂය " යනුවෙන් හඳුන්වනවා. මේ හේතුවෙන් සතුරු කරදර ඇතිවෙනවා. උත්සාහයන් ඵල රහිත වෙනවා. කුමන දෙයක් කරන්නට ගිය ද නොසිතු ලෙස බාධක අවහිර එල්ල වෙනවා. නීති ගැටලු වලට මුහුණ පෑමට සිදු වෙනවා.
කාලසර්ප දෝෂය කොයි ආකාරයට යෙදුණද ජිවිතයේ කුමන හෝ අඩුවක් , අඳුරක් ඇතිවෙනවා. ඒ හේතුවෙන් ජිවිතයේ සතුටු විය යුතු අවස්ථාවලදී වූවද එම සතුට මුළුමනින්ම භුක්ති විඳීමට අපහසු වෙනවා.
පහත දැක්වෙන්නේ හෙළ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ කේන්දරය යි. ඔහු ගේ කේන්දරයේ රාහු ලග්නයේත් කේතු විවාහස්ථානය වූ හත් වැන්නේත් තැන්පත්ව කාලසර්ප යෝගය යෙදී තිබෙනවා.

කාලසර්ප දෝෂය දුරු කර ගන්නේ කොහොමද ?
  කාලසර්ප දෝෂය ට පිළියම් යෙදීමේදී රාහු කේතු ඉලක්ක කරගෙන පිළියම් යෙදිය යුතුයි. සූර්ය පිරිත හා චන්ද පිරිත නිතර කියවීම මගින් රාහු කේතු දෙදෙනා ගේ අසුබ බලපෑම් දුරුවෙනවා. නොඉඳුල් පොල් තෙල් හෝ තැඹිලි තෙල් සූර්ය පිරිතෙන් හෝ චන්ද පිරිතෙන් දහස් වර මතුරා සුරයක දමා පැළඳීම ද ඉතාමත් සුබදායකයි.
නිවසට නිරිත දිශාවෙන් වැටකේ පැලයක් ද, ඊශාණ දිශාවෙන් කෙසෙල් පැලයක් ද සිටුවා සවස් වරුවේ එම පැල ඉදිරියේ එළඟිතෙල් මුසු පහන් දල්වා "සබ්බ පාපස්ස" ගාථාව හත් වර බැගින් කියවිය යුතුයි. උදේ හවස ජලය දමා සාත්තු කළ යුතුයි.
"කාලසර්ප දෝෂ නිවාරණ යන්තරය" නිසි ලෙස, නිසි වර ගණන ජීවම් කර පැළඳීම ද ඉතාමත් ගුණදායකයි.
නාගයෙකුගේ හැඩයට රිදියෙන් මුදුවක් සාදා පෙනයට ගෝමේද මැණිකක් හා වල්ගයට වෛරෝඩි මැණිකක් අල්ලා රාහු කේතු කවච වලින් ජීවම් කරවාගෙන පැළඳීම ද සුබයි.
වැටකේ මල් හා සුවඳ හමන මල් බෝධීන් වහන්සේට පූජා කිරීමද සුබයි.
විශේෂ පිළියමක්.
  ලි මේසයක් ගෙන ඒ මත හුණු කැටයකින් ලොකු කේන්දර කොටුවක් අඳින්න.  ඔබේ කේන්දරයේ රාහු කේතු දෙදෙනා සිටින කොටු දෙකේ රාහු කේතු සලකුණු කරන්න. එම කොටු දෙකේ හා මැද කොටුවේ පහන බැගින්  දල්වන්න. පහන්වලට  පොල් තෙල්, එළඟි තෙල් මුසු කර දමන්න. පහන් දල්වා රාහු ස්තෝත්‍රයත් කේතු ස්තෝත්රයත් හත් වර බැගින් කියන්න. පසුව විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර කාලසර්ප දෝෂය දුරු කර දෙන මෙන් ඉල්ලන්න.