Thursday, April 13, 2023

සිද්ධාන්ත.

 



සිද්ධාන්තයක් යනු අත්දැකීමකි.  ප්‍රත්‍යක්ෂ කරගැනීමකි.  එය සම්පූර්ණයෙන් වෙනස් වූ පුද්ගලයෙකු විසින් දැකගත් දෙයකි. සිද්ධාන්ත යන වචනයේ අර්ථය වන්නේ යමෙකුට එය 'සිද්ද' වූ විට ඔහු එය තරයේ පවසා සිටීමයි. එය සාක්ෂාත් කරගත් අයෙකුගේ ප්‍රකාශයකි.



සිද්ධාන්තයක් යනු මතවාදයක් නොවේ..   ඔබට ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වී බුද්ධියෙන් බොහෝ දේ තේරුම් කිරීමට, තෝරා බේරාදීමට හැකියාව ඇත.. ඔබේ නිගමන විධිමත් ලෙස සකස් කළ හැක.. සත්‍ය මෙන් පෙනෙන තාර්කික න්‍යායන් නිපදවිය හැක.  එහෙත් එය සත්‍යය නොවේ.  ඒවා මතවාදයන් වේ.



මතවාදයක් යනු මිනිසාගේ නිර්මාණයකි.  මිනිසා සහ ඔහුගේ පරිශ්‍රමයන් සමඟ සිද්ධාන්තයකට කිසිදු කටයුත්තක් නැත. සිද්ධාන්තය යනු ප්‍රාග් ඥානයකි.  එයට එළඹිය යුතුය.  එය සාක්ෂාත් කරගත යුතුය.  එය ඔබට දැකගන්නට ලැබුණු, අනාවරණය වූ, ඔබේම අත්දැකීමක් බවට පත් විය යුතු දෙයකි.



සිද්ධාන්තයක් නැවුම් ය. එය සැබෑවකි. එය යථාර්තයකි. එහි පිටපත් නැත. මතවාදයක් යනු ණයට ගත් දෙයකි. මනඃකල්පිත දෙයකි. සිද්ධාන්තය නොඉඳුල් කන්‍යාවක් නම් මතවාදය යනු වෛශ්‍යාවකි.



බුදුන්ට සිදුවුණේ සිද්ධාන්තයකි. ක්‍රිස්තුන්ට, මහාවීරට, මොහොමඩ්ට, ලාඕ ට්ෂුට, ඕෂෝට වගේම තවත් බොහෝ දෙනෙකුට එය සිද්ද විය. ඔවුන් අත්දුටු සිද්ධාන්තය වෙනත් කිසිම අයෙකුට සිද්ධාන්තයක් වන්නේ නැත.  එය යමෙක් නැවත කියන්නේ නම් එය මතවාදයක් පමණි. 



සෘෂිවරු පවසන ආකාරයට ජ්‍යොතිෂය, දේහ ලක්ෂණ විද්‍යාව, හස්තරේඛා ශාස්ත්‍රය යනාදිය ඔවුන් වෙත පිරිනමනු ලැබුවේ දෙවියන් විසිනි. ඔවුන් එසේ පැවසීම යුක්ති සහගතය. අත්දැකීමක්, ප්‍රත්‍යක්‍ෂ කරගැනීමක් වචනයට නැඟීම අපහසුය. අත්දැකීම් පවතින්නේ භාෂාවට බොහෝ දුරිනි. ඒවා ඔවුන්ට "සිද්ද වුණු" දේවල් මිස තවකෙකුට  අනාවරණය කළ හැකි දේවල් නොවේ.



සෘෂිවරු නමින් වසර දහස් ගණනකට පෙර පළ කොට, විවිධ භාෂාවන්ට පරිවර්තනය වුණු පොත් පත් අදද භාවිතයේ පවතී.. ඒවායේ සඳහන් සියල්ල සිද්ධාන්ත නොවේ.  ඒවා වෙනස් වන සුළුය. මක් නිසාද යත්, ඔවුන් අත්දකිනු ලැබුවේ සිද්ධාන්ත වූවද  ඒවා වචන බවට පත් වී, විවිධ භාෂාවන්ට නැඟී, අතින් අත ගොස් මතවාද බවට පත් වී තිබේ.. එම කාරණා කාලයට,අවස්ථාවට, පුද්ගලයාට අදාල කරගැනීමට තරම් සෑහෙන බුද්ධියක් පුද්ගලයෙකුට තිබිය යුතුය.



අප ජීවත් වන්නේ මතකය ප්‍රමුඛ කරගත් සමාජයක ය. සමස්ථ අධ්‍යාපන පද්ධතියම පවතින්නේ බුද්ධිමත් බව කෙරෙන් මතකය දෙසට හරවා යැවීමටය.. පුද්ගලයෙක් යාන්ත්‍රික කිරීමටය. ජීව පරිඝණකයක් බවට පත් කිරීමටය. විභාග වග බලාගන්නේ මතකය ගැන පමණි. එයින් සිදු කෙරෙන්නේ කාර්යක්‍ෂමතාවයෙන් යුතු වෘත්තිකයින් බිහි කිරීම විනා බුද්ධිමතුන් බිහි කිරීම නොවේ. එය ජ්‍යොතිෂය වැනි ආධ්‍යාත්මික විෂය ක්‍ෂේත්‍රයකදී වඩාත් අසාර්ථකය. වසර දහස් ගණනක් පැරණි යැයි සම්මත පොත් පත් වැඩි ප්‍රමාණයක් පාඩම් කර මතකයේ තබාගෙන සිටින පුද්ගලයා දක්ෂතම ජ්‍යොතිෂවේදියා ලෙස සැලකීම මොන තරම් බොළඳ තකතීරු ක්‍රමවේදයක්ද.... බෝතල් පත්තර කඩයකටවත් විකිණිය නොහැකි තරමේ කඩමාලු වූ පොත් පත්වල සඳහන් කරුණු ගිරවෙකු මෙන් පුනරුච්චාරණය කරන තැනැත්තා සමස්ථ ජීවිතයම අතැඹුලක් සේ අවබෝධ කරගත් ශාස්තෘවරයෙක් සේ සැළකීම තරම් තකතීරුකමක් තවත් ඇත්ද...



ඔබට ඕනෑ තරම් පොත් පත් කියවීමට හැකියාව තිබේ. විවිධ ක්‍රමවේද ඔස්සේ ජ්‍යොතිෂය ඉගෙනීමට හැකි ආකාරයට අපමණ පාඨමාලාවන් තිබේ. ඒ අනුව බලන විට හෙට දවසේ හිරු නැඟුණු මොහොතේ පටන් දවස ගෙවී යන තෙක් කාලය තුළ සිදුවන සියලු සිදුවීම් පුරෝකථනය කළ හැකි තරමේ විෂ්ම කර්මයින් බිහි වී සිටිය යුතුය. සැබෑ ලෙසම පෙනී යන කාරණය නම් ශාස්තෘවරුන් මෙන් පෙනී සිටින ගුරුවරුද සිටිනුයේ ගිරවුන්ගේ තත්වයේම මිස වෙනස් තත්වයක නොවන බවය.


ෆේස්බුක්  සමූහයක අයෙක් ප්‍රශ්නයක් නඟනවා "විවාහයක් අසාර්ථකත්වයට පත් කෙරෙන  හේතු මොනවද...?"
එයට සම්බන්ධ වන පුද්ගලයින් තමන් දන්නා තරම් ග්‍රහ පිහිටීම්, ග්‍රහ යෝග, ග්‍රහ දෘෂ්ටි එක පෙළට කොටාගෙන යනවා. ඒ ඔවුන්ගේ ජ්‍යොතිෂයයි. ඒ ඔවුන් පාඩම් කළ සිද්ධාන්තයි. විවාහයක් මධුසමයෙන් අවසන් වන ආකාරය, එතැන් පටන් ඔවුන් සැබෑවට යථාර්තයට මුහුණ දිය යුතු විදිය, ගැහැණියක හා පිරිමියෙකු අතර වන වෙනස, ඔවුන් තම හැඟීම් දැනීම්, ආවේග පිට කරන ආකාරය, ඔවුනොවුන් අතර ලෙන්ගතුකම්, නොරිස්සුම් අඩු වැඩි වෙමින් ගමන් කරන විදිය....ඔබ මේ ආදී කාරණා ගොනු කර ලිපියක් පල කළහොත් එයට එතරම් ප්‍රතිචාරයක් ලැබේ යැයි සිතිය නොහැක. ඔවුන්ට අවශ්‍ය වන්නේ තාක්ෂණය පමණි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඕනෑම තැනකට ආලේප කළ හැකි තෙල් වර්ග පමණි. ඉන් එහා ඔවුන් දන්නා ජ්‍යොතිෂය නමින් වූ "ආධ්‍යාත්මික විද්‍යාවක්" නැත.


සිද්ධාන්ත ප්‍රකාශයට පත් කළ සියලු දෙනා මෙන්ම  සෘෂිවරු සිදු කළේද තමන් ප්‍රත්‍යක්‍ෂ කරගත් දේ වචනයට හරවා පැවසීමට උත්සාහ කිරීම පමණි. මන්ද යත් ප්‍රත්‍යක්‍ෂ කරගත් කිසිවක් පැවසිය හැකි දිව්‍යමය භාෂාවක් නොමැති බැවිනි. ඔවුන් ප්‍රකාශ කළේ  යැයි පොත් පත්වල සඳහන් කාරණා ප්‍රහේලිකා විසඳන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට සිදුව ඇත්තේ එබැවිනි. එකම කාරණය සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස්, මත පලවන්නේ ඒවා එක් එක් පුද්ගලයා අවබෝධ කරගන්නා ආකාරය වෙනස් වන බැවිනි. එසේ වන්නේ ඒවා සිද්ධාන්ත බවට පත් වූයේ සෘෂිවරුන්ට පමණක් බැවිනි. එය අත්දැකීමක් වූයේ ඔවුන්ට පමණක් බැවිනි. ආගමික ශාස්තෘවරුන්ගේ යැයි සම්මත සූත්‍ර දේශනා සම්බන්ධයෙන් කිව යුත්තේද එයමය. එය ඔවුන් විසින් අවබෝධ කරගන්නා ලද ඔවුන්ගේ "සත්‍යය" යි.



පාඩම් කරන ලද දේ පුනරුච්චාරණය කරන ගිරවුන් වෙනුවට අවබෝධය සමඟ කටයුතු කරන ආධ්‍යාත්මික චරිත අවශ්‍යව තිබේ. ජ්‍යොතිෂය අතික්‍රමණය කළ හැකි පුද්ගලයින් අවශ්‍යව තිබේ. එකිනෙකාට දෝෂාරෝපණය කරගනිමින්, නින්දා අපහාස කරගනිමින් හැසිරෙන ආධ්‍යාත්මය කඩා වැටුණවුන් වෙනුවට නිවුණු සැනහුණු ශිෂ්ඨ චරිත අවශ්‍යව තිබේ. 



සංජීව කුළුපන බණ්ඩාර