Monday, April 24, 2023

ආරක්ෂාව "ආධ්‍යාත්මය" තුළ ය.

 



සමහර දේවල් ලියැවෙන්නෙ කුමන හෝ තැනකින් කෙරෙන බලපෑමකින්. ඒ දේවල් නොලියා සිටිය නොහැකි තරමට දැඩි බලපෑමක් ඇති කරනවා. මෙය ද නොලියා සිටීමට නොහැකි නිසා ලියූ සටහනක්. 



සම්බුදු දහම බටහිර ලෝකය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. බටහිර ජනතාව බුදු දහම කෙරෙහි නැඹුරු වෙද්දී පෙරදිග ජනතාව හාස්කම් සහිත ආගම්වලට මාරු වෙමින් සිටිනවා. හාස්කම් විදහා දැක්වූ ආගම්වල ජන්ම භූමිය බටහිර ලෝකය වූවත් දැන් බටහිර වැසියන්ට අවශ්‍ය හාස්කම් නොවෙයි. ඒ අය සමාධිමත් වෙනසක්, ඇතුළාන්ත පරිවර්තනයක් අපේක්ෂා කරනවා.  ඔවුන් භාවනාව වෙත දැඩිව ආකර්ෂණය වෙමින් සිටිනවා.  යුරෝපීයන් ඔවුන්ගේ හාස්කම් මූලික ආගම් පෙරදිග ලෝකය තුළ ව්‍යාප්ත කරන අවදියේ පෙරදිග වැසියන් බුදු දහම මැනවින් තේරුම් ගෙන සිටියා. බුදු දහමේ හරය  රැකගෙන සිටියා. අද එහි අනෙක් පැත්ත සිදුවෙමින් පවතිනවා. 



බුදු දහම තුළ හාස්කම් නෑ. බෞද්ධාගම කොරුන් ඇවිද්දවන, අන්ධයන්ට පෙනීම දෙන, විභාගය සමත් කරවන, ඉල්ලන දේ ලබාදෙන ආගමක් නෙමෙයි.  නමුත් පෙරදිග බෞද්ධාගම තුළට බොහෝ හාස්කම් පැමිණෙමින් තිබෙනවා. එහි සැබෑ අරුත බොහොමයක් දෙනා බුද්ධාගම හැර යමින් සිටින බවයි. 



බලාපොරොත්තු ඉටු කරගැනීම මූලික කරගත් නොයෙක් පුද පූජාවන් බුදුදහම තුළට ඇතුල්වෙමින් තිබෙනවා. පැතුම් ඉටු කරන පුද පූජා හෝ මුදල් අය කර සිදු කරන ආශිර්වාද පූජා බුදු දහම සමඟ කෙසේවත් පෑහෙන්නෙ නෑ. ඒවා ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කරගත් ව්‍යාපාර මිස බුදු දහමට සම්බන්ධ දේ නොවෙයි.



විශ්වයේ බලවත්ම ස්ථානය මෙයයි...සාධුකාරයක් දෙන්න. බොහෝ දෙනෙක් විසින් සිදු කරන එවැනි පල කිරීම් නිතර දකින්න ලැබෙනවා. ඔවුන් සිතන පරිදි විශ්වයේ බලවත්ම ස්ථානය පිහිටා තිබීම හොඳටම ප්‍රමාණවත්. ඔය ස්ථානය  කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද, සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් පූජනීයතත්වයට පත් කරන ලද පුණ්‍ය භූමියක් විදියට සැළකෙනවා. මිනිස්සු උදෑසන සිට නින්දට යන තෙක් සිතින් කයින් වචනයෙන් සිදු කරන දේවල්  රටේ උතුම් පූජනීය වස්තූන්ට නොගැළපෙන කොට ඒ රටට කොයින්ද සෙතක්.... කුණු කඳු කඩා වැටිලා මැරෙනවා, බෝම්බ පිපිරිලා මැරෙනවා, වසංගත පැතිරිලා මැරෙනවා, ඇන කොටගෙන මැරෙනවා, තමන් විසින්ම මැරෙනවා, දහ අතේ ණය වෙනවා, රට පරිහානියට යනවා. පේන තෙක් මානයක තියෙනවද හොඳක් ? 


ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාළිගාවෙ වැඩ සිටිනවා. දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සළකමින්, එදා ආනන්ද මහ තෙරුන් වහන්සේ ඉටු කළා වූ සියලු චිරාගත සාම්ප්‍රදායික බුද්ධෝපස්ථාන,බුදු පුද,තේවා කටයුතු දිනපතා සිදු කෙරෙනවා. ඊට අමතරව වාර්ෂිකව හා සතිපතා ද දළදා පුද පූජාවන් සිදු කෙරෙනවා. 


සිදුහත් බෝසතාණන් බුද්ධගයාවේ දී බුද්ධත්වයට පත් වන විට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව සඟමිත් තෙරණිය ලංකාවට වැඩමවූ පසුව දෙවනපෑතිස් රජු එය අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කළා. ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෙසට සැළකෙනවා. මේ අසිරිමත් සිද්ධස්ථාන පේන මානය පටන්  රට පුරාම මොන තරම් පාපකාරී, අසාධාරණ දේවල් සිද්ද වෙනවද...  


බටහිර දේශපාලන බලවතුන් තමන් අතින් සුළු වැරදීමක් සිදු වූණත් දෙවරක් නොසිතා ධූරය අත් හරිනවා. ඔවුන්ට අතහැරීම  එතරම් දෙයක් නෙමෙයි.  බරපතළ වරදක් සිදු වුණත් අපේ අය බලය අතහරියිද ? ජනතාව විසින් එලවා දැමුවොත් හැර ඔවුන් කිසිදා තමන්ගේ වරදක් පිළිගෙන බලය අතහරින්නේ නෑ. නමුත් ඇසුරු කරන්නෙ හිමිවරු, දේශපාලනය කරන්නෙ සිද්ධස්ථානයෙ.


බුදුදහම සෙසු සියලු ආගම්වලට වඩා විශේෂයි, ශ්‍රේෂ්ඨයි.  සියලු ආගම් අතර ගුණාත්මක බවින් වැඩිම ආගම බුදුදහමයි. බුදුදහම දර්ශනයක් නෙමෙයි.මිනිසෙකුගේ ඇතුළාන්තය වෙනස් කිරීමේ හැකියාව හෝ මිනිසෙකු පරිවර්තනය කිරීමේ හැකියාව දර්ශනයකට නෑ.   දර්ශනයක් කියන්නෙ මතවාදයක් මිස ආධ්‍යාත්මික පෝෂණයක් ලබා දෙන යමක් නෙමෙයි. බුදුදහම ආධ්‍යාත්මික ප්‍රකාශනයක්. බුදුදහම මර්දනකාරී පිළිවෙත්වලින් තොර, මතවාදවලින් බැහැර වූ ආධ්‍යාත්මික මාර්ගයක්. 


මිනිසෙක් වෙනස් කිරීමේ හැකියාව, අධ්‍යාත්මික පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව  ධර්ම දේශනයකට තියෙන්න ඕනැ. ඒ හැකියාව සිද්ධස්ථානයක් සතුව තියෙන්න ඕනැ. සිද්ධස්ථාන වැඩි වැඩියෙන් ඉදිවීම, ධර්ම දේශනා වැඩි වැඩියෙන් පැවැත්වීම ඉතාමත් සතුටුදායක කාරණාවක්. නමුත් දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, සියදිවි නසාගැනීම්, හොර මැරකම්වල වැඩි වීමක් මිස අඩු වීමක්  දකින්නට නොලැබීම ඉතාමත් කණගාටුදායකයි. දහම ගැන දැනුම වැඩි කරනවා වෙනුවට දහම් අවබෝධය ඇතිකිරීම සාර්ථකව සිදු වෙනවාද යන්න ගැටළුවක්. 

ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, දැඩි ලෝභය, තෘෂ්ණාව සහිතව සිද්ධස්ථානයකට ගොඩවදින ඔබ නැවත ඉන් පිටත්ව යන්නේ ඒ සියල්ල රැගෙන නම් ඔබ සිද්ධස්ථානයකට යාමේ කිසිදු ප්‍රයෝජනයක් නෑ. 


මතක තබාගන්න. අප සිටින්නේ ඉතාමත් ඛේදජනක කාල පරිච්ඡේයක් අබිමුව.  විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වන තරමේ අන්තරාදායක සමයක් උදාවීමට නියමිතයි. ආරක්ෂාව ඇත්තේ "ආධ්‍යාත්මය" තුළ පමණයි. 


සංජීව කුළුපන බණ්ඩාර