කය, සූක්ෂම කය සහ නිවන.
විශ්වයේ සියලු දේ නිර්මාණය වී ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මූල ධාතු හතරෙන්. මේ මූල ධාතු ආකාශ ධාතුව තුළ ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙනවා. කෙතරම් වේගයෙන් භ්‍රමණය වෙනවද කියනවා නම් සෑම සියලු දෙයක්ම අඛණ්ඩව පවතින බවක් පෙනෙනවා. ඒත්, අප මෙන්ම අපට පෙනෙන කිසිවක් පෙනෙන ලෙසටම පවතින්නේ නෑ. සියල්ල ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. එනම් මූල ධාතු ඉතාමත් වේගයෙන් චලනය වෙනවා. එය දැකිය හැක්කේ විදර්ශනා වැඩූ අයෙකුට පමණයි. ලොව සියලු දේ මෙන්ම මිනිස් ශරීරයේත් මේ මූල ධාතු ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙනවා. අප දකින සෑම සියලු දේකම එහි පෙනෙන මායිමෙන් ඔබ්බෙන් වූ තවත් සියුම් ස්ථරයක් පවතිනවා. එය අපට දර්ශනය වන්නේ නෑ. අපට දැකිය හැකි පරශයක් තියෙනවා. එම පරාශයට හසු නොවන කිසිවක් අපට දැකිය නොහැකියි. සියලු වස්තූන් වටා පිහිටි සියුම් ස්ථරය දැකීමට නම් අපේ දෘෂ්ටි පරාශය වඩාත් සුසර කර ගත යුතුයි. මිනිස් කය වටා පිහිටි මේ සියුම් ස්ථරය බොහෝ විට මනෝ කාය ලෙස හැඳින්වෙනවා. එය සූක්ෂම කය නැතිනම් සියුම් කය ලෙස හැඳින්වීම වඩාත් යුක්ති සහගතයි. ශරීරය වටා පවතින මෙම සියුම් ස්ථරය තුළ අඩංගු වෙන්නෙත් පෙර පැවසූ මූල ධාතු සතරම යි. ලොව සෙසු සියලු දේ වටා පවතින සියුම් ස්ථරය සෑදී තිබෙන්නෙත් මෙම මූල ධාතුවලින්ම යි. අපගේ පෙනෙන ශරීරය දළ ශරීරය ලෙසත් නොපෙනෙන සියුම් ස්ථරය සූක්ෂම ශරීරය ලෙසත් හඳුන්වනවා. සූක්ෂම ස්ථරය ශරීරයේ පටන් අඟලක පමණ ප්‍රමාණයක් පිටතට විහිදී පවතිනවා.