Sunday, January 15, 2023

ජ්‍යොතිෂය.

 


ජ්‍යොතිෂය ගැන ලියන්නෙ බොහොම කාලෙකින්. ජ්‍යොතිෂයෙන් එපිට අධ්‍යාත්මික බොහෝ දේ ගැන ලිව්වත් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් යමක් ලියන්න හිතුණෙ නෑ. වර්තමානයේ බොහෝ ජ්‍යොතිෂවේදීන්ගේ ජ්‍යොතිෂය භාවිතාව තරමක් අමුතු හින්දා ජ්‍යොතිෂය ගැන ලියන්න හිතුවා.


ජ්‍යොතිෂවේදීන් හැටියට අපි කටයුතු කරන්නෙ ලෝකයේ පැරණිම විද්‍යාවක් සමඟ. අපි පවත්වාගෙන යන්නෙ ලෝකයේ පැරණිම වටිනාම අධ්‍යාත්මික විද්‍යාවක්. ඒ වගේම වැඩියෙන් හෙලා දැකීම්, නොසළකා හැරීම්වලට ලක් වුණු විද්‍යාවක්. ජ්‍යොතිෂ විද්‍යාව ආධ්‍යාත්මික විද්‍යාවක්. ඉන්දියානු,ලංකා භූමිවල ආරම්භ වෙලා, සුමේරියානු ශිෂ්ටාචාරය තුළ වඩාත් දියුණුවට පත්වෙලා එතනින් බටහිර ලෝකයට ඇතුල් වුණු අනර්ඝ විද්‍යාවක් තමයි ජ්‍යොතිෂය කියන්නෙ. විශේෂයෙන්ම සුමේරියානුවන් මේ ආධ්‍යාත්මික විෂයේ දියුණුව වෙනුවෙන් ඉමහත් කැප කිරීම් කළා. අඩි හත්සියයක් උසට ඉදිකළ කුළුණක සිට දවසේ පැය විසිහතර පුරා අහස නිරීක්ෂණය කළා. මනුෂ්‍ය වර්ගයාට සිදුවන ඕනෑම දෙයක් සමඟ තාරකාවන්ගේ සම්බන්ධයක් ඇති බව ඒ අය සොයාගත්තා. ජ්‍යොතිෂ ශාස්ත්‍රීය ගණනය කිරීම් සඳහා ගණිතය අවශ්‍ය වුණා. ජ්‍යොතිෂය නිසාම ගණිතය බිහි වුණා. 


මෑත ඉතිහාසය ගත්තොත්, 1920 දි, රුසියානු විද්‍යාඥක් වුණු ඇලෙක්සැන්ඩර් චිහෙව්ස්කි තාරකා හා මනුෂ්‍යයින් අතර සම්බන්ධය ගැඹුරින් අධ්‍යයනය කළා. නිශ්චිත කාලයකට වරක් සූර්යයා මත දැවැන්ත න්‍යෂ්ටික පිපිරීම් සිදුවන බවත්, ඒ පිපිරීම් සිදුවන අවස්ථාවලදි පෘථීවියේ විප්ලව, යුද්ධ ආදිය සිදුවන බවත් ඔහු සොයාගත්තා. පසුගිය වසර හත්සියයක කාලය තුළ සූර්යයා මත එවැනි සංසිද්ධි ඇතිවූ සෑම විටම පෘථීවියේ නොයෙක් පෙරළි ඇති වුණු බව සොයාගත්තා. ඔහුගේ විශ්ලේෂණය නිවැරදි වුණත් එය මාක්ස්වාදී දෘෂ්ටිකෝණයට පටහැනි බැවින් ස්ටාලින් ඔහුව අත්අඩංගුවට අරගෙන සිරගත කළා. ස්ටාලින් මියයන තෙක්ම ඔහුට නිදහස ලැබුණෙ නෑ. පෘථීවියේ කුමන විප්ලවයක් සිද්ද වුණත් මාක්ස්වාදී හා කොමියුනිස්ට්වාදී චින්තනයට අනුව එය සිදුවන්නෙ මිනිසුන් අතර වන ආර්ථික වෙනස්කම් හින්දා මිසක් වෙන කිසිවක් හින්දා නෙමෙයි. නමුත් චිහෙව්ස්කි පැවසුවේ විප්ලවයට හේතුව සූර්යයා මත සිදුවන පිපිරීම් බවයි. චිහෙව්ස්කිගේ ප්‍රකාශය නිවැරදි නම් මාක්ස්ගේ සමස්ථ පද්ධතියම දූවිලි බවට පත්වෙනවා. චිහෙව්ස්කි වැරදිකරු බව ඔප්පු කරන්න පුළුවන් වුණේ නෑ. වසර හත්සියයක් ආවරණය වන පරිදි ඔහුගේ ගණනය කිරීම කෙතරම් විද්‍යාත්මකද කියනවා නම්, සූර්යයාගේ පිපිරීම් හා පෘථීවියේ සංසිද්ධි අතර ඔහු සොයාගත්  සම්බන්ධය මොන තරම් සමීපද කියනවා නම් ඔහු වැරදි බව ඔප්පු කරන්න කොහොමටවත්ම හැකි වුණේ නෑ. ස්ටාලින්ගෙ මරණයෙන් පස්සෙ කෘෂෙව් ඔහුව නිදහස් කළා. ඒ වෙන කොට ජීවිතයේ වටිනාම කාලය ඔහුට අහිමි වෙලා තිබුණා. නිදහස් වෙලා මාස කීපයකින් ඔහු මියගියා. ඒ මාස කීපය තුළ ඔහුගේ නිබන්ධනය සඳහා තවත් සාක්ෂි එකතු කළා. එහිදී, පෘථීවියේ සිදුවන වසංගත පැතිරීම කෙරෙහි සූර්යයාගේ සම්බන්ධය සොයාගත්තා.


බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් එවන් විසල් කැපකරීම් සිදුකොට ගොඩනඟන ලද විද්‍යාවක් අපි භාවිතා කළ යුත්තේ කොහොමද ?

අද ජ්‍යොතිෂවේදීන් බොහොමයක් දෙනා ඉතාමත් බොළඳයි. ඔවුන් ජ්‍යොතිෂයේ සැබෑ සාරය, ගැඹුර ගැන අවබෝධයෙන් තොරව ජ්‍යොතිෂය  ළඳ බොළඳ ආකාරයට පවත්වාගෙන යන අයුරු පෙනෙන්නට තිබෙනවා. එයින් ජ්‍යොතිෂයේ ව්‍යුහය බරපතළ ලෙස විනාශ වෙමින් පවතිනවා. කිසිදු අරමුණක් ඉටු නොවන, පරිවර්තනයකට ඉඩ නොතබන, විශ්වාසයක් තැබීමට පවා නොහැකි බොරු දොඩමින් මහමග පේන කියන තත්වයට ජ්‍යොතිෂය පත් කරමින් සිටිනවා.

ජ්‍යොතිෂය මට්ටම් තුනකට වෙන් කරන්න පුළුවන්.
1. භාහිර කොටස (පරිධිය)
2. දෙවැනි අර්ධය 
3. ඇතුළාන්තය (මධ්‍යය)

භාහිර කොටස 
කිසිදු අරමුණක් ඉටු නොකරන, පරිවර්තනයකට හේතු නොවෙන, පූර්ව ආරක්ෂාව සඳහා වැදගත් නොවෙන කාරණා මේ යටතට ඇතුළත් වෙනවා. දරුවා ගෑණුද පිරිමිද ? සහෝදර සහෝදරියො කීදෙනෙක් ඉන්නවද ? රක්ෂාව මොකක්ද ? ලොතරැයියක් ඇදෙයිද ? කෝටිපතියෙක් වෙයිද ? මැරෙන්නෙ කවදද ? ඔන්න ඔය වගේ දේවල්, අත්‍යවශ්‍ය නොවන, දැනගත්තත් වැඩක් නැති දේවල් භාහිර කොටසට අයිති වෙනවා. 
සාමාන්‍යයෙන් නාඩි වාක්‍ය විමසීමේදී මුල් පරිච්ඡේදයෙහි මෙවැනි කාරණා සඳහන් කරනවා. ඒ ඇත්තටම අදාල පත්ඉරුව තහවුරු කරගැනීමටද, නැත්නම් ඉදිරි පරිච්ඡේද ගැන උනන්දුව ඇති කිරීමට කෙරෙන විශ්වාසය ජනිත කිරීමක්ද කියන එක සැක සහිතයි. ඔවුන් පවසන පරිදි සියල්ල නොවෙනස්ව අඛණ්ඩව  සිදු වෙනවා නම් ආගම් මිත්‍යාවක් බවට පත්වෙනවා. එසේ නම් අපට කිසිවක් වෙනස් කළ නොහැකියි. එවිට ජ්‍යොතිෂය මෙවලමක් බවට පත්වන්නෙ නෑ.

දෙවැනි අර්ධය.

තීරණ ගැනීම සඳහා උපකාරී වන කොටස, පරිවර්තනය සඳහා අවශ්‍ය වන කොටස විදියට හඳුන්වන්න පුළුවන්. පූර්ව ආරක්ෂාව සලසා ගැනීම අතින්ද මෙම කොටස වැදගත් වෙනවා.

✼ රැකියාවට අමතරව, එහෙමත් නැත්නම් රැකියාවෙන් ඉවත්ව  ව්‍යාපාරයක් පටන්ගැනීම සුබද ? මේ වෙලාව ආයෝජනයකට යහපත්ද ?
✼ මේ රටේම මේ විදියට රැකියාව කරගෙන ඉන්න එකද හොඳ ? විදේශ රැකියාවකට යොමු වීමද හොඳ ?
✼ හවුල් ව්‍යාපාරයකට අතගහන එක හොඳද ? තනියම යමක් කරගෙන යන එක හොඳද ?
✼ අවදානම් සහිත කාලයක්ද ? ආරක්ෂිතව කටුතු කරන්න ගත යුතු තීන්දු තීරණ මොනවද ?
 
මේවා අරමුණක් ඉටු කරන ප්‍රශ්න විදියට සළකන්න පුළුවන්.මේ ආදී කාරණා  ප්‍රයෝජනවත් වෙනවා. "මිත්‍යා විශ්වාස අන්ධ ඇදහීම් වෙනුවට අත්‍යවශ්‍ය දේ සඳහා දොරටුවක්" ලෙස ජ්‍යොතිෂය අර්ථ දැක්වීමේදී මෙම කොටස බොහෝ දුරට වැදගත් වෙනවා.

ඇතුළාන්තය (මධ්‍යය)

මෙන්න මේ කොටස තමයි ජ්‍යොතිෂයේ සැබෑ සාරය. එහෙමත් නැත්නම් ජ්‍යොතිෂයේ ආධ්‍යාත්ම කලාපය. සියවස් ගණනාවක් තිස්සෙ භාවිතයට නොගෙන අතහැර දමා තිබෙන අරටුව. වෙනස් කළ නොහැකි සහ කලින් තීරණය කර ඇති සියල්ල අන්තර්ගත කොටස මෙයයි. එය තනිකරම අයත් වෙන්නෙ අභ්‍යන්තරයට. යමෙකුගේ කේන්ද්‍රය තුළ වඩාත් ගැඹුරට ගමන් කරන කොට කලින් තීරණය කරන ලද ඒකාන්ත කාරණා වෙත සමීප වෙන්න පුළුවන් වෙනවා.


සමහරු ජ්‍යොතිෂවේදියාගෙන් අහනවා 'මම කොපමණ කලක් ජීවත් වෙනවද ?' කියල. ඔවුන්ට ජීවත් වීම ප්‍රමාණවත්. ජීවත් වෙන්නෙ මොකටද...කුමක් සඳහාද ? එයයි දන ගත යුතු සැබෑව.


හෙට කුමක් සිදු වුණත් අදටත් එය සූක්ෂම ආකාරයෙන් පවතිනවා. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවෙ හිටපු ජනාධිපතිවරයා ඝාතනය වෙන්න දින තුනකට කළින් තමන් ඝාතනය වන ආකාරය සිහිනෙන් දුටුවා. තමන්ගෙ දේහය ධවල මන්දිරයෙ විශේෂ කාමරයක තැන්පත් කර තිබෙන ආකාරය, අවසන් ගෞරවය දැක්වීමට ජනතාව රැස්ව සිටින ආකාරය බොහොම පුදුමාකාර විදියට දින තුනකට කලින් සිහිනෙන් දැක්කා. සිදුවීම ඒ විදියටම වුණා. ලින්කන් පමණක් නෙමෙයි, අනාගත විශේෂ සිදුවීම් කල් තියා විඳගත් බොහෝ අය ඉන්නවා. දින කීපයකින් සිදුවීමට නියමිත දෙයක්, තවමත් සිදුව නැති දෙයක් සිහිනෙන් හෝ වෙනත් විදියකින් කල් ඇතුව දකින්නට ලැබෙන්නෙ කොහොමද ?   එම සිදුවීම ඒ මොහොතේ ද සිදුවෙමින් නොපවතින්නේ නම් එය සිහිනෙන් හෝ දැක ගත නොහැකියි.


කේන්දරයෙන් දකින්න ලැබෙන සුවිශේෂම කාරණය තමයි කිසිවක් වෙන්ව නැති බව. සියල්ල සම්බන්ධයි. හුදකලාවෙ කිසිවක් නෑ. සියල්ල එකිනෙකට සම්බන්ධයි. සියල්ල විශ්වයයි. ජ්‍යොතිෂය මමත්වයට විරුද්ධයි. ජ්‍යොතිෂවේදියාට මමත්වය තියෙන්න බෑ. ජ්‍යොතිෂය අපිට කියන්නෙ "ඔබ නෙමෙයි. විශ්වයයි" කියලයි.ජීවිතය අන්තර් සම්බන්ධිතයි. ලොකු කුඩා කියා කිසිවක් නෑ. සියල්ල කාබනික එකමුතුවක් පමණයි.  අන්තර් සම්බන්ධිත විශ්ව සම්බන්ධතාවයේ නම තමයි "ජ්‍යොතිෂය" කියන්නෙ. අපි වෙන්ව හෝ හුදකලා නොවී ඓන්ද්‍රීයව එකට එකතු වී සිටින බව තේරුම්ගත් පසු ජ්‍යොතිෂය අවබෝධ කරගැනීම පහසු වෙනවා.


කේන්දරය තුළ සටහන් වන්නේ සංසාරය නම් ජන්මියාට අතීත ග්‍රහණයෙන් මිදීම සඳහා අවශ්‍ය මඟ පෙන්වාදීම ජ්‍යොතිෂවේදියාගේ වගකීමක් වෙනවා. ඇතැම් ජ්‍යොතිෂවේදීන් සාංසාරික සාප ගැන නිතර සඳහන් කරන අයුරු මෙන්ම සාපය දුරු වීම සඳහා කුමක් කළ යුතු දැයි අසන විට දේව පූජා, යන්ත්‍ර පැළඳීම් ආදී හුදු භාහිර ක්‍රියාකාරකම් වෙත යොමු කරන ආකාරයත් සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබෙනවා. සාපයක් යනු සාංසාරික එසේත් නැතිනම් ඇතුළාන්තයෙන් මතුවන අවහිරයක් නම් ඊට තමන් විසින්ම අනුගමනය කළ යුතු අධ්‍යාත්මික පිළිවෙත් සම්බන්ධයෙන් අවබෝධයක් ජ්‍යොතිෂවේදීන් තුළ තිබිය යුතුයි. 


ස්වභාවධර්මය සෑම පුද්ගලයෙකුටම තමන්ටම අනන්‍ය වූ මාපට ඇඟිල්ලක් ලබාදෙනවා. ස්වභාව ධර්මය මොන තරම් සියුම් ගිණුමක් තබාගනීද යත් සෑම අයෙකුටම වර්තමානයේ හෝ අනාගතයේ වෙනත් කිසිවෙකුට අයිති නොවිය හැකි මාපට ඇඟිල්ලක් ලබාදෙනවා.මෙතෙක් මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් මිහිපිට ජීවත් වුණද, අනාගතයේ මිනිසුන් මොන තරම් ප්‍රමාණයක් මිහිපිට බිහි වූවද ඔබේ හෝ මගේ මාපට ඇඟිල්ල ඒ කිසිවෙකුට අයිති නොවූ සුවිශේෂී ඇඟිල්ලක්. නිවුන් දරුවන්ගේ පවා මාපට ඇඟිලි සලකුණු එකිනෙකාගෙන් වෙනස්. ඇඟිල්ලක් වැනි දේකට මෙතරම් පෞද්ගලිකත්වයක් ලබා දීමට ස්වභාවධර්මයට හැකි නම්, ඇඟිල්ලකට පවා මහත් අපූර්වත්වයක් ලබාදීමට හැකි නම් එය සෑම කෙනෙකුටම අද්විතීය ජීවිතයක් ලබාදිය නොහැකිද ?  

ජ්‍යොතිෂයේ ජීවගුණය රැකගැනීම සඳහා ජ්‍යොතිෂ හිතකාමී සෑම සියලු දෙනාම සැබෑ අවබෝධයෙන් කටයුතු කරත්වා!

සංජීව කුළුපන බණ්ඩාර.