Sunday, December 17, 2023

කේන්දරයේ පස්වැන්න.

  



ආදර සම්බන්ධතා ගැන කියැවෙන්නෙ කේන්දරයේ කුමන භාවයෙන්ද ? සිහියෙන් යුතු ඕනෑම ජ්‍යොතිෂවේදියෙක් කියයි පස්වැන්නෙන් කියල. ආදරය උපදින්නෙ හදවතේ නම්, හදවත ගැන කියැවෙන්නෙ සිව්වැන්නෙන් නම් සම්බන්ධතා ගැන ඇයි පස්වැන්නෙන් කියැවෙන්නෙ ? 

මාඕ සේතුං කුඩා කාලයේ මතකයක් ගැන මෙන්න මේ විදියට ලියල තියෙනවා. මාඕගෙ මවට ලස්සන මල් වත්තක් තිබුණා.  මාඕගෙ මහලු මව බොහොම ආදරෙන් මේ මල් වත්ත බලාගත්තා. මේ මල් වත්ත මොන තරම් ලස්සනද කියනවා නම් දුර පළාත්වලින් පවා ජනයා මල් වත්ත බලන්න පැමිණියා. අනපේක්ෂිත විදියට මාඕගෙ මව අසනීප වුණා. ඇය මල් වත්ත ගැන ගොඩක් කණගාටු වුණා.තමන් ආදරෙන් රැක බලාගත්තු මල් වත්තට මොනවා වෙයිද...?

 මාඕ කිව්වා "අම්මා දුක් වෙන්න එපා. මම මල් වත්ත හොඳට බලාගන්නම්..."

මාඕ උදේ සිට රෑ වෙනකල් මල් වත්ත බලාගත්තා. මාසයකින් පමණ මවට තරමක සුවයක්  ලැබුණා. ඇය මල් වත්ත බලන්න ආවා. මල් වත්තෙ තත්වය දැකලා ඇය කම්පාවට පත් වුණා. සියලු ගස් වේලිලා. මල් මැලවිලා. මල් වත්ත විනාශ වෙලා ගිහින්. ඇය බොහොම දුකෙන් මාඕගෙන් ඇහුවා " මෝඩයෝ...දවස තිස්සෙම මේකේ නේද හිටියෙ...? උඹ මොනවද මේකට වෙලා කළේ ? මල් වත්ත විනාශ වෙලා...ගස් වේලිලා ගිහින්...ඔක්කොම මැරෙන්නනෙ යන්නෙ..."


මාඕ අඬන්න පටන් ගත්තා. ඔහුටත් ගොඩක් දුකයි. ඔහු දවස තිස්සෙම මහන්සි වුණා. ඒත් මොකක් හරි හේතුවකට ගස් වේලිලා. මාඕ අඬ අඬා උත්තර දෙනවා. " මම ගස්වලට හොඳට සාත්තු කළා...ආදරය කළා. ඒවා සිපගත්තා. හැම කොලයකම තිබුණු දූවිලි පිහදැම්මා. මම දන්නෙ නෑ මොකක්ද වුණේ කියලා..."  මව හිනාවෙන්න පටන් ගත්තා. "උඹ නම් හරිම මෝඩයෙක් තමයි. උඹ තවම දන්නෙ නෑ මල්වල ජීවිතය තියෙන්නෙ මල්වල නෙමෙයි කියලා...කොළවල ජීවිතය තියෙන්නෙ කොළවල නෙමෙයි කියලා...මල් සිපගත්තට ඒවා පවතින්නෙ නෑ. කොළවල දූවිලි පිහදැම්මට ඒවට ජීවය ලැබෙන්නෙ නෑ. මුල්වලට සාත්තු සාත්තු කරන්න ඕනෑ"


 අපිටත් තියෙනවා ප්‍රශ්නයක්. කොහෙද අපේ මුල් තියෙන්නෙ ? අපි කොහෙන්ද මුල් ඇද්දෙ ? ආදර සම්බන්ධතා ගැන පහෙන් කියැවන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට හිමි ආධ්‍යාත්මික උත්තරය දෙන්න කලින් අපිත් අපේ මුල් ගැන දැනගන්න ඕනැ.


අපි කාගෙන් හෝ ඇහුවොත් ශරිරයෙ වැදගත්ම තැන, වැදගත්ම කොටස මොකක්ද කියල එයා කියයි හිස කියලා. කාන්තවක් නම් බොහෝ විට කියයි හදවත කියලා. හිස, හදවත දෙකම වැදගත්. ඒකෙ වරදක් නෑ. ඒත් අපේ මුල් ඇදපු තැන ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. ගසක් තම ජීවන ශක්තිය පොළවෙ ඇති මුල්වලින් ලබාගන්නවා වගේ ජීවන ශක්තිය උරාගන්නා විශේෂ ස්ථාන අපේ ශරීරයෙත් තියෙනවා. ශරීරය ජීවමානව,සජීවීව පවතින්නෙ අන්න ඒ හින්දයි. යම් කිසි දවසක මේ මූලයන් බෙලහීන තත්වයට පත් වෙන කොට ශරීරය මියැදෙන්න පටන් ගන්නවා.


දරුවෙක් මව් කුසේ ඉපැදී කාලයක් ඒ තුළම වැඩෙනවා. දරුවා මවට සම්බන්ධ වෙන්නෙ හිසින්වත් හදවතින්වත් නෙමෙයි. දරුවා සම්බන්ධ වෙන්නෙ නාභියෙන්. දරුවා නාභිය තුළින් ජීවන ශක්තිය උරාගන්නවා. මිනිස් ශරීරයේ වැදගත්ම ස්ථානය නාභිය යි. ඊට පසුව හදවතත් එතැනින් පසුව මනසත් වර්ධනය වෙනවා. ආදරය නමැති මල් හදවතේ පිපෙනවා. දැනුම නමැති මල් මනසෙ පිපෙනවා. සියල්ල සිද්ද වෙන්නෙ ඒවා මත තමයි කියල අපි හිතනවා. නමුත් අපේ මුල් පද්ධතිය, එහෙමත් නැත්නම් ජීව ශක්තිය තියෙන්නෙ නාභියෙ. එතන මල් පිපෙන්නෙ නෑ. ශරීරයේ ශක්ති මධ්‍යස්ථානය, ගුරුත්ව කේන්ද්‍රය නාභියයි


කුණ්ඩලිනි යෝග භාවනාව තුළ නාහි මණ්ඩලය සූර්ය ජාල චක්‍රය (Solar plexus chakra) විදියට හඳුන්වනවා. නාභිය නියෝජනය වෙන්නෙ කේන්දරයෙ පස්වන්නෙන්. පස් වැන්න කියන්නෙ විශ්ව කේන්දරයෙ රවි හිමි සිංහ රාශිය. මේ පස්වැන්න තමයි සම්බන්ධතා ඇති කරන තැන. ආදරයේ මල් විකසිත වෙන්නෙ හදවතේ වුණාට සම්බන්ධකම් ඇති වෙන්නෙ නාභියෙන්. 


සෘෂිවරු මොන තරම් ආධ්‍යාත්මිකද...? ඔවුන් ආධ්‍යාත්මිකව අවබෝධ කරගත් සියලු දේ අපි භාහිර මෙවලම් විදියට භාවිතා කරනවා. අපි ආධ්‍යාත්මික නෑ. අපිට ඕනැ කරන්නෙ සෘෂිවරු සොයාගත් දේවල් විතරයි. හැකි තරම් පොත්, හැකි තරම් දැනුම. 


බලන්න. නියමිත කාලය ආවම, ඒ කියන්නෙ දරුවා මවගෙන් වෙන් විය යුතු කාලය පැමිණි පසුව නාභිය හරහා තිබූ සම්බන්ධය කපා දමනවා. තමන්ටම කියල ජීවිතයක් ගත කරන්න දරුවා මවගෙ ශරීරයෙන් වෙන් වෙනවා. නාභිය තුළින් ලෑබූ ජීවන ශක්තිය නතර වුණාම දරුවාගේ ශරීරයම කම්පනය වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ගලා විත් එක් වරම නතර වුණු ජීවන ශක්තිය දරුවාගේ සමස්ත පැවැත්ම විසින්ම ඉල්ලා සිටිනවා. ජීවිතය සඳහා පොර බදන දරුවා තදින් හඬන්න පටන් ගන්නවා. හැඬුවෙ නැත්නම් ප්‍රශ්නයක්. වෛද්‍යවරු කලබල වෙනවා. මොකද, ජීවන ශක්තියෙන් වෙන්වීම දරුවට දැනෙන්න ඕනැ.


නාභිය හරහා ජීවන ශක්තිය උරාගත් දරුවා නැවත මව සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද ? දරුවා නැවත ජීවන ශක්තිය ලබාගන්නවා මවගේ කිරිවලින්. එහෙම නම් දරුවාගේ දෙවන සම්බන්ධය හදවත සමඟ සිද්ද වෙනවා.හදවතේ උපන් මහ මෙරක් තරම් ආදරය කිරි කරලා දරුවට පොවන කොට දරුවා මවගෙ හදවතේ උණුසුම විඳගෙන, හදවතේ රිද්මයට කන් දීගෙන වැඩෙනවා. තවත් පරිපථයක් නිර්මාණය වෙලා තියෙන අපූරුව බලන්න. දරුවෙක් මවගේ කිරිවලින් පෝෂණය නොවන්නේ නම් ඒ දරුවා සදාකල් දුර්වල වෙනවා. බොහොමයක් බටහිර රටවල දරුවන් ඉතාමත් ඉක්මණින් මව් කිරිවලින් වෙන් කිරීමේ ප්‍රතිඵල විදියට විරෝධාකල්පවලින් යුතු ළමයින් සමාජයට එකතු වෙනවා..තුවක්කුව අතට අරගෙන දෙමාපියන්ටත් වෙඩි තබා පාසලට ගොස් ගුරුවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට පවා වෙඩි තබන අවස්ථා ගැන වරින් වර අපට අසන්නට ලැබෙනවා.  පෙරදිග රටවලත් මේ අවාසනාවන්ත තත්වය සිදු වෙමින් පවතිනවා. පසළොස්වක පොහොය දවසෙ පවා වයසක අම්මව තාත්තව මහමගට ගෙනිහින් අතරමං කරන උගත් පොහොසත් දරුවො ගැන අපට අහන්නට ලැබෙනවා. මිනිස්සු බනිනවා " මුන් දරුවොද...?" ඒ දරුවන්ගේ හදවත වර්ධනය කිරීමෙහිලා දෙමාපියන්ගේ දායකත්වය ලැබුණාද නැද්ද අපි දන්නෙ නෑ. කිරි බොන වයසෙ දරුවො පවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගාල් කරන කොට, යන්තම් වචන උච්චාරණය කරන කොට පෙර පාසලට යොමු කරලා මනස පුරවන කොට ඔය වගේ දේවල් සිදුවීම අරුමයක් නෙමෙයි.


හිතන තරම් වේලාසනින් නෙමෙයි. ඇති තරම් මව් කිරි බීමෙන් අනතුරුව  දරුවාට මවගේ කිරිවලිනුත් වෙන් වෙන්න සිද්ද වෙනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ ? නාභියට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන්, හදවතට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන් මනසෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ වෙනවා.මෙන්න මේ අවස්ථාවෙ තමයි බොහෝ ගැටළු නිර්මාණය වෙන්නෙ. සියලු බර, සියලු කාර්යයන් මනසට පටවන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මනසෙන් ආදරය කරන කෙනෙකුගේ ආදරය ව්‍යාජයි. ආදරය හදවතේ කාර්යයක් මිසක් මනසේ කාර්යයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨතම ජීවන ශක්තිය තමයි ලිංගිකත්වය කියන්නෙ. ලිංගිකත්වය මනසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙ මධ්‍යස්ථානය තමයි නාභිය. අද ලෝකය පුරා මනස්වලට  ලිංගිකත්වය ඇතුල් වෙලා. දවසේ පැය විසිහතර පුරාම ලිංගිකත්වය ගැන සිතන තත්වයක් ඇති වෙලා. ලිංගිකත්වයේ සැබෑ අපූර්වත්වය, ප්‍රීතිය මිනිසාගෙන් දුරස් වී යමින් පවතිනවා. 


 ජීවිතයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථාන තුනක කාර්යය තනි මනස වෙත පවරන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාජයේ බහුතරයක් අඩ සිහියෙන් ක්‍රියාත්මක වෙනවා. 


ජීවනයේ මධ්‍යස්ථානය නාභියයි. හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය හදවතයි. සිතීමේ මධ්‍යස්ථානය මනසයි. මේ එක් එක් මධ්‍යස්ථානය නියමිත රිද්මයට සුසර කිරීමේ මාර්ගය භාවනාවයි. 


එක්තරා ජ්‍යොතිෂ සමූහයකට කෙනෙක් යොමු කරනවා තමන් දුටු සිහිනයක් ගැන ප්‍රශ්නයක්. ජ්‍යොතිෂවේදියෙක් පිළිතුරු දෙනවා. "අහවල් පොතේ අහවල් පරිච්ඡේදයෙ අහවල් පිටුවෙ ඔය සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා..." මොන ලැජ්ජා නැති උත්තරයක්ද...  මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට පොත බලලා උත්තර දෙන මිනිස්සු. කෙනෙක්ගෙ ප්‍රශ්නයකට අනුන්ගෙ උත්තර සපයන මිනිස්සු. මෙන්න මේ අය තමයි දක්ෂයො විදියට සැළකන්නෙ. මනස වැඩියෙන් පුරවා ගත්තු ඒත් තමන්ගෙම කියල උත්තරයක් නැති මිනිස්සු. අපිට තියෙන්නෙ අනුන්ගෙ දැනුම වුණාට, තියෙන්නෙ අනුන්ගෙ උත්තර වුණාට මමත්වයේ අඩුවක් නෑ. ලොකුකමේ අඩුවක් නෑ.  සමහරුන්ගෙ චන්ඩිකමේ අඩුවකුත් නෑ. 


කේන්දරය තුළ හදවතේ මධ්‍යස්ථානය සහ ජීවනයේ මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් නාභි මධ්‍යස්ථානය එක ළඟ පිහිටලා තියෙනවා. ඊළඟට අභියෝගාත්මක එහෙමත් නැත්නම් බාධක ස්ථානයක් පසු කර විවාහ ස්ථානය පිහිටලා තියෙනව. බොහොම අපූරු, එමෙන්ම හේතු යුක්ති සහගත පෙළගැස්මක්. ඒ පෙළගැස්ම බොහෝ දේවල් අවබෝධ කරලා දෙනවා. 

සංජීව කුළුපන බණ්ඩාර