Wednesday, August 12, 2026

සෙනසුරු වක්‍රයි. පරෙස්සමෙන්.

 


සෙනසුරු මෙම වසරේ තම වක්‍ර ගමන ආරම්භ කළේ ජූලි 26 වෙනිදාය. වක්‍ර ගමන නිමා වන්නේ දෙසැම්බර් 11 වෙනිදාය. 2026.07.26 න් ඇරඹී 2026.12.11 තෙක් කාලය යහපත් කාලයක් නොවේ. මාර්ග අනතුරු, මනුෂ්‍ය ඝාතන, අකල් මරණ, කෝලාහල ,උද්ඝෝෂණ ආදියේ ඉහළ යමක් මෙම කාලය තුළ සිදුවේ. 


සැප්තැම්බර් 25 වෙනිදා පටන් දෙසැම්බර් 11 තෙක් කාලය වඩාත් අවදානම්ය. බොහෝ දෙනා දුරදිග නොබලා කටයුතු කිරීම හේතුවෙන් නීතියට හසුවීම,සිරගත වීම ආදී කරදරවලට මුහුණ දීමට සිදුවේ.


තම ජරාජීර්ණ වූ ඇතුලාන්තය සඟවමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ බලයෙන් වැජඹුණු බොහොමයක් දෙනා නීතියට හසු වන ආකාරයද 2026.12.11 තෙක් කාලය තුළ දැක ගැනීමට හැකි වනු ඇත.


සෙනසුරු වයෝවෘද්ධ යාචකයෙකි. පාදයක තුවාලයකි. ඇවිද යන්නේ ඉතා අපහසුවෙනි.වැරහැලි වූ ඇඳුම්ය. ප්‍රියමනාප පෙනුමක් නැත. ඔහු හා ගැවසෙන්නේ කපුටන් සහ බල්ලන්ය. කරේ මල්ලකි. ඒ, ජ්‍යොතිෂය තුළ සෙනසුරු සංකේතවත් කර ඇති ආකාරයයි. දුක,කණස්සල්ල. කරදර,ගැහැට,ලෙඩ රෝග ආදියට කාරක ග්‍රහයා සෙනසුරුය. පාපකාරී කටයුතුවල යෙදීම, නීතියට පටහැනිව ක්‍රියා කිරීම, අනුන්ට කරදර හිරිහැර වන සේ හැසිරීම,සතුන්ට හිංසා පීඩා සිදු කිරීම, ඊර්ශ්‍යාවෙන් යුතු වීම සෙනසුරුගෙන් දැඩි පීඩාවන් එල්ල වීමට හේතු වේ.


කරේ මල්ලක් තිබෙනවා නම් ඔහු සතුව යමක් තිබිය යුතුය. එය ඇත්තය. සෙනසුරු දෙන විට දෙන්නේ මදි නොකියන්නටය. සෙනසුරු යනු යමෙක් රජෙක් කරවන්නටත් හිඟන්නෙක් කරවන්නටත් හැකි ග්‍රහයෙකි. සෙනසුරුගෙන් යහපත බලාපොරොත්තු වීමට නම් ධාර්මික විය යුතුය. නීතියට අවනත විය යුතුය. ඊර්ශ්‍යාව ක්‍රෝධය තණ්හාව දුරු කළ යුතුය. අන්‍යයන්ට කරදර හිරිහැර නොවන සේ ජීවිතය ගත කළ යුතුය. සතුන්ට හිංසා පීඩා නොකළ යුතුය. යාචකාදීන්ට හැකි පමණින් දන් දිය යුතුය. කේලම් කීම,අනුන් කෙටවීම ආදියෙන් වැළකිය යුතුය. අධ්‍යාත්මික උතුමන්ට අපහාස කිරීමෙන් වැළකිය යුතුය. පිදිය යුත්තන් පිදිය යුතුය.


සෙනසුරු බලපෑම්වලින් මිදීමට කළ යුතු පිළිවෙත් අතර යාචකයින් උදෙසා දන්දීම ප්‍රධාන කොට දක්වා තිබේ. එය සිදු කළ යුත්තේ සෙනසුරාදා දින හතක් උදේ වරුවේය. පාදයක් ආබාධිත යාචකයෙකුට මස් මාළු ආදියෙන් තොරව ආහාර වේලක් පිළිගැන්විය යුතුය.

උඳු,තල,කොල්ලු මිශ්‍ර ආහාර දන්දීමද යහපත්ය.

දිනපතා මෛත්‍රී භාවනාව වැඩිම ඉතාමත් යහපත්ය.

සෙනසුරාදා දින හතක් උදේ වරුවේ කපුටන්ට එළඟිතෙල් මිශ්‍ර කිරිබත් දැමීමද පුරාණාගත ප්‍රතිකර්මයකි.

"ඕම් ශං ශනෛශ්චරාය නමහ්" මෙය සෙනසුරුදා දිනවල 108 වරක් ජප කිරීමද ප්‍රතිඵලදායකය.

අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී  සංජීව කුළුපන බණ්ඩාර.


Monday, July 27, 2026

 වරම් දරුවෙක් නැති ගමක් නැති තරම්ය. වරම් දරුවෝ ඒ තරමට සිටිති. වරම් දරුවෝ යනු වරමින් සාස්තර කියන්නෝය. ජනයාගේ අනේකවිධ ගැටළු විසඳා ගැනීමට වරම් බලයෙන් සහාය වන්නෝය. ඔවුන්ගේ දැන්වීම් පුවරුවල සඳහන් පරිදි ඒවා දේව වරම්ය. ඇතැම් වරම් කඩවර දෙවියන්ගේය.ඇතැම් වරම් කතරගම දෙවියන්ගේය. පත්තිනි මෑණියන්ගේ වරමින් කටයුතු කරන්නෝද වෙති. ඔය ආදී වශයෙන් වරම් යනු දේව වරම්ය.


විශ්වය තුළ විශ්මිත කිසිවක් නැත. ඒ විශ්වය අවබෝධ කරගත් උත්තමයින්ටය. පෘථජ්ජන සාමාන්‍ය ජනයාට විශ්වය තුළ විශ්මිත දේ එමටය. වරමද එවැන්නකි. යක්ෂ,ප්‍රේත,බහිරව ආදීන් ගැන ද බොහෝ දෙනා තුළ පැහැදිලි අවබෝධයක් නැත. වරම් පිළිබඳව ලියැවෙන මෙම ලිපියෙන් ආරම්භ වන්නේ ඉහත කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පවතින ගැටළු, සැක සංකා දුරු කිරීම සඳහා වන ලිපි පෙළකි. ගුප්ත ලෝකයේ සියලු තතු විත්ති ඔබට අනාවරණය කර දීමට බලාපොරොත්තු වෙමි.


ඇතැමුන්ට අනුව වරම් යනු දෙවියන් ශරීරයට ආරූඩ වී සාස්තර කීමකි.තවත් අය විශ්වාස කරන පරිදි ආරූඩවීම මානසික රෝගයකි. වරම් යනු අමූලික බොරුවක් යැයි පවසන්නෝද වෙති.වරම්වලට පැමිණෙන්නේ ප්‍රේතයින්  බව තවත් අයගේ අදහසය.


දේව,යක්ෂ,ප්‍රේත,බහිරව මනුෂ්‍ය,තිරිසන් ආදී සියල්ලෝ සතර මහා භූතයින්ගෙන් සෑදුණු ජිවියෝය. සතර මහා භූතයෝ නම් ආපෝ, තේජෝ,වායෝ, පඨවි යන සතරය. ලොව සියලු දේ සෑදී ඇත්තේ මෙම මූල ධාතුන්ගෙනි. සක්කාය දිට්ටිය මගින් පෘථජ්ජන මනුෂ්‍යයා මම යනුවෙන් තදින් අල්ලාගෙන සිටින ශරීරය සෑදී ඇත්තේද මෙම මූල ධාතුවලිනි. මනුෂ්‍ය තිරිසන් ආදී සත්ව ශරීරවල පඨවි ධාතුව බලවත් බැවින් ඔවුන් පියවි ඇසට පෙනෙන නමුත් අමනුෂ්‍ය ශරීරවල වායෝ ධාතුව බලවත් බැවින් පියවි ඇසට දැක ගැනීම අපහසුය. දැක ගැනීමේ හැකියාව ඇති අයද නැතුවා නොවේ.


කුසල් අකුසල්, පින් පව් ශක්තින් අනුව දේව,යක්ෂ, ප්‍රේත,බහිරව ආදීන්ගේ ශක්තිය,ස්වරූපය විවිධාකාර වේ. දෙවිවරු අල්පේශාක්‍ය මහේශාක්‍ය වශයෙන් දෙකොටසකි. පින් බලය අනුව සැප වැඩි හා සැප අඩු දෙවිවරු වශයෙනි.සම්‍යක්දෘෂ්ටික හා මිත්‍යාදෘෂ්ටික වශයෙන්ද දෙවිවරු දෙකොටසකි. ඒ, ධර්මයට කැමති හා ධර්මයට අකමැති දෙවිවරු වශයෙනි. බුදු දහම තුළ වැඩි වශයෙන් සඳහන්ව ඇත්තේ දිව්‍ය ලෝකවල වාසය කරන දෙවිවරු ගැනය. ජීවත්ව සිටියදී අන්‍යයන්ට නොයෙක් ආකාරයෙන් උපකාර කළවුන්, වීර ක්‍රියා කළවුන්, යුක්තිගරුකව රාජ්‍ය පාලනය කළවුන් මරණයෙන් පසුව ජනයා විසින් දේවත්වයෙන් අදහනු ලබති. කඩවර,කන්දකුමාර,මහාකාලි, විභීෂණ,සුමනසමන්, දැඩිමුණ්ඩ,වීරමුණ්ඩ,පත්තිනි, රන්වල ආදී තවත් බොහොමයක් දෙවිවරු මේ යටතේ සඳහන් කළ හැකිය. ඔව්හු දිව්‍ය තලවල වාසය කරන දෙවිවරු නොවෙති.


ප්‍රේතයින් වර්ග හතරකි.

1. නිජ්ඣාමතන්හික- ගින්නෙන් දවනු ලබන බිල සහිත ගසක් මෙන් ශරීරය ඇතුළත කුසගින්නෙන් දැවෙන ප්‍රේතයින්.

2. කුප්පිපාසිත- දිගු කලක් ආහාර පාන නොමැතිව සා පිපාසා දෙකින් පීඩිතව සිටින ප්‍රේතයින් 

3. 3.පංසුපිසාචික- වමනය,සෙම්,සොටු,සැරව ආදිය ආහාරයට ගන්නා ප්‍රේතයින්.

4.පරදත්තූපජීවී- ඥාතීන් විසින් දෙනු ලබන පිනෙන් ජීවත් වන ප්‍රේතයින්.


මේ අනුව පින් අනුමෝදන් කර ගැනීමට හැකියාව ඇත්තේ පරදත්තූපජීවී ප්‍රේත කොට්ඨාශයට පමණි. සාස්තර කීම, අඳුන් බැලීම,කර්ණමුණ්ඩ ආදී ගුප්ත කටයුතු සඳහා සම්බන්ධ වන්නේ ද මෙම ප්‍රේත කොට්ඨාශයයයි.මෙම ප්රෙතයින්ද විවිධාකාර ස්වරූපයන්ගෙන් හා විවිධාකාර ශක්තීන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඇතැමුන් සත්‍ය පවසන අතර සත්‍ය අසත්‍ය දෙකම පවසන ප්‍රේතයෝද වෙති.


දේව කොට්ඨාශවලට අයත් කිසිදු දෙවියෙක් වරම් සමග සම්බන්ධ නොවේ. වරම් සමග සම්බන්ධ වන්නේ පරදත්තූපජීවී ප්‍රේත කොට්ඨාශය පමණි.


යක්ෂ,ප්‍රේත,බහිරව වශයෙන් අමනුෂ්‍යයන් බෙදී යන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ද පැහැදිලි කළ යුතුය. ප්‍රචණ්ඩකාරී බව,දැඩි පාපී බව,වේගවත් බව, අධික නොසන්සුන් බව, දුෂ්ට බව යක්ෂ ලෙස හඳුන්වන අමනුෂ්‍ය කොට්ඨාශය තුළ පොදුවේ දකින්නට ලැබේ. මෙයින් අදහස් කරන්නේ මහසොහොන්,සන්නි,රීරි, කළු ආදී යක්ෂයින් නොවන බවද අවබෝධ කර ගත යුතුය. පොදුවේ ප්‍රේතයින් වුවද ශක්තිය,වේගය,පාපී බව වැඩි බැවින් යක්ෂ ලෙස හඳුන්වන අමනුෂ්‍යයින්ය.ඇතැමුන් ආරූඩවී තමන් මහසෝනා,රීරියකා ආදී ලෙස පවසන්නේ නම් අවබෝධ කර ගත යුතු වන්නේ කපටි ප්‍රේතයෙක් විසින් අන්‍යයන් රැවටීමට උත්සාහ කරන බවයි. මම එවැනි අවස්ථා රැසක් අත්දැක ඇත්තෙමි.


බහිරවයෝ නම් භූමිය ඇසුරු කරගෙන වෙසෙන අමනුෂ්‍යයෝය. ඔවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා ශරීරවලින් යුක්ත වූවන් බව පොදු පිළිගැනීමයි. එය සත්‍යයකි. නිධාන්,පෞරාණික ස්ථාන,ආශ්‍රිතව වෙසෙන බහිරවයෝ සහ සාමාන්‍ය ඉඩම් ආශ්‍රිතව වෙසෙන බහිරවයෝ වශයෙන් දෙකොටසකි.බහිරව දෝෂ ලෙස හඳුන්වන්නේ පදිංචි ඉඩම් අශ්‍රිතව වෙසෙන බහිරවයින්ගෙන් එල්ල වන බලපෑම්ය.


වරම් දෙකොටසකි. බාහිර වාහක වරම් හා අභ්‍යන්තර වාහක වරම් යනුවෙනි. බාහිර වාහකයෙක් සම්බන්ධ වී සිදුකෙරෙන සාස්තර කීමේදී ආරූඩ වීමක් සිදු නොවේ. ප්‍රේතයා ශරීරයට ඇතුල් නොවේ.අවශ්‍ය දේ ප්‍රේතයා පවසන්නේ වරම් හිමියාගේ කනටය.එවිට ප්‍රේතයා පවසන දේ වරම් හිමියා විසින් සාස්තරය ඇසීමට පැමිණි තැනැත්තාට පවසයි.කර්ණමුණ්ඩය නමැති ක්‍රමවේදයේදී සිදුවන්නේ ද මෙයයි.වේවැලකට හෝ වෙනත් යමකට ප්‍රේතයෙකු බන්ධනය කරගෙන අවශ්‍ය වූ විට එය කනට තබාගෙන සාස්තර කීම කර්ණමුණ්ඩයෙන් සාස්තර කීම ලෙස හඳුන්වනු ලැබේ. අංජනම් එළි බැලීමේදීද සිදුවන්නේ බාහිර වාහක ක්‍රමයයි.ඇතැමුන් සිහි වරම් ලෙස හඳුන්වන්නේ කිසිදු වෙනසකින් තොරව සිහියෙන් සිට සාස්තර කීමය.මෙහිදී සිදුවන්නේ ද ප්‍රේතයා ශරීරයට ඇතුල් නොවී පිටත සිට පවසන දේ වරම් හිමියා අන්‍යයන්ට පැවසීමය.අවශ්‍ය දේ ලියා පෙන්වන ප්‍රේතයෝද වෙති.එනම් ප්‍රේතයා පැන්සලකට හෝ පෑනකට බන්ධනය වී ක්‍රියාත්මක වීමය.බාහිර වාහකයෙක් ලෙස කටයුතු කරන ප්‍රේතයා ශරීරයට ඇතුල් නොවේ.


ප්‍රේතයෙක් ශරීරයට ආරූඩවී සාස්තර කීම අභ්‍යන්තර වාහක ක්‍රමයයි.මෙහිදී සිදුවන්නේ ප්‍රේතයෙක්  හෝ ප්‍රේතයින් කීප දෙනෙක් ශරීරයට ඇතුල් වී ක්‍රියාත්මක වීමයි.ඇතැමුන්ගේ ශරීරවලට ඇතුල් වන්නේ එක් ප්‍රේතයෙක් පමණක් නොවේ.ප්‍රේතයින් කීප දෙනෙක් සමග කටයුතු කරන්නෝද වෙති.මෙය බාහිර පුද්ගලයින්ට පැහැදිලිව හඳුනා ගැනීමට අපහසුය.


ප්‍රේතයෙකුට ඕනෑම ශරීරයකට ඇතුල් විය හැකිද?ප්‍රේතයින් ශරීරයකට ඇතුල්වන්නේ කොහොමද?බොහෝ දෙනා විසින් මෙවැනි ප්‍රශ්න නගන අවස්ථා තිබේ.


ඕනෑම කෙනෙකුගේ ශරීරය වටා සූක්ෂම ශරීරයක් පවතී. මෙය මනෝකාය ලෙසද හැඳින්වේ.අපට ශරීරයේ මුහුණ,අත,පය ආදියේ කෙළවරවල් පැහැදිලිව පෙනෙන නමුත් සියුම්ව අංශුමය ආකාරයෙන් පිටතට විහිදුණු ප්‍රමාණයක් ද පවතී.මෙය ශරිවල පමණක් නොව ලොව ජීවී අජීවී සෑම සියලු දෙයක් සමගම සම්බන්ධ වී පවතී. ලොව සියලු දේ සෑදී ඇත්තේ මූල ධාතු සතරකින් බව ඉහත සඳහන් කළෙමි. විසිරුණු ස්වභාවයෙන් යුතුව පවතින මෙම මූල ධාතු ඇසට නොපෙනන වේගයෙන් භ්‍රමණය වෙමින් අපට පෙනෙන සීමාවෙන් ඔබ්බට විසිරී පවතී.ශරීරයෙන් පිටතට විහිදුණු කොටස මනෝකාය, සූක්ෂම ශරීරය,ශරීර කිරණ ආදී වශයෙන් හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් එය Human Aura යනුවෙන් හැඳින්වේ.බුදුන්,යේසුස්,මහාවීර වැනි උතුමන්ගේ ශීර්ෂය වටා පවතින්නේද මෙම ශරීර කිරණයි.එය උන්වහන්සේලාගේ ශීර්ෂය වටා පවතින්නේ කෙසේද යන්න ඉදිරි ලිපියකදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි. 


ශරීරය වටා පිහිටි සූක්ෂම ශරීරය හෙවත් ප්‍රභා මණ්ඩලය නොයෙක් දෙනාට පිහිටන්නේ නොයෙක් ආකාරයටය.මෙය වඩාත් දීප්තිමත් වීමට හා වඩාත් දුරට විහිදීමට ඇතුලාන්ත සමාධිය අවශ්‍ය වේ. දුක,කණස්සල්ල,සතුට,ප්‍රීතිය,කරුණාව,මෛත්‍රිය,ඊර්ශ්‍යාව,ක්‍රෝධය ආදී හැඟීම් හා ගති ස්වභාවයන් සමග ශරීර ප්‍රභා මණ්ඩලය වෙනස් වේ.අප දන්නා පරිදි වරම් හිමි බොහොමයක් දෙනා අධ්‍යාපනය,දැනුම,අවබෝධය,සමාජ තත්වය අතින් එතරම් ඉහළ තත්වයක අය නොවේ.සිත තුළ නිතර පවතින පසුගාමී පරාදීන හැඟීම් අනුව ශරීර රශ්මි මණ්ඩලය දුර්වල වෙයි.දුර්වල ශරීර රශ්මි මණ්ඩලයක් හරහා ඇතුළු වී විඥානයක් සමග එක්වීම අමනුෂ්‍යයෙකුට පහසුය.වරක් අමනුෂ්‍යයෙකු ඇතුළු වූ ශරීරයකට තවත් අමනුෂ්යින්ට ඇතුළු වීමද පහසුය.ශරීර රශ්මි මණ්ඩලයේ ශක්තිය, ස්වරූපය පවතින්නේ සිතුවිලිවල ස්වභාවය මතය.සිත දුර්වල වන අවස්ථාවල රශ්මි මණ්ඩලයද දුර්වලය.ඇතැම් අමනුෂ්‍යයෝ එවැනි අවස්ථාවල ශරිවලට ඇතුළු වෙති.තනිව සිටින විට හෝ බියක් දැනුණු විට හිත දුර්වල කර නොගන්නැයි පැරැන්නෝ පැවසුවේ එබැවිනි. නිතර මිය ගිය අයෙක් ගැන සිතමින් කාලය ගත කරන විට එම මිය ගිය පුද්ගලයා ප්‍රේත ලෝකයේ උපත ලබා සිටින්නේනම් තමන් වෙත සමීප වී ශරීරයට ඇතුල් වීමට ඉඩ තිබේ.තම සිතුවිලි රටාව මගින් සැකසෙන ශරීර රශ්මි මණ්ඩලය ප්‍රේතයාට හිතකර ලෙස හා ඇතුල් වීමට හැකි ලෙස පැවතිය හැකි බැවිනි.අමනුෂ්‍යයින් පළමුව සම්බන්ධ වන්නේ ශරීර රශ්මි මණ්ඩලය සමගය.රශ්මි මණ්ඩලය සමග සම්බන්ධ වන අමනුෂ්‍යයා එය ශරීරය දෙසට තල්ලු කරමින් ශරීරය ග්‍රහණය කරගෙන පුද්ගලයාගේ විඥානය හැසිරවීමට පියවර ගනියි. අමනුෂ්‍යයා රශ්මි මණ්ඩලය සමග එක්වූ තැන් පටන් පුද්ගලයාගේ ස්වභාවය වෙනස් වීමට පටන් ගනියි.


වරමක් ලැබෙන විට නොඑසේනම් අමනුෂ්‍යයෙක් ශරීරයට ඇතුළු වන විට ඕනෑම අයෙකුට තද හිසේ කැක්කුමක් ඇති වන බව නොරහසකි.මෙය සිදුවන්නේ මනෝකායේ මූල ධාතු කොටස් තෙරපීම හේතුවෙන් ස්නායු පද්ධතියට බලපෑම් එල්ල වීම හේතුවෙනි.අමනුෂ්‍යයින් ආරූඩ වූ විට බොහෝ දෙනා දැඩි අපහසුවකින් දඟලමින්, හිස වනමින් හැසිරෙන ආකාරය ඔබ දැක ඇතුවාට සැකයක් නැත.බොහෝ විට මෙය සිදුවන්නේ වරම් ලැබුණු මුල් කාලයේය.කාලයත් සමග ශරීරය ඊට හුරු වෙයි.


ප්‍රේතයින්ගේ නොයෙක් ශක්ති මට්ටම් ඇති බව මම කලින් සඳහන් කළෙමි. ඇතැම් වරම් හිමියන් පවසන කරුණු සත්‍ය වන අතර තවත් අය පවසන කරණු අතර සත්‍ය හා අසත්‍ය දෙකම පවතී.උවමනාවෙන්ම අසත්‍ය පවසන ප්‍රේතයෝ ද වෙති.ඇතැම් ප්‍රේතයෝ නොහැකියාව නිසා අසත්‍ය පවසති.ඇතැම් වරම් සුපිරි මට්ටමේ ඒවා වන අතර ඇතැම් වරම් වැඩකට නැති ඒවාය.ප්‍රේතයාගේ මූලිකම කාර්යය වන්නේ වරම් හිමියාට උපරිම වාසි අත්වන පරිදි කටයුතු කිරීමය.


සාස්තර ඇසීමට යන පුද්ගලයා සමග ගොස් වරම් හිමියාගේ ශරීරයට ඇතුළු වී සාස්තර කියන ප්‍රේතයෝද නැතුවා නොවේ.සාස්තරය තිතටම කියැවුණා යැයි කියමින් නිවසට පැමිණෙන පුද්ගලයා තමන් සමග ගිය ප්‍රේතයා ගැන කිසිවක් නොදනී.ප්‍රේත ලෝකයේ පුදුමාකාර ප්‍රේතයින් සිටිති.ප්‍රේතයින් සමග කටයුතු කිරීමද සීරු මාරුවට කළ යුත්තකි.ඇතැම් ප්‍රේතයෝ ක්ෂණිකව වෙනස් වන අවස්ථාද ඇත.වරම් එක්වරම අතුරුදන් වන්නේ එබැවිනි.වරම නොපැමිණෙන බව පවසමින් වරම නැවත ලබාගැනීමට ඇතැම් වරම් දරුවන් ඇදුරන් හමුවන්නේ එවැනි අවස්ථාවලදීය. 


මළවුන් ගෙන්වීමද ඇතැම් වරම් හිමියන් සිදු කරන තවත් කටයුත්තකි. තම මිය ගිය ඥාතියා ගෙන්වාගෙන කතා බහ කිරීමේ බලාපොරොත්තුවෙන් වරම් හිමියන් වෙත යන්නෝ කොතෙකුත් වෙති.මළවුන් ගෙන්වීමේ කාර්යය සෑම වරම් හිමිකම සිදු නොකරන අතර එම හැකියාව ඇති වරම් හිමියන් නැතුවා නොවේ.මිය ගිය පුද්ගලයා ප්‍රේත භවයක උප්පත්තිය ලබා ඇත්නම් ඔහු හෝ ඇය ගෙන්වා කතා කිරීමට අවස්ථාව උදා කිරීමේ හැකියාව වරම් හිමියාට ඇත.වරම් හිමියන් සමග කටයුතු කරන ඇතැම් ප්‍රේතයින් මෙහිදී උපායශීලී ක්‍රමවේදයන් අනුගමනය කරන බවද ඔබ තේරුම් ගෙන සිටිය යුතුය.එනම් තම මිය ගිය ඥාතියා ලෙස රඟපාමින්, ඒ ආකාරයට කතා කරමින් ඔබ මුලා කිරීමය.ඇතැම් ප්‍රේතයින්ට විවිධාකාර හැකියාවන් ඇති බව මම මුලින් සඳහන් කළෙමි. මිය ගිය පුද්ගලයෙක් ජීවත්ව සිටියදී කතා කළ ආකාරයට ඒ හඬින්ම කතා කිරීමේ හැකියාව ඇති ප්‍රේතයෝ වෙති.එබැවින් තමන් හා සන්නිවේදනය කරනු ලබන්නේ තම මිය ගිය ඥාතියාම යැයි නිවැරදිව නිශ්චය කර ගැනීම පහසු නොවේ.ඇතැම් විට වරම් හිමියාගේ ඥාති ප්‍රේතයා විසින් ඔබ මුලා කරනවා වීමටද ඉඩ තිබේ.


වරම් හිර කිරීම, වරමට පැමිණෙන ඥාතියා ඉවත් කිරීම,හිර කරන ලද වරම් හිර කපා නැවත යථා තත්වයට පත් කිරීම වැනි කටයුතු දක්ෂ අදුරෙකුට 
එතරම් අපහසු කාර්යයන් නොවේ.ඒ හා සම්බන්ධ ක්‍රමවේදයන් විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි.එවැනි කටයුතු පාඨක ජනතාවට වැදගත් නොවන බැවිනි.


ප්‍රේතයින් සමග කටයුතු කිරීම ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුතු බව මම ඉහත සඳහන් කළෙමි.ප්‍රේතයින් සමග දීර්ඝ කාලයක් කටයුතු කිරීම වඩාත් අවදානම්ය.තම අවසාන මොහොතේදී කයෙන් ඉවත්වන මනෝකාය ප්‍රේතයින්ගේ ග්‍රහණයට හසු වීමට ඇති ඉඩකඩ අධිකය.එවිට සිදුවන්නේ ප්‍රේත ලෝකය තුළ ප්‍රේතයෙකු වී කල්ප කාලාන්තරයක් දුක් විඳීමටය.එබැවින් ප්‍රේතයින් සමග කටයුතු කිරීමෙන් වැළකී සිටීම සෑම අතින්ම ගුණදායකය.


ඇතැම් වරම් දීර්ඝ කාලීන වන අතර ඇතැම් වරම් තාවකාලිකය.ඥාති ප්‍රේතයා අකමැති ක්‍රියා කලාපයක් වරම් හිමියා විසින් අනුගමනය කරන අවස්ථාවකදී ඥාති ප්‍රේතයා ඉවත් වීමට ඉඩ තිබේ.වරම අහිමි වූ බව ඇතැමුන් පවසන්නේ එවැනි අවස්ථාවලදී ය.ප්‍රේතයා එම ප්‍රේත භාවයෙන් මිදුණු විට ද වරම අහිමි වේ.ඇතැම් පළපුරුදු වරම් හිමියන් විසින් අනුන්ගේ ඥාති ප්‍රේතයින් තමන් සතු කරගෙන වරම පවත්වාගෙන යන අවස්ථාද ඇත. 


යක්ෂ වරම් ප්‍රේත වරම්වලට වඩා බලවත්ය.යක්ෂ වරම් යනු සම්මත යක්ෂයින්ගෙන් ලැබෙන වරම් නොවේ.ප්‍රේත ලෝකයේම ශක්තිය, බලය, විර්යය අතින් ඉහළ මට්ටමක සිටින අයගෙන් ලැබෙන වරම්ය.කෙසේ වෙතත් යක්ෂ වරම් වඩාත් බලවත් වන්නේ යහපත් කටයුතුවලට වඩා අයහපත් කටයුතු සම්බන්ධයෙන්ය.


අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 

සංජීව කුළුපන බණ්ඩාර 

Wednesday, July 15, 2026

ජීවිතයේ හාස්කම් සිදු කරන "හුස්ම".



 ජීවිතය ආරම්භ වන්නේ හුස්මකිනි. ජීවිතය අවසන් වන්නේද හුස්මකිනි. ජීවිතය යනු ප්‍රවාහයකි. ගලා යාමකි. මරණයද ජීවිතය මෙන්ම වූ ප්‍රවාහයකි. උපන් දා පටන් මරණය ජීවිතය සමග ගලා ගොස් මැරුණා යැයි කියන භෞතික මරණය අත්විඳීමට සිදු වෙයි. එකම ගඟට දෙවරක් බැසිය නොහැක. ගංගාවක් යනු ප්‍රවාහයකි. වරක් බැස පැමිණ නැවත බසින විට පවතින්නේ කලින් පැවති ජලය නොවේ. අපි එයට ගංගාව යැයි පවසන නමුත් එය මොහොතක් පාසා වෙනස් වෙයි. නැවුම් වෙයි. ජීවිතය හා මරණයද ඒ හා සමානව සිදු වන ගලා යාමකි. මරණය සිදු වන තෙක් ඉවසා සිටිය නොහැකිව ආයාසයෙන් මරණය අත් කරගන්නෝ ද වෙති. ජීවත් වීමට ආසාව ඇති කර ගන්නවා වෙනුවට ඔවුන් ජීවිතය අතහැරීමට පෙළඹෙති. මේ ඔබට ඉදිරිපත් කරන්නේ ජීවිතය අලුත් කර ගැනීමට, ජීවිතය වඩාත් ජීවමාන කර ගැනීමට, ජීවිතය ප්‍රබෝධමත් කර ගැනීමට "හුස්ම" භාවිතා කරන ආකාරයයි. මෙහි අතුරු ප්‍රතිඵල ලෙස දියුණුව, සාර්ථකත්වය හා ජයග්‍රහණය ඔබට හිමි වනු ඇත.


හුස්ම හෙවත් ප්‍රාණ යනු ජීවිතයයි. ජීවිතය විඥානයට සම්බන්ධ කරන පාලමයි. ඔබේ ශරීරය ඔබේ සිතුවිලිවලට සම්බන්ධ කරන පාලමයි. සවිඥානකත්වය හා අවිඥානකත්වය අතර පාලමයි. එපමණක් නොව, ඔබ සහ විශ්වය අතර පාලමයි. ඔබේ මනස විසිරි යන සෑම අවස්ථාවකදීම මනස නැවත අල්ලාගැනීමට හුස්ම මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකිය.


බුදුන්වහන්සේ දේශනා කළේ සිහියෙන් හුස්ම ගත යුතු බවය.ඇතුලාන්ත සිහිය, දැනුවත්භාවය බලගන්වන සෛල ප්‍රාණවත් කර සමස්ථ පැවැත්ම විනිවිද යා හැකි තරමේ බලයක් ගොඩනැගිය හැකි ආනාපානසති භාවනා ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ බුදුන්වහන්සේය. හුස්මෙහි බලය කොතෙක්දැයි එයින් අවබෝධ කර ගත හැකිය.


හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීමේ ක්‍රියාවලිය සෑම විටම නාස් පුඩු දෙකෙන්ම සිදු නොවේ.විනාඩි හතළිහක් පමණ එක් නාස් පුඩුවකින් හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය සිදු වන අතර විනාඩි හතළිහකින් පමණ පසුව එම ක්‍රියාවලිය අනෙක් නාස් පුඩුව වෙත පැවරේ. මේ ආකාරයෙන් විනාඩි හතළිහෙන් හතළිහට වමට සහ දකුණට මාරු වෙමින් හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය සිදුවේ.වම් නාස් පුඩුව ක්‍රියාත්මකව පවතින විට දකුණු මොලය වැඩිපුර ක්‍රියාත්මක වන අතර දකුණු නාස් පුඩුව ක්‍රියාත්මකව පවතින විට වම් මොළය වැඩිපුර ක්‍රියාත්මක වේ. ඒ අනුව මොළයේ එක් පැත්තක් විනාඩි හතළිහක් පමණ ක්‍රියාත්මකව පවතින අතර ඊළඟ විනාඩි හතළිහේදී එම පැත්ත විවේක ගන්වා අනෙක් පැත්ත ක්‍රියාත්මක වේ.


අධ්‍යාපන ආයතනවල එක් විෂයක් සඳහා කාලය විනාඩි හතළිහකට සීමා කර තිබීමේ සැබෑ හේතුව මෙයයි. විනාඩි හතළිහක් එකම කාර්යයක නියැලීමේදී මොළයේ එක් පැත්තක් වෙහෙසට පත්වේ. විනාඩි හතළිහක් ගණිතය ඉගෙන ගත්තේ නම් ඊළඟ විනාඩි හතළිහේදී වෙනත් විෂයකට මාරු විය යුතුය. එවිට විෂාදය ඇති නොවේ. අද වන විට අධ්‍යාපනය ලබන වයසේ පසුවන බොහෝ දරුවන් විෂාදයෙන් පෙළෙන්නේ මේ පිලිබඳ අවබෝධය නොමැති බැවිනි. දෙමාපිය ගුරුවරාදීන්ටද මේ පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනෙන්නට තිබේ.උසස් අධ්‍යාපනය ලබන ඇතැම් දරුවන් වැඩි වශයෙන් ප්‍රතිකාරවලට යොමු වන්නේද, ඇතැමුන් සියදිවි හානි කරගන්නේද සීමාව ඉක්මවා මනස වෙහෙසට පත් කිරීම හේතුවෙනි.


ඔබ තුළ යමෙක් කෙරහි කෝපයක් හටගෙන ඇත. එම තැනැත්තාට යම් හානියක් කිරීමට ඔබට අවශ්‍යව ඇත. ටික වෙලාවකට පසුව කෝපය අතුරුදන් වෙයි. තත්වය සන්සුන්ය. ඇතැම් විට එම පුද්ගලයා කෙරෙහි කරුණාවක් පහල වන්නටද ඉඩ තිබේ. 


බිරිඳගේ අත අල්ලාගෙන ආදරයෙන් පසුවන ඔබ හදිසියේම වෙනස් වී වෙනත් මානයකට ගමන් කරනු ඇත.අත දිගේ ගලාගෙන ගිය ආදරය හා ශක්තිය තව දුරටත් ගලා නොයයි. ඔබ වෙනත් කල්පනාවකය. බලන්න ගියරය ඒ මේ අත මාරු වෙමින් ජීවිතය ගලාගෙන යන ආකාරය.


මොළයේ දකුණු පැත්ත ස්ත්‍රී ලිංගිකය. වම් පැත්ත පුරුෂ ලිංගිකය. මොළයේ වම් පැත්ත විග්‍රහාත්මකය. තාර්කිකය. දකුණු පැත්ත  ප්‍රතිභාත්මකය. ඒ ඒ මොහොතට අනුව, ඒ ඒ කාර්යයට අනුව අපට අවැසි පරිදි වම් මොළය හා දකුණු මොළය භාවිතයට ගන්නා ආකාරය ඔබ දැන ගත යුතුය. එය කළ යුත්තේ හුස්ම මගිනි.


දැඩි දුකක් කණස්සලක් පවතින විටදී, මානසික ආතතියෙන් පෙලෙන විටදී මොළයේ දකුණු පැත්තට මාරු විය යුතුය. ඒ සඳහා වම් නාස් පුඩුව ක්‍රියාත්මක කර ගත යුතුය. ඔබ කළ යුත්තේ ලේන්සුවක් හෝ මහපට ඇඟිල්ල භාවිතා කර දකුණු නාස් පුඩුව මඳ වේලාවක් අවහිර කරගෙන සිටීමය. එවිට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය වම් නාස් පුඩුවට මාරු වී දකුණු මොළය ක්‍රියාත්මක වේ. ආතතිය, කනස්සල්ල, දුක ආදී නිශේධාත්මක හැඟීම් දුරුවේ.මනසට මහත් සැහැල්ලුවක් ඇතිවේ. කෝපය තුරන් වේ.


ජීවිතය පිළිබඳව දැඩි කළකිරීමෙන් පසුවන අවස්ථාවලදී ඔබ වැඩි වශයෙන් දකුණු මොළයේ ක්‍රියාකාරිත්වය තුළ සිටිය යුතුය. එවිට කලකිරීම දුරුවී මහත් ප්‍රබෝධයක් ඇතිවේ. ජීවිතය අතහරිනවා වෙනුවට ජීවත් වීමේ ආසාව ඇතිවේ. සුබ කටයුතු ආරම්භ කරන අවස්ථාවලදී ද මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිපලදායක වේ.යහපත්  ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් යමෙක් සමග කතා කරන විටදී, යහපත් පිළිතුරක් අපේක්ෂාවෙන් යමෙකුට දුරකත ඇමතුමක් ලබාදීමේදී වම් නාස් පුඩුවට මාරු වී සිටීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. අධ්‍යාත්මික කටුතුවලදී අනුගමනය කළ යුත්තේද මෙම ක්‍රමවේදයයි.


නඩුවලට මුහුණ දීම, ක්‍රීඩා තරඟ, විවාද, සතුරන්ට මුහුණ දීම ආදියේදී දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුය. කය වෙහෙසා සිදු කරන සියලු කටයුතුවලදී දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගැනීම වඩාත් ප්‍රතිපහලදායක වේ.


අතීතයේ විසූවෝ "නළ ශාස්ත්‍රය" ලෙස විවිධ අවස්ථාවලදී භාවිතයට ගන්නා ලද අගනා ක්‍රමවේදය මෙයයි. හුස්ම හා සම්බන්ධ භාවනා සහ ක්‍රමවේද අතරින් ඔබට වඩාත් පහසුවෙන් අනුගමනය කළ හැකි ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි. භාවිතය සමග ලැබෙන අවබෝධය තුලින් මෙහි දැක්වූවාට වඩා වැඩි ප්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත.


අධ්‍යාත්මවේදී සංජීව කුළුපන බණ්ඩාර 

Monday, June 1, 2026



 ජ්‍යොතිෂය බිහි වූයේ වසර හත් දහසකට පමණ පෙරය.එකල පෙරදිග ලෝකය අධ්‍යාත්මික ලෝකයකි. බටහිර ජනයා බාහිර ලෝකය ගවේෂණය කළ අතර පෙරදිග ජනයා ඇතුලාන්තය ගවේෂණය කළහ. මුනිවරු වැඩි වශයෙන් පෙරදිග පහල වන්නටත් විද්‍යාඥයින් වැඩි වශයෙන් අපරදිග බිහි වන්නටත් හේතුව එයයි.


ජ්‍යොතිෂය බිහි වූයේ පෙරදිගය. පෙරදිග ජනයාට දිවි නසාගන්නට අවශ්‍යත්වයක් නොවීය. ඔහුහු අධ්‍යාත්මික ප්‍රීතියෙන් කල් ගෙවූහ. එනිසා ඉපැරණි ජ්‍යොතිෂ ලේඛනවල සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් තොරතුරු සොයාගන්නට නැත. අද තත්වය මුළුමනින්ම වෙනස්ය. පෙරදිග  අපරදිග යැයි කියා වෙනසක් නැත. සෑම රටකින්ම පාහේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ. අපේ රටේ ඉගෙනගන්නා දරුවන් පවා සියදිවි නසාගැනීමට පෙළඹීම කණගාටුදායකය. එනිසා සියදිවි නසාගැනීමට පොළඹවනු ලබන ග්‍රහ තත්වයන් පිළිබඳව තරමකින් හෝ දැනුවත් වීම වැදගත්ය.


ග්‍රහයින් අතරින් බලවත්ම ග්‍රහයා කවුරුන්දැයි ඇසුව හොත් ජ්‍යොතිෂය ගැන තරමක් හෝ දන්නා අයෙක් නම් ඒ රවි හෙවත් සූර්යයා යැයි කියනු ඇත. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා ය.ඒ විෂය සම්මත ජ්‍යොතිෂය තුල පිළිගනු ලබන කාරණයකි. රාහු ග්‍රහ ලෝකයක් නොවේ. නමුත් ජ්‍යොතිෂය තුල රාහු ග්‍රහයෙකි. වේගවත්ම ග්‍රහයා රාහුය. බාධා අවහිර බිඳගෙන වේගයෙන් ඉදිරියට යාමේ ශක්තිය ලබාදෙන්නේ රාහුය. රාහු යනු චුම්භක ශක්තියකි. චුම්භකයක ආකර්ෂණ ශක්තිය හා විකර්ශණ ශක්තිය යන දෙකම ඇත.ආකර්ෂණ ශක්තිය රාහුගෙනි. විකර්ෂණ ශක්තිය කේතුගෙනි. රාහු පතුරුවන ග්‍රහයා ලෙසද පිළිගැනේ.


රාහු කේතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සීරු මාරුවට කළ යුතුය. හොඳ වුණොත් හොඳටම හොඳ, නරක වුණොත් හොඳටම නරක අද්භූත ග්‍රහයින් දෙදෙනෙකි. රාහු දශාව තුල විභාග ඉහලින්ම සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළු වන දරුවන් මෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් දුරාචාරවලට යොමු වන දරුවන් ද වෙති. 


රාහු ඉක්මන් තීන්දු තීරණවලට යොමු කරවන ග්‍රහයා බැවින් රාහු දශා ගත කරන දරුවන් ගැන නිරන්තර අවදානයෙන් පසුවීම වැදගත්ය. රාහු ඇතැම් අවස්ථාවල දැඩි මානසික පීඩා ඇති කරන ග්‍රහයෙකි. අන්‍යයන්ගේ අවවාද අදහස් නොසළකා තම තනි මතයට හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමට පොළඹවන අවස්ථා ද ඇත. මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු කිරීමද රාහුගේ කාරියකි.


රාහු කුජ සමග සම්බන්ධ වීම ජන්මියාගේ වේගය වඩාත් වැඩි වීමට හේතු විය හැකිය. එවිට ජන්මියා ප්‍රචණ්ඩකාරී වීමටද ඉඩ තිබේ.මෙවන් ග්‍රහ තත්වයක් අටවැනි භාවය හා ලග්න භාවය සමග සම්බන්ධව යෙදුණු විට සියදිවි නසාගැනීමට පෙළඹීමට ඉඩ තිබේ. රාහු සඳු සමග නොමනා භාවයක සංයෝග වීම සිතුවිලි අදහස් වේගයෙන් වෙනස් වීමට හේතු වේ. රාහු සිකුරු සමග නොමනා තැනක අසුබ ආකාරයට සංයෝග වීම නොගැළපෙන බැඳීම් ඇති වීමට මෙන්ම ඒ හේතුවෙන් ඉක්මන් හා නොසුදුසු තීරණවලට යොමු වීමට ද හේතු වේ. මෙවන් ග්‍රහ තත්වයක් ජීවිත හානි කරගන්නා තරමට අවදානම් සහගත දැයි යන්න ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමෙන් දැන ගත යුතුය.

සියදිවි නසාගැනීම ලග්න භාවයේ හෝ ලග්නාධිපතිගේ සම්බන්ධයකින් තොරව සිදු නොවේ. ලග්න භාවය යනු තමන්ය. තමන්ගේ මානසිකත්වය ක්‍රියාත්මක වන ආකාරය නිවේදනය වන්නේ ලග්න භාවයෙන් හා ලග්නාධිපති ගෙනි. 


කේතු යනු ග්‍රහයින් අතර ගුප්තම ග්‍රහයාය.කේතු දශා කාලයේදී යමෙක් බොහෝ දේ හෙළි නොකර සඟවාගෙන සිටීමට ඉඩ තිබේ. හුදකලාව ප්‍රිය වේ. කතාබහ අඩු වේ. ගුප්ත ගති ලක්ෂණ ඇති වේ.මෙවන් කාලයක් ගත කරන දරුවෙක් තම ප්‍රේම සම්බන්ධතාව කිසිවෙකුටත් නොදැනෙන පරිදි රහසේ පවත්වාගෙන යාමට ඉඩ තිබේ. සම්බන්ධතාව හේතුවෙන් ඇති වන මානසික පීඩනයකදී ගන්නා ක්‍රියාමාර්ග ද කිසිවෙකුටත් නොදැනෙන පරිදි ක්‍රියාවට නැංවීමට ඉඩ තිබේ. කේතු සිකුරු සමග එක්වීම රහස් ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ ඇති කරවන පිහිටීමකි. තම දරුවන් කිසිම ස්ථානයකට තනිව නොයවන දෙමාපියෝ සිටිති.එසේ තනි නොකරන ඇතැම් දරුවන්ද රහස් ප්‍රේම සම්බන්ධතාවල පැටලී අතුරුදන් වන අවස්ථා ඇත. සම්බන්ධතා කෙසේ පවත්වාගෙන ගියා දැයි දෙමාපියෝ පුදුමයට පත් වෙති. මෙවන් අවස්ථාවල එම දරුවන්ගේ කේන්දරවල කේතුගේ බලපෑම මූලිකවම පෙනෙන්නට තිබේ. මෙවැනි ග්‍රහ සංයෝගයක් සමග අශිෂ්ට ආකාරයට සම්බන්ධ වන කුජ ජන්මියා සියදිවි හානි කරගැනීමට යොමු කරලීමට ඉඩ තිබේ.


කේතුගේ දශා සෑම විටම අයහපත් නොවේ. ජන්ම පත්‍රය තුල යහපත් ලෙස සටහන් වූ කේතුගේ දශා කාලය යහපත්ය. කේතු ඥානකාරක ග්‍රහයෙකි. එබැවින් ග්‍රහයින්ගේ බලපෑම් පරික්ෂා කිරීම සූක්ෂමව කළ යුතු කටයුත්තකි. ඒ සඳහා මනා අත්දැකීම් අවශ්‍ය වේ. 


සියදිවි නසාගැනීම සිදුවන්නේ ජලයේ ගිලීමෙන් නම් ඊට සඳුගේ සම්බන්ධයෙක් පැවතිය යුතුය. වස විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණයකදී රාහුගේ සම්බන්ධය ප්‍රමුඛව පෙනෙන්නට තිබේ. දුම්රියට හෝ වෙනත් වාහනයකට පැනීමෙන් වන දිවි නසාගැනීම්වලදී කුජගේ මූලික සම්බන්ධය දකින්නට තිබේ. ගෙල වැලලා ගැනීම්වලදී රාහු හෝ කේතු සමග වන කුජගේ සම්බන්ධය දකින්නට ලැබේ. ගින්න හෝ විදුලිය හේතුවෙන් වන මරණවලදී රවි ප්‍රමුඛව සම්බන්ධ වේ.  උස් ස්ථානවලින් පැනීමෙන් සිදු වන මරණවලදී කුජ රාහු එක්ව එල්ල කරන ලද බලපෑම දකින්නට ලැබේ.


සියදිවි නසාගැනීම සම්බන්ධ තොරතුරු මෙලෙස පොදුවේ විග්‍රහ කෙරුවද ජන්ම පත්‍රය තුල ඒ ඒ ග්‍රහයින්ගේ බලපෑම අවදානම් සහගතද නැද්ද යන්න මෙන්ම එම ග්‍රහයින්ගේ දශා කාල සීමාවන් අවදානම් සහගතද නැද්ද යන්න ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් තොරව නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසුය. ඒ සඳහා අත්දැකීම් බහුල ජ්‍යොතිෂවේදියෙකුගේ සහය ලබා ගත යුතුය.


අධ්‍යාත්මවේදී,

සංජීව කුළුපන බණ්ඩාර 

Tuesday, May 26, 2026

 


දැරියකගේ මල්වර වීම සුවිශේෂී අවස්ථාවකි. ඒ අපට පමණක් නොවේ. පෙරදිග බොහොමයක් රටවල මෙන්ම බටහිර ඇතැම් රටවලද දැරියකගේ මල්වර වීම විශේෂ කොට සැමරේ. අපට එය සැමරුමක් පමණක් නොවේ.එය මංගල්‍යයකි. එය ඇයගේ ජීවිතයේ තවත් උප්පත්තියකි. එය අපට එතරම්ම වැදගත්ය. දැරිය මල්වර වූ බව දැනගත් විට අයගේ වැඩිහිටියන් මුලින්ම කරන්නේ ජ්‍යොතිෂවේදියෙක් වෙත යාමය. මල්වර වීම ඇයගේ ජීවිතයට කුමන ආකාරයෙන් බලපානු ඇත්ද ? දෙමාපියන්ට,සහෝදරාදීන්ට එයින් කුමන විදියේ බලපෑමක් එල්ල වෙයිද ? මේ ආදී කප්පරක් ප්‍රශ්නවලට පිළිතුරු ජ්‍යොතිෂවේදියාගෙන් බලාපොරොත්තු වෙන දෙමාපියෝ සිටිති.


මල්වර වූ දැරිය ඔසු පැනින් නහවන්නේ සුබ නැකතටය. නැහැවූ දැරිය නිවස තුළට කැඳවාගෙන එන්නේ සුබ නැකතටය. ඇය එදින මුල්ම ආහාරය අනුභව කරන්නේ ද සුබ නැකතටය. එදිනට නියමිත සුබ වර්ණයකින් සැරසී සිටීමට ද ඇයට සිදු වෙයි. මේ සියල්ල තීරණය කරන්නේ ජ්‍යොතිෂවේදියාය.


ජ්‍යොතිෂවේදියා වෙත යන වැඩිහිටියන් ඔහුට ඉදිරිපත් කරන්නේ දැරිය වැඩිවියට පත්ව ඇති බව දැනගත් දිනය හා වේලාවයි.මල්වර වීම සිදුව ඇත්තේ කුමන වේලාවේදී ද යන්න සොයා ගත යුත්තේ ජ්‍යොතිෂවේදියාය. මල්වරය සිදු වූ වේලාව අනුව සකස් කරනු ලබන කේන්දරය මල්වර කේන්දරයයි. දැරියක් මල්වර වූ සැබෑ මොහොත සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ඒ ගුරුකුලය අනුව නොයෙක් ජ්‍යොතිෂවේදීන් විවිධ ක්‍රමවේද ඔස්සේ මල්වර වූ වේලාව මෙය යැයි පැවසුවද එය මල්වර වූ වෙලාව බව ඔප්පු කර පෙන්විය හැකි ක්‍රමයක්ද නැත.


තරුණියකගේ ජීවිතය තුළ ජ්‍යොතිෂ සහාය ලබා ගත යුතු විශේෂ අවස්ථාවලදී ඇයගේ මල්වර කේන්දරය වැදගත් නොවන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්න නගන අවස්ථා ඇත. විවාහය සඳහා කේන්දර පරීක්ෂා කිරීමද එවන් අවස්ථාවකි. විවාහය සඳහා කේන්දර පරීක්ෂා කිරීමේදී සිදු වන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ජන්ම කේන්දර පරීක්ෂා කිරීමය.තරුණියගේ මල්වර කේන්දරය පරීක්ෂා කිරීමක් එහිදී සිදු නොවේ. 


උපත ලබන මොහොතේ සටහන් වූ ජීවන දත්ත සියල්ල උඩු යටිකුරු කිරීමේ බලයක් මල්වර වීම සමග ඇති නොවේ. සාංසාරික කුසල් අකුසල්, පින් පව්වලට අනුකූලව සටහන් වූ දෛව සිතියම ජන්ම කේන්දරය පමණි. ජීවිතය ඉදිරියට ගලා යන ආකාරය, මුහුණ දීමට සිදුවන සියලු යහපත් අයහපත් සිදුවීම් සටහන්ව ඇත්තේ ජන්ම කේන්දරය තුළය. ජීවිතයේ සුවිශේෂ තෝරාගැනීම්වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජ්‍යොතිෂ සහාය ලබා ගැනීමේදී වැදගත් වන්නේ ජන්ම කේන්දරයයි. විවාහය දරුපල මෙන්ම ජීවිතයේ සෑම සියලු දෙයක් සම්බන්ධයෙන්ම ජන්ම කේන්දරය තුළ සටහන්ව පවතින කිසිදු දෙයක් මල්වර කේන්දරයේ බලපෑමෙන් වෙනස් නොවේ. 


කාන්තාවකගේ මල්වර කේන්දරය භාවිතා කළ යුතු කිසිදු අවස්ථාවක් පිළිබඳව කිසිදු සෘෂි ප්‍රකාශනයක හෝ සඳහන්ව නැත.


අධ්‍යාත්මවේදී 

සංජීව කුළුපන බණ්ඩාර 

Friday, April 3, 2026

අවුරුදු නැකත.




අවුරුදු නැකත් සම්බන්ධයෙන් වාද විවාද ඇති වූයේ අද ඊයේ නොවේ. අවුරුදු නැකත් සම්බන්ධයෙන් මත ගැටුම් වඩාත් උත්සන්න වන්නට වූයේ වසර තුන හතරකට පෙර සිටය. තත්වය බෙහෙවින් උත්සන්න වන්නේ අවුරුදු ලං වන විටය. මෙවර ද එසේමය.


ජ්‍යොතිෂය අධ්‍යාත්මික මානයේ විද්‍යාවකි. අද වන විට ජ්‍යොතිෂයේ අධ්‍යාත්මික සාරය නැත. සියල්ලෝ ජ්‍යොතිෂය උගතුන්ය. ජ්‍යොතිෂයේ ඉගෙනීමට තිබෙන ප්‍රමාණයට වඩා අවබෝධ කරගැනීමට තිබෙන ප්‍රමාණය ඉතා විශාලය. අධ්‍යාත්මික මානයේදී දැනුම, වියත්බව වැදගත් නොවේ. එසේ වූවද, අද තිබෙන්නේ වියතුන්ගේ ජ්‍යොතිෂයකි. 


ජ්‍යොතිෂය බිහි කළ ඍෂිවරු අවබෝධයට පත්වූවන්ය. එනම් මනස ඉක්මවා ගියවුන්ය. ජ්‍යොතිෂවේදීන්ගේම වචනයෙන් කිව හොත් ඔවුන් තුන්කල් දුටු ඍෂිවරයින් වහන්සේලාය. අවබෝධ කර ගැනීම යනු මනස පුරවා ගැනීම නොව මනස හිස් කිරීමය. මනසට නොවැටහෙන දේ අවබෝධ වන්නේ එවිටය. 

හමුදා නිලධාරියෙක් ආධුනික සෙබළෙකුගෙන් මෙසේ විමසුවේය.

"නීරෝ...ඔබ දන්නා විදියට කොඩිය කියන්නෙ මොකක්ද?"

සෙබළා පිළිතුරු දුන්නේය.

"කොඩිය කියන්නේ විවිධ වර්ණයෙන් යුතු රෙදි කැබැල්ලක්"

'මොකක්...ඔබ වැරදියි. කොඩිය කියන්නෙ සියලු දේ...කොඩිය කියන්නෙ මව. මතක තියාගන්න...ඔබේ මව..."

හමුදා නිලධාරියා ඊළඟ සෙබලාට ඒ ප්‍රශ්නයම යොමු කළේය.

'කොඩිය යනු කුමක්ද?"

'නීරෝගෙ අම්මා..."  


වියතුන් ගේ ආකාරය එලෙසය. වියතුන් සමඟ ඇසුර ප්‍රවේශමෙන් කළ යුතුය. ඔවුන් ගුරුන් ගෙන්, පොතපතින් ගෙන මනස පුරවාගෙන සිටින කප්පරක් දැනුම තේරුම් ගෙන සිටින්නේ විවිධ ආකාරයටය. එමන්ම,දැනුමට ඔබ්බෙන් වූ කිසිදු සත්‍යයක් ගැන ද ඔවුහු නොදනිති. 


අවුරුදු නැකත් හඳුන්වන්නේ නැකත් චාරිත්‍ර යනුවෙනි.මන්ද, රටක සියලු දෙනාට වාසනාව කැන්දන නැකතක් පිළියෙළ කිරීම සක්කරයාටවත් කළ නොහැක්කකි. කළ හැකිව ඇත්තේ අසුබතා හැකි තාක් මඟහැර යහපත් වේලාවක් පිළියෙළ කිරීම පමණි. එම නැකත් චාරිත්‍ර ඉටු කළ පමණින් සියලු දුක්ඛ දෝමනස්සයන් පහව ගොස් හතරවටින් වාසනාව උදා වන්නේ නැත. අවුරුදු නැකත්වල එකම වැදගත්කම වන්නේ සියලු දෙනා එකම මොහොතක චාරිත්‍ර ඉටු කිරීමය. එයිනුත් වඩාත් වැදගත් වන්නේ  කිරි ඉතිරවීම ය. එය ප්‍රතිඵලදායක වන්නේ  සියලු දෙනා තම ඇතුලාන්ත පාරිශුද්ධතාවයෙන් යුතුව යහපත් චේතනාවෙන් කිරි උතුරවන්නේ නම් පමණි. ඒ සම්බන්ධයෙන් වියතුන් දන්නා ඉටිගෙඩියක් නැත.වියතුන් සිටින්නේ පරිධියේ විනා ඇතුලාන්තයේ නොවේ.


සම්මත කරන ලද අවුරුදු නැකත් විවේචනය කරන පාර්ශවයන් නිතර සමාජ ගත කරන අදහසක් නම් වැරදි නැකත් චාරිත්‍ර හේතුවෙන් බරපතළ විපත් සිදු වන බවය. එය බරපතළ මිත්‍යාවකි. අවුරුදු නැකතෙහි බලපෑමකින් තමන්ට, තම පවුලට හෝ රටට කිසිදු විපතක් සිදු නොවේ. බොහොමයක් දෙනා නිවෙසකට ගෙවදින්නේ නැකතටය. එහිදී, නිවෙසට ඇතුල්වීම, ලිප ගිනි මෙලවීම හා ආහාර අනුභවය සඳහා නැකත් ලබාදීම සිදු වේ.  මෙම නැකත් අනුගමනය කර නිවෙසට ගෙවැදීමෙන් පසුව කවදා හෝ වැරදි අවුරුදු නැකත් අනුගමනය කළ හොත් නිවෙසට ගෙවැදීමේදී අනුගමනය කළ නැකත්වල බලය මුළුමනින්ම භංග වී යන බවක් කිසිදු ජ්‍යොතිෂවේදියෙක් මෙතෙක් පවසා ඇති බවක් ඔබ අසා තිබේද ? ව්‍යාපාර සම්බන්ධයෙන්ද එසේමය. රටක් හෝ ලෝකය සම්බන්ධයෙන් වූ විශ්ව සැලසුම ද අවුරුදු නැකත් හේතුවෙන් වෙනස් නොවේ.  වර්තමානයේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් ජනවාරි පළමුවැනිදාට ද කිරි ඉතිරවීම සඳහා නැකතක් ලබා දෙන බව පෙනෙන්නට තිබේ. ඉදිරියේදී සෑම මාසයකම පළමුවැනිදාට කිරි ඉතිරවීම සඳහා නැකත් ලබා දීමට ද බැරි නැත. 


සියලු දෙනා එකම මොහොතක නැකත් චාරිත්‍ර ඉටු කිරීමෙහි වැදගත්කම මෙන්ම යහපත් චේතනාවන් පෙරදැරිව නැකත් චාරිත්‍ර ඉටු කළ යුතු බව ද මම ඉහතින් සඳහන් කලෙමි. ඊට තවත් යමක් එක් කළ යුතුය. නැකත් පිළියෙළ කිරීම හා එම නැකත් ජන ගත කිරීම ද මෛත්‍රී සහගතව, ඇතුලාන්ත පාරිශුද්ධතාවයෙන් යුතුව කළ යුත්තකි. පටන්ගැන්මේ පටන් එකිනෙකා අභිභවා තම මමත්වය පෝෂණය කරගැනීමේ චේතනාවෙන් සකසන නැකතකින් කිසිවෙකුට සිදු වන සෙතක් නැත. සිංහල අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව නියෝජනය කළ ජ්‍යොතිෂවේදියෙක් ලෙස එහිදී දුටු  වියත් ජ්‍යොතිෂවේදීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් තිබේ.


රටේ සම්මත නැකත් සියලු දෙනා එක්ව අනුගමනය කිරීම නිරවුල්ය. මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් ඔබ කුමන නැකතක් අනුගමනය කළ ද, ඒ මොහොත තුළ ඔබේ ඇතුලාන්ත පාරිශුද්ධත්වය ඉහළින්ම පවත්වාගත යුතු බවය. මන්ද, විශ්වය හා සම්බන්ධ වන්නේ ඔබේ ඇතුලාන්තය යි.


අධ්‍යාත්මවේදී සංජීව කුළුපන බණ්ඩාර.

පැරණි ඔබ සහ අලුත් ඔබ

 


ඔබ භාවනා කරන අයෙක් නම් දැනටමත් මෙම අත්දැකීම ලබා ඇති බවට කිසිදු සැකයක් නැත.


ඔබ අධ්‍යාත්මිකව ඉහළට එසැවෙන විට ඔබ වටා සිටින ඇතැමුන් ඔබෙන් දුරස් වන බවක් දැනී තිබිය යුතුය.පහල සංඛ්‍යාතයක ඔබ සමග සිටි අය ඔබ ඉහළ සංඛ්‍යාතයකට ගමන් කරන විට ඔබෙන් දුරස් වී යාම ස්වභාවික සංසිද්ධියකි. එය තනි වීමක් නොවේ. "පැරණි ඔබ" සමග සිටි අයගේ බර උසුලමින් ඔබට ඊළඟ මට්ටමට ළඟා විය නොහැක. ඔබ "සැබෑ ඔබ" බවට පත් වන තරමට ඔබේ කවය කුඩා වන අතර එය ඉතාමත් අර්ථාන්විත ද වෙයි. 


ඔබ ඔබේම සත්‍යයේ ආලෝකයට පිවිසෙන විට ඔබ වටා ඇති අවකාශය වෙනස් වීමට පටන් ගන්නා බව ඔබට පෙනී යයි. ඔබ සැබෑ වන තරමට අනෙක් අය ඔබ වෙනුවෙන් ගොඩනග ඇති කුඩා අවකාශවලට ඔබේ ගැළපීම අඩු වෙයි. එබැවින් ඔබේ සමීපයේ සිටින හිත මිත්‍රාදීන්ගෙන් සමන්විත සමූහ කවය ස්වාභාවිකවම කුඩා වෙයි. මෙම සමූහයා කුඩා වීම කිසිසේත්ම පාඩුවක් නොවේ. එය පූජනීය පිරිපහදු කිරීමකි. සංගීතයට ඉඩ සැලසීම සඳහා අවට ඝෝෂාව ඉවත් කිරීම වැනි ය.ඉන් පසුව ඇති වන නිහඬතාවය තුල ඔබ දකින ඉහල සංඛ්‍යාතයේ සීමිත පිරිස ඔබේ සෙවනැල්ල ගැන පමණක් දන්නා දහසකට වඩා වටිනා බව ඔබට අවබෝධ වනු ඇත.


වෙස් මුහුණක් පැළඳීමේ අවශ්‍යතාවය තව දුරටත් ඔබට නොදැනෙන විට, ඔබ එයට යටින් ඇති "සැබෑ ඔබට" ආදරය කරන අය ආකර්ෂණය කර ගනියි.


මෙම පටු මාර්ගය මනරම් අභයභූමියක් බවට පත් වන අතර එහිදී කතා කරන සෑම වචනයකටම විශ්වීය වටිනාකමක් ඇති වෙයි.ජීවිතය සැබවින්ම අර්ථවත් වන්නේ මෙම සීමිත අවකාශය තුලය. මන්ද, ඔබ අවසානයේ පහසුව සඳහා නොව ඔබේ සාරය අගය කරන අයගෙන් වට වී ඇත.

අධ්‍යාත්මවේදී සංජීව කුළුපන බණ්ඩාර 

Wednesday, December 31, 2025

ඔහු නැවත උපදිනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළහ.

 


ඔහු නැවත උපදිනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළහ.


හදිසි අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට සිටි අයෙකි. අනතුර සිදුව තිබුණේ පසු ගිය ඔක්තෝබර් මස අවසන් දිනයේය. නිවැසියන් මා වෙත පැමිණ පැවසුවේ රෝගියා බරපතළ තත්වයේ පසු වන බවත් ජීවිතය රැක ගැනීම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි යැයි වෛද්‍යවරු පවසන බවත් ය. ඔවුන් ඉල්ලා සිටියේ කෙසේ හෝ ඔහුගේ ජීවිතය රක දෙන ලෙසය.


දින කීපයකින් ඔහු දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ හැකි විය. කෙසේ වෙතත් ඔහුගේ කතා කිරීමේ හැකියාව ඒ වන විට අහිමි වී තිබුණි. කතා කිරීමේ හැකියව නැවත නොලැබෙනු ඇතැයි වෛද්‍යවරු පවසා තිබුණි. නිවැසියන් තීරණය කළේ රෝගියා නිවසට ගෙනැවිත් වැඩි දුර ප්‍රතිකාර කිරීමටය. නිවසට රැගෙන ආ රෝගියා දින කීපයකින් කතා කරන්නට විය. නිවැසියන් පවසන පරිදි ඒ අවස්ථාවද විශේෂය. එය සෙනසුරාදා දිනයකි. රෝගියා කතා කරන්නට පටන් ගෙන ඇත්තේ නිවැසියන් කපුටන්ට එළඟිතෙල් මුසු කිරිබත් දමන්නට සැරසෙන විට ය.


රෝගියා වෙනුවෙන් නිවසට පැමිණ ආශීර්වාද කරන්නැයි මා හට දන්වන විට වර්ෂාව ඇද වැටී එම ප්‍රදේශය ගංවතුරින් යට වී තිබුණි. 2025 නොවැම්බර් 30 දින උදෑසන එම නිවසට යාමට සිදු වූයේ ඔරුවකිනි. එදිනම සවස් වන විට ඇඳෙහි වාඩි වීමට හැකි වූ බව දැනගන්නට ලැබුණි. මේ වට විට යමක් අල්ලාගෙන නැගිට ඇවිදීමට ද හැකියාව ලැබී ඇත.


ඔබේ රෝගී ඥාතියා හිතවතා මා වෙත රැගෙන එන්නැයි දැනුම් දීමට ලියූවක් නොවන බව සළකන්න. මම සුව කිරීමේ මෙහෙයන් සිදු නොකරමි.  රෝහල්වල සිටින සියලු රෝගීන් සුව කරන්නැයි අසිහියෙන් සිටින යමෙක් පැවසීමට ඉඩ තිබේ. අවබෝධයෙන් කියවන සීමිත පිරිසකගේ අවදානය සඳහා පල කරන සටහනකි.


සංජීව කුළුපන බණ්ඩාර 

Tuesday, December 30, 2025

තිදෙනෙකුට බලපෑම් කළ භූතයෙක්.

 

පළමුව මෙහි ඇති හඬ පටයට සවන් දෙන්න. කතා කරන්නේ පාසල් වියේ පසුවන දැරියකි.


සිද්ධිය ඒ ආකාරයෙන්ම භාෂාවට නැඟීම දුෂ්කර නමුත් මවකට දියණියකට සහ ඥාති දියණියකට එල්ල වු ඉතා සංකීර්ණ භූත බලපෑමක් ගැන සත්‍ය විස්තරයක් මෙලෙස ඔබ හමුවේ තබමි. සිදුවීමට සම්බන්ධ වන්නේ මහනුවර ප්‍රදේශයේ මවක් දියණියක් සහ තවත් ඥාති දියණියකි.


දියණිය අසාමාන්‍ය කෝපයකින් මව සමග ගැටුම් ඇති කරගන්නා බවත් පිහියක්  ගෙන මව ඝාතනය කිරීමට උත්සාහ කරමින් සිටින බවත් දින කීපයකට පෙර මා වෙත දැනුම් දුන්නේ ඇයගේ පියාය. හැකි ඉක්මණින් ඇයගේ ඡායාරූපයක් එවන්නැයි ඔහුට පැවසුවෙමි.  එවන ලද ඡායාරූප දුටු සැණින් මා හට කාරණය අවබෝධ විය. දැරියගේ ස්වභාවික පෙනුම ඡායාරූපවල නොතිබුණි. කුමන හෝ බලවේගයක පාලනයට ඇය හසු වී ඇති බව පෙනෙන්නට තිබුණි. ඒ බව පියාට ද පැහැදිලි කළෙමි. එදින රෑ දැරිය විසින් දෙමාපියන්ට බොහෝ දේ විස්තර කර තිබුණි. හඬ පටයෙහි ඇත්තේ ඉන් කොටසකි. නම් ගම් සඳහන් කරන බැවින් ඇයගේ ප්‍රකාශය සම්පූර්ණ වශයෙන් ඉදිරිපත් කිරීමට අපහසුය. උද්ගතව ඇති තත්වය සමනය කිරීම සඳහා පසු ගිය 27 වෙනිදා මා මහනුවර පිහිටි එම නිවසට යන විට අමනුෂ්‍ය දෝෂය දැරියගෙන් ඉවත්ව මවගේ ශරීරයට ඇතුල් වී තිබුණි.  එය  එක් අවස්ථාවක ඔවුන්ගේ ඥාති දියණියකගේ ශරීරයට ද ඇතුල් වී තිබුණි. 

අමනුෂ්‍ය බලපෑම මොවුන් වෙත එවා තිබුණේ මෙම තරුණ මවගේ ඥාති පිරිසකි. ඒ මොවුන් භුක්ති විඳින දේපළ අත් කරගැනීම සඳහාය. මවගේ ශරීරයට ඇතුල් වුණු අමනුෂ්‍යයා ඒ සියලු තොරතුරු පවසා සිටියේ සියලු දෙනා මවිතයට පත් කරමිනි. වරෙක අමනුෂ්‍යයා මව තුලින් කතා කර පැවසුවේ අත බැඳ තිබෙන පිරිත් නූල තිබියදී තමන්ට අපහසුතාවයක් දැනෙන බැවින්  එය කඩා ඉවත් කරන ලෙසය. එම අමනුෂ්‍යයා ද වසර ගණනකට පෙර මිය ගිය ඥාතියෙකි. 

තමන්ට භාර කර ඇත්තේ මෙම මව මරා දැමීම බව පැවසූ විට මා ඇසුවේ නොමැරෙන කවුරුන් හෝ සිටීද..?.මැරෙන මිනිසුන් මරා දමන්නේ කුමකටද ..? යන්න ය. කට්ටඬින්ගේ ගොටු පිදේනි ආදියට රැවටී පාපකාරී කොන්ත්‍රාත් ඉටු නොකර කල්ප කාලාන්තරයක් ප්‍රේත භවයේ දුක් නොවිඳ කුසලයට නැඹුරු වන්නැයි පැවසුවෙමි. අමනුෂ්‍යයා ඉවත් විය. 

මේ සරලව ඉදිරිපත් කළේ දින ගණනාවක් පුරා සිදු වුණු නොයෙක් අද්භූත සිදුවීම් කන්දරාවක් සහිත සිද්ධියකි.

සංජීව කුළුපන බණ්ඩාර 



Tuesday, October 21, 2025

කේන්දරයේ අටවැන්න

 



සැඟව පවතින බොහෝ දේ වටින්නේය. වටිනා බොහෝ දේ ඇත්තේ සැඟවීගෙනය. වටිනා දේ සැඟව පවතින තැන් භයානක තැන් බවට ද විශ්වාසයක් පවතී. නිධාන් ගැන ඇත්තේ ද එවැනි විශ්වාසයකි. එවැනි තැන් මාරක ස්ථාන ලෙස සැළකේ. කේන්දරයේ අටවැන්න ද එවැනි තැනකි. අටවැන්න මරණයේ නිවස ලෙස සැළකේ. ඒ අටවැන්නෙන් මරණය ගැන කියැවෙන බැවිනි. මරණය ගැන කියැවෙන්නේ අටවැන්නෙන්ම නොවන බව සත්‍යයකි. උපත යනු ආරම්භය නොවන්නා සේම මරණය යනු අවසානය ද නොවන්නේ ය. ජීවිතය ඉපදෙන්නේ හෝ මියයන්නේ නැත. අටවැන්න දොරටුවකි. එය පරිවර්තනයේ දොරටුවයි. පරිවර්තනයක් සිදුවන සෑම විටම මරණයක් ද සිදුවේ. තමන් සිටින සංඛ්‍යාතයෙන් මිදී ඉහළට එසවෙන හෝ පහළට බැස යන සෑම අවස්ථාවකදීම පෙර සිටි තමන්ගේ මරණය සිදුවේ. අහිංසක මරණයට පත්ව අංගුලිමාල වන්නේද, අංගුලිමාල මරණයට පත්ව උතුම් අරහත් තත්වයට පත්වන්නේද ඒ ආකාරයට ය. මුනිවරු පවසන්නේ ඔබ ඔබව මරා දැමිය යුතු බවය. එනම් මමත්වය දුරු කළ යුතු බවය. තමන් යැයි යමෙක් නැති තත්වයට පත් විය යුතු බවය. එය පරිවර්තනයකි. ද්විත්වය අතුරුදන්ව ඒකීයතත්වයට පත් වන්නේ එවිටය. මේ සියලු පරිවර්තනයන් හෙවත් මරණයන් ගැන වඩාත් වැදගත් කරුණු කියැවෙන්නේ කේන්දරයේ අටවැන්නෙනි. අටවැන්න දොරටුවක් යැයි සැළකෙන්නේ එබැවිනි.


අටවැන්න හා මනස අතර ඇත්තේ ගසයි පොත්තයි තරමේ සබැඳීයාවකි. එය එසේ විය යුතුය. ඇතැම් පරිවර්තයක් මනස තුළමය ඇතැම් පරිවර්තයන් මනසින් ඔබ්බටය. ඔබ්බට යන්නේද මනස තුලින්ය. දෙකටම මනස සම්බන්ධය. අටවැන්න නිකම් දොරටුවක් නොව විශ්ව දොරටුවකි. තවත් අතකින් එය විශ්ව සුරක්ෂිතාගාරයකි. ඒ, මිල කළ නොහැකි තරමේ වටිනා රහස් එහි සැඟව පවතින බැවිනි.


 හතරවටින් එල්ල වන දුක් ගැහැට කරදර පීඩා හමුවේ බිමට සමතලා වී නැවත උපදින මිනිසුන් ඇත. දැඩි සත්කාර ඒකකවල  දින සති ගණන් ජීවිතයත් මරණයත් අතර සටන් වැද නැවත උපදින්නෝ ද වෙති. කිසිදු බැබලීමකින් තොර දැලි වැදුණු ජීවිත අනපේක්ෂිත ලැබීමකින් දළුලා උපදින අවස්ථා ඕනැ තරම් ඇත. ඒ,අටවැන්නේ බලයයි. ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක් මෙන්ම කතුවරියක් හා මාධ්‍ය හිමිකාරිනියක් ද වන ඔප්රා ගේල් වින්ෆ්‍රේ ගේ ජීවිත කතාව කියවා බලන්න. අන්ත දිළිඳු තත්වයක සිටි ඇය බිලියනපතිනියක් බවට පත්වීමට හේතු වූයේ කේන්දරයේ අටවැන්නේ බලයයි. 


සඳු අටවැන්නේ සිටින්නවුන් ස්වභාවයෙන්ම සංවේදීය. හැඟුම්බරය.සිතුවිලි බහුලය. ඔවුන් සියල්ලෝම පාහේ එම සංවේදී බව සුරැකිව තබාගෙන දිවි ගෙවති. අධිසංවේදී බව ඉහළ අධ්‍යාත්මික තත්වයක් කරා පරිවර්තනය කිරීමට තරම් අවබෝධයක් නොමැති බැවිනි. මාර්ගය පෙන්වා දිය යුත්තේ කේන්දරය පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදියා ය. මාර්ගය පෙන්වා දීමට නම් මාර්ගය දැන සිටිය යුතුය.


චන්ද්‍ර මෝහන් රාජ්නීශ් හෙවත් මුනිවර ඕෂෝ ගේ වෘෂභ ලග්න කේන්දරයේ අටවැන්නේ ග්‍රහයින් පස් දෙනෙකි. ඒ සඳු,කුජ,බුධ,සිකුරු හා ශනි ය. එතුමන් අවබෝධයට පත් වූවා යැයි පවසන 1953.03.21 දින පුරසඳු ලග්න භාවයේය. ගත කරමින් සිටියේ සඳු මහ දශාවේ සිකුරු අන්තර් දශාවයි. බුධ හිමි භද්‍රිකා යෝගිනි දශාවේ ශනි හිමි උල්කා අන්තර් දශාවයි. උපතේදී අටවැන්නේ සිටි මමත්වය මරා දමන ශනි ලග්නාධිපති සිකුරු සමග සම සප්තමව සිටි අවස්ථාවයි. වැදගත් කරුණු සියල්ල ගොණුවී ඇත්තේ ලග්නයයි අටයි ඇසුරේ ය.


අප මෙතෙක් කොපමණ ජීවිත සංඛ්‍යාවක් ගත කළේ දැයි කිව හැකි කිසිවෙක් නැත. එම ජීවිත තුළ සිදු වූ පරිවර්තනයන් මෙපමණයි කියා කිව හැකි අයෙක්ද නැත. පෙර භවයන් තුළ ගොඩනගාගත් සුවිශේෂ හැකියාවන්, තත්වයන් මෙන්ම ලැබූ දැනුම් පද්ධති සමග සම්බන්ධ වීමේ හැකියාව පෙන්වන්නේ අටවැන්නෙනි. ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ නිපුණත්වයට අටවැන්න වැදගත් වන බවට හේතුව ද එයයි. ගුප්ත ශාස්ත්‍ර පමණක් නොව ඕනෑම දෙයක ඉහළම නිපුණත්වය පෙර භවයන් තුළින් වර්තමාන භවයට සම්බන්ධ කරන දොරටුව අටවැන්නයි. ගුරුදේව් රබීන්ද්‍රනාත් තාගෝර් ගේ මීන ලග්නය හිමි කේන්දරයේ අටවැන්නාධිපති සිකුරු රවි හා බුධ සමග දෙවැන්නේය.එමෙන්ම අටවැන්නාධිපති තමන්ගේම නැකතකය. තුලා නවාංශකයේය.ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වය සමග සාංසාරික හපන්කම් කොතෙකුත් මුසුව ඇති බව පැහැදිලිය.


ඇතැමුන්ට සිදුවීමට නියමිත විශේෂ සිදුවීම් හෝ අනතුරු විපත් ආදිය කල් තියා දැනෙන ශක්තියක් පවතී. එය විශ්වයෙන් කරන දැනුම්දීමක් ලෙසද විශ්වාස කෙරේ. එය සැබෑවැකි. එය මනසට ඔබ්බෙන්  සිදුවන්නක් බැවින් විශ්වයෙන් ලැබෙන යමක් ලෙස සැළකීම සාධාරණය. කෙසේ වෙතත්, මෙවන් අයගේ අටවැන්න සුවිශේෂී බලයකින් යුතුය.


දොරටුවෙන් බැහැරව ගිය හෙවත්  ජීවිතයෙන් සමුගත්  අයෙකුගේ ධනය,දේපළ හෝ වෙනයම් වස්තුවක් උරුම වීමටද අටවැන්න ශක්තිමත් විය යුතුය. ඇතැමුන් ඒවා උරුම කර ගැනීමට නොයෙක් උපාය මාර්ග යොදන නමුත් නොලැබී යන්නේ උරුම ශක්තිය අටවැන්නේ නොමැති බැවිනි.


අවධියට පත් මුනිවර ඇසුර ලැබීමේ වාසනාව ද අටවැන්න හරහා හිමි වේ.  ඇසුර හිමි වීමම ප්‍රමාණවත් නොවේ. එතුළින් ජීවන පරිවර්තනයක් සිදු වීම හෝ නොවීම තීරණය වන්නේ අටවැන්නේ බලය ශක්තිය මතය.


ඥාති වරම්, අභ්‍යන්තර වරම්, බාහිර වරම්, සිහි වරම්, නේත්‍රා වරම් ආදී වශයෙන් වරම් විවිධාකාරය. වරම කුමක් වූවත් ඊට සම්බන්ධ වන්නේ අමනුස්සයෙකි. අමනුස්සයාද විශ්වව්‍යාපී ශක්තියකි. එවන් ශක්තීන් සමග ගණුදෙනු කිරීමට, එවන් ශක්තීන් හරහා ධනය හෝ වෙන යම් උපකාරයක් ලැබීමට ඊට අනුරූප ග්‍රහ බලයක් අටවැන්න සමග සම්බන්ධව තිබිය යුතුය. 


බොහොමයක් දෙනා තුළ අටවැනි භාවය පිළිබඳව ඇත්තේ එතරම් සතුටුදායක අදහසක් නොවේ. අටවැන්න, අටවැන්නාධිපති,අටවැන්නේ ග්‍රහයින් වින කටින, අවාසනාව කැන්දන ග්‍රහයින් බව විශ්වාස කරන්නෝ බොහෝය. විසිදෙවෙනි දෙර්කාණාධිපති ගැන කිව යුත්තේ ද එයමය. ඇතැම් විට අටට සම්බන්ධ ග්‍රහයින් අමිහිරි කටුක බලපෑම් එල්ල කළ හැක. තිඹිරිගෙයින් ඇසෙන්නේ වේදනාබර විලාප හඬය. ඉවසා සිටිය යුතුය. මොහොතකට පසුව නව ලොව එළිය දකින බිළිඳෙකුගේ මොළකැටි හඬ ඇසෙනු ඇත. 


ආධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 

සංජීව කුළුපන බණ්ඩාර 


Wednesday, May 14, 2025

මරණය සහ ග්‍රහයෝ

 


ආමර් වීදිය ගැන නොඇසූ කෙනෙක් මේ රටේ නැත. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මරණය ගැන නොදන්නා අයෙක් ද මේ රටේ නැත.ජනාධිපති ප්‍රේමදාස මේ රටේ දෙවැනි විධායක ජනාධිපතිවරයාය. මරණයට පත් වුණේ අදින් වසර 32 කට පෙර ය. දිනය 1993 මැයි පළමු වෙනිදාය. සිද්ධිය වන විට මැදියම් දහවල පසු වී විනාඩි කීපයක් ගෙවී ගොස් තිබුණි.

ජ්‍යොතිෂවේදීන් බොහොමයකගේ ගෞරවයට බඳුන් වූ ජ්‍යොතිෂ ගුරුවරයෙක් තම පන්ති කාමරයේ උගන්වමින් සිටියේය. ඔහු තම ගෝලයින් ඉදිරියේ කතා කරමින් සිටියේ ප්‍රේමදාස මහතාගේ කේන්දරය පිළිබඳවයි.මේෂ ලග්නයේ සංකේතය ලෙස එළුවා යොදාගැනීමට කුමක් හේතු වන්නට ඇත්දැයි හෙතම ගෝලයින්ගෙන් විමසා සිටියේය. සෑහීමකට පත් විය හැකි තරමේ පිළිතුරක් නොලැබුණි. ගුරුවරයා කටහඬ අවදි කළේය. ඉතා උස ගොඩනැගිලි, උස කඳු සහ ගල්, රූස්ස ගස්... මේ ආදී ඕනෑම තැනකට නැගගත් එළුවන් ඔබ දැක ඇතුවාට සැකයක් නැත. එළුවා යනු, කළ දේ කෙසේ කළා දැයි සිතාගත නොහැකි ආකාරයේ වැඩ කළ හැකි අරුම සතෙකි. ප්‍රේමදාස ද එවැනි චරිතයකි. පහළම තැන සිට ඉහළම පුටුවට නැගීම පමණක් නොව, 1987 වර්ෂයේ පාර්ලිමේන්තුවේ බෝම්බ පිපුරුණු අවස්ථාවේ තම නායකයා මේසය යටට තල්ලු කර ඔහුගේ දිවි රැකගත්තේ අගමැති ප්‍රේමදාසය. විපක්ෂයේ සිටියදී තම නායකයා විරුද්ධවාදීන්ගේ ග්‍රහණයට ලක් වුණු අවස්ථාවක, කිසිවෙකුට නොදන්වා තනිවම ගොස් හතර අතට නෙලා නායකයා බේරාගෙන පැමිණියේ ප්‍රේමදාසය. මේෂ ලග්න කාරයින්ගේ හැටි එහෙමය. ඔවුන් කරන්නට යන දේ නවත්තන්නට සක්කරයාටවත් නොහැක.

හිටපු ජනපති ප්‍රේමදාස මහතා මෙලොව උපන්නේ 1924 ජූනි 23 වෙනිදාය. කුජට අයත් මේෂ ලග්නයෙන් උපන් ප්‍රේමදාස මහතාගේ හඳහනේ ලග්නාධිපති කුජ මහා යෝගාඩ බලයෙන් යුතුව එකොළොස්වැන්නේය. ඒ කේතු හා පුෂ්කරාම්සයේ පිහිටි සඳු සමඟිනි. කුජ කුජගේම නැකතක කුජගේම නවාංශකයක ය. ලග්නය පුෂ්කරාම්සයේ ය. වික්‍රමස්ථානය සහ එකොළොස්වැන්න ද පුෂ්කරාම්සයේ ය. උපායකාරක, බුද්ධිකාරක බුධ දෙවන්නේය. සෙනසුරු වක්‍රව හත්වන්නේ ය. ගුරු වක්‍රව අටවැන්නේය. රවි සිකුරු සමග තෙවන්නේය. බුධ සහ සිකුරු අතර පරිවර්තනයකි. රාහු පස්වැන්නේය. කේන්දරයේ බලසම්පන්න බව පිළිබඳව අමුතුවෙන් යමක් කිව යුතු නොවේ. ප්‍රේමදාස මහතාගේ පියා රිචඩ් මුදලාලි මහතා ඒ කාලයේ මැලිබන් වීදියේ  විසු දෛවඥ ආර්. කේ. පියදාස මහත්තයා හමුවී පුත්‍රයාගේ ජන්මපත සාදවාගත් මොහොතේ ඵලාඵල  ඇසීමෙන් විමතියට පත් වූයේ ද නිකම් නොවේ.

ජනපති ප්‍රේමදාස මහතා 94 ජනවාරි තෙක් ජීවත් නොවන බව "කේන්දරය" පුවත්පතේ පොල්ගෙඩි අකුරෙන් ලිව්වේ දෛවඥ ඇහැලියගොඩ ජයන්ත ද සිල්වා ය. පළමු වතාවට 1998 දී මගේ ජ්‍යොතිෂ ලිපියක් පුවත්පතක පල කළ කතුවරයාය. එතුමා අද ජීවතුන් අතර නැත. 

 ඇතැමුන්ගේ අදහස මරණය ගැන විමසිය යුත්තේ දෙවැනි සහ හත්වැනි භාවවලින් බව ය. තවත්  සමහරුන්ගේ මතය අනුව මරණය තුන්වැන්නෙන් පරීක්ෂා කළ යුතු බවය. තවත් අය පවසන්නේ මරණය නිවේදනය කරන්නේ අටවැන්න බවය. කෙසේ වූවද, යමෙක් මරණයට පත් වූ පසුව ඊට හේතු වූ ග්‍රහ බලපෑම් පිළිබඳව නොයෙක් ජ්‍යොතිෂ න්‍යායන් ඉදිරිපත් කරන කිසිවෙකුත් යමෙකුගේ මරණයට පෙර කිසිවක් නොකියයි. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ කේන්දර කොතෙක් සමාජගතව තිබුණද කිසිවෙක් ඔවුන්ගේ අවසානය පිළිබඳව ඉඟියක් හෝ ඵල නොකිරීම විශේෂත්වයකි. දැනට දේශපාලනයෙන් ඈත්ව සිටින හිටපු ජන නායකයෙක් සම්බන්ධයෙන් ඇතැමුන් පසු ගිය කාලය පුරා වටින් ගොඩින් ඉඟි ඵල කළද මෙතෙක් ඒ කිසිවක් සැබෑ වූයේ නැත. මරණය ගැන අනාවැකි පැවසීම පහසු කාර්යයක් නොවේ.

මරණය උපදින්නේ ඕනෑම කෙනෙකුගේ උප්පත්තිය සමඟ ය. මරණය යනු ජීවිතය මෙන්ම වූ ක්‍රියාවලියකි. මරණය ජීවිතය සමඟ එක්ව ගලා යයි. එය ජීවිතයට විරුද්ධ දෙයක් නොවේ. උපන් දා පටන් මරණය ද සිද්ද වෙමින් පවතියි. මරණය සහ ජීවිතය යනු එකම ශක්තියේ, එකම සංසිද්ධියේ ධ්‍රැවීයතා දෙකකි. උපත සහ මරණය එසේත් නැතිනම් ජීවිතය සහ මරණය යනු අභිරහස් දෙකක් නොව එකම අභිරහසක දෙපැත්තකි. වඩදිය බාදිය, දිවා රෑ, ගිම්හානය හා ශීත කාලය මෙනි. ඒවා වෙන් වෙන්ව නොපවතින අතර ප්‍රතිවිරුද්ධද නොවේ. ඒවා එකෙනෙකින් ඌනපූර්ණ වේ.මරණය එක් ජීවිතයක සම්පූර්ණ කිරීමකි. මරණය නොමැතිව ජීවිතයට පැවතීමක් නැත. මේ අනුව උපත සහ ජීවිතය ගැන මූලිකත්වය දරන ලග්නය සහ ලග්නාධිපති මරණය සම්බන්ධයෙන් ද බැඳී සිටියි. 

ප්‍රේමදාස මහතාගේ මරණය සිදු වූ මොහොතේ උදා වී තිබුණේ කටක ලග්නයයි. ජන්ම කේන්දරයේ බලවත්ව සිටි ලග්නාධිපති  කුජ ඉතාමත් දුර්වලව ලග්න භාවයේ ය. කුජගෙන් අටවැන්න වූ කුම්භයේ ශනි ය. කුම්භ රාශිය යනු ජන්ම කේන්දරයේ ලග්නාධිපති සිටි රාශියයි. එමෙන්ම උපතේ කුම්භ රාශිය පතිත වූ එකොළොස් වැනි භාවය අටවැන්නේ ආරූඩ ස්ථානයයි. ජන්ම රාශිය වූ මේෂයේ රවි,බුධට අමතරව ගුලික සහ මාන්ධි ය.

ඕනෑම මරණයකදී, මරණය සමඟ ලග්නයේ සහ ලග්නාධිපති ගේ බැඳීම කැපී පෙනෙන බව පැහැදිලිව දැක ගත හැකිය.උපත සහ ජීවිතයේ ගලා යාම කියන්නා වූ ලග්න භාවය මරණය ගැන ද කියන්නා වූ මූලික ස්ථානය යි.

ආධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 
සංජීව කුළුපන බණ්ඩාර.
 


Tuesday, April 22, 2025

වැළඳ ගැනීමේදී වැළඳ ගැනීම බවට පත් වෙන්න.


 

ශිව කියනවා,
දරණීය වෙන්න. වැළඳ ගැනීමේදී වැළඳ ගැනීම බවට පත් වෙන්න. හාදුව බවට පත් වෙන්න. "මම තව දුරටත් නැත. ආදරය පමණක් පවතී." යැයි පැවසිය හැකි තරමට තමන්ව සම්පූර්ණයෙන්ම අමතක කරන්න. එවිට හදවත ස්පන්දනය නොවේ.ආදරය ස්පන්දනය වේ. එවිට රුධිරය සංසරණය නොවේ. ආදරය සංසරණය වේ. ඇස් නොපෙනේ. ආදරය දකී. ස්පර්ශ කිරීමට දෑත් චලනය නොවේ. ඒ වෙනුවෙන් ආදරය චලනය වේ. ආදරය බවට පත් වී සදාකාලික ජීවිතයට ඇතුළු වන්න.ආදරය හදිසියේම ඔබේ මානය වෙනස් කරයි. ඔබ කාලයෙන් ඉවතට විසි වී යන අතර ඔබ සදාකාලිකත්වයට මුහුණ දෙයි. ආදරය ගැඹුරු භාවනාවක් බවට පත් වෙයි. හැකි තරම් ගැඹුරුම...

🔆🔆🔆

ආදරය භාවනාවක් බවට පරිවර්තනය කළ හොත් එය සමාධියක් වනු ඇත. තන්ත්‍රයේ තේරුම එයයි.
තන්ත්‍ර ආදරය සහ ලිංගිකත්වය ගැන වැඩි වශයෙන්  කතා කරන්නේ මන්දැයි ඔබට තේරුම් ගත හැකිය. මක් නිසාද යත්, ආදරය යනු ඔබට මේ ලෝකය,මෙම තිරස් මානය ඉක්මවා යා හැකි පහසුම ස්වභාවික දොරටුවයි.
එමෙන්ම එය බොහෝ ශාන්තුවරයින්ට, යෝගීන්ට මඟ හැරුණු දොරටුවයි.

සංජීව කුළුපන බණ්ඩාර.
සාරථි ආධ්‍යාත්ම කේන්ද්‍රය.

Tuesday, July 23, 2024

ගුරුමුෂ්ටි



මුහුණු පොතේ ජ්‍යොතිෂ සමූහයක ඔය විදියෙ පෝස්ටුවක් තිබුණා. ඒකට ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තිබුණා. මම ජ්‍යොතිෂ සමූහවල අදහස් දක්වන්න යන්නෙ කලාතුරකින්. මුඩුක්කු නිවාස අතරින් වැටිලා තියෙන පාරවල්වල යන කොට සමහර වෙලාවට වලි ගෝරි ඇහෙනවනෙ. අන්න ඒ ගෝරිවලදි ඇහෙන වචනවලටත් වඩා අන්ත වචන භාවිතා කරන ජ්‍යොතිෂ මහත්තුරු ඉන්නවා.සමහරුන්ගෙ ආදරණිය ගෞවරනීය උපදේශකවරු තමයි. ඒ වුණාට කිසිම චාරයක් නෑ. ඉතින්, යම් කිසි සමූහයක දකින්න ලැබුණු කාරණයකට අදහසක් දක්වන්නම ඕනැ කියලා හිතුනොත් ඒ වැඩේ මගේ වෝල් එක ඇතුළෙ කරන එක තමයි මගේ සිරිත. මේකත් ඒ වගේ එකක්.


ජ්‍යොතිෂයෙ ගුරුමුෂ්ටි තියෙනවද ? ගුරු මුෂ්ටි කියන්නෙ මොනවද ?
ගුරුමුෂ්ටි කියන්නෙ ගුරුවරයෙක් ගෝලයාට නොදී සඟවගන්නා දේවල්නෙ. ඉතින් එච්චරටම නොදී සඟවාගන්න දේවල් ජ්‍යොතිෂයෙ තියෙනවද ? ඔය පෝස්ටුවෙන් මතු කරලා තියෙන කාරණය ඒක.

අපි දන්නවා මුනිවරු ගැන. තමන්ගෙ ආගමේ මුනිවරු ගැන තමයි ගොඩක් දෙනෙක් වැඩි වශයෙන් ඉගෙනගෙන තියෙන්නෙ. උපන් ගමන් ඇවිදගෙන ගිය බව, උපන් ගමන් කතා කළ බව, උපන් ගමන් අහසෙ සිටි බව පොතපතේ තියෙනවා. ඇයි එහෙම කතා නිර්මාණය කරලා තියෙන්නෙ ?

ඒ තමයි පරතරය නිර්මාණය කිරීම. " ඔන්න පේනවනෙ... ඒ තත්වයට පත්වීම සෙල්ලමක් නෙමෙයි. ඒ තත්වයට පත් වෙන්න නම් හදන්නෙ ඒ හැම දෙයක්ම කරන්න වෙනවා. ඒ හින්දා බැරි දේවල් නොකර අනුගාමිකයො විදියට හිටපල්ලා...අවබෝධයට පත් වෙන්න ඕනැ නෑ...ඒක කරන්න බැරි වැඩක්."

පූජකවරු ඉගෙනගෙන තියෙන්නෙ ඔය විදියට. ඒ අය අනිත් අයට උගන්වන්නෙ ඔය විදියට. ඔය තමයි පරතරය හදලා තියෙන විදිය. ඔය තමයි අනුගාමික ජනයා ඉගෙනගෙන තියෙන සහ විශ්වාස කරන විදිය.


සියලු ආධ්‍යාත්මික ශාස්ත්‍ර සමඟ ඔය ගුරුමුෂ්ටි කතාව ඈඳීලා තියෙනවා. ලේසි නෑ. හංගලා තියෙන ටික ගත්තෙ නැත්නම් ඔය වැඩේ කරන්න බෑ. ඒක තමයි කතාව.

ඉගෙනීම සහ අවබෝධය කියන්නෙ දෙකක්. ආධ්‍යාත්මික ශාස්ත්‍රවල අවබෝධ කර ගත යුතු දේවල් අද වෙන කොට බොහෝ දෙනෙකුට මඟහැරිලා තියෙනවා. මේක ක්‍රම ක්‍රමයෙන් සිදු වුනු දෙයක්. ජ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව, නිමිති පමණක් නෙමෙයි භාවනාව පවා අද තියෙන්නෙ අන්තිම සාරය තෙක් කාගෙන් හෝ ඉගෙනගැනීමේ උත්සාහයක. සියල්ල ඉගෙනගැනීමේ උත්සාහයේ දී සිටින පුද්ගලයාට මඟහැරෙන ප්‍රමාණය වැඩියි. අවබෝධ කරගන්නා පුද්ගලයාට මඟහැරෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි.

"ජ්‍යොතිෂ ගුරුමුෂ්ටි" පොත් විදියටත් මේ රටේ විකුණනවා. කෙනෙකුට පුළුවන් "ගුරුමුෂ්ටි පාඨමාලාව" කියලා පන්ති පවත්වන්න. සෝවාන් වෙන්න ගාන මෙච්චරයි, රහත් වෙන්න ගාන මෙච්චරයි කියලා හම්බ කරන්න පුළුවන් රටේ, ඒ වගේ තැන්වලට යන්න ඕනැ තරම් බුද්ධිමත් ජනයා ඉන්න රටේ මොනවද කරන්න බැරි ?


සංජීව කුළුපන බණ්ඩාර.

Saturday, April 20, 2024

මිනිසා තවම ඉපදී නැත.

 


"සෙත් කවියක් හදාගන්න ඕනැ කරලා තියෙනවා. මහත්මයාට පුලුවන්ද මට ඒක කරලා දෙන්න ?"

"පුළුවන්...මොකක්ද කාරණය ?"

මහත්මයා,මගේ පුතා අසනීප වෙලා...එයාට ගොඩක් අමාරුයි. හඳහන බැලුවම කිව්වා ගොඩක් අපල තියෙනවා, විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් හදලා කියවන්න කියලා..."

" මට එයාගෙ නමයි, උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි සඳහන් කරලා එවන්න. කවිය ඉක්මනට හදලා දෙන්නම්"

" අනේ ලොකු පිනක් මහත්මයා...මහත්මයා මේ දවස්වල පුර අව ප්‍රශ්නයක් හින්දා සෙත් කවි හදන්න අපහසුකමක් තියෙනවද ?"

"පුර අව බලන්න පුළුවන් යැ ඔය වගේ වෙලාවක...හැකි ඉක්මනට කවිය හදලා කියවන එකනෙ කරන්න ඕනැ"

" ඒක තමයි මහත්මයා වෙන්න ඕනැ...මම මේ කිට්ටුව ඉන්න මහත්මයෙක් මුණගැහුණා. ඒ මහත්මයා කිව්වා මේ දවස්වල කීයටවත් සෙත් කවි නම් හදන්න බෑ, මේ අව පක්ෂය ගත වෙන්නෙ කියලා...සෙත් කවි පුර පක්ෂයේ හදන එකලු සම්ප්‍රදාය..."


 මේ ළඟදි සිද්ද වුණු සිදුවීමක් ඔය. සමහරු සම්ප්‍රදාය රකිනවා කිකිළි බිජු රකිනවා වගේ. ලෙඩා මැරෙන්න පුළුවන් ඒත් සම්ප්‍රදායට පිටින් මොනවත් කරන්න බෑ. මේ මිනිස්සුද ? අද මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම ජ්‍යොතිෂය වැනි ක්‍ෂේත්‍රවල වගේම ආගම් තුළත් මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. ස්වභාවික මිනිසුන් නෑ. පොත් කතා කරනවා, සෘෂිවරු කතා කරනවා,ගුරුවරු කතා කරනවා සැබෑ මිනිසුන් හැංගිලා.

පන අදින ලෙඩෙක් ඉන්නවා. ලෙඩා ඉතාමත් දුර්වලයි. සිහිකල්පනාවත් ටිකක් අඩුයි. ලෙඩාව සනීප කරගන්න වෙදමහත්තයෙක්ව ගෙන්වනවා. වෙදමහත්තයා කියනවා " මුළින්ම බඩ සුද්ද වෙන්න බෙහෙත් දෙන්න ඕනැ. ඒක තමයි අපේ වෙද පරම්පරාවෙ සම්ප්‍රදාය. බඩ සුද්ද කරන්නෙ නැතුව මොනවත් කරන්න බෑ..."

"අනේ මේ මනුස්සයා දැන් හරිම දුර්වලයිනෙ වෙදමහත්තයා...බඩ සුද්ද කරන්න ගිහින් ලෙඩා මළොත් එහෙම...?"

"ලෙඩා මැරුණට කරන්න දෙයක් නෑ මුළින්ම බඩ සුද්ද කරන එක අපිට උගන්වලා තියෙන විදිය නේ...ඒක අපේ සම්ප්‍රදාය..."


ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නෙ ඔන්න ඕවට තමයි. ඉගෙනගෙන තියෙන විදිය. අරගෙන යන සම්ප්‍රදාය. ඇතුළට දාගත්තු දැනුම මිසක් එතනින් එහා "ඇත්ත මනුස්සයෙක්" නෑ.

පරාශර කතා කරනවා. නාරද කතා කරනවා. ඈපා අප්පුහමි කතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති කතා කරනවා. කෝ ඇත්ත මිනිස්සු ? ඉන්න තරමක් ඉන්නෙ මළවුන්. ස්ලෝක කටපාඩම් කරලා ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ.ඒවා අනුන් නිර්මාණය කළ ස්ලෝක මිසක් තමන්ගෙ ස්ලෝක නෙමෙයි. පාඩම් කරලා මතක තබාගැනීමේ හැකියාව ඇති ඕනැම කෙනෙකුට ස්ලෝක පාඩම් කරන්න පුළුවන්. වැඩිපුර පොත් කියවලා මතක තියාගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. අහවල් ගුරුවරයාගෙන් දැනුම ගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. ඇත්ත මනුස්සයෙක් වෙන්න පිරිසිදු  ආධ්‍යාත්මයක් තියෙන්න ඕනැ. ආධ්‍යාත්මය කඩා වැටිච්චි ව්‍යාජ මිනිස්සුන්ට පුලුවන්ද මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගැටලුවලට විසඳුම් දෙන්න ? කවදාවත් බෑ. ආරූඩ කරගෙන ඉන්න මළවුන්ට නෙමයි, ගොඩගහලා තියාගෙන ඉන්න පොත්වලට නෙමෙයි මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන මිනිස්සු ඉන්න ඕනැ.   " කොමඩි ස්ටාර්" වීමේ පුදුමාකාර උමතුවකින් කටයුතු කරන ලැජ්ජාව නැති මිනිසුන් වෙනුවට කප්පරක් ගැටළු කරදරවලට දිවා රෑ මුහුණ දෙන මිනිසුන්ට යහපත් අනාගතයක් උදෙසා සහය විය හැකි ශිෂ්ට මිනිසුන් ඉන්න ඕනැ.


දැනුම කියන්නෙ මෙවලමක්. දැනුම ආත්මය බවට පත් කරගත්තු මිනිසුන්ගේ ආධ්‍යාත්මය ඉතාමත් දුර්වලයි. ඔවුන්ට අවබෝධයක් නෑ. දැනුම විසින්, ගුරුවරයා විසින් නටවන රූකඩ වෙනුවට තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න පුළුවන් මිනිස්සු අද ඉතා විරළයි. 


ජ්‍යොතිෂය ඉගෙනගන්න ආධුනික පිරිස මතක තබාගත යුතු කාරණයක්. ඔබේ ගුරුවරයා තව කාගෙන් හෝ එකතු කරගත් දැනුමක් ඔබට ලබා දෙනවා. ඊට අමතරව නොයෙක් පොත් පත්වලින් ඔබ දැනුම එකතු කරගන්නවා. මේ කිසිවකින් ඔබට අවබෝධය ඇති වෙන්නෙ නෑ. දැනුම ලබාගන්න.  අවබෝධය තමන් විසින්ම ඇති කරගන්න. දැනුම භාවිතා කරන්න. අවබෝධයෙන් කටයුතු කරන්න.


සංජීව කුළුපන බණ්ඩාර  














Thursday, February 1, 2024

දේශනය.

ආයු බෝ වේවා.

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ආදරණිය සාමාජික මහත්මියනි, මහත්වරුනි. 2024 වසරේ පළමු මාසයෙ මේ විදියට ඔබ සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙනවා.

අපි සියලු දෙනා නියැලෙන්නෙ ඉතාමත් ගෞරවනීය අභිමානවත් සේවාවක. ජ්‍යොතිෂවේදියා යනු වසර සිය ගණනකට පෙර සිංහල භූමියේ සෑම ගමකම ඉහළම ජනතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක්ය කියන එක අපි මතක තියාගන්න ඕනැ. ජීවිතයේ සෑම සියලු විශේෂ අවස්ථාවකදීම ජනතාව උපදෙස් ලබාගත්තෙ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් සහ ගමේ වෙද මහත්තයගෙන්. වෙද මහත්තයා කිව්වට ඒ කාලෙ නක්ෂත්‍ර කටයුතු සහ වෙදකම දෙකම කළේ මහත්තයා එහෙමත් නැත්නම් ගුරුන්නාන්සෙ විසින්. ඉපැරණි ජන සමාජය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තුළ සජීවීකරණය වන අවස්ථාවලදී අපට ඒ බව දකින්නට ලැබෙනවා. කාලයාගේ ඇවෑමෙන් නිවේදක නිවේදිකාවන්, නළුනිළියන්, දේශපාලඥයින්  ජනතාවට උපදෙස් දෙන්න පටන් ගත්තා. ප්‍රතිඵල හොඳටම පෙනෙන්න තියෙනවා. ජ්‍යොතිෂවේදියාට උරුම නියම ගරුත්වය අභිමානය නැවත මේ පොළව මත හිමි කරගැනීමේ වගකීම ඔබ අප සියලු දෙනාගේම වගකීමක්. තත්වයට නොගැළපෙන දේවල්වලින් වැළකිලා, අනවශ්‍ය වාද විවාධ, ගැටුම් ඝට්ටන ආදියෙන් ඉවත් වෙලා තමන්ගෙ ගෞරවයත් සාස්ත්‍රයේ ගෞරවයත් රැකගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ වගේම අද වන විට ජ්‍යොතිෂය හා ජ්‍යොතිෂවේදියා වෙනුවෙන් ක්‍රියාත්මක පුරෝගාමී සංවිධානයක් වන සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය සමඟ ඉතාමත් ආදරයෙන් සැමදාම රැඳී සිටින්න කියන ඉල්ලීමත් මේ වෙලාවෙ කරනවා.

විශේෂයෙන් දෙයක් සඳහන් කරන්න ඕනැ. අපි ජ්‍යොතිෂ පොත පත කියවනවා.ඒ හැමදේකම සඳහන් කරලා තියෙන්නෙ සෘෂිවරු ප්‍රකාශ කළාය කියන දේවල්. පරාසර,වරහාමිහිර, ජෛමිනි ආදී සෘෂිවරු තම ආධ්‍යාත්මික බලය තුලින් අත්දුටු දේවල් එහෙමත් නැත්නම් තමන්ගෙ අත්දැකීම් තමයි නොයෙක් භාෂාවන්ට පරිවර්තනය වෙලා තියෙන්නෙ. අත්දැකීමක් කිසිම විදියකින් භාෂාවට නඟන්න බෑ. පුළුවන් විදියට තමයි ඒ අය ඒ අත්දැකීම් ප්‍රකාශ කරලා තියෙන්නෙ. බුද්ධ දේශනයත් ඒ වගේ තමයි. ඉතින් මේ දේවල් නොයෙක් දෙනා තේරුම් ගන්නෙ නොයෙක් ආකාරයට. තම තමන්ගෙ නැණ පමණින් තමයි අවබෝධ කරගන්නෙ. ඉතින් නොයෙක් දෙනා අතරෙ ගැටුම් ඇති වෙනවා. කෙනෙක් හිතනවා මම අවබෝධ කරගෙන තියෙන විදිය හරි කියලා.වෙනත් අදහස් එක්ක ගැටුම් ඇති කරගන්නවා. කරන්න තියෙන හොඳම දේ තමයි දැනුම විදියට පොත පතින් ගන්න හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇති කරගන්න එක. මගේ විග්‍රහයන් ආධ්‍යාත්මික පැත්තට බරයි. මම වැඩි වශයෙන් ඉන්නෙ ආධ්‍යාත්මික ජ්‍යොතිෂය තුළ. කෙනෙකුට මගේ අදහස් නොතේරෙන්න පුළුවන්.  

තවත් දෙයක් මතක තියාගන්න. ඕනෑම දෙයක් ඕනැවට වඩා සංකීර්ණ කර ගත්තොත් අමාරුවෙ වැටෙනවා. ඒ හින්දා අපි නිතර භාවිතා කරන ක්‍රමවේදයන් ගැන වඩාත් පුළුල් අවබෝධයක් ඇති කරගන්න එක වැදගත් වෙනවා. එහෙ මෙහෙ දකින, එක එක්කෙනා කියන නානාප්‍රකාර ක්‍රම අනුගමනය කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවට වඩා තම අනුගමනය කරන ක්‍රමවේදය ගැන හොඳම නිපුණත්වයක් ඇති කරගැනීම තමයි වැදගත් වෙන්නෙ.හැම දෙයක්ම කලවම් කරගත්තොත් ස්ථිර නිගමනයකට එළඹෙන්න අපහසු වෙනවා.

කේන්දරයක තියෙනවා ත්‍රිකෝණ හතරක්. කේන්ද්‍රස්ථාන හතරක් තියෙනවා. ත්‍රිකෝණ හතර තමයි,
ධර්ම ත්‍රිකෝණය -1,5,9
අර්ථ ත්‍රිකෝණය - 2,6,10
කාම ත්‍රිකෝණය - 3,7,10
මෝක්ෂ ත්‍රිකෝණය - 4,8,12

මෙතැනින් "ධර්ම ත්‍රිකෝණය" ප්‍රධාන ත්‍රිකෝණය විදියට සැලකෙනවා. පළමු භාවය,පස් වැනි භාවය සහ නව වැනි භාවය.මේ එක පහ නවය කියන ස්ථාන තුනෙන් පුද්ගලයෙකුගේ සමස්ථ ආකෘතිය තේරුම් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. එක පහ නවය විතරක් නෙමෙයි, සෑම භාවයක් ගැනම සෑම තැනම සඳහන් වෙන්නෙ බොහොම සරල කාරණා ටිකක්. ඒ භාවයන්හි ඇතුළාන්තය සහමුළින්ම හංගලා මතුපිටින් කියැවෙන කාරණා කීපයක් තමයි බොහෝ තැන්වල දකින්න තියෙන්නෙ. සෘෂිවරු අවබෝධ කරගෙන ප්‍රකාශ කරපු ඇතුළාන්ත සාරය කාලයාගේ ඇවෑමෙන් නැති වෙලා ගිහින් තියෙනවා. ඒ හින්දා මේ භාවවල ඇතුළාන්ත කතාව හොඳින් අවබෝධ කරගන්න ඕනැ. බුදුන් වහන්සේ දේශනා කළා සමස්ථ විශ්වයම මනුෂ්‍යයා තුල තියෙනවාය කියලා. අව්ව,වැස්ස,සුළඟ ශරීරය තුළ තියෙනවා වා පිත් සෙම් විදියට. විශ්වයේ සියලු දේ වගේම ශරීරයත් පංච භූතාත්මකයි. රාශි සහ භාවවල රජස් තමස් සත්ව ස්වභාවය පවා හොඳින් අවබෝධ කරගන්න ඕනැ. රජස් තමස් සත්ව ස්වභාවය පරමාණුවෙ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. පරමාණුවක ස්වරූපය බොහෝ දුරට සෞරග්‍රහ මණ්ඩලයේ ස්වරුපයට සමානයි. පරමාණුවෙ න්‍යෂ්ටිය සූර්යයා වගේ. න්‍යෂ්ටිය වටේ කක්ෂ ගතවෙලා කැරකෙන ඉලෙක්ට්‍රෝන සූර්යයා වටේ කැරකෙන ග්‍රහ ලෝක වගේ. ප්‍රෝටෝන රජස් ගුණය නියෝජනය කරනවා. නියුට්‍රෝන සත්ව ගුණය නියෝජනය කරනවා. ඉලෙක්ට්‍රෝන තමස් ගුණය නියෝජනය කරනවා. සමස්ථ විශ්වයම මනුෂ්‍යයා තුළ තියෙනවා. ඉතින් අපි විශ්වයෙම ආකෘතියක් තමයි කේන්දරය තුලින් තේරුම් ගන්න හදන්නෙ. ඒ හින්දා සෑම භාවයකම සෑම රාශියකම සෑම දෘෂ්ටියකම ඇතුළාන්තය හොඳට හෝදිසි කරන්න වෙනවා.

සිව්වැන්න මාතෘ ස්ථානය එහෙමත් නැත්නම් දේපළ ගේදොර ගැන කියැවෙන ස්ථානය පමණක් නෙමෙයි.. එතැන හදවත ගැන, හදවතේ ස්වභාවය ගැන කියැවෙන තැන.පුද්ගලයාගේ හදවතේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක සිව්වැන්නෙන් අවබෝධ කරගන්න ඕනැ. 

හත්වැන්න සියලු ආකාරයේ සහකරුවන් ගැන, සහයෝගීතාවය ගැන කියැවෙන තැන. සසර තුළ සහයෝගීතාවය පත්වාගෙන ගිය විදිය,ඊට අනුරූපව මේ භවයෙදි සහයෝගීතාවය ලැබෙන විදිය වගේම තවත් බොහෝ කාරණා කියවෙන තැනක්.

දසවැන්න කර්මස්ථානය. රැකියාව පමණක් නෙමෙයි. පුද්ගලයෙක් ක්‍රියාත්මක වන ආකාරය, කරන දේවල්, කරන්න සිද්ද වෙන දේවල් ගැන කියැවෙන තැන.

ඒවගේම මේ සෑම භාවයකම ආරූඩ ස්ථාන, ඒ ආරූඩ ස්ථානවල අධිපතීන් අපට කියන සැඟවුණු කතාවට අපි හොඳින් ඇහුම්කන් දෙන්න ඕනැ. 

 අපට පුළුවන් වෙයි දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් සංවිධානය කරන්න. ඒක ප්‍රයෝජනවත් වෙයි.සභාපතිතුමා සහ නිලධාරී මණ්ඩලය සමඟ කතා බහ කරලා එවැනි වැඩසටහනක් සංවිධානය කරමු. 

පළමු දේශනය ප්‍රමාණවත් වෙයි කියල හිතනවා ආරම්භයක් විදියට. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි. ජය වේවා.

සංජීව කුළුපන බණ්ඩාර 




Sunday, December 17, 2023

කේන්දරයේ පස්වැන්න.

  



ආදර සම්බන්ධතා ගැන කියැවෙන්නෙ කේන්දරයේ කුමන භාවයෙන්ද ? සිහියෙන් යුතු ඕනෑම ජ්‍යොතිෂවේදියෙක් කියයි පස්වැන්නෙන් කියල. ආදරය උපදින්නෙ හදවතේ නම්, හදවත ගැන කියැවෙන්නෙ සිව්වැන්නෙන් නම් සම්බන්ධතා ගැන ඇයි පස්වැන්නෙන් කියැවෙන්නෙ ? 

මාඕ සේතුං කුඩා කාලයේ මතකයක් ගැන මෙන්න මේ විදියට ලියල තියෙනවා. මාඕගෙ මවට ලස්සන මල් වත්තක් තිබුණා.  මාඕගෙ මහලු මව බොහොම ආදරෙන් මේ මල් වත්ත බලාගත්තා. මේ මල් වත්ත මොන තරම් ලස්සනද කියනවා නම් දුර පළාත්වලින් පවා ජනයා මල් වත්ත බලන්න පැමිණියා. අනපේක්ෂිත විදියට මාඕගෙ මව අසනීප වුණා. ඇය මල් වත්ත ගැන ගොඩක් කණගාටු වුණා.තමන් ආදරෙන් රැක බලාගත්තු මල් වත්තට මොනවා වෙයිද...?

 මාඕ කිව්වා "අම්මා දුක් වෙන්න එපා. මම මල් වත්ත හොඳට බලාගන්නම්..."

මාඕ උදේ සිට රෑ වෙනකල් මල් වත්ත බලාගත්තා. මාසයකින් පමණ මවට තරමක සුවයක්  ලැබුණා. ඇය මල් වත්ත බලන්න ආවා. මල් වත්තෙ තත්වය දැකලා ඇය කම්පාවට පත් වුණා. සියලු ගස් වේලිලා. මල් මැලවිලා. මල් වත්ත විනාශ වෙලා ගිහින්. ඇය බොහොම දුකෙන් මාඕගෙන් ඇහුවා " මෝඩයෝ...දවස තිස්සෙම මේකේ නේද හිටියෙ...? උඹ මොනවද මේකට වෙලා කළේ ? මල් වත්ත විනාශ වෙලා...ගස් වේලිලා ගිහින්...ඔක්කොම මැරෙන්නනෙ යන්නෙ..."


මාඕ අඬන්න පටන් ගත්තා. ඔහුටත් ගොඩක් දුකයි. ඔහු දවස තිස්සෙම මහන්සි වුණා. ඒත් මොකක් හරි හේතුවකට ගස් වේලිලා. මාඕ අඬ අඬා උත්තර දෙනවා. " මම ගස්වලට හොඳට සාත්තු කළා...ආදරය කළා. ඒවා සිපගත්තා. හැම කොලයකම තිබුණු දූවිලි පිහදැම්මා. මම දන්නෙ නෑ මොකක්ද වුණේ කියලා..."  මව හිනාවෙන්න පටන් ගත්තා. "උඹ නම් හරිම මෝඩයෙක් තමයි. උඹ තවම දන්නෙ නෑ මල්වල ජීවිතය තියෙන්නෙ මල්වල නෙමෙයි කියලා...කොළවල ජීවිතය තියෙන්නෙ කොළවල නෙමෙයි කියලා...මල් සිපගත්තට ඒවා පවතින්නෙ නෑ. කොළවල දූවිලි පිහදැම්මට ඒවට ජීවය ලැබෙන්නෙ නෑ. මුල්වලට සාත්තු සාත්තු කරන්න ඕනෑ"


 අපිටත් තියෙනවා ප්‍රශ්නයක්. කොහෙද අපේ මුල් තියෙන්නෙ ? අපි කොහෙන්ද මුල් ඇද්දෙ ? ආදර සම්බන්ධතා ගැන පහෙන් කියැවන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට හිමි ආධ්‍යාත්මික උත්තරය දෙන්න කලින් අපිත් අපේ මුල් ගැන දැනගන්න ඕනැ.


අපි කාගෙන් හෝ ඇහුවොත් ශරිරයෙ වැදගත්ම තැන, වැදගත්ම කොටස මොකක්ද කියල එයා කියයි හිස කියලා. කාන්තවක් නම් බොහෝ විට කියයි හදවත කියලා. හිස, හදවත දෙකම වැදගත්. ඒකෙ වරදක් නෑ. ඒත් අපේ මුල් ඇදපු තැන ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. ගසක් තම ජීවන ශක්තිය පොළවෙ ඇති මුල්වලින් ලබාගන්නවා වගේ ජීවන ශක්තිය උරාගන්නා විශේෂ ස්ථාන අපේ ශරීරයෙත් තියෙනවා. ශරීරය ජීවමානව,සජීවීව පවතින්නෙ අන්න ඒ හින්දයි. යම් කිසි දවසක මේ මූලයන් බෙලහීන තත්වයට පත් වෙන කොට ශරීරය මියැදෙන්න පටන් ගන්නවා.


දරුවෙක් මව් කුසේ ඉපැදී කාලයක් ඒ තුළම වැඩෙනවා. දරුවා මවට සම්බන්ධ වෙන්නෙ හිසින්වත් හදවතින්වත් නෙමෙයි. දරුවා සම්බන්ධ වෙන්නෙ නාභියෙන්. දරුවා නාභිය තුළින් ජීවන ශක්තිය උරාගන්නවා. මිනිස් ශරීරයේ වැදගත්ම ස්ථානය නාභිය යි. ඊට පසුව හදවතත් එතැනින් පසුව මනසත් වර්ධනය වෙනවා. ආදරය නමැති මල් හදවතේ පිපෙනවා. දැනුම නමැති මල් මනසෙ පිපෙනවා. සියල්ල සිද්ද වෙන්නෙ ඒවා මත තමයි කියල අපි හිතනවා. නමුත් අපේ මුල් පද්ධතිය, එහෙමත් නැත්නම් ජීව ශක්තිය තියෙන්නෙ නාභියෙ. එතන මල් පිපෙන්නෙ නෑ. ශරීරයේ ශක්ති මධ්‍යස්ථානය, ගුරුත්ව කේන්ද්‍රය නාභියයි


කුණ්ඩලිනි යෝග භාවනාව තුළ නාහි මණ්ඩලය සූර්ය ජාල චක්‍රය (Solar plexus chakra) විදියට හඳුන්වනවා. නාභිය නියෝජනය වෙන්නෙ කේන්දරයෙ පස්වන්නෙන්. පස් වැන්න කියන්නෙ විශ්ව කේන්දරයෙ රවි හිමි සිංහ රාශිය. මේ පස්වැන්න තමයි සම්බන්ධතා ඇති කරන තැන. ආදරයේ මල් විකසිත වෙන්නෙ හදවතේ වුණාට සම්බන්ධකම් ඇති වෙන්නෙ නාභියෙන්. 


සෘෂිවරු මොන තරම් ආධ්‍යාත්මිකද...? ඔවුන් ආධ්‍යාත්මිකව අවබෝධ කරගත් සියලු දේ අපි භාහිර මෙවලම් විදියට භාවිතා කරනවා. අපි ආධ්‍යාත්මික නෑ. අපිට ඕනැ කරන්නෙ සෘෂිවරු සොයාගත් දේවල් විතරයි. හැකි තරම් පොත්, හැකි තරම් දැනුම. 


බලන්න. නියමිත කාලය ආවම, ඒ කියන්නෙ දරුවා මවගෙන් වෙන් විය යුතු කාලය පැමිණි පසුව නාභිය හරහා තිබූ සම්බන්ධය කපා දමනවා. තමන්ටම කියල ජීවිතයක් ගත කරන්න දරුවා මවගෙ ශරීරයෙන් වෙන් වෙනවා. නාභිය තුළින් ලෑබූ ජීවන ශක්තිය නතර වුණාම දරුවාගේ ශරීරයම කම්පනය වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ගලා විත් එක් වරම නතර වුණු ජීවන ශක්තිය දරුවාගේ සමස්ත පැවැත්ම විසින්ම ඉල්ලා සිටිනවා. ජීවිතය සඳහා පොර බදන දරුවා තදින් හඬන්න පටන් ගන්නවා. හැඬුවෙ නැත්නම් ප්‍රශ්නයක්. වෛද්‍යවරු කලබල වෙනවා. මොකද, ජීවන ශක්තියෙන් වෙන්වීම දරුවට දැනෙන්න ඕනැ.


නාභිය හරහා ජීවන ශක්තිය උරාගත් දරුවා නැවත මව සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද ? දරුවා නැවත ජීවන ශක්තිය ලබාගන්නවා මවගේ කිරිවලින්. එහෙම නම් දරුවාගේ දෙවන සම්බන්ධය හදවත සමඟ සිද්ද වෙනවා.හදවතේ උපන් මහ මෙරක් තරම් ආදරය කිරි කරලා දරුවට පොවන කොට දරුවා මවගෙ හදවතේ උණුසුම විඳගෙන, හදවතේ රිද්මයට කන් දීගෙන වැඩෙනවා. තවත් පරිපථයක් නිර්මාණය වෙලා තියෙන අපූරුව බලන්න. දරුවෙක් මවගේ කිරිවලින් පෝෂණය නොවන්නේ නම් ඒ දරුවා සදාකල් දුර්වල වෙනවා. බොහොමයක් බටහිර රටවල දරුවන් ඉතාමත් ඉක්මණින් මව් කිරිවලින් වෙන් කිරීමේ ප්‍රතිඵල විදියට විරෝධාකල්පවලින් යුතු ළමයින් සමාජයට එකතු වෙනවා..තුවක්කුව අතට අරගෙන දෙමාපියන්ටත් වෙඩි තබා පාසලට ගොස් ගුරුවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට පවා වෙඩි තබන අවස්ථා ගැන වරින් වර අපට අසන්නට ලැබෙනවා.  පෙරදිග රටවලත් මේ අවාසනාවන්ත තත්වය සිදු වෙමින් පවතිනවා. පසළොස්වක පොහොය දවසෙ පවා වයසක අම්මව තාත්තව මහමගට ගෙනිහින් අතරමං කරන උගත් පොහොසත් දරුවො ගැන අපට අහන්නට ලැබෙනවා. මිනිස්සු බනිනවා " මුන් දරුවොද...?" ඒ දරුවන්ගේ හදවත වර්ධනය කිරීමෙහිලා දෙමාපියන්ගේ දායකත්වය ලැබුණාද නැද්ද අපි දන්නෙ නෑ. කිරි බොන වයසෙ දරුවො පවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගාල් කරන කොට, යන්තම් වචන උච්චාරණය කරන කොට පෙර පාසලට යොමු කරලා මනස පුරවන කොට ඔය වගේ දේවල් සිදුවීම අරුමයක් නෙමෙයි.


හිතන තරම් වේලාසනින් නෙමෙයි. ඇති තරම් මව් කිරි බීමෙන් අනතුරුව  දරුවාට මවගේ කිරිවලිනුත් වෙන් වෙන්න සිද්ද වෙනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ ? නාභියට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන්, හදවතට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන් මනසෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ වෙනවා.මෙන්න මේ අවස්ථාවෙ තමයි බොහෝ ගැටළු නිර්මාණය වෙන්නෙ. සියලු බර, සියලු කාර්යයන් මනසට පටවන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මනසෙන් ආදරය කරන කෙනෙකුගේ ආදරය ව්‍යාජයි. ආදරය හදවතේ කාර්යයක් මිසක් මනසේ කාර්යයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨතම ජීවන ශක්තිය තමයි ලිංගිකත්වය කියන්නෙ. ලිංගිකත්වය මනසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙ මධ්‍යස්ථානය තමයි නාභිය. අද ලෝකය පුරා මනස්වලට  ලිංගිකත්වය ඇතුල් වෙලා. දවසේ පැය විසිහතර පුරාම ලිංගිකත්වය ගැන සිතන තත්වයක් ඇති වෙලා. ලිංගිකත්වයේ සැබෑ අපූර්වත්වය, ප්‍රීතිය මිනිසාගෙන් දුරස් වී යමින් පවතිනවා. 


 ජීවිතයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථාන තුනක කාර්යය තනි මනස වෙත පවරන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාජයේ බහුතරයක් අඩ සිහියෙන් ක්‍රියාත්මක වෙනවා. 


ජීවනයේ මධ්‍යස්ථානය නාභියයි. හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය හදවතයි. සිතීමේ මධ්‍යස්ථානය මනසයි. මේ එක් එක් මධ්‍යස්ථානය නියමිත රිද්මයට සුසර කිරීමේ මාර්ගය භාවනාවයි. 


එක්තරා ජ්‍යොතිෂ සමූහයකට කෙනෙක් යොමු කරනවා තමන් දුටු සිහිනයක් ගැන ප්‍රශ්නයක්. ජ්‍යොතිෂවේදියෙක් පිළිතුරු දෙනවා. "අහවල් පොතේ අහවල් පරිච්ඡේදයෙ අහවල් පිටුවෙ ඔය සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා..." මොන ලැජ්ජා නැති උත්තරයක්ද...  මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට පොත බලලා උත්තර දෙන මිනිස්සු. කෙනෙක්ගෙ ප්‍රශ්නයකට අනුන්ගෙ උත්තර සපයන මිනිස්සු. මෙන්න මේ අය තමයි දක්ෂයො විදියට සැළකන්නෙ. මනස වැඩියෙන් පුරවා ගත්තු ඒත් තමන්ගෙම කියල උත්තරයක් නැති මිනිස්සු. අපිට තියෙන්නෙ අනුන්ගෙ දැනුම වුණාට, තියෙන්නෙ අනුන්ගෙ උත්තර වුණාට මමත්වයේ අඩුවක් නෑ. ලොකුකමේ අඩුවක් නෑ.  සමහරුන්ගෙ චන්ඩිකමේ අඩුවකුත් නෑ. 


කේන්දරය තුළ හදවතේ මධ්‍යස්ථානය සහ ජීවනයේ මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් නාභි මධ්‍යස්ථානය එක ළඟ පිහිටලා තියෙනවා. ඊළඟට අභියෝගාත්මක එහෙමත් නැත්නම් බාධක ස්ථානයක් පසු කර විවාහ ස්ථානය පිහිටලා තියෙනව. බොහොම අපූරු, එමෙන්ම හේතු යුක්ති සහගත පෙළගැස්මක්. ඒ පෙළගැස්ම බොහෝ දේවල් අවබෝධ කරලා දෙනවා. 

සංජීව කුළුපන බණ්ඩාර 









Tuesday, December 5, 2023

වැම්පයර්ස්ලා

 


ලෝකය මිනිසුන්ගෙන් පිරී ඇත. බිලියන ගණනක් වූ මෙම මිනිසුන් විවිධාකාර ගති පැවතුම්, අදහස්, සිතුම් පැතුම්, අභිලාෂයන්ගෙන් යුතු වූවන්ය. අපට සමාජය තුළ විවිධාකාර වූ මිනිසුන් සමඟ ගණුදෙනු කිරීමට සිදුව ඇත. පවුල තුළ, සේවා ස්ථානය තුළ, මඟතොට, සමාජ මාධ්‍ය තුළ මෙන්ම තවත් බොහෝ තැන්වල අපට ගණුදෙනු කිරීමට සිදුව ඇත්තේ විවිධ චරිත සමඟ ය. සමහරෙක්  සමඟ කෙරෙන කතාබහ අපට සුව පහසුවක්, සැනසීමක් ගෙන දෙන අතර ඇතැමෙක් සමඟ වන සම්බන්ධය අපට දැඩි විඩාවක්, අසහනයක් ගෙන දෙයි.

මේ ගැන තවත් සරලව කතා කරමු. සමහරු එක්ක කතා බහ කරන කොට අපට ලොකු සුවයක්, සැනසීමක් දැනෙනවා. ඔවුන් ගෙන් අපට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔවුන් අපව දිරි ගන්වනවා. ඔවුන්ගෙ කතා බහ, ඇසුර හින්දා අපට ජීවිතය ගැන ලොකු ආශාවක් ඇති වෙනවා. අපට වඩ වඩාත් වර්ධනය වෙන්න හිතෙනවා. අනාගතය ගැන බලාපොරොත්තු ඇති වෙනවා. ඔවුන් අපට මානසික ශක්තිය කාන්දු කරවනවා.

සමහරු එක්ක කතා බහ කරන කොට ඔලුවට ලොකු විඩාබර ගතියක් දැනෙනවා. එපා වෙනවා. ඔවුන් අපව අවුල් කරනවා. පටලනවා. මහා අවිනිශ්චිත තත්වයකට පත් කරනවා. කිසිම කාරණයක් සම්බන්ධයෙන් නිගමනයකට, ස්ථිර තීන්දුවකට එළඹෙන්න අපහසු වෙනවා. බලාපොරොත්තු, අභිලාෂයන් ගැන වුණත් ඉටු වෙයිද නොවෙයිද යන අවිනිශ්චිත තත්වයක හිර වෙනවා. ඔවුන් අපේ මානසික ශක්තිය අවුල් කරනවා.

තවත් පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක කතා බහ කරන කොට අපි කලකිරීමට පත් වෙනවා. ඒ අය කියන්නෙ ඒගොල්ලන්ගෙ දුක, අසරණ බව ගැන විතරයි. කරන හැම දෙයක්ම අසාර්ථක වෙන හැටි, දවසින් දවස පරිහානියට පත් වෙන හැටි, දවසින් දවස ප්‍රශ්නවල පැටලෙන හැටි කියනවා. කාගෙන්වත් පිළිසරණක්, විසඳුමක් නැති බව කියනවා. විටෙක උපකාර ඉල්ලනවා. උපදෙස් පතනවා. ඔවුන් අපේ මානසික ශක්තිය දිය කර හරිනවා. දුර්වල කරනවා.

ඔය විදියෙ අය අපට හඳුනාගන්න පුළුවන්. ඒ අයගෙ කතාබහ, කියන කරන දේවල් එක්ක හඳුනාගන්න පුළුවන්කමක් තියෙනවා.  හඳුනාගන්න අපහසු තවත් අය ඉන්නවා. මතුපිටින් හොඳයි. දිරිගන්වනවා. යහපත වෙනුවෙන් යමක් කියන බව පේනවා. අවුල් කරන්නෙ නෑ. සුබවාදී අදහස් පල කරන, දුක්ගැනවිලි ඉදිරිපත් නොකරන අය ඉන්නවා. ඒත්  ඒ අය එක්ක නිතර ගැවසෙන කොට අපි අවුල් වෙනවා. අපේ වැඩ කටයුතු අවුල් වෙනවා. ලැබීම් අඩු වෙනවා. අනපේක්ෂිත පාඩු අලාභවලට මුහුණ දෙන්න වෙනවා. මේ අය භාහිරින් හඳුනාගන්න ලේසි නෑ. මතුපිටින් මොනවා කිව්වා කළත් ඇතුලාන්තය මුළුමනින්ම වෙනස්. මේ අයගෙ සිතුවිලි තරංග සංක්‍යාතය සුබදායක නෑ. කියන දේට වඩා හිතන දේ හාත්පසින්ම වෙනස්. 


තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි,සමහරු දන්නවා තමන් අහුවෙලා ඉන්න බව.යම් කිසි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් හින්දා ගොඩ යාමක් නැති බව දන්නවා. මානසිකව වැටෙනවා, ශක්තිය හීන වෙනවා,ගමන අඩාල වෙනවා, ඔලුව අවුල් වෙනවා ඔක්කොම හරි. ඒත්  ඒකෙන් මිදෙන්න බෑ. ඒ හින්දා දැන දැනම ගොදුරක් බවට පත් වෙලා ඉන්නවා. වැම්පයර්ස්ලා ඉන්නෙ පවුලෙන් බාහිරව පමණක් නෙමෙයි. පවුල තුළත් ඉන්න පුළුවන්. නිතරම මානසිකත්වය අවුල් කරන, මානසිකව වට්ටන, මානසික ශක්තිය බිංදුවට  බස්සන කෙනෙක් පවුල තුළ ඉන්න බැරිකමක් නෑ. 
තව සමහරු ගොදුරු බවට පත් වෙලා ඉන්නවා. ඒත් ඒ අය ඒ බව දන්නෙ නෑ. මිදෙන්න නම්  තමන් ගොදුරු වෙලා ඉන්න බව  දැන ගන්න ඕනැ..

භාවනාවක් තුළින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීම ඔවුන්ගෙන් ආරක්ෂා වීමට තිබෙන හොඳම ක්‍රමයයි. නිතර පවත්වාගන්නා චිත්ත සමාධිය මඟින් ශරීර කිරණ ශක්තිය වැඩි වෙනවා. සිතේ චංචල ගතිය, පහසුවෙන් දුර්වල වන ස්වභාවය, .අශුද්ධ එහෙමත් නැත්නම් සෘණ මානසික ශක්තීන්ගේ බලපෑමට හසු වන තත්වය නැති වෙනවා. නිතර සමාධිය වඩන කොට සූක්ෂම ශරීරය විදියට හඳුන්වන ශරීර ආලෝක කිරණ ශරීරයෙන් පිටතට විහිදෙන දුර ප්‍රමාණය වැඩි වෙනවා. සංක්‍යාත තරංග බලවත් වෙනවා.අශුද්ධ මානසික බලවේගවලින් ඉබේටම ආරක්ෂාව සැලසෙනවා.
 
දියුණුවේ හා සාර්ථකත්වයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට උපාය කෞශල්‍ය අත්‍යවශ්‍ය වෙනවා. උපාය කෞශල්‍ය කියන්නෙ බුදු දහමේ සඳහන් වන තෙවැදෑරුම් ඥානයෙන් එකක්. පුද්ගලයෙක් මොන තරම් දියුණුවට සාර්ථකත්වයට පත් වුණත් උපාය කෞශල්‍ය නොමැති තැන තම දියුණුව සාර්ථකත්වය පවත්වාගැනීමට අපහසු වෙනවා. වර්තමාන ලෝකයට උපාය කෞශල්‍ය අවශ්‍යමයි. අතීතයේ මෙන් නොවෙයි වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනා වඩ වඩාත් සමාජයට විවර විය යුතු වෙනවා. දවසෙන් වැඩි කාලයක් අන්‍යයන් සමඟ කටයතු කිරීමට සිදු වෙනවා.සෑම තැනකම ජීවමාන පිශාචයින් ගැවසෙනවා. ආගමික ලෝගු තුළ පවා වැම්පයර්ස්ලා(පිශාචයින්) සැඟව සිටිනවා නම් සෙසු තැන් ගැන කවර කතාද...  පුද්ගලයින් හඳුනා ගැනීම, තේරුම් ගැනීම දුෂ්කරයි. ගොදුරු බවට පත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩියි.   


එවන් තත්වයක් තුළ ජන්ම පත්‍රයෙන් ලබා ගත හැකි ශුභසිද්ධිය ඉතාමත් ඉහළයි. අවාසනාවට බොහොමයක් ජ්‍යොතිෂවේදීන් බොළඳ කාරණා තුළම කැරකෙනවා මිස ජීවිතවල පවතින සැබෑ හිදැස් අවබෝධ කරගෙන ඒවා ආවරණය කරගැනීම සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කරන්නේ නෑ. වසර දහස් ගණනක් පැරණි ජ්‍යොතිෂ ශාස්ත්‍රය වර්තමාන ලෝකයට  පරිවර්තනය කර ගැනීම තුළ බොහොමයක් දෙනා දුර්වල තත්වයක පසු වෙනවා.  ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය නොවී බොහෝ දෙනෙක් අතීත සටහන් මතම යැපෙන බවක් ඔවුන්ගේ අදහස් හා ප්‍රකාශන තුළ පෙනෙන්නට තිබෙනවා.

සංජීව කුළුපන බණ්ඩාර