Thursday, February 1, 2024

දේශනය.

ආයු බෝ වේවා.

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ආදරණිය සාමාජික මහත්මියනි, මහත්වරුනි. 2024 වසරේ පළමු මාසයෙ මේ විදියට ඔබ සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙනවා.

අපි සියලු දෙනා නියැලෙන්නෙ ඉතාමත් ගෞරවනීය අභිමානවත් සේවාවක. ජ්‍යොතිෂවේදියා යනු වසර සිය ගණනකට පෙර සිංහල භූමියේ සෑම ගමකම ඉහළම ජනතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක්ය කියන එක අපි මතක තියාගන්න ඕනැ. ජීවිතයේ සෑම සියලු විශේෂ අවස්ථාවකදීම ජනතාව උපදෙස් ලබාගත්තෙ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් සහ ගමේ වෙද මහත්තයගෙන්. වෙද මහත්තයා කිව්වට ඒ කාලෙ නක්ෂත්‍ර කටයුතු සහ වෙදකම දෙකම කළේ මහත්තයා එහෙමත් නැත්නම් ගුරුන්නාන්සෙ විසින්. ඉපැරණි ජන සමාජය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තුළ සජීවීකරණය වන අවස්ථාවලදී අපට ඒ බව දකින්නට ලැබෙනවා. කාලයාගේ ඇවෑමෙන් නිවේදක නිවේදිකාවන්, නළුනිළියන්, දේශපාලඥයින්  ජනතාවට උපදෙස් දෙන්න පටන් ගත්තා. ප්‍රතිඵල හොඳටම පෙනෙන්න තියෙනවා. ජ්‍යොතිෂවේදියාට උරුම නියම ගරුත්වය අභිමානය නැවත මේ පොළව මත හිමි කරගැනීමේ වගකීම ඔබ අප සියලු දෙනාගේම වගකීමක්. තත්වයට නොගැළපෙන දේවල්වලින් වැළකිලා, අනවශ්‍ය වාද විවාධ, ගැටුම් ඝට්ටන ආදියෙන් ඉවත් වෙලා තමන්ගෙ ගෞරවයත් සාස්ත්‍රයේ ගෞරවයත් රැකගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ වගේම අද වන විට ජ්‍යොතිෂය හා ජ්‍යොතිෂවේදියා වෙනුවෙන් ක්‍රියාත්මක පුරෝගාමී සංවිධානයක් වන සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය සමඟ ඉතාමත් ආදරයෙන් සැමදාම රැඳී සිටින්න කියන ඉල්ලීමත් මේ වෙලාවෙ කරනවා.

විශේෂයෙන් දෙයක් සඳහන් කරන්න ඕනැ. අපි ජ්‍යොතිෂ පොත පත කියවනවා.ඒ හැමදේකම සඳහන් කරලා තියෙන්නෙ සෘෂිවරු ප්‍රකාශ කළාය කියන දේවල්. පරාසර,වරහාමිහිර, ජෛමිනි ආදී සෘෂිවරු තම ආධ්‍යාත්මික බලය තුලින් අත්දුටු දේවල් එහෙමත් නැත්නම් තමන්ගෙ අත්දැකීම් තමයි නොයෙක් භාෂාවන්ට පරිවර්තනය වෙලා තියෙන්නෙ. අත්දැකීමක් කිසිම විදියකින් භාෂාවට නඟන්න බෑ. පුළුවන් විදියට තමයි ඒ අය ඒ අත්දැකීම් ප්‍රකාශ කරලා තියෙන්නෙ. බුද්ධ දේශනයත් ඒ වගේ තමයි. ඉතින් මේ දේවල් නොයෙක් දෙනා තේරුම් ගන්නෙ නොයෙක් ආකාරයට. තම තමන්ගෙ නැණ පමණින් තමයි අවබෝධ කරගන්නෙ. ඉතින් නොයෙක් දෙනා අතරෙ ගැටුම් ඇති වෙනවා. කෙනෙක් හිතනවා මම අවබෝධ කරගෙන තියෙන විදිය හරි කියලා.වෙනත් අදහස් එක්ක ගැටුම් ඇති කරගන්නවා. කරන්න තියෙන හොඳම දේ තමයි දැනුම විදියට පොත පතින් ගන්න හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇති කරගන්න එක. මගේ විග්‍රහයන් ආධ්‍යාත්මික පැත්තට බරයි. මම වැඩි වශයෙන් ඉන්නෙ ආධ්‍යාත්මික ජ්‍යොතිෂය තුළ. කෙනෙකුට මගේ අදහස් නොතේරෙන්න පුළුවන්.  

තවත් දෙයක් මතක තියාගන්න. ඕනෑම දෙයක් ඕනැවට වඩා සංකීර්ණ කර ගත්තොත් අමාරුවෙ වැටෙනවා. ඒ හින්දා අපි නිතර භාවිතා කරන ක්‍රමවේදයන් ගැන වඩාත් පුළුල් අවබෝධයක් ඇති කරගන්න එක වැදගත් වෙනවා. එහෙ මෙහෙ දකින, එක එක්කෙනා කියන නානාප්‍රකාර ක්‍රම අනුගමනය කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවට වඩා තම අනුගමනය කරන ක්‍රමවේදය ගැන හොඳම නිපුණත්වයක් ඇති කරගැනීම තමයි වැදගත් වෙන්නෙ.හැම දෙයක්ම කලවම් කරගත්තොත් ස්ථිර නිගමනයකට එළඹෙන්න අපහසු වෙනවා.

කේන්දරයක තියෙනවා ත්‍රිකෝණ හතරක්. කේන්ද්‍රස්ථාන හතරක් තියෙනවා. ත්‍රිකෝණ හතර තමයි,
ධර්ම ත්‍රිකෝණය -1,5,9
අර්ථ ත්‍රිකෝණය - 2,6,10
කාම ත්‍රිකෝණය - 3,7,10
මෝක්ෂ ත්‍රිකෝණය - 4,8,12

මෙතැනින් "ධර්ම ත්‍රිකෝණය" ප්‍රධාන ත්‍රිකෝණය විදියට සැලකෙනවා. පළමු භාවය,පස් වැනි භාවය සහ නව වැනි භාවය.මේ එක පහ නවය කියන ස්ථාන තුනෙන් පුද්ගලයෙකුගේ සමස්ථ ආකෘතිය තේරුම් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. එක පහ නවය විතරක් නෙමෙයි, සෑම භාවයක් ගැනම සෑම තැනම සඳහන් වෙන්නෙ බොහොම සරල කාරණා ටිකක්. ඒ භාවයන්හි ඇතුළාන්තය සහමුළින්ම හංගලා මතුපිටින් කියැවෙන කාරණා කීපයක් තමයි බොහෝ තැන්වල දකින්න තියෙන්නෙ. සෘෂිවරු අවබෝධ කරගෙන ප්‍රකාශ කරපු ඇතුළාන්ත සාරය කාලයාගේ ඇවෑමෙන් නැති වෙලා ගිහින් තියෙනවා. ඒ හින්දා මේ භාවවල ඇතුළාන්ත කතාව හොඳින් අවබෝධ කරගන්න ඕනැ. බුදුන් වහන්සේ දේශනා කළා සමස්ථ විශ්වයම මනුෂ්‍යයා තුල තියෙනවාය කියලා. අව්ව,වැස්ස,සුළඟ ශරීරය තුළ තියෙනවා වා පිත් සෙම් විදියට. විශ්වයේ සියලු දේ වගේම ශරීරයත් පංච භූතාත්මකයි. රාශි සහ භාවවල රජස් තමස් සත්ව ස්වභාවය පවා හොඳින් අවබෝධ කරගන්න ඕනැ. රජස් තමස් සත්ව ස්වභාවය පරමාණුවෙ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. පරමාණුවක ස්වරූපය බොහෝ දුරට සෞරග්‍රහ මණ්ඩලයේ ස්වරුපයට සමානයි. පරමාණුවෙ න්‍යෂ්ටිය සූර්යයා වගේ. න්‍යෂ්ටිය වටේ කක්ෂ ගතවෙලා කැරකෙන ඉලෙක්ට්‍රෝන සූර්යයා වටේ කැරකෙන ග්‍රහ ලෝක වගේ. ප්‍රෝටෝන රජස් ගුණය නියෝජනය කරනවා. නියුට්‍රෝන සත්ව ගුණය නියෝජනය කරනවා. ඉලෙක්ට්‍රෝන තමස් ගුණය නියෝජනය කරනවා. සමස්ථ විශ්වයම මනුෂ්‍යයා තුළ තියෙනවා. ඉතින් අපි විශ්වයෙම ආකෘතියක් තමයි කේන්දරය තුලින් තේරුම් ගන්න හදන්නෙ. ඒ හින්දා සෑම භාවයකම සෑම රාශියකම සෑම දෘෂ්ටියකම ඇතුළාන්තය හොඳට හෝදිසි කරන්න වෙනවා.

සිව්වැන්න මාතෘ ස්ථානය එහෙමත් නැත්නම් දේපළ ගේදොර ගැන කියැවෙන ස්ථානය පමණක් නෙමෙයි.. එතැන හදවත ගැන, හදවතේ ස්වභාවය ගැන කියැවෙන තැන.පුද්ගලයාගේ හදවතේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක සිව්වැන්නෙන් අවබෝධ කරගන්න ඕනැ. 

හත්වැන්න සියලු ආකාරයේ සහකරුවන් ගැන, සහයෝගීතාවය ගැන කියැවෙන තැන. සසර තුළ සහයෝගීතාවය පත්වාගෙන ගිය විදිය,ඊට අනුරූපව මේ භවයෙදි සහයෝගීතාවය ලැබෙන විදිය වගේම තවත් බොහෝ කාරණා කියවෙන තැනක්.

දසවැන්න කර්මස්ථානය. රැකියාව පමණක් නෙමෙයි. පුද්ගලයෙක් ක්‍රියාත්මක වන ආකාරය, කරන දේවල්, කරන්න සිද්ද වෙන දේවල් ගැන කියැවෙන තැන.

ඒවගේම මේ සෑම භාවයකම ආරූඩ ස්ථාන, ඒ ආරූඩ ස්ථානවල අධිපතීන් අපට කියන සැඟවුණු කතාවට අපි හොඳින් ඇහුම්කන් දෙන්න ඕනැ. 

 අපට පුළුවන් වෙයි දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් සංවිධානය කරන්න. ඒක ප්‍රයෝජනවත් වෙයි.සභාපතිතුමා සහ නිලධාරී මණ්ඩලය සමඟ කතා බහ කරලා එවැනි වැඩසටහනක් සංවිධානය කරමු. 

පළමු දේශනය ප්‍රමාණවත් වෙයි කියල හිතනවා ආරම්භයක් විදියට. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි. ජය වේවා.

සංජීව කුළුපන බණ්ඩාර