මල්වර වූ දැරිය ඔසු පැනින් නහවන්නේ සුබ නැකතටය. නැහැවූ දැරිය නිවස තුළට කැඳවාගෙන එන්නේ සුබ නැකතටය. ඇය එදින මුල්ම ආහාරය අනුභව කරන්නේ ද සුබ නැකතටය. එදිනට නියමිත සුබ වර්ණයකින් සැරසී සිටීමට ද ඇයට සිදු වෙයි. මේ සියල්ල තීරණය කරන්නේ ජ්‍යොතිෂවේදියාය.
ජ්‍යොතිෂවේදියා වෙත යන වැඩිහිටියන් ඔහුට ඉදිරිපත් කරන්නේ දැරිය වැඩිවියට පත්ව ඇති බව දැනගත් දිනය හා වේලාවයි.මල්වර වීම සිදුව ඇත්තේ කුමන වේලාවේදී ද යන්න සොයා ගත යුත්තේ ජ්‍යොතිෂවේදියාය. මල්වරය සිදු වූ වේලාව අනුව සකස් කරනු ලබන කේන්දරය මල්වර කේන්දරයයි. දැරියක් මල්වර වූ සැබෑ මොහොත සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ඒ ගුරුකුලය අනුව නොයෙක් ජ්‍යොතිෂවේදීන් විවිධ ක්‍රමවේද ඔස්සේ මල්වර වූ වේලාව මෙය යැයි පැවසුවද එය මල්වර වූ වෙලාව බව ඔප්පු කර පෙන්විය හැකි ක්‍රමයක්ද නැත.
තරුණියකගේ ජීවිතය තුළ ජ්‍යොතිෂ සහාය ලබා ගත යුතු විශේෂ අවස්ථාවලදී ඇයගේ මල්වර කේන්දරය වැදගත් නොවන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්න නගන අවස්ථා ඇත. විවාහය සඳහා කේන්දර පරීක්ෂා කිරීමද එවන් අවස්ථාවකි. විවාහය සඳහා කේන්දර පරීක්ෂා කිරීමේදී සිදු වන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ජන්ම කේන්දර පරීක්ෂා කිරීමය.තරුණියගේ මල්වර කේන්දරය පරීක්ෂා කිරීමක් එහිදී සිදු නොවේ.
උපත ලබන මොහොතේ සටහන් වූ ජීවන දත්ත සියල්ල උඩු යටිකුරු කිරීමේ බලයක් මල්වර වීම සමග ඇති නොවේ. සාංසාරික කුසල් අකුසල්, පින් පව්වලට අනුකූලව සටහන් වූ දෛව සිතියම ජන්ම කේන්දරය පමණි. ජීවිතය ඉදිරියට ගලා යන ආකාරය, මුහුණ දීමට සිදුවන සියලු යහපත් අයහපත් සිදුවීම් සටහන්ව ඇත්තේ ජන්ම කේන්දරය තුළය. ජීවිතයේ සුවිශේෂ තෝරාගැනීම්වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජ්‍යොතිෂ සහාය ලබා ගැනීමේදී වැදගත් වන්නේ ජන්ම කේන්දරයයි. විවාහය දරුපල මෙන්ම ජීවිතයේ සෑම සියලු දෙයක් සම්බන්ධයෙන්ම ජන්ම කේන්දරය තුළ සටහන්ව පවතින කිසිදු දෙයක් මල්වර කේන්දරයේ බලපෑමෙන් වෙනස් නොවේ.
කාන්තාවකගේ මල්වර කේන්දරය භාවිතා කළ යුතු කිසිදු අවස්ථාවක් පිළිබඳව කිසිදු සෘෂි ප්‍රකාශනයක හෝ සඳහන්ව නැත.
අධ්‍යාත්මවේදී
සංජීව කුළුපන බණ්ඩාර
