ජ්‍යොතිෂය බිහි වූයේ වසර හත් දහසකට පමණ පෙරය.එකල පෙරදිග ලෝකය අධ්‍යාත්මික ලෝකයකි. බටහිර ජනයා බාහිර ලෝකය ගවේෂණය කළ අතර පෙරදිග ජනයා ඇතුලාන්තය ගවේෂණය කළහ. මුනිවරු වැඩි වශයෙන් පෙරදිග පහල වන්නටත් විද්‍යාඥයින් වැඩි වශයෙන් අපරදිග බිහි වන්නටත් හේතුව එයයි.
ජ්‍යොතිෂය බිහි වූයේ පෙරදිගය. පෙරදිග ජනයාට දිවි නසාගන්නට අවශ්‍යත්වයක් නොවීය. ඔහුහු අධ්‍යාත්මික ප්‍රීතියෙන් කල් ගෙවූහ. එනිසා ඉපැරණි ජ්‍යොතිෂ ලේඛනවල සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් තොරතුරු සොයාගන්නට නැත. අද තත්වය මුළුමනින්ම වෙනස්ය. පෙරදිග අපරදිග යැයි කියා වෙනසක් නැත. සෑම රටකින්ම පාහේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ. අපේ රටේ ඉගෙනගන්නා දරුවන් පවා සියදිවි නසාගැනීමට පෙළඹීම කණගාටුදායකය. එනිසා සියදිවි නසාගැනීමට පොළඹවනු ලබන ග්‍රහ තත්වයන් පිළිබඳව තරමකින් හෝ දැනුවත් වීම වැදගත්ය.
ග්‍රහයින් අතරින් බලවත්ම ග්‍රහයා කවුරුන්දැයි ඇසුව හොත් ජ්‍යොතිෂය ගැන තරමක් හෝ දන්නා අයෙක් නම් ඒ රවි හෙවත් සූර්යයා යැයි කියනු ඇත. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා ය.ඒ විෂය සම්මත ජ්‍යොතිෂය තුල පිළිගනු ලබන කාරණයකි. රාහු ග්‍රහ ලෝකයක් නොවේ. නමුත් ජ්‍යොතිෂය තුල රාහු ග්‍රහයෙකි. වේගවත්ම ග්‍රහයා රාහුය. බාධා අවහිර බිඳගෙන වේගයෙන් ඉදිරියට යාමේ ශක්තිය ලබාදෙන්නේ රාහුය. රාහු යනු චුම්භක ශක්තියකි. චුම්භකයක ආකර්ෂණ ශක්තිය හා විකර්ශණ ශක්තිය යන දෙකම ඇත.ආකර්ෂණ ශක්තිය රාහුගෙනි. විකර්ෂණ ශක්තිය කේතුගෙනි. රාහු පතුරුවන ග්‍රහයා ලෙසද පිළිගැනේ.
රාහු කේතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සීරු මාරුවට කළ යුතුය. හොඳ වුණොත් හොඳටම හොඳ, නරක වුණොත් හොඳටම නරක අද්භූත ග්‍රහයින් දෙදෙනෙකි. රාහු දශාව තුල විභාග ඉහලින්ම සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළු වන දරුවන් මෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් දුරාචාරවලට යොමු වන දරුවන් ද වෙති.
රාහු ඉක්මන් තීන්දු තීරණවලට යොමු කරවන ග්‍රහයා බැවින් රාහු දශා ගත කරන දරුවන් ගැන නිරන්තර අවදානයෙන් පසුවීම වැදගත්ය. රාහු ඇතැම් අවස්ථාවල දැඩි මානසික පීඩා ඇති කරන ග්‍රහයෙකි. අන්‍යයන්ගේ අවවාද අදහස් නොසළකා තම තනි මතයට හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමට පොළඹවන අවස්ථා ද ඇත. මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු කිරීමද රාහුගේ කාරියකි.
රාහු කුජ සමග සම්බන්ධ වීම ජන්මියාගේ වේගය වඩාත් වැඩි වීමට හේතු විය හැකිය. එවිට ජන්මියා ප්‍රචණ්ඩකාරී වීමටද ඉඩ තිබේ.මෙවන් ග්‍රහ තත්වයක් අටවැනි භාවය හා ලග්න භාවය සමග සම්බන්ධව යෙදුණු විට සියදිවි නසාගැනීමට පෙළඹීමට ඉඩ තිබේ. රාහු සඳු සමග නොමනා භාවයක සංයෝග වීම සිතුවිලි අදහස් වේගයෙන් වෙනස් වීමට හේතු වේ. රාහු සිකුරු සමග නොමනා තැනක අසුබ ආකාරයට සංයෝග වීම නොගැළපෙන බැඳීම් ඇති වීමට මෙන්ම ඒ හේතුවෙන් ඉක්මන් හා නොසුදුසු තීරණවලට යොමු වීමට ද හේතු වේ. මෙවන් ග්‍රහ තත්වයක් ජීවිත හානි කරගන්නා තරමට අවදානම් සහගත දැයි යන්න ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමෙන් දැන ගත යුතුය.
සියදිවි නසාගැනීම ලග්න භාවයේ හෝ ලග්නාධිපතිගේ සම්බන්ධයකින් තොරව සිදු නොවේ. ලග්න භාවය යනු තමන්ය. තමන්ගේ මානසිකත්වය ක්‍රියාත්මක වන ආකාරය නිවේදනය වන්නේ ලග්න භාවයෙන් හා ලග්නාධිපති ගෙනි.
කේතු යනු ග්‍රහයින් අතර ගුප්තම ග්‍රහයාය.කේතු දශා කාලයේදී යමෙක් බොහෝ දේ හෙළි නොකර සඟවාගෙන සිටීමට ඉඩ තිබේ. හුදකලාව ප්‍රිය වේ. කතාබහ අඩු වේ. ගුප්ත ගති ලක්ෂණ ඇති වේ.මෙවන් කාලයක් ගත කරන දරුවෙක් තම ප්‍රේම සම්බන්ධතාව කිසිවෙකුටත් නොදැනෙන පරිදි රහසේ පවත්වාගෙන යාමට ඉඩ තිබේ. සම්බන්ධතාව හේතුවෙන් ඇති වන මානසික පීඩනයකදී ගන්නා ක්‍රියාමාර්ග ද කිසිවෙකුටත් නොදැනෙන පරිදි ක්‍රියාවට නැංවීමට ඉඩ තිබේ. කේතු සිකුරු සමග එක්වීම රහස් ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ ඇති කරවන පිහිටීමකි. තම දරුවන් කිසිම ස්ථානයකට තනිව නොයවන දෙමාපියෝ සිටිති.එසේ තනි නොකරන ඇතැම් දරුවන්ද රහස් ප්‍රේම සම්බන්ධතාවල පැටලී අතුරුදන් වන අවස්ථා ඇත. සම්බන්ධතා කෙසේ පවත්වාගෙන ගියා දැයි දෙමාපියෝ පුදුමයට පත් වෙති. මෙවන් අවස්ථාවල එම දරුවන්ගේ කේන්දරවල කේතුගේ බලපෑම මූලිකවම පෙනෙන්නට තිබේ. මෙවැනි ග්‍රහ සංයෝගයක් සමග අශිෂ්ට ආකාරයට සම්බන්ධ වන කුජ ජන්මියා සියදිවි හානි කරගැනීමට යොමු කරලීමට ඉඩ තිබේ.
කේතුගේ දශා සෑම විටම අයහපත් නොවේ. ජන්ම පත්‍රය තුල යහපත් ලෙස සටහන් වූ කේතුගේ දශා කාලය යහපත්ය. කේතු ඥානකාරක ග්‍රහයෙකි. එබැවින් ග්රහයින්ගේ බලපෑම් පරික්ෂා කිරීම සූක්ෂමව කළ යුතු කටයුත්තකි. ඒ සඳහා මනා අත්දැකීම් අවශ්‍ය වේ.
සියදිවි නසාගැනීම සිදුවන්නේ ජලයේ ගිලීමෙන් නම් ඊට සඳුගේ සම්බන්ධයෙක් පැවතිය යුතුය. වස විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණයකදී රාහුගේ සම්බන්ධය ප්රමුඛව පෙනෙන්නට තිබේ. දුම්රියට හෝ වෙනත් වාහනයකට පැනීමෙන් වන දිවි නසාගැනීම්වලදී කුජගේ මූලික සම්බන්ධය දකින්නට තිබේ. ගෙල වැලලා ගැනීම්වලදී රාහු හෝ කේතු සමග වන කුජගේ සම්බන්ධය දකින්නට ලැබේ. ගින්න හෝ විදුලිය හේතුවෙන් වන මරණවලදී රවි ප්රමුඛව සම්බන්ධ වේ. උස් ස්ථානවලින් පැනීමෙන් සිදු වන මරණවලදී කුජ රාහු එක්ව එල්ල කරන ලද බලපෑම දකින්නට ලැබේ.
සියදිවි නසාගැනීම සම්බන්ධ තොරතුරු මෙලෙස පොදුවේ විග්රහ කෙරුවද ජන්ම පත්‍රය තුල ඒ ඒ ග්රහයින්ගේ බලපෑම අවදානම් සහගතද නැද්ද යන්න මෙන්ම එම ග්රහයින්ගේ දශා කාල සීමාවන් අවදානම් සහගතද නැද්ද යන්න ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් තොරව නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසුය. ඒ සඳහා අත්දැකීම් බහුල ජ්‍යොතිෂවේදියෙකුගේ සහය ලබා ගත යුතුය.
අධ්‍යාත්මවේදී,
සංජීව කුළුපන බණ්ඩාර
.jpg)