Thursday, April 2, 2020

සාර්ථකත්වය, රාගය සහ ග්‍රහයෝ.


             
               උසස්ම මුදුන් පමුණුවා ගැනීම් ක්‍රියාත්මක කරගන්නේ බෙහෙවින්ම රාගාධික පුද්ගලයෝය. එහි සරළම අදහස නම් කුමන ක්ෂේත්‍රයක වූවද ඉහළම සාර්ථකත්වය අත් කරගන්නෝ රාගාධික පුද්ගලයෝය යන්නයි. සරාගී උද්වේගය දමනය කළ නොහැකි බලවේගයකි. මේ බලයෙන් යුක්ත වූ විට ක්‍රියාත්මක වීමේ සුපිරි බලයක් ඇතිවෙයි. 

               මිනිසාගේ නැතහොත් සතෙකුගේ ලිංග ග්‍රන්ථි ඉවත් කෙරුණු හොත් එයින් සිදුවන්නේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රධාන ප්‍රභාවය නැතුව යාමකි. මේ සඳහා සාක්ෂි අවැසි නම් වන්ධ්‍යකරණයට භාජනය කෙරුණු සතෙකුට එයින් පසුව සිදුවන්නේ කුමක් දැයි විමසා බැලිය යුතුය. ලිංගේන්ද්‍රිය වෙනසකට බඳුන් කෙරුණු ගොනුන්  එළදෙනුන්  තරමට නිවට නියාලු වෙයි.  බඩු ප්‍රවාහනය සඳහා කරත්ත යොදා ගැනුණු කාලයේ එම කරත්ත ඇදීම සඳහා යොදා ගැනුණු ගොනුන් පුස්සා කරනු ලැබිය. පුස්සා කිරීම යනු ලී කැබලි කීපයක් ආධාරයෙන් සැකසූ මෙවලමක් මඟින් ගොනුන්ගේ වෘෂණ කෝෂ තැලීමයි. එසේ කරන ලද්දේ ඔවුන්ගේ දරදඬු භාවය සහ විරුද්ධ ලිංගයේ සතුන් කෙරෙහි ඇල්ම දුරු කර පූර්ණ කාලීනව බර ඇදීම සඳහා යොදා ගැනීමටය.

             රාගාධික බව උසස්ම මුදුන් පමුණුවා ගැනීම් සිදු කරවන සුපිරි බල ශක්තියක් නම් ස්ත්‍රී දුෂණ, බාල අපචාර හේතුවෙන් ඇතැමුන් නීතියේ රැහැනට හසුව සිරගත වන්නේ මන්දැයි ගැටළුවක් මතු වීමට ඉඩ තිබේ.

            ලිංගේන්ද්‍රිය පිනවීමේ ආශාව සහජ ස්වභාවික ධර්මතාවයකි. එය යටපත් කළ යුත්තක් හෝ දුරු කළ යුත්තක් හෝ නොවේ. එහෙත් එය භාවිතා කළ යුත්තේ ශරීරයත්, මනසත්,අධ්‍යාත්මික ගුණයත් දියුණු වන ආකාරයටය. එසේ නොවූව හොත් එය කායික ආකාරයෙන් පමණක් පිතටත යාමේ මාර්ග සොයනු ඇත. ගඟකට වේල්ලක් හරස් කොට එහි ජලය කෙටි කලකට පාලනය කළ හැකි වූවද අවසානයේදී කවර ස්ථානයක් හෝ බිඳගෙන ගලා යයි. රාගයද එසේමය. එය කෙටි කළකට දමනය කරගැනීමට හැකි වීමට ඉඩ තිබෙන නමුත් ප්‍රකාශයට පත් කිරීමේ මාර්ග එය විසින්ම ජනනය කරණු ලබයි. නිර්මාණාත්මක ප්‍රයත්නයක් සමඟ ගලපා නොහැසුරුවොත් ගුණයෙන් අඩු ආකාරයකින් ප්‍රකාශයට පත් වීමට ඉඩ තිබේ. මනුෂ්‍ය ආශාවන්ගේ ප්‍රබලතම ආශාව වූ ලිංගික ආශාව කවර ක්‍ෂේත්‍රයක වූවද ප්‍රබල නිර්මාණාත්මක ශක්තියක් බවට හරවා ගත හැකිය. 

             සරාගී උද්වේගය නිර්මාණාත්මක ප්‍රයත්නයක් දෙසට යොමු කරන ආකාරය සොයාගන්නා මිනිසා සැබැවින්ම වාසනාවන්තයෙකි.  ඒ වාසනාව ජන්ම පත්‍රය තුළ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ කුමන ග්‍රහයන් විසින්ද ? කුමන ආකාරයටද ?

            ග්‍රහයින් අතර සරාගීතම ග්‍රහයා සිකුරුය. සිකුරු ග්‍රහයා මලවි යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මලවි යනු අනංගයා හැඳින්වීමට ද භාවිතා කරන නමකි. 'මලවි කරළිය' කුමක්දැයි නොදන්නා අයෙක් නැත. සිකුරුගේ රුව ගුණ අවබෝධ කරගැනීමට වෙනත් වංහුං අවශ්‍ය නොවේ. සිකුරුගේ බලය ලබන්නෝ රාගාධිකයෝය. සිකුරුගෙන් උදාවන බලවත්ම යෝගය මාලව්‍ය යෝගය හෙවත් මාලවි යෝගයයි. කේන්ද්‍රස්ථාන වූ පළමු වෙනි, සිව් වෙනි, හත් වෙනි හා හා වෙනි භාවස්ථාන අතරින් එක් භාවයක සිකුරු උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව පිහිටි කළ මාලවි යෝගය උදා වෙයි. යෝගයේ විපාක ලෙස අලංකාර ගේදොර, යාන වාහන, ධනය,සැප සම්පත් උරුම වෙයි.  සිකුරු මනුෂ්‍යයා වෙත උරුම කරණු  ලබන්නේ ආකර්ෂණ ශක්තිය හෙවත් සරාගී බලයයි. කාම ශක්තියෙන් හීන කලාකරුවාත්, කථකයාත්,නීතිඥයාත්, අලෙවිකරුවාත් සෙස්සන් පොළඹවා ගැනීම මිණුම් දණ්ඩ සේ ගෙන බලන විට අසාර්ථක පුද්ගලයෝ වෙති. අන්‍යයන් තමන් වෙත පොළඹවාගැනීමේ බලය හිමි කර දෙන්නේ සිකුරු විසිනි.

             සිකුරු බලවත් වූ පමණින්ම ඔහු හෝ ඇය සියලු සැප සම්පත් උරුම කර ගනු ඇතැයි ද පැවසිය නොහැක. කුජ මනුෂ්‍යයා ආවේගශීලී, අති ධාවනකාරී තත්වයට පත් කළ හැකි ග්‍රහයෙකි. නොමනා ලෙස සටහන් වුණු කුජගේ බලපෑමට සිකුරු ලක් වුණු කල්හි කාම ශක්තිය කායික ආකාරයෙන් පමණක් ප්‍රකාශයට පත් වීමට ඉඩ තිබේ. එවිට තම කාම ශක්තිය වෙනත් තත්වයකට පරිවර්තනය කරගැනීමේ හැකියාව නොලැබී යනු ඇත. නොමනා ආකාරයට පිහිටි රාහුගේ බලපෑමට සිකුරු ලක් වී ඇත්නම් තත්වය වඩාත් කණගාටුදායකය.  සාර්ථකත්වය මුදුන් පමුණුවා ගැනීම කෙසේ වෙතත් තම ලෛංගික ආශාවන් තෘප්ත කරගැනීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් බලවත් ගැටළුවලට මුහුණ දීමට සිදු වනු ඇත.

           මනුෂ්‍ය සිත වඩාත් සංවේදී තත්වයට පත් කරවන ග්‍රහයා සඳු ය. සඳු සිකුරු සංයෝගයේ ප්‍රතිඵලය ලෙස ජන්මියා සරාගී තත්වයට පත් වෙයි. ජීවිතය විඳවන්නට නොව විඳීමට ප්‍රිය කරවන ග්‍රහ සංයෝගයකි. ආකර්ෂණ ශක්තිය නොමදව හිමි කර දෙමින් සැපවත් ජීවිතයකට මඟ විවර කර දෙයි. මෙහිදීද සඳු හා සිකුරු නොමනා තත්වයේ පසුවන කුජගේ හෝ රාහුගේ බලපෑමට ලක් වුණු කල්හි තත්වය ඛේදනීය වීමට ඉඩ තිබේ.

       විශාල ධනස්කන්ධ රැස් කරගෙන සිටින මිනිසුන් මෙන්ම කලාව,සාහිත්‍ය,ව්‍යාපාර හා වෙනත් වෘත්තීය ක්ෂේත්‍රවලින් විශිෂ්ට කීර්තියක් අත් කරගෙන මිනිසුන් තම ප්‍රවර්තන ශක්තිය ලබා ඇත්තේ ගැහැණියකගේ බලපෑමෙන් බව විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. ලිංගික ආශාව නමැති උත්තේජනය මඟින් සිත් තුළ නිර්මාණශීලී පරිකල්පන ශක්තිය ඇති කළ ගැහැණුන්ගේ අභාෂය හේතුවෙන් තම අරමුණු උසස්ම ආකාරයෙන් මුදුන් පමුණුවා ගත් ශ්‍රේෂ්ඨ නායකයින් පිළිබඳව කොතෙකුත් සඳහන්ව තිබේ. "සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම ගැහැණියක් සිටියි" යන්නෙහි සැබෑ තේරුම මෙයම මිස අනෙකක් නොවේ.  ඉහළම ශ්‍රේෂ්ඨත්වයට, උපරිම සාර්ථකත්වයට පත් වන මිනිසුන්ගේ භාර්යාවන් සතු උත්තේජනීය ආනුභාවය එම භාර්යාවන් ගේ ජන්ම පත්‍ර තුළ පැහැදිලිව සටහන්ව පවතී. තම සරාගී හැඟීම් කායිකව පමණක් ප්‍රකාශයට පත් කිරීමේ නොමනා මාර්ග සොයා ගිය ගැහැණුන් නිසා විනාශ වුණු ස්වාමි පුරුෂයින්ද හිඟ නොවේ. යහපත හෝ අයහපත රඳා පවතින්නේ තම සරාගී බලය කුමන ආකාරයට ප්‍රකාශයට පත් වන්නේ දැයි යන්න මතය.

        දැනට මැදි වියේ පසුවන මේෂ ලග්නය හිමි කාන්තාවකි. ඇයගේ ජන්ම පත්‍රයේ හත් වෙනි භාවයේ සිකුරු ස්වක්ෂේත්‍රව රවි සමඟ යෝගව සිටියි. නවාංශක සටහනේ  සිකුරු ස්වක්‍ෂේත්‍රව වෘෂභ රාශියේ ය. දැඩි සරාගී තැනැත්තියකි. මේ වන විට මහා ධනස්කන්ධයකට හිමිකම් කියන අතර ව්‍යාපාර කීපයක හිමි කාරියකි. අන්‍යයන්ටද නොමසුරුව ආධාර උපකාර කරමින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරයි. අලුයම අවදි වී භාවනාවක යෙදීම ඇයගේ දින චරියාවේ අංගයකි. මැදි වියේ පසු වූවද තවමත් විසි ගණන් වියැති යෞවනියකගේ රූප කායකට හිමි කම් කියයි. තම ලෛංගික බලය මඟින් ඇති කරන චිත්ත ආවේග තත්වය නිර්මාණාත්මකව ගළපා ගනිමින් ඉහළම මුදුන් පමුණුවා ගැනීම් ක්‍රියාත්මක කළ කාන්තාවකි. 

      ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මෙන්ම ශ්‍රේෂ්ඨ නායකයින්ගේ ජන්ම පත්‍ර ද උදාහරණ ලෙස ඉදිරිපත් කළ හැකි වූව ද එමඟින් සිදුවන්නේ ලිපිය වඩාත් දීර්ඝ වීමය.

      බෙහෙවින් රාගාධික වීම ආශීර්වාදයකි. එසේ වූවද රාගාධික ගැහැණුන් සහ පිරිමින් නොමනා, පාපකාරී පිරිසක් ලෙස සැළකීමට බොහෝ දෙනා පුරුදුව ඇත. ඇතැමුන් තමන් විරාගික බව පෙන්වීමට නිතර උත්සාහ දරන්නේද රාගික බව බලවත් අසාර, නොමනා ගුණයක් බවට සිතෙහි පවතින විශ්වාසය නිසාය. සරාගී බව සල්ලාලකම බවට පත්වන්නේ නොදැනුවත් බව හේතුවෙනි. එය ජ්‍යොතිෂය ඇසුරින් මනාව විග්‍රහ කළ හැකිය. අනර්ථකාරී කාම යෝග යටතේ එය විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.

            සංජීව කුළුපන බණ්ඩාර