Saturday, April 11, 2020

කේන්දරය සහ ඉටු දෙවියෝ



                     ඉටු දෙවියෝ පිලිබඳව කෙරෙන කතාබහ, සකච්ඡා නොයෙක් විට දකින්නට ලැබේ. බොහෝ ජ්‍යොතිෂවේදීන් මේ සම්බන්ධයෙන් විශේෂඥ තර්ක ගෙන හැර දක්වමින් කතා කරන අයුරු පෙනේ.  ඔවුන්      කේන්දරය තුළින් ඉටු දෙවියන් සොයා ගන්නා ආකාරය නොයෙක් ක්‍රම සහ විධි අනුව පෙන්වා දෙන නමුත් මෙතෙක් කොපමණ දෙනෙකුට ඉටු දෙවියෝ හමු වුණාදැයි යන්න ගැටලුවකි. ඉටු දෙවියෝ සැබවින්ම වැඩ සිටින්නේ කුමන ස්ථානයකද ? ඉටු දෙවියන්ගේ පිහිට ලබන්නේ කෙසේද ? මෙය නිවැරදිව අවබෝධ කරගත්තෝ සීමිත ය.

                     කේන්දරය තුළ හෝ අන් තැනක ඉටු දෙවියන් සෙවීම පැළඳ සිටින උපැස් යුවළ සොයමින් වෙහෙසීම වැනි වූ ක්‍රියාවකි.

                    ඉටු දෙවියෝ වූ කලී ඉන්ද්‍රජාලික බලයකි. මෙම ඉන්ද්‍රජාලික බලයට සම කළ හැකි වෙනත් බලයක් ලොවෙහි නැත. මෙම ඉන්ද්‍රජාලික බලය ඔබ සහ මම මෙලොව ජනිත වන්නට පෙර සිටම, පන්සල්,පල්ලි,කෝවිල් හා සියලු ආගම්,දර්ශන ඇතිවන්නට පෙර පටන් තිබුණේය. එය අප මෙතෙක් ගත කළ සෑම ආත්ම භවයකම අප සමඟ රැඳෙමින් අප ලබාගත් සියලු යහපත් හා අයහපත් අත්දැකීම් සුරකිමින් අදත් හෙටත් අප සමඟ සිටින්නේය.

                    මනුෂ්‍යයින් වර්ග දෙකකි. ආකර්ෂණ ගතියෙන් යුතු වූවෝ සහ විකර්ෂණ ගතියෙන් යුතු වූවෝය. ආකර්ෂණය එක් කරගත්තෝ පූර්ණ විශ්වාසයෙන් හා ආත්ම විශ්වාසයෙන් අනූන වූවෝ වෙති. තමන් මෙලොව ජනිත වී සිටින්නේ සාර්ථක වීමට ජයග්‍රහණය අත් කරගැනීමට බව ඔවුහු දනිති.  විකර්ෂණය ඇත්තෝ තුළ නිරන්තරයෙන් සැකය හා බිය පිරි ඇත්තේය. අගනා අවස්ථාවන් උදා වූ විට පවා ඔවුහු සැකය හා බිය හේතුවෙන් එම අවස්ථාවන් මඟ හරවා ගනිති. ඉදිරියට යාමට ඇති බිය ඔවුන් සිටින තැනම නවතා තැබීමට හේතු වෙයි. ආකර්ෂණ ශක්තියෙන් යුතු වූවෝ නම් තමන් සතු විශ්ව ව්‍යාපීය ඉන්ද්‍රජාලික බලය නිවැරදිව භාවිතයට ගන්නෝය.

                මෙම සනාතන මහා රහස හෙවත් ඉන්ද්‍රජාලික බලය නම් සිත ම මිස අන් කවරක්ද... ඉටු දෙවියෝ නම් සිත ම ය. ඉටු දෙවියෝ වැඩ සිටින්නේ තමන් තුළම ය.
                 
                 ඔබත් මමත් මේ විශ්වව්‍යාපී මහා බලය අලුතින් අත් කර ගත යුතු නැත. එනම් ඉටු දෙවියන් සොයමින් වෙහෙසිය යුතු නැත. ඉෂ්ට දේව බලය භාවිතයට ගත යුත්තේ කෙසේ දැයි උගත යුතුව ඇත. එය තේරුම් ගත් විට ජීවිතයේ සෑම අංශයකටම ඒ බලය උපයෝගී කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

                 සිත ප්‍රභාශ්වර ය. කීකරුය. බැහැරින් පැමිණෙන නොයෙක් ගැටීම් හේතුවෙන් සිත කිලුටු වන්නේය. අප නින්දේදී පිවිසෙන සිහින ලෝකය මොන තරම් සුන්දර වූවද අවදි වීමෙන් පසුව සිතට නැගෙන සැබෑ ජීවිතයේ ගැටළු හා අභියෝග හේතුවෙන් සිත නැවත කලබලකාරී තත්වයට පත් වන්නේය. මෝහන නිද්‍රාවේදී සිත ඉතාමත් කීකරුය. ස්වාපනවේදියාගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන්නේ සැහැල්ලුවෙනි. මෝහාන නිද්‍රාවෙන් අවධි වූ පසුව එම කීකරු නම්‍යශීලී බව තුරන්ව යන්නේය.

               ජ්‍යොතිෂවේදියා යනු යමෙකුගේ අනාගතය පුරෝකථනය කරන්නෙකු පමණක් නොවිය යුතු අතර තම සේවාදායකයින්ගේ සිත සුවපත් කරවන මනෝ චිකත්සකයෙකු විය යුතුය. තම සේවාදායකයාගේ ජන්ම පත්‍රය තුළින් ඔහුගේ හෝ ඇයගේ මානසික ස්වභාවය, සිතුවිලි රටාව තේරුම් ගැනීම ජ්‍යොතිෂවේදියෙකුට අපහසු කාර්යයක් නොවේ. එසේ වූවද  සිත නිරීක්ෂණය කිරීම කෙරෙහි ජ්‍යොතිෂවේදීන්ගේ අවදානය යොමුවන්නේ ඉතාමත් අඩුවෙනි. සිත නිරීක්ෂණය කිරීම යනු සාංසාරිකව පවත්වාගෙන පැමිණි සිතුවිලි රටාව හඳුනා ගැනීමය. සාංසාරික සිතුවිලි රටාව හඳුනා ගැනීමෙන් තොරව කරදරවලින් නිදහස් වීමේ මාර්ග හෙවත් අපලවලට පිළියම් තේරුම් කළ නොහැක. අපල යනු සාංසාරිකව පවත්වාගෙන පැමිණි අයහපත් සිතුවිලි හේතුවෙන් මුහුණ දීමට සිදුවන කරදර හා මානසික පීඩාවන් ය. එනම් කෙලෙස් හේතුවෙන් ඇතිවන විඳවීම් ය.

         කරදර , මානසික පීඩා ආදියෙන් නිදහස් වීම සඳහා සිතුවිලි රටාව වෙනස් කර ගත යුතුය. තමන් පස් පවින් වැළකී සිටින්නේ යැයි පවසන බොහෝ දෙනා සිතින් පව් කරන්නෝ වෙති. ඊට උදාහරණ සොයා ගැනීමට එතරම් දුර යාමට අවශ්‍ය නොවන අතර ඒ සඳහා මුහුණු පොත හොඳටම ප්‍රමාණවත්ය. තම ආගමික ශාස්තෘවරයාණන්ගේ පින්තූරවලින් හා දාන මාන කටයුතුවලට සහභාගී වන අවස්ථාවන්හිදී ගත් ඡායාරූපවලින් මුහුණු පොත සරසාලන ඇතැමුන් තවත් තැනක සටහන් කරන පාපිෂ්ට,අපහාසාත්මක හා සාපකාරී ප්‍රකාශ දෙස බලන විට ඔවුන් ගේ විනාශකාරී සිතුවිලි රටාව තේරුම් ගත හැකිය. ඇතැම් විට ඔවුන් ඉටු දෙවියා යැයි සොයා ගත් දෙවියෙකුට නිතර පුද පූජා ද පවත්වනවා විය හැක.  අයහපත් සිතුවිලිවලට ලැබෙන අයහපත් ප්‍රති විපාකවලින් ඔවුන්ට ගැලවීමක් නැත. 

          මෙම භවය තුළ ඇති කර ගත හැකි වැරදි චේතනාවන් හා ඊට ලැබිය හැකි ප්‍රති විපාක කේන්දරය තුළ සටහන්ව ඇති නමුත් ඒවා වෙනස් කර ගැනීමේ හැකියාව තමන් සතුව පවතී. මෙහිදී සිතෙහි ඉන්ද්‍රජාලික බලය භාවිතා කිරීම ඉතාමත් වැදගත් ය. සසරෙහි රැස් කරන ලද කෙලෙස් හේතුවෙන් මෙම භවය තුළ මුහුණ දීමට සිදුවන ගැටළුකාරී, පීඩාකාරී කාල සීමාවන් හඳුන්වන්නේ අපල කාල සීමාවන් ලෙස යි. පීඩාකාරී කාලයකදී මානසික සමාධිය ඇති කර ගැනීම දුෂ්කර වන අතර නිතර ආවේගශීලී,කෝපාවිෂ්ට ගති ලක්ෂණ මතුවෙයි. මේ අනුව ඇති වන අයහපත් සිතුවිලි හේතුවෙන් පීඩාකාරී තත්වය තවත් වර්ධනය වනු ඇත. පීඩාවන් ගෙන් නිදහස ලැබීමට නම් සිතුවිලි රටාව යහපත් අතට හරවා ගත යුතුය.

            "පරාධීන මානසිකත්වයකින් හිඟමන් යැදීමටවත් නොහැක" යනුවෙන් කියමනක් තිබේ. නියත වශයෙන්ම හිඟමන් ලැබෙන බවට වූ විශ්වාසය රහිත යාචකයාට හිඟමන් නොලැබෙයි. විවාහය,ප්‍රේම සම්බන්ධය,රැකියාව ආදී නොයෙක් දේ සම්බන්ධ ගැටලුවලින් පීඩා විඳින්නෝ ජ්‍යොතිෂවේදීන් හමුවට පැමිණෙති. ගැටලු විසඳීමට නම් ප්‍රථමයෙන් කළ යුත්තේ ඔවුන් තුළ ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කිරීමය.  ඔවුන් නිරන්තරයෙන්  තම ගැටලුව සමඟ ගැටෙමින් කල් ගෙවන බැවින් ජයග්‍රාහී මානසිකත්වයක් ඇති නොකර කුමන ප්‍රතිකර්මය යෙදුව ද ඉක්මන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම දුෂ්කර වනු ඇත. 

          ඇතැම් වෛද්‍යවරුන් හඳුන්වන්නේ 'වන් ෂොට්' නමිනි. ඒ, එක බෙහෙත් වේලෙන්ම ලෙඩේ කම්මුතු කරන බැවිනි. සමත්ව ඇත්තේ එකම විභාගය වූවද සෑම වෛද්‍යවරයෙක්ම ප්‍රතිකාර කිරීමෙහිදී එක සේ දක්ෂයෝ නොවෙති. වෛද්‍යවරයාගේ මානසික ශක්තිය නැතිනම් ඉටු දෙවියන්ගේ බලපෑම ද වැදගත් වෙයි. " ඒ දොස්තර මහත්තයා පපුවට නලාව තිබ්බත් ඇති...." යනුවෙන් ඇතැමුන් පවසන්නේ එවන් වෛද්‍යවරුන්ට ය. ඉහළ මිල ගණන් ගෙවා අපලයට යන්ත්‍ර පැළඳගන්නෝ බොහෝය. අදාල යන්ත්‍රයට මන්ත්‍ර බලය කාවැද්දවීම පමණක් සෑහෙන්නේ නැත. ඇදුරා සතුව මනා සමාධියක් තිබිය යුතුය. තම ඉටු දෙවියන්ගේ  ආශිර්වාදාත්මක බලය තවත් කෙනෙකු වෙනුවෙන් භාවිතා කිරීමේ හැකියාව තිබිය යුතුය. අමනුෂ්‍යයින් සමඟ ගණුදෙනු කිරීමේ මානසික ශක්තිය රහිත ඇදුරාට අමනුෂ්‍යයින් හා සම්බන්ධ කටයුතු කළ නොහැක. අමනුෂ්‍යයින් සමඟ සම්බන්ධ විය යුත්තේ සිතුවිලි මඟිනි.

          ඔබ වනාහි ඔබගේ සිතුවිලි සමූහයෙහි ඒකාබද්ධ සමස්තයයි. ඔබට අඳුරෙන් ගැලවිය හැක්කේ එළිය වෙත යාමෙනි. සීතල ජය ගත හැක්කේ උණුසුම මඟිනි. අයහපත දුරු කළ යුත්තේ යහපත පිළිගැනීමෙනි. යහපත සිතන්න. අයහපත ඉවත්ව යනු ඇත.

           ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
             සංජීව කුළුපන බණ්ඩාර