Monday, March 23, 2020

කුජ මකරයට.



කුජ හෙවත් අඟහරු 2020 මාර්තු 22 වෙනිදා සෙනසුරුට අයත් මකර රාශියට ගමන් කළේය. මකර රාශිය කුජගේ උච්ච රාශියයි. කුජ 2020 මැයි 04 වෙනිදා තෙක් උච්ච බලයෙන් යුතුව රවිට අයත් උතුරුසළ නැකතේ ගමන් කරයි. මේ වන විට මකර රාශිගතව සිටින සෙනසුරුද ගමන් කරන්නේ රවිට අයත් උතුරුසළ න්කතේය.

 කුජ උච්ච බලයට පත් වූවද මකර රාශිගතව සිටින සෙනසුරු සමඟ යෝග්‍ය වීම සුබදායක නැත. කුජ ලේ ධාතුවට අධිපති ග්‍රහයාය. සත්වයාගේ ප්‍රතිශක්තිය මෙන්ම ජීවය රැක දෙන්නේ රවි හෙවත් සූර්යයා විසිනි. මේ වන විට රවි මීන රාශිගතව සෙනසුරුට අයත් උතුරුපුටුප නැකතේ ගමන් ගනියි. මේ අනුව කුජ මකර රාශියට ගමන් ගැනීමත් සමඟ ඇතිව තිබෙන ග්‍රහ තත්වය සුබදායක නැත. ප්‍රතිශක්තිය හා ජීවය රැක දෙන ග්‍රහයාත්, ලේ ධාතුවට අධිපති ග්‍රහයාත් පීඩාවට පත් වීම ලෝක සත්වයාගේ ශරීර සෞක්‍යයට හිතකර නොවේ.

මේ වන විට ලොව පුරා පවතින කණගාටුදායක තත්වයට මෙම ග්‍රහ රටාව කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අනාවැකි පැවසීම යෝග්‍ය නොවේ. ශ්‍රී ලංකා වාසීන් තුළ ද යම් බියජනක හැඟීමක් ඇතිව තිබෙන මොහොතක ප්‍රවේශම් සහිතව අනාවැකි පැවසිය යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව විමසා සිටින ඕනෑම අයෙකුට කරුණු විස්තර කරදීමට සූදානම් ය.

කුජ මකර රාශිගතව රවිට අයත් නැකතක ගමන් කරන මැයි 04 වෙනිදා තෙක් කාලය තුළ ගිනි අනතුරු ඇතිවීමේ අවදානමක් පවතී. එමෙන්ම මෙම කාලයෙහි  මනුෂ්‍යයා තුළ දැඩි ආවේගශීලී ගති මතු වේ.  ගැටුම්,කෝලාහල, විරෝධතා, වෙඩි තැබීම්, මහජන කැළඹීම් ආදියට ඉඩ තිබේ. පොදුවේ ගත් කළ මෙම කාල සීමාව ලේ සෙලවීම්වලට ඉඩ තිබෙන කාලයක් ලෙස දැක්විය හැකිය.

කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු සමඟ කුජ සංයෝග වන්නේ දොළොස් වෙනි භාවයේය. ලංකා කේන්දරයේ දෙවෙනි සහ එකොළොස් වෙනි භාවාධිපති ගුරුද මාර්තු මස 30 වෙනිදා මකර රාශියට ගමන් කර නීච වීමට නියමිතය. මේ අනුව ඉදිරි කාලය ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් සතුටුදායක විය නොහැක. නිසි දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවීමට ඉඩක් නැත.

 ඉදිරි කාලය රජයට ඉතාමත් අභියෝගාත්මක කාලයකි. රාජ්‍ය නායකයින් ආරක්ෂා විය යුතුය. විශේෂයෙන්ම ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුය. ආර්ථික හා දේශපාලන අර්බුධවලට බුද්ධිමත්ව හා ඉවසිලිමත්ව මුහුණ දිය යුතුය.

කෙසේ වෙතත් ඇතිව තිබෙන වසංගත තත්වය හේතුවෙන් නිතර ඇඳිරි නීතිය පැනවීම තුළ ඉහත විග්‍රහ කළ ආකාරයේ ගැටුම්,විරෝධතා, මහජන  කැළඹීම්වලට ඉඩකඩ ඇහිරී යාමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙම කාලය තුළ වඩාත් සන්සුන්ව කටයුතු කිරීම හැම අතින්ම වැදගත් වේ.

සංජීව කුළුපන බණ්ඩාර