Monday, January 14, 2019

කාහල යෝගය.


බලය ලැබෙන්න නම් ඉහළ අධ්‍යාපනයක් තියෙන්නම ඕනැ ද ? රජ පවුලක ඉපදෙන්නම ඕනැ ද ?
මොන තරම් නම් උගතුන් නහයෙන් අඬ අඬා නූගතුන්ට සේවය කරනවද...රජවරුන්ගේ දූරු පුත්තු හැමෝටම රජ වෙන්න පුලුවන්ද...

වාසනා බලය හරිම පුදුමාකාරයි. ඒ වාසනා බලය මතුවෙන්නෙත් හරිම පුදුම විදියට. ඒ පුදුම වාසනා බලය කේන්දර සටහනේ ග්‍රහයො නව දෙනා හරි අපූරුවට පෙන්නනවා.

'කාහල යෝගය' කියන්නෙත් පෙර පින, වාසනා බලය පෙන්වන බලවත් ග්‍රහ යෝගයක්. එඩිතරකම, පාලන ශක්තිය, බලය ලබාදෙන වාසනාවන්ත යෝගයක්. කය දිරා ගිය ද නාමය බොහෝ කලක් ගත වන තුරු මිනිස් සිත් සතන් තුළ රඳවන යෝගයක්.

'කාහල යෝගය'  ආකාරයකට යෙදෙනවා. ඒ මෙන්න මේ විදියට යි.

01. සිව්වැන්නාධිපති හා නවවැන්නාධිපති එකිනෙකාගෙන් කේන්ද්‍රගතව සිටියදී, ලග්නාධිපති ග්‍රහයා බලවත්ව (උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව) සිටීම.

02. සිව්වැන්නාධිපති උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව දසවැන්නාධිපති සමග කේන්ද්‍රස්ථානයක යෝග වීම හෝ දසවැන්නාධිපති ගේ දෘෂ්ටිය ට ලක්වීම.

03. සිව්වැන්නාධිපති හා දසවැන්නාධිපති පරිවර්තනය වී සිටින අතරේ ලග්නාධිපති බලවත්ව (උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව) සිටීම.

කාහල යෝගය හිමිව උපත ලැබූවන් නිර්භීතයි.. පාලන ශක්තිය හිමියි. ප්‍රදේශයකට නැති නම් කුඩා පිරිසකට හෝ පාලකයෙක් වෙයි. තරමක හිතුවක්කාර, මුරණ්ඩු ගති තිබුණ ද සෘජු ප්‍රතිපත්ති ඇතුව කටයුතු කරයි. දන උගත්කම අතින් එතරම් පොහොසත් නොවිය හැකි නමුත් ධෛර්ය සම්පන්න බව, සංවිධාන ශක්තිය අතින් දස්කම් පෙන්වයි. සතුරු බලවේග භීතියට පත්වන අයුරින් ක්‍රියා කරයි.

පහත දැක්වෙන්නේ කාහල යෝගය සටහන්ව පවතින කේන්දරයකි. දැනට ජීවතුන් අතර නැති මෙම කේන්දරයේ හිමිකරු රටම හඳුනන කලාකරුවෙකි. හිටපු නියෝජ්‍ය කතානායක වරයෙකි. ජන නායකයින් සමග සමීපව කටයුතු කළ අයෙකි. මනා පෞරෂයකින් යුතුව සිටි එඩිතර, ක්‍රියාශීලී අයෙකි.  සිනමාවේ සක්විති රජු ඔහු යි.
මෙම කේන්දරයේ සිව්වැන්නාධිපති ගුරු ස්වක්‍ෂේත්‍රව ලග්න භාවයේම සිටියි. නවවැන්නාධිපති රවි ගුරුගෙන් කේන්ද්‍රගතව සිව්වැන්නේ සිටියි. 


පහත දැක්වෙන්නේ  කාහල යෝගයට තවත් උදාහරණයකි.  කේන්දරයේ හිමිකරු ජාතියක් ගොඩනැගූ නායකයෙකි.  ඒ චීනයේ නොමියෙන මිනිසා යි. ඔහු මා ඕ සේතුං ය.
මකර ලග්නය හිමි කේන්දරයේ සිව්වැන්නාධිපති කුජ නවවැන්නාධිපති බුධ සමග එකොළොස් වැනි භාවයේ ය.ලග්නාධිපති ශනි හෙවත් සෙනසුරු දසවැන්නේ උච්චව සිටියි.  

කේන්දරයක බල දුබලතා, ග්‍රහ යෝග හඳුනා ගැනීමට පමණට වඩා ගැඹුරට ගොස් නොයෙක් පඹ ගාල්වල පැටලී අතරමං විය යුතු නැත. කුමන ශාස්තරයක් වූවද සංකීර්ණ කරගන්නා තරමට වැඩ ගැනීම අපහසුය. ආධුනික ජ්‍යොතිෂවේදීන් මේ බව බව හොඳින් මතක තබාගත යුතුය.