Tuesday, August 19, 2014

ග්‍රහයො 
වැඩකාරයෝ වෙන්නෙ මොන වගේ  තැන්වල දී ද?

        කාන්තාරයට ගැළපෙන සතා තමයි ඔටුවා. සිංහයා කැලෑවේ රජා වුණාට කාන්තාරයට ගිහින් දැම්මොත් අසරණ වෙනවා. වෛද්‍ය වරයා රෝහලේ වැඩකාරයා වුණාට උසාවියක් ඇතුළේ  වැඩ පෙන්නන්න එයාට බෑ. උසාවිය ඇතුළේ වැඩ පෙන්නන නීතිඥ මහත්තයාට රෝහලක් ඇතුළේ කරන්න පුළුවන් දෙයක් නෑ. ඔන්න ඔය වගේ තමයි ග්‍රහයින්ටත් වැඩ පෙන්නන්න පුළුවන් තැන් තියෙනවා. ගුරු අංක එකේ සුබ ග්‍රහයා වුණාට ගුරුටත් කට උත්තර නැතිවෙන තැන්  තියෙනවා. සෙනසුරා ග්‍රහලොවේ යාචකයා කිව්වට දස්කම් විස්කම් පෙන්නන්න පුළුවන් තැන් සෙනසුරාටත් තියෙනවා.
        කේන්දරයේ භාව හෙවත් ස්ථාන 12 ක් තියෙන බව කවුරුත් දන්නවා. මේ ස්ථාන 12 ට ග්‍රහයො බලවත් වෙන්නෙ මොන විදියටද, ඒ ඒ තැන්  වලට      ගැළපෙන ග්‍රහයො කවුද, සුබ ග්‍රහයින්ගෙ සුබ පල අඩුවෙන්නෙ මොන වගේ තැන්  වලදී ද ආදී කරුණු කාරණා ගැන තමයි මේ කියාදෙන්න හදන්නේ. මේ දේවල් හරියට දැනගත්තම කේන්දරයෙන් වැඩ ගන්න ලේසියි. ඒ විතරක් නෙමෙයි කේන්දරයක් බලලා අනාවැකි කියන්නත් පුළුවන් වෙනවා.
       ග්‍රහයින් බලවත්වන ආකාර 06 ක් ගැන ඉසි වරු සඳහන් කරල තියෙනවා. ඒකට කියන්නේ "ෂඩ් විධ බලය" කියලයි. ඒ තමයි,
       01 ස්ථාන බලය
       02 දිග් බලය
       03 වේෂ්ටා බලය
       04 කාල බලය
       05 දෘග් බලය
       06 නෛසර්ගික බලය.
   ඔය ෂඩ් විධ බලය අතරින් දිග් බලය හෙවත් දිශා බලය අනුව ග්‍රහයින් බලවත් වෙන්නේ කොහොමද කියල බලමු.
   මෙහිදී කේන්දරයේ ලග්න ස්ථානය හෙවත් පළමු වැනි භාවය නැගෙනහිර දිශාව ලෙසත්, සිව් වැනි භාවය උතුරු දිශාව ලෙසත්, හත් වැනි භාවය බටහිර දිශාව ලෙසත්, දස වැනි භාවය දකුණු දිශාව ලෙසත් සලකනවා. ගුරු, බුධ ලග්නස්ථානයටත්, සඳු, සිකුරු සිව් වැනි භාවයටත්, සෙනසුරු හත් වැනි භාවයටත්, රවි, කුජ දස වැනි භාවයටත් බලවත් වෙනවා.
     ගුරු හෙවත් බ්‍රහස්පති කියන්නේ ග්‍රහ ලොවේ සුබදායකම ග්‍රහයායි. පුද්ගලයෙක් සදාචාර මාර්ගයක් ඔස්සේ රැගෙන යාමේ හැකියාව බ්‍රහස්පති සතුව තියෙනවා. ජ්‍යොතිෂය බිහි කරන කාලයේදී පුද්ගලයෙකුගේ දියුණුව විදියට සැලකුවේ ගුණ යහපත්කම, හැදියාව මිසක් ආර්ථික දියුණුව නෙමෙයි. බ්‍රහස්පති ලග්න ගතවීම හොඳක් විදියට සැළකුවේ ඒ හින්දයි. කොහොම වුණත් කාටවත් කරදරයක් හිරිහැරයක් නැතුව සාධාරණ ක්‍රම වලින් දියුණු වී උසස් ජිවිතයක් ගත කරන්න බ්‍රහස්පති ලග්න ගතවීම සුබදායක වෙනවා. බ්‍රහස්පති ලග්න ගත වීමෙන් ආගම දහම කෙරෙහිද නැඹුරුවක් ඇතිවෙනවා. (අද කාලයේ යක්ෂ ගතිගුණ වලට මිසක් දේව ගතිගුණ වලට තැනක් නැති නිසා මෙවන් පුද්ගලයින්ට ලැබෙන අගය වටිනාකම අඩුයි.)
      බුධ ලග්නයේ හෙවත් පළමු භාවයේ ඉන්න අය බුද්ධියෙන් යුක්තයි. බුද්ධිය ප්‍රඥාව ඇති අය පවට බයයි. ජ්‍යොතිෂය බිහි කරන කාලයේ මනුෂ්‍යයාගේ බුද්ධියට ප්‍රඥාවට විශේෂ තැනක් ලැබුණා. අද ඒ තැන ලැබෙන්නේ ශරීරයේ මාංශ වලටයි. බුද්ධියක් ප්‍රඥාවක් නැති මාංශ කඳන් වලට මැතිවරණ වලදී පවා විශේෂ ජනතා ආකර්ශනයක් අද හිමිවෙනවා. "ප්‍රඥා නරාන රතනං" කියන්නේ මනුෂ්‍යයාගේ වටිනාම මාණික්‍යය ප්‍රඥාව කියන එකයි.  ප්‍රඥා සම්පන්න බුද්ධිමත් මනුෂ්‍යයෙක් වීමට බුධ ලග්න ගත වීම වැදගත් වෙනවා.
      එහෙමනම් ඊළඟට බලමු සිව් වැනි භාවයට සඳු හා සිකුරු දිග්  බල වෙන්නෙ කොහොමද කියලා. සිව් වැනි භාවයෙන් දේපළ, ගේ දොර, යාන වාහන, සැප සම්පත් ගැන කියවෙනවා. මේ දේවල් වලට අධිපතිත්වය දරන සිකුරු සිව් වැනි භාවයේ තැන්පත් වීම කොහොමත් හොඳයි. ගිහි ජිවිතයට අවශ්‍ය සැප සම්පත් සියල්ල හිමි කර දෙන ග්‍රහයා එතැනට හොඳටම ගැළපෙනව. සිකුරු කියන්නේ පිරිසුදුකමට හා සුකොමාලත්වයටත් අධිපතිත්වය දරන ස්ත්‍රී ග්‍රහයෙක්. සිව් වැන්නෙන් පපුව, හදවත ගැනත් කියවෙනවා. පපුව පිරිසිදු නැත්නම්, පපුවේ තෙතමනය නැත්නම් වැඩක් නෑ. සිකුරු සිව්වැන්නේ ඉන්නකොට පපුව පිරිසිදුයි.
      සඳු සිව්වැන්නට ගැළපෙන්නේ කොහොමද කියලත් බලමු. සඳු කියන්නේ සිසිලස, තෙතමනය ඇති කරන සංවේදීම ග්‍රහයායි. සඳු සිව්වැන්නේ ඉන්න අය අනුන්ගේ දුකේදී දුක් වෙනවා. උණුවෙන හදවතක් හිමිවෙනවා. එහෙම අය ට හැමෝම කැමතියි ආදරෙයි. ජිවිතයේ අවසාන කාලයේදී පවා දරු මුණුබුරන්ගේ ඇප උපකාර ලැබෙනවා. ජීවිතයේ අවසාන කාල සීමාව ගැනත් සිව්වැන්නෙන්  කියැවෙනවා. සිව් වැන්නේ පාප ග්‍රහයෝ ඉන්න අයට  ජීවිතයේ අවසාන කාලය තුළ තරමක් දුකින් කල්ගෙවන්න සිද්ද  වෙනවා.
      හත්වැනි භාවයට හෙවත් විවාහස්ථානයට සෙනසුරු දිග් බලයි. මෙතැන තමයි ගොඩක් දෙනෙකුට වරදින තැන. සෙනසුරු හත්වැන්නට හොඳම ග්‍රහයා බව සෘෂි වරු පවසලා තියෙනවා නම් දැන් ඉන්න අය කොහොමද කියන්නේ සෙනසුරු හතට හොඳ නෑ කියලා.  සමහර ජ්‍යොතිෂවේදීන් සෙනසුරු හතේ ඉන්නව දැක්කම මිනිස්සුන්ව බය කරනවා. හතේ සෙනසුරු ඉන්න එක බයවෙන්න කාරණයක් නෙමෙයි.  හතෙන් කියැවෙන්නේ විවාහය ගැනයි. විවාහ ජීවිතය කියන්නේ තනියම ගතකරන ජිවිතයක් නෙමෙයි. දුක් කරදර, ගැටළු මතුවෙන්න පුළුවන්.  මතුපිටින් හොඳට සුන්දරව පෙනෙන විවාහ ජීවිත වල පවා ගැටළු තියෙන්න පුළුවන්.  දරාගැනීමේ හා ඔරොත්තුදීමේ ශක්තිය ඇතිකරන ග්‍රහයා සෙනසුරා යි. මොන තරම් දුකක් කරදරයක් ඇතිවුණත් ඒවා විඳ දරාගෙන සිටීමේ ශක්තිය තියෙන්නේ සෙනසුරු ලඟයි. එහෙමනම් දරාගැනීමේ ශක්තිය ලැබෙන්න ඕනැ තැනට සෙනසුරු හොඳටම ගැළපෙනවා. 
        දස වැනි භාවයට රවි හා කුජ හොඳයි කියන්නේ මොන  හේතුවක් උඩද කියලා බලමු. දසවැනි භාවය ක්‍රියාත්මක ස්ථානයයි. පුද්ගලයෙකුගේ ක්‍රියාශීලී බව, සංවිධාන ශක්තිය ගැන දසවැනි භාවයෙන් ප්‍රකාශවත් වෙනවා. රවි කුජ දෙන්නම හොඳ ක්‍රියාශීලී, සටන්කාමී, පසු නොබසින ග්‍රහයො දෙන්නෙක්. එහෙමනම් ක්‍රියාත්මක වෙන්න ඕනැ තැනට මේ ග්‍රහයො දෙන්නා හොඳටම ගැළපෙනවා. කේන්දරයේ දසවැනි භාවයෙන් රැකියාව ගැන කියැවෙන බව බොහෝ දෙනෙක් දන්නවා. එහෙමනම් මන්දගාමී කම්මැළි ග්‍රහයෙක් මෙතැනට කොහොමටත් ගැළපෙන්නෙ නෑ. රැකියා ස්ථානයට ගැළපෙන්නේ ක්‍රියාශීලී ග්‍රහයෙක්මයි. 
    මේ කතා කළේ ග්‍රහයින්ගේ දිග් බලය ගැනයි. ග්‍රහයින් බලවත්වන අනෙකුත් ආකාර ගැන ඊළඟට කතා කරමු. 

                               ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
                                                    ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර