අතමිට සරු කරගන්න
කේන්දරය උපකාරී කරගන්න.

අද තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක්. එදා බුදුන් වහන්සේ සුනීත, සෝපාක වගේ දිළිඳු අසරණ අයට පිහිට වුණා. සමාජයේ පිළිකුලට ලක්වෙලා සිටි ගණිකාවන්ගේ නිවෙස් වලට පවා වැඩම කළා. ඒ අය පිරිනැමු දානය වැළඳුවා. යේසුස් වහන්සේ දුක් විඳින, බර උසුලන, වෙහෙස වන අසරණයින්ට පිහිට වුණා. ඒත් අද, ඉහළ පෙළේ ආගමික උත්තමයෙක් හමුවීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් ධනයෙන් බලයෙන් අඩුවක් නැති කෙනෙකුට ඒක ලේසි පහසු කටයුත්තක්.
හැම දෙයක්ම මුදල් මත තීරණය වීම යහපත් ලක්ෂණයක් නොවුනත් ධනවාදී ආර්ථික ක්‍රමය තුළ හැමෝටම මුදල් පස්සේ දුවන්න වෙලා තියෙනවා. මුදල් හොයන්න විවිධ අය විවිධ ක්‍රම අනුගමනය කරනවා. සමහරු මුදල් හොයන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙනවා. මුදල් භාවිතා කරලා විලංගු ගලවා ගන්න අයත් ඉන්නවා. සමහරු මුදල් ප්‍රමාණය දෙගුණ තෙගුණ කරගන්න ගිහින් ඔක්කොම නැති කරගන්නවා. සමහරු මුදල් හොයාගන්න ගිහින් ජීවිතෙත් නැති කරගන්නවා.
කෙනෙකුට සුබ දශාවක්, සුබ අන්තර් දශාවක් ලැබුවම ඒ කාලය දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් උපරිම වශයෙන් භාවිතයට ගන්න ඕනෑ. සිකුරු මහ දශාව හොඳ කාලයක්. ඒත් සිකුරු මහ දශාව නිම වුණාට පස්සේ රවි මහ දශාව ලබනවා. සිකුරු දශාව තුළ දියුණුව සාර්ථකත්වය හරියට ගොඩනගාගත්තෙ නැත්නම් රවි මහා දශාවේදී අමාරුවේ වැටෙනවා. ගුරු මහ දශාව කියන්නේ සුබදායක කාලයක්. නමුත් ගුරු දශාව නිම වුණාට පස්සේ ලබන්නේ සෙනසුරු. එහෙමනම්, ගුරු දශාවේදී දියුණුව සාර්ථකත්වය හරියට ගොඩනගාගත්තේ නැත්නම් සෙනසුරු දශාවේදී මහත් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. බුධ මහ දශාව සුබදායකයි. බුධ මහ දශාවේදී හරියට යමක් කරගන්නේ නැතුව සැහැල්ලුවෙන් ගත කළොත් ඊළඟට ලබන කේතු මහ දශාවේදී අමාරුවෙ වැටෙන්න වෙනවා. සඳු මහ දශාව හරියට භාවිතයට නොගත්තොත් කුජ දශාවේදී අමාරුවෙ වැටෙනවා.
තමන්ට සාර්ථකත්වය උදාකරන්නේ සුබ ග්‍රහයොම නොවෙන්න පුළුවන්. නමුත් තමන්ට සාර්ථකත්වය උදාකරන ග්‍රහයාගේ දශාව නියමිත ආකාරයට භාවිතා කළොත් තමන් ජයග්‍රහණය කරනවා.
කෙනෙක් ගතකරන්නේ ගුරු මහ දශාව කියලා හිතමු. මෙයා ගුරු මහ දශාවේ අග කොටස වෙනකොට නොයෙක් ගැටළු පැටලිලි ඇති කරගත්තොත්, අනුන්ට ඇප වුණොත්, ණය ගනු දෙනු වලට සම්බන්ධ වුණොත් මේ හැම දෙයක්ම විසඳා ගන්න වෙන්නේ සෙනසුරු මහ දශාවෙදියි. සෙනසුරු මහ දශාවේදී මේ දේවල් බරපතළ ප්‍රශ්න බවට පත්වෙන්න ඉඩ තියෙනවා. මේවා නීති ප්‍රශ්න බවට පත්වෙන්නත් පුළුවන්. අපලදායක කාලයකට මුහුණ දිය යුත්තේ ප්‍රශ්න, ගැටළු අතින් දරාගෙන නෙමෙයි. හොඳ ආරක්ෂාකාරී, ඔරොත්තුදෙන ආකාරයේ වටපිටාවක් ගොඩනගාගෙනයි.
තමන්ට වාසනාව උදාකරන, දියුණුවට පාර කපන ග්‍රහයෙක් හෝ ග්‍රහයින් කීප දෙනෙක් කේන්දරය තුළ ඉන්නවා. ඒ ග්‍රහයා හෝ ග්‍රහයින් කීප දෙනා හඳුනාගෙන ඒ ග්‍රහයාට හෝ ග්‍රහයින්ට අනුකූල ක්‍රම වලින් මුදල් උපයන්න ඕනෑ.

එක්තරා ගායන ශිල්පිණියකට ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මොනතරම් දක්ෂතාවය තිබුණත් ජනප්‍රියතාවය අඩුයි. ඉදිරියට යන්න අවස්ථා නෑ. අලුත් වැඩකට අත ගහන්න හැදුවත් මොන විදියකින් හරි නතරවෙනවා. කේන්දරයේ ග්‍රහ බලය අනුව කළයුතු වෙනස්කම් ගැන ඇයව දැනුවත් කළා. ඒ වෙනකොට ඇය භාවිතා කළ නම නොගැළපෙන බැවින් එය වෙනස් කළා. කේන්දරයේ බලවත්ම ග්‍රහයාට හිමි නැකතකට අයත් අක්ෂරයකින් වාසනාව උදාවන ආකාරයේ ආකර්ශනීය නමක් හදල දුන්නා. නිතර භාවිතා කළයුතු වර්ණ සම්බන්ධයෙන් දැනුවත් කළා. ගායනා කරන ගීත වල තිබිය යුතු මුල් අක්ෂර ගැන පවා දැනුවත් කළා. කේන්දරයේ ග්‍රහ බලයට අනුකූලව ගත් පියවර හේතුවෙන් ඇයගේ ජනප්‍රියත්වය වර්ධනය වුණා .
සමහරු දැකපු දේ කරන්න යනවා. අහවලාගේ රූපලාවන්‍ය ව්‍යාපාරය බොහොම සාර්ථකයි. ඒකෙන්ම තමයි ගොඩ යනවා නම් යන්න තියෙන්නේ. ඔහොම හිතලා දැකපු දේ කරන්න ගිහින් අමාරුවේ වැටෙන අය ඉන්නවා. නොයෙක් දේවල් පටන් අරගෙන ටික කලකින් නතර කරනවා. වටිනා කියන කාලය නිකරුනේ අපතේ යනවා.
තමන්ගේ ග්‍රහ බලය වගේම ග්‍රහ බලයට හිමි ජය සංකේත, උපන් නැකත හිමි පක්ෂියාගේ රජ, භෝජන, ගමන යන අවස්ථා පවා තම ජයග්‍රහණය වෙනුවෙන් භාවිතයට ගත යුතුයි.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර