Thursday, August 7, 2014

වාසනාව වගේ පෙනි පෙනී එන අවාසනාව 
අවාසනාව වගේ පෙනි පෙනී එන වාසනාව 

මේ එන්නේ වාසනාවද අවාසනාව දැයි හරියට දැන නොගත්තොත්,ලෝක අමාරුවක වැටෙන්න පුළුවන්.


                      සමහර වෙලාවට වාසනාව වගේ පෙනී සිටිමින් අවාසනාව ළං වෙනව. අවාසනාව වගේ පෙනී සිටිමින් වාසනාව ළං වෙන අවස්ථාත් තියෙනවා. වාසනාව විදියටම වාසනාව එන අවස්ථා වගේම අවාසනාව විදියටම අවාසනාව එන අවස්ථාත් නැත්තේ නෑ. කොහොම වුණත් මේ ළං වෙන්නේ වාසනාවද අවාසනාවද කියලා තේරුම් ගන්න ගොඩක් දෙනෙකුට අමාරුයි. සමහරු වාසනාව කියල අවාසනාව වැළඳගෙන පසුතැවෙනවා. අවාසනාව කියල හිතාගෙන වාසනාව ප්‍රතික්ෂේප කරලා දුක්විඳින අයත් ඉන්නවා.  
                      කේන්දරයක් නැති පුද්ගලයා අඳුරේ යන කෙනෙක් වගේය කියලා කතාවක් තියෙනවා. අඳුරේ යන කෙනෙකුට හරියට මොනවත් පේන්නෙ නෑ. යන්තමට පේන දේවල් වලටත් රැවටෙනවා. අනතුරු වලට පහසුවෙන් ලක් වෙනවා. අතට ගන්න ඕන දේවල් හොයාගන්න අමාරු වෙනවා. "ජ්‍යොතිෂය අඳුරේ යන්නෙකුට ගිනි හුළක් වගේය" කියන්නේ ඔය හින්දයි. වාසනාව අවාසනාව හරියට තේරුම් ගන්න, අවාසනාව දුරු කරගෙන වාසනාව උදා කරගන්න කේන්දරයෙන් විශාල උදව්වක් ලැබෙනවා. 
                සල්ලි දේපළ යහමින් තියෙන පවුලක තරුණියක් හිටියා. මේ තරුණිය හිතුවක්කාරකමට නොගැළපෙන විවාහයක් කරගෙන ඒකෙන් වෙන්වෙලා ආපහු ගෙදරට ඇවිත් හිටියෙ. මෙහෙම ඉන්න අතරේ රට ගිහින් ආපු තරුණයෙක් මුණ ගැහුණා. මේ තරුණයාට ඕනැ වුණේ තරුණියගෙ දේපළ ධනය තමන්ට ලබාගන්නයි. තරුණිය වගේම තරුණියගෙ දෙමව්පියොත් මේ තරුණයට රැවටුණා. තරුණිය විවාහවෙලා ටික දවසකින් මේ තරුණයාගේ සැබෑ ස්වරුපය හෙළි වුණා. මේ තරුණයා පාතාල කණ්ඩායමකට සම්බන්ධ කෙනෙක්. මෙයා මාමණ්ඩිටයි නැන්දම්මාටයි තර්ජනය කරන්න පටන්ගත්තා ඉක්මනට දේපළ ටික තමන්ගෙ නමට ලියල දෙන්න කියලා. බැරිම තැන මේ අය දේපළ ලියල දුන්නා. කොහොම වුණත් තරුණියට ඒ විවාහය තුළ රැඳෙන්නත් පුළුවන් වුණේ නෑ. තරුණයාගේ සල්ලාලකම්, හොර මැරකම් හින්දා තරුණිය ඔහුගෙන් වෙන් වුණා. පියා හර්දාබාධයකින් මියගියා. මේ තරුණිය දැනට සයිප්‍රසයේ සේවය කරමින්, කුලී නිවසක වෙසෙන මවට වියදම එවනවා. 
       වාසනාව වගේ පෙනී සිටිමින් අවාසනාව එන්නේ ඔන්න ඔය විදියටයි. රාහු, කේතු, සෙනසුරු දශා වලදි තමයි ගොඩක් දෙනෙක් වාසනාව කියල අවාසනාවට රැවටෙන්නේ. වාසනාව කියලා වැළඳගෙන තියෙන්නේ අවාසනාව බව වැටහෙන කොට බොහෝ දේ අහිමි වෙලා ඉවරයි.
         බුදුන් වහන්සේ එක ආත්මයක බරණැස් නුවර චුල්ල නමින් සිටුවරයෙක් වෙලා හිටියා. දුප්පත් මනුස්සයෙක් පාරෙ ගමන් කරනව.  පාරෙ මැරිලා හිටපු මීයෙක් පෙන්නලා සිටුවරයා කියනව "නුවණ තියෙන කෙනෙකුට මේ මී කුණ වුණත් ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙන්න පුළුවන්" කියලා. මේක අහගෙන හිටපු දුප්පත් මනුස්සයා මී කුණ අරගෙන යනවා. මී කුණ අරගෙන යනකොට බළලෙක් ඇතිකරන කෙනෙක් සුළු මුදලක් දීලා මේ මී කුණ අරගත්තා. ඒ මුදලෙන් මේ මනුස්සයා උක්  හකුරු අරගත්තා. කැලයෙන් මල් කඩාගෙන එන අයට හකුරු වලින් සහ පැන් වලින් සංග්‍රහ කරලා ඒ අයගෙන් මල් මිට මිට අරගත්තා. පස්සෙ මල් විකුණලා මුදලක් හොයාගත්තා. ඔය විදියට පියවරෙන් පියවර ගිහින් මහා ධනවතෙක් බවට පත්වුණා. පස්සේ චුල්ල සිටුවරයා මුණගැහිල තමන් එතුමන්ගේ උපදෙස් හේතුවෙන් ධනවතෙක් වුණු ආකාරය පැවසුවා. චුල්ල සිටුවරයා මහත් සේ පැහැදිලා තමන්ගේ දියණිය මේ උත්සාහවන්ත මනුස්සයාට විවාහ කරලා දුන්නා. හොඳ උපදේශකවරයෙක් ගේ උපදෙස් හේතුවෙන් මොහු මහා සිටුවරයෙක් වුණා.  
                    ඉස්සර අපේ ගම් වල ජනතාවට උපදෙස් දුන්නේ පන්සලේ හාමුදුරුවෝ සහ ගමේ වෙද මහත්තයයි. මේ අයගේ උපදෙස් අනුව ගමේ බොහොමයක් දෙනා ඔළුව නැති වැඩ නොකර විනය ගරුක විදියට ජීවත්වුණා. පවුල් අවුල් කරගත්තු, මොළේ කලඳක් නැති නළු නිළියෝ, ගිරව් වගේ මෙලෝ සිහියක්   නැතුව හිස් වචන කියවන නිවේදක නිවේදිකාවෝ. කපටි කයිරාටික දේශපාලඥයෝ තමයි අද උදේ ඉඳන් හවස් වෙනකල් ජනතාවට උපදෙස් දෙන්නේ. අද රට තනිකරම විශාලා මහනුවර වගෙයි. එළිවුණු වෙලේ ඉඳන්ම අහන්න තියෙන්නේ මරපුවා, කපපුවා, කොටපුවා, ගිනි තියපුවා, දුෂණය කරපුවා, අරන් පැනපුවා, හිරිහැර කරපුවා, හොරකම් කරපුවා නේද?
         තමන්ගේ වාසනා බලය ක්‍රියාත්මක වන ආකාරය, අවාසනාව ලඟා වන ආකාරය, වාසනාව අවාසනාව මතුවන කාල සීමාවන්, වාසනා බලය මතුකර   ගත යුතු ආකාරය ආදී හැම දෙයක්ම ජන්ම පත්‍රය හෙවත් කේන්දරය තුල සටහන් වෙලා තියෙනවා. මේවා ගැන හරියට දැනගෙන වාසනාව මතුකරගන්න  නම් දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් මුණ ගැහෙන්න ඕනෑ. දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් කියන්නේ අතින් සල්ලි දීලා රුපවාහිනී, ගුවන් විදුලි නාලිකා වල වැඩසටහන් ඉදිරිපත් කරන, තමන්ගේම තැරව් කාරයො ලවා දුරකථන ඇමතුම් ලබාගන්නා අයට නොවන බවත් හොඳින් මතක තබා ගත යුතුයි.      
          "මැණික් ගලේ පය හැපුණත් කණා ඇහිඳලා ගනියිද? "  කියලා කියමනක් තියෙනවා. සමහරු වාසනාවට පයින් ගහනවා. තෝරගත්තොත් තෝරගන්නේ වැරදි දේමයි. අමරුවේ වැටෙන, මානසික පීඩා ඇතිවෙන, ආත්ම ගරුත්වය නැතිවෙන දේවල් කොහොම හරි තෝරාගන්නවා. ඇයි මටම  මෙහෙම වෙන්නේ? කියල පස්සෙ අහනවා.
           අද සමහර දරුවන් විෂය ධාරාවන් තෝරා ගනිද්දීත් වරද්දා ගන්නවා. තමන්ට ගැළපෙන, පලදෙන විෂය ධාරාව අත ඇරලා නොගැළපෙන විෂය ධාරාවක් තෝරාගෙන අමාරුවේ වැටෙනවා. අධ්‍යාපනය අසාර්ථක කරගන්නවා. තමන්ට ගැළපෙන, පලදෙන, අනාගතය සමග සසැඳෙන විෂය ක්ෂේත්‍රය  තෝරාගෙන ඒ ඔස්සේ අධ්‍යාපනය කරගෙන යන්න ඕනෑ.                                            
               මේ එන්නේ වාසනාවද අවාසනාවද? අවාසනාව නම් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? අවාසනාව වාසනාව බවට පත් කරගන්නේ කොහොමද? කේන්දරය පරික්ෂා කරවගන්න කොට මේ දේවල් අහල දැනගන්න ඕනෑ. ජ්‍යොතිෂය බිහි කරලා තියෙන්නේ මනුෂ්‍යයාගේ යහපත, සාර්ථකත්වය වෙනුවෙන් භාවිතයට ගැනීමටයි.