Wednesday, September 16, 2026

රුද්‍ර විංශතිය දැනටමත් ක්‍රියාත්මකද?

 



දේශගුණික විපර්යාස, හිටිහැටියේ සිදුවන නොයෙක් පෙරළි සහ මිනිස් සිත්වල නොසන්සුන්තාවය පිටුපස ඇති සැඟවුණු ජ්‍යොතිෂමය සත්‍යය සහ ඉන් බේරීමේ මග.


වත්මන් සමාජය තාක්ෂණයෙන් කෙතරම් දියුණු වූවද විශ්වයේ සිදුවන මහා ග්‍රහ චලිතයන්ගෙන් සහ සොබාදහමේ නීතිවලින් මිදීමට පෘථිවිවාසී කිසිවෙකුට නොහැක.මේ දිනවල දේශගුණයේ සිදුවන දරුණු වෙනස්වීම්, ලොව පුරා ඇවිලෙන යුධ ගිනි සහ මිනිසුන්ගේ සිත් තුළ නලියන නොසන්සුන්කාරී ස්වභාවය දෙස බලන විට ජ්‍යොතිෂයේ සඳහන් මහා පරිවර්තනීය කාල පරිච්ඡේදයක් වන ඊශ්වර විංශතිය හෙවත් රුද්‍ර විංශතියේ බලපෑම දැනටමත් අපට දැනෙන්නට පටන් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඉදිරි වසර කිහිපය තුළ අපේ රට සහ ලෝකයට මෙයින් එල්ල වන බලපෑම කෙබඳුද? මෙයින් ගැලවීමට අප සූදානම් විය යුත්තේ කෙසේද කියා ජ්‍යොතිෂමය ඇසින් විමසා බලමු.


රුද්‍ර විංශතිය යනු සැබැවින්ම කුමක්ද ?

පැරණි සෘෂිභාෂිත ජ්‍යොතිෂයට අනුව "රුද්‍ර" යනු මහා ශිව දෙවියන්ගේ ප්‍රචණ්ඩ,විනාශකාරී මෙන්ම පිරිසිදු කිරීමේ ස්වභාවයයි. "විංශතිය" යනු වසර විස්සක කාලයකි.විශ්වයේ ග්‍රහ පිහිටීම්වල සිදුවන සුවිශේෂී මහා සංයෝගයන් හේතුවෙන් සෑම ශතවර්ෂයකම පාහේ ලෝකය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරන වසර විස්සක අර්බුධකාරී කාල පරිච්ඡේදයක් උදාවේ.එය ජ්‍යොතිෂයේ "රුද්‍ර විංශතිය" ලෙස හැඳින්වේ. මෙහි මූලිකම අරමුණ වන්නේ මිනිස් වර්ගයා විසින් සොබාදහමට කළ විනාශයන් සහ අකුසල් කර්මයන් ක්ෂය කර පෘථිවිය නැවත පිරිසිදු කිරීමයි.


අපට දැනටමත් බලපෑම දැනෙන්නට පටන් අරගෙනද ?


බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයක් වන්නේ මෙහි බලපෑම දැනටමත් ක්‍රියාත්මකද යන්නයි. ඔව්. වත්මන් සමාජ වටපිටාව දෙස බැලීමේදී එහි පෙරනිමිති පැහැදිලිව දැක ගත හැකිය.

✱ දේශගුණික සහ සාගර විපර්යාස.

පෙර නොදුටු පරිදි සෘතු විපර්යාස සිදුවීම. අධික වර්ෂාව මෙන්ම දැඩි නියඟ තත්වයන් හිටිහැටියේ ඇතිවීම සහ සාගර ජල මට්ටම් ඉහළ යාම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.


✱දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයට අභියෝග.

ලෝකයේ මෙන්ම ලංකාවේද සාම්ප්‍රදායික දේශපාලන සහ ආර්ථික රටාවන් බිඳ වැටෙමින් පවතී.කිසිවෙකුට සිතා ගත නොහැකි ආකාරයේ පෙරළි සිදුවන්නේ රුද්‍ර ශක්තිය නිසාය.


✱ මිනිස් සිත්වල නොසන්සුන්තාවය.

මිනිසුන් තුළ ඉවසීම අඩු වීම, මානසික ආතතිය සහ සමාජය තුළ අපරාධ ප්‍රවණතා ඉහළ යාම විශ්වයේ ඇතිවන සෘණාත්මක තරංගවල ප්‍රතිඵලයකි.


රුද්‍ර විංශතිය තුළ ආරක්ෂාකාරී වීමට කේන්දරයේ තිබිය යුත්තේ කෙබඳු ග්‍රහ බලයක්ද ?

මෙවැනි මහා විශ්ව පරිවර්තන කාලවලදී බාහිර ධනය හෝ බලය පලක් නොවේ. කේන්දරයක ගුරු(බ්‍රහස්පති) සහ ශනි(සෙනසුරු) යන ග්‍රහයින් බලවත්ව සිටීම සහ ආත්ම ශක්තිය නිරූපනය කරන රවි(සූර්යයා) යහපත්ව පිහිටීම මේ සඳහා ප්‍රධාන පිටුවහලකි. විශේෂයෙන්ම කේන්දරයේ "ධර්ම කර්මාධිපති යෝගය" වැනි සුභ යෝග ඇති අයට සහ පස්වැනි නවවැනි භාවයන් බලවත් අයට මෙම පොදු ව්‍යසන කාලවලදී පවා ස්වභාව ධර්මයේ ආරක්ෂාව නිතැතින්ම හිමිවේ.


ඉදිරි වසර කිහිපය තුළ අප මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග 3 ක්.


1. ආහාර සහ කෘෂිකාර්මික අර්බුධ.

කාලගුණික විපර්යාස නිසා ඉදිරියේදී ලෝක ව්‍යාප්ත ආහාර හිඟයක් හෝ මිල ඉහල යාමක් සිදුවිය හැකිය.එබැවින් ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයකට රට යොමු විය යුතුය.


2. නව වෛරස් සහ සෞඛ්‍ය ගැටලු.

රුද්‍ර  විංශති කාලවලදී වාතය සහ ජලය දූෂණය වීම හේතුවෙන් නව ලෙඩ රෝග හෝ වෛරස් පැතිරීමේ ප්‍රවණතාවක් පවතී. ප්‍රතිශක්තිකරණය සහ අධ්‍යාත්මික සුවය මෙයට පිළියමයි.


3. ඩිජිටල් සහ තාක්ෂණික පෙරළි.

පැරණි රැකියා ක්‍රම අහෝසි වී කෘතීම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ නව ලෝක රටාවක් බිහිවීම වේගවත් වේ.


රුද්‍ර  විංශතිය යනු ලෝක විනාශය නොවේ. එය පැරණි කුණුකන්දල් අතුගා දමා නව යුගයක් බිහි කිරීමට සොබාදහම කරන සැත්කමකි. මෙහිදී ආරක්ෂා වීමට නම් අප භෞතිකවාදී ආශාවන් පසුපස පමණක්ම හඹා යාම නතර කොට සොබාදහමට ආදරය කරන, අධ්‍යාත්මික ගුණධර්මවලින් පිරි ජීවිතයකට හැඩගැසිය යුතුය. පරිසරය සුරකින අවංක මිනිසුන්ව සොබාදහම විසින්ම වැළඳගෙන ආරක්ෂා කරන බව අමතක නොකළ යුතුය. දිනපතා මෛත්‍රී භාවනාව වඩමින් ලෝක සත්වයාට මෙත් වැඩිම තුලින් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වේ. සියලු ආකාරයේ ව්‍යසනවලින් ආරක්ෂාව සැලසේ.


අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 

සංජීව කුළුපන බණ්ඩාර