Thursday, January 13, 2022

මේ මම හඳුනන සිකුරු ගැනයි.


 

සිකුරු කියන්නෙ කොහොම කෙනෙක්ද ?

ගොඩක් දෙනෙක් කියන විදියට නම් ඒ ග්‍රහ ලොවේ සුකොමලිය යි. ග්‍රහ ලොවේ මනාලිය යි. " ග්‍රහ ලොවේ සුකොමලිය අහවල් දවසේ අහවල් රාශියට...ලග්න රැසකට මංගල යෝග..."  ඔය විදියේ කියමන් නිතර දෙවේලෙ දකින්න ලැබෙනවා. ඇත්තටම සිකුරු කියන්නෙ සුකොමලියක්ද ? සිකුරු කොහොමද මංගල යෝග උදා කරන්නෙ ? ඔබ සිකුරු හඳුනගෙන තියෙන්නෙ කොහොමද ?


මේ මම හඳුනන සිකුරු ගැනයි.

ස්පර්ශයෙන් ඇතිවන දැනීම ( The Sense of Touch) ලැබෙන්නෙ සිකුරුගෙන්. ඒක බොහොම වටිනා කතාවක්. ස්පර්ශය කියන්නෙ මහා බලයක්. හදවත කුළුගන්වන බලයක්. හදවතේ ස්පර්ශය හැම ස්පර්ශයකටම වඩා බලවත්. පෙකණිවැල කපලා මවගෙ සිරුරෙන් වෙන් කරන දරුවා මව් කිරිවලින් වෙන් කරන තාක් මවගේ හදවතේ ස්පර්ශය විඳිනවා. දරුවෙකුට මව් කිරි වෙන විදියකට දෙන්න පුළුවන් වුණත් මවගෙ හදවතේ ස්පර්ශය වෙන විදියකට දෙන්න බෑ. මවගෙ හදවතේ ස්පර්ශය විඳපු දරුවයි එය නොවිඳපු දරුවයි කියන්නෙ දෙන්නෙක්. දරුවෙක්ගෙ හදවත හරියට වර්ධනය වෙන්න මවගෙ හදවතේ ස්පර්ශය ඕනැ. හදවත කියන්නෙ හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය යි. 


මේ, ස්පර්ශයෙන් ඇති වන දැනීම කියන්නෙ හදවතට දැනෙන ස්පර්ශය මිසක් නිකම් ස්පර්ශයන් නෙමෙයි.ජීවිතයේ අවසානය තෙක් හදවතට දැනෙන ස්පර්ශය, හදවත කුළුගන්වන ස්පර්ශය හරියට ලැබෙන්න නම් කේන්දරයෙ සිකුරු පෝසත් වෙන්න ඕනැ.


ආදරය දැනෙන්නෙ හදවතට. ආදරය පිරෙන්නෙ හදවතේ. ආදරය අයිති සිකුරුට. ඒක හැමෝම දන්නවා. එහෙම දන්න අයත් ආදරය හොයනවා. ආදරය එළියෙ හෙව්වට කවදාවත් ලැබෙන්නෙ නෑ. ආදරය හොයන්න ඕනැ ඇතුලෙ මිසක් එළියෙ නෙමෙයි. ඒක ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ඇතුලාන්තය පෝසත් අයට සල්ලි ලැබෙනවා. සල්ලි කියන්නෙත් පිටින් එන දෙයක් නෙමෙයි. සියල්ල ගලා එන්නෙ ඇතුලෙන්. ආදරයත් එහෙමයි. ඇතුලාන්තයෙ ආදරය පිරිලා ඉතිරිලා යන්නත් කේන්දරයෙ ඉන්න සිකුරු ආදරණිය වෙන්න ඕනැ. එහෙම නොවුණම හැමදාම ආදරය හිඟාකන්න වෙනවා. ඒත් ලැබෙන ආදරයක් නෑ. ඒ හින්දා සිකුරු කොහොම හිටියත් කමක් නෑ ඇතුලාන්තය ආදරයෙන් පුරවාගෙන බලන්න. ආදරය ලැබෙයි හිත පිරෙන්න. හදවත විතරක් නෙමෙයි සියලු මධ්‍යස්ථාන හරියට සුසර කරගන්න පුළුවන් නම් කේන්දරය කොහොම තිබුණත් තමන්ට ඕනැ කරන පසුබිම ඕනැ විදියට හදාගන්න පුළුවන්. ඒකට තමයි භාවනා ක්‍රම භාවිතා කරන්නෙ.


හිතන්නෙ හදවතින් නෙමෙයි. ඒත් හිත පිරෙන්න නම් හදවතට දැනෙන දේවල් හරියට ලැබෙන්න ඕනැ. ආදරය, සතුට, ලෙන්ගතුකම දැනෙන්නෙ හදවතට. හදවත අයිති කේන්දරයෙ හතරට. හතරට දිග්බලයි සිකුරු. සිකුරුයි හදවතයි අතර තියෙන්නෙ නොබිඳෙනා සම්බන්ධයක්. මම සිකුරු අඳුරන්නෙ හදවතේ ග්‍රහයා විදියට. ආදරය වගේම කෝපය සහ වෛරය දැනෙන්නෙත් හදවතටමයි. ආදරයයි වෛරයයි හරි සමීපයි. ආදරය වෛරයට පෙරළෙන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ. සිකුරුට සම්බන්ධ වෙන දුෂ්ට, චන්ඩි ග්‍රහයො හදවතේ වෛරය, කෝපය ඇති කරනවා. දුෂ්ටයෙකුගෙ ඇසුරක්, ඇල්මක් බැල්මක් නැත්නම් එහෙම නෑ. දාල ගියත් ජොලියෙ ඉන්නවා. මුහුදෙ ඉන්නෙ එක මාළුවද... සිකුරු පිරිසිදු නම් අහේනියක් නෑ.


මධුවිත කියන්නෙ සිකුරුට අයිති දෙයක්. නෑ නෑ...රාහුට කියාගෙන එන්න එපා. රාහුගෙ බීම වෙනම එකක්. ජ්‍යොතිෂවේදියා නිර්මාණශීලී වෙන්න ඕනැ කියන්නෙ ඒකයි. බේබදුකමයි චුට්ටක් උගුර තෙමාගෙන සින්දුවක් කියාගෙන විනෝදෙන් ඉන්න එකයි දෙකක්. රාහුට අයිති බීමෙන් හදවතට දැනෙන දෙයක් නෑ. සිකුරු මනුස්සයෙක්ව කාලකන්නි බේබද්දෙක් බවට පත් කරන්නෙ නෑ. එහෙම වුණොත් ඒ සිකුරු සම්බන්ධ වෙච්චි නොහොබිනා ග්‍රහ සංයෝගයක ප්‍රතිඵලයක් මිසක් සිකුරුගෙ වැරද්දක් නෙමෙයි.


රාගය අයිති සිකුරුට.  සිකුරුට අයිති රාගය ආදරණියයි, සාමකාමියි. ප්‍රදර්ශන කාමුකත්වය,දර්ශන කාමුකත්වය,ස්වපීඩන කාමුකත්වය,පරපීඩක කාමුකත්වය,පෙඩෝෆීලියා,ශවකාමය, ෆ්‍රොටොරිසම් ආදී වශයෙන් නොයෙක් විකෘති ලිංගික චර්යාවන්ගෙන් යුතු අය සමාජයේ ඉන්නවා. මේවායින් තමන්ට හෝ අනුන්ට ඇති වෙන්නෙ වේදනාවක් හෝ හිරිහැරයක් මිසක් සතුටක් වින්දනයක් නෙමෙයි. සංසර්ගය කියන්නෙ සමාධිගත වෙන්න පුළුවන් අවස්ථාවක්. සිරුරු දෙකක් නොව ආත්මයන් දෙකක් එකිනෙක හමුවී සහජීවනය හා අපරිමිත ආදරය ගොඩනඟන සමාධිමත් තැනක් වෙත ලිංගිකත්වය ගෙන යාමේ වගකීම සිකුරු සතුයි. එකිනෙකාගේ ශක්තීන් ආදරණීය ලෙස මුසු කෙරෙන, ඔවුනොවුන් එකම රිද්මයකට අනුගත කරවන භාවනාත්මක රැඟුමක් බවට එය පත් කරනු ලබන්නේ සිකුරු යි. හදවතේ සම්බන්ධයෙන් තොර රාගය එනම්, ආදරය මුසු නොවූ ලිංගික ක්‍රියාවලිය යාන්ත්‍රිකයි, නිස්සාරයි. කාලය,සිත හා මමත්වය යන ත්‍රිත්වයම ක්ෂණයකින් අතුරුදහන් කරවන මොහොත හරියට උදා කරන්නේ සිකුරු යි.


සිකුරු කියන්නෙ හිර වෙන්න කොටු වෙන්න අකමැති නිදහස්කාමී කෙනෙක්. මමත්වය තියෙන්නෙ මනසෙ මිසක් හදවතේ නෙමෙයි. සිකුරුට මමත්වය නෑ. සිකුරු සමාජශීලීයි. බොහෝ අදර සම්බන්ධතා මමත්වය හින්දා අතරමග බිඳ වැටෙනවා. සිකුරු අභිබවා මමත්වයේ ග්‍රහයින් ඉස්මතු වීම, සිකුරු මමත්වයේ ග්‍රහයින්ගේ ඇසුරට ලක්වීම වගේ කාරණා හින්දා නිදහසේ ගලා යා යුතු ආදර බැඳීම් පමණක් නෙමෙයි විවාහ ජීවිත පවා බිඳ වැටෙනවා. වරද සිකුරුගෙ නෙමෙයි. සිකුරු හිර වෙන්නෙත් නෑ කාවවත් හිර කරන්නෙත් නෑ. මේක හොඳටම අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා.  සිකුරු දශා ගත කරන, එහෙමත් නැත්නම් සිකුරු බලවත් වෙච්චි දරුවො ඉගෙනගන්න විදිය බලන්න. පොතපතේම හිර වෙලා ඉන්නෙ නෑ. එක දිගට ලොකු වෙලාවක් පොත පතේ ගත කරන්නෙ නෑ. නැගිටලා ගිහින් රවුමක් ගහලා සින්දුවක් අහලා, මොනව හරි කාලා ඇවිත් පාඩම් කරනවා. විනෝදයත් එක්ක තමයි අධ්‍යාපනය කරන්නෙ. අම්මලා කලබල වෙනවා. උනන්දුවක් නෑ කියල හිතනවා. ඒත් වැඩේ හරියට යනවා. තමන්ට ගැළපෙන විදියට නිදහසේ වැඩේ කරගෙන යනවා. විභාගෙන් පාස් වෙනවා. අන්න එහෙමයි සිකුරු. සිකුරු නරක ඇසුරේ නම්, නොමඟ ගිහින් නම් දරුවා නරක ඇසුරට වැටෙන්න පුළුවන්. නොමඟ යන්න පුළුවන්. මේ කියන්නෙ ජෙනුයින් සිකුරු ගැන.



හදවතින් මතුවෙලා මුහුණේ ඇඳෙන අව්‍යාජ ආදරණීය සිනහවකට පුළුවන් විඩාපත් වේදනාබර හදවතක් සුවපත් කරන්න. අසරණ වෙච්චි හිතක බලාපොරොත්තු ඇති කරන්න. සුවහසක් නෙත් සිත් ඇද බැඳගන්න. එහෙම අව්‍යාජ ආකර්ෂණීය සිනහවක් මතුවෙන්නෙ හදවතින්. හදවතේ ලස්සන වැටෙන්නෙ මුහුණට. හදවතයි මුහුණයි දෙකම ලස්සන කරන්නෙ සිකුරු. බුධ ආකර්ෂණය ලබා දෙන විදිය වෙනස්. බුධ ඒ ඒ තැනට, ඒ ඒ අයට හරියන ගැළපෙන විදියට හැසිරෙන්න, කතා කරන්න පුළුවන්කම සහජයෙන් උරුම කරනවා. තැනට සහ කෙනාට හරියන්න භාෂාව පාවිච්චි කරන හැටි බුධ දන්නවා. සිකුරු ආකර්ෂණය ඇති කරන හැටි වෙනයි. ඇස් දෙක කරකවලා, හසරැල්ල දාලා  හදවත කුළුගන්වන හැටි, හිත කීරි ගස්සන හැටි සිකුරු දන්නවා. බලන්න කලා කෙත් දිහා. සමහරු සිකුරුගෙන් තවත් අය බුධගෙන් ඇතැම් අය දෙන්නගෙන්ම රසික හදවත් සොරාගන්නා හැටි.


සිකුරු විනෝදෙට බරයි, සැපපහසුවට කැමතියි. භාහිර අලංකාරය ගැන උනන්දුයි. සිකුරු හරි නීට්. ඒ ඔක්කොම ඇත්ත. ඉන්නෙ පිරිසිදු සිකුරු නම්, ඉන්නෙත් යහපත් තැනක නම් ඒක පෙර පින. 


මේ, සිකුරුගේ සියලු කාරකත්වයන්, සකල රුව ගුණ අලලා සටහන් කරන ලද සාරගර්භ ලිපියක් නෙමෙයි. සිකුරු කිව්වම මට පෙනෙන, මට දැනෙන සිකුරු ගැන තමයි මේ සටහන් කළේ. මීට වඩා වෙනස් අදහස් බොහෝ දෙනෙක් තුළ වගේම බොහෝ පොත් පත්වලත්  තියෙන්න පුළුවන්. විශ්වාස කරනවා කියන්නෙ භයානක දෙයක්. විශ්වාස කිරීම තුළ සෙවීම සහ දැකීම අඩපණ වෙනවා. විශ්වාස නොකරනවා යනු අවිශ්වාස කිරීමත් නෙමෙයි. විශ්වාසයත් අවිශ්වාසයත් අතර අවකාශය තුළදි සොයාගන්න දැකගන්න පුළුවන් වෙනවා. ජ්‍යොතිෂය වගේ විෂයක් ඉගෙනගන්න අය අන්න එතන ඉඳලා තමන්ගෙ ඇස්වලින් යමක් දකින්න උත්සාහ කළොත් බොහෝ දේ දැකගන්න ලැබෙයි.


සංජීව කුළුපන බණ්ඩාර