Tuesday, July 10, 2018

මනුෂ්‍යයා වියරුවෙන් ක්‍රියා කරන, අනතුරු  බහුල මෙවන් කාලයක ආරක්ෂාව සඳහා ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ධජග්ග පිරිත සංගායනා කිරීම හා සිහි කිරීමයි. අනතුරු විපත් ආදියෙන් ආරක්ෂාව උදා කරමින්, බිය තැතිගැන්ම පලවා හරින මහඟු බලයක් ධජග්ග පිරිතෙහි ගැබ්ව තිබේ. ඊට උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කරන්න පුළුවන්.
යුද්ධය දරුණු විධියට පැවතුණු කාලෙ නැගෙනහිර පළාතේ වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් ත්‍රස්තවාදීන් දෙදෙනෙක්ගෙ ග්‍රහණයට හසු වුණා. ත්‍රස්තවාදීන් දෙන්නා හාමුදුරුවන්ව පෙරටු කරගෙන මහා වනාන්තරය මැද්දෙන් යනවා. එක පාරටම මහා ගෙරවිලි සද්දයක් ඇහිලා හාමුදුරුවො පිටිපස්ස හැරිලා බැලුවා. විශාල වලසෙක් ත්‍රස්තවාදීන් දෙන්නා දිහාවට කඩා පැනලා. ඒ දෙන්නා මරු විකල්ලෙන් වලසා සමග පොරකන අතරෙ හාමුදුරුවො වනාන්තරය අතරින් ගම්මානෙකට වැඩියා. ඒ කාලෙ මේ ප්‍රවෘත්තිය පුවත්පත්වල පල වුණා. කිසිම බේරුමක් නැති බව තේරුම් ගත්තු හාමුදුරුවො ඒ මොහොතෙ කළේ ධජග්ග පිරිත සිහි කිරීම විතරයි කියල උන් වහන්සේ සඳහන් කරලා තිබුණා.
දීඝවාපී සෑයේ පිළිසකර කටයුතු කරන අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් සෑයෙ උඩ ඉඳලා පහළට වැටිල තියෙනවා. උන්වහන්සේ ඒ මොහොතේ දජග්ග පිරිත සිහි කරලා තියෙනවා. කිසිම අනතුරක් වෙලා නෑ. මේ විස්තරය අටුවා ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන බව ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනයකදි සඳහන් කළා.
ගැටළු කරදර වලින් පීඩාවට පත් වුණු බොහෝ පිරිසක් මා හමුවෙන්න එනවා. ධජග්ග පිරිත සංගායනා කරන්න කියලා මම ඒ අයටත් කියනවා. එයින් සෙතක් ශාන්තියක් අත් වුණු බව ඒ අයත් දැනුම් දෙනවා. ඒවා එකින් එක සඳහන් කරන්න ගියොත් ලිපිය දීර්ඝ කාලයක් පුරා කොටස් වශයෙන් ඉදිරිපත් කරන්න වෙනවා.
එක්තරා කාන්තාවක් සතුරු බලපෑමක් හින්දා ලොකු මානසික පීඩනයකට ලක් වෙලා හිටියා.අසල්වැසි සතුරෙක් දිනපතාම වගේ ගේ ඉස්සරහට ඇවිත් අසභ්‍ය වචනයෙන් බැනවදිනවා. මා හමුවෙලා ඇයගෙ කරදර ගැන කිව්වට පස්සෙ මම කිව්වා පොල් තෙල් බෝතලයකට අබ තෙල් ටිකක් දාලා ඒ තෙල් බෝතලය මේසයක් උඩ තියාගෙන ධජග්ග පිරිත 108 වාරයක් කියන්න කියලා. ඊට පස්සෙ ඒ තෙල් වලින් බුදු පහන දල්වන්න කිව්වා. මේ කාන්තාව මම කියපු විදියටම කළා. පහන දල්වන්න පටන් අරගෙන සති දෙකයි ගත වුණේ අර බැන බැන හිටපු මනුස්සයා ආගිය අතක් හොයාගන්න බැරි වුණා.
අද කාලයේ ගොඩක් දෙනෙකුට පිරිත්  කියන්න වෙලාවක් නෑ. ගොඩක් දෙනෙක් කරන්නෙ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරන පිරිත දාගෙන නිදාගන්න එක. දිනපතා හවස් වරුවේ පිරිතක් සංගායනා කිරීමෙන් ලැබෙන ප්‍රතිපල ගුවන්විදුලි යන්ත්‍රයෙන් විකාශය කරන පිරිතෙන් ලබන්න බෑ. ඒක තාක්ෂණය හරහා කෙරෙන වැඩක්. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා.
සෑම පිරිත් පොතකම ධජග්ග පිරිත සඳහන් වෙනවා. දිනපතා අපහසු නම් සතියකට දින දෙක තුනක් හෝ වෙන් කරගෙන හවස් වරුවේ හඳුන්කූරු කීපයක් දල්වලා වටපිටාව සුවඳවත් කරගෙන ධජග්ග පිරිත වරක්, තුන් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සංගායනා කරන්න.  එළි වෙනව, රෑ වෙනව නොදැනෙන තරමට මිළ මුදල් පස්සේ දුවන අතරෙ පුංචි වෙලාවක් ඒ දේට කැප කරන්න. ප්‍රතිපල ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා.