Monday, July 30, 2018

චන්ද්‍රග්‍රහණයෙන් දින කීපයකට පසු සූර්යග්‍රහණයක්.


2018 අගෝස්තු මස 11 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 03. 17 ට අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතය. සූර්යග්‍රහණය සිදුවන්නේ සඳුට අයත් කටක රාශියේ ය. ඒ වන විට ගුරු හිමි ධනු ලග්නයත් අස්ලිස නැකතේ තෙවැනි පාදයත් උදා වී පවතියි.
මීට පෙර ජූලි මාසයේ 13 වෙනිදා අර්ධ සූර්යග්‍රහණයක් සිදුවුණු අතර එම මාසයේම 28 වෙනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. ඉන් දින කීපයකට පසු සිදුවන මෙම අර්ධ සූර්යග්‍රහණය ජ්‍යොතිෂයට අනුව ඉතාමත් වැදගත් සිදුවීමකි. 
සූර්යග්‍රහණයක් යනු හිරු චන්ද්‍රයාගෙන් ආවරණය වීමයි. හිරු චන්ද්‍රයාගෙන් පූර්ණ වශයෙන් ආවරණය වීම පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසත්, අර්ධ වශයෙන් ආවරණය වීම අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් හැඳින්වේ. සූර්යග්‍රහණ සිදුවන්නේ අමාවක දිනවලදී ය. අගෝස්තු 11වෙනිදාද අමාවක දිනයකි.
වසරේ අවසන් ග්‍රහණය වන මෙම අර්ධ සූර්යග්‍රණය හේතුවෙන් නොවැම්බර් මස මැද භාගය තෙක් කාලය තුළ භූමි කම්පා, මුහුදු අනතුරු, සුළි සුළං ආදී විපත් පිලිබඳව ලෝකයේ නොයෙක් දෙසින් වාර්තා වනු ඇත.
කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයට අනුව මෙම සූර්යග්‍රහණය සිදුවන්නේ හය වෙනි භාවයේ ය. බොහෝ දෙනා රටේ ආරක්ෂාව පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරනු ඇත.
වසංගත රෝග පීඩා පැතිරී යාම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතව පීඩාවට පත්වේ. ඒ අතර සෞක්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුද වරින්වර අඩාල වේ.
වැසි රහිත කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු අඩාල වන අතර ජලය නොමැතිකම හේතුවෙන් ජනතාවද පීඩාවට පත්වනු ඇත.
මුහුදු අනතුරු සිදුවීමේ ඉඩකඩ පවතින බැවින් ධීවර ප්‍රජාව හා නාවික කටයුතුවල නියැලෙන පිරිස් සැළකිලිමත් විය යුතුය.
ආගමික නායකයින්ට අපල බලපෑම් එල්ල වන අතර ආගමික ගැටුම් ඇතිවීමේ ඉඩකඩ ද පවතියි.
කාන්තාවන්ට කරදර බහුල වේ. ප්‍රබල කාන්තාවකට මාරක අපලයක් එල්ල වේ.
මෙවර සූර්යග්‍රහණය සිදුවන කටක රාශියට සප්තමව නොවැම්බර් මස 6 වෙනිදා තෙක් කුජ ග්‍රහයා මකර රාශියේ ගමන් කරන බැවින් ග්‍රහණයේ අසුබ බලපෑම් වඩාත් වර්ධනය වේ.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර