Friday, June 29, 2018

බලවත් ග්‍රහ යෝග.

ධනය, රූපසම්පත්තිය හා ප්‍රසිද්ධිය හිමි කරදෙන " වාසුමතී " යෝගය.

වාසුමතී යෝගය යනු කේන්දර තුළ පිහිටන බලවත් ග්‍රහ යෝගයකි. සෑම කේන්දරයකම වාසුමතී යෝගය සටහන් නොවුණද පෙර පින් බලය හේතුවෙන් මෙම යෝග්‍ය හිමිව උපදින අයද නැත්තේ නොවේ. 
ලග්නයෙන් හෝ චන්ද්‍රයා කෙරෙන් උපචය ස්ථානයන්හි සුබ ග්‍රහයෝ වෙත් නම් වාසුමතී යෝගය යි. උපචය ස්ථාන යනු කේන්දරයේ තෙවෙනි, හය වෙනි, දස වෙනි හා එකොළොස් වෙනි ස්ථානයයි. ලග්නය හෙවත් පළමු භාවයෙන් හෝ චන්ද්‍රයා තැන්පත්ව සිටින භාවයෙන් මෙකී තැනක සඳු, බුධ, ගුරු, සිකුරු යන සුබ ග්‍රහයින් එක්ව හෝ වෙන් වශයෙන් පිහිටිය යුතුය. ඉතාමත් වාසනාවන්ත යහපත් යෝගයකි. ධනය, පෙනුම, ප්‍රසිද්ධිය හිමි කරදෙන, අනුන්ට් අත නොපා ජීවත් වීමේ ශක්තිය උදා කරදෙන පින් බර යෝගයකි.
   හෙළ නිළි රැජින යන විරුදාවලියෙන් හඳුන්වන අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියකගේ ජන්ම පත්‍රය මෙම
යෝගයට කදිම නිදසුනකි. මිථුන ලග්නය හිමි ඇයගේ කේන්දරයේ ලග්නයෙන් තෙවෙනි භාවයේ චන්ද්‍රයා ය. හය වෙනි භාවයේ ගුරු ය. දස වෙනි භාවයේ බුධ හා සිකුරු ය. වාසුමතී යෝගය ඉතාමත් පැහැදිලිව යෙදී තිබේ.
   භාරත ගීත කෝකිලාවියකගේ  මධුර හඬ සතු කරගත් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනියකගේ කේන්දරයද මෙයට කදිම උදාහරණයකි. මිථුන ලග්නය හිමි ඇයගේ කේන්දරයේ චන්ද්‍රයා කෙරෙන් දස වෙනි භාවයේ සිකුරු ග්‍රහයා ද, චන්ද්‍රයාගෙන් එකොළොස් වෙනි භාවයේ බුධ හා ගුරු ද තැන්පත්ව වාසුමතී යෝගය සටහන්ව තිබේ. 

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
   සංජීව කුළුපන බණ්ඩාර