Tuesday, June 5, 2018

රවි බුධ මිථුන රාශියට.


 2018 ජූනි මස 10 වෙනි ඉරු දින පෙ. ව 07. 33 ට  බුධ ග්‍රහයා තම ස්වක්‍ෂේත්‍ර රාශිය වූ මිථුන රාශිය වෙත ගමන් කරනවා. මෙලෙස මිථුන රාශිය වෙත ගමන් කරන බුධ ග්‍රහයා ජූනි මස 25 වෙනිදා ප. ව 06.18  තෙක් මිථුන රාශියේ කල් ගෙවනවා.
   බුධ ග්‍රහයා ඥාන කාරක ග්‍රහයා ලෙස හැඳින්වෙන අතර දැකීමෙන් දැනීමේ ශක්තිය (The Sense of Seeing) හිමි ග්‍රහයා ලෙසද සැළකෙනවා. තීක්ෂණ ඥානය, උපායශීලීභාවය, නව සංකල්ප බිහි කිරීමේ හැකියාව, මතක ශක්තිය, කතාවේ නිපුණත්වය,ස්ථානෝචිත ප්‍රඥාව, කරුණු වටහාදීමේ හැකියාව ආදී කුසලතාවන් බුධ ග්‍රහයා විසින් ප්‍රධානය කරනවා.
   බුධ ග්‍රහයා මිථුන රාශියේ කල් ගෙවන කාල සීමාව තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමිව උපදින දරුවන්ගේ කේන්දරය තුළ බුධ ග්‍රහයා බලවත්ව "භද්‍ර යෝගය" නම් වූ බලවත් යෝගය සටහන් වනවා.  " භද්‍ර යෝගය"තියුණු නැණ ප්‍රභාව, චතුර කථිකත්වය, ලේඛන කුසලතාව, පතළ කීර්තිය හිමි කර දෙන යෝගයක් ලෙස සැළකෙනවා. කේන්දරයේ පළමු, සිව් වෙනි, හත් වෙනි, දස වෙනි යන භාවයක බුධ ග්‍රහයා ස්වක්‍ෂේත්‍රව හෝ උච්චව යෙදීමෙන් මෙම බලවත් යෝගය උදා වෙනවා. ඒ අනුව බුධ මිථුන රාශියේ කල් ගෙවන කාල සීමාව තුළ මිථුන ලග්නයෙන් උපදින දරුවන්ගේ කේන්දරයේ පළමු භාවයේ බුධ ස්වක්‍ෂේත්‍ර වීමෙන්ද, කන්‍යා ලග්නයෙන් උපදින දරුවන්ගේ කේන්දරයේ බුධ දස වෙනි භාවයේ ස්වක්‍ෂේත්‍ර වීමෙන්ද, ධනු ලග්නයෙන් උපදින දරුවන්ගේ කේන්දරයේ බුධ හත් වෙනි භාවයේ ස්වක්‍ෂේත්‍ර වීමෙන්ද, මීන ලග්නයෙන් උපදින දරුවන්ගේ කේන්දරයේ බුධ සිව් වෙනි භාවයේ ස්වක්‍ෂේත්‍ර වීමෙන්ද භද්‍ර යෝගය හිමි වෙනවා.
   ජූනි 15 වෙනි කිවි දින පෙ. ව.11. 37 ට රවි ග්‍රහයාද බුධ ට අයත් මිථුන රාශියට ගමන් කර බුධ ග්‍රහයා සමග සංයෝග වන අතර මේ හේතුවෙන් ජූනි 15 වෙනි දින පෙ. ව 11. 37 පටන් ජූනි 25 වෙනි දින ප. ව 06. 12 තෙක් කාලය තුළ උපදින දරුවන්ට "බුධ ආදිත්‍ය යෝගය" හිමි වෙනවා. බුධ ආදිත්‍ය යෝගයද යහපත් යෝගයක් ලෙස සැළකෙනවා. මෙම යෝගය මෙම කාල සීමාව තුළ මිථුන,සිංහ, මීන, කන්‍යා, තුලා ලග්න හිමිව උපදින දරුවන්ගේ කේන්දරය තුළ වඩාත් ප්‍රතිපලදායක අයුරින් සටහන්වනු ඇත.