Sunday, March 26, 2017

කේන්දර ගළපන්නේ ඇයි ?


    විවාහයට පෙර දෙදෙනෙක්ගේ කේන්දර පරික්ෂාකර බැලීම 'පොරොන්දම් ගැළපීම' ලෙස බොහෝ දෙනෙක් අතර ප්‍රචලිතයි. ඒ ආකාරයට හැඳින්වූවත් දෙදෙනෙකු ගේ ගැළපීම පොරොන්දම් විස්සෙන් පමණක් තීරණය කිරීම අපහසුයි.පොරොන්දම් පරීක්ෂාව යනු දෙදෙනෙකු ගේ  ගැළපීම පරීක්ෂා කරන එක් අංගයක් පමණයි.
    දෙදෙනෙකු ගේ ගැළපීම පරීක්ෂා කරන්නේ නොගැළපෙනවා නම් වෙන් කරන්නද? නැතිනම් නොගැළපීම් ගැළපීම් බවට පත්කර ගන්නද? පොරොන්දම් විස්සට අමතරව පරීක්ෂා කළ යුතු වෙනත් වැදගත් දේවල් මොනවාද? මේ ආදී වශයෙන්, කේන්දර ගැළපීම සම්බන්ධයෙන් බොහෝ දේ මෙම ලිපියෙන් විස්තර වෙනවා.
      පොරොන්දම් යනු කේන්දර ගැළපීමේදී පරීක්ෂා කෙරෙන කරුණු 20 ක් පමණයි.වඩාත් වැදගත් වන්නේ කේන්දර දෙකෙහි සියලු ග්‍රහ පිහිටීම් පරීක්ෂා කිරීමයි.යුග දිවිය තුළ මතුවිය හැකි සියලු සිදුවීම්, කරදර,ගැහැට හා අභියෝග සටහන් වන්නේ දෙදෙනාගේ කේන්දර තුළ යි. නමුත් අවාසනාවට අද බොහෝ දෛවඥ මහතුන් පරීක්ෂා කරන්නේ පොරොන්දම් විස්ස පමණයි. අද බොහෝ තරුණ තරුණියන්ද පරිඝනකය ඔස්සේ පොරොන්දම් විස්ස පරීක්ෂා කර බලා තීන්දු තීරණ වලට එළඹෙනවා.පොරොන්දම් විස්ස පරීක්ෂා කිරීමෙන් පමණක් විවාහයක සාර්ථක අසාර්ථක බව තීරණය කරන්න බෑ. පොරොන්දම් විස්ස පමණක් බලා විවාහ වී නොගැළපීම් මතුවන විට ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි අවලාද නඟන අයත් සිටිනවා. කේන්දර දෙකක ගැළපීම පරීක්ෂා කිරීම ගැඹුරු කාර්යයක්.
     ආදරය කරන කාලයේදී දෙවිවරු,දේවතාවියන් ලෙස හැසිරෙන සමහරු යුග ජීවිතයේදී යක්ෂයින්,යක්ෂණියන් බවට පත්වෙනවා.සමහරුන්ට එක්කෙනෙක්ගෙන් සෑහීමට පත්වෙන්න බෑ. සමහරුන්ට ආවේගය පාලනය කරගන්න බෑ.සමහරු රහස් කටයුතු වලටම යි පෙළඹෙන්නේ. ආදරය කරන කාලයේදී අනෙකාව තමන්ට නැතුවම බෑ වගේ හැසිරෙන සමහරු විවාහයෙන් පස්සේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ පාඩුවේ වෙනම ගමනක් යනවා.සමහරු ආදරය කරන්නේ අනෙකාගේ මිල මුදල්, දේපළ වලට පමණයි. ඔන්න ඔය වගේ විවිධාකාර පුද්ගලයින් සමාජයේ ජීවත්වෙනවා.
  පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? මතුපිටින් පෙනෙන්නේ සැබෑම ස්වරූපයද? විවාහයෙන් පස්සේ තව අය ඕනැ වෙයිද? දැන් පෙන්වන ආදරය හැමදාම පවතියිද?ලැබෙන දරුවන්ට සෙනෙහෙබර මවක් හෝ පියෙක් වෙයිද? ඔන්න ඔය වගේ කාරණා තමයි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන කෙනාගේ කේන්දරයෙන් සොයා දැනගන්න ඕනෑ. ඔය දේවල් කිසිවක් පොරොන්දම් විස්ස පරීක්ෂා කළාට හොයාගන්න බෑ. විවාහය සඳහා කේන්දර ගළපා ගන්න ජ්‍යොතිෂවේදියෙක් හමුවෙන්න යනවා නම් ඔය සියලු දේවල් අසා දැනගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය කාරණා ගැන නිවැරදිව තොරතුරු පැවසිය හැකි ජ්‍යොතිෂවේදියෙක්ව තෝරාගන්නත් අමතක කරන්න එපා.
    විවාහය කියන්නේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක්. තමන් තෝරාගන්නා සහකරු හෝ සහකාරිය හේතුවෙන් ජීවිතය බැබළෙන්නත් පුළුවන්,විනාශ වෙන්නත් පුළුවන්. විවාහය හේතුවෙන් අනන්ත ගැටළු කරදර වලට මුහුණ දෙන අය නිතර හමුවෙනවා. සැමියන්ගේ නොමනා හැසිරීම් ඉවසා දරාගැනීමට නොහැකි තැන සියදිවි නසාගන්නා බිරින්දෑවරු මොන තරම්ද... 'කේන්දර ගැළපීම්,පොරොන්දම් විශ්වාස කරන්න එපා' යැයි කෑ මොර දෙන බටහිර පන්නයේ චරිත එවන් අසරණ තත්වයට පත්වූවන් වෙනුවෙන් මැදිහත් වෙනවාද ? 
     අද කාලයේ බොහෝ දෙනෙක් විවාහ මංගල උත්සවය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.වැඩිම මුදලක් අය කරන රූපලාවන්‍ය ශිල්පීන්ව,ඡායාරූප ශිල්පීන්ව තෝරාගන්නවා. උඩරට නැට්ටුවන් පිරිවරා ගනිමින් ඉතාමත් ජයට විවාහ මංගල උත්සවය පවත්වනවා. එය ගැටළුවක් නොවෙයි. නමුත් ඔවුනොවුන් කවුදැයි හරිහැටි අවබෝධ කර නොගත්තොත්, ඔවුනොවුන්ගේ අභ්‍යන්තර ගති සිරිත්,හැසිරීම් නිවැරදිව තේරුම් නොගත්තොත් ඡායාරූප ඇල්බම්,වීඩියෝ පට මතක වස්තු බවට පත්වීම වළක්වන්න බෑ.ඡායාරූප ඇල්බමය ගෙදරට ලැබෙන්නත් පෙර දෙපැත්තට වූ අයත් ඉන්නවා.
   විවාහයට පෙර කේන්දර පරීක්ෂාකර ගැනීමෙන් යහපත් ප්‍රතිපල බොහොමයක් අත්වෙනවා.අනිත් කෙනාගේ රුචි අරුචිකම්,අදහස් අරමුණු හරියට දැනගැනීමෙන් ඔහු හෝ ඇය සමග ජීවත් වියහැකි 'කලාව' තේරුම් ගැනීමට හැකිවෙනවා.' නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි' කියලා කියමනක් තියෙනවා.යක්ෂයෙක් වගේ කෙනෙක්ගේ වුණත් අභ්‍යන්තර ගති ලක්ෂණ,දුර්වලතා,මානසික ස්වභාවය හරියට අවබෝධකර ගත්තොත් ඔහු හෝ ඇය සමග කටයුතු කළ හැකි නිවැරදි ක්‍රමය අල්ලාගන්න පුළුවන් වෙනවා.
     ලිංගික ආශාවන්,බුද්ධිය හා ආර්ථික කළමනාකරණය අතින් ගැළපෙන තරමට යහපත්,සමතුලිත විවාහයක් ගතකිරීමට හැකිවෙනවා. ඇතැමුන් ගේ ශාරීරික දුර්වලතා විවාහය සිදුවන තෙක්ම දැකගැනීමට ලැබෙන්නේ නෑ.ඇතැමුන්ගේ 'බළලා මල්ලෙන් එළියට පනින්නේ' විවාහයෙන් යෙන් පසුවයි.දේපළ,ගේදොර තමන්ගේ නමට ලියවාගෙන විවාහයෙන් වෙන්වන අයත් ඉන්නවා.පෙර විවාහය සඟවාගෙන නැවත විවාහ වන අය ගැනත් නිතර අසන්නට ලැබෙනවා.
    ගැටළු කරදර මතුවන විට සියදිවි නසාගැනීමට පෙළඹෙනවාට වඩා, කළ යුතු දේ නිසි කළට සිදුකිරීම වඩාත් වැදගත් වෙනවා.