Saturday, December 2, 2017

ඔබේ කේන්දරය ඔබම බලාගන්න.


ග්‍රහ තරු අතරින් පෘථිවියට වඩාත් සමාන ගති ලක්ෂණ ඇති ග්‍රහ තාරකාව කුජ හෙවත් අඟහරු ය. මේ හේතුව නිසාම පුරතානයින් විසින් කුජ හඳුන්වා ඇත්තේ 'භූමි පුත්‍ර' නමිනි. කුජ ග්‍රහයා හා පෘතුවිය අතර ඇති සමානකම් මෙන්ම කුජ ග්‍රහයා පෘතුවියට හා පෘතුවි වාසීන්ට බලපාන ආකාරය ද  පුරාතනයින් විසින් ඉතාමත් නිවැරදිව සොයාගනු ලැබීය.
 කුජ ග්‍රහයා උෂ්ණාධික,ගිණි කාරක, වියළි, පුරුෂ ග්‍රහයෙකි. උද්වේගකාරී පාප ග්‍රහයෙක් ලෙසද සැළකේ. එහෙත් මනුෂ්‍යයාගේ ධෛර්යය,එඩිතරකම,ආත්ම විශ්වාසය,තේජස, සටන්කාමී බව,ඉදිරියට යන ගතිය ආදී ගති ලක්ෂණ කුජ ග්‍රහයා ප්‍රධානය කරයි.
  රුධිරයට මෙන්ම ශල්‍ය කර්ම, අනතුරු, යුද්ධ, කෝලාහල,කාමය, බලහත්කාරකම්, කෝපය,අවි ආයුධ, ප්‍රචණ්ඩත්වය, රුධිරය ආශ්‍රිත අසනීප ආදියටද බලපවත්වන්නේ කුජ හෙවත් අඟහරු ය. 
 කුජ මකර රාශියේදී උච්ච වන අතර කටක රශියේදී නීච වෙයි. මේෂ හා වෘශ්චික රාශි කුජට අයත් බැවින් එම රාශි තුළදී කුජ ස්වක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වේ.සිංහ, ධනු, මීන රාශි කුජට මිතුරු රාශි ලෙසත් මිථුන, කන්‍යා රාශි සතුරු රාශි ලෙසත් සැළකෙයි.
කුජට නියම කර ඇති වර්ණය රක්ත වර්ණය යි. දිසාව දකුණු දිසාව යි.අංකය නවය යි.කුජ ට අයත් දිනය අඟහරුවාදා දිනය යි. වෘක්ෂය ලෙස සැළකෙන්නේ කොලොන් වෘක්ෂය යි.
කුජ හෙවත් අඟහරු ඔබේ කේන්දරය තුළ "කු" අක්ෂරය මගින් සටහන් කර ඇත.
 කුජ ග්‍රහයා කේන්ද්‍රය තුළ සිටින භාවය අනුව උදා වන බලපෑම කෙබඳු දැයි විමසා බලමු.

කුජ 01 වෙනි කොටුවේ.
කුජ පළමු භාවයේ පිහිටීම මනා ධෛර්යයක් ලැබීමට හේතු වෙනවා. ඉතාමත් එඩිතරයි. අන්‍යයන්ට යටත් වීමට, දෙවෙනි වීමට කැමති නෑ. සටනට බරයි. පසුබට වෙන්නෙ නෑ. උත්සාහය අතහරින්නෙ නෑ. ඉක්මනින් කෝපයට පත් වුණත් ඉක්මනින්ම යථා තත්ත්වයටද පත් වෙනවා.
  කාමය ට බරයි. ඒ හින්දා විරුද්ධ ලිංගිකයින් සමග සම්බන්ධකම් ඇති කරගැනීමට පෙළඹෙනවා. යුග ජීවිතයේ ගැටළු මතුවෙන්න ඉඩ තියෙන හින්දා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
   හිසට හෝ මුහුණට අනතුරු සිදුවීමට ඉඩ තියෙනවා.
ලග්නය කුජට අයත් මේෂ හෝ වෘශ්චික නම් ස්ව උත්සාහයෙන්ම උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස්,දියුණු තත්වයකට පත් වෙනවා.අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයකට පත්වෙනවා.
  ලග්නය කටක නම් සටන්කාමී ගති බොහෝ දුරට යටපත් වී උපායශීලී ගති ඉස්මතු වෙනවා
මේෂ, වෘශ්චික, මකර යන ලග්නයක් හිමිව කුජ පළමු භාවයේ පිහිටීමෙන් රුචක නම් වූ බලවත් යෝගය හිමි වෙනවා. උපන් තත්වයට වඩා දියුණු තත්වයකට පත් වීමට මෙම ග්‍රහ බලය හේතු වෙනවා.

කුජ 02 වෙනි කොටුවේ.
කුජ දෙවැන්නේ නම් සෘජු, ප්‍රබල කතා විලාශයක් උරුමයි. ඇතැම් විට කතාවෙන් අන් අයගේ සිත් රිදෙන්නටත් ඉඩ තියෙනවා. කිව යුතු දේ කෙළින්ම කියනවා. අන්‍යයන් කුපිත වන සේ කතා කිරීමේ හැකියාව හිමියි. ලග්නය මිථුන නම් කතා විලාශය තරමක් පාලනය කරගැනීමට හැකි වෙනවා.
 කෙසේ හෝ මුදල් උපයා ගැනීමට හැකි වෙනවා.අවශ්‍ය දේට කුමන ආකාරයෙන් හෝ මුදල් ලැබෙනවා. වියදම් කිරීමේදී සැළකිලිමත් බව අඩුයි. ඒ හින්දා මුදල් ඉති කිරීම දුෂ්කර වෙන්න පුළුවන්.
 මුහුණේ නොමැකෙන කැළලක් ඇතිවීමට ඉඩ තියෙනවා. අකාලයේ දත් දිරා යාමට ඉඩ තිබෙන බැවින් දත් ගැන සැළකිලිමත් වීම වැදගත් වෙනවා.
විවාහ ජීවිතයේ සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.

කුජ 03 වෙනි කොටුවේ.
 තුන් වෙනි භාවය වික්‍රමස්ථානය යි.කුජ වැනි වික්‍රමාන්විත ග්‍රහයෙක් තුන් වෙනි භාවයට ඉතාමත් හොඳින් ගැළපෙනවා.වික්‍රමස්ථානයේ සිටින කුජ වික්‍රමය ලබා දෙනවා.උද්යෝගය, උනන්දුව, නොපසුබස්නා උත්සාහය ප්‍රධානය කරනවා.මෙය ඉතාමත් වටිනා පිහිටීමක් ලෙස සැළකෙනවා.
ඉංජිනේරු,කාර්මික, වෛද්‍ය ක්ෂේත්‍ර මෙවැනි අයට හොඳින් ගැළපෙනවා. එවැනි සම්බන්ධයෙන් දක්ෂතා උපතින්ම පිහිටනවා. ලග්නය මිථුන, කන්‍යා, වෘශ්චික හෝ කුම්භ නම් ප්‍රතිපල වඩාත් හොඳින් ලැබෙනවා.
ජීවිතයේ අවසානය තෙක්ම ක්‍රියාශීලීව, අනලස්ව කටයුතු කිරීමට හැකි වෙනවා. ඕනෑම දේකට ඔරොත්තු දීමේ ශක්තිය හිමි බැවින් උපන් තත්වයට වඩා උසස්, දියුණු තත්වයකට පත්වෙනවා.
කුජ තුන් වෙනි භාවයේ පිහිටීම සහෝදර සම්බන්ධතා වලට එතරම් සුබදායක නෑ.

කුජ 04 වෙනි .කොටුවේ.
 සිව් වෙනි භාවය කේන්දරයේ ඉතාමත් වැදගත් ස්ථානයක් ලෙසට සැළකෙනවා. සිව් වෙනි භාවයට කුජ එතරම් ගැළපෙන ග්‍රහයෙක් නෙමෙයි.සිව් වෙනි භාවයෙන් සිත ගැන කියැවෙනවා. තෙතමනය පවතින්න ඕනැ තැන කළු ගලක් තරමට දැඩි වීමත් හොඳ නෑ. මේ අය ගෙ හිත ලේසියෙන් උණු වෙන්නෙ නෑ.හිත තදයි. ඥාතීන් සමග විරසකතා ඇති වෙනව.විශේෂයෙන් මව් පාර්ශවය සමග විරසකතා ඇති වෙනව. මවට අපල එල්ල වෙනව. හිතුවක්කාරයි.
ගේදොර, දේපළ සම්බන්ධයෙන් ගැටළු, පැටලිලි මතු වෙනවා. කොහොම වුණත් සිංහ, තුලා හෝ මකර ලග්නය හිමිව කුජ සිව් වෙනි භාවයේ පිහිටීමෙන් "රුචක" නම් වූ බලවත් යෝගය හිමි වෙනවා. දේපළ,ගේදොර, යානවාහන ඇතුව සමාජයේ කැපී පෙනෙන ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා.
කුජ සිව් වෙනි භාවයේ ඇති අය තුළ පළිගැනීමේ චේතනා ඇති වෙනවා. එකට එක නොකර සිටීම මදිකමක් විදියට හැඟෙනවා.
ජීවිතයේ අග කාලයේදී කරදර පීඩා ඇතිවෙන්න පුළුවන්.

කුජ 05 වෙනි කොටුවේ.
කුජ පස් වෙනි භාවයේ පිහිටීම මනුෂ්‍යයා කාමුක කරවන පිහිටීමක් ලෙස පිළිගැනෙනවා. එසේ නම් කුජ පස් වැන්නේ සිටින අය කාමාශාවන් බලවත් අය බව පැහැදිලියි. අඩු වයසේදීම ප්‍රේම සම්බන්ධතා කෙරෙහි යොමු වෙනවා. විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුවෙනවා. නිතර ක්‍රියාශීලීව කටයුතු කරනවා.තම බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගැනීමට පෙළඹෙනවා.
නම්‍යශීලී ගතිය වගේම තැන්පත් ගතියත් අඩුයි. ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් ගැටළු මතු වන අවස්ථා එමටයි. උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයකට මුහුණ දීමට සිදුවිය හැකියි. උදරය ආශ්‍රිතව නිතර දැවිලි ගති ඇතිවෙනවා.
ක්‍රීඩා කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබීමට හැකි වෙනවා. පස් වැන්නේ කුජ ගුරු සමග සිටින්නේ නම් හෝ ගුරු ගේ සුබ දෘෂ්ටියට ලක්වන්නේ නම්. එසේත් නැති නම් ධනු ලග්නය වී කුජ පස් වැන්නේ නම් යහපත් අධ්‍යාපනයක් උරුමකර ගැනීමට හැකි වෙනවා.

කුජ 06 වෙනි කොටුවේ.
උපචය ස්ථානයක් වූ හය වෙනි භාවය කුජ ග්‍රහයාට ඉතාමත් හොඳින් ගැළපෙනවා. ශරීර ශක්තිය වගේම ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියද හිමි වෙනවා.සතුරන් මැඩගෙන නැගී සිටීමට හැකි වෙනවා.සතුරු බලපෑම් බොහෝ විට  ඉබේටම දුරු වෙලා යනවා. එඩිතරකම, ඉදිරියට යන ගතිය, නොපසුබට උත්සාහය හිමියි.
උදරාශ්‍රිත උෂ්ණ ගතිය වැඩි වීම හේතුවෙන් උදරගත දැවිලි, වේදනා ඇති වෙන්න පුළුවන්. කාන්තාවක් නම් දරුවන් ලැබීමේදී ශල්‍ය කර්ම වලට ලක්විය හැකියි. එමෙන්ම ගබ්සා වීම් වලටත් ඉඩ තිබෙනවා.
සැප විඳින්නට හැකි වෙනවා. යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් හිමි වෙනවා. බාධක, අවහිර මැඩගෙන උපන් තත්වයට වඩා උසස්, දියුණු තත්වයකට පත්වීමට හැකි වෙනවා.  ක්‍රියා ශූරත්වය ඇති වෙනවා. ලෞකික දියුණුවට ඉතාමත් යහපත් පිහිටීමක්.

කුජ 07 වෙනි කොටුවේ.
කුජ හත් වැන්නේ පිහිටීම නිතරම පාහේ කතා බහට ලක්වෙනවා.
 කුජ හත් වෙනි භාවයේ සිටින කාන්තාවන්ට ආකර්ශනීය පෙනුමක් හිමිවෙනවා. පුළුල් උකුලක්, පිරුණු ලෑමක්, හැඩැති සිරුරක් උරුමයි.
 කොහොම වුණත් කුජ හත් වෙනි භාවයේ පිහිටීම විවාහය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. සසර තුළ සහයෝගිතාවය නිසි පරිදි ආරක්ෂා කර නොගැනීමේ පාප කර්මය හත් වැන්නේ සිටින කුජ මගින් හෙළිදරව් කරනවා. අඩු වයසේදීම විවාහයට ඇතුලත් වීමට හෝ විවාහය තද බල ලෙස ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. එය හත් වැන්නේ සිටින කුජගේ ශක්තිය, ස්වභාවය හා හත් වැන්න දකින ග්‍රහයින් ආදී කාරණා මත තීරණය වෙනවා. විවාහය සම්බන්ධයෙන් නොයෙක් ගැටළු, කරදර ඇතිවීමට තිබෙන ඉඩ කඩ අධිකයි.යුග දිවියේ සතුට සැනසුම කුමන ආකාරයකින් හෝ අහිමි වී යා හැකියි.සහකරුට හෝ සහකාරියට තද බල අපල බලපෑම් එල්ල වෙනවා.
ලග්නය තුලා වී කුජ හත් වැන්නේ පිහිටීම බොහෝ දුරට සුබදායකයි. එඩිතර, ධෛර්යවන්ත අයෙක් විවාහයට ලැබෙනවා.
කොහොම වුනත් කුජ හත් වැන්නේ සිටින අය සමග හවුලේ කටයුතු කිරීම ඉතාමත් අසීරුයි.
මුත්‍රා අබාධ,අර්ශස් වැනි දැවිලි අසනීප මතුවීමට මෙම ග්‍රහ තත්වය හේතු වෙනවා.

කුජ 08 වෙනි කොටුවේ.
මාරකස්ථානය වූ අට වෙනි භාවය කුජ ට සුබදායක තැනක් නෙමෙයි. ශරීරයේ රුධිරය දුෂ්‍ය වීම හේතුවෙන් අසනීප පීඩා ඇතිවෙනවා. හදිසි අනතුරු, ශල්‍ය කර්ම ආදියට මුහුණ දීමට සිදුවෙනවා.බොහෝ විට නොසැළකිලිමත්කම හේතුවෙන් අනතුරු සිදුවෙනවා.
මේ අයට අන්‍යයන් සමග සමගියෙන් කටයුතු කරන්න අමාරුයි. ඉක්මනින් කෝපයට පත් වෙනව. ඉක්මන් කෝපය හින්දා නොයෙක් විට ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙනව.ඇතැම් විට පාප කර්මත් සිද්ද වෙන්න පුළුවන්.
විවාහ ජීවිතයේ සමතුලිතතාවය බිඳ වැටෙන්නත් ඉඩ තියෙනවා.කාමාශාවන් බලවත්ව ක්‍රියාත්මක වෙනව.
අට වැන්නේ සිටින කුජ ශාන්තදායක මරණයක් අත් කරලා දෙන්නෙ නෑ. හදිසි වේදනාබර මරණයක් උරුම වෙනව.
කොහොම වුණත් මේ කියැවෙන කාරණා සෙසු ග්‍රහයින් තැන්පත්ව සිටින ආකාරය මත වෙනස් වෙන්නත් පුළුවන්.

කුජ 09 වෙනි කොටුවේ.
නම වෙනි භාවයේ සිටින කුජ මනුෂ්‍යයාට ලෞකික වශයෙන් ඉහළ දියුණුවක් ලබාගැනීමට උපකාර කරනවා. කුමන ආකාරයෙන් හෝ දියුණුවට පත්වෙනවා.
ලෞකික වශයෙන් දියුණුවට පත් වූවත් පරාර්ථකාමී ගතිය අඩු වෙනවා. ආගමට දහමට දැඩි භක්තියක් පෙන්වූවත් ඒ අනුව කටයුතු කරන ගතිය ඉතාමත් අඩුයි. හරිහම්බ කර ගැනීම ප්‍රධාන කාර්යය ලෙස සලකනවා. වැඩිහිටියන්ගේ අවවාද අදහස් වලට එතරම් ගරු කිරීමක් නෑ. අනුකම්පාව අඩුයි. තමන්ගේ වාසිය මුල් කොට සලකනවා.
යහපත් ලෙස වැඩුණු ශරීරයක් උරුමයි. එඩිතරයි.
තමන්ගේ වැරදි අඩුපාඩු කොපමණ තිබුණත් අන්‍යයන්ගේ අඩුපාඩු දකිනවා. නම්‍යශීලී ගතිය ඉතාමත් අඩුයි.
පිය උරුමයන් සම්බන්ධයෙන් ගැටළු මතුවෙනවා.පිය උරුමයන් අහිමි වී යන්නත් ඉඩ තියෙනවා.
වෙනත් ග්‍රහ බලපෑම් මත මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්.

කුජ 10 වෙනි කොටුවේ.
කර්මස්ථානය වූ දස වෙනි භාවය කුජට හොඳම ස්ථානය යි. මේ ක්‍රියාත්මක ස්ථානය යි. ක්‍රියාත්මක ස්ථානයට ක්‍රියත්මක ග්‍රහයා කදිමට ගැළපෙනවා.දස වෙනි භාවය කුජ ට දිග් බල ස්ථානය ලෙසද සැළකෙනවා.
නියම ක්‍රියාශූරත්වය ඇතිවෙනවා. වෙලාව අවේලාව නොබලා කටයුතු කිරීමේ හැකියාව හිමි වෙනවා. තම තත්වය, දියුණුව කෙසේ හෝ දියුණු කරගන්නවා.මන ආත්ම ශක්තියක් උරුමයි. කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ වූවද තම කටයුතු අතහැර නොදමා කරගෙන යා හැකි ශක්තිය හිමියි. කාර්මික, වෛද්‍ය, ඉංජිනේරු, ආරක්ෂක ආදී ක්ෂේත්‍ර මෙන්ම ව්‍යාපාර කටයුතුද මැනවින් ගැළපෙනවා.
 මේෂ, කටක, සිංහ,වෘශ්චික, මකර,කුම්භ යන ලග්නයක් හිමිව කුජ දස වෙනි භාවයේ පිහිටීම තුළින් වඩාත් යහපත් ප්‍රථිපල අත් වෙනවා.
මේෂ,කටක හෝ කුම්භ ලග්නය හිමිව කුජ දස වෙනි භාවයේ පිහිටීම හේතුවෙන් "රුචක" නම් වූ බලවත් යෝගය හිමි වන අතර ඒ හේතුවෙන් උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්වයකට පත් වෙනවා. ප්‍රධාන,මූලික තත්වයක් හිමි වෙනවා.ගේදොර, දේපළ,යානවාහන ඇතුව කැපී පෙනෙන ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා.

කුජ 11 වෙනි කොටුවේ.
එකොළොස් වෙනි භාවය කුජ ග්‍රහයාට යහපත් ස්ථානයක් ලෙස පිළිගැනෙනවා. එකොළොස්වැන්න අයස්ථානය යි. එනම් ඉපැයීම ගැන කියැවෙන තැනයි. කුජ එකොළොස් වෙනි භාවයේ පිහිටීම තුළින් කෙසේ හෝ ආදායම් උපයා ගැනීමට හැකි වෙනවා. 
විශේෂයෙන් පොළවෙන් සම්පත් ලැබීමට වාසනාව හිමියි. භූමිය ආශ්‍රිත කටයුතු වලට අමතරව ගොඩනැගිලි ද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යන්ත්‍ර සූත්‍ර, වාහන, දේපළ ආදී ව්‍යාපාර වලින්ද ලාභ ලැබීමේ හැකියාව උරුමයි.
මිථුන, තුලා, ධනු, මකර, මීන යන ලග්නයක් හිමිව කුජ එකොළොස් වෙනි භාවයේ පිහිටීම වඩාත් යහපත් ප්‍රථිපල ලැබීමට හේතු වෙනවා. කුජ දශාවේදී ආදායම් තත්වය වර්ධනය වෙනවා.
ඇසුරු කරන පිරිස සීමිත වන නමුත් එම සීමිත පිරිස සමග දැඩි සම්බන්ධයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.
සහෝදර සම්බන්ධතා අඩු වීමට ඉඩ තිබෙනවා.

කුජ 12 වෙනි කොටුවේ.
වැයස්ථානය වූ දොළොස් වෙනි භාවය කුජ ට එතරම් සුබදායක ස්ථානයක් නෙමෙයි.කුජ ක්‍රියාකාරී ග්‍රහයෙක් බැවින් වැයස්ථානයේ සිටින කුජ වියදම් වැඩි කරනවා. වටිනා කියන බොහෝ දේ අහිමි වන තත්වයක් ඇතිවෙනවා. අන්‍යයන් වෙනුවෙන් නිතර වියදම් දැරීමට සිදුවෙනවා. කුජ දොළොස් වෙනි භාවයේ සිටින මනුෂ්‍යයා නාස්තික දෘෂ්ටි ඇත්තෙක් යැයි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. 
නොයෙක් විට සතුරු බලපෑම් එල්ල වන අතර නීති ප්‍රශ්න වලට මුහුණ දීමටද සිදුවිය හැකියි.
දෙපා ආශ්‍රිත අසනීප මතුවීමට මෙන්ම දෙපා වලට අනතුරු සිදුවීමට ද ඉඩ තිබෙනවා. වඩාත් අයහපත් බලපෑම් එල්ල වන්නේ කුජගේ මහා දශා, අතුරු දශා තුළදී යි.
අන්‍යයන් කෙරෙහි ගරුසරු භාවයද බොහෝ දුරට අඩු වෙනවා.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය,වාස්තු උපදේශක,දිවයිනටම සාම විනිසුරු 
                   දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

                      ( JYOTISH BHASKER - INDIA )
               
               036 5670512, 077 7065760, 071 8875816

                        kulupanabandara@gmail.com