Wednesday, June 29, 2016

දරුවන්ගේ කේන්දරය.

අවුරුදු 18 න් පහළ දරුවන්ට 
කේන්දරය විශාල ලෙස බලපෑම් කරනවාද?
දූගේ පුතාගේ කේන්දරය වැදගත්ද ?

  දරුවන්ටයි වැඩිහිටියන්ටයි කේන්දරය බලපාන්නෙ දෙවිදියකටද...දරුවන්ට කේන්දරය බලපාන්නෙ නැද්ද...ඔය විදියේ ප්‍රශ්නත් සමහරුන්ට තියෙන්න පුළුවන්. 
  අඩුපාඩුවක්, අගහිඟයක් නැති පවුලක උපදින්නත් හොඳ කුසල් ශක්තියක් පින් බලයක් තියෙන්න ඕනෑ. දෙමාපියන්ගේ ජිවිත බබළවන, ආලෝකවත් කරන දරුවො උපදිනවා. දෙමාපියන් අතර තිබෙන අසමගිකම්, ආරවුල් දුරුකළ හැකි තරමේ ග්‍රහ බලයක් ඇතුව උපදින දරුවො ඉන්නවා.වෙන්වුණු දෙමාපියන් එක් කරන තරමේ බලවත් ග්‍රහ බලයක් රැගෙන එන දරුවො ඉන්නවා. ඒ වගේම සමගියෙන් සාමයෙන් කල්ගෙවන දෙමාපියන් වෙන් කරන දරුවොත් ඉන්නවා.පවුලේ ආර්ථිකය, දියුණුව බිමට සමතලා වන ආකාරයේ ග්‍රහ බලපෑම් රැගෙන උපදින දරුවොත් ඉන්නවා. " දෙවැනි දුව ඉපදුණු දවසේ ඉඳලා තමයි අපිට කිරි ඉතිරෙන්න ගත්තේ...ඒ පටන් ගත්තු දියුණුව තමයි අදටත් මේ තියෙන්නේ..." ඔහොම කියන දෙමාපියන් ඉන්නවා. සමහර දරුවො කතා කරන්න කල් යනවා. සමහර දරුවො ඇවිදින්න කල් යනවා.සමහර දරුවන්ගෙ වැඩීම ප්‍රමාද වෙනවා. සමහර දරුවො උපන් ගමන්ම මියයනවා. අම්මලා තාත්තලා අතින් මරණයට පත්වන, හිංසා පිඩාවන්ට ලක්වන දරුවො ඉන්නවා. දෙමාපියන් අතහැර දමන දරුවො කාරුණික අය විසින් හදා වඩා ගන්නා අවස්ථා මොන තරම් තියෙනවද... එහෙම ලොකු මහත් වෙලා උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්වයට පත් වන දරුවො ඉන්නවා.
    මේ  හැම දෙයක්ම සිදුවෙන්නේ පෙර කුසල් අකුසල් ශක්තිය, පින් පව් බලය අනුවයි. කෙනෙක් මෙළොව බිහි වන්නේ තමන් පෙර භවයන් තුළ කරන ලද කුසල් අකුසල්, පින් පව් පල දෙන ආකාරයේ ග්‍රහ තාරකා රටාවක් නිර්මාණය වී පවතින අවස්ථාවකදී යි. දරුවෙක් උපදින මොහොත කිසිවෙකුට තීරණය කරන්න බෑ.මේ අනුව කේන්දරයේ බලපෑම එහෙමත් නැත්නම් ග්‍රහ බලපෑම උපදින මොහොතේ පටන්ම එල්ල වන බව පැහැදිලියි.
   දරුවෙකු ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවාගේ කේන්දරයේ ග්‍රහයින් එල්ල කරන බලපෑම සුළු පටු නෑ. දරුවා පෙර භවයන් තුළ පුරුදු පුහුණු කළ දේවල් පවා කේන්දරය තුළ සටන්ව පවතිනවා.සමහර දරුවන් කිසිදාක නොදුටු දේවල් පවා පුරුදුකාරයෙක් මෙන් දක්ෂ ලෙස කරන අවස්ථා තිබෙනවා.දරුවෙකුගේ දක්ෂතා හැකියාවන් වඩාත් සාර්ථක තත්වයකට පත්වනු ඇත්තේ කුමන ක්ෂේත්‍ර තුළ දැයි දැනගැනීමට ජන්ම පත්‍රය මහෝපකාරී වෙනවා.ඇතැම් දරුවන් තමන්ට නොගැළපෙන, පල නොදෙන විෂය ධාරාවන් තෝරාගෙන අසාර්තක වී කළකිරීමට පත්වෙනවා.ඇතැම් දරුවන් විභාග අසමත් වී සිය දිවි නසාගන්නවා.සමහර දරුවන් මානසික රෝගීන් බවට පත් වෙනවා.ඇතැම් දෙමාපියන් තම දරුවන්ට සුදුසු, ගැළපෙන ක්ෂේත්‍ර පිළිබඳව සොයා නොබලා බලපෑම් කිරීම හේතුවෙන් දරුවන් අසාර්ථකත්වයට පත් වෙනවා.දරුවාගේ අධ්‍යාපනය කුමන ක්ෂේත්‍රයක් ඉලක්ක කරගෙන ලබාදිය යුතු දැයි තීරණය කිරීමේදී කේන්දරය අතිශයින් වැදගත් වෙනවා.
  අද පවතින්නේ දරුවන්ට නොයෙක් අතවර, කරදර එල්ල වන කාලයක් බව පෙනෙන්නට තිබෙනවා.නොසුදුසු, නොගැළපෙන අයගේ ඇසුරට ලක්වන දරුවන් නොයෙක් වැරදි මාර්ග වෙත යොමු වෙනවා. එවැනි අවදානම් සහිත තත්වයන්  කේන්දරය තුළින් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවෙනවා.ඇතැම් දරුවන් බොහෝ දේ සඟවාගෙන කටයුතු කරනවා.එල්ල වන බලපෑම් පවා දෙමාපියන් සමග නොපවසා සඟවා තබා ගන්නා දරුවන් සිටිනවා.එවැනි අවස්ථාවලදී දරුවාගේ කේන්දරය පරික්ෂා කරවා ගැනීමෙන් දරුවා හෙළි නොකරන්නා වූ සියලු දේ හෙළි කරගැනීමට හැකි වෙනවා. 
   ඇතැම් විට දරුවෙකුට වැළඳුනු අසනීපයක් සම්බන්ධයෙන් නිවැරදි විනිශ්චයකට එළඹීමට වෛද්‍යවරුන්ට අපහසු වීමට ඉඩ තිබෙනවා.සෙනසුරු, රාහු, කේතු වැනි ග්‍රහයින් ගේ දශා කාලවලදී මෙන්ම ඒරාෂ්ඨක කාලවලදී ද එවැනි ගුප්ත තත්වයන් මතුවීමට ඉඩ තිබෙනවා.දරුවාගේ කේන්දරය පරීක්ෂා කර ගැනීමෙන් රෝග තත්වයන් ගැන නිවැරදි විස්තර දැනගැනීමට හැකිවෙනවා වගේම අසනීප තත්වයන්ට හේතු වන ග්‍රහ බලපෑම් දුරු කරගැනීමට ද හැකිවෙනවා.
  මේ අනුව බලන විට මෙළොව බිහිවන සෑම දෙනෙකුටම උපන් මොහොතේ පටන්ම ජිවිත කාලය පුරාවටම කේන්දරය වැදගත් වන බව පැහැදිලි වෙනවා.