Saturday, June 4, 2016

බිරින්දෑවරුන් ගේ ග්‍රහ යෝග.

සැමියන්ට සුර සැප හිමි කරන ප්‍රබල ග්‍රහ යෝග
බිරින්දෑවරුන් ගේ කේන්දර තුළ පිහිටන්නේ මෙහෙමයි.


   වාසනාවන්ත බිරිඳක් ලබන්නත් හොඳ පින් බලයක් තියෙන්න ඕනෑ. බිරින්දෑවරුන්ගේ වාසනා බලයෙන් සුර සැප විඳින සැමියන් වගේම බිරින්දෑවරු හින්දා නැත්තටම නැතිවෙන ස්වාමිපුරුෂයොත් ඉන්නවා. " කොහොමද....ගෑනි ගෙනාවට පස්සේ මිනිහා දියුණු වෙච්චි අපූරුව...කොහොම හිටිය මිනිහෙක්ද...ගෑනිගේ වාසනාව.." සමහර අම්මන්ඩිලාගේ මුවන් ඔය විදියේ කියමන් ඇහෙන්නේ නිකම් නෙමෙයි. විවාහයෙන් පස්සේ බොහොම පිළිවෙලින් ඉහල දියුණුවකට පත්වුණු ඉලන්දාරියෙක් ඉන්නවානම් අහල පහල අය ඔය විදියට කතා කරන එක අරුමයක් නෙමෙයි. " අනේ අප්පේ....යස අපූරුවට දියුණු වීගෙන ආපු මිනිහා...ගෑනි ගෙනාවත් හරි..මොනවා වුණාද මන්දා..." විවාහයෙන් පස්සේ නැත්තටම නැතිවුණු අය ගැන ඔය විදියේ කතාත් ඇහෙන්න ලැබෙනවා.
    තමන් තෝරා ගන්නා සැමියා හෝ බිරිඳ තමන්ගේ ජීවිතය බබළවන, ආලෝකමත් කරන, ජීවිතය ට වාසනාව කැන්දන කෙනෙක් වෙනවා නම් මොන තරම් වාසනාවක්ද..ඉන්න තත්වයෙන් පහළට වැටෙන්න කවුරුවත් කැමති නෑ. විවාහය කියන්නේ ජිවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. මේ තීරණාත්මක සන්ධිස්ථානය ප්‍රධානම මර්මස්ථානය බවට පත් කරගන්නා අයත් ඉන්නවා. හතරවටින් වාසනාව කැන්දන ශ්‍රියා කාන්තාවක් බඳු වාසනාවන්ත බිරිඳක් ජිවිතයට සමීප කරගන්න හැම පිරිමියෙක්ම උත්සාහ කරන්න ඕනෑ. ජ්‍යොතිෂය උපයෝගී කරගත යුත්තේ ජීවිතය උපරිම ආකාරයෙන් සාර්ථක කරගැනීමටයි. වාසනාවන්ත බිරිඳක් හෝ සැමියෙක් තෝරා ගැනීමට ජ්‍යොතිෂ ශාස්ත්‍රය තරම් සහයෝගය දක්වන වෙනත් ශාස්ත්‍රයක් නෑ.

     
  එහෙමනම්, සැමියාට වාසනාව උදාකරන ග්‍රහ බලපෑම් බිරිදක ගේ ජන්ම පත්‍රය තුළ පිහිටන ආකාරය පැහැදිලි කරගනිමු.
  අපි කවුරුත් දන්නා පරිදි කේන්දරයක විවාහස්ථානය නම් හත් වැනි භාවයයි. මෙම හත් වැනි භාවයෙන් කිව හැකි සියලු කරුණු කාරණා සඳහන් කළහොත් ඔබ මවිතයට පත්වනු නිසැකයි. එම කාරණා ගැන කතා කිරීමට මත්තෙන් විවාහය හා සම්බන්ධ වන මූලික සුබ ග්‍රහ බලපෑම් ස්ත්‍රී කේන්දරය තුළ පිහිටන ආකාරය ගැන දැනගනිමු.
  සිකුරු යනු ඉතාමත් සුබදායක ග්‍රහයෙක් බව කවුරුත් පාහේ දන්නා කාරණයක්.  මේ සිකුරු ග්‍රහයා සුබදායක ලෙසින් හත් වැනි භාවයේ තැන්පත්වීම යුවතියකට ඉතාමත් සුබදායකයි.සුබදායක ලෙසින් තැන්පත්වීම සුබයි යනුවෙන් සඳහන් කළේ අසුබ ආකාරයට තැන්පත් විය හැකි අවස්ථාද තිබෙන බැවිනි. මේෂ, මිථුන, කටක, සිංහ, වෘශ්චික, ධනු යන ලග්න හිමි යුවතියන් ගේ ජන්මපත්‍ර තුළ සිකුරු හත් වැනි භාවයේ තැන්පත් වීම ස්වාමිපුරුෂයාට වාසනාව උදාකරන පිහිටීමක් බව මතක තබාගත යුතුයි. මෙවැනි යුවතියක් හිමි කරගන්නා සැමියෙකුට කිසිදා දුකින් කනස්සල්ලෙන් සිටීමට සිදුවන්නේ නෑ. මෙවැනි යුවතියන්ගේ අඟ පසඟද දුටුවන්ගේ නෙත් සිත් වසඟ කරවන සුළුයි. පියයුරු හා අනෙකුත් අවයවද සැමියාගේ සතුට වඩවන ආකාරයට පිහිටා තිබෙනවාමයි.මෙවැනි කතුන්ගේ හැසිරීමද ස්වාමි පුරුෂයාගේ සිත තුළ සතුට ඇතිකරවනවා. පහත කේන්දරය දෙස බලන්න. මෙම කේන්දරයේ හත් වැනි භාවයේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටිනවා. සඳු පළමු භාවයේ සිට හත් වැන්නේ සිටින සිකුරු දකිනවා. ( කේතු හැර සියලු ග්‍රහයින් තමන් සිටින තැන සිට හත් වැනි භාවය දකින බව සළකන්න). මෙම කේන්දරයේ හිමිකාරිය සමග විවාහ වුණු පුද්ගලයා  විවාහ වන කාලය වන විට සුළු රැකියාවක නියැලෙමින් සාමාන්‍ය තත්වයක පසුවුණා.විවාහයෙන් පසු ප්‍රධාන පෙළේ සමාගමක ඉහළ තනතුරකට පත්වුණා. මේ වන විට ඉහළ දියුණුවකට පත්වී සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා.
  පුර පස චන්ද්‍රයාද සැපත සතුට ප්‍රදානය කිරීමෙහිලා ඉතා සුබදායක ග්‍රහයෙක්.පුර චන්ද්‍රයා සුබයෙක් ලෙසත් අව චන්ද්‍රයා පපයෙක් ලෙසත් සැළකෙනවා. කේන්දරයේ සිටින්නේ පුර චන්ද්‍රයාද අව චන්ද්‍රයාදැයි සොයාගන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට ඔබ මේ මොහොතේ මුහුණ දී සිටිනවා විය හැකියි. අමාවක ගෙවුණු තැන් පටන් පසළොස්වක තෙක් කාලය තුළ උපදින අයගේ කේන්දර තුළ සිටින්නේ පුර චන්ද්‍රයායි. පසළොස්වක පොහොය ගෙවුණු තැන් පටන් අමාවක ලබන මොහොත තෙක් කාලය තුළ උපදින්නාවූ අයගේ කේන්දර තුළ අව චන්ද්‍රයා තැන්පත්ව සිටිනවා. මේෂ, මිථුන, කන්‍යා,තුලා, වෘශ්චික, මකර,මීන යන ලග්න වලින් උපත ලබා සඳු හත් වැන්නේ සිටිනා බිරින්දෑවරු ස්වාමි පුරුෂයාට සතුට සැපත ප්‍රදානය කරනවා.
  මේෂ ලග්නයෙන් උපත ලබා ශනි හෙවත් සෙනසුරු හත්වැන්නේ තැන්පත්ව සිටීමද ස්වාමි පුරුෂයාට වාසනාව උදාකරන පිහිටීමක් බව මතක තබා ගත යුතුයි.
    කාන්තාවක් සතුව ස්ත්‍රී ලාලිත්‍ය, කාන්තා ගති ලක්ෂණ, කාන්තා අඟ පසඟ තියෙන්න ඕනෑ.එහෙමනම් ස්ත්‍රී කේන්දරයක ස්ත්‍රී ග්‍රහයින් බලවත් වෙන්න ඕනෑ. ස්ත්‍රී ග්‍රහයින් බලවත් වන තරමට කාන්තාවක් සැබෑ ලලනා ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවා. එවැනි කාන්තාවකගෙන් සැමියෙක් නිවැරදි මානසික හා කායික සතුටක් ලබනවා. කාන්ත කේන්දරයක පුරුෂ ග්‍රහයින් බලවත් වූ විට එම කාන්තාව පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවා. පුරුෂාකර කාන්තාවකගෙන් නිවැරදි මානසික, කායික සතුටක් සැමියෙකුට ලැබෙන්නේ නෑ. කාන්තා කේන්දරයක සිකුරු සහ සඳු ඉතාමත් යහපත් ලෙස පිහිටිය යුතුයි. මෙම ග්‍රහයින් දෙදෙනා සුබදායක ලෙස පිහිටීමෙන් කාන්තාවක තුළ නියම ලලනා ගති ලක්ෂණ ඇතිවෙනවා වගේම ඇයගේ ලිංගික අවයවද මනාව පිහිටනවා.
   හත් වැන්නේ සිටිය යුතු ග්‍රහයො ගැන කියන කොට හත් වැන්නේ ග්‍රහයො නැති අය ට ප්‍රශ්නයක් මතුවෙනවා. කේන්දරයේ කොටු දොළහක් තිබුණට ග්‍රහයො ඉන්නේ නම දෙනයි. ඒ හින්දා සමහරුන්ගේ කේන්දර වල හත් වැන්නේ ග්‍රහයෙක් නැති වෙන්න පුළුවන්. හතේ ග්‍රහයෙක් නැති වුණත් හත් වැන්නට අධිපති ග්‍රහයෙක් ඉන්නවා. හත අධිපති ග්‍රහයා බලවත් තැනක සුබදායක ආකාරයට ඉන්නවා නම් ඒකත් ස්වාමිපුරුෂයාට වාසනාව උදාකරන පිහිටීමක්. කේන්දරයේ හත අධිපති ග්‍රහයා පහසුවෙන් හොයාගන්න පුළුවන් පහත වගුවෙන්.
පහත කේන්දරයේ හත් වැන්නාධිපති සිකුරු දෙවැන්න වූ වෘෂභ රාශියේ ස්වක්‍ෂේත්‍රව සිටින අයුරු බලන්න. ග්‍රහයෙක් තමන්ට අයත් රාශියක සිටිනවා නම් එම ග්‍රහයා ස්වක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වෙනවා. මෙම කේන්දරයේ හිමිකාරිය තම සහකාරිය බවට පත් කරගත් ස්වාමිපුරුෂයා ඉහළ දියුණුවක් අත් කර ගත්තා. 
හත් වැනි භාවයට වැටෙන ග්‍රහ දෘෂ්ඨි ද ඉතාමත් වැදගත් වෙනවා. පළමු භාවයේ සිටින ග්‍රහයින්ගෙන් එල්ල වන දෘෂ්ඨි මෙහිදී වඩාත් වැදගත් වෙනවා. කේතු හැර පළමු භාවයේ සිටින ඕනෑම ග්‍රහයෙක් හත් වැන්න දකින බව මතක තබාගන්න. සඳු,සිකුරු,බුධ, ගුරු යන ග්‍රහයින් පළමු භාවයේ බලවත්ව සිටීම ස්වාමි පුරුෂයාට ඉතාමත් සුබදායකයි. වෘෂභ,මිථුන, තුලා, ධනු, මකර, කුම්භ ලග්න වලින් උපන් කාන්තාවන්ගේ කේන්දර තුළ සිකුරු පළමු භාවයේ තැන්පත්වීම ඉතාමත් සුබදායකයි. මිථුන, කන්‍යා ලග්න දෙකෙන් උපන් කාන්තාවන්ගේ කේන්දර තුළ බුධ පළමු භාවයේ තැන්පත්වීම ද ඒ ආකාරයෙන්ම සුබදායක වෙනවා. ධනු, මීන  ලග්න දෙකෙන් උපන් කාන්තාවන් ගේ කේන්දර තුළ ගුරු ලග්න භාවයේ හෙවත් පළමු භාවයේ තැන්පත්වීමද වාසනාවන්ත පිහිටීමක් බව මතක තබා ගත යුතුයි. වෘෂභ හෝ කටක ලග්නයෙන් ඉපැදී සඳු පළමු භාවයේ තැන්පත්ව සිටින කාන්තාවද සවාමියාට සැපදායක ජීවිතයක් උරුමකර දෙනවා.
  චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ග්‍රහයින් යහපත් තැනක සංයෝග වී සිටීමද ස්වාමි පුරුෂයා ට වාසනාව උදාකරන පිහිටීමක් වෙනවා. යහපත් ලෙස සිටින දෙවන්නාධිපති ග්‍රහයා හත්වැන්නාධිපති ගේ හා සිකුරු ග්‍රහයා ගේ දෘෂ්ඨියට ලක්වීමද ස්වාමිපුරුෂයා ට ඉහළ දියුණුවක් සලසා දෙන පිහිටීමක් බව මතක තබා ගත යුතුයි.
  පහසුවෙන් වටහාගත හැකි ග්‍රහ පිහිටීම් ඔය ආකාරයට යෙදෙන නමුත් තවත් ප්‍රබල ග්‍රහ යෝග කොතෙකුත් තිබෙනවා. එමන්ම ස්වාමි භක්තිය නාශක යෝග, අති ධාවන කාම යෝග, විෂ කන්‍යා යෝග, කනවැන්දුම් යෝග, දිළිඳු යෝග ආදී වශයෙන් අසුබ යෝගද බොහොමයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරමු.