Friday, July 18, 2014

දෛවය වෙනස් කරන්න බැරිද ?

         "වෙන්න තියෙන දේ වෙනවා ඒක කාටවත් නවත්තන්න බෑ ......."  ගොඩක් දෙනෙක් ඔය කතාව ඔය විදියට කියනවා.කරදරයක් උනාම, ගැටළුවකට මැදිඋනාම බොහෝ දෙනෙක් හිත හදාගන්නේ ඔය විදියටයි.
          වෙන්න තියෙන දේවල් ඒ විදියටම වෙනවද?වෙන්න තියෙන දේවල් වළක්වාගන්නෙ කොහොමද?මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙකුට මතුවෙනවා.
           කෙනෙක් මෙලොව බිහිවෙන්නේ අහම්බෙන් නෙමෙයි. තමන් පෙර භවයන්හිදී කරන ලද පින් පව්, කුසල් අකුසල් පලදෙන ආකාරයේ විශ්ව බලයක් ගොඩනැගුණු අවස්ථාවක තමයි ජීවියෙක් බිහිවෙන්නේ. ඒ සුවිශේෂ අවස්ථාව වෙනස් කරන්න කිසිවෙකුට බෑ. එකම අවස්ථාවකදී දෙදෙනෙක් මෙලොව බිහිවෙන්නේ නෑ. එක සමාන අත් දෙකක් , එක සමාන ඇස් දෙකක් ලෝකේ කොහෙවත් නෑ. ඒ වගේම තමයි එක සමාන ජන්ම පත්‍ර දෙකක් ලෝකෙ කොහේවත් නෑ. ඔබට හිමි ග්‍රහ බලය ඔබටම සුවිශේෂයි. ඔබ මෙළොව පැමිණියේ කොහි සිටද? ඔබ මෙළොවින් සමුගෙන යන්නේ කොතැනකටද? ඔබට මෙළොවදී සිදුවන්නේ කුමක්ද? මේ සියළු කාරණා ඔබේ ජන්ම පත්‍රය තුළ සටහන්ව තිබෙනවා.ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති ජ්‍යොතිෂවේදියෙකුට පුළුවන් ජන්ම පත්‍රයක් තුළින් මේ සියළු කරුණු කාරණා සොයා දැනගන්න.
           අපි කොහි සිට මෙළොව පැමිණියත් දැන් පැමිණ අවසන්.අපට වඩාත් වැදගත් වන්නේ මෙළොව ජීවිතය සාර්ථක කරගැනීමයි. අනතුරු, අවදානම්, දුක් කරදර වලින් මිදී සුවදායක ජීවිතයක් ගත කිරීම කාගේත් අපේක්ෂාවයි. ජීවිතය විඳවන්නට කැමති අයෙක් ලොව කොතැනකවත් නෑ. සියළු දෙනාගේ අපේක්ෂාව ජීවිතය විඳීමයි. මේ සඳහා ජන්ම පත්‍රය තුළින් විශාල සහයෝගයක් ලබාගන්න පුළුවන්. ජ්‍යොතිෂය ට අනුකූලව කටයුතු කරනවා කියන්නේ ජන්ම පත්‍රයට අනුව කටයුතු කිරීමයි. ජන්ම පත්‍රය තුළින් පෙනෙන අනතුරු, අවදානම් මගහැරිමයි. "ජ්‍යොතිෂය අඳුරේ යන්නෙකුටආලෝකයක්" යැයි  කියමනක් තිබෙනවා. අඳුරේ යන්නෙකුට කිසිවක් පෙනෙන්නේ නෑ. අනතුරු වල පහසුවෙන් ගැටෙනවා. වලවල් වල පහසුවෙන් වැටෙනවා. ඒත් ආලෝකයක් ඇතුව ගමන් කරන්නෙකුට තම ගමන ආරක්ෂාකාරීව යන්න පුළුවන් වෙනවා.
         "තමන්ට මාරකයක් තියෙනවා. මේක මගහරින්න බෑ....." සමහර ජ්‍යොතිෂවේදීන් ඔය විදියට අදුරදර්ශී අනාවැකි පවසනවා. "තමුන්ගේ විවාහය නම් සාර්ථක වෙන්නේ නෑ තමුන්ට විවාහ සැපත  නෑ. විවාහය මුළුමනින්ම අසාර්ථක වෙනවා........"   මේ දරුවගේ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නෑ. අවරුදු 16 වෙද්දී කා එක්ක හරි යනවා......."   ඔය විදියට අනාවැකි පවසන ජ්‍යොතිෂවේදීන් ඉන්නවා. ඇත්තටම කේන්දරයෙන් පෙනෙන දේ ඒ විදියටම වෙනවද? වෙන්න තියෙන දේ ඒ විදියටම වෙනවනම් කේන්දරය බලාගන්නේ මොකටද?
          ජ්‍යොතිෂය කියන්නේ ධනාත්මක විද්‍යාවක්. මනුෂ්‍ය ජීවිතය උපරිම ආකාරයෙන් සාර්ථක කරගන්න අවශ්‍ය මග පෙන්වීම තමයි ජ්‍යොතිෂයෙන් ලැබෙන්නේ. අනතුරක් වෙන්න තියෙනවද කියල දැනගන්නේ ඒ අනතුරෙන් මිදෙන්න මිසක් හිත හදාගෙන අනතුරට මුහුණ දෙන්න නෙමෙයි. විවාහය සම්බන්ධයෙන් ගැටළු මතුවෙන්න ඉඩ තියෙනවද කියලා දැනගන්නේ විවාහය සාර්ථක කරගන්නයි. අධ්‍යාපනය අඩාල වෙන්න ඉඩ තියෙනවද කියල දැනගන්නේ අධ්‍යාපනය වඩාත් සාර්ථක කරගන්නයි. අයහපත් සිදුවීම් වළක්වා ගන්න නම් ඒ ගැන කලින් දැනගන්න ඕනෑ. තමන්ගේ ජන්ම පත්‍රය නිවැරදිව භාවිතා  කරන කෙනෙකුට පුළුවන් ඉහළම තත්වයකට පත්වෙන්න. අද ඉතාමත් සාර්ථක තත්වයේ, ඉහළම තලයේ ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ජන්ම පත්‍රයට අනුව කටයුතු කරන අය බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.
                               දීඝායු කුමාරයා ගැන නොදන්නා බෞද්ධයෙක් නෑ. ඒත් මේ නම හැදුනු විදිය ගොඩක් දෙනෙක් දන්නේ නෑ. මේ කුමාරයා තමන්ගේ දෙමාපියන් සමග වරක් බුදුන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුන් වහන්සේ මේ කුමාරයාගේ මවට සහ පියාට "දීඝායු වේවා" කියල ආශීර්වාද කළා. ඒත් බුදුන් වහන්සේ කුමාරයාට ඒ විදියට ආශීර්වාද කළේ නෑ. දෙමාපියන්ට මේක ප්‍රශ්නයක් වුණා. බුදුන් වහන්සේගෙන් හේතුව විමසුවා. කුමාරයාට දීර්ගායුෂ නොමැති බවත් තව ටික දිනකින් මරණයට පත්වන බවත් බුදුන්වහන්සේ පැවසුවා. කුමාරයාගේ මවත් පියාත් බොහෝ දුකට පත්වුණා. කුමන හෝ ආකාරයකින් කුමාරයාව මරණින් බේරා දෙන්නැයි දෙමාපියන් බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩමකරළා මහා පිරිතක් කියවා මාරකය දුරුකළා. ඔන්න ඔය විදියට තමයි මේ කුමාරය "දීඝායු කුමාරයා' වුණේ. අදත් අකල් මරණ වලට මුහුණ දෙන අය මොන තරම් ඉන්නවද?
                    දරුණු ඒරාෂ්ටක කාල වලදී භයානක අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. දරුණු අසනීප මතුවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථා වලදී ඒරාෂ්ටක අපල දුරුවෙන්න අවශ්‍ය ප්‍රතිකර්ම නිවැරදිව යෙදීමෙන් අවදානම් තත්වය මගහරවා ගන්න පුළුවන් වෙනවා. සමහර අපල කාල  වලදී හැදෙන ලෙඩ රෝග වෛද්‍යවරුන්ට නිශ්චය කරගන්න අපහසු වෙනවා.ශල්‍ය කර්මයක් කිසිසේත්ම අවශ්‍ය නොවෙන අවස්ථා වලදී ශල්‍ය කර්ම සිදුකරනවා. තිබෙන අසනීපයට අදාල නොවන ප්‍රතිකාර ලබා දෙනවා. අපල ගැන කල් තියා දැනගෙන නිවැරදි ප්‍රතිකර්ම යෙදීමෙන් එවැනි ගැටළු, අවදානම් මගහැරගන්න පුළුවන් වෙනවා. බොහෝ දෙනෙක් විසඳුම් හොයන්නෙ ප්‍රශ්න උග්‍ර වුණාට පසුවයි.  
                         විවාහය සම්බන්ධයෙන් ගැටළු කරදර මතුවෙන්න තිබෙනවානම් විවාහයේදී සැලකිලිමත් වෙන්න පුළුවන්. අවේගශීලී, දරුණු සැමියෙක්, බිරිඳක් ලැබෙන්න තිබෙනවානම් එම තත්වය වෙනස්කරගන්න පුළුවන්.කාරුණික ගතිගුණ තියෙන කෙනෙක්ව ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් ගොඩක් දෙනෙක් හඳහන් බලන්නේ විවාහය බිඳවැටුණට පස්සෙයි. සමහරු පාඩු විඳගෙන ව්‍යාපාර කරනවා. තමන් කරන ව්‍යාපාරය තමන්ට උරුම, ගැළපෙන එකක්ද කියළා හොයල බලන්නේ නෑ. යම් ව්‍යාපාරයක් තුළින් හිණි පෙත්තටම නගින්නනම් ඒ ව්‍යාපාරය තමන්ට උරුම ගැලපෙන ව්‍යාපාරයක් වෙන්න ඕනෑ.  රැකියාව උනත් එහෙමයි. ඉගෙන ගන්නා විෂය දහරාව උනත් ඒ විදියට තෝරාගන්න ඕනෑ.
                       ඔය විදියට බැලුවම පේනවා දෛවය වෙනස්කරන්න පුළුවන් බව. ජිවිතයේ උපරිම දියුණුව සාර්ථකත්වය අත් කරගන්න අපිට පුළුවන්. ඒ සඳහා ජන්ම පත්‍රය භාවිතයට ගතයුතුයි.
                            ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, සාම විනිසුරු( මුළු දිවයිනටම)
                                      දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර