Sunday, July 27, 2014

"උපක්‍රමශීලීව පසුබැසීම"

යුද්ධයේදී වගේම ජීවිතයේ සාර්ථකත්වය උදෙසාත්
භාවිතා කළහැකි උපක්‍රමයක්.


                    "අනුන්ට උදව් කරන්න ගිහින් මටත් වෙච්ච දෙයක්......."  හිතවතුන්ට උදව් කරන්න ගිහින් අමාරුවේ  වැටුණු සමහරු ඔහොම කියනවා.ණයක් ගන්න ඇපයට අත්සන් කරන්න කෙනෙක් නෑ කියන කොට මම ඇප   වුණා. අන්තිමේදී උසාවි යන්න වුණේ මටයි. හිතවතුන් වෙනුවෙන් ඇප වෙන සමහරු ඔහොමත් කියනවා. මේ කියන්න හදන්නේ ජීවිතය තියෙන කල් කාටවත් උදව් කරන්න එපා කියලා නම් නෙමෙයි. අවදානම් සහිත දේවල් වලට, අභියෝග වලට මුහුණ දීමට සුදුසු කාල වකවානු වගේම අවදානම් සහිත හා අභියෝගාත්මක දේවල් මගහැරලා සිටිය යුතු කාල වකවානුත්  තියෙනවා. අන්න ඒ ගැන දැනුවත් කරන්න තමයි මේ හදන්නේ.
                       "නරක වෙලාවට මෝල් ගහත් පත්තුවෙන්න පුළුවන් " කියලා කතාවක් තියෙනවා. නොසුදුසු කාල වලදි අවදානම් දේවල් වලට අත  ගහන්න ගිහින් ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙනවා. මහා බලවත්තුත් ඔය විදියට අමාරුවේ වැටෙන අවස්ථා තියෙනවා. හොඳ වෙලාව මොකක්ද නරක වෙලාව මොකක්ද කියලා හොයාගන්න බැරි වුණොත් කපෝතියි. තමන්ගේ නරක කාලය උදාවෙලා තියෙන බව ප්‍රභාකරන් දැනගෙන හිටියේ නෑ. සුපුරුදු දස්කම් විස්කම් දක්වන්න ගිහින් මැරුම් කන්න වුණා.
                       සමහරු වෙලාව නරක බව නොදැන ලක්ෂ ගණන්, කෝටි ගණන් ව්‍යාපාර වලට යටකරලා කබලෙන් ළිපට  වැටෙනවා. සමහරු හොර ඒජන්සි කරුවන්ට ලක්ෂ ගණන් මුදල් දීලා සුසුම් හෙළනවා
                         . උපක්‍රමශීලීව පසු බැසීම කියන්නේ යුද්ධ වලදී අනුගමනය කරන උපක්‍රමයක්. ජීවිතයේදීත් උපක්‍රමශීලිව පසු බැසිය යුතු අවස්ථා තියෙනවා. තමන්ගේ ඉදිරියට ඇවිත් පලු යන්න බැන්නත් කලබල නොවී ඉවසගෙන ඉන්න ඕනෑ අවස්ථා තියෙනවා.නරක වේලාවකදී ඒ වගේ දේකට කළබල වුණොත් ජීවිත කීපයක් නැතිවෙන්න වුණත් ඉඩ තියෙනවා. තමන්ගේ කාලය හොඳද නැද්ද කියලා දැනගෙන කටයුතු කරන අය ඒ වගේ අවස්ථා වලදී ඉවසීමෙන් කටයුතු කරනවා.
              හිට්ලර් රාහු දශාවෙදි ගත්තු වැරදි නොසුදුසු  තීරණ හේතුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා. ගොඩක් දෙනෙක් රාහු දශාවෙදි වැරදි තීරණ අරගෙන අමාරුවේ වැටෙනවා. පසු බැසිය යුතු අවස්ථා වලදීත් සිංහයෝ වගේ ඉස්සරහට ගිහින් පස්ස බිම ඇනගන්නවා.
               වෙලාව හොඳ කාලෙදී සිංහයෝ වගේ ඉන්න අය වෙලාව නරක් වුණාම කව්රුත් ගණන් ගන්නේ නැති තත්වයට පත්වෙනවා. බලය තියෙන කාලෙදි ඉස්සරහින් පස්සෙන් ආරක්ෂකයො තියාගෙන වැජඹෙන අය බලය නැති වුණු දාට ඉන්නවද මළාද කියලා හොයලා බලන්න කෙනෙක් නැති තත්වයට පත්වෙනවා.
             සමහරු හොර මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරළා අමාරුවේ වැටෙනවා. වැඩි පොලියක් බලාගෙන මුදල් තැන්පත් කරන කොට හඳහන මතකත් නෑ, දෙවියො බුදුන් මතකත් නෑ. වැඩේ වැරදුණාම කේන්දරය අරගෙන රට වටේ දුවනවා. පන්සලක් ගානෙ, දේවාලයක් ගානෙ යනවා. කාලෙ හොඳද නරකද කියලා මුලින්ම දැනගෙන වැඩ කළා නම් ඔහොම වෙන්නේ නෑ.
             සමහරු අහක යන කරදර තමන්ගේ ඇඟට දාගන්නවා. අනුන්ගේ දේවල් වලට බලෙන් අත  දාලා  ප්‍රශ්න ඇතිකර ගන්නවා.රාහු , කේතු , සෙනසුරු දශා වලදී තමයි ගොඩක් දෙනෙක් ඔය වගේ වැඩ කරන්නේ. බුද්ධිය පෑදෙන කොට වෙන්න ඕනැ දේවල් වෙලා හමාරයි.      
            බෞද්ධ රටවල් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන අපේ රටේ දවසකට ගබ්සාවන් විශාල ප්‍රමාණයක් සිද්දවෙනවා. ගබ්සා කිරීම් වලට ලක්වෙන ඇතැම් දෙනා නොයෙක් අතුරු විපාක වලට ලක්වෙනවා. සමහරු එතැන් පටන් ස්වභාවික ගබ්සාවීම් වලට ලක්වෙනවා.සමහරුන්ට දරු පල අහිමිවෙලාම යනවා.     සමහරුන්ට ජීවිතයත් අහිමි වෙනවා. සමහර යෞවනියෝ ඔය වගේ කරදර වලට මුහුණ පානවා. තමන්ගෙ දරුවන්ගේ කේන්දර බලවගන්න දෙමාපියන්ට මතක්වෙන්නෙත් දරුවො කරදරයකට පත්වුණාට පසුවයි.
             සමහර යෞවනියො නොසුදුසු නොගැළපෙන සම්බන්ධතා වල පැටලිළා අමාරුවෙ වැටෙනවා. සමහරු අනියම් බැඳීම් හේතුවෙන් ලැබෙන දරුවන්ව ගඟට, මුහුදට විසිකරනවා. ඒවා හෙළිදරව්වෙලා ලැජ්ජාවට පත්වෙනවා.නීතියට කොටුවෙනවා. සිය දිවි නසාගන්නවා. සල්ලාල පෙම්වතුන්ගේ ඉල්ලීම් හමුවේ අවනතව ජිවිතයම විනාශ කරගන්නවා. මේ කාලය අමාරුවේ වැටෙන කාලයක්ද, ඥානය හීන වෙන කාලයක්ද කියල හරියට දැනගෙන උපායශීලීව කටයුතු කලොත් ඔය විදියට අමාරුවේ වැටෙන්නේ නෑ.
             මේ වෙලාවේඅත  ගහන්න සුදුසු නොසුදුසු දේවල් මොනවද? මේ වෙලාවේ ඉහට කඩාපත්වෙන්න පුළුවන් කරදර මොනවද? මේ කාලේදී පරිස්සම් වෙන්න ඕනැ මොනවගේ දේවල් වලින්ද? මේ වෙලාවේ ණයක් ගත්තොත් ගෙවාගන්න පුළුවන් වෙයිද ? ඉස්සරහට යන්න ඕනැ කාලයක්ද? ඇඟ බේරාගෙන පැත්තකට වෙන්න ඕනැ කාලයක්ද? ඔන්න ඔය වගේ දේවල් කේන්දරයෙන් දැනගන්න ඕනෑ. එහෙම දැනගෙන උපායශීලිව පසුබැසියයුතු අවස්ථා වලදී පසු බසින්න ඕනෑ.            
                                                  ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
                                                        ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.