Thursday, March 24, 2016

පුංචි පුංචි ග්‍රහ මාරු 
ජිවිත තුළ
ලොකු ලොකු වෙනස්කම් ඇති කරනවද ?
  සිකුරා එක් රාශියක රැඳී සිටින්නේ දින විසි හතරකි. මෙම කාලය මාස හතරක් දක්වා වැඩි විය හැකියි. බුධ එක් රාශියක කල් ගෙවන්නේ දින දාහතරකි. මෙම කාලය මාස දෙක හමාරක් දක්වා වැඩි වීමට ඉඩ තිබේ. කුජ එක් රාශියක දින තිස්පහක පමණ කාලයක් ගත කරන අතර මෙම කාලයද මාස හතක් දක්වා වැඩි වන අවස්ථාද තිබේ.රාශියක ගතකරන කාලය දීර්ඝ වන්නේ වක්‍ර වන අවස්ථාවලදී යි. රවි රාශියක කල් ගෙවන්නේ හරියටම මාසයකි. රවි ගේ වක්‍ර වීමක් නැත.
      බුධ, සිකුරු වැනි ග්‍රහයින්ගේ මාරු වීම් ඉතාමත් තීරණාත්මක සිදුවීම් ලෙස හුවා දක්වමින් පලාපල විස්තර ඉදිරිපත් කිරීමට ඇතැම් ජ්‍යෝතිර්වේදීන් පෙළඹී සිටියි. ජ්‍යෝතිෂය නොදන්නා ජනතාව සිතන්නේ මේවා ඉතාමත් බරපතළ, තීරණාත්මක ග්‍රහ මාරු කියා ය. ඇතැමුන් දුරකථනයෙන් අමතා ග්‍රහ මාරු පිළිබඳව විස්තර විමසන අවස්ථාද ඇත. 
   සුළු ග්‍රහ මාරු තීරණාත්මක සිදුවීම් ලෙස ජනතාව වෙත ඉදිරිපත් කිරීම බොහෝ විට සිදුවන්නේ රුපවාහිනී නාලිකා හරහා ය. ඇතැම් ජ්‍යෝතිර්වේදීන් රුපවාහිනී වැඩසටහන් වෙනුවෙන් විශාල ලෙස මුදල් වැය කරන බැවින් ඔවුන් වෙත විශාල පිරිසක් ගෙන්වා ගැනීමේ උවමනාවක් පවතී. ඒ සඳහා පෙළඹවීමක් ඇතිකිරීම පිණිස  බොහෝ කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීමට ඇතැමුන් පෙළඹී සිටියි.
  පලාපල කථනයේදී ගෝචර ගමන් ගැන සැළකිලිමත් විය යුතු වූවත් පොදුවේ පලාපල ඉදිරිපත් කිරීමේදී බුධ, සිකුරු මාරු ගැන විස්තර ඉදිරිපත් කිරීම පලදායක නොවේ. එවන් ග්‍රහ මාරු පුද්ගල ජීවිතයක සුවිශේෂ වෙනස්කම් ඇතිකිරීමට සමත් නොවේ. කුජ මාරුව වූවද පලාපල කථනයේදී අදාල කර ගත යුත්තේ මාස ගණනක් එක් රාශියක රැඳී සිටින්නේ නම් පමණි.
   සෙනසුරු වසර දෙක හමාරක පමණ කාලයක් එක් රාශියක කල් ගෙවන බැවින් සෙනසුරු ගේ ගමන පලාපල කථනයේදී විශේෂයෙන්ම අදාල කර ගත යුතුය. මීට අමතරව රාහු, කේතු, ගුරු ආදීන්ගේ ගමනද වැදගත් වේ. ඒරාෂ්ඨක අපල එල්ල වන්නේ සෙනසුරු ගේ ගමන අනුවම බැවින් සෙනසුරු ගේ ගමන් පලාපල කථනයේදී වඩාත් වැදගත් වේ. කෙනෙකුගේ ජන්ම කේන්දරය පරීක්ෂා කිරීමේදී වූවද බුධ, සිකුරු ගමන් ගැන සැළකිලිමත් වීම එතරම් පලදායක නොවේ.
   ඇතැමුන් ජ්‍යෝතිෂ පර්යේෂණවල නියැලෙන බව පවසමින්, පොත පතේ සඳහන් කරුණු නොව අත්දැකීම් ඇසුරින් හෙළිකරගත් දේ අනුව පලාපල විස්තර ඉදිරිපත් කරන බවක් ද පවසයි. ජ්‍යෝතිෂයේදී අත්දැකීම් භාවිතා කිරීම වැදගත් වූවද ජ්‍යෝතිෂ පර්යේෂණ සිදුකිරීම යනු මුසාවකි. ජ්‍යෝතිෂය බිහිකළ ඉසිවරු තම උසස් චිත්ත බලය උපයෝගී කරගෙන ආකාශ වස්තූන් ගේ රුව ගුණත්, ඒවායින් එල්ල වන බලපෑමත් නිවැරදිව සොයා දැනගෙන ඉදිරිපත් කොට තිබේ. අපගේ වගකීම වන්නේ එම ඉදිරිපත් කළ දේ භාවිතයට ගැනීමයි. කේන්දරයේ කොටු දොළහට තවත් එක් කොටුවක් හෝ එකතු කිරීමට කිසිම පර්යේෂකයෙකුට නොහැක. වෙන දෙයක් තබා අද ඇතැමුන් ආකාශ වස්තූන් වෙත පය තැබුවද, එදා ඉසිවරු මහ පොළවේ සිට සොයා දැනගත් දේට අමතරව මෙතෙක්  සොයාගත් දෙයක් නැත.
  සෙනසුරු මාරුව, රාහු මාරුව, කේතු මාරුව, ගුරු මාරුව පොදුවේ රටට ලෝකයට මෙන්ම ජිවිත වලටද බලපෑම් එල්ල කරන බව සැබෑවකි. එමෙන්ම මාස කීපයක් එකම රැසක රැඳී සිටින හෝ ශනි, රාහු, කේතු, ගුරු ආදී ග්‍රහයෙක් සමග සංයෝග වන කුජද බලපෑම් එල්ල කරයි. බුධ මාරු සිකුරු මාරු ඇසුරින් පවසන  කරුණු කාරණා ඔළුවට ගත යුතු නැත.